25 April, 2024

Blog

බැඳුම්කර මගඩියේ වගකීමත් මගේ ඇඟේ ගැසීම​

මහින්ද රජපක්‍ෂ

මහින්ද රජපක්‍ෂ

කුප්‍රකට මහ බැංකු බැඳුම්කර මගඩියේ වගකීම යහපාලන බලධාරීන් විසින් මගේ ඇඟේ ගසා බේරීමට ගෙන ඇති දුෂ්ඨ ප්‍රයත්නයක් ගැන කණගාටුවෙන් යුතුව මහජනතාවට දැනුම් දීමට කැමැත්තෙමි. ආණ්ඩුවේ මූල්‍ය කළමනාකරණයේ සාමාන්‍ය ක්‍රියා පටිපාටිය වන්නේ සෑම මසකම අවසන් සතියට පෙර මහා භාණ්ඩාගාරය විසින් ඊළඟ මාසය සඳහා අවශ්‍යවන මුදල් ගණනය කොට යම්කිසි නිශ්චිත දිනයකට පෙර නිශ්චිත මුදලක් අවශ්‍ය බව මහ බැංකුව යටතේ පවතින රාජ්‍ය ණය දේපාර්තමේන්තුවට දැනුම් දීමයි. එම දැනුම්දීම ලැබුණු පසු භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගර බැඳුම්කර නිකුත් කිරීම තුළින් ඒ අදාල මුදල වෙළඳපොලෙන් ලබා ගැනීමට රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව කටයුතු කරයි. මෙවැනි බැඳුම්කර නිකුතු වලට අදාල ගැසට් නිවේදන පලකරනු ලබන්නේ අදාල ගනුදෙනුව සම්පූර්නයෙන්ම අවසන් වූ පසු පමණි. එයට හේතුව ගනුදෙනුව අවසන් වනතුරු එහි විස්තර හරිහැටි දැන ගැනීමට ක්‍රමයක් නොමැති නිසාය.

උදාහරණයක් වශයෙන් බැඳුම්කර නිකුතුවක් සඳහා යම් පොලී අනුපාතයකට ලන්සු කැඳවූ පසු ඒ සියලු ලන්සු ප්‍රතික්‍ෂේප කිරීමට ඉඩ ඇත. එමෙන්ම ලන්සු ප්‍රමාණය, විකිනීමට ඇති බැඳුම්කර ප්‍රමාණයට වඩා වැඩි වීමට ඉඩ ඇත. එවැනි අවස්ථාවලදී ලැබුණු ලන්සු වලින් කොපමණ ප්‍රමාණයක් බාරගන්නවාද යන්නත් රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව තීන්දු කල යුතුය. මේ කාරණා කිසිවක් කලින් තීන්දු කිරීමට නොහැකි නිසා මෙවැනි බැඳුම්කර නිකුතු සම්බන්ධ ගැසට් නිවේදනය පලවන්නේ ගනුදෙනුව සම්පූර්ණ වූ පසුව පමණි. මහ බැංකුවේ බැඳුම්කර මඟඩිය ආරම්භ වූයේ 2015 පෙබරවාරි 27 වනදා පවත්වනු ලැබූ බැඳුම්කර වෙන්දේසියෙන් බව කවුරුත් දනී. මෙතනදී සිදු වූයේ සාමාන්‍ය ක්‍රියා පිළිවෙත අනුව, 2015 මාර්තු 2 වනදාට පෙර ආණ්ඩුවට රුපියල් බිලියන 13.5ක් අවශ්‍ය බව 2015 පෙබරවාරි 20 වනදා පමණ මහා භාන්ඩාගාරය විසින් රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට දැනුම් දීමයි. මින් රුපියල් බිලියන 3ක් පමණ එක් වරම රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට සොයා ගැනීමට හැකි වුවද රුපියල් බිලියන 10.5 ක අඩුවක් තිබුණි. මෙය සොයා ගැනීමට ඔවුන් රුපියල් බිලියන එකක් වටිනා අවුරුදු 30න් කල් පිරෙන බැඳුම්කර 12.5%ක පොලියකට වෙන්දේසි කිරීමට යෙදුනි. මේ සඳහා රුපියල් බිලියන 20 ලන්සු ලැබුණු අතර ඉන් බිලියන 10 ක ලන්සු බාරගන්නා ලදී.

මේ බැඳුම්කර නිකුතුව ලංකා ඉතිහාසයේ ලොකුම මඟඩියක් වු ආකාරය කවුරුත් දන්න නිසා මෙහිදී සඳහන් කිරීම අනවශ්‍ය වේ. මෙතන ඇති ප්‍රශ්නය වන්නේ යහපාලන ආණ්ඩුව විසින් 2015 ජනවාරි 01 දිනය හා 1895/19 අංකය දරණ ගැසට් නිවේදනය තුළින් මේ බැඳුම්කර නිකුතුවේ වගකිම මා මත පැටවීමට ගෙන ඇති උත්සාහයයි. 2015 ජනවාරි 01 වන දා දිනය දරණ මෙම ගැසට් නිවේදනයේ 2011 දක්වා ආපස්සට දිව යන බැඳුම්කර නිකුතු වල විස්තර සඳහන් වේ. මේවා අතර 2015 අවුරුද්දේ මාර්තු 01, මාර්තු 15, මැයි 01, මැයි 15, අගෝස්තු 01 හා දෙසැම්බර් 15 බැඳුම්කර නිකුතු මගේ නම යටතේම ගැසට් කර ඇත. ඒ අනුව අලුත් ජනාධිපතිවරයෙකු හා අලුත් මුදල් ඇමතිවරයෙකුත් වැඩ බාරගෙන මාස එකහමාරකටත් වඩා කාලයකට පසුව නිකුත් කරන ලද බැඳුම්කර වලටද මට වගකීමට සිදු වී ඇත.

ආණ්ඩුවේ මුදල් කළමනාකරණය සිදුවන ක්‍රමය නිසා මහා භාණ්ඩාගාරයට 2015 මාර්තු 02 වන විට රුපියල් මිලියන 13.5ක් අවශ්‍ය වන බවත්, මේ මුදල සොයා ගැනිමට රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව රුපියල් බිලියනයක් වටිනා අවුරුදු 30 බැඳුම්කර සඳහා 12.5%ක පොලී අනුපාතයට ලන්සු කැඳවා ඉන් බිලියන 10 ක් බාරගන්නා බවත්, 2015 ජනවාරි 01 වනදා වන විට මට දැනගැනීමට කිසිඳු ක්‍රමයක් නැත. මා කලින් පෙන්වා දුන් පරිදි බැඳුම්කර නිකුතු සම්බන්ධයෙන් ගැසට් නිවේදනය නිකුත් කරනු ලබන්නේ අදාල ගනුදෙනුවට පසුව මිස පෙර නොවේ. 2015 ජනවාරි 01 අංක 1895/19 දරණ ගැසට් පත්‍රය පලකරනු ලැබුවේ 2016 නොවැම්බර් මාසයේ බව එහි කුඩා අකුරින් මුද්‍රණය කර තිබෙන බව පෙනේ. මෙය යහපාලන ආණ්ඩුවේ දූෂිත බැඳුම්කර ගනුදෙනුව මහජනතාවත් නොමඟ හරිම්න් මමත් මගේ ආණ්ඩුවත් මත පැටවීමට ගෙන ඇති දුෂ්ඨ ප්‍රයත්නයනක් ලෙස මම දකිමි. මේ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට මම බලාපොරොත්තු වෙමි.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.