19 September, 2019

Blog

අයාලේ ගිය විජයග‍්‍රහණයක් සැමරීම

එම්. ඒ. සුමන්දිරන්

පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්. ඒ. සුමන්දිරන්

‘‘සත්‍යය පැවසිය යුතුය. අවසානයේ දී සියල්ලන්ව නිදහස් කරනු ලබන්නේ සත්‍යයෙනි. එහෙත්, සත්‍යය පැවසීම සඳහා ආකල්පමය වෙනසක් අවශ්‍ය කෙරේ.’’ යනුවෙන්, පළමු වරට පාර්ලිමේන්තුව ඇමතූ අවස්ථාවේ මම කීවෙමි. ඉන් තෙවසරක් ගතව ඇති අද වන විටත් ඒ ආකල්පමය වෙනස පෙනෙන්ට නැත. ඒ වෙනුවට අපට දකින්ට ලැබුණේ, විධායකය තුළ බලය කොටු කර ගැනීමට සහ කේන්ද්‍රගත කර ගැනීමට ගත් ප‍්‍රබල ප‍්‍රයත්නයන් ය. විසම්මුතිය වනසන්නට ගත් දැඩි උත්සාහයන් ය. සාධාරණත්වය ඉල්ලා කෙරෙන මැදිහත්වීම්= පුරවැසියන්ගෙන් වේවා, විපක්ෂයෙන් වේවා, ජාත්‍යන්තරයෙන් වේවා= නොතකා හැරීම් ය. යුක්තිය, සංහිඳියාව සහ සත්‍යය සෙවීමේ නිරත වෙනු වෙනුවට, මේ රට, නීතියේ ආධිපත්‍යයත්, ප‍්‍රජාතන්ත‍්‍රීය ආයතනවල ස්වාධීනත්වයත් කෙලසීම කෙරහිම අනවරතයෙන් යෙදී සිටී.

සත්‍යය සහ යුක්තිය යනු, සංහිඳියාවේ පෘථුල කාර්යාවලියේ අත්‍යාවශ්‍ය අංගයන් ය. ඉතාම සරළ අර්ථයෙන් ගත් විට, සංහිඳියාව යනු, වෙනස්කම් සමනය කර ගැනීමයි. එය, අවබෝධය සහ සත්‍යය පිළිගැනීම හරහා ඇරඹෙන ක‍්‍රියාවලියකි. සංහිඳියාව ඇති කිරීම සඳහා රටේ දේශීය යාන්ත‍්‍රණයක් ඇති කෙළේය යන්න තුළම පිළිගැනෙන්නේ, ජන ප‍්‍රජාවන් පරාරෝපණය වී තිබුණු බවයි. එය, සමාජමය සහ ආර්ථික වෙනස්කම් මත පමණක් නොව, ආරක්ෂාව සහ යුක්තිය ඉල්ලා සිටීම මැඩලීමත් නිසා ඇති වූ පරාරෝපණයකි. ‘අනිකා’ පිළිබඳ රූපකය නංවන අසමානතාව එහි තිබුණි.

මෙවැනි ප‍්‍රශ්න බොහොමයකට ආමන්ත‍්‍රණය කිරීම සඳහා පිහිටුවන ලද ‘උගත් පාඩම් හා සංහිඳියා කොමිසම’, එහි මොන අඩුපාඩුකම් තිබියේ වී නමුත්, යුක්තිය සහ ජාතික සංහිඳියාවට එරෙහිව පවතින ආයතනික බාධක ගණනාවක් හඳුනාගත්තේය. කෙසේ වෙතත්, දේශීය වශයෙන් පිහිටුවන ලද එම කොමිසමේ නිර්දේශ පවා පාලකයන් විසින් චකිතයෙන් යුතුව ප‍්‍රතික්ෂේප කෙරුණි. ජාතීන් අතර ඇති වෙනස්කම් සහ අසමානතා නොපිළිගෙන, මොනම සංහිඳියා ක‍්‍රියාවලියකවත් නිරත විය නොහේ. සැබෑ සංහිඳියාව යනු, එම වෙනස්කම් සහ අසමානතා සමනය කිරීමයි. සෑම පුරවැසියෙකුගේම සමානාත්මතාව ආරක්ෂා කෙරෙන, භෞතික සහ භාවමය ආරක්ෂාව සුරක්ෂිත කෙරෙන සහ ඔවුන්ගේ ජීවිතවල ගෞරවය රැුකදෙන සාධනීය පියවර ගැනීම ඊට අවශ්‍ය කෙරේ.

යුද්ධයෙන් පීඩාවට පත් බොහෝ දෙනාගේ භාවමය රැුකවරණය රඳා පවතින්නේ ඔවුන්ගේ හිතෛශීන්ට කුමක් වී දැ යි ඔවුන්ට දැන ගැනීමට අවකාශ ඇති තරමටයි. සත්‍යය සෙවීමට අසමත් වීම හේතුවෙන්, අවදියෙන් සිටින සෑම මොහොතකම ඔවුන් විඳවන ඒ ඛේදය නිමාවකට පත් නොකෙරෙන තාක් කල් නිර්මාණය කෙරෙන්නේ, ස්වකීය ජීවිත ඉදිරියට ගෙනයාමෙහි අසමත්, ගන්ධබ්බ ජීවිත සහිත ජන ප‍්‍රජාවකි. ඔවුන්ගේ උවමනා එපාකම් සොයා බලමින් ඔවුන්ට පිළිසරණ වීමට අපට වගකීමක් ඇති අතර, එම ප‍්‍රශ්න විසඳිය හැකි යාන්ත‍්‍රණයක් සම්පාදනය කිරීමට, ඊටත් වඩා වගකීමක් ආණ්ඩුවට ඇත. මේවා, යටිතල සංවර්ධනය මාර්ගයෙන් හෝ ඉඳහිට සැපයෙන සිල්ලර සුභසාධනයකින් හෝ සැපිරිය හැකි නොවේ. අපේ ජන ප‍්‍රජාවන් මුහුණදෙන විෂමතා සැලකිල්ලට නොගෙන කෙරෙන සංවර්ධනය තුඩුදෙනු ඇත්තේ, තව තවත් අපේක්ෂා භංගත්වයට සහ අසහනයටම පමණි.

එසේම, බෙදාහදා ගත හැකි බහු-වාර්ගික අනන්‍යතාවක් ගොඩනැංවීම ද, සංහිඳියාවට අයත් ය. සමානාත්මතාව, ඒ සඳහා අත්‍යාවශ්‍යයි. වාර්ගිකත්වය මත සැළකීමේ වෙනස්කම් වෙතොත්, බෙදාහදාගත හැකි අනන්‍යතා ගොඩනැංවීමක් කළ නොහේ. ඒ තාක් දුරට, සංහිඳියාව යනු, අභ්‍යන්තර කටයුත්තක් වන්නේය.

මීට වසර හතරකට පෙර මැයි 18 වැනි දා යුද්ධය අවසන් වූ සැණින් දැනුණු සහනයේ ප‍්‍රථම හැඟීම, ලේ හැලීම අවසන් ය යන්නයි. තමන්ගේ ජීවිතය සහ නිසි අභිමානයෙන් යුතුව නැවත ජීවිත ගොඩනගාගත හැකි ය යන දීර්ඝ කාලීන අපේක්ෂාව ද ඒ සමග විය. එහෙත්, ගිය සෙනසුරාදා සැමරූ ජයග‍්‍රහණය තුළ තිබුණේ එයින් පළමුවැන්න පමණි. ආරක්ෂාව යනු යුද්ධයක් නැති කම පමණක්ම නොවේ. ආහාරපාන, රැුකියා සහ නිවෙසක් ආදිය තිබීමේ භෞතික සමෘද්ධිය ද ඊට අයත් ය. ඒවායින් තොරව ජීවත් වීමේ සතුට ජනතාවක් කෙසේ නම් භුක්ති විඳින්න ද? නිදහස් දා සැමරුම් තුළ, යුද්ධයෙන් පීඩාවට පත් ජීවිතවල අභිමානය සුරක්ෂිත කළ බවට සාක්ෂි නොවිණ. යුද්ධයෙන් ඇති වු තුවාල සුව කර ගැනීම සඳහා සත්‍යය දැන ගැනීමේ සාර්ථක යාන්ත‍්‍රණයක් ඇති බවට සාක්ෂියක් එම සැමරුම් තුළ නොවිණ. ඊටත් වඩා, නිදහස පිළිබඳ කිසි සඳහනක් නොවිණ. ලොකුම ජයග‍්‍රහණය වශයෙන් පෙන්නුම් කෙරුණේ, දැන් යුද්ධයක් නැති බව පමණි. මේ අතර, උතුරේ මියගියවුන් සිහිපත් කිරීම වෙනුවෙන් සංවිධානය කළ අවස්ථා, ආණ්ඩුවේ මාධ්‍යවලින් ගර්හාවට ලක්කිරීම අවාසනාවන්ත තත්වයක් බව කිව යුතුය. සියළු වින්දිතයන් කෙරෙහි වන සහෝදරත්වය සහ අනුකම්පාව පළ කෙරෙන ශෝක දිනයක් ප‍්‍රකාශයට පත්කළ යුතු බව ‘උගත් පාඩම් හා සංහිඳියා කොමිසමෙනුත්’ නිර්දේශ කොට තිබිය දී, එසේ වීම තවත් කණගාටුදායක ය. එය, එක පාර්ශ්වයක ජයග‍්‍රාහී මානසිකත්වය පිළිඹිබු කළ සැමරුමක් පමණක් විය. එක්තරා අර්ථයකින් ගත් කල, එය අයාලේ ගිය ජයග‍්‍රහණයකි. ඒ අනුව, මේ රටේ වෙසෙන ප‍්‍රජාවන් අතර තවත් වෙනස් කම් ජනිත කරවන අවස්ථාවකි.

‘මානුෂික ජයග‍්‍රාහී දිනයක්’ වශයෙන් උඩ දැමූ මේ උත්සවය විමසා බැලිය යුත්තේ, පවතින යථාර්ථය පසුබිමේ තබාගෙන ය. යම් කිසි ප‍්‍රජාවක්, රටේ ව්‍යවස්ථාවෙන්ම ආරක්ෂා කර දෙන ලද තමන්ගේම භාෂාවෙන් රටේ ජාතික ගීය ගැයීම වළක්වනු ලබන ‘මානුෂික ජයග‍්‍රහණය’ කුුමන ජයග‍්‍රහණයක් ද? දරුවන් සහ සැමියන් අහිමි වූ දහස් ගණන් මව්වරුන් සහ බිරියන් ඉදිරියේ, කිසිවෙකු අතුරුදහන්ව නැති බවට අවිනීත ප‍්‍රකාශ කරනු ලබන්නේ, කුමන මානුෂික ජයග‍්‍රහණයක හයියෙන් ද? තමන්ගේ අහිමි වූවන් පිළිබඳ තොරතුරු කතා කිරීමට මේ කාන්තාවෝ අද පවා බිය වෙති. දෙමළ කතා කරන දහස් ගණන් ජනයාව, අක්කර 6000 ක් පමණ වන ඔවුන්ගේ ඉඩම්වලින් පලවා හැරීම, කුමන මානුෂික ජයග‍්‍රහණයකට ගැලපෙන්නක් ද? දිග් ගැස්සුණු යුද්ධයක විනාශය තුළ තමන්ගේ සක‍්‍රීය ජීවිතවලට අයත් බොහෝ දේවල් අහිමි කරගත් සහ යුද්ධයත් අවසන්ව වසර හතරකින් පසුව තවමත් තමන්ගේ ජීවිත ගොඩනගා ගැනීමට පොරබදන ජනතාවක් තුළ මේ යථාර්ථයන් විසින් ඉතිරි කරනු ඇත්තේ, බිය සහ අනියත අස්ථාවරත්වයම පමණි.

සැබෑ සංහිඳියාවක් ඇති කර ගැනීම සඳහා තිබුණු අවස්ථා ප‍්‍රයෝජනයට ගැනීමට ශ‍්‍රී ලංකාව අපොහොසත් වී තිබේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මානව හිමිකම් ආරක්ෂාව සහ සංහිඳියාව සඳහා රටේ නායකත්වයක් නැත. සිදුවන්නේ එහි අනිත් පැත්තයි. සත්‍යය වසං කිරීමත්, පුරවැසියන්ව ආරක්ෂා කිරීම සහ ඔවුන්ගේ ජීවිත නගා සිටුවිම, විශේෂයෙන් අවතැන් වූ ප‍්‍රජාවන්ගේ ජීවිත නගා සිටුවීමට අසමත් වීම, ජන ප‍්‍රජාවන් අතර සැකය සහ නොසන්සුන්තාව උග‍්‍ර කෙරීමට තුඩුදී ඇත. මෙය, වෙනත් උවමනා එපාකම් නිසා මිස නිසි කළමනාකාරීත්වයක් නැතිකම හෝ දුෂ්ට චේතනාවක් නිසා හෝ සිදුවන්නක් නොවේ. එම උවමනා එපාකම් කවරේ ද යන්න, 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම සහ අර්ථවත් ආකාරයකින් බලයක් බෙදා හැරීමට ඇති නොසූදානම තුළින් පෙන්නුම් කෙරේ. තවද, මාධ්‍ය පාලනය හරහා විපක්ෂය මැඩලීම, දෝෂාභියෝගය, දේශපාලන විරුද්ධවාදීන් අත්අඩංගුවට ගැනීම සහ ‘ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත’ හරහා ඇති කරවනු ලබන භීතිය ආදිය තුළින් ද පෙන්නුම් කෙරේ. එය, ඒවායේ කර්කශ ප‍්‍රතිඵලවලින් කවදත් විඳවන සුළු ජාතීන් සඳහා පමණක් නොව, අවසානයේ දී බහුතරයේ අභිවෘද්ධියට ද වළ කපන, පටු වැඩවසම් අවශ්‍යතාවකි.

*2013 මැයි 28 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ Celebrating A Victory That Has Lost Its Way ලිපියේ සිංහල පරිවර්තනය  ‘යහපාලනය ලංකා’ 

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    0

    අපේ රටේ තිස් වසරක් තිස්සේ තිබුන ත්‍රස්තදවාදය , ඒ වගේම එකෙන් දහස් ගණනක් මිනිස්සුන්ගේ ජීවත අහිමි උන බව අපි කාටත් රහසක් නොවේ.ඇති ගරු ජනාදිපති තුමා මුලික ප්‍රමුක අපේ හමුදාවේ නායකත්වයෙන් එය අවුරුදු තුනක් ඇතුලත අපේ රටෙන් සදහටම තුරන් කරන්න හැකි වුණා. අපේ රටේ ගොඩක් දේවල් යුද්දය නිසා අපිට අහිමි වුණා. ඒවා නැවත ගොඩනගන්න කාලයක් ගත වෙනවා. නායකතුමාට පමණක් එය තනිව කල නොහැකි. එතුමාට අපගේ ද සහයෝගය අවශ්‍යයි.එවිට හැකි ඉක්මනින් අපේ රට සවර්දිත රටක් වෙනවා නොඅනුමානයි

  • 0
    0

    යුද්ධය අවසන් වූ පමණින්ම සියල්ලම එකවර සංවර්ධනය කීරීම කල හැකිද ?රටේ සීග්‍රයෙන් සිදු කරන සංවර්ධනය මොවුන්ට නොපෙනේද ?

  • 0
    0

    අපේ රටේ අභිත රණවිරුවන් දින දුන් මේ නිදහස මේ වගේ හැල්ලුවට ලක් කරන මිනිස්සුත් මේ රටේ ඉන්නවනේ ???ඉතින් කොහොමද රටක් දියුණු වෙන්නේ ??? අයාලයේ යන්නේ අපේ විජයක්ග්‍රහණය නෙමේ මේ වගේ මිනිස්සු

Leave A Comment

Comments should not exceed 300 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically shut off on articles after 10 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.