20 April, 2024

Blog

සයිටම් සහ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල: එක් වැරදි ආරම්භයක් නිසා හොඳ අදහසක් ඉවතලිය යුතු නැත – අවසාන කොටස

ඩබ්. ඒ. විජේවර්ධන

ආචාර්ය ඩබ්. ඒ. විජේවර්ධන

වෛද්‍ය විද්‍යාලයක් වශයෙන් පවත්වාගෙන යාමට සයිටම් ආයතනයට අනුමැතිය ලැබී නැත

2010 වසරේදී ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව සහ ආයෝජන මණ්ඩලය අතර හුවමාරු වී ඇති ලියුම් අනුව පෙනී යන්නේ, සයිටම් වනාහී ආයෝජන මණ්ඩල අනුමැතිය ලැබී ඇති පෞද්ගලික ව්‍යාපෘතියක් බවත්, කළමණාකරණය, හෙද සේවාව, භාෂා, වෘත්තීය අධ්‍යාපනය, සෞඛ්‍ය විද්‍යා සහ තාක්ෂණ ක්ෂේත්‍රවලට අදාළ පුහුණු වීම් පාඨමාලා කරගෙන යාමට මිස උපාධි පාඨමාලා පවත්වාගෙන යාමට ඊට අවසර ලැබී නැති බවයි. මුලින් ඉල්ලුම් කළ අයදුම්පතේ, වෛද්‍ය විද්‍යාලයක් පවත්වාගෙන යාම සඳහා අවසර ඉල්ලා නැති බව ආයෝජන මණ්ඩලය සනාථ කරයි. එසේම රුසියාවේ වෛද්‍ය විද්‍යාලය අනුබද්ධ බවක්ද එම අයදුම්පතේ සඳහන් කර නොමැත. එයින් පෙනී යන්නේ රුසියානු වෛද්‍ය පීඨය සමග අනුබද්ධව ඇත්තේ ඉන් පසුව බවයි.

හුවමාරු වී ඇති ලියුම් අනුව පෙනී යන තවත් කරුණක් තිබේ. එනම්, 2008 දී සයිටම් ආයතනයට ආයෝජන මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත්තේ, එම විෂය ක්ෂේත්‍ර​යන්ට අදාළ රටේ පවතින වෙනත් කිසි බලධාරී ආයතනයක අදහස් විමසා බැලීමෙන් හෝ සයිටම් ආයතනය එවැනි බලධාරී ආයතන වෙතින් අවසරයක් ලබාගෙන ඇත්ද යන්න හෝ විමසා නොබලා ය. ඒ අනුව, ආයෝජන මණ්ඩලය සලකා ඇත්තේ එය තවත් එක් පෞද්ගලික ව්‍යාපෘතියක් වශයෙන් පමණි. තමන් විසින්ම වෙළඳ පොළවල් සොයාගත යුතු සහ තම සාර්ථකත්වය තමන්ගේ ක‍්‍රියාකාරීත්වයන් තුළින්ම සාක්ෂාත් කර ගත යුතු තවත් එක් ව්‍යාපෘතියක් වශයෙන් පමණි.

සයිටම් සම්බන්ධයෙන් පාදෙනිය වාර්තාව නිර්දය ය

පාදෙනිය වාර්තාව සයිටම් ආයතනයට කිසි අනුකම්පාවක් දක්වා නැත. විවිධ පැතිවලින් මෙම ආයතනය ඒ මගින් විවේචනය කොට තිබේ. එයින් ඇතැම් විවේචන අදාළ ඒවා වන අතර තවත් බොහෝ විවේචනවල අදාළත්වයක් නැත.

අදාළ විවේචනය පදනම් වන්නේ, මෙම ආයතනය පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් වශයෙන් ආරම්භ කිරීමේදී දක්නට ලැබෙන අක‍්‍රමිකතාවන් මතයි. එය කළමණාකණනය පිළිබඳ පුහුණු වැඩ සටහන් කරගෙන යාමට අවසර ලත් ආයතනයක් මිස වෛද්‍ය විද්‍යාවට අදාළ විෂයයන් පවත්වාගෙන යාමට අවසර ලත් ආයතනයක් නොවේ. ඒ අනුව, එම ආයතනය වෛද්‍ය ක්ෂේත්‍රයට පිවිසීම, පාදෙනිය වාර්තාව පෙන්වා දෙන පරිදි, අක‍්‍රමිකතාවකි.

සයිටම් ආයතනය 2010 දී වෛද්‍ය විද්‍යාලයක් වශයෙන් කටයුතු කිරීමට අවශ්‍ය අවසරය, විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමෙන් ලබාගෙන නැත. රුසියානු විශ්ව විද්‍යාලයට අනුබද්ධ බවට කෙරෙන ප‍්‍රකාශයත් සැක සහිත ය. මන්ද යත්, ආයෝජන මණ්ඩලයට ඉදිරිපත් කරන ලද අයදුම්පතේ එවැන්නක් සඳහන් නොවන බැවිනි. රුසියානු බලධාරීන් විසින් ඒ අනුබද්ධතාව සනාථ කළ බවට වෙනත් සාක්ෂියක්ද නැත. ඒ අනුව, පාදෙනිය වාර්තාවේ නිගමනය වන්නේ මේ ආයතනය මගින් ශිෂ්‍යයන්ව සේම දෙමාපියන්වද රවටා ඇති බවයි. එසේ ඔවුන්ව රවටනු ලැබීම, මූල්‍ය වංචාවක් බවට, පාදෙනිය වාර්තාව චෝදනා කරයි.

අදාළත්වයක් නැති වෙනත් විවේචන

කෙසේ වෙතත්, මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව නගන වෙනත් බොහෝ විවේචනවල අදාළත්වයක් නැත. මේ ආයතනයෙන් පිට වන උපාධිධාරීන්ගේ ගුණාත්මක භාවය පහළ මට්ටමක ඇතැයි කරන උපකල්පනය මත පදනම්ව, ශ‍්‍රී ලංකාවේ වෛද්‍ය වෘත්තිකයන්ගේ කීර්තිය ඒ මගින් බාල්දු කෙරෙන බව කීම එවැනි එක් විවේචනයකි. උසස් ප‍්‍රමිතියෙන් සහ ගුණාත්මක භාවයෙන් යුත් වෘත්තීය ක්ෂේත්‍රයකට උපාධිධාරීන් අතලොස්සකගේ ගුණාත්මක භාවයේ හිඟයක් නිසා හානියක් සිදු වෙතැයි කීම අතිශයෝක්තියකි.

කාලයක් යන විට මෙවැනි උපාධිධාරීන් නිසා, ශ‍්‍රී ලංකාවේ උසස් මට්ටමේ සුවසේවාවන්හි ශ්‍රේණිය පහළ වැටෙතැයි කීම, එවැනි තවත් පදනමක් නැති විවේචනයකි. පාදෙනිය වාර්තාව කියන පරිදි, පසුගිය රජයේ මෙන්ම නව රජයේද අපේක්ෂාවක් වන දැනුම් කේන්ද්‍රයක් බවට ශ‍්‍රී ලංකාව පත්කිරීමේ ව්‍යායාමයට, මෙවැනි උපාධිධාරීන්ගෙන් හානියක් විය හැකිය. ඇත්තෙන්ම, සයිටම් ආයතනය සාර්ථක කර ගැනුණොත් ඒ මගින් ශ‍්‍රී ලංකාවට දැනුම් කේන්ද්‍රයක් වීමේ අවස්ථාව සැලසෙනු ඇත.

එසේම ශ‍්‍රී ලංකාවේ වෛද්‍ය සංචාරක ව්‍යාපාරය නගා සිටුවීම්ට ගන්නා ප‍්‍රයත්නයටත් මේ මගින් මරු පහරක් වදිනු ඇතැයි පාදෙනිය වාර්තාව කියයි. එයද අතිශයෝක්තියකි. වෛද්‍ය සංචාරක ගමනාන්තයක් වශයෙන් ශ‍්‍රී ලංකාවේ සාර්ථකත්වය රැුඳෙනු ඇත්තේ, පෞද්ගලික සුවසේවා පහසුකම් සේම රාජ්‍ය අංශයේ සේවාවන්ගේද ගුණාත්මක භාවය මත ය. එම කාරණය මේ ලියුම්කරු විසින් මීට පෙර ලිපියකින් පෙන්වා දී තිබේ. ශ‍්‍රී ලංකාවේ පෞද්ගලික සෞඛ්‍ය සේවා සම්පාදකයන් තමන්ගේ සේවාවන් සඳහා ආදර්ශයට ගත යුත්තේ ප‍්‍රශස්ථ ජගත් මට්ටම් බව එහිදී කියා තිබේ. එය රාජ්‍ය අංශයේ සෞඛ්‍ය සේවා සම්පාදකයන්ටද වලංගු ය.

සයිටම් ආයතනයේ වෙනත් ක‍්‍රියාකාරකම්ද අවදානමේ ය

සයිටම් ආයතනයට එරෙහිව විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ගෙන් කොටසක්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ ඇතැම් දේශපාලන පක්ෂ දක්වන විරෝධය පදනම් වන්නේ මුළුමණින්ම වෛද්‍ය අධ්‍යාපනය පදනම් කරගෙන ය. එහෙත් වෛද්‍ය අංශයට අමතරව මෙම ආයතනය, වෙනත් විදේශ විශ්ව විද්‍යාල දෙකකට අනුබද්ධිතව, කළමණාකරණ සහ ඉංජිනේරු උපාධි පාඨමාලා පවත්වයි.

එහි කළමණාකරන උපාධි පිරිනමනු ලබන්නේ එක්සත් රාජධානියේ, ‘බක්ස් නිව් යුනිවර්සිටි’ මගිනි. මේ විශ්ව විද්‍යාලයට 1891 දක්වා විහිදෙන දීර්ඝ ඉතිහාසයක් තිබේ. එකල එය ආරම්භ කෙරී ඇත්තේ ‘විද්‍යා සහ කලා විද්‍යාලයක්’ වශයෙනි. එහෙත් එය විශ්ව විද්‍යාලයක් බවට උසස් වී ඇත්තේ 2007 දී ය. මේ නිසා එම විශ්ව විද්‍යාලයේ කීර්තියත් තවම තහවුරු වී නොමැත. අලුත් විශ්ව විද්‍යාලයක් වන නිසා එය එක්සත් රාජධානියේ වෙනත් වර්තමාන විශ්ව විද්‍යාල අතරේ ඉහළ පිළිගැනීමකට ලක්වන්නේ නැත. ඇත්ත වශයෙන්ම එය ගැනෙන්නේ, එම රටේ අවසාන විශ්ව විද්‍යාල කිහිපයට ආසන්නයේ ය. ‘ටයිම්ස් උසස් අධ්‍යාපන ලෝක විශ්ව විද්‍යාල’ සූචියට තවම එය ඇතුළත්ව නැත. එහෙත් ඉදිරියේ දී ඊට අයත් වීමට පිළිවන.

සයිටම් ආයතනයේ ඉංජිනේරු උපාධි පිරිනමනු ලබන්නේ තායිලන්තය පදනම් කර ගත් ‘ඒෂියන් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි’ ආයතනය මගිනි. ඒ විෂය සම්බන්ධයෙන් ගත් විට එම ආයතනය කීර්තිමත් එකකි. අවුරුද්දකට සයිටම් ශිෂ්‍යයන් 200 ක් පමණ එම ආයතනයෙන් උපාධි ලබති. ඔවුන් සියල්ලන්ම පාහේ උපාධි ලද සැණින් බොහෝ තායිලන්ත සමාගම් හෝ තායිලන්තයේ ක‍්‍රියාත්මක වන වෙනත් ජාත්‍යන්තර සමාගම් මගින් සේවයට ගනිති. එයින් පෙනී යන්නේ එම උපාධිධාරීන්ගේ ගුණාත්මක භාවයේ ඉහළ මට්ටමයි. කෙසේ වෙතත්, මෙම ආයතනය 2017 සිට ප‍්‍රථම උපාධි පාඨමාලා නතර කරන බැවින්, ඒ වෙනුවට සිය ශිෂ්‍යයන් සඳහා වෙනත් පිළිගත් ආයතනයක් සොයා ගැනීමට සයිටම් ආයතනයට සිදුවනු ඇත. රටේ දැනට ක‍්‍රියාත්මක වන පුද්ගලික අංශයේ උසස් අධ්‍යාපනික ආයතනයක් වශයෙන් සයිටම් ආයතනයට මුහුණදීමට ඇති සැබෑ ගැටළු ඒවා ය.

එක් වැරදි ආරම්භයක් නිසා හොඳ අදහසක් ඉවතලිය යුතු නැත

රටේ පවතින ආර්ථිකයේ වර්තමාන තත්වය අනුවත්, ආණ්ඩුව මුහුණදෙමින් සිටින ෆිස්කල් අර්බුද පිළිබඳවත් සළකන කල, පෞද්ගලික අංශයේ අනුග‍්‍රහයෙන් ගොඩනැගෙන විශ්ව විද්‍යාල ලංකාවට අත්‍යාවශ්‍යම දෙයකි. එහෙත් ඒ ආයාසයේදී සයිටම් ආයතනය සපයා ඇත්තේ නරක ප‍්‍රාරම්භයකි. එය ගොඩනගා ඇත්තේ නිසි සැලසුමකින් තොරව, නිසි අධිකාරියකින් තොරව සහ ඉහළ ස්ථරයේ නිසි කළමනාකාරීත්වයකින් තොරව ය. අනුමැතිය ලබාගෙන ඇත්තේ ශිෂ්‍යයන්වත් ඇතුළත් කර ගැනීමෙන් පසුව වන අතර ඒ අනුමැතිය ද පරිපූර්ණ නැත.

ප‍්‍රාග්ධන සහ දෛනික වියපැහැදම් සඳහා ඊට අරමුදල් තිබේ. රටේ ඉහළම පෙළේ දේශපාලඥයෝ ඊට සහයෝගය දක්වති. එසේ වෙතත්, කීර්තිමත් පෞද්ගලික විශ්ව විද්‍යාලයක් වශයෙන් රටේ ස්ථාපිත වීමට ඒවා නොසෑහේ. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් දැන් අපකීර්තියට පත්ව ඇත්තේ පෞද්ගලික අංශයේ සමස්ත උසස් අධ්‍යාපන පද්ධතියයි. දැන් මේ ක්ෂේත්‍රයට අවතීර්ණ වීමට අදහස් කරගෙන සිටින පෞද්ගලික අංශයේ වෙනත් ව්‍යාපෘතිවලට මේ කළු පැල්ලම බලපානු ඇත.

රජයට පවරා ගැනීම විසඳුම නොවේ

සයිටම් විද්‍යාලය රජයට පවරා ගත යුතු යැයි ඇතැම්හු කියති. එය ප‍්‍රශ්නය තවත් ව්‍යාකූල කරනු ඇත. දැනටත් භාණ්ඩාගාරය දුෂ්කර තත්වයකට මුහුණදී සිටින තත්වය තුළ එය කළ නොහේ. ඒ වෙනුවට බලධාරීන් කළ යුතුව ඇත්තේ, උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ, ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ සහ දැන් සටන් වැද සිටින රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහභාගීත්වයෙන් යුතුව, සයිටම් ආයතනයේ ප‍්‍රමිතිය නංවාලීම සඳහා බල කිරීමයි. දැන් පවතින තත්වයේ හැටියට, මේ ආයතනයේ වෛද්‍ය අධ්‍යාපනය හදාරන සිසුන්ගේ ඉරණම පවතින්නේ අවදානමේ ය. එහි වර්තමාන ශිෂ්‍යයන් කරන පරිදි නඩු මාර්ගයට පිවිසීම විසඳුමක් නොවේ. මන්ද යත්, සයිටම් සිසුන්ට වෛද්‍ය වෘත්තියේ යෙදිය හැකි පරිදි ලියාපදිංචි කරන ලෙස මෑතකදී අභියාචනාධිකරණය දෙන ලද තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කිරීමට ශී‍්‍ර ලංකා වෛද්‍ය සභාව දැන් තීරණය කොට ඇති බවට වාර්තා වන බැවිනි.

මේ ශිෂ්‍යයන්ව පිළිගනු ලැබීමට ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවට දැනට බලයක් නැත. එහෙත් මීට බොහෝ කලකට පෙර ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය පාර්ලිමේන්තුවේ අනුමත කිරීම හරහා එම බලය වෛද්‍ය සභාවට පැවරීමට පුලූවන් කම තිබේ. මේ වෛද්‍ය අධ්‍යාපනය හදාරන ශිෂ්‍යයන්ගේ අභිවෘද්ධිය තකා මේ ප‍්‍රශ්නයට ඉක්මණින් විසඳුමක් ලබා දීම වැදගත් ය. මේ ශිෂ්‍යයන්ට ඔවුන්ගේ බලාපොරොත්තුවත් මුදලත් යන දෙකම අහිමි වීම ජාතික ඛේදවාචකයක් වනු ඇත.

එක් නරක ආදර්ශයක් ඇති පමණින්, ලංකාවේ පෞද්ගලික අංශයේ උසස් අධ්‍යාපන ව්‍යාපෘතිය ඉවතලිය යුතු බවක් අදහස් විය යුතු නැත. එසේ කිරීමට මත්තෙන්, රාජ්‍ය අංශය සහ පෞද්ගලික අංශය යන දෙකේම විශ්ව විද්‍යාලවල ගුණාත්මක භාවය සහ ප‍්‍රමිතිය සහතික කරන ස්වාධීන ආයතන ස්ථාපිත කිරීම අත්‍යාවශ්‍ය කෙරේ. ඒ අනුව, මේ වනාහී, එළැඹි සිහිය අවශ්‍ය කරන, ඉවසීම සහ අවබෝධය සියල්ලන් විසින් අත්කර ගත යුතු, මොහොතකි. විශේෂයෙන්, වෛද්‍ය වෘත්තියේ යෙදී සිටින රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැනි අංශවලට එය අදාළ ය.

*2017 පෙබරවාරි 20 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ “SAITM & Private Medical Schools: One Bad Start Should Not Lead To Throwing Away A Good Idea” නැමැති ලිපියේ අවසාන කොටස – සිංහල පරිවර්තනය යහපාලනය ලංකා

සයිටම් සහ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල: එක් වැරදි ආරම්භයක් නිසා හොඳ අදහසක් ඉවතලිය යුතු නැත – පළමු කොටස

Print Friendly, PDF & Email

Latest comments

  • 1
    1

    ඔබ අචාරියවරයෙකු වුනාට වෛද්‍යවරයෙකු නොවේ එමෙන්ම විද්‍යා අධ්‍යාපනය ලබපු අයකුත් නොවේ. එවැනි තත්වයක් යටතේ මේ පිලිබද අදහස් දැක්විමට ඔබට තිබෙන සුදුසුකම කුමක්ද ලංකාවේ විද්‍යා අධ්‍යාපනය ලබපු අය මේ පිල්බද අදහස් දැක්විම සිදුනොකරයි. එකක් තමයි ඔවුන් මේ සිදුවිම් දෙස තුෂ්නිම්භුතව බලා සිටි අනෙක් විද්‍යාඅධ්‍යාපනය ලබපු උගතුන් බොහොදෙනෙක් දැනට ලංකාව හැරගොස්ය.ලංකාවෙ ඉතිරිවි සිටින්නේ ඔබ වැනි කලාඋපාධිධාරීන් හා පරිපාලන නිළධාරීන් පමනි ඔවුන් තමන් නොදන්නාඉසව් වලටද අතපොවමින් සිටිනවා. හරියට චන්ඩියා නැති හන්දියට නොන්ඩියාත් චන්ඩියා වගේ
    විද්යාව ඔබට නොහුරු ක්ෂේත්රයක් බව පෙනවා එබැවින් එවන් ක්ෂේත්රයක් පිලිබද අදහස් දැක්විමෙන් වැලකිසිටම ඔබට මෙන්ම රටටද කරන සේවයකි.
    විද්යාව යනු නිරික්ෂණ මත නිගමන තුලින් සත්ය කරා ලගාවන ක්රමවෙදයකි. මැතකාලයේ මේවා අපට අත්දැකිමට නොහැකි වන්නේ එවැනි ව්ද්යාධර්යින්ගේ හිගකම නිසාය. එ නිසා ඔබ වැනි අවිද්යාත්මක පුද්ගලයින් තමන්ට හිතෙන දේ තමන් දන්න දේ ඔහේ වපුරනවා
    වෛද්යවරයෙකු යනු මෙම ක්රම් වෙදයේ අග්රඵලයක් ලෙසයි අප දකින්නේ ලංකාව තුල වෛද්යවරයෙකු බිහිවන්නේ බොහොවිට පහේ ශිෂ්ශත්වය සමත් සිසුන් ය. මේ තත්වය අපගමනය වන අවස්ථාවද තිබිය හැක.
    එ අනුව වෛද්යවරයා මුල සිටම මෙම විද්යාත්මක ක්රමයට හුරුවිය යුතුය. එසේ නොමැතිව වෛද්පාඨමාලාව සාර්ථකව නිමාකල නොහැක. උ:පෙ: එස් 3ක් ලබාගන්නා සිසුන් මේ ක්රමවෙදය සාර්ථකව පුහුනුවියයි ඔබට සහතික වියහැකිද? ඔබ වැනි පුද්ගලයින් සිදුකරනුයේ එක අතකින් අහිංසක ලමයි තමන්ට නොහැකි දෙයකට ඇද දමනවා මෙන්ම රටේ අනාගතයද නුසුදුසු පුද්ගලින් අතට පත්කිරිමයි

  • 0
    1

    විද්යාව ඔබට නොහුරු ක්ෂේත්රයක් බව පෙනවා එබැවින් එවන් ක්ෂේත්රයක් පිලිබද අදහස් දැක්විමෙන් වැලකිසිටම ඔබට මෙන්ම රටටද කරන සේවයකි.
    විද්යාව යනු නිරික්ෂණ මත නිගමන තුලින් සත්ය කරා ලගාවන ක්රමවෙදයකි. මැතකාලයේ මේවා අපට අත්දැකිමට නොහැකි වන්නේ එවැනි ව්ද්යාධර්යින්ගේ හිගකම නිසාය. එ නිසා ඔබ වැනි අවිද්යාත්මක පුද්ගලයින් තමන්ට හිතෙන දේ තමන් දන්න දේ ඔහේ වපුරනවා
    වෛද්යවරයෙකු යනු මෙම ක්රම් වෙදයේ අග්රඵලයක් ලෙසයි අප දකින්නේ ලංකාව තුල වෛද්යවරයෙකු බිහිවන්නේ බොහොවිට පහේ ශිෂ්ශත්වය සමත් සිසුන් ය. මේ තත්වය අපගමනය වන අවස්ථාවද තිබිය හැක.
    එ අනුව වෛද්යවරයා මුල සිටම මෙම විද්යාත්මක ක්රමයට හුරුවිය යුතුය. එසේ නොමැතිව වෛද්පාඨමාලාව සාර්ථකව නිමාකල නොහැක. උ:පෙ: එස් 3ක් ලබාගන්නා සිසුන් මේ ක්රමවෙදය සාර්ථකව පුහුනුවියයි ඔබට සහතික වියහැකිද? ඔබ වැනි පුද්ගලයින් සිදුකරනුයේ එක අතකින් අහිංසක ලමයි තමන්ට නොහැකි දෙයකට ඇද දමනවා මෙන්ම රටේ අනාගතයද නුසුදුසු පුද්ගලින් අතට පත්කිරිමයි

  • 0
    1

    poduminisa, මම ඩබ්. ඒ. විජේවර්ධන මහතා හඳුනන්නෙ නැහැ. නමුත් ඔහු විසින් රචිත ලිපි කියවීමෙන් ඔහුගේ උගත් කම, බුද්ධිය, හැකියාව සහ මධ්‍යස්ත දැක්ම ගැන මැනවින් වටහා ගත්තා. විද්‍යාව ගැන අදහස් දැක්වීම විද්‍යා උගතුන් පමනක් කල යුතු යය් හුවා දැක්වීම තරම් මෝඩ අදහසක් තවත් අැද්දැය් මම නොදනිමි. එම තර්කය අනුව නලින් ද සිල්වා නීතිය, දේසපාලනය සහ ඉතිහාසය ගැන කරැනු දැක්වීම වැරැද්දක් වෙනවා. ටිකක් අතීතයට ගියොත් නිව්ටන් ඉගන ගත්තෙ විද්‍යාව නෙවෙය්. ඔහු රාජකීය භාණ්ඩාගාරය බාරවත් කටයුතු කලා. ඩා වින්සි මනුෂ්‍ය ශරීරයේ සිට ජීසස්ගේ ජීවිතය දක්වා සියල්ල ගැන හදාරපු මහා උගතෙක්.

    ජාතියන්තරය පිලිගත් පුද්ගලික මෙඩිකල් කොලෙජස් දහයකට වැඩිය මැලේසියාවෙ තියනවා නේපාලෙත් තියනවා. එන්ගලන්තෙත් තියනවා. ඒ කියන්නෙ පිළිගත් පුද්ගලික විශ්ව විද්‍යාල අද යන ලෝක රටාවය්. ඉතින් අැය් අපට නරක.

    තව වචන වලින් කියනව නම් ලකුනක් දෙකක් අඩු උනත්, යන්තම් A/L පාස් උනත් දොස්තර වෙන්න අධිෂ්ඨාණය අැති සල්ලි තියන අයගෙ ලමය් දොස්තර වෙනවා. හුඟක් සල්ලි තියන අය අැමරිකාව වගේ රට වලටත් අනෙක් අය නේපාලය වගෙ රට වලටත් ගිහින් දොස්තරල වෙනවා.

    මුලදි අන්තරේ උන්ගෙ අඬහැරය මැසිවිල්ල උනේ සයිටමේ කඩයක්, රෝහලක් නැහැ, සායන පහසුකම් නැහැ, ශිෂ්‍යයො A/L නැති අය යන්නය්. NFTH (රෝහල) හැදුවහම ඒකේ පහසු කම් මදි කිව්වා. S3 පාස් අය රජයෙ විශ්ව විද්‍යාල වල ඉන්න බව පෙන්නුවහම අන්තරේ උන් බය්ල කියනවා. රජරට වෙෙද්‍ය විද්‍යාලය පටන් ගත්ත කාලෙ අද සයිටමේ තරම් වත් පහසුකම් තිබුනෙ නැහැ. නැගෙනහිර විශ්ව විද්‍යාලෙ පහසු කම් අදටත් සයිටමේ තරම් නැහැ.

    රට යන්න මුදල් මදි තරඟ විභාගයෙන් කොන් වෙන ලමය් ලංකාවෙ පුද්ගලික විශ්ව විද්‍යාලයක ඉගන ගෙන දොස්තර වෙන එක දිරවන්නෙ නැත්තෙ ඊර්ෂියාකාරයන්ටය්, මිනීමරැ අන්තරේටය්, කුහකයින්ටය් සහ සමහර දොස්තරලටය්.

    ලංගම වත් කොර ගන්න බැරි රජයට අධ්‍යාපන බිස්නස් එක කොහොමත් කොරන්න බැහැ කවුරැත් එකතුවෙලා කලයුත්තේ සය්ටමේට තොප්පි දැමීම නෙවෙය් උදව් කරන එකය්. ප්‍රමිති නියම කරල රජය ඒවා අධික්ෂණය කරන ඒකය්. මම විශ්වවිද්‍යාලෙ ගියෙත් ලංකාවෙ නෙවෙය්. මගේ කවුරැවත් SAITM නැහැ මේ SAITM මේට යන්න අවශ්‍යත් නැහැ.

  • 1
    0

    Banda mama podu minisava aduranne nae. Namuth oyata eka deyak pavasanna kemathi. Mama SAITM virodiyek veemata hethuva thamai me thulin siduvana samaja asadharanaya. ABB aragena namuth medical college yanna beri vena , ae vagema laksha 120k gevanna beriva inna A/L liyapu lamayekui CCC aragena ae unata laksha 120k gevala kohomahari SAITM yana sallikarayekui aran balanna. Ara ABB gaththa lamayata danena samaja asadharanaya kochcharada? Ae lamayata vada adu sudusukam thiyena kenek SAITM gihilla doctor kenek vunama ethana ara ABB gaththa lamayata barapathala asadharanayak venava. Aeka notherena sallikara danapathi palnthiya venuven kade yanna epa. Mama dannava BANDA oyatath laksha 120k gevaganna beri bava. Laksha 120ka nayak bankuven denne gevaganna puluvan vidhe arthikayak thiyena kenekuta misak palpathaka inna dugiyekuta nemei………..

  • 0
    1

    මහේල, ලොකේ කොහෙද හැමෝටම එක විදිහට සලකන ඔබ කියන සාධාරණ සමාජය තියෙන්නෙ? බොහෝ අය ඉපදින්නෙ අැති හැකි අය ලෙස නෙවෙය්. කියුබාවෙ වත් උතුරැ කොරියාවෙ වත් හැමෝටම ඔබ කියන සම අවස්ථාව (බලහත්කාරයෙන්) දෙනවද කියල මම දන්නෙ නැහැ. මම දකින විදිහට අති පොහොසත් ස්කැන්ඩිනේවියානු රටවල පමනය් නැති අයට හැකි අය හා සමාන අවස්ථාව ලැබෙන්නෙ. අනෙක් රට වලට ස්කැන්ඩිනේවියානු රටවල් වගෙ වෙන්න වත්කම් නැහැ, නැති නම් පාලකයො රට හූරා කාලා. කොහොම උනත් මධ්‍යම පන්තිය හෙවත් අැති හැකි අය කියල සෑහෙන කොටසක් අද ලෝකෙ හැම රටකම ඉන්නවා. යතාර්තය එයය්. අද ලෝකෙ හැම තැනම අන්න ඒ අය තමන්ගෙ දරැවන්ගෙ අධ්‍යාපනයට මුල් තැන දෙනව. ඒකය් මෙතන මූලික ප්‍රශ්ණය. මම ගියේ ඒන්ගලන්තෙ විශ්ව විද්‍යාලයකටය්. මට ඔිනා උනේ aeronautic engineering කොරන්නය්. මගේ පියා ඉතා සතුටින් අවශ්‍ය වියදම් කොලා.

    එදා අපි වගේ හිටියෙ ටිකය්. නමුත් අද ලංකාවෙ සෑහෙන කොටසක් රජයෙ විශ්ව විද්‍යාලයකට නොමිලේ යන්න ලකුනක් හෝ ලකුනු ගනනක් හෝ මදි උනත්, අවම සුදුසු කම් තියනව නම් තමන් කැමති වෘර්තිය කොරන්න අවශ්‍ය අධ්‍යාපනය ලබා ගන්න දෙමව්පියන්ගෙ ඉඩමක් කඩමක් විකුනලා පිටරට යනවා. හුඟාක් සල්ලි තියන අය අැමරිකාව වැනි රට වලටත් අනෙක් අය බන්ගලදේසය වැනි රට වලටත් යනවා. ලමය් ඉගන ගන්න රට යන එක නවත්වන්න කිසිවෙකුට බැහැ. වසරක් පාසා අති විශාල විදේස විනිමයක් රටින් බැහැරට යනවා. හරි නම් අද වෙනකොට ලංකායෙ සයිටමේ එකක් නෙවෙය් දහයක් තියෙන්න ඔිනා. අැයි මම ඒහෙම කියන්නෙ?

    අද වෙනකොට මැලේසියාව වගේ රටවල් පුද්ගලික අධ්‍යාපන අායතන වලට අාධාර සහ අනුබල දීලා ජාතියන්තරය පිළිගත් (වෙෙද්‍ය පීඨ අැතුලුව) පුද්ගලික විශ්ව විද්‍යාල පද්දතියක්ම බිහිකරගෙන ඉවරය්. පිටරට ශිෂ්‍යයො 175,000 කට වැඩිය අද මැලේසියාවෙ අධ්‍යාපනය ලබනවා. රටට US $ බිලිියන ගනනක් විදේශ විනිමය ලැබෙනවා. මැලේසියාව දිනපතා සමෘර්දිමත් වෙනවා. අඩු මූලික සුදුසු කම් තියන අය මුදල් ගෙවල ඉගන ගන්න සයිටමේ වැන්න අසාධාරනය් කියල ලංකාවෙ අපි කුහක කම ඉස්මතු කර ගන සය්ටමේට තොප්පි දමනවා. කුහක දේසපාලනයක් කොරන අන්තරේටවත් පෙරටුගාමීන්ටවත් ජෙප්පන්ටවත් අපි කියන යතාර්ථයෙන් වැඩක් නැහැ. ඉතින් ලංකාවට හරි යය්ද?

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.