මහින්ද ගුණරත්න –

ආචාර්ය මහින්ද ගුණරත්න
දිත්වා සයික්ලෝනය විසින් ඇති කරන ලද මහා ඛේදවාචකය වත්මන් ආණ්ඩුවට දේශපාලනික සුළි කුණාටුවක් බවට පත්වී, ඔවුන් පිළිබඳව ඇති විශ්වාසය බරපතල නායයාමකට ලක් කර ඇති අතර ඉන් ගොඩ ඒමට ගන්නා සියලු උත්සාහයන් ගැඹුරු මඩ වගුරකට වට මිනිසෙක් ඉන් මිදීමට තබන සෑම පියවරකදීම වඩ වඩාත් ගැඹුරට එරී යන්නාක් මෙන් ආණ්ඩුව යටකර දැමීමට හේතු වී ඇත. සුලි කුණාටුව පැමිනෙන බව දැනුම් දීමේ සිට පශ්චාත් කුණාටු සහන සැලසීම්, නැවත ගොඩ නැගීම්, සහ ඉදිරි සංවර්ධනය දක්වා සෑම කටයුත්තකදීම ආණ්ඩුව අළුත් අර්බුදයන් නිර්මාණය කරගනියි. මෙය හරියට “එකක් කඩතොලු වසා ගන්නට ගොසින් මට වූ කාරියා, දෙකක් කඩතොලු සදාගත්තයි ඉඳුරුවේ ආචාරියා” වැනි තත්වයකි. එයටත් වඩා මෙය ඇත්ත වශයෙන්ම මඩේ දදා නැවත මඩවතුරින්ම හේදීමක් ලෙස විග්‍රහ කිරීම වඩාත්ම සාධාරණ අර්ථ දැක්වීම වනු ඇත.
නමුත් අලි මදිවට හරක් කීවාක් මෙන් ආණ්ඩු විරෝධී පක්ෂ මෙන්ම යම් ආණ්ඩු විරෝධීන්ද මේ මඩ ගොහොරුවට පැන තරඟයට මෙන් මඩ නා ගන්නේ සහ මඩ ගසා ගන්නේ උනුත් එකයි මුනුත් එකයි යන කියමන සනාථ කිරීමට ඇති පදම් සාධක එක්කරමිනි. කෙසේ නමුත් බලයට පැමිණ වසරක් අවසානයේ ජාතික ජන බල ආණ්ඩුව සාධාරණ සැකයකින් තොරව ඔප්පු කල වැදගත්ම කාරණය වනුයේ නිදහසින් පසු රට පාලනය කළ පරණ කැලෑසියටම තමන්ද අයත් වන බවයි.
පසුගිය වසර හැත්තෑහය පුරාවට රට පාලනය කල සියලුම ආණ්ඩු සහ අනෙකුත් දේශපාලන පක්ෂ අන්ත දූෂිත ජනතා ද්‍රෝහී ජාති බ්‍රෂ්ඨයන් ලෙස හුවා දක්වමින් සහ තමන් සුපිරිසිදු කාර්යක්ෂම දේශපාලන ව්‍යාපාරයක් ලෙස පසුගිය මැතිවරණයන්හිදී මතු වුවද මාලිමාණ්ඩුව තමන් අනෙකුන්ට වඩා උසස් දක්ෂ සහ මානවවාදී බව ඔප්පුකිරීමට තිබූ අනගි අවස්ථාවක් නායයාමට සහ ගංවතුරේ ගසා යාමට සැලැස්වූයේ කවර හේතුන් නිසාදැයි විමසා බැලීම වැදගත් වනුයේ මෙම ස්වභාවික විපත්තිය දේශපාලනික විපත්තියක් බවට පත්වී ඇති නිසා සහ ස්වභාවික විපත් යනු සොබාදහමේම කොටසක් වන බැවින් සහ ඊට මුහුණ දීම රජයේ සහ ජන ජීවතයේම කොටසක් වන බැවිනි.
එබැවින් අප දිත්වා සුළි කුණාටුව තේරුම් ගත යුත්තේ හුදෙක්ම අපට බැටදීම සඳහා හදිසිසේම කඩා වැදුන සතුරෙක් ලෙස නොව ස්වාභාවික විපත්වලට මුහුණ දීමට අපගේ මෙන්ම රජයේ ඇති වගකීම් විරහිතකම සහ අසංවිධානාත්මක බව පෙන්වන සංසිද්ධියක් ලෙසය. එසේම සුළි කුණාටුවෙන් ඇති කරන දේශපාලණික කුණාටු හා ඉදිරි සමාජීය ආර්ථික හා සංස්කෘතික නායයෑම් කෙසේ වෙනු ඇතිදැයි ගැඹුරු විමසා බැලීමක් සිදු කල යුත්තේ මේ රට යහපත් හා දියුණු රාජ්‍යයක් බවට පත්කර ගැනීම සඳහා සහ අප අතීතයේ සිටම ප්‍රාර්ථනා කරන විශිෂ්ඨත්වය අත්කර ගැනීම සදහා පුරවැසියන් වන අපට එන එන ඡන්දයෙදී කතිර පූජා කරනවාට වඩා වැඩි වගකීමක් පැවරී ඇති බැවිනි.
ස්වභාවිකත්වය විපතක්ද?
අප ස්වභාවික විපත් ලෙස හඳුන්වන සංසිද්ධීන්, උදාහරණ ලෙස: අධික වර්ෂාව, ගංවතුර, නායයාම්, සුළිකුණාටු, නියඟ, භූකම්පන හා සුනාමි වැනි අවස්ථාවන් පෘථිවියේ සහ හිරු ඇතුළු අප සෞර්‍ය්‍යග්‍රහ මණ්ඩලයේ මෙන්ම විශ්වයේ ඇති විවිධ භෞතික හා රසායනික ක්‍රියාකාරකම් නිසා සිදුවන අතර එය එවැනි පද්ධතීන් හි පැවැත්ම, වර්ධනය, විනාශය හා නැවත සැකසීම සඳහා අත්‍යවශ්‍යය. තවද අප ජීවත්වන පෘථිවිය මෙවැනි ක්‍රියාකාරකම් මගින් තම පැවැත්ම නැවත සකසා ගන්නා අතර එය අප එනම් මානවයා විසින් මිහිකතට කල හානි පූරණය කරගැනීමටද ඉවහල් වෙයි.
පෘථිවිය සතු මෙම සුවිශේෂී හැකියාව පරිසරවාදීන් විසින් මහපොළොව සුවපත් කරගැනීමේ මිහිකතගේ හැකියාව (the healing or regenerative capacity of the mother earth) ලෙස අර්ථ දක්වයි. මින් අදහස් කෙරෙනුයේ ප්‍රමාණවත් කාලයක් සහ අවකාශයක් ලබා දෙන්නේ නම්, මිහිකතගේ පරිසර පද්ධතින්වලට ස්වභාවිකව තමන්ව සුවපත් කරගැනීමට, අපද්‍රව්‍ය අවශෝෂණය කර ගැනීමට සහ හානිවලින් යථා තත්ත්වයට පත් වීමට ඇති හැකියාවයි. නමුත් වර්තමාන මිනිස් ක්‍රියාකාරකම් මගින් මෙම හැකියාව දැඩි පීඩනයකට ලක්කර තිබෙන බැවින් එමඟින් පාරිසරික අසමතුලිතතාවයන් ඇති වන බව දේශගුණික විපර්යාස (Climate Change) වැනි සංකල්ප තුල අවධාරණය කෙරේ. කෙසේ නමුත් ස්වාභාවික විපත් කිසිම දිනෙක මිහිකතට විපතක් වන්නේ නැති අතර එය ඇයව සුවපත් කරන සොබාදහමේම කොටසක් වන ස්වභාවික ක්‍රියාවලියකි.
නමුත් මෙම ස්වාභාවික ක්‍රියාවලිය හැම විටම මානවයාට මෙන්ම මිනිසා විසින් ඇති දැඩි කරන සතුන්ට විපත් කැඳවන අතර කවර හෝ අද්භූත හේතුන් නිසා හෝ සහජාසය නිසා වනසතුන් බොහෝදුරට මෙවැනි සංසිද්ධීන්ගෙන් අත්මිදීමට සමත් වෙයි. එසේම සොබාදහම සමග ජීවත්වන ගැමියන් පවසන්නේ වනසතුන් පරිසරයේ සිදුවෙන වෙනස්කම් කියවා ගැනීමට සමත් අතර මෙම සත්ව හැසිරීම් නිරීක්ෂණය කිරීමෙන් දැඩි නියඟ මහ වැහි කුණාටු මෙන්ම නාය යාම් වල සිට භූමිකම්පා දක්වා සිදුවන පාරිසරික වෙනස්කම් කල්තියා හඳුනාගත හැකි බවයි. නමුත් විද්‍යාත්මකව මෙම සත්ව ස්වභාවය පහදන්නේ සතුන්ගේ ඇති මිනිසා ඉක්මවායන අසාමාන්‍ය සංවේදීතාවයන්ට (උදා: අධි ශ්‍රවනය, දෘෂ්ඨිය, සහ ආග්‍රහණය, හා අධිකම්පන සහ චුම්භක සංවේදීතාව) පාරිසරික වෙනස්කම් කල්තියා ග්‍රහණය කරගත හැකි බැවින් ඔවුන් ආසන්න ස්වභාවික සංසිද්ධීන්ට ප්‍රතිචාර දක්වමින් එවැනි සංවේදී කලාප හැරයන බවයි.
නමුත් සතුන්ගේ සහ අපගේ වෙනස වනුයේ මිනිසා සිය සත්ව ස්වභාවයේ සිට මානවයා දක්වා පරිණාමනය වීමේදී මෙවැනි සංවේදී ඉන්ද්‍රීය හැකියාව අහිමි කරගනිමින් ඒ වෙනුවට විශිෂ්ඨ බුද්ධිමය හැකියාවකට උරුමකම් කියමින් සත්ව සන්තතියේ අනභිභවනීය තත්වයකට පත් වීමයි. එසේම එම බුද්ධිමය, යාන්ත්‍රික, සහ චින්තාමය හැකියාවන් හා ප්‍රඥාව භාවිතා කරමින් මිනිසා ඉතා දියුණු තාක්ෂණික මෙවලම් නිපදවා ගත් අතර ඒ අනුසාරයෙන් දින සති මාස නොව අවුරුදු ගණන් ඉදිරියට හෝ සිදුවන ස්වභාවික සංසිද්ධීන් ටක්කෙටම ගණන් බලා කීමේ හැකියාවද අත් කර ගනු ලැබීය. දැන් පළමු ගැටලුව වී ඇත්තේ අපගේ ඒ බුද්ධිමය හා තාක්ෂණික හැකියාවට කුමක් වීද යන්නයි. දෙවනුව, වන සතුන්ද ජීවත් නොවන අධි අවදානම් සහිත උග්‍ර කඳු බෑවුම් වල, ගංගා වැව් ඇලදොළ ද්‍රෝණි වල, මුහුඳු තීර වල වගුරුබිම් සහ කාන්තාර වල මෙන්ම හිමබිම් වලද ජීවත් වෙමින් ස්වභාවික සංසිද්ධීන් මානව ඛේදවාචකයන් බවට පත්කර ගැනීමට මිනිසා මෙතරම්ම අඥාන වුයේ කෙසේද යන්නයි.
දිත්වා සුළි කුණාටුවේ තොරතුරු නොලැබීද?
පළමු ගැටලුව එනම් දිට්වා සුළි කුණාටුව පිළිබඳව ප්‍රමාණවත් තොරතුරු කල්වේලා ඇතිව ගණන් බලා කීමට අපගේ විද්‍යා හා තාක්ෂණික පද්ධතීන්ට නොහැකි වීද, නොඑසේනම් එසේ තොරතුරු තිබුනත් අදාළ තොරතුරු පාලන තන්ත්‍රයට, රාජ්‍ය යාන්ත්‍රණයට, සහ පොදු ජනතාවට කල්වේලා ඇතිව නොලැබීද යන උභතෝකෝටිකය අප හමුවේ ඇත. නමුත් සුළි කුණාටුවට පෙර සිට පලවූ මාධ්‍ය වාර්තා පරික්ෂා කළහොත් අවශ්‍ය තරම් තොරතුරු, උපදෙස් හා අනතුරු ඇඟවීම් කල්වේලා ඇතිව විවිධ පාර්ශව විසින් ලබාදී ඇති බව ඔබට පැහැදිලි වනු ඇත. එසේනම්, මෙතරම් භයානක විපත්තියක් සිදුවුයේ කෙසේද හෝ ඇයිද යන පැනය ඔබ නැඟුව හොත්, රජයේ අකාර්යක්‍ෂමතාව සහ ජනතාවගේ නොසැලකිල්ල යන පිළිතුර ඔබට ලැබෙනු ඇත.
ස්වභාවික විපත් සහ ආපදාවන්ට මුහුණ දීමේ සම්මත පිළිවෙත් විමසා බැලුවහොත් අපට මෙම කරුණ වඩාත් පැහැදිලි වෙනු ඇත. එහිදී පෙර සූදානම, ආපදා අවස්ථා කළමනාකරණය, සහ පශ්චාත් ආපදා කළමනාකරණය යන පියවරයන් විධිමත්ව හසුරුවා ගැනීමෙන් අදාළ ආපදාවේ හානි අවම කරගත හැකිය. පෙර සූදානමේදී අදාල ආපදාව, එහි ස්වභාවය හා අපේක්ෂිත බලපෑම් පිලිබඳ දැනුවත් කිරීම, තොරතුරු සන්නිවේදනය, අධිආපදා කලාපයන්ගෙන් ඉවත්වීම, හදිසි ආධාර සැලසුම් කිරීම, ආරක්‍ෂිත ස්ථාන හඳුනා ගැනීම සහ නිරන්තර සම්බන්ධීකරණය මූලික වෙයි. දෙවනුව, ආපදා අවස්ථාවේදී නිරන්තර සන්නිවේදනය, ජීවිත හා දේපල ආරක්ෂාව, පුද්ගලයන් ඉවත් කිරීම, හදිසි ආධාර හා පහසුකම් සැපයීම, හා ක්ෂණික මැදිහත්වීම් අත්‍යවශ්‍ය වෙයි.
තෙවනුව, ආපදාවෙන් පසු මැදිහත්වීම් අතර ජීවිත හානි වූවන් සම්බන්ධ කටයුතු, දේපල හානි තක්සේරු කිරීම, ආපදා ආධාර හා වන්දි සකසා ගැනීම, සිදුවූ හානි පිළිබද සත්‍ය තත්වය හෙළි කිරීම, අවතැන් වූවන් ආපසු යැවීම හෝ නැවත පදිංචිය, ආපදා ආධාර හා වන්දි වහාම ගෙවීම, ප්‍රතිසංස්කරණ කටයුතු හා සංවර්ධන කටයුතු ඇරඹීම ක්‍ෂණිකව කල යුතු වෙයි. දැන් මේ අවම කාරණා ටිකවත් දිට්වා සුළි කුණාටුව සම්බන්ධයෙන් ක්‍රියාත්මක වුනාද යන්න ඔබේම අත්දැකීම් මත විමසා බලා වැරැද්ද ඇත්තේ කොතනකදයි ඔබම වටහා ගන්න. එසේම මෙය අවසානය නොවන බව වටහාගෙන ඉදිරියේදී එළඹෙන විපත්තීන්ට දැන් තියාම සූදානම් වෙන්න.
විපත්තීන් අපටම සිදුවන්නේ ඇයි?
දෙවනුව, මිනිසුන් වන අප මේ තරම්ම පාරිසරික විපත්තීන් වලට මුහුණ දෙන්නේ, විපත්තිදායක තැන්වලම ජීවත් වෙන්නේ සහ විපත්තීන් ගෙදරටම කැඳවා ගන්නේ ඇයි? එසේම පොදුවේ මිනිස් සමාජය ගතහොත් යම් රාජ්‍යයන්, ප්‍රජාවන් හෝ පුද්ගලයන් අන් අයට වඩා ස්වභාවික සංසිද්ධීන් නිසා පීඩාවට සහ ඛේදවාචකයන්ට ලක්වන්නේ ඇයි? මේ සඳහා ආගමික, අධ්‍යාත්මික, ජෝතිෂ්‍යමය මෙන්ම භෞතික, සමාජදේශපාලනික, හා ජීව විද්‍යාත්මක වශයෙන් විවිධ පැහැදිලි කිරීම් පවතින අතර අප ඉහත සාකච්ඡා කල ස්වභාවිකත්වය හා දේශගුණික විපර්යාස පිළිබඳ නියාමයන් මෙන්ම පිං පව් හා කර්මවාදයේ සිට විවිධ අනාවැකි දක්වා ප්‍රකාශනයන් ඒ සඳහා උදාහරණයන්ය.
පාරිසරික විපත්තීන් අපටම එනම්, මිනිසාටම සිදු වන්නේ ඇයිදයි යන ගැටලුවට සරළ පිළිතුරක් නැතත් වඩාත් ප්‍රචලිත හා ආසන්නම පැහැදිලි කිරීම වී ඇත්තේ දේශගුණික විපර්යාස (Climate Change) නම් සංසිද්ධියයි. එසේම, අප පෙර සඳහන් කල පෘථිවියේ සහ අප සෞර්‍ය්‍යග්‍රහ මණ්ඩලයේ සිදුවන භෞතික හා රසායනික ක්‍රියාකාරකම් දැක්විය හැකිය. එහිදීද අපගේ අවධානය විශේෂයෙන් යොමුවිය යුත්තේ සමහර පුද්ගලයන්, සමාජ කණ්ඩායම්, ප්‍රදේශ හෝ රාජ්‍යයන් අන් අයට වඩා එවැනි විපත්තීන් හා අභියෝගයන්ට මුහුණ දෙන්නේ ඇයිද හා ඔවුන්ට අන් අයට වඩා නැවත ගොඩනැගීමට අපහසු ඇයිද යන්නයි. එසේම, යම් පුද්ගලයන්, ජන කණ්ඩායම් හෝ ජාතීන් අනාධිමත් කාලයක සිට මෙවැනි අධි අවදානම් කලාප වලම ජීවත් වන්නේ ඇයිද යන්නයි.
මේ පිළිබඳව විශිෂ්ඨ පර්යේෂණ ගණනාවක් ලෝකය පුරාම සිදුවී ඇති අතර එහිදී ප්‍රමුඛතම සාධකයක් ලෙස හඳුනාගෙන ඇත්තේ දුප්පත් කම හා දේපල බෙදීයාමේ විෂමතාවයයි. මෙය පුද්ගලයන්ට මෙන්ම රාජ්‍යයන්ටද පොදු වන අතර දියුණු හෝ සංවර්ධිත රාජ්‍යයකට වඩා අප වැනි දියුණු වෙමින් පවතින හෝ දුප්පත් රටක් සියලුම ආකාරයේ විපත්තීන්ට වඩවඩාත් ගොදුරු වෙයි. එසේම මුදල, බලය හා සමාජ සම්බන්ධතා අතින් ශක්තිමත් පුද්ගලයෙකුට හෝ එවැනි පුද්ගල කණ්ඩායමක වඩා දුප්පතුන්, කාන්තාවන් හා ළදරුවන්, රෝගීන් හා වැඩිහිටියන්, මෙන්ම සමාජ විෂමතාවන්ට ගොදුරු වූ ජනකණ්ඩායම් හා ආන්තික පිරිස් ද මෙවැනි විපත්තීන්ට වඩාත් ගොදුරු වෙයි.
එසේම මෙම දුප්පත් කම, සම්පත් හා දේපල බෙදීයාමේ විෂමතාවය නිසාම එවැනි රාජ්‍යයන්ට හා පුද්ගලයන්ට හෝ ආන්තික ජන කණ්ඩායම් වලට ආපදා බහුල ප්‍රදේශ වල ජීවත් වීමට සිදුව ඇති අතර ඉන් ඉවත් වී ආරක්‍ෂිත ප්‍රදේශයන්හි නැවත පදිංචි වීමට සම්පත් හිගකම, දුප්පත්කම හා වෙනත් සමාජ, ආර්ථික, තාක්ෂණික, හා සංස්කෘතික විෂමතාවයන් හරස්වී ඇත. එනිසාම මෙවැනි ආපදා බහුල, ආන්තික හා දුප්පත් රාජ්‍යයන්ට මෙන්ම පුද්ගලයන්ට, ජනකණ්ඩායම් වලට හා ප්‍රදේශයන්ට විශේෂ අවධානයකින් යුතුව සහාය, සහන සේවා හා අවස්ථා සැලසිය යුතු බවට ගෝලීය මට්ටමේ පොදු එකගතාවන් හා නිර්නායකයන් ගොඩ නැගී භාවිතයේ ද ඇත.
කෙසේ නමුත් මෙවැනි එකඟතා නීතිගත කිරීමේදී සහ ක්‍රියාවට නැංවීමේදී බරපතල විෂමතාවන්, අකාර්යක්ෂමතාවයන් සහ කඩාකප්පල්කිරීම් පුද්ගල මෙන්ම ප්‍රජා මට්ටමේ සිට රාජ්‍ය සහ ගෝලීය මට්ටම දක්වා අපට නිරීක්ෂණය කල හැකි වීම තවත් බරපතල විපත්තියක් සහ ඛේදවාචකයක් නොවේද? එසේම, දිට්වා සුළි කුණාටුවෙන් පසු රජයට එරෙහිව එල්ලවී ඇති බරපතලම චෝදනාව වී ඇත්තේ මේ නොසලකා හැරීම, අයුක්තිය හා අසාධාරණ ලෙස සැලකීම නොවේද?
දිත්වා සුළි කුණාටුවේ ආර්ථික හානි
සුළි කුණාටුව විසින් ඇතිකළ ආර්ථික, සමාජීය හා පාරිසරික හානිය පිළිබඳව ස්ථිර නිගමනයන් හෝ ඇස්තමේන්තු මේ වන තුරුත් ඉදිරිපත් වී නැත්තේ විධිමත් දත්ත නොමැති බවට රජයේ ප්ර්ශවයෙන් ඉදිරිපත් වූ තර්කනය හා එය අතිශයින්ම සංකීර්ණ කාරණයක් නිසා විය හැකි වුවත් වෙනත් පාර්ශව ගණනාවකින් ආර්ථික හානි පිළිබද දළ ඇස්තමේන්තුන් ප්‍රකාශයට පත්කර ඇත. මේ පිළිබද නිකුත් කරන ලද ලෝක බැංකු සමූහයේ ගෝලීය ක්ෂණික පසු ආපදා හානි වාර්තාවට අනුව දිට්වා සුළි කුණාටුව ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන 4.1 ක සෘජු භෞතික හානියක් සිදු කර ඇති බවට ඇස්තමේන්තු කර අතර මෙය ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට හතරකට පමණ සමාන වේ. අදාළ වාර්තාවට අනුව මෙම සෘජු භෞතික හානිය 2004 වසරේ සුනාමි හානිය ඉක්මවා යන අතර එයින්ම දිත්වා සුළි කුණාටුවේ බරපතල කම අවබෝධ කරගත හැකිය.
නමුත් ලෝක කම්කරු සංවිධානය විසින් ඉදිරිපත් කර ඇති මූලික ඇස්තමේන්තු වාර්තාවට අනුව දිට්වා සුළි කුණාටුව නිසා දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 16 ක් පමණ හානියට ලක්ව ඇති අතර එහි වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 16 ක් පමණ වෙයි. මෙනිසා ඉතාම විධිමත් මැදිහත්වීම් හරහා සමාජ ආර්ථික හානි වලට ආමන්ත්‍රණය නොකළහොත් අසමාන වර්ධනයන් සහ ආර්ථික බාධා ඇතිවීමේ සම්භාවිතාව වැඩි කරයි. තවද, කුණාටුව නිසා බලපෑමට ලක්වූ කලාප තුල ජීවත් වන ලක්ෂ 17 ක පමණ ජනතාවක් පීඩාවට පත්ව ඇති අතර රැකියා 374,000 ක් පමණ අහිමි වී ඇති බැවින් එය දිගුකාලීන ආර්ථික සහ සමාජීය අර්බුද ගණනාවක් සඳහා හේතු වනු ඇත.
මීට අමතරව ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික කළමනාකාර කාර්යාලය විසින් නිකුත් කල වාර්තාවේ දැක්වෙන්නේ පසුගිය වසර 20 තුල ඇතිවූ දරුණුම ගංවතුර මෙය වන අතර ඒ නිසා ලක්ෂ 22 ක ජනතාවක් පීඩාවට පත් වූ බවයි. තවද පුද්ගල මරණ 643ක් සහ පුද්ගල අතුරුදන්වීම් 163ක් වාර්තා වී ඇති අතර නිවාස ලක්ෂයකට වඩා හානියට පත්වී පුද්ගලයින් 230,000 ක් පමණ අවතැන් වී ඇත. එසේම කෘෂිකර්මාන්තයට එල්ලවූ පීඩා නිසා ඇතිවූ සැපයුම් හිඟය සහ බෝග අලාභ හේතුවෙන් ආහාර මිල ගණන් සියයට 200 දක්වා ඉහළ ගොස් ඇති අතර, එනිසා වෙළඳපල ක්‍රියාකාරිත්වය යථා තත්ත්වයට පත් කිරීමේ සහ ගෘහස්ථ ආහාර අවශ්‍යතා සහ ආහාර සැපයුම් පද්ධති ආරක්ෂා කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කෙරේ. එසේම මේ පිලිබඳ අනෙකුත් වාර්තා පෙන්වා දෙන්නේ පොදුවේ මානව සංවර්ධනයට, ආහාර සුරක්ෂිතතාවයට, ආර්ථික සංවර්ධනයට, සහ ජාතික පාරිසරික පද්ධතියට එල්ලවී ඇති බලපෑම් ඉතාම අහිතකර සහ දිගුකාලීන බවයි.
උදාහරණ ලෙස ගතහොත් මහ කන්නයේ ප්‍රධාන භෝග වගා (වී, එළවළු, ධාන්‍ය, හා කෘෂි ආර්ථික භෝග) සහ ගොවිබිම් විනාශ වීම, සත්ව පාලනය හා ධීවර කර්මාන්තයේ බිදවැටීම්, සැපයුම් දාම කඩාකප්පල් වීම සහ ආහාර මිල ඉහළ යාම මෙන්ම ආදායම් මාර්ග අවහිරවීම් හේතුවෙන් දිට්වා සුළි කුණාටුව ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවයට දැඩි ලෙස බලපෑම් එල්ල කර ඇති අතර, විශේෂයෙන් අවදානමට ලක්වී ඇති ග්‍රාමීය ප්‍රජාවන්හි දුප්පත්කම සහ මන්දපෝෂණ අවදානම් වැඩි කර ඇත. තවද ගොවිපල යටිතල පහසුකම්, වාරිමාර්ග පද්ධති සහ ප්‍රවාහන සම්බන්ධතා විනාශ වීම නිසා ක්ෂණික ආහාර හිඟයන් මතුව ඇති අතර දිගුකාලීන නිෂ්පාදන අභියෝගයන් නිසා එය ආහාර සැපයුමට සහ ප්‍රධාන ජීවනෝපායන්ට තර්ජනයක්ව ඇත.
එසේම ගෝලීය දේශගුණික අවදානම් දර්ශකයේ ශ්‍රී ලංකාව නිතරම පළමු රටවල් 10 අතර පසුවන නමුත් ජනගහනයෙන් සියයට 81.2 කට ආපදාවන්ට අනුවර්තනය වීමේ ධාරිතාවක් සහ පෙර සූදානමක් නොමැත. මෙය ඉදිරියේදී එන කවර හෝ ස්වභාවික විපතකදී බරපතල ප්‍රතිවිපාක අත්කර දෙනු ඇත්තේ රජයේ අකාර්යක්‍ෂමතාවය, පෙර සූදානම් නැති කමේ අභාග්‍යය මෙන්ම සහන සැලසීම් සහ නැවත ගොඩනැගීමේ හැකියාවෙන්ද අප රට ඉතාම පසුගාමී තත්වයක සිටින නිසාය.
මඩේ ලැගීමේ අයිතිය
කෙසේ නමුත් මෙම ගැටළු සහ අභියෝගයන්ට පිළිතුරු සොයනවා වෙනුවට මේ මොහොතේ සිදුවී ඇත්තේ දිට්වා සුළි කුණාටුව දේශපාලනික කුණාටුවක් බවට පත්වී වත්මන් ආණ්ඩුවේ සමාජීය දේශපාලනික පව්රු පදනම් කඩාබිඳ දා එහි විශ්වසනීයත්වය, ජන පදනම, සහ පැවැත්ම බරපතල නාය යාමකට ලක්කර තිබීමයි. මෙහි අවාසනාව සහ බරපතල ඛේදවාචකය වනුයේ දිට්වා සුළි කුණාටුව හමුවේ මහවැලිය ඇතුළු මහා ජලාශයන්හි අකලට විවරකල වාන් දොරටු නිසා දෝර ගලා ගිය මහා ජලකඳින් විනාශ වූ නගර ගම්දනව් මිටියාවත් මෙන් අප මෙතෙක් ගොඩ නගාගෙන ආ ජන අරගලයද, යහපත් සමාජ ආර්ථික පාරිසරික මෙන්ම සංස්කෘතික වර්ධනයන්ද විනාශ වී යාමයි.
තවද අවම වශයෙන් ධනේශ්වර ප්‍රජාතාන්ත්‍රික රාජ්‍යයක පවතින මූලික සුබසාධක, ජනතාවාදී ගුණාංගයන් ද වළදමමින්, සුළි කුණාටුවෙන් සහ ගංවතුරින් පීඩාවට පත්වූවන්ට සහන සලසනවා වෙනුවට, නැවත ගොඩ නැගීමට උදව් උපකාර කරනවා වෙනුවට, තමන්ම පොරොන්දු වූ සහණාධාර ලබා නොදෙමින්, එසේ දෙනවාය යි කීවේ නැතැයි කියමින්, ජනතාව තවදුරටත් පීඩාවට පත් කිරීම කවර නම් අභාග්‍යයක්ද? නොඑසේනම් කවරාකාර දෛවයේ සරදමක්ද? එසේම, ලැබෙනවයි කියන සහනාධාර ප්‍රමාණය එය ලබාගැනීම සඳහා පිරවීමට ඇති පෝරම සංඛාව තරම්වත් නොවටීයයි යන පොදු මතය ආණ්ඩුව පිළිබඳ සුබවාදී චිත්‍රයක් අඳින්නේ නැත.
මේ තුලින් ආණ්ඩුව පීඩාවට පත්කරන්නේ කොහොමටත් පීඩාවේ, දුර්භාග්‍යයේ, හා අවාසනාවේ කරවටක් ගිලී සිටින පීඩිතයන්ම වීම තමන්ව බලයට ගෙනා පීඩිත ජන බලවේගයන්ට ඉතා දරුණු ආකාරයෙන් පිටුපෑමකි. එවන් දරුණු දඬුවමක් දීමට මේ අසරණයන් කල වරද කුමක්ද? අප ඉහත දක්වූ පරිදි අධි අවදානම් කලාපයන්හි ජීවත් වනුයේ සමාජයේ අවදානම්ම කණ්ඩායම් වන දුප්පතුන් හා විවිධ සමාජ, ආර්ථික හා සංස්කෘතික විෂමතාවන්ට ගොදුරු වූවන්ය. දිට්වා සුළි කුණාටුවෙන් වඩාත්ම පීඩාවට පත්වූයේ ද එවැනි පුද්ගලයන් හා ප්‍රජාවන්ය. මේ ආණ්ඩුව බලයට ගෙන ඒමට වඩාත්ම දායක වූයේද ඔවුන්ය. එසේනම් මෙම නොසලකා හැරීම සත්තකින්ම ආණ්ඩුව මඩේ ලගින ගමන්ම ජනතාවටද මඩේ ලගින්නට සැලස්වීමක් විනා අන් කවරක්ද?
මෙහිදී අපට නිතැතින්ම සිහි කැඳවන්නේ “මහත්වරුණි ඔබට මඩේ ලැගීමට ඇති අයිතිය මම සහමුලින්ම පිළිගනිමි. නමුත් කරුණාකර මගේ අත අත්හරින්න” යන ප්‍රකට කියමනයි. නමුත් එසේ ආණ්ඩුව මඩේ ලගින තරමට අපුල්ලා හේදීමට හෝ ප්‍රතිපාක්ෂිකයන්ට හා විවේචකයන්ට ඇවැසි පමණට මඩගැසීමට හෝ ආණ්ඩුවේ විවිධ බලකායන් සමත් නොවන බව දිට්වා සුළි කුණාටුවෙන් මසකට පසුව තහවුරු වී ඇත. එබැවින් ආණ්ඩුව හැරදමා පොදුජනයා, විශේෂයෙන්ම තරුණ ජනයා ඉවත්ව යන්නේ වසංගතයකට හෝ භූමිකම්පාවකට බියෙන් පලායන්නවුන් මෙනි.
අඩුම තරමින් “මහත්වරුනි අපේ අත අතහරින්න” යයි කීමට තරම්වත් රැදී නොසිටින ඔවුන් ඉදිරි මැතිවරණයන්හිදී හා ජන අරගලයන්හිදී වෙනත් බලවේගයන් සමග එකතු වනුයේ තමන්ට යහපත් ජීවිතයක් ලබාදීම රජයේ ප්‍රමුඛ වගකීම බව ඔවුන් ඉතා හොඳින් දන්නා බැවිනි. තවද තමන් අනවතරව දුක් පීඩා විඳින්නේ තමන් විසින්ම බලයට ගෙනා පාලක පන්තියේ මුග්ධ ස්වභාවය සහ පාවාදීම් නිසා බව තේරුම් ගැනීමට තරම් ඔවුන් ඥානන්විතය. ඉඳින් රාජ්‍ය බලයට හා වරප්‍රසාද වලට මුවාවී ජන අරගලය පාවාදෙන අවස්ථාවාදී බඩගෝස්ත්තරවාදී ඈවරකරුවන් පිලිබඳ සමාජවාදී මතය වඩා හොඳින් දැන ගැනීමට ඔබට ඇවැසිනම් ලෙනින්ගේ “වාමාංශික කොමියුනිස්ට්වාදය ළදරු වලිප්පුවකි” (1920) නැමති කෘතිය කියවා බලන්න.
“බලය සඳහා සිය අරගලයේදී නිර්ධන පංතියට පක්ෂ සංවිධානය හැර අන් කවර හෝ අවියක් නැතැයි” ලෙනින් අවධාරණය කර තිබියදී (වී. අයි. ලෙනින්–පියවරක් ඉදිරියට, පියවර දෙකක් පස්සට-1904), පසුගිය මැතිවරණයන්හිදී හුදෙක් බලය ලබාගැනීම සඳහාම අවස්ථාවාදී ලෙස කිසිම ජන පදනමක් හෝ න්‍යායික පදනමක් නැති “ඇවිදින පුත්තකාල” යයි වාගාඩම්බර පෑ ඔළුගෙඩි හා කුඩා පක්ෂ කණ්ඩායම් එකතු කරමින් අටවාගත් ජාතික ජන බලවේග ආණ්ඩුවේ අභ්‍යන්තර දෙදරීම් දිට්වා සුළි කුණාටුවත් සමග නාය යාමට පටන්ගෙන ඇත්තේ ගංවතුරට ගසාගෙන ආ පොල් කෝම්බ වැනි හිස් වූ හිස් සහ හදවත් ඇති පිරිසකගෙන් ව්‍යවස්ථාදායකය පිරී යාම නිසාය.
බලය ලබාගත යුත්තේ කුමන අවස්ථාවේද, කා සමගද, සහ කල යුත්තේ කුමක්ද යන මූලික කාරණාවත් නොදැන ධනේශ්වර ණය උගුලේ සහ ගෝලීය ධනේශ්වර යාන්ත්‍රණයේ පැටලී දඟලන මාලිමාණ්ඩුව අවසානයේදී කල එකම දේ වනුයේ තමුන්ද විනාශ වී, ලංකාවේ ප්‍රගතිශීලී ජනතා ව්‍යාපාරයේ අවසානය ද සනිටුහන් කිරීම වනු ඇත. නමුත් ජන අරගලයන්, විප්ලවයන් සහ සමාජ ප්‍රගමනයන් නැවත නැවතත් එන බවත්, පොදුජනයාගේ උසස්තම ප්‍රාර්ථනයන් විසින් රාජ්‍යයේ ස්වභාවය, ගතිකත්වයන්, සහ පැවැත්ම තීරණය කරන බවත්, ජනබලය හමුවේ සියළු බලවේගයන් පරදින බවත් බලයේ හිඳින සහ බලයට පැමිණීමට දතකන සැවොම දැනගත යුතුය.