19 September, 2020

Blog

රුපියලේ බිඳවැටීම හා යහපාලන ආණ්ඩුවේ ආර්ථික අවපාලනය 

මහින්ද රාජපක්‍ෂ

මහින්ද රාජපක්‍ෂ

යහපාලන ආණ්ඩුව බලයට පැමිණි දා සිට ඇමරිකානු ඩොලරයට සාපේක්‍ෂව රුපියලේ අගය පහත වැටීමේ ප්‍රවනතාවයක් පැවතුණි. එය අද වන විට  භයානක නාය යෑමක් දක්වා වර්ධනය  වී ඇත. 2014 අවසානයේදී රුපියල් 131 ක් වූ ඩොලරයේ මිල අද රුපියල් 170 ඉක්මවා ගොස් දිනපතාම තවදුරටත් අවප්‍රමාණය වෙමින්  පවතී. රුපියලේ වටිනාකම මේ ආකාරයට කඩා වැටීමට හේතුව වෙනත් මූල්‍ය ඒකකයන්ට සාපේක්‍ෂව ඩොලරයේ අගය ඉහල යෑම යැයි ආණ්ඩුවේ ප්‍රධානීන් කියයි. මගේ ආණ්ඩු කාලය තුළ 2007 – 2008 වසර වලදී ඇතිවූ ලෝක ආර්ථික අර්බුදය හේතුකොටගෙන දකුණු කොරියාව, ඉන්දුනීසියාව, තායිලන්තය, පිලිපීනය, මැලේසියාව ඇතුළු ආසියානු රටවල් ගණනාවක මුදල් ඒකක ඇමරිකානු ඩොලරයට සාපේක්‍ෂව විශාල වශයෙන් කඩා වැටුණි.  එදා ඒ ඇතිවූ ලෝක ආර්ථික අර්බුදයෙන් ලංකාවට කිසිදු බලපෑමක් සිදු නොවන බවට වලබලා ගැනීමට අපේ ආණ්ඩුව සමත්විය.  

2007 – 2008 වසර වලදී මුලු  ලෝකය පුරාම හමාගිය දරුණු  ආර්ථික අර්බුදයක් තිබුණු බව වත් බොහෝ ශ්‍රී ලාංකිකයින් දැනගෙන සිටියේ නැත. 2007 දී රුපියල් 110.62 ක් වූ ඇමරිකානු ඩොලරය 2009 දී ලෝක ආර්ථික අර්බුදය අවසන් වූ පසුත් රු. 114.94 ක අගයක පැවතියේය. 2008 දී ඇමරිකාවේ එෆ්.බී.අයි ආයතනය ලෝකයේ දරුණුම ත්‍රස්තවාදී සංවිධානය හැටියට නම්කරනු ලැබූ කොටි සංවිධානය මගේ ආණ්ඩුව විසින් පරාජය කරනු ලැබුවේ 1930 ගණන් වලින් පසුව ලෝකයේ ඇතිවූ දරුණුම ආර්ථික බිඳවැටිම මධ්‍යයේය. ආණ්ඩුවේ කාර්යභාරය වන්නේ අර්බුද කළමනාකරණය කිරීම මිස ඒ ගැන මැසිවිලි නැඟීම නොවේ. 2008 දී මුලු ලෝකය පුරාම හමා ගිය ඒ දරුණු ආර්ථික අර්බුදයෙන් බේරී සිටීම අපටද යුහුසුලුව නොයෙක් පියවර ගැනීමට සිදුවිය. ලංකාවේ එක් වානිජ බැංකුවක් අස්ථාවර බවක් පෙන්නුම් කල විට, අපි එය වහාම රාජ්‍ය බැංකුවක අධීක්‍ෂණය යටතට පත්කොට මුලු බැංකු ක්‍ෂේත්‍රය පුරාම පැතිරීමට ඉඩ තිබූ අර්බුදයක් වලක්වා ගත්තෙමු. 

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකානු ව්‍යාපාරික ආයතන වලට දිරිගැන්වීම් ලබාදී දේශීය නිශ්පාදනය උනන්දු කරවීම සඳහා ආනයන බදු වැඩි කිරීම වැනි ක්‍රියාකාරකම් තුළින් ඇමිරිකානු ආර්ථිකය ශක්තිමත් කොට ඇත. දේශීයව නිපදවිය හැකි දේවල්, විශේෂයෙන්ම කිරි නිශ්පාදන, බඩ ඉරිඟු, සෝයා, සීනි, ලූනු, අර්තාපල්, පලතුරු, එලවලු, කුකුල් මස් හා ඇතැම් කාර්මික නිශ්පාදන මෙරටේම නිපදවා ආනයන අඩු කිරීමේ ප්‍රතිපත්තියක් මගේ ආන්ඩුවටද තිබුණේය. ඊට වෙනස්ව වත්මන් ආණ්ඩුව අනුගමනය කරන්නේ කෙලවරක් නැති නිදහස් ආනයනික වෙළඳ  ප්‍රතිපත්තියකි. ආනයන අඩුකොට අපනයන වැඩි කිරීමට කිසිදු උපායමාර්ගයක් ඔවුන්ට නැත. ආණ්ඩුවක කාර්යභාරය වන්නේ ලෝක ප්‍රවනතා අධ්‍යනය කොට එයට සමගාමීව අපගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට පියවර ගැනීම මිස විදේශීය රටක නායකයෙකු ඔහුගේ ආර්ථිකය ශක්තිමත් කර තිබෙන බවත්, ඒ හේතුවෙන් අපේ රුපියලේ අගය බිඳ වැටෙමින් පවතින බවත් කියමින් මැසිවිලි නැගීම නොවේ.  

අපගේ මුදල් ඒකකයේ වටිනාකම පවත්වාගෙන යෑම සඳහා විදේශීය රටවල ආර්ථික උදාසීනත්වය මත රදා පවතින ආණ්ඩුවක් අපට සිටියහොත් මේ රට දරුණු අර්බුදයකට ඇද වැටීම වැලැක්විය නොහැක. රුපියලේ බිඳවැටීම නිසා සිදුවන්නේ සියලුම පරිභෝජන භාණ්ඩ හා අමුද්‍රව්‍ය වල මිල වැඩිවීම පමණක් නොවන බව අප අවබෝධ කරගත යුතුය. 2015, 2016, 2017 යන වසර වලදී අදට වඩා තරමක් අඩුවෙන් රුපියලේ අගය පහතවැටීම හේතුවෙන් වුවද ශ්‍රී ලංකාවේ විදේශීය ණය බර රුපියල් බිලියන 697 කින් වැඩිවී ඇති බව මහ බැංකු වාර්තා වල සඳහන් වේ. විදේශීය ණය ගෙවීම සඳහා රුපියල් වලින් ආදායම් උපයා ඩොලර් මිලදී ගැනීමට ආණ්ඩුවට සිදුවේ. මෙම වසර තුළ සිදුවී ඇති රුපියලේ කඩාවැටීම නිසා විදේශීය ණය බර කලින් අවුරුදු වලටත්  වඩා දරුණු අන්දමට වැඩිවනු ඇත. 

2015 පාර්ලිමේන්තු මැතිවරණය ජය ගැනීම සදහා වත්මන් ආණ්ඩුව කිසිදු වග විභාගයකින් තොරව සිදුකල වැටුප් වැඩි කිරීම, ඉන්ධන මිල පහත හෙලීම හා ඇතුම් ආනයනික ආහාර ද්‍රව්‍ය වල බදු අඩු කිරීම වැනි ක්‍රියාකාරකම් නිසා ආණ්ඩුවේ වියදම් එක්වරම වැඩිවූවා පමණක් නොව ඉන්ධන හා මෝටර් රථ ආනයනයද වැඩි විය. මේ නිසා ඇතිවු වෙලඳ හා අයවැය පරතරය පියවීමට ආණ්ඩුව මහා පරිමානයෙන් ණය ගැනීමට පටන් ගත්තේය. විනිමය අනුපාතයේ සුලු වෙනසකින් වුවද විදෙස් ණය බර විශාල වශයෙන් වැඩිවිය හැකි නිසා මගේ ආණ්ඩුව විදේශීය වානිජ ණය ගැනීමේදී ඉතාමත්ම ප්‍රවේසම් විය. උදාහරණයක් වශයෙන් මගේ ආණ්ඩුව ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර නිකුත් කරනු ලැබුවේ අවුරුද්දකට දෙවතාවක් පමණි. එයින් ලබා ගන්නා ලද ණය ප්‍රමාණයද අවුරුද්දකට ඩොලර් මිලියන 350 ක සාමාන්‍ය අගයක් ඉක්මවූයේ නැත. 

ණය ආපසු ගෙවීම ආර්ථිකයට දරාගත නොහැකි බරක් නොවන්නට නම්, විදේශ විනිමය ණය පරිමාව ඉතා ප්‍රවේසමෙන් පාලනය කළ යුතුය. නමුත් වත්මන් ආණ්ඩුව ඉවක් බවක් නොමැතිව විදේශීය වානිජ ණය ලබාගෙන තිබේ.  2015 ජනවාරියේ සිට අද දක්වා මෙම ආණ්ඩුව ලබාගෙන ඇති මුලු විදේශ විනිමය ණය ප්‍රමාණය ඇ.ඩො. බිලියන 20.7 ක් වේ. ඒ 2015 ජනවාරියේ සිට අද දක්වා ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර නිකුත් කිරීම තුළින් ඩොලර් බිලියන 8.2 ක්, 2015, 2017 හා 2018 වන වසර වලදී නිකුත් කරන ලද සවරින් බොන්ඩ් තුළින් ඩොලර් බිලියන 6.1ක්, 2015 හා 2016 ඉන්දියාව සමඟ ඇතිකරගත් කරන්සි ස්වොප් ණය තුළින් ලබාගත් ඩොලර් බිලියන 2.2 ක්, 2016, 2017 හා 2018 යන වසර වලදී ජාත්‍යන්තර බැංකු හාරහා ලබාගෙන ඇති සින්ඩිකේටඩ් ලෝන් ඩොලර් බිලියන 2.7 ක් හා 2016 දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබාගත් ඩොලර් බිලියන 1.5 ක් වශයෙන් වෙන්කොට පෙන්විය හැක. 

විදෙස් ණය බර නිසා රුපියලේ අගය අවප්‍රමාණය වීමත්, ඒ අවප්‍රමාණය නිසාම අපගේ විදේශීය ණය බර තවත් වැඩිවන විෂම චක්‍රයකට අප දැන් හසුවී සිටී. රුපියලේ බිඳ වැටීම හේතුවෙන් ජාත්‍යන්තර වෙළඳපලේ භාණ්ඩ වල මිල අඩුවීමේ වාසියද ලංකාවේ ජනතාවට අහිමි වී තිබේ. මෙම වසර තුළ තුන් වතාවක් ඉන්ධන මිල වැඩිකොට ඇත. අද පෙට්‍රල් ලීටරයක් රු.149 ක් වන අතර ඩීසල් ලීටරයක් රු. 123 ක් වේ. නමුත් බොරතෙල් බැරලයක මිල ඩොලර් 80ටත් අඩුය. මගේ ආණ්ඩුවේ අවසන් අවුරුදු හතර තුළ දී වූ බැරලයකට ඩොලර් 109 ක්වූ සාමාන්‍ය බොරතෙල් මිලට වඩා අද බොරතෙල් මිල බෙහෙවින්ම අඩුය. 2008 දී අපි බැරලයකට ඩොලර් 97 ගණනේ බොරතෙල් ගෙන්වන විට ලංකාවේ පෙට්‍රල් ලීටරයක මිල රු. 120 ක් වූ අතර ඩීසල් රුපියල් 70 ක් විය. අද ලෝක වෙළඳපොලේ බොරතෙල් වල අඩු මිලත් ලංකාවේ ඉන්ධන වල ඉහල මිලත් අතර නොගැලපීමට  ප්‍රධාන හේතු රුපියලේ අවප්‍රමාණය හා ඉන්ධන මත පනවා ඇති බදුය. ආණ්ඩුව ඔවුන්ගේ ඉන්ධන මිල සූත්‍රය මොනම හේතුවකටවත් ප්‍රසිද්ධ නොකරන්නේ එයින් ආණ්ඩුවේ නොහැකියාව මෙන්ම ඉන්ධන මත අයකරන බදු ප්‍රමාණයද හෙළිවන නිසාය. 

ඉන්දියානු රුපියල ලංකාවේ රුපියලටත් වඩා අවප්‍රමාණය වී ඇති බව කියමින් ආණ්ඩුව මේ ඇති වී තිබෙන තත්වය සුලුකොට පෙන්වීමට උත්සාහ දරමින් සිටී. නමුත් ඉන්දියාවේ ආර්ථිකය ලංකාවේ ආර්ථිකය මෙන් දෙගුණයක පමණ අගයකින් වර්ධනය වෙමින් පවතින නිසා ඔවුන්ගේ ඔරොත්තු දීමේ ශක්තිය වැඩිය. අප අද මේ අත්විදිමින් සිටින්නේ මාගේ ආණ්ඩුව කාලයේ මතුවෙමින් පැවති නිශ්පාදන ආර්ථිකය පසෙකලා එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රතිපත්ති අනුව වෙලඳ ආර්ථිකයකට පරිවර්තනය වීමේ ආනිසංශයි. අපට දැන් ලැබී ඇති දායදය වන්නේ 4% කටත් අඩු වර්ධන වේගයත්, බඩු මිල ඉහල යෑමත්, දේශීයව නිශ්පාදනය කල හැකි භාණ්ඩ පවා වැඩි වැඩියෙන් ආනයනය කිරීමත්, වත්මන් ආණ්ඩුව පරිභෝජනය සඳහා ලබා ගත් කෙටි හා මධ්‍යම කාලීන විදේශීය වානිජ ණය ගෙවීමත්, දිනෙන් දින බාල්දු වන රුපියලත්ය. මේ මතුවෙමින් තිබෙන ආර්ථික අර්බුදය වත්මන් ආණ්ඩුවේ අමනෝඥ ආර්ථික ප්‍රතිපත්තිය හා ලංකාවට අවේනික ආර්ථික කලමණාකරන උපායමාර්ගයක් නොමැතිවීමේ ආනිසංශයි.

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    0

    “යහපාලන ආණ්ඩුව බලයට පැමිණිදා සිට ඇමරිකානු ඩොලරයට සාපේක්‍ෂව රුපියලේ අගය පහත වැටීමේ ප්‍රවනතාවයක් පැවතුණි.”
    ඔබ කියන මේ කතාව සහතික ඇත්ත හිටපු ජනාධිපතිතුමා.
    ඇත්තටම ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව රුපියලේ සහ අනිත් රටවල මුදල් ඒකක අවප්‍රමාණ වීම පටන් ගත්තේ 2014 අග ඉඳන්. ට්‍රම්ප් එන්න ඉස්සෙල්ල.
    ඇමරිකාව කලේ දීර්ඝ කාලයක් තිස්සේ ඒගොල්ලෝ කරපු “quantitative easing” හෙවත් ඩොලරයේ ප්‍රමාණාත්මක ලිහිල් කිරීම [ආර්ථික විද්‍යාවේ මේකට පාවිච්චි කරන බර වචනේ මේකද මට මතක නැහැ. මම ආර්ථික විද්‍යාව හදාරලා තියෙනව. හැබැයි බාගෙට :) :) ] මම කියන්න ගියේ ඇමරිකාව නැවැත්තුව quantitative easing 2014 අග. ඒ කියන්නේ ඇමරිකන් ඩොලර් අච්චු ගගහ securities/bonds ගන්න එක, විකුණන එක නැවැත්තුව හෙවත් ඇරලා තිබ්බ ඩොලර් ටැප් එක වැහැව්වා.. ඒකෙන් වුනේ එතෙක් ජාත්‍යන්තර වෙළඳ පොලේ සුලභව තිබුණු ඩොලර් අඩුවීම සහ ඒ හේතුව නිසා ඩොලරයට තිබුණු ඉල්ලුම ක්‍රම ක්‍රමයෙන් වැඩි වීම.
    ට්‍රම්ප් කලේ මේකට තව එකක් එකතු කිරීම. ඒ කියන්නේ පොලී අනුපාතය වැඩි කිරීම. ඔය දෙකම එකතු වෙලා තමයි ඩොලරයට සාපේක්ෂව අනිත් රටවල මුදැල් ඒකක අවප්‍රමාණ වුනේ. හැබැයි මේකේ අපිට හදාගන්න පැත්තකුත් තියෙනව. මෝඩ ආණ්ඩුවේ ආර්ථික ඔස්තාර්ලා ඉන්නවනේ. අපි කියන්නේ මොකොටද?
    හිටපු ජනාධිපතිතුමා, ඔබතුමාගෙන් මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ අර මාධ්‍යවේදියෝ වගේ ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්තරේකට විනාඩියක් ඇතුලත ක්ෂණික උත්තර නෙමෙයි.
    අනාගතේ ගැන හිතල ඔබට රට වෙනුවෙන් අලුත් අඩිතාලමක් දාන්න වෙනවා. අපෙ රටට වෙලා තියෙන ප්‍රශ්නේ හරි foundation එකක් නැති එක. මගේ ලඟත් අදහස් ටිකක් තියෙනව. ඔබේ ළඟ ඉන්න අයටත් අදහස් ඇති. හැබැයි මගේ අදහසම ඇති කියලා මම හිතන්නේ නැහැ. මම මේවා මුලින් කියන්න හිටියේ විමල්ට. විමල් ගෝඨාභයට support කරන්න ගත්තට පස්සේ මම කිව්වා අපි ඉන්නේ වේදිකා දෙකක කියලා සහ මම අනිවර්යයෙන්ම ඔබත් එක්ක හිටගන්නවා කියලා. ඒ අතරේ ඇත්තටම මගේ ගමනේත් shift එකක් වුනා. ඒක මොන තරම් ක්ෂණික සහ අනපෙක්ෂිතද කිව්වොත් කිසි දේකින් සැලෙන්නේ නැති මාවත් කරකවල ඇත ඇරිය වගේ වුන. ඒ වුනාට මම everything happens for a reason කියලා හිතන කෙනෙක්. මම කියන්න ගියේ ඔබට කලින් කරපු නැති විදිහේ දේවල් කරන්න වෙයි රට ගොඩ ගන්න සහ නැවත නොවැටෙන්න.

    • 0
      0

      මම ඔබ එක්ක හිටගන්නවා කියලා කිව්වේ හිටපු ජනාධිපතිතුමා ඔබේ තේරීම ඔබ වගේම ගැමියන්ට කිට්ටු, මිනිස්සුන්ට තමන්ගේ කෙනෙක් කියලා හිතෙන මිනිහෙක් ඔබ තෝරයි කියලා මම විශ්වාස කරන නිසා. ලංකාවට හමුදා පාලකයෙක් කොහෙත්ම ගැලපෙන්නේ නැහැ. අපි මේ අවුරුදු තුනට දැකපු පලි ගැනීම් ක්‍රෝධය වෛරය හොඳටම ඇති. තවත් ඒ වගේ ඒවා දකින්න මම හිතන්නේ ලංකාවේ කවුරුවත් කැමති වෙන්නේ නැහැ. ඊලඟ ජනාධිපතිවරණෙ ගිනි කෙලියක් වෙන ලකුණු දැනටම පහල වෙලා තියෙනව වගේ මට පේනවා. ගින්නට හුළඟක් එකතු කරනවද නැත්නම් වතුර බාල්දියක් ගහනවද කියන එක තියෙන්නේ ඔබේ අතේ.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.