25 April, 2024

Blog

ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් සැලකිල්ලට ගත යුතු කරුණු

මහින්ද රාජපක්‍ෂ

මහින්ද රාජපක්‍ෂ

මහින්ද රාජපක්‍ෂ

ලෝකයේ දරුණුතම ත‍්‍රස්තවාදී සංවිධානය හැටියට ඇමරිකාවේ එෆ්.බී.අයි ආයතනය විසින් නිලවශයෙන්ම නම්කර තිබුණු කොටි සංවිධානය අපි 2009 දී යුදමය වශයෙන් පරාජය කලා. අපි අවසන් කලේ ලංකාවේ ක‍්‍රියාත්මක වූ කොටි සංවිධානයේ යුදමය අංශයයි. බටහිර රටවල් පදනම් කරගත් ඔවුන්ගේ දේශපාලන හා මුල්‍යමය ව්‍යුහයන් ඒ ආකාරයෙන්ම පැවති නිසා ත‍්‍රස්තවාදයට නැවත හිස එසවීමට නොහැකි වන ආකාරයට මගේ ආණ්ඩුව නිතරම අවධානයෙන් පසුවුනා. යුද්ධයෙන් පසු නැවතත් උතුරේ ත‍්‍රස්තවාදී කණ්ඩායම් ගොඩනැගීමට අවස්ථා හතරකදී පමණ උත්සාහයක් තිබුණු අතර ඒ සියලූම උත්සාහයන් ව්‍යර්ථ කරන්න අපට පුලූවන් වුණා.

ජාතික ආරක්‍ෂාව ගැන දැන් එවන් අවධානයක් නැතිබව මම කණගාටුවෙන් වුනත් සදහන් කරන්න ඕන. මගේ ආණ්ඩුවෙන් හිටපු කොටි සාමාජිකයන් 11000 කට වඩා වැඩි ගණනක් පුණරුත්තාපනය කර නිදහස් කල අතර දිගටම රැදවුම් බාරයේ තබාගෙන සිටියේ රටට විශේෂයෙන්ම අවදානම් සහගත භයානක ත‍්‍රස්තවාදීන් දෙතුන්සීයක් පමණි. වර්තමාන ආණ්ඩුව රටේ අරක්‍ෂාව ගැන කිසිදු තැකීමක් නැතිව විවිධ ජාතිවාදී දෙමළ දේශපාලන කණ්ඩායම් වලින් එන බලපෑම් නිසා මේ දරුණු ගනයේ ත‍්‍රස්තවාදීන් දැන් මුදාහරිමින් ඉන්නවා.

භයානක ත‍්‍රස්තවාදීන් මේ ආකාරයට මුදාහරින අතර යුද හමුදා සාමාජිකයන් විවිධ චෝදනා මත ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රදවාගැනීම සිදුකරනවා. ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත ගෙනාවෙ ත‍්‍රස්තවාදය මර්දනය කරන්න මිස ආරක්‍ෂක හමුදා සාමාජිකයන් හිරබාරයට ගැනීමට නොවේ. ආරක්‍ෂක හමුදාවේ සාමාජිකයන් සම්බන්ධයෙන් යම් විමර්ශනයක් කිරීමට අවශ්‍ය නම් එය හමුදා නීතිය යටතේ නැතිනම් රටේ සාමාන්‍ය නීතිය යටතේ කල යුතුව තිබුණා. අපේ රට වෙනුවෙන් සියල්ල කැපකල ආරක්‍ෂක හමුදා සාමාජිකයන්ගේ ආත්මගරුත්වය ගැන අපි කල්පනාකාරී වෙන්න ඕන.

ඒ විතරක් නෙවෙයි විවිධ විදේශීය සංවිධාන වල නිලධාරීන්ට ශ‍්‍රී ලංකාවේ ආරක්‍ෂක හමුදා කදවුරු වලට ඇතුලූ වීමට සම්පූර්ණ නිදහස දීල තියෙනවා. මෑතකදී මෙවැනි පිරිසක් ත‍්‍රිකුණාමලයේ නාවුක අංගනයට ඇතුල් වීම හේතුවෙන් නාවුක හමුදාවේ බුද්ධි අංශයට විශාල බලපෑමක් ඇතිවෙලා තිබෙනවා. 2002 මිලේනියම්සිටි පාවාදීමට සමාන ක‍්‍රියාකාරකම් මේ ආණ්ඩුවෙන් දිගටම සිදුවෙනවා.

ගරු කථානායකතුමනි,

මෑතකදී පවත්වනු ලැබූ ඊනියා මහාවීර දිනයේ සිදුවීම් ගැන අපි අවධානයෙන් ඉන්න ඕන. යාපනයේ විශ්ව විද්‍යාලයේ කලූ කොඩි ඔසවා ප‍්‍රභාකරන්ට ආවඩමින් ඊලම් රාජ්‍යයක් ඉල්ලමින් පෝස්ටර් අලවල තිබුණා. ඒ අතරතුර දැනට අත්අඩංගුවේ සිටින කොටි සාමාජිකයන් නිදහස් කල යුතුයැයි කියා ලියුමක් ලියල තියල අවුරුදු 17 ක දෙමළ තරුණයෙක් කෝච්චියට පැන සියදිවි නසාගෙන තියෙනව කියල කියනව. වෙන කිසිවෙකුගේ උසිගැන්වීමක් නැතුව, අනුන්ගේ සැලසුම් සහගත මැදිහත් වීමක් නැතුව අවුරුදු 17ක ළමයෙක් මෙවැනි තීන්දුවක් තනියම ගනීවි යැයි විශ්වාස කරන්න පුලූවන් කාටද ? උතුරේ පළාත් සභාව විසින් පාසැල් වසා දමල ත‍්‍රස්තවාදීන් නිදහස් කරන්නැයි ඉල්ලමින් උතුර පුරාම හර්තාල් හා උපවාස සංවිධානය කරල තියෙනව. මේ සියලූ සිදුවීම් හරහා රට යන්නෙ කොතනටදැයි අපි කල්පනා කරන්න ඕන.

මේ සියලූ අවදානම් සහගත ලක්‍ෂණ ඇස්පනාපිට පේන්න තිබියදීත් ආණ්ඩුව කොටි හිතවාදී සංවිධාන අටකට හා පුද්ගලයන් 269 දෙනෙකුට පනවා තිබූ තහනම් ඉවත් කරල තියෙනව. මේ ආකාරයට තහනම් ඉවත් කරපු දෙමළ තරුණ සංවිධානය හා කැනඩාවේ දෙමළ කොංග‍්‍රසය යන සංවිධාන දෙක ඊලාම් කොඩිය ඔසවා ප‍්‍රසිද්ධියේම ප‍්‍රභාකරන්ට ආවඩන ඡායාරෑපය මම අන්තර්ජාලයේ දැකල තියෙනව. රටේ ආරක්‍ෂාව වෙනුවෙන් මගේ ආණ්ඩුව විසින් මේ වගේ සංවිධාන තහනම් කරලයි තිබුණෙ. නමුත් මේ ආණ්ඩුව කිසිම වගකීමකින් තොරව ඒ තහනම ඉවත්කරල තියෙනව.

මේ අතරතුර ඇතැම් බටහිර රටවලින් ලංකාවට එන නිලධාරීන් උතුරු පලාතෙන් ආරක්‍ෂක හමුදාවන් ඉවත්කර ගැනීම ගැන විවිධ උපදෙස් ආණ්ඩුවට ලබල දීල තියෙනව. ලංකාව තුළ ආරක්‍ෂක හමුදා යෙදවෙන ආකාරය මේ රටේ සෛවරී තීන්දුව අනුව විය යුතුයි. ආරක්‍ෂක හමුදාවට අදාල කටයුතු සම්බන්ධයෙන් තමන් අවධානයෙන් සිටිනවා යැයි විදේශීය නිලධාරීන් ලංකාවට ඇවිත් පවසන විට මට ඒක කොහෙත්ම අනුමත කරන්න බැහැ.

මේ සියලූම ප‍්‍රශ්ණ වලට හේතුව වෙන්නේ මේ ආණ්ඩුවේ වැරදි විදේශ ප‍්‍රතිපත්තියයි. මොවුන් ඇතැම් විදේශීය ආණ්ඩු සතුටු කරන්න විවිධ දේවල් කරන අතර ඒ විදේශීය ආණ්ඩු ක‍්‍රියාකරන්නේ ඒ රටවල යම් ඡන්ද පදනමක් ඇති දෙමළ ඩයස්පෝරා සංවිධාන වල බලපෑම් මතයි. පසුගිය ඔක්තෝබර් මාසයේදී මෙවැනි විදේශීය රාජ්‍යයන් විසින් ලංකාවට එරෙහිව ගෙනඑන ලද මානව හිමිකම් කවුසිල යෝජනාව ලංකාවේ වත්මන් ආණ්ඩුව හිස් මුදුනින් පිළිගෙන තියෙනව. මේ යෝජනාවට අනුව රණවිරුවන්ට එරෙහිව යුද අපරාධ අධිකරණයක් පිහිටුවීමටත් ඒ අධිකරණයට විදේශීය විනිශ්චයකාරවරුන්, පරිචෝදකයන් හා විමර්ශන නිලධාරීන් බදවාගැනීමටත් ඒ උසාවි යාන්ත‍්‍රනයට විදෙස් රටවලින් මුදල් ප‍්‍රතිපාදන ලබා ගැනීමට ඉඩදීමටත් ලංකාවේ ආණ්ඩුව එකග වෙලා තියෙනව. ඒ විතරක් නෙවෙයි අපේ රණවිරුවන් ඉක්මනින් හා පහසුවෙන් හිරේ දැමීමට හැකිවන ආකාරයට රටේ දැනට පවතින නීතිය සංශෝධනය කිරීමටත්, උසාවියකට ඉදිරිපත් කිරීමට තරම් ප‍්‍රමාණවත් සාක්‍ෂි නැතත් මානව අයිතීන් උල්ලංගනය කලා යැයි සැකයට භාජනය වන ආරක්‍ෂක හමුදා සාමාජිකයන් පරිපාලනමය ක‍්‍රියාදාමයකින් සේවයෙන් ඉවත් කිරීමටත් මේ ආණ්ඩුව එකග වෙලා තියෙනව.

මෑතකදී බි‍්‍රතාන්‍ය අගමැතිවරයා ලංකාවේ ජනාධිපතිවරයා මුණගැසී ආරක්‍ෂක හමුදාවන් ඉහත දක්වන ලද ආකාරයට ප‍්‍රතිසංවිධානයකට ලක් කරන්නේ නම් බි‍්‍රතාන්‍ය පවුම් මිලියන 6ක් ඒ වෙනුවෙන් ලබා දීමට කැමැත්ත පලකරල තිබෙනව. ලංකාවේ හමුදා ප‍්‍රතිසංවිධානය කිරීමට කිසිම මුදලක් විදෙස් රටකින් ලබාගතයුතු නැහැ. ඒ වගේම විදේශ රටවල කීමට හමුදාව ප‍්‍රතිසංවිධානය කලයුත්තෙත් නැහැ.

මට ආරංචි වෙලා තියෙනව කොටි සංවිධානයට එරෙහි අවසන් මෙහෙයුමේ දී ඒ ඒ සේනාංක වලට නායකත්වය දුන් ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් සියලූ දෙනාම සේවා දිගු ලබා නොදී විශ‍්‍රාම ගැන්වීමට හදන බව. මේ නිලධාරීන් හමුදාවෙන් විශ‍්‍රාම ගිය පසු ඔවුන්ට යුද හමුදාවෙන් ලැබෙන ආයතනික ආවරණය හා ආරක්‍ෂාව සම්පූර්ණයෙන්ම නැති වෙනව. යුද අපරාධ විමර්ශන පිළිබද කතාබහක් පවතින මෙවැනි අවස්ථාවක එම නිලධාරීන් විශ‍්‍රාම ගැන්වීම ඔවුන්ව සිතාමතාම තනි කිරීමක් හැටියටයි මම දකින්නෙ. ඔවුන් මේ රටට කළ සුවිශේෂ සේවාව ඇගයීමක් හැටියට මේ අවදානම් තත්වය පහව යනතුරු ඔවුන්ට අදාල සේවා දිගු කිරීම් ලබාදෙන මෙන් මම ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනව.

ඉහතින් දක්වපු යෝජනාවේ තිබුණු තවත් නිර්දේශයක් තමයි මහජන ආරක්‍ෂක පනත මේ විදේශීය බලවතුන්ට පිළිගත හැකි පරිදි සංශෝධනය කිරීමත්, ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත සම්පූර්ණයෙන්ම අහෝසි කොට විදේශීය බලවතුන්ට පිළිගතහැකි වෙනත් නීතියකුත් ගෙන එන එක. මා මෙය දකින්නෙ ලංකාවේ ආරක්‍ෂාවට අදාල නීති ඉතාමත් අදූරදර්ශී හා අමනෝඥ ආකාරයට බිද දැමීමක් හැටියටයි.

ගරු කථානායකතුමනි,

රජය සතු රක්නා ලංකා සමාගම ඉන්දියන් සාගර කලාපයේ සාර්ථක මුහුදු ආරක්‍ෂක සේවාවක් ගොඩනැගුවා. ඒ ව්‍යාපාරයට ලංකාවේ පුද්ගලික ආරක්‍ෂක සේවාවන් ද විසි ගණනක් විවිධ ආකාරයට හවුල් වුණා. මේ ව්‍යාපාරයෙන් ලංකාවට විශාල විදේශ විනිමය ආදායමක් ලැබුණා. වර්තමාන ආණ්ඩුව යටතේත් ඒ ව්‍යාපාරය ඊයෙ පෙරේදා වෙනකම්ම ක‍්‍රියාත්මක වුණා. නමුත් දැන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අදාල අයතනවල අනුමැතියද ඇතුව ක‍්‍රියාත්මක වුනු මේ සාර්ථක මුහුදු ආරක්‍ෂක සේවාව දේශපාලන හේතු මත සම්පූර්ණයෙන්ම බිද දමන වැඩපිළිවෙලකට ආණ්ඩුව අවතීර්ණ වෙලා තියෙනව. ඒ ගැන මම කණගාටු වෙනව.

යුද්ධයට දේශපාලන මෙන්ම හමුදාමය නායකත්වය දීපු ප‍්‍රධාන පුද්ගලයන් ගණනාවක්ම දැන් විවිධ පොලිස් මූල්‍ය විමර්ශන ඒකක නැතිනම් දූෂණ වංචා සෙවීමේ කොමිෂම් ඉදිරියට දිනපතාම පාහේ ගෙන්වනව. මේවා කරන්නේ මේ පුද්ගලයන් යුද්ධයට නායකත්වය දීමෙන් අත්කරගත් කීර්ති නාමය නැති කරන්න කියල තමයි මට හිතෙන්නෙ. මේ සිද්ධවෙන දේවල් ගැන ජනතාව අවධානයෙන් ඉන්න බව මම දන්නව.

පටු දේශපාලන කාරණා මත නැතිනම් මට හෝ මගේ ආණ්ඩුවට එරෙහිව තිබෙන වෛරය පිරිමසා ගැනීමට රටේ ජාතික ආරක්‍ෂාව අනතුරේ හෙලිය යුතු නැතැයි මම මේ ආණ්ඩුවට කියමින් මගේ වචන ස්වල්පය අවසන් කරනව.

ස්තුතියි.

*හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ විසින් 2015 දෙසැම්බර් 04 වෙනිදා පාර්ලිමේන්තුවේ කළ කතාවේ පිටපත

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.