25 April, 2024

Blog

තරුණ “සමනළයෙකු” විසින් ජනාධිපති සිරිසේන වෙත ලියන ලද විවෘත ලිපියකි

මහේල ගමගේ

මම අද රැකියාව නිමා කර ගෙදරයමින් සිටියදී, මගේ මිතුරෙකුගෙන් ලද පණිවිඩයකින් ඔබගේ ගේ නවතම ප්‍රකාශය ගැන අසන්නට ලැබුණි.

එහි මාතෘකාව කියවූ මම, නැවත නැවතත් එය කියවීමටත් අන්තර්ගත වීඩියෝ පටය නැරඹීමටත් වුනෙමි. වීඩියෝවේ මාතෘකාව දුටු මා, කිසිම විටෙක රටේ ජනාධිපතිවරයා විසින් මෙවැනි ප්‍රකාශයක් සිදු කරතැයි යන්න බලපොරෝත්තුවුයේ නැත. ඔහුගේ ප්‍රකාශය තවදුරත් විස්තර කිරීමට මගේ කැමැත්තක් නැත. ඔබ දැනටමත් එය කිහිපවරක්ම නරඹා ඇති බව මගේ විශ්වාසයයි.

මම මුලින්ම කිවයුතු වන්නේ, කිසිම දේශපාලන පක්ෂයක් ගැන මගේ කිසිඳු විශ්වාසයක් නොමැති බවයි.මෙම විවෘත ලිපිය කිසිඳු දේශපාලන ගැති භාවයකින් තොරව ලියමි. රනිල් වික්‍රමසිංහ, මහින්ද රාජපක්ෂ මෙන්ම ඔබද ජනාධිපතිතුමනි, වැඩිම මුදලට විකිණෙන ලංසු දේශපාලන ක්‍රමයේ ඉත්තන් පමණි.

නැවත ඔබගේ ප්‍රකාශය වෙත මම යොමු වෙමි. ඔබට රනිල් වික්‍රමසිංහ ට පහර දීමට ඕනෑ තරම් හේතු ඇත. ඔහුගේ අකාර්යක්ෂමභාවය, ඔහුගේ අසාර්ථක ප්‍රතිපත්ති ඕනෑ තරම් ඇත. ඒ කිසිත් ඔබට අදාල නැත. දෙදහස් පන්සීය වසරක ඉතිහාසයේ හා සංස්කෘතියේ මහා ආරක්ෂකයා ලෙස ඔබ, අප කිසිවෙකුටත් විශ්වාස කරගත නොහැකි පරිදී පහල මට්ටමකට ඇදවැටුණි. පසුගිය දින කිහිපය තුල ඔබගේ ක්‍රියවලිය දුටු අප සිතුවේ, තවත් නම් පහලට අද වැටීමට ඔබට නොහැකි බවයි. අපිව දිනපතා පුදුම කිරීමට ඔබට හැකිය. ඔබ රනිල්ට සමනලයා යයි ආමන්ත්‍රණය කළේය. සමනළයා යනු සමලිංගිකයින් අපහසුතාවයට පත්කිරීමට යොදා ගන්නා යෙදුමකි. ඔබ රනිල් ප්‍රමුඛ කණ්ඩායම හැදින්වුයේ සමනළ කල්ලිය නමිනි. ඔබට පුද්ගලයන් අපහසුතාවයට පත්කිරීමට ඉතා පහසුවෙන් හැකියාව ඇත. මිනිස් සමාජයේ අන්‍යන්ට කරන මුලික ගෞරවය ඔබට අවශ්‍යම නැත.

ඔබ සුරකිනවායැයි පවසන ශ්‍රී ලාංකේය සංස්කෘතිය සියළු දෙනා සමව පිළිගන්නට ඉඩ සලසනවා මිස අවමන් කිරීමට මග පාදන්නක් නොවේ.

ඔබට එතරම් අවබෝධයක් නැති වුවද ජනාධිපති මහතාණෙනි, ඔබගේ වචන වල දැඩි ප්‍රතිවිපාක තියෙනවා. රටේ ජනතාව ඔබව ජනාධිපති වරයා ලෙස පත්කළේ සියලු පුරවැසියන්ගේ අයිතීන් ආරක්ෂා කිරීමට මිස එක කණ්ඩායමක් ආරක්ෂාකිරීමට නොවන බව ඔබට අමතක වී ඇති බව පැහැදිළියි. මට ඔබ වෙනුවෙන් චන්දය භාවිතකිරීමට ලැබුනේ නෑ. 2015 ජනාධිපතිවරණය වනවිට මම අවශ්‍ය වයස සපුරා සිටියේ නෑ. එහෙත් මගේ මතකය නිවැරදි නම් ඔබ පත්වන විට පැවසුවේ, සියලු පුරවැසියන්ගේ අයිතීන් ආරක්ෂා කිරීමට පැමිණි බවයි. වසර තුනකදී මෙසේ වේ යැයි අප කිසිම මොහොතක සිතුවේ නෑ. නමුත් ඒ සියල්ල පසෙකලමින් ඔබ ඔබගේ මුලින් මිතුරාවුත් දැන් දේශපාලන සතුරාවුත් පුද්ගලයෙකු සමග ඇති තරහාව පිරිමැහිමට, රටේ සමස්ථ පුද්ගල කණ්ඩායමකටම පහර ගසිමින් සිටිනවා. සියලු පුරවැසියන් නියෝජනය කලයුතු නායකයා මෙතරම් පහලට අද වැටී සිටීම ඉතා කණගාටුව දනවන කරුණක්.

ඔව්. මම තරුණයෙක්. නමුත් මම ඇති තරම් හිරිහැර විඳි ඇති තරුණයෙක්. අඛණ්ඩ සමච්චලයට ඔච්චමට ගැරහීමට ලක්වූ තරුණයෙක්. භීතියෙන් ශෝකයෙන් ලජ්ජාවෙන් නොනිද පහන් කල රාත්‍රීන් රැසක් ඇති තරුණයෙක්. මම දැන් වැඩිහිටියෙක්. එමෙන්ම අභිමානවත් පුරවැසියෙක්. ශක්තිමත් සමනලයෙක්. නමුත් ඔබතුමාගේ අදහස් දැක්වීම අසා සිටින, එයට හුරේ දමන ඔබතුමන්ගේ ආධාරකරුවන් දෙස බලා සිටින, රනිල් වික්‍රමසිංහගේ හා ඔහුගේ කණ්ඩායමේ පුර්වඅනුමානිත ලිංගිකත්වයට ඔච්චම් කරන සහචරයන් නිසා බියෙන් තැවෙන මට වඩා හුඟක් බාල, නමුත් මා වැනිම තවත් තරුණ තරුණියන් ලංකාවේ සිටින බව ඔබ දන්නවාද?

පුද්ගලයෙකුගේ ලිංගිකත්වය අරමුණු කරගනිමින් සිදුකරන පහරදීම් ඉතා අශෝබන තැතිගන්වන සුළු ඒවා බව කිවයුතුමය. අපේ ශ්‍රී ලංකාව අප සියළුදෙනාටම ආරක්ෂාකාරී විය යුතුය. අපි ඉදිරියට යා යුත්තේ එකාමෙන්, ශක්තිමත්වය .

නමුත් ඔබ දැක්වූ අදහස් වත්මන් තරුණ පරපුර වෙත දන්වා සිටින්නේ, ඔවුන්ගේ රට ඔවුන්ව පිළිනොගන්නා බවයි. ඔවුන්ගේ ජනාධිපතිවරයා ඔවුන්ව සම තත්වයේ නොසලකන බවයි. ඔවුන්ගේ ලිංගිකත්වය නිසා බලය හා නායකත්වීය තනතුරක් නොදැරිය යුතු බවයි. අපි සෑමවිටම අමතක නොකළ යුතු කරුණක් වන්නේ ජනාධිපති තුමනි, ඔබගේ හැදින්වීම අනුවම ගත් කල, Alan Turing, Tim Cook, Ellen De Genres, Leo Varadkar, Arthur C. Clarke වැනි සියළු දෙනාම, සමනළයින් වන බවයි. මේ ආදර්ශවත්, තම අරමුණු මුදුන් පමුණුවා ගන්නා, ලොව පුරා වෙසෙන තරුණ සමලිංගික පුද්ගලයන් වෙනුවෙන් මංපෙත් විවරකරවන මොවුන් සමනළකල්ලියක් බවයි. ලංකාවේ සමලිංගික තරුණයන්ට ආදර්ශයන් සෑමවිටම විදෙස්රටෙන් ලබාගැනීමට සිදුවීම ශෝක ජනකයි. නිදහසේ පියාසර කරමින්, තම අනන්‍යතාවය මත පිහිටා කටයුතු කිරීමට හැකි දිනක් නුදුරු අනාගතයේ ලංකාවේ ඇති නොවන බව දැනටමත් පැහැදිලි වී අවසානයි. මෙවැනි ජනාධිපතිවරයෙක් යටතේ නම් එය සිදුනොවන බව ස්ථිරයි.

ඔබේ ලිංගිකත්වය කුමක් වුවත්, එක ලෙසින් ඔබට සැලකීමක් ලැබෙන බව අපේ දරුවන්ට කවදා පැවසිය හැකිද? පෙර රජය LGBTIQ පුද්ගලයන්ට හොදින් සැලකුබව කිසිවිටෙක කිව නොහැක. නමුත් ඔවුන් කිසිවිටෙක ප්‍රසිද්ධ වේදිකාවන් මත LGBTIQ කණ්ඩායම් අපහාසයට, උපහාසයට ලක් කරමින් දේශපාලන වාසි ලබාගත්තේ නැත.

ස්තුතියි ජනාධිපතිතුමනි ඔබගේ අදහසට. එය මා තවත් ශක්තිමත් කලා පමණි.

මගේ සහෝදර LGBT තරුණ තරුණියන්ට, මෙවැනි ප්‍රකාශ කිසිවිටෙක ඔබගේ පුද්ගලත්වයට හානියක් කර නොගන්න. ඔබට අන් සියළු තරුණයන්ට මෙන්ම සිහින දකින සියලු දේ ඉෂ්ට කරගත හැකි බව මතක තබා ගන්න. මෙවැනි අපහාස දනවන ප්‍රකාශයන් තුලින් ඔබව අපහසුතාවයට පත් කිරීමට ඉඩ නොදෙන්න. ඉදිරියටම යන්න. ශක්තිමත් වන්න. සුරක්ෂිත හෙටක් උදෙසා බලාපොරොත්තු තබාගන්න.

මහේල ගමගේ hashtag පරපුරේ තරුණ සමාජිකයෙකි. ඔහු ලිංගික හා ප්‍රජනන අයිතීන් පිලිබඳ මානව හිමිකම් ක්‍රියකාරකයෙකි.

Print Friendly, PDF & Email

Latest comments

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.