1 October, 2020

Blog

මානව හිමිකම් සහ ආර්ථිකය

හර්ෂ ගුණසේන

හර්ෂ ගුණසේන

යුරෝපා කොමිසම විසින් 2020 පෙබරවාරි 10 වන දින ශ්‍රී ලංකාවේ වර්ෂ 2018-2019 කාලය තුළ ජී එස් පී + ක්‍රියාකාරීත්වය සහ ශ්‍රී ලංකාව අත්සන් කළ සම්මුතීන් වල ක්‍රියාකාරීත්වය පිලිබඳ වාර්තාවක් ඉදිරිපත් කර තිබේ.

සිවිල් සහ දේශපාලන අයිතීන් පිලිබඳ ජ්‍යාත්‍යන්තර සම්මුතිය, වධ හිංසාවට ලක්කිරීමට එරෙහි ජාත්‍යන්තර සම්මුතිය සහ ළමුන්ගේ අයිතිවාසිකම් පිලිබඳ සම්මුතිය යන ශ්‍රී ලංකාව විසින් අත්සන් කරණ ලද ජාත්‍යන්තර සම්මුතීන්ට අනුකූලව ක්‍රියා නොකිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවට යුරෝපා සංගමය මගින් ලබාදුන් ජී එස් පී + සහනය වර්ෂ 2010 දී  අත් හිටුවන ලදී.

ජී එස් පී + යටතේ ශ්‍රී ලංකා අපනයන වලට යුරෝපා සංගමය මගින් ප්‍රදානය කළ තීරු බදු සහනය අනුව බොහෝ භාණ්ඩ වලට කිසිම තීරුබදු අයකිරීමක් නොකෙරුණි.  එමෙන්ම ශ්‍රී ලංකාවෙන් යුරෝපා සංගමයට අපනයනය කරණ භාණ්ඩ ශ්‍රී ලංකාවේ මුළු අපනයනයෙන් 1/3 ක් පමණ විය. එවකට තිබූ ආණ්ඩුව ජී එස් පී + සහනය ලබාදීම වෙනුවෙන් යුරෝපා සංගමය විසින් පනවන ලද කොන්දේසි අනුව කටයුතු කිරීමේදී ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වය කැප කිරීමට සිදුවන බව පවසමින් එම සහනය නැවත ලබා ගැනීම වෙනුවෙන් උත්සාහයක් ගත්තේ නැත. 

යුරෝපා සංගමය ඉල්ලා සිටියේ ජී එස් පී + සහනය ලබාදීම වෙනුවෙන් ශ්‍රී ලංකාව විසින් එවකට එකඟවී අත්සන් කර තිබුණු ජාත්‍යන්තර සම්මුතීන් 27 ක් සක්‍රිය ලෙස ක්‍රියාත්මක කරණ ලෙසය.

ශ්‍රී ලංකාව විසින් අත්සන් කර තිබූ ජාත්‍යන්තර සම්මුතීන් බලාත්මක කිරීම සඳහා ගාස්තුවක් හෝ කප්පමක් හෝ වශයෙන් ශ්‍රී ලංකාවට ජී එස් පී + සහනය ලබාදීමට එනම් ශ්‍රී ලංකාවෙන් යුරෝපා සංගමයට අපනයනය කරණ භාණ්ඩ බොහොමයක තීරුබදු ඉවත් කිරීමට යුරෝපා සංගමය කැමැත්ත ප්‍රකාශ කිරීම හරහා මතුවන ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ප්‍රතිරූපය කෙබඳුද? ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සම්මුතීන්ට අත්සන් කලේ නම් ඒවා ක්‍රියාත්මක කළ යුතුය. කිසිවකු විසින් ඒ සඳහා කප්පම් ගෙවිය යුතු නොවේ. මෙම සම්මුතීන් මගින් ශ්‍රී ලංකාවේ සහ ශ්‍රී ලාංකිකයන්ගේ මානව හිමිකම්, කම්කරු අයිතිවාසිකම්, යහපාලනය, පරිසරය සහ ධරණීය සංවර්ධනය යන කරුණු ආවරණය වේ. මේ සම්මුතීන් ක්‍රියාත්මක කිරීම මගින් සහන සැලසෙන්නේ ශ්‍රී ලංකාවට සහ ශ්‍රී  ලාංකිකයන්ටයි. යුරෝපා සංගමයට නොවේ. එපමණක් නොවේ. ජී එස් පී + සහනය මගින්  නැවත ශ්‍රී ලංකා ආර්ථිකයට සහ ශ්‍රී ලාංකිකයන්ට ප්‍රතිලාභ ලැබේ. යුරෝපා සංගමයට ලැබෙන ප්‍රතිලාභයක් නැත.

ශ්‍රී ලංකාව මේ අවස්ථාවේදී ජී එස් පී + සහනය වෙනුවෙන් මෙම සම්මුතීන් ක්‍රියාත්මක කිරීම නිසා සිය  ස්වෛරීත්වයට හානි සිදුවන බව පවසමින් සම්මුතීන් ක්‍රියාත්මක කිරීම පැහැර හැරියේය.

යුරෝපා සංගමය ඇත්ත වශයෙන්ම පෙනී සිටියේ සිය ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය තුලම මර්දනයට ලක්වී සිටි පිඩිත සහ දුර්වල ජන කොටස් වෙනුවෙනි. මෙම පීඩිතයන්  වාර්ගික හෝ ආගමික සුළු ජන කොටස් හෝ ස්ත්‍රීන් හෝ දරුවන් හෝ වෘත්තීය සමිති හෝ විය හැක. 

ප්‍රජාතාන්ත්‍රික රාජ්‍යයක ප්‍රධාන කුළුණු තුනක් තිබේ. එනම් විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණයයි. එයට අමතරව මාධ්‍යය ද ක්‍රියාත්මක වේ. මෙයින් එක් ආයතනයක්  විසින් අනෙක් ආයතන අතික්‍රමණය කිරීම වැළැක්වීම සඳහා ව්‍යවස්ථාවට  සංවරණ සහ තුලන  හඳුන්වාදී ඇත. මේ මගින්  ජනතාව සතු ස්වෛරීත්වය ආරක්ෂා වී තිබේ. යුරෝපා සංගමයේ හෝ එක්සත් ජාතීන්ගේ හෝ ක්‍රියාවන් ව්‍යවස්ථාවට පරිබාහිරව ජනතාව මර්දනයෙන් වැළැක්වීම සඳහා ඇතිවූ යම් සංවරණ සහ තුලන ක්‍රියාවලියකි. ජනතාව මර්දනයෙන් වැළැක්වීම මගින් ඔවුන්ගේ ස්වෛරීත්වය ආරක්ෂා වේ. 

මේ මගින් යුරෝපා සංගමයට ලැබෙන ප්‍රතිලාභය කුමක් දැයි යමකු අසනු ඇත. එයට පිළිතුර වන්නේ තමන් අගය කරණ ප්‍රතිපත්තීන් සහ හර පද්ධතීන් තවත් අයකු විසින් ක්‍රියාත්මක කරනු ලැබීමේ සන්තෝෂයයි.

පසුගිය යහපාලන ආණ්ඩුව විසින් එතෙක් පැවති ක්‍රියා පිළිවෙල ආපසු හරවා නැවත ජී එස් පී + සහනය ලබාගෙන ශ්‍රී ලංකාව අත්සන් කළ ජාත්‍යන්තර සම්මුතීන් ක්‍රියාත්මක කිරීම අරඹන ලදී. මේ අනුව ශ්‍රී ලාංකිකයන්ට ද්විත්ව සහනයක් ලැබිණ. එනම් තීරුබදු සහනය සහ ජාත්‍යන්තර සම්මුතීන් ක්‍රියාත්මක කිරීම මගින් ලැබෙන නිදහසේ සහනයයි.

යුරෝපා සංගමයේ වාර්තාව නිකුත් වන්නේ පසුගිය වසර දෙකේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහාය.මෙම වාර්තාව බොහෝ සෙයින් ම  අදාලවනුයේ පසුගිය ආණ්ඩු කාලයටයි. වාර්තාව මගින් ආණ්ඩුවේ සාධනීය ක්‍රියා  ප්‍රශංසා වට ලක් කර ඇති අතර වඩා දියුණු කළ යුතු අංග අවධානයට ලක් කර තිබේ.

“ශ්‍රී ලංකාව බෙහෝ සාධනීය පියවර ගෙන ඇත: අතුරුදහන් වූවන්ගේ කාර්යාලය සහ හානි පූරණය සඳහා වන කාර්යාලය පිහිටුවා තිබීම; වධ හිංසාවට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතියේ විකල්ප කෙටුම්පත අනුමත කිරීම; බලහත්කාරයෙන් අතුරුදහන් කරවූවන් සම්බන්ධ පනත සහ තොරතුරු දැනගැනීමේ පනත සම්මත කර ගැනීම; මගින් විනිවිද භාවය සහ ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා බලවත් කැපවීමක් පෙන්නුම් කරයි. එනමුත් විශේෂයෙන්ම වගවීමේ ක්‍රියාවලිය සම්බන්ධව  ප්‍රගතිය ස්ථාවර නැත. පාස්කු ඉරිදා ප්‍රහාර වලින් පසුව සුළු ජාතීන්ගේ තත්ත්වය නොසන්සුන් වී ඇත. වධ හිංසාවට ලක්වීම වැළැක්වීම න්‍යාය පත්‍රයේ ඇත. එනමුත් වගවීම සම්බන්ධයෙන් වන ක්‍රියාකාරකම් ඉක්මන් කළ යුතුව ඇත.”

“සමස්තයක් වශයෙන් වර්ෂ 2015 සිට ශ්‍රී ලංකාවේ මානව හිමිකම්වල  සහ යහ පාලනයේ වර්ධනයක් පෙන්නුම් කරයි. එනමුත්  අසතුටු දායක තත්ත්වයන් කිහිපයක් තිබේ.”

පසුගිය ජනාධිපතිවරණයෙන් පසුව සිවිල් සමාජයට සහ මානව හිමිකම් සුරකින්නන්ට ක්‍රියාත්මක වීමට තිබූ අවකාශය අවහිර නොකිරීමේ වැදගත් බව පිළිබඳව වාර්තාව අවධාරණය කරයි. එනමුත් දිගටම එක්සත් ජාතීන් සමඟ එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාවද ජාත්‍යන්තර මානව හිමිකම් කොමිසමේ 30/1  යෝජනාව ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවද වාර්තාව පෙන්වා දෙයි.

මේ අතර ශ්‍රී ලංකාවේ සම සහභාගිත්වයෙන් මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කරණ ලද මෙම යෝජනාවෙන් ඉවත්වන බව  ශ්‍රී ලංකා ආණ්ඩුව පසුගියදා නිවේදනය කළේය.

ළමා ශ්‍රමය නැති කිරීම, කම්කරු අයිතිවාසිකම් ගෘහස්ත හිංසනය සහ කාන්තා දේශපාලන නියෝජිතයන්ට හිමි පංගුව සම්බන්ධ කාරනා වලදී ප්‍රගතියක් පෙන්නුම් කර ඇතැයි වාර්තාව සඳහන් කරයි.

විධායක ජනාධිපති ක්‍රමය සංශෝධනය කළ එමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය සහ යුක්තිය සුරැකීම සම්බන්ධයෙන් ප්‍රමුඛ කාර්ය භාරයක් ඉටුකරන යම් ආයතන වල ස්වාධීනත්වය තහවුරු කරණ 19 ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමේ වෑයම පිළිබඳව වාර්තාව කනස්සල්ල පළ කරයි.

ඥානසාර හිමියන්ට සමාව දීම ගැන සඳහන් කරණ වාර්තාව එය අධිකරණය ටත් ඥානසාර හිමියන් ගේ ක්‍රියා හේතුවෙන් වින්දිතයන් වූ මුස්ලිම් වරුන්ටත් කනස්සළු දායක පණිවිඩයක් නිකුත් කරණ බව කියයි. එමෙන්ම ශක්තික සත්කුමාර අත්අඩංගුවට පත්වීම පිළිබඳවද වාර්තාව සඳහන් කරයි.

ආගමික නිදහස ගැන කටයුතු කරණ රාජ්‍ය නොවන සංවිධානයක් වර්ෂ 2018 ජනවාරි මස සිට  ක්‍රිස්තියානීන් ඉලක්ක කරගෙන සිදුකළ තර්ජනය කිරීම් සහ ආගමික මෙහෙයයන් කඩාකප්පල් කිරීම් 86 ක් වාර්තා වූ බව සඳහන් කරණ වාර්තාව 2019 අප්‍රේල් 14 වනදා මෙතෝදිස්ත සභාවේ ආගමික මධ්‍යස්ථානය කට ගල් සහ රතිඤ්ඤා වලින් කළ පහර දීම ගැනද සඳහන් කරයි. 

පසුගිය ආණ්ඩුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කර වෙනත් පනතක් ගෙන ඒමට උත්සාහ ගත්තත් පවතින ආණ්ඩුව වැඩිදියුණු කළ කෙටුම්පතක් ඉදිරිපත් කරණ තෙක් පවතින පනත පවත්වාගෙන යන බව ප්‍රකාශ කළ බවද වාර්තාව සඳහන් කරයි.

ද්‍රවිඩ ජනතාවගේ ඉඩම් නිදහස් කිරීම ගැන සඳහන් කරණ වාර්තාව විදේශ ඇමතිවරයාට අනුව 2019 මාර්තු 12 වන විට රාජ්‍ය ඉඩම් වලින් 88.87% ක්ද පුද්ගලික ඉඩම්වලින්   92.16% ක් ද නිදහස් කර ඇති බව කියයි    

මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත සංශෝධනය කිරීමේ අවශ්‍යතාව ද වාර්තාව අවධාරණය කරයි.

එමෙන්ම ළමයින්ට එරෙහිව ක්‍රියාත්මක වන ශාරීරික දඬුවම් ද ලිංගික අපයෝජනයද ආර්ථික සූරා කෑම ද සම්බන්ධයෙන් ඉක්මන් අවධානයේ අවශ්‍යතාව වාර්තාව අවධාරණය කරයි.

ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවේ සඳහන් වුනද ජන වර්ගය සහ ආගම වැනි කරුණු හෝ වෘත්තීය සමිතියකට අයත්වීම සහ දේශපාලන මත දැරීම හෝ වැනි විවිධ කාරනා සම්බන්ධ වෙනස්කොට සැලකීමට එරෙහි නීතියක් නොමැති කම වාර්තාව පෙන්වා දෙයි. 

එමෙන්ම ස්ත්‍රීන්ට සහ පුරුෂයන්ට සමාන වැඩට සමාන වැටුප් ලබා දිය යුතු බවට නීතියක්ද නොමැති බව ද ලිංගික අතවර වලින් සේවක සේවිකාවන් ආරක්ෂා කිරීමට ප්‍රතිපාදන නොමැති බවද වාර්තාව  පෙන්වා දෙයි.

එමෙන්ම අල්ලා ගත් නීති විරෝධී ඇත්දළ තොගයක් ප්‍රසිද්ධියේ විනාශ කිරීම පිළිබඳව වාර්තාව ප්‍රශංසා කරයි.

වාර්තාව විසින් මතු කරණ ලද සියළුම කරුණු ශ්‍රී ලංකාව විසින් අත්සන් කළ සම්මුතීන් 27 ක්‍රියාත්මක කිරීමට අදාලවේ. එම වපසරියට පිටින් කිසිවක් වාර්තාවේ සාකච්ඡා කර නැත.

ශ්‍රී ලංකාවට ජී එස් පී + සහනය වෙනුවෙන් ලැබුන ආර්ථික ප්‍රතිලාභ වාර්තාවේ පහත දැක්වෙන ලෙස පෙන්වා දී ඇත.

“ශ්‍රී ලංකාවේ සමස්ත වෙළෙඳාම 2017 සිට 2018 දක්වා  යුරෝ බිලියන 29.1  කින් වැඩිවී ඇත. මෙය 3% ක වර්ධනයකි. සමස්ත වෙළෙඳ ශේෂයේ හිඟය යුරෝ බිලියන 9 කි.  වර්ෂ 2018 දී යුරෝපා සංගමය ශ්‍රී ලංකාවේ විශාල තම වෙළෙඳ සහකරුවා විය. මෙය ශ්‍රී ලංකාවේ සමස්ත වෙළෙඳාමෙන්  16% කි.  වටිනාකම යුරෝ බිලියන 4.7 කි. මේ අනුව යුරෝපා සංගමය ඉන්දියාවටද(14.6%)  චීනයටද (13.4%) ඇමෙරිකාවටද (10.2%) වඩා ඉදිරියෙන් සිටී. මෙතෙක් දුරට ශ්‍රී ලංකාවේ අපනයන වලින් වැඩිම ප්‍රමාණයක් එනම් 30% කට වඩා වැඩි ප්‍රමාණයක් ආනයනය කරන්නේ යුරෝපා සංගමයයි. වටිනාකම යුරෝ බිලියන 2.8 කි. ඇමෙරිකා එක්සත් ජනපදයට ශ්‍රී ලංකාවේ අපනයන 26% ක්ද ඉන්දියාවට6.6% ක්ද වේ. ශ්‍රී ලංකාවේ ආනයන සම්බන්ධයෙන් චීනය ඉදිරියෙන් 

වාර්තාව සඳහන් කරණ සමස්ත වෙළෙඳාම යනු ආනයන සහ අපනයන යන දෙකේ එකතුවයි.

එමෙන්ම ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයට කෙරෙන අපනයන වලින් වැඩි කොටස එනම් 2018 දී  84% ක් ජී එස් පී + සහනය සඳහා සුදුසුකම් ලබන්නේ වුවද එය පාවිච්චි කිරීමේ අනුපාතය (එනම් ශ්‍රී ලංකාවේ සහනය සඳහා සුදුසුකම් ලබන අපනයන වලින් සහනය ලැබූ අපනයන අනුපාතය) 60% කින් පමණ වැඩි කිරීමේ අවකාශයක් තිබේ. කෙසේ නමුත් මෙම පාවිච්චි කිරීමේ අනුපාතය පසුගිය වසර තුනේ අනුක්‍රමයෙන් වැඩිවී තිබේ. ජී එස් පී + සහනය යටතේ ශ්‍රී ලංකාවෙන් වැඩිපුරම අපනයනය කෙරෙන්නේ නිමි ඇඳුම් (54%) සහ රබර්(19%)  ය.

පසුගිය ආණ්ඩුව මෙම මූලික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ ලා දැක්වූ මන්දගාමී ස්වරූපය අපි දනිමු. එක් අතකින් අපගේ පුරවැසියන්ගේ මූලික අයිතීන් සුරැකීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන් සහ යුරෝපා සංගමයේ ක්‍රියාකාරීත්වය සම්බන්ධව අපි ලැජ්ජාවට පත් විය යුතු වමු. ඇත්ත වශයෙන්ම එක්සත් ජාතීන් සහ යුරෝපා සංගමය අප පුරවැසියන්ගේ ස්වෛරීත්වය සුරැකීමට උත්සාහ කරණ අතර මෙරට සමහර කොටස් රාජ්‍යයේ ස්වෛරීත්වය සුරැකීමේ මුවාවෙන් එයට විරුද්ධ වෙති. මෙම වාර්තාව ශ්‍රී ලංකාව විසින් අත්සන් කරණ ලද ජාත්‍යන්තර සම්මුතීන් වල ක්‍රියාකාරීත්වය සම්බන්ධ පැතිරුණු ස්වභාවයද ආර්ථික ප්‍රතිලාභ වල වර්ධනයද පෙන්නුම් කරයි. එමෙන්ම වර්තමාන ආණ්ඩුවේ වගකීම වන්නේ පසුගිය ආණ්ඩුවේ ක්‍රියා පිළිවෙල ඉදිරියට ගෙනයාම මිස එය කඩාකප්පල් කර ප්‍රවාහය ආපසු නොහැරවීම බව මෙම වාර්තාව මගින් පෙන්වා දෙනු ලැබේ.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.