24 April, 2024

Blog

සහජීවනය පිණිස නීතියේ පාලනය: කෝ අපේ උබුන්ටු

ලියනගේ අමරකීර්ති

ආචාර්ය ලියනගේ අමරකීර්ති

ආචාර්ය ලියනගේ අමරකීර්ති

“මිනිසාට කෲරත්වයට සහ මර්දනයට එරෙහිව ආරක්ෂාව සලසා ගැනීම සඳහා අවසාන විසඳුම ලෙස කැරලි ගැසීම කෙරෙහි අනිවාර්යෙන්ම යොමුවීම වලක්වා ගැනීමට නම් නීතියේ පාලනය මගින් මානව අයිතිවාසිකම් ආරක්ෂා කළ යුතු වන්නේය”

මේ විශ්ව මානවහිමිකම් ප‍්‍රකාශනයේ එන යෙදුමකි. මා මෙය උපුටා ගත්තේ ආචාර්ය දීපිකා උඩගම ලියා ඇති අපූරු ලිපියකිනි. මේ ලිපිය ජාතික සංහිඳියාව: ශ‍්‍රී ලංකාවේ සහ දකුණු අප‍්‍රිකාවේ අත්දැකීම් යන කුඩා පුස්තිකාවෙහි ඇතුළත් වේ. ෆෝරම් ෆෝ ඩිමොක‍්‍රසි ඇන්ඞ් ජස්ටිස් නම් සංවිධානය විසින් පළ කළ එය සංස්කරණය කර ඇත්තේ ආචාර්ය මයිකල් ප‍්‍රනාන්දුය. ආචාර්ය උඩගම මෙසේ කියයි:

“මනුෂ්‍ය සන්තානයට රිසි සේ සැරි සැරීමට අවකාශ ඇති විට කැරලි වෙත එළඹීමට ඇත්තේ ඉතා සුළු අවස්ථාවකි. එහෙත් කෲරත්වය සහ මර්දනය මගින් එය සිරකරනු ලබන විට කැරලි ගැසීම් නොවැලැක්විය හැකි බවට පත් වේ. විමුක්තිය රඳා පවතින්නේ ජනතා මතය මත පදනම් වූ දේශපාලන ක‍්‍රමයක් මගින් මනුෂ්‍ය අභිමානය හා නිදහස සහතික කරනු ලැබීම මතය. රාජ්‍ය පාලනය මනුෂ්‍ය ස්වභාවය කෙරෙහි සංවේදී නොවී පීඩාකාරී වන්නේ නම් අපට අසහනය හා කැළඹීම් හැර අන් දෙයක් අපේක්ෂා කළ නොහැකිය. මෙම තීරණාත්මක අවස්ථාවේදී රාජ්‍යය හා ප‍්‍රජාපාලනය ප‍්‍රජාතන්ත‍්‍රකරණයට ලක් කොට ගැනීම අපගේ මුඛ්‍ය ප‍්‍රමුඛතාව බවට පත් කොට නොගන්නේ නම් අපගේ සියලූ ක‍්‍රියා අර්ථශූන්‍ය බව වෙන කවරදාටත් වඩා මම අද විශ්වාස කරමි”

මේ මෙකල ලංකාවේ සිටින විචාරශීලි විශ්වවිද්‍යාල ආචාර්යවරියකගේ ප‍්‍රඥාසම්පන්න වචන වේ. ඇය වැනි අය සිංහල භාෂාවෙන් නිතර නොලියන නිසා අවිචාරවත්වූද රාජ්‍ය කේන්ද්‍රික වූද පිරිසකගේ අදහස් මහජන අවකාශය පුරා පිරී පවතී. රාජ්‍යය යන ආයතනය තිබිය යුත්තේ මහජනයා වෙනුවෙන් නිසා ඒ පිළිබඳ නිරන්තර විචාරාත්මක සම්බන්ධයක් පවත්වා ගත යුතුය යන්න අපගෙන් බොහෝ දෙනෙකුට වැටහෙන්නේ නැත.

ආචාර්ය උඩගමගේ ඉහත ප‍්‍රකාශයේ එන එක යෙදුමක් මගේ සිත තදින් ඇදගනී. එය නම් “රාජ්‍යය පාලනය මනුෂ්‍ය ස්වභාවය කෙරෙහි සංවේදී” විය යුතුය යන්නයි. නිදහස හා අභිමානය පිළිබඳ ආශාව සහ ආවේශය මනුෂ්‍ය ස්වභාවයකි. ඕනෑම මනුෂ්‍යයෙකු තුළ මේ ස්වභාවය පවතින අතර ඊට සංස්කෘතික අනන්‍යතාවද එක් වූ කල ඒඒ සංස්කෘතියට අයත් මිනිසුන් තුළ විවිධාකාරයෙන් මේ ස්වභාවය ප‍්‍රකාශ වේ. ඒ නිසා බහුවාර්ගික රටවල පාලකයන්ට අර මූලික මනුෂ්‍ය ස්වභාවය පිළිබඳ මෙන්ම ඒඒ ජනවර්ගයේ සංස්කෘතික අනන්‍යතාව ගැනද සැලකිලිමත් වන්නට සිදු වේ.

නිදහස හා අභිමානය පිළිබඳ ආවේශය කවර සංස්කෘතික ස්වභාවයක් ගත්තද එය මූලික මිනිස් ආවේශයකි. සිංහල තරුණයන්ගේ කැරලිවලටත් දෙමළ තරුණයන්ගේ කැරලිවලටත් පදනම එකම මූලික මිනිස් ස්වභාවයයි. ඒ නිසා දේශපාලන නැගිටීම ජනවර්ගකරණය කොට හැඳින්වීම වැරදි වැඩකි. එනම් දෙමළ ජනයාගේ නැගිටීමේ මූලික පදනම ඒ අය මනුෂ්‍යයන්වීම මිස දෙමළ අය වීම නොවේ. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් නැගීසිටින්නේ ඒ අය මනුෂ්‍යයන්වීම නිසා මිස ජේවීපි හෝ පෙරටුගාමී වීම නිසා නොවේ. මහාචාර්ය හිරිඹුරේගම සහ එස්බී දිසානායක මේ ශිෂ්‍ය සටන් දකින්නේ ඒවා ජේවීපි වැඩ ලෙසය. මේ දින කීපයේම මා ඝාසා තීරයට ඊශ්ට‍්‍රායල් බෝම්බ හෙලීම ගැන අල්ජසීරා සහ බීබීසී වාර්තා නැරඹුවෙමි. ඊශ්ට‍්‍රායල් නායකයන් හමාස් කැරලි විස්තර කරන්නේ ඔවුන් මුස්ලිම්වීම නිසා ඇතිවන්නක් හැටියටය. පලස්තීනයේ මුස්ලිම් වෙනුවට ක‍්‍රිස්තියානි අය සිටියත් එවැනි නැගිටීමක් කරන්නට පසුබිම ඇති බව ඔවුන්ට පෙනෙන්නේ නැත.

නිදහස්කාමය මුලික මිනිස් ගතියකි. එය ඉතා ප‍්‍රගතිශීලි මිනිස් ගතියක්ද වේ. මිනිස් සමාජය ඉදිරියට ගෙනගොස් ඇත්තේ නිදහස් කාමයයි. නිදහස පිළිබඳ ආශාව ”කාමයක්” නිසි ඒ නිදහස පාලනය කරන ආයතනයක් හැටියට රාජ්‍යය ඇති විය. රාජ්‍යය ඒකපුද්ගල මිනිසාගේ සීමාන්තික නිදහසේ සීමාව සලකුණු කරන ආයතනයක් වුවත් ඒ ආයතනයට මිනිස් නිදහස ආක‍්‍රමණය කරන්නට ඉඩ දිය යුතු නැත. රාජ්‍යය සහ මිනිස් නිදහස අතර සංතුලනය පිළිබඳ සජීවී කතිකාවක් පැවතීම ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජවල අවශ්‍යයෙන්ම තිබිය යුතුය. මේ කාරණය පිළිබඳ අපූරු පොතපත දේශපාලන දර්ශන ඉතිහාසයේ ලියැවී තිබේ. නිදහස පිළිබඳ මිනිස් ආශාව සම්පූර්ණයෙන්ම මර්දනය කිරීමට, එය දුටු තැන සැක කිරීමට රාජ්‍යයට ඉඩ දිය යුතු නැත. අනෙක නිදහස පිළිබඳ මිනිස් ආශාව පාලනය කරන එකම ආයතනය රාජ්‍යයද නොවේ. සංස්කෘතිය, ආගම ආදියද එය කරයි. සාහිත්‍යයද එය කරන බව මැතිව් ආනෝල්ඞ් තර්ක කළේය. මිනිස් තර්ක බුද්ධිය නිසා ඇති වන ප‍්‍රබුද්ධත්වයද මිනිසා හික්මවයි. රාජ්‍යයට ඒ සියලූ අඩවිවලට පැන මිනිසාට සීමා මායිම් පැනවීමට රාජ්‍යයට ඉඩ දිය යුතු නැත.

අපි ආපහු ආචාර්ය උඩගමගේ ලිපියට යමු. ඇය සිය ලිපියේ නෙල්සන් මැන්ඩෙලාගේ නායකත්වයෙන් දකුණු අප‍්‍රිකාවේ සිදු වූ පරිවර්තනය සාකච්ඡුා කරයි. වර්ණභේදවාදය පරදා මැන්ඩෙලාගේ අප‍්‍රිකානු ජාතික කොංග‍්‍රසය ජයගත් විට දකුණු අප‍්‍රිකාව පුරා ජයකෙහෙලි නංවමින් කලූ ජාතික බලය නොපෑවේය. එසේ කිරීමට හැකි වූයේ එය කලූ රාජ්‍යයක් නොව විවිධ වර්ණයෙන් සැදි දේදුණු රාජ්‍යයක් සේ සකසන්නට එහි දේශපාලන නායකයන්ට ප‍්‍රඥාව තිබුණු නිසාය. කලින් පීඩයකයන්ව සිටි සුදු ජනතාවගේ පරම්පරා පිටින් රාජ්‍යයේ පීඩනයට යට කොට තැබීම නියමු ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යකරණය නොවේ. නිදහස් කාමය මනුෂ්‍ය ස්වභාවයක් බව කලූ ජාතික දීර්ඝ කාලින මර්දනයක් විඳ වටහාගෙන සිටියහ. එවැනි තත්වයකට සුදු ජාතිකයන් පත් කිරීම යනු ඔවුන්ගේ මනුෂ්‍ය ස්වභාවය නොසලකා හැරීමකි. කවදා හෝ ඊ ළ`ග ශිංසන චක‍්‍රයක පැන නැග්මට පදනම දැමීමකි.

නව දකුණු අප‍්‍රිකානු රාජ්‍යය හමුවේ අභියෝගයක් තිබිණ. ඒ පළිගැනීම වෙනුවට අවබෝධය ඇති කරගැනීමය; පළිගැනීම වෙනුවට ප‍්‍රතිසංස්කරණය ඇති කර ගැනීමය. සියලූ දෙනාම ඇතුළත් කරගන්නා රාජ්‍ය ව්‍යූහයක් හා සමාජයක් ගොඩ නැගීමය. එහිලා හුදෙක් බටහිර ප‍්‍රජාතන්ත‍්‍රවාදී සංකල්ප මතම රඳා නොසිට දකුණු අප‍්‍රිකානු සාම්ප‍්‍රදායික ඥාන සම්භාරයෙන් ගත් සංකල්පද යොදා ගැනිණ. “උබුන්ටු” යනු එවැනි සංකල්පයකි. එය සහනුකම්පික මානුෂවාදය හා සහජීවනය අ`ගවන සංකල්පයක් බව පෙනේ.

අපටද එවැනි සංකල්ප අපමණ ඇත. එහෙත් අපි ඒ ආචාරධාර්මික ඥාන කෝෂ්ඨාගාරයෙන් පමණක් නොව නූතන ප‍්‍රජාතන්ත‍්‍රවාදී හරයයන් වෙතින්ද ඈත් වෙමින් සිටිමු. අපේ දේශපාලන නායකයන් බුදු දහම වැනි ඥාන කෝෂ්ඨාගාර වෙත යන්නේ සිංහල බෞද්ධයාගේ අනන්‍යතා අ`ගවන සංකේත උපුටා ගන්නට මිස ආචාරධාර්මික තර්කනයන් සොයා ගන්නට නොවේ. මෙය ලංකාවේ වසන කණ්ඩායම්වලටද අදාළ දුර්වලකමක් බව දැන් දැන් පෙනේ.

Print Friendly, PDF & Email

Latest comment

  • 0
    0

    Dear Mr. Amarakeerthi,

    Pl do some research and write an article on maturity of Sri Lankans (and Ceylonese) in politics since 1948. Dr. Deepika Udagama’s comment on ANC not feasting to enforce Black Power after Nelson Mandela defeated apartheid forms the basis for looking at Sri Lankan politics since 1948.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.