26 April, 2024

Blog

උතුරේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රවාහයට එල්ල වන රුදුරු තර්ජන

ලීන් ඔකේර්ස්

ඉතිහාසයේ පාඩම් අමතක කෙරෙමින් තිබේ. ආසන්න වශයෙන් හැත්තෑව දශකයේ මැද භාගයේ සිට එක දිගටම මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රීය ආයතනවල ගෙල මිරිකා පතුරු ගැසීමත්, දේශපාලන තගරිය සහ හිංසනය තථ්‍යාකාරයෙන්ම ආයතනගත වීමත්, වසර තිහක් තිස්සේ ශ‍්‍රී ලංකාව ලෙයින් නැහැවූ යුද්ධයට ප‍්‍රබල ආකාරයෙන් දායක වු සාධක වශයෙන් හඳුනාගත හැක. එසේම, දේශපාලන නිදහස දිනාගත් දා පටන්, දකුණුදිග ශ‍්‍රී ලංකාවේ වර්ගවාදය අතුගා දැමීමට කිසිවක් නොකළ මේ රටේ බලය හෙබැවු ආණ්ඩු සහ දේශපාලනික ප‍්‍රභූන් සමග දීගකන්නට රටේ ජනයාට සිදුවීම තවත් අබග්ගයකි.

අනිත් පැත්තෙන්, බෙදුම්වාදයෙන් ඉවත් නොවී, බලයේ රැුඳී සිටීම සඳහාම ‘වාර්ගික තුරුම්පුව’ පාවිච්චි කළ ඇතැම් උතුරු නැගෙනහිර දේශපාලන ව්‍යාපාර ද, මේ ප‍්‍රශ්නය උග‍්‍ර කිරීමට දායක විය. මේ ඛේදනීය දේශපාලන ප‍්‍රවණතාවන්ගේ අවසාන ප‍්‍රතිඵලය වුණේ, චිරාත්කාලීන ලේ ගැලීමක් සහ නිරන්තර අන්තර්=රාජ්‍ය ආරාවුලක් ඇවිලවීම යි.

මුස්ලිම් ප‍්‍රජාවට සහ ඔවුන්ගේ ව්‍යාපාරික ප‍්‍රජාවට එරෙහිව ඇතැම් කොටස් මගින් මෙහෙයවනු ලබන වර්තමාන හිංසන රැුල්ලත්, මෑත දී දෙමළ ජාතික සන්ධානය මගින් කිලිනොච්චියේ දී කැඳවා තිබූ ප‍්‍රචාරක රැුලියක් දේශපාලනික මැර කල්ලි විසින් කඩාකප්පල් කරනු ලැබීමත් සිහියට නංවන්නේ, විශේෂයෙන් හැත්තෑව දශකයේ මැද භාගයේ සිට අද දක්වාමත් අප සමග වෙසෙන පෙර කී බියකරු සමාජ දේශපාලනික විකෘතීන් සහ අක‍්‍රමිකතා පිළිබඳ මතකයයි.

මුස්ලිම් රෙදි සාප්පු නොහික්මුණු ආකාරයෙන් විනාශ කරමින් ඒවායේ බඩු භාණ්ඩ මහ පාරට වීසි කෙරෙමින් දිග හැරෙන දර්ශනය යම් තාක් අඩු ලංසුවකින් වුව මට මතක් කරවන්නේ, මැරවර කල්ලි පාරට බැස දෙමළ ජනයා සහ ඔවුන්ගේ දේපළ විනාශ කළ 1983 කළු ජුලියේ ප‍්‍රතිරාවයකි. එදා මෙන්ම අද ද, ආණ්ඩුව ඉන්නේ අහක බලාගෙන ය.

ඊළඟට බලයට පත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ සෑම ආණ්ඩුවක්ම හඳුන්වන ලද පරිදි, 1977 එක්සත් ජාතික පක්ෂයේ 17 වසරක පාලන කාලය තුළ පෙර නොවූ විරූ ආකාරයෙන් මහත්මා දේශපාලනය සාපරාධී වූ තත්වය ‘දීර්ඝ හොරියක්’ සහ දිලීරයක් වශයෙන් ජනපි‍්‍රය වේදිකාවේ දී හැඳින්වීම සාධාරණ වෙතත්, එසේ උරුම කරගත් දේශපාලනික සහ සමාජයීය මඩ ගොහොරුවෙන් ගොඩ ඒමට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ පාලකයන් වර්තමානයේ කරන්නේ කුමක් ද යන්න ප‍්‍රශ්නයකි.

උතුරේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රියාවලිය පෝෂණය වන බවට වගබලා ගැනීමට රාජ්‍යය බැඳී සිටී. දෙමළ ජාතික සන්ධානයේ කිලිනොච්චි රැුලියේ කඩාකප්පල්කරුවන් නීතිය ඉදිරියට පැමිණවීමටත්, එම පළාතේ වෙසෙන ජනයාගේ දේශපාලන අයිතීන් සුරක්ෂිත කිරීමටත්, සමස්ත රටේ ප‍්‍රජාතන්ත‍්‍රීය උරුමය රැුක ගැනීමට බැඳී සිටින ආකාරයෙන්ම, ආණ්ඩුව බැඳී සිටී. එසේ නොකරන්නේ නම්, මේ රටේ ප‍්‍රජාතාන්ත‍්‍රික ආයතන කඩාඉහිරවීම වේගවත් කිරීමේ වරදට ඔවුහූ වැරදිකරුවෝ වෙත්. කිලිනොච්චියේ කඩාකප්පල්කාරී ක‍්‍රියාව තුළ රාජ්‍ය ආයතන නොසිටියා විය හැකිය. එහෙත් වරදකරුවන් නීතිය ඉදිරියට පැමිණවීම ආණ්ඩුවේ වගකීමකි. එය ද, උපරිම වේගයෙන් කළ යුත්තකි.

යාපනේ පුස්තකාලය ගිනි තැබීම සහ දිස්ත‍්‍රික් සංවර්ධන සභා මැතිවරණ කඩාකප්පල් කිරීම වැනි අන්තයන් වෙත එදා අර්බුදය මෝරා ගියේ, දේශපාලන පාදඩකම් සහ තගරිය මැඩලන්ට හැත්තෑව දශකයේ මැද භාගයේ සිටම ලංකා රාජ්‍යය අසමත් වීම නිසා ය. එවැනි අඳුරු වර්ධනයන්, උතුරු=නැගෙනහිර නොපනත්කම් වේගවත් කොට 1983 යෝධ ජුලි විනාශයට පාර කැපුවේය.

එබැවින් අපේ සාමූහික අමතකයට නැවත වරක් අප යට විය යුතු නැත. ඉතිහාසයේ පාඩම් නොසළකා හැරීම විනාශයට අතවැනීමක් බව තේරුම්ගත යුතුය. නොපනත්කම්, දේශපාලනික චණ්ඩිකම් සහ ප‍්‍රචණ්ඩත්වය වහා අතුගා දැමිය යුතුව තිබේ. වැරදිකරුවන් නීතිය ඉදිරියට පැමිණවීම ප‍්‍රමාද වන තරමට එය රාජ්‍යයට ආරෝපණය කරගන්නා නරක නාමයකි. දේශීය වශයෙන් සහ ජාත්‍යන්තර වශයෙන් රාජ්‍ය විරෝධී සහ කඩාකප්පල්කාරී ක‍්‍රියාවන්හි නිරත වන්නන්ට ඒ මගින් සැලසෙන්නේ අගනා අවස්ථාවකි.

එසේම, අප අතරින් ආගමික සහ ජාතිවාදී අන්තවාදයන් මුලිනුපුටා දැමීමත් ආණ්ඩුවේ වගකීමකි. මේ භයානක ප‍්‍රවණතාවන් රජය ඉවසන්නේ නැති බව පැහැදිළිව පළ කළ යුතුය. එහෙත් එම කාර්යයට ආණ්ඩුව ප‍්‍රමුඛත්වය දෙන බවක් මේ දක්වා දකින්නට නැත. එසේ සීතිම වරදක් නම් එය ඔප්පු කොට පෙන්විය යුත්තේ ද ආණ්ඩුවමයි. ආරම්භයක් වශයෙන්, මෙවැනි අන්තවාදයන් තහනම් කෙරෙන නීති පැනවිය නොහැකි ද? ඊට අදාළව අද පවතින නීති ක‍්‍රියාත්මක කළ නොහැකි ද?

උතුරේ පළාත් සභා ඡුන්දය නිදහස් හා සාධාරණ අන්දමින් පැවැත්වීම රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සෞඛ්‍යයට හිතකර තවත් වැදගත් කාරණයක් වශයෙන් සැළකිය යුතුය. තමන් උතුර සංවර්ධනය කොට ඇතැ යි යන සටන් පාඨය යටතේ එක්සත් ජනතා සන්ධාන ආණ්ඩුවට එම මැතිවරණය තරග කොට, බෙදුම්වාදී ප‍්‍රවණතා තවම ඇතොත් ඒවා ද එවිට පරාජය කළ හැකි වන්නේය. මේ කාරණයේ දීත්, අතීතයේ කළ වැරදි ඉතා නරක ප‍්‍රතිවිපාක කෙරෙහි පාදක වන බව මතක තබාගත යුතුය. උතුරේ පවතින සෑම දේශපාලනික ප‍්‍රවණතාවකටම තරග කිරීමට අවස්ථාව තිබිය යුතු අතර, එසේ නොවුණහොත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රියාවලිය දුර්වල වී, අතීතයේ දී සිදුවූවා සේ, ඇතැම් දේශපාලනික මත රහස් ව්‍යාපාර තුළ ගොනුවීමට ඉඩ ඇත. ප‍්‍රජාතන්ත‍්‍රවාදී විපක්ෂ දේශපාලන බලවේග සමග සාධනීය ගනුදෙනුවකට යාමට ඇති අවස්ථාව එසේ මගහැරීම නිසා එවැනි වර්ධනයක් ජාතියේ අයහපතටම හේතුවක් වෙනු ඇත.

*2013 අපේ‍්‍රල් 02 වැනි දා ‘දි අයිලන්ඞ්’ පුවත්පතේ පළවූ  Ominous Threat to Democratic Process in North ලිපියේ සිංහල පරිවර්තනය  ‘යහපාලනය ලංකා’ 

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.