25 April, 2024

Blog

කැසිනෝ සැණකෙළිය

එම්. ඒ. සුමන්දිරන්

එම්. ඒ. සුමන්දිරන්

කොළඹ නගරයේ කැසිනෝ සූදුව ස්ථාපිත කරනු වස් අවශ්‍ය කළ රෙගුලාසි සම්මත කර ගැනීම ආණ්ඩුව විසින් කල් දැමීම විශාල සහනයකි. ආණ්ඩුවේ ප‍්‍රධාන පාර්ශ්වකරුවන්ගේ සහ ජනතා විමුක්ති පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂයේ විරෝධය මධ්‍යයේ, අපේ සමාජයටත් ආර්ථිකයටත් විනාශයක් විය හැකිව තිබූ ක‍්‍රියාවක් එසේ ආපස්සට ගැනීම හැර වෙන විකල්පයක් පාලකයන්ට තිබුණේ නැත.

කෙසේ වෙතත්, පවතින උණුසුම බැස යාමෙන් පසු මෙම පනත නැවත ගෙන ඒමක් සිදු නොවෙතියි යන්නට මෙය සහතිකයක් නොවේ. මීට පෙර මේ ආකාරයෙන්ම මුලදී විරෝධයට ලක්වූ ඇතැම් ආණ්ඩුවේ අභිප‍්‍රායයන් අවස්ථාවක මහජන උනන්දුව බැස යාමෙන් පසු ආණ්ඩුව මුදුන්පත් කරගෙන තිබේ. ඒ නිසා, කැසිනෝ සර්කසය ඉදිරියටත් පවතින්නට පුළුවන.

එසේ හෙයින් මේ ගැන තවදුරටත් සොයා බැලිය යුතුව තිබේ. සූදුව විනෝද ක‍්‍රියාවක් වශයෙන් සළකන්නේ නම්, එය එක විට ලොකු මුදලක් හරිහම්බ කර ගැනීම සඳහා කරන ක‍්‍රීඩාවක් වශයෙන් සරළ අර්ථයකින් හැඳින්විය හැකිය. සමහරුන්ට, ක‍්‍රීඩාවට සහභාගී වීමම සමහර විට විනෝදය ගෙන දෙන්නකි. එහෙත් අනිත් අයට ඒ වූ කලී යමක් අළුතෙන් හිමි කර ගැනීම හෝ තිබෙන දෙයත් නැති කර ගැනීම පිළිබඳ ප‍්‍රශ්නයකි. තවත් සමහරුන් මෙය සළකන්නේ, ක්ෂණික ධනයක් ඉතා පහසුවෙන් උපයාගත හැකි නොවරදින මාර්ගයක් වශයෙනි. ඒ ආකාරයෙන්ම තිබෙන දෙයත් නැති වීමට ඇති අවකාශය මේ අය බැහැර කරත්. අවදානම සහ හානිය පිළිබඳ අඩමානය, යමකට ඇබ්බැහි වූ විට නොපෙනී යයි. එවිට කෙනෙකු උගුලට හසුවන්නේ තමන් නොදැනුවත්වමයි. ‘‘සැණෙකින් උපයන ධනය ක්ෂය වන්නේ’’ යැයි බයිබලයේ එන නැණවත්තු අපට අනතුරු අඟවති. මහන්සියකින් තොරව ගලා එන ධනය වැඩි කල් නොරැුඳෙන බව එහි අදහසයි.

සූදුව ඇබ්බැහියක් විය හැකි බව අමතක නොකරන්න. ඒ නිසා දුම්බීම සහ මත්පැන් පානය සමග සූදුව ද බොහෝ ආගම් විසින් හෙළාදැක තිබේ. සමහරුන් මෙය සළකන්නේ සමාජයක් විසින් නොඉවසිය යුත්තක් වශයෙනි. කෙනෙකු අදහස ආගම කුමක් වෙතත්, ඉහත සඳහන් ක‍්‍රියාකාරකම්වලින් යමෙකු අන්තයට ගිය විට හානියක්ම සිදු කරගන්නා බව පොදුවේ පිළිගැනේ.

අධික දුම්පානය, මත්පැන් සහ සූදුවට ඇබ්බැහි වීම, පුද්ගල තේරීමක් පිළිබදව නිදහස සම්බන්ධයෙන් මිස, වෙනත් ආකාරයකින් යුක්ති සහගත කිරීමට බලන කෙනෙකු වෙතොත් ඒ කලාතුරකිනි. දුම්පානය සහ මත්පැන් පැත්තකින් තිබ්බොත්, සූදු පොළවල් ආසන්නයේ ඇති විට සූදුවට ඇබ්බැහි වීමේ වර්ධනයක් දක්නට ලැබෙන බව පර්යේෂණවලින් පෙන්වා දී තිබේ.

‘කොමියුනිටි රිසර්ච් පාට්නර්ස්’ ආයතනය මගින් 2010 දී නිකුත් කරන ලද පර්යේෂණ වාර්තාවක් මෙසේ සඳහන් කරයි:

‘‘චිකාගේ සරසවියේ ‘නැෂනල් රිසර්ච් ඔපීනියන් සෙන්ටර්’ ඇස්තමේන්තුවලට අනුව, ඇමරිකාවේ වැඩිහිටියන්ගෙන් සියයට 1.2 ක් ජීවිත කාලයම සූදුවෙන් රෝගී වූවන් (සූදු අන්තුවන්) ය. තවත් සියයට 1.5 ක්, සූදුව ප‍්‍රශ්නයක් කරගත අයවළුන් ය. කැසිනෝ මධ්‍යස්ථාන තිබීම සහ සූදුව නිසා හටගන්නා ප‍්‍රශ්නවල වර්ධනය අතර සම්බන්ධයක් ඇති බව විවිධ අධ්‍යයන වාර්තා පෙන්වා දෙයි. ඒවාට අනුව, කෙනෙකුගේ නිවසින් සැතපුම් 50 ක් ඇතුළත කැසිනෝ සූදු පොළක් පැවතීම, සූදුව ඇබ්බැහියක් කර ගැනීමට ඇති ඉඩකඩ දෙගුණයකින් වර්ධනය කරයි. ඒ අනුව කිව හැක්කේ, සූදුව නිසා යම් ප‍්‍රජාවක් තුළ දැනට පවතින ගැටළුකාරී තත්වය, කැසිනෝ පොළක් විවෘත කිරීමෙන් දෙගුණයක් විය හැකි බවයි.’’

මේ නිසා සූදුව සඳහා වන පහසුකම් පැවතීම, පුද්ගලයෙකුගේ තෝරා ගැනීමේ නිදහස කෙරෙහි බලපෑම් කරනවා පමණක් නොව, ඇතැම් විට එම තෝරා ගැනීමේ නිදහස අවුරන බවක් ද පෙනෙන්ට තිබේ. මන්ද යත්, හානියකින් අවසන් වන ක‍්‍රියාවකට ඇබ්බැහි වීමට කිසිවෙකු ස්වේච්ඡුාවෙන් නොපෙළෙඹෙන බැවිනි. අනිත් අතට, සූදුව හානිදායක බව කවුරුත් දනිති. ඉහත සඳහන් වාර්තාව තවදුරටත් පෙන්වා දෙන පරිදි:

‘‘ව්‍යාධිගත සූදු අන්තුවන් සහ ගැටළුකාරී සූදුකාරයන්, සාමාන්‍ය සූදුකාරයන්ට සහ සූදුවේ නොයෙදෙන අයට වඩා සමාජ සුභ සාධන මත යැපීමටත්, බංකොලොත් වීමටත්, අත්අඩංගුවට පත්වීමට හෝ හිරේ වැටීමටත්, මනෝ විද්‍යා ප‍්‍රතිකාර ලැබීමටත් ඇති ඉඩකඩ වැඩි ය.’’

ලී ක්වාන් යූ අගමැතිවරයා යටතේ දශක ගණනක් කැසිනෝ සූදුවට ඉඩ නොදෙමින් සිටි සිංගප්පූරුව පසුව ප‍්‍රභූ පංතියේ සූදු පොළවල් දෙකකට දැඩි රෙගුලාසි සහ විධිවිධාන යටතේ අනුමැතිය සැපයුවේ, මේ සත්‍යය ගැන දැන සිටි නිසා ය. සිංගප්පූරුවේ කැසිනෝ නියාමන පනත යටතේ, එරටේ පුරවැසියන්ට සහ නිත්‍ය පදිංචිකරුවන්ට කැසිනෝ ශාලාවකට ඇතුළු වීම සඳහා ඇතුළු වීමේ විශාල බද්දක් ගෙවිය යුතු අතර, එසේ මසකට ඇතුළු විය හැකි වාර ගණන සීමා කොට, පවුලේ සාමාජිකයෙකුගේ ඉල්ලීම මත කැසිනෝ ශාලාවකට කොහෙත්ම ඇතුළු වීම තහනම් කෙරෙන කොන්දේසි පවා ක‍්‍රියාත්මක කෙරේ.

සූදුව විනාශකාරී බවත්, එයින් ඇති විය හැකි අනිටු ප‍්‍රතිවිපාක පාලනය කිරීම පහසු නොවන බවත් නිසැක ය. ඒ නිසා මේ කැසිනෝ පනත සම්මත කර ගැනීමට අප ඉක්මන් විය යුතු නැත. සූදුවට ඇබ්බැහි වීමේ ඉඩක් නැති කෙනෙකුට පැය කිහිපයක විනෝදය සඳහා සූදු පොළකට ඇතුළු වීමේ අවසරය දීම කෙසේ වෙතත්, එහි ආකර්ෂණයට යට වන අය නිසා ඇති විය හැකි සමාජමය සහ මූල්‍යමය ප‍්‍රශ්න පමණක් නොව පවුලේ ප‍්‍රශ්න පවා වර්ධනය වන්නේය.

ලෝකය පුරා කැසිනෝ සූදුවට අනුමැතිය දක්වන්නන්ගේ තර්කය වන්නේ, ඉන් අත්වෙතැ යි කියන ආර්ථික වාසියයි. රැුකියා අවස්ථා ඒ මගින් ඇති වීමත්, යම් ආදායමක් ලැබීමත් ඇත්තයි. සිංගප්පූරුවේ කැසිනෝ ව්‍යාපාරය කෙරෙහි පනවා ඇති ඉතා දැඩි නීතිරීති යටතේ පවා තවමත් එම අංශයෙන් විශාල ලාබ ලැබෙන බව, ඒ ගැන අධ්‍යයනයක් කළ රොයිටර් වාර්තාවක් පෙන්වා දෙයි.

එහෙත් මේ මගින් ඇති විය හැකි සමාජ බලපෑමට වඩා එයින් ලබාගන්නා ආදායම උසස් විය හැකි ද යන්න ප‍්‍රශ්නයකි. එක් වෘත්තිය අධ්‍යාපනඥයෙකුව උපුටා දක්වමින් ඉහත සඳහන් වාර්තාව මෙසේ කියයි: ‘‘කැසිනෝ නිසා රක්ෂාවල් ඇති වුණා. ආදායම් වැඩි වුණා. ඒත් ඒ වාසිවලට යටින්, කැඩිච්ච පවුල් තිබුණා. විනාශ වෙච්ච ජීවිත තිබුණා. රටක් විදිහට දරන්න වෙච්ච සමාජ වියදම් වැඩි වුණා.’’

මේ සන්දර්භය තුළ ආණ්ඩුවේ ප‍්‍රතිචාරය විය යුත්තේ කුමක් ද? ‘‘හදිසි ධනය ද, සමාජ පිපිරීම ද?’’ යන කෘතියේ දී ආණ්ඩුවකට ගත හැකි පියවර හතරක් හඳුනා ගැනේ. ඒවා නම්:

1. තහනම 2. ඉඩ හැරීම 3. නියාමනය 4. කාර්යකරණය නම් වෙයි.

ලංකාව දැනට අනුගමනය කරන්නේ මේ අතරින් මිශ‍්‍ර ක‍්‍රමයකි: එනම්, ඉඩ හැරීම (නියාමනයකින් තොරව දැනට කැසිනෝ ක‍්‍රියාත්මක වෙයි. අයකර ගන්නේ කුඩා බද්දක් පමණි* සහ කාර්යකරණය (ජාතික ලොතරැුයි මණ්ඩලය) වන්නේය. එක දිගටම කැසිනෝ තහනම් කරනු ලැබ තිබූ සිංගප්පූරුව දැන් දැඩි නියාමනයක් යටතේ එය අනුමත කොට තිබේ.

තිස් අවුරුදු සිවිල් යුද්ධයකින් ශ‍්‍රී ලංකාව ගොඩ ආවා පමණි. එම යුද්ධය මගින් උතුරු නැගෙනහිර පමණක් නොව, මුළු රටේම යෝධ සමාජ අර්බුදයක් ඇති කොට තිබේ. ජාතිවාදය, හිංසනය, විනාශය සහ මරණයෙන් ගත වූ ඒ දීර්ඝ කාලයෙන් තවමත් අපි ගොඩඑමින් සිටිමු. සංහිඳියාව අපේ ප‍්‍රමුඛතාව විය යුතුය. ඊට අමතරව, ¥ෂිත සහ එදිරිවාදී ක‍්‍රමයක් තුළ, නීතිය හා සාමය ආරක්ෂා කර ගැනීම පිළිබඳ ප‍්‍රශ්නය බරපතල ලෙස උද්ගතව ඇත.

අපේ ඒ නාස්ති වූ අතීතයෙන් ගොඩඒමට බලන මේ මොහොතේ තවත් සමාජ අර්බුදවල අවදානමක් අප දැරිය යුතු ද? නීතියෙන් ආරක්ෂා කළ යුත්තේ කාවද? තමන්ගේ තේරීම් කිරීමට බහුතරයට ඇති නිදහස ආරක්ෂා කෙරෙන්නේ ද, නැතහොත් අපේ සමාජයේ මෙවැනි උවදුරක ගොදුරක් විය හැකි දුර්වල සුළුතරය ආරක්ෂා කරමු ද?

සූදුවෙන් ලැබෙන ආර්ථික ප‍්‍රතිලාභවලට වඩා ඒ මගින් ඇති කෙරෙන සමාජ උවදුර බරපතල නම් සූදුව තහනම් කළ යුතු ද, නැතහොත් නීතිගත කළ යුතු ද, එසේත් නැතහොත් නියාමනය කළ යුතු ද? කැසිනෝ සර්කසය අතරමග නතර කොට ඇති මේ අවස්ථාවේ අපේ අවධානයට යොමු විය යුතු ප‍්‍රශ්න ඒවා ය. අඩු වශයෙන් වෙන කිසිවක්ම නැතත්, ධනපතියන්ගේ සුඛ විහරණය සඳහා ආණ්ඩුවේ බදු සහනවලින් අපේ දේශය කොල්ලකෑමට සුඛෝපභෝගී කැසිනෝ තිප්පොළවල් පිහිටුවීමේ දී නිහඩව නොසිටීමට සහ නිකං බලාගෙන නොසිටීමට අදිටන් කරගත යුතුව තිබේ.

*2013 ඔක්තෝබර් 27 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ Casino Circus නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.