19 April, 2024

Blog

ඇමරිකාව විසින් ශ්‍රී ලංකාවේ යුද හමුදාපතිවරයාට හා ඔහුගේ පවුලට එ‍රෙහිව සාමූහික ගමන් තහන්චි පැමිණවීම

මහින්ද රාජපක්‍ෂ

මහින්ද රාජපක්‍ෂ

ඇමරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවේ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හා ඔහුගේ පවුලේ සාමාජිකයන් ඇමරිකාවට ඇතුල් වීම තහනම් කරමින් නිවේදනයක් නිකුත් කර ඇත. අපි දැන් සිටින්නේ 21 වෙනි සියවසේ වුවත්, යුරෝපයේ මධ්‍යතන යුගයේ සිදු වූ සාමූහික දඩුවම් සිහිගන්වමින්,  කිසිදු වරදක් සම්බන්ධයෙන් චෝදනාවකටවත් ලක් වී නැති යුද හමුදාපතිවරයාගේ බිරිඳ හා දරුවන් මතත් එම තහන්චියම පනවා තිබේ. මෙහි ඇති සාධාරණය කුමක් දැයි ජනතාව තීන්දු කළ යුතුය. යුද හමුදාපතිවරයා මානව හිමිකම් උල්ලංඝනය කළා යැයි චෝදනා කලද, ඒ චෝදනා මොනවාදැයි කිසිවෙකුත් දන්නේ නැත. නීති ප්‍රකාරව වැරදිකරුවෙකු වෙනතුරු අපරාධයකට චෝදනා ලැබුවෙකු වුවද නිර්දෝශී ලෙස සැලකිය යුතු බවට සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබද ජාත්‍යන්තර සම්මුතියේ සඳහන් වුවත් ශ්‍රී ලංකාවේ හමුදාපතිවරයාට හෝ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට එම නියමය බලපාන බවක් පෙනෙන්නට නැත. අපගේ ආණ්ඩුව මේ සම්බන්ධයෙන් දැනටමත් ඇමරිකා එක්සත් ජනපදය වෙත දැඩි විරෝධය ප්‍රකාශ කර ඇත. 

වෙනත් රටවලට අපගේ ආරක්‍ෂක හමුදා සාමාජිකයන් මේ ආකාරයට මානව හිමිකම් උල්ලංඝනය කළ පුද්ගලයන් හැටියට නම් කිරීමට අවකාශය ලැබුණේ, එක්සත් ජාතික පක්‍ෂය, දෙමළ ජාතික සන්ධානය හා ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන ගිය යහපාලන ආණ්ඩුව 2015 දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ ලංකාවට එරෙහිව ගෙන එනු ලැබූ අංක 30/1 යෝජනාවට සම අනුග්‍රාහකත්වය දැක්වීමෙන් කළ ඓතිහාසික පාවාදීම නිසාය. මේ යෝජනාවේ පළමු ක්‍රියාකාරී වගන්තියේම, 2015 සැප්තැම්බර් මස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමාසාරිස් කාර්යාලය විසින් ලංකාවේ සන්නද්ධ හමුදා මානව හිමිකම් උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් සම්පාදනය කර තිබූ වාර්තාව අගය කර තිබුණි. මෙකී වාර්තාව ඊට කළින්, 2011 දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා, එම ආයතනයේ සාමාන්‍ය ක්‍රියා පටිපාටියට පිටින් පත් කොට තිබු නිල නොවන ත්‍රි පුද්ගල කමිටුවක වාර්තාව මත පදනම්ව තිබුණි. ඒ ආකාරයට, යුද්ධය අවසන් වූ කාලයේ සිට අපේ ආරක්‍ෂක හමුදාවන්ට එරෙහිව නොයෙක් පාර්ශව විසින් එල්ල කළ සියලුම පදනම් විරහිත  චෝදනා, එ.ජා.ප-දෙමළ ජාතික සන්ධාන-ජ.වි.පෙ යහපාලන හවුල පිළිගෙන ඇත. 30/1 යෝජනාව ලංකාවේ සම අනුග්‍රාහකත්වය තුළින් පවත්වාගෙන යෑමේ ක්‍රියාවලියෙන් ඉවත්වීමට අපේ ආණ්ඩුව තීරණය කර ඇත. 

අපේ රටේ යුද හමුදාපතිවරයා සහ ඔහුගේ පවුල මත මධ්‍යතන යුරෝපයේ සාමූහික දඩුවම් සිහිගන්වන ආකාරයේ සාමූහික ගමන් තහන්චියක් පනවා තිබුණද, යහපාලන හවුල එය හෙළා දැක නැත.  එ.ජා.පයේ ලක්‍ෂමන් කිරිඇල්ල මන්ත්‍රීවරයා, මේ ගමන් තහන්චිය පැනවීම අපේ ආණ්ඩුවේ වගකීමක් යැයි කියා, තම පක්‍ෂය 2015 කළ මහා පාවාදීම වසන් කිරීමට උත්සාහ දරයි. ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ මේ මොහොතේ ඇමරිකාව විසින් යුද හමුදාපතිවරයා හා ඔහුගේ පවුලේ සාමාජිකයන් මත මේ ආකාරයට ගමන් තහංචි පනවා ඇත්තේ  පාර්ලිමේන්තු මැතිවරණයෙන් පොදුජන පෙරමුණට විශිෂ්ඨ ජයක් ලබා දීමේ කුමන්ත්‍රණයක් (ඩීල් එකක්) නිසා බවය. දෙමළ ජාතික සන්ධානය නම් ඇමරිකාව විසින් යුද හමුදාපතිවරයා සහ ඔහුගේ පවුල මත පැනවූ සාමූහික දඩුවම ගැන කෙළින්ම ප්‍රසාදය පල කොට ඇත.  2015 දී එජාප ආණ්ඩුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ 30/1 යෝජනාවට සම අනුග්‍රාහකත්වය දක්වන විට ඊනියා අධිරාජ්‍ය විරෝධීන් යැයි කියාගන්නා ජනතා විමුක්ති පෙරමුණ එයට කිසිදු විරෝධයක් දැක්වූයේ නැති බවත් මෙහිදී ජනතාව සිහියේ තබාගත යුතුය. 

යුද හමුදාපතිවරයා සහ ඔහුගේ පවුලට එරෙහිව පනවා ඇති සාමුහික දඩුවම ගැන ඇතිවී තිබෙන කථිකාවෙන් පෙනෙන්නේ මේ රටේ දේශපාලන බෙදීම පවතින්නේ එක් පැත්තකින් රට ජාතිය ගැන හිතන දේශ මාමක බලවේගයත්, අනෙක් පැත්තෙන් රට පාවාදීමට අවස්ථාවක් එනතුරු බලා සිටින උපන් ගෙයි දේශද්‍රෝහීනුත් අතර බෙදීමක් හැටියට බව නොවෙද? 

Print Friendly, PDF & Email

Latest comments

  • 1
    0

    දේශප්‍රේමින් කියල කිව්වේ කාටද? ජනාධිපතිවරණෙට ඉස්සෙල්ල පොළොවේ හැපි හැපී රට ජාතිය වෙනුවෙන්ය කියල මොර දුන්න ගිහි පැවිදි හොර දේශප්‍රේමින්ටද?
    අනිත් එක හමුදාපතිටයි එයාගේ පවුලේ අයටයි ඇමරිකාවට එන්න එපා කිව්ව එකට විරෝධය පල කිරීම හෝ නොකිරීම උඩ කොහොමද දේශප්‍රේමය මනින්නේ අගමැතිතුමා? එන්න එපා නම් නොගිහින් ඉන්නනෙ තියෙන්නේ.
    ලෝකේ ඕනේ රටකට පුළුවන් තමන්ගේ රටට ඇතුල් වෙන හෝ නොවෙන මිනිස්සු කවුද කියල තීරණය කරන්න.
    ඕනෙ නම් කොන්ද පණ තියෙනවා නම් ලංකාවටත් පුළුවන් ඇමරිකන් යුධ හමුදාපති සහ පවුලේ අයට ලංකාවට ඇතුළු වීම තහනම් කියල කියන්න.
    ඊළඟට බලන්න. හමුදාපතිට ඇමරිකාවට යන්න බෑ කියපු එකට ශෝක වෙලා මාස තුනක් තිස්සේ මකුළු දැල් බැඳිලා තිබ්බ කටවල් ඇරපු ගිහි පැවිදි හොර දේශප්‍රේමියෝ නුදුරු අනාගතේ අත්සන් කරන්න ඉන්න රට පාවා දෙන එම්සීසී ගිවිසුම ගැනවත් සයින්තුමරතු වල මුස්ලිම් මිනිස්සුන්ට වෙනම පාලනයක් දුන්නු එක ගැනවත් හීන් කෙඳිරියක්වත් නැති හැටි.
    දැන් ලංකාවේ තියෙන්න ඕනේ කඳවුරු දෙකයි.
    එකක්, එම්සීසී සෝෆා ගිවිසුම් අත්සන් කරලා රට ජාතිය ආගම පාවාදෙන ඇමරිකන් කඳවුර.
    අනික, ඊට එරෙහි සැබෑ දේශප්‍රේමී කඳවුර.
    ජනතාව හිටපු කඳවුර වෙනස් වෙලා නැහැ. නමුත් දේශපාලකයන්ගේ කඳවුරු වෙනස් වෙලා. එදා දේශප්‍රේමියෝ. අද දේශද්‍රෝහියෝ.
    හැබැයි මේක මෙතනින් ඉවර වෙන්නේ නැහැ. අනාගතේ කවද හරි දවසක, ව්‍යවස්ථාව සහ මැතිවරණ නීති උල්ලංඝනය කරලා, ඇමරිකන් පුරවැසියෙක් ජනාධිපති තනතුරට පත්වීම නීති විරෝධී බව අධිකරණ තීන්දුවකින් ඔප්පු කරලා මේ ජනාධිපති කල කී සියලු දේ අවලංගු කරන්න ඕනේ. කවුරු හරි ඕක කරයි.
    සිංහල බෞද්ධයෝ 2015 ඉඳන් එකමුතු වෙලා වහල් ආණ්ඩුව ගෙදර යැව්වේ තමන්ගේ රට ගැන මේ විදිහට තැවී තැවී ඉන්න නෙමෙයි. අන්තිමට ජාතියක් එකමුතු වෙලා චන්දෙන් පත් කරගෙන තියෙන්නේ රනිල්ටත් අන්ත ද්‍රෝහියෙක්.
    ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඊළඟ චන්දෙ දිනන්න එම්සීසී ගිවිසුම අත්සන් කරලා සොච්චම් ඇමරිකන් ඩොලර් මිලියන 480කට ලංකාව හරහා මුළු ආසියා කලාපයේම බලය අල්ල ගැනීම ලොකු හයියක් වෙනවා.
    සිංහල බෞද්ධයන්ගේ චන්දෙන් ඇවිල්ල මේ තරම් නිහීන විදිහට රට පාවා දීම නවත්තන්න එක්කෝ ඩොනල්ඩ් ට්‍රම්ප් සෙට්ටපොච්චි වෙන්න ඕනේ. නැත්නම් මෙයා යන්න ඕනේ.

  • 1
    0

    බුදුන් වැඩි බිම රකින නිරිඳේක්
    එතැයි මිනිසුන් ඇස විදා
    බලන් උඩ, පා තබා තිබුනේ
    ඇදපු උගුලක ඇමරිකා
    .
    උතුම් පැරකුම් සිරිත බොරුවී
    දනන් එළිපිට රවටනා
    නමින් දියසෙන් – පවින් අගතැන්
    සමන් දෙවිටත් වැරදුනා?
    .
    වරම් සිව් දෙවොලත් වසා දා
    දෙවිඳු දෙවොලෙන් පිටවුනා
    කියන්නට කිසි කෙනෙක් නැති තැන
    මහා රාවණ සිහි වුනා
    .
    අදත් ලංකා – ගිරේ ඉන්නා
    රව්ළු මහ බල – රාවණා
    පිරිත් පැන් ඉස උරිස් සොලවමි
    දෙනෙත් හැර ගනු නොම පමා
    .
    තවත් දෙදහස් වසක් යනතුරු
    රැකිය යුතු මේ පින්බිමා
    බලන් වෙන්නට යන විපත
    ලක් – දෙරණ උගසට තබමිනා
    .
    එකෙක් රැකුමද – රටක් රැකුමද
    දෙකෙන් එක තෝරාගෙනා
    ඉඳින් මා සිත තැවුල් අවසන්
    කරන් – යක් රජ රාවණා
    .
    නිමල් බුදු බණ ඇසුණු පින්බිම
    විසල් අවුලෙන් පිරිහෙනා
    රුවන්මැලි සෑ රජුත් සොරු අත
    තවත් මට බැරි වාවනා
    .
    වෙසක් සඳ සිරිපතුල නමදින
    උතුම් දිනයක් ළඟ එනා
    දැහැන් ගතවී තවත් කිම ඵල
    ගිරින් බැස එනු – රාවණා!

  • 0
    0

    අගමැතිතුමා,
    අන්න ඩොනල්ඩ් ට්‍රම්ප් ලබන සතියේ ඉන්දියාවට එනවලු.
    හදිසියේ වත් ගෙදර යන ගමන් ලංකාවටත් එන්න හිතුවොත්, ලෑස්ති වෙලා ඉඳිමු නේද ලංකාව පුරාම කළු කොඩි දාල අපේ අප්‍රසාදය පල කරන්න හමුදාපතිට ඇමරිකාවට එන්න තහනම් කලාට?
    මොකොද කියන්නේ?
    ඇමරිකන් ජනාධිපතිට විරෝධය පල කරන්න මේ වගේ අනර්ඝ අවස්ථාවක් ආයෙත් එන එකක් නැහැ. ඒ හින්ද මේ අවස්ථාව අතාරින්න හොඳ නැහැ.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.