
අප යොවුන් පාර්ලිමේන්තුව ආරම්භ කළේ යොවුන් පුරයේදීයි. යොවුන් පුරය රැස්වන අවස්ථාවල දී යොවුන් පාර්ලිමේන්තුවත් රැස්වුණා. 2011 වසරේදී ඩලස් අලහප්පෙරුම ඇමැතිතුමා ජාතික තරුණ සේවා සභාව කේන්ද්‍ර කරගනිමින් නැවතත් යොවුන් පාර්ලිමේන්තුව ඇරඹුවා. යොවුන් පාර්ලිමේන්තුවේ තුන්වන සැසිවාරය අද රැස්වී තිබෙනවා. අනාගත යොවුන් පාර්ලිමේන්තුවට විශේෂ කාර්ය භාරයක් පැවරීමට අප අපේක්ෂා කරනවා. ප්‍රජාතන්ත්‍රවාදී ආයතන තහවුරු කිරීමේ විශේෂ වැඩසටහන යටතේ මෙම කාර්යභාරය පවරනවා.
මෙරට යහපාලනය ස්ථාපිත කිරීම සඳහා ජනවාරි 08 වෙනිදා මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපතිධූරයට පත්වුණා. ඒ යහපාලනය ඉදිරියට ගෙන යාමට, මේ රටේ තරුණ තරුණියන්ට අනාගතයක් ලබාදීමට අගෝස්තු මහ මැතිවරණයෙන් පසුව ප්‍රධාන පක්ෂ දෙකම එකට එක්වී ජාතික ආණ්ඩුවක් නිර්මාණය කළා.
ප්‍රධාන පක්‍ෂ දෙක බලයට අරගල නොකර ආණ්ඩුවක් නිර්මාණය කළ ආසියාවේ පළමු අවස්ථාව මෙයයි. මෙරට ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ස්ථාපිත කිරීමට පාර්ලිමේන්තු බලය තහවුරු කිරීමට අප පියවර කීපයක් අරගෙන තිබෙනවා. පසුගිය පාර්ලිමේන්තුවේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තම බලතල සීමා කිරීමට එකග වුණා. දැන් අප විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීමට සුදානමින් සිටිනවා. එවිට පාර්ලිමේන්තුවේ බලතල තවත් වැඩිවෙනවා. ජාතික පාර්ලිමේන්තුවේ බලතල වැඩි වූ විට යොවුන් පාර්ලිමේන්තුවට ද සිදු කළ යුතු කාර්යයන් බහුල වෙනවා.
පාර්ලිමේන්තුවේ කාරක සභා ක්‍රමයක් ඇති කිරීමට අප දැන් සාකච්ඡා කර තිබෙනවා. ලබන ජනවාරි මාසයේ එය ක්‍රියාත්මක කරනවා. කාරක සභා මාර්ගයෙන් අමාත්‍යවරුන්ගේ කාර්යයන් පරීක්ෂා කිරීමට, අමාත්‍යාංශ පරික්ෂා කිරීමට අප බලාපොරොත්තු වෙනවා.
රටක මුල්‍ය පාලනය ඇත්තේ පාර්ලිමේන්තුව සතුවයි. එය ක්‍රියාත්මක කළේ භාණ්ඩාගාරයයි. පාර්ලිමේන්තුව සඳහා ස්වාධීන අයවැය කාර්යාලයක් ලබාදීමට අපේක්‍ෂා කරනවා. මුදල් අමාත්‍යාංශයෙන් ලබාදෙන ලේඛනවල සත්‍ය අසත්‍යතාවය පරීක්ෂා කිරීම එහි අරමුණයි.
ස්වාධීන කොමිෂන් සභා සියල්ලම පත්කර ව්‍යවස්ථාදායක සභාවේ එහි සාමාජිකයන් සියලූම දෙනා පත්කර තිබෙනවා. මේ වන විට ස්වාධීන කොමිෂන් සභා දහයක විතර පත්කිරීම් අවසන් කර තිබෙනවා. ප්‍රජාතනත්‍රවාදී ආයතන තහවුරු කිරීම පාර්ලිමේන්තුවට සහ පළාත් සභාවට පමණක් සීමා වන්නේ නැහැ. තවත් වැදගත් ආයතන තිබෙනවා. මෙරට ග්‍රාම නිලධාරි කොට්ඨාස 14000 එකතු කර ග්‍රාම රාජ්‍ය කේන්ද්‍ර 2500ක් ස්ථාපිත කරනවා.
යොවුන් පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීම ද අපේ බලාපොරොත්තුවයි. මෙරට තරුණ තරුණියන්ගේ අදහස් නියෝජනය කිරීම යොවුන් පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීමේ අරමුණයි. මහ ආණ්ඩුවේ වැඩ කටයුතු කිරීම සඳහා යෞවන කටයුතු අමාත්‍යාංශය තිබෙනවා. තරුණයන්ගේ අදහස් ඉදිරිපත් කිරීම සඳහා යොවුන් පාර්ලිමේන්තුව තිබෙනවා. තරුණ බලය සහ ආණ්ඩුව එකට එක්වී ගන්නා තීරණ ක්‍රියාත්මක කිරීම සඳහා තරුණ සේවා සභාව පිහිටුවා තිබෙනවා. අප අනාගතයේ වැඩකටයුතු කරන්නේ ඒ අයුරිනි.
එක්සත් රාජධානියේ සහ නවසීලන්තයේත් යොවුන් පාර්ලිමේන්තු පිහිටුවා තිබෙනවා. එම රටවල ඇති යොවුන් පාර්ලිමේන්තු තරමටම මෙරට යොවුන් පාර්ලිමේන්තුව ද ශක්තිමත් කළ යුතුයි. යොවුන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරුන් දැනුවත් කරන වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතුයි. ඒ සදහා අප සාකච්ඡා පවත්වා තිබෙනවා. ඊට අමතරව යොවුන් පාර්ලිමේන්තුවේ කථානායකතුමාත්, එහි අගමැතිතුමාත් අනෙක් නායකවරුන්ටත්, පාර්ලිමේන්තුවේ කථානායකතුමාත් පක්‍ෂ නායකවරුනුත් මුණගැසී සාකච්ඡා කිරීමට අවස්ථාව ලබා දෙනවා.
පාර්ලිමේන්තුවේ ක්‍රියාවලිය සිදුවන ආකාරය පිළිබදව එවිට ඔවුන්ට අවබෝධයක් ලබාගැනීමට හැකි වෙනවා. අප පාර්ලිමේන්තුවේ පර්යේෂණ ක්‍රියාවලියක් ක්‍රියාත්මක කිරීමට අදහස් කරගෙන සිටිනවා. ජේ. ආර්. ජයවර්ධන කේන්ද්‍රය පාර්ලිමේන්තුවේ පුහුණුව සදහා යෙදවීමට අදහස් කරනවා. මෙම අවස්ථාවෙන් සම්පූර්ණ ප්‍රයෝජනය ලබා ගන්නැයි මා යොවුන් පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටින තරුණ මන්ත්‍රිවරුන්ගෙන් ඉල්ලා සිටිනවා. පාර්ලිමේන්තුවේ කොමිටි, සැසිවාර ආදී නොයෙකුත් දේ තිබෙනවා. ජාතික පාර්ලිමේන්තුවෙන් නැති දේ පවා ඔබට ක්‍රියාත්මක කළ හැකියි. යොවුන් පාර්ලිමේන්තුවේ සමාජ මාධ්‍ය ජාල සැසිවාරයක් පැවැත්විය හැකියි. එවිට මේ කටයුත්ත තවත් පුළුල් කළ හැකියි. කථානායකතුමා සමග ද සාකච්ඡා කර එවැනි වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙස මා ඉල්ලා සිටිනවා.
විටින් විට තම අදහස් ප්‍රකාශ කිරීමට, අදහස් හුවමාරු කර ගැනීමට මෙයින් අවස්ථාව ලැබෙනවා. යොවුන් පාර්ලිමේන්තුව තරුණ ප්‍රශ්න නියෝජනය කරනවා නම් තරුණයන්ගේ හඬට තැනක් දෙනවා නම් අපේ අමාත්‍යාංශ සහ පළාත් සභා සමගත් සම්බන්ධතාවයක් තිබිය යුතුයි. යොවුන් කටයුතුවලට අදාල ආණ්ඩුවේ ආයතනවල සම්බන්ධීකරණ නිලධාරියෙකු සිටිය යුතුයි. මේ පිළිබඳව වාර්තා කිරීමට මා කොමිටියක් පත් කරනවා. අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් එම කමිටුව පත්කෙරෙණු ඇති. රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා, නියෝජ්‍ය අමාත්‍ය අනුරුද්ධ ජයරත්න, තරුණ සේවා සභාවේ සභාපති, යොවුන් පාර්ලිමේන්තුවේ කථානායක, යොවුන් පාර්ලිමේන්තුවේ අගමැති එම කමිටුව සදහා ඇතුලත් කරනවා. අමාත්‍යාංශ සමග සම්බන්ධය ගොඩනගා ගෙන මේ කටයුතු ඉදිරියට ගෙන යන්නේ කෙසේදැයි යන්න වාර්තාවක් ලබා දෙන ලෙස එම කමිටුවෙන් ඉල්ලා සිටිනවා.
එක්සත් රාජධානියේ යොවුන් පාර්ලිමේන්තුවේ යොවුන් පුවත්පත් කලාවේදීන් සදහා වෙනම ස්ථානයක් තිබෙනවා. ඔවුන් තරුණ මාධ්‍යවේදීන් ලෙස පුහුණු කිරීම එමගින් සිදුකෙරෙනවා. එම පාර්ලිමේන්තුවෙන් ඔබට ආදර්ශයක් ලබාගැනීමට හැකියි.
යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ගම සමග සම්බන්ධතාවය ශක්තිමක් කර ගත යුතුයි. යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් තේරීමේ දී සමහර කොට්ටාශවල සහභාගිත්වය හොඳ මට්ටමක තිබුණත් සමහර කොට්ඨාශවල සහභාගිත්වය සතුටුදායක නැහැ.
උතුරු නැගෙනහිර සහභාගිත්වය හොඳ මට්ටමක තිබෙනවා. බස්නාහිර පළාතේ සහභාගිත්වය අඩුයි. යොවුන් පාර්ලිමේන්තුව සදහා මන්ත්‍රිවරුන් තෝරා පත් කර ගැනීමේ දී මෙම සහභාගිත්වය පිළිබද සලකා බැලිය යුතුයි. යොවුන් පාර්ලිමේන්තුව සහ තරුණ සේවා සභාව ග්‍රාම රාජ්‍ය කේන්ද්‍ර සඳහා සම්බන්ධ කර ගැනීමට අප අදහස් කරනවා. ග්‍රාම රාජ්‍ය කේන්ද්‍ර සමග ඔවුන්ට එක්වී කටයුතු කළ හැකියි. යෞවන සමාජ ද ඊට අන්තර්ගත වෙනවා.
ගම් මට්ටමේ තිබෙන සමිති සමාගම්වලින් එම ප්‍රදේශවලට විශාල වැඩ කොටසක් සිදුකෙරෙනවා. අවුරුදු, වෙසක්, නත්තල් ආදි උත්සව අවස්ථාවල දී එය පැහැදිලිවම දැක ගත හැකියි. එවැනි සංවිධාන ද මෙම අප යන ගමන සදහා එකතු කර ගැනීම වැදගත්.
ලබන වසරේ යොවුන් පාර්ලිමේන්තුවේ අයවැය සදහා රුපියල් මිලියන 250 ක් වෙන් කරනවා. අප ග්‍රාම රාජ්‍ය කේන්ද්‍රවලට රුපියල් බිලියන 21ක් වෙන් කර තිබෙනවා. යොවුන් පාර්ලිමේන්තුවට වෙන් කරන්නේ එම මුදලින් කොටසක් බව කිව යුතුයි. මේ මුදල් ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා මා රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතාට වගකීම බාරකරනවා. ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සමග සාකච්ඡා කොට මෙම කටයුතු ඉදිරියට ගෙන යන ලෙස මා පවසනවා.
අප තරුණයන් ඒකරාශී කරගත යුතුයි. තරුණයන්ගේ සහයෝගය ලබාගත යුතුයි. අනාගතය නිර්මාණය කරන්නේ තරුණයන් සදහායි. අද ඇත්තේ ශීඝ්‍රයෙන් වෙනස් වන සමාජයකට මුහුණ දී සිටිනවා. රැකියා ලක්ෂ 10ක් බිහිකරන ආර්ථිකයක් ඇති කළ යුතුයි. ඊට අවශ්‍ය පසුබිම සකස් කළ යුතුයි. අප සංවර්ධන ඒජන්සිය හරහා මෙම සංවර්ධන සිදු කරන්නේ කෙසේද යන්න සොයා බැලිය යුතුයි.
දැනටමත් අප හම්බන්තොට ආර්ථික කලාපය ආරම්භ කිරීම සඳහා කටයුතු යොදා තිබෙනවා. ශීඝ්‍රගාමි වෘත්තීය පුහුණු වැඩසටහනක් ආරම්භ කිරීම සදහා අප අධ්‍යාපනයට සම්බන්ධ අමාත්‍යවරුන් සමග සාකච්ඡා කළා. යොවුන් පාර්ලිමේන්තුවේ අමාත්‍ය මණ්ඩලයද මෙම වැඩසටහනට එකතු කර ගන්නා බව පවසනවා.
මේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම යොවුන් පාර්ලිමේන්තුවට බාරයි. ප්‍රජාතන්ත්‍රවාදී ආයතන තහවුරු කිරීමේ වැඩසටහනට යොවුන් පාර්ලිමේන්තුවද සම්බන්ධ කර ගන්නවා. එයින් නිසි ප්‍රයෝජනයක් ලබා ගන්නැයි මා ඉල්ලා සිටිනවා. ලොව හොඳම පාර්ලිමේන්තුව ශ්‍රී ලංකාවේ ඇති කළ යුතුයි. තරුණ ප්‍රශ්න පිළිබදව අධ්‍යාපනය, රැකියා, සමාජ ප්‍රශ්න, නීතිය සාමය ආදි පිළිබදව අප සාකච්ඡා කළ යුතුයි. යොවුන් පාර්ලිමේන්තු සංකල්පය ඔබ සියලූ දෙනාම සාර්ථකව ඉදිරියට ගෙන යනු ඇතැයි යන්න මගේ හැගීමයි.
*2015 දෙසැම්බර් මස 04 වන දින මහරගම ජාතික තරුණ සේවා සභා මධ්‍යස්ථානයේ පැවති යොවුන් පාර්ලිමේන්තු සැසිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වෙමින් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ කළ කතාව