
කොස්ගම සාලාව කඳවුරේ පිහිටි යුද හමුදා මධ්‍යම අවි ගබඩාව පුපුරා විනාශ වී යාමෙන් මුළු රටම කම්පනයට පත් වී සිටි. මේ සිදුවීමෙන් මිය ගිය හමුදා සාමාජිකයා වෙනුවෙන් මගේ ශෝකය ප්‍රකාශ කරන අතර තුවාල ලැබූ අයට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි. මේ සිද්ධියෙන් යුද හමුදාවේ මෙන්ම සිවිල් වැසියන්ගෙත් දේපල වලට සිදු වූ හානිය අති විශාලය. එවක ආණ්ඩුව 1990 ගණන් වල මෙම ස්ථානයේ මධ්‍යම අවි ගබඩාව පිහිටවනු ලැබුවේ ජනාකීර්ණ ප්‍රදේශයක පුපරණ ද්‍රව්‍ය විශාල තොග රැස්කිරීමට විරුද්ධව එම පාලාත නියෝජනය කල දිනේෂ් ගුණවර්ධන හා බන්දුල ගුණවර්ධන වැනි මන්ත්‍රීවරුන් නැගූ විරෝධතාවයද නොතකාය.
යුද්ධය පැවති සමයේ මේ අවි ගබඩාවේ ආරක්ෂාව උපරිම මට්ටමෙන් තහවුරු කිරිමට අපි පියවර ගත් අතර 2009 න් පසු මෙම ස්ථානයේ අවි හා උණ්ඩ ක්‍රමානුකූලව ඉවත් කර ගැනීම ආරම්භ විය. මට දැනගන්නට ඇති පරිදි එහි තිබූ බෝම්බ හා පුපුරණ ද්‍රව්‍ය වලින් වැඩි කොටසක් තාවකාලිකව වේයන්ගොඩටත්, පුහුණු කටයුතු වල භාවිතා කිරීමට දියලතාව හා මාඳුරුඔය වැනි කඳවුරු වලටත් ගෙන ගොස් තිබුණි. ඉතිරි උණ්ඩ තොග ගෙන යාමට මගේ කාලයේ දී ඔයාමඩුව, රඹෑව වැනි ප්‍රදේශවල නිත්‍ය අවි ගබඩා තැනීමට සියල්ල සූදානම් කර තිබුණි. නමුත් අපේ පාලන කාලයෙන් පසු මේ ගැන කිසිදු පියවරක් ගෙන නැත. ඒ කෙසේ වෙතත් මෙවැනි ස්ථානයක මේ ආකාරයේ ආරක්ෂාව බිද වැටීමක් සිදු වීම ගැන මම මවිත වෙමි. යුද්ධය කාලයේ දී මෙවන් දෙයක් සිදු වුණා නම් යුද්ධය තාවකාලිව හෝ නතර කිරීමට සිදුවනු ඇත.
මෙවැනි අවි ගබඩා වලට දිවා රෑ ආරක්ෂාව සපයා තිබෙනවා පමණක් නොව දවසට දෙවරක් වත් පරීක්ෂණයටත් ලක් කරනු ලැබේ. කල් ඉකුත් වූ උණ්ඩ වෙනත් ස්ථානයකට ගෙන ගොස් විනාශ කරනු ලැබේ. විදුලි කාන්දුවක් වැනි ආපදාවක් සිදු වුවත් එයින් වන හානිය අවම කිරීමට විධිවිධාන ඇත. මේ සියල්ල බිඳ වැටුනේ කෙසේදැයි බලධාරීන් විමසා බැලිය යුතුය. ගින්න ඇතිවූයේ කෙසේදැයි අපි තාම නිෂ්චිතව දන්නේ නැති වුණත්, ආරක්ෂක හමුදාවන්වල ජීව ගුණය හා ආත්ම ශක්තිය පිරිහී තිබෙන අවස්ථාවක අධීක්ෂණය, නායකත්වය, අවධානය හා සුපරික්ෂාකාරී බව පිරිහෙනවාය යන්න, පොදු ප්‍රකාශයක් හැටියට වලංගු වේ. මගේ පාලන සමයේ මුල් මාස කීපයේදී ලෝක ඉතිහාසයේ පළවෙනි වතාවට යුද හමුදාපතිවරයෙකුට ඔහුගේම මූලස්ථානය තුළ මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරීමට ත්රස්තවාදීන්ට හැකි විය.
එවැනි ප්‍රහාරයක් කිරීමට ත්රස්තවාදීන්ට හැකිවීමට ආසන්න හේතුව ඒ අවස්ථාවේ යුද හමුදා මූලස්ථානයේ ආරක්ෂක විධිවිධාන වල තිබුණු අඩුපාඩු වුණත්, එම තත්වයට පාදක වූ මූලික හේතුව 2002-2006 සටන් විරාම ගිවිසුමෙන් ආරක්ෂක හමුදා සාමාජිකයන් තුළ ඇතිකර තිබු පරාජිත, අසරණ වූ මානසිකත්වයයි. පසුගිය වසරේ ජනවාරියේ සිට ඇති වූ සිද්ධීන් ගණනාවක් නිසා, අද වනවිට 2002-2006 සටන් විරාම සමයේදී වත් අත් නොදුටු තරමට ආරක්ෂක හමුදාවන්වල ජීව ගුණයත්, ආත්ම ශක්තියත් පහල වැටී ඇති බව ප්රත්යක්ෂ කරුණකි. කොස්ගම විනාශය ගැන කරන විමර්ශණය, මේ අවස්තාවේදී ආරක්ෂක හමුදාවල ජීවගුණය කුමන තත්වයෙන් පවතිනවාද කියන එක දෙසටත් යොමු වෙන්න ඕන. ඒ අතරතුර, මේ විනාශයෙන් හානි වූ නිවාස යළි ඉදිකර දෙන බවට ආණ්ඩුව දුන් ප්‍රතිඥාව මම අගය කරමි. අවතැන් වූ ජනතාවට නැවත නිවාස පිළිසකර කර දෙන තුරු නවාතැන් ගැනීමට විකල්ප ස්ථාන ලබාදීමද උචිත වේ.
*මහින්ද රාජපක්ෂ (පා.ම) – හිටපු ජනාධිපති