26 October, 2020

Blog

ඉන්දියාව සමඟ “එට්කා” ගිවිසුමකට එළෙඹීමේදී එය අදියර දෙකකින් කළ යුතුය

මහින්ද රාජපක්‍ෂ

මහින්ද රාජපක්‍ෂ

මහින්ද රාජපක්‍ෂ

ඉන්දියාව සමඟ ආර්ථික සහයෝගිතා ගිවිසුමක් මේ මස තුළදී අත්සන් කරන බව ආණ්ඩුව හඟවා ඇත. මේ ගිවිසුමේ අන්තර්ගතය ගැන පාර්ලිමේන්තුවවත්, මහජනතාවවත් නිළ වශයෙන් දැනුවත් කර නැත. ඇමති මලික් සමරවික්‍රම මහතා නිළ නොවන මට්ටමෙන් වෘත්තීයවේදීන්ට ලබා දී ඇති මේ ගිවිසුමේ කෙටුම්පතින් පෙනී යන්නේ මේ “එට්කා” ගිවිසුම සවිස්තරාත්මක ලියවිල්ලක් නොව භාණ්ඩ හා සේවා වෙළඳාම, සහ ආයෝජනය පිළිබඳ නිෂ්චිත කාරණා පසුව සාකච්ඡා කිරීමට එකඟ වන ගිවිසුම් රාමුවක් පමණක් වන බවයි.

ඉන්දියාව සමඟ ශ්‍රී ලංකාවට යහපත් වෙළඳ සම්බන්ධතාවයක් තිබිය යුතුය. වෙළඳ ගිවිසුමකට එළෙඹිය යුත්තේ එහි ක්‍රියාකාරිත්වයට හරස්විය හැකි සාධක හොදින් අධ්‍යනය කිරීමෙන් පසුව පමණි. 1998 දී ඉන්දියාව සමඟ අත්සන් කරන ලද නිදහස් වෙළඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීමට යෑමේදී පැණනැගුණු ප්‍රශ්න අපි මෙහිදී සැලකිල්ලට ගත යුතුය. ලංකාවේ භාණ්ඩ ඉන්දියාවට ඇතුල් වන වරායන්, භාණ්ඩ ප්‍රමිතීන් සහතික කිරීම, ඉන්දීය ප්‍රාන්ත රාජ්‍යන් තුළ බදු නීති හා ලංකාවෙන් ඉන්දියාවට යවන භාණ්ඩ ප්‍රමාණය මත පැණවෙන සීමාකිරීම් සම්බන්ධයෙන් බරපතල ප්‍රශ්ණ පැණනැගුණු නිසා මේ නිදහස් වෙළඳ ගිවිසුම තුළින් ලංකාවට ලැබීමට තිබූ ප්‍රතිලාභ නොලැබී ගියේය.

මේ තුළින් නිදහස් වෙළඳ ගිවිසුමේ අරමුණු සාක්‍ෂාත් කරගැනීමට නොලැබුනා පමණක් නොව මේ ප්‍රශ්ණ නිසා ශ්‍රී ලංකාව කෙරෙහි ඉන්දියාව දක්වන ආකල්පය ගැනත් නිශේදනාත්මක මත මේ රට තුළ ප්‍රචලිත විය. යෝජිත ආර්ථික හා තාක්‍ෂණික සහයෝගිතා ගිවිසුම තුළින් දෙරට අතර සහයෝගිතාවය ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න ගැන සවිස්තරාත්මක වගන්ති එහි තිබිය යුතුය. දැනට පවතින නිදහස් වෙළඳ ගිවිසුමෙන් අප ලැබූ අත්දැකීම වන්නේ ගිවිසුමේ වගන්ති වල සවිස්තරාත්මක බව හා නිශ්චිත බව වැඩි වියයුතු බව මිස අඩුවිය යුතු බව නොවේ. එම නිසා නිශ්චිත කාරණා පසුව සාකච්ඡා කරනවා යැයි කියා ගිවිසුම් රාමුවකට අත්සන් තැබීමට ආණ්ඩුව යුහුසුළු නොවිය යුතුය යන්න මගේ මතයයි.

පසුගිය මාසයේ ශාන්තිකර කළාප රටවල් 12 ක් අතර අත්සන් තැබුණු ශාන්තිකර කලාපීය සහයෝගිතා ගිවිසුම ගැන වත්මන් ආණ්ඩුව ඉතා පැහැදීමකින් කතාකරනු අපට ඇසේ. එම ගිවිසුම අවුරුදු 07 ක් මුලුල්ලේම සාකච්ඡා වුණු අතර එයට දායකවන රටවල් අතර භාණ්ඩ හා සේවා වෙළඳාම සිදුවිය යුතු ආකාරය ගැන පරිච්ඡේද 30කින් යුත් නිශ්චිත හා සවිස්තරාත්මක එකඟතාවයක් ඇතිකරගෙන තිබේ. ඉන්දියාව “එට්කා” වැනි ගිවිසුම් දකුණු කොරියාව හා සිංගප්පූරුව සමඟත් ඇති කරගෙන තිබේ. නමුත් එම ගිවිසුම් ඉතා සවිස්තරාත්මක ලියවිලි වන අතර, ආර්ථික හා ජාතික සුරක්‍ෂිතතාවය සම්බන්ධයෙන් ඒ ගිවිසුම්වල අවශ්‍ය කොන්දේසි තිබේ. අපේ රටේ සේවා අංශය විවෘත කරන්නේ නම්, එයට අදාල සීමාවන් මොනවාදැයි අපි නිශ්චිතව දැනගත යුතුය.

ඉන්දියාව සමඟ “එට්කා” ගිවිසුමකට එළෙඹීමේදී එය අදියර දෙකකින් කළ යුතු බව මම ආණ්ඩුවට යෝජනා කර සිටිමි. පළමු අදියරේදී ඉන්දියාව සමඟ දැනට ක්‍රියාත්මක වන නිදහස් වෙළඳ ගිවිසුමේ ප්‍රශ්න නිරාකරණය විය යුතුය. එයත් සමඟ දෙරටේ ජනතාව අතර විශ්වාසනීයත්වය තහවුරු කිරීම සඳහා අද මහා අර්බුදයක් බවට පත්වී තිබෙන ලාංකීය මුහුදු තීරයේ ඉන්දීය ධීවරයන් අනවසරයෙන් මසුන් මැරීම වැනි කාරණාද එම අදියරේදීම විසදා ගත යුතුය. ලංකාවේ පාර්ශවයන් සෑහීමකට පත්වන ආකාරයට අවුරුදු කීපයක් ඉන්දියාව සමඟ පවතින නිදහස් වෙළඳ ගිවිසුම ක්‍රියාත්මක කිරිමෙන් පසු එම සහයෝගීතාවය තවත් අදියරක් ඉදිරියට ගෙන යාම සඳහා“එට්කා” ගිවිසුමක් ඇතිකර ගැනීමට නිශ්චිත විධිවිධාන ගැන සාකච්ඡා ආරම්භ කල හැක.

අපේ රට දැනටමත් ඉන්දියාවට ඇමරිකානු ඩොලර් 4,000 ක වෙළඳපොළක් සපයයි. ඉන්දියාව සමඟ පවතින නිදහස් වෙළඳ ගිවිසුම යටතේ දෙරට අතර වෙළඳාම සම්පූර්ණයෙන්ම සමතුළිත වියයුතු යැයි අපි කියන්නේ නැත. නමුත් ලංකාවෙන් අපනයනය කළ හැකි සියළු භාණ්ඩ උපරිම ධාරිතාවෙන් හා නිළධාරීවාදී බාධාවලින් තොරව ඉන්දිය වෙළඳපොළ තුළට යන බවට ශ්‍රී ලාංකික පාර්ශවයන් සෑහීමකට පත්විය යුතුය. අපේ ඉලක්කය විය යුත්තේ ඇඟලුම්, තේ වැනි ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන වලට ඉන්දීය වෙළඳපොළ නිසියාකාරව විවෘත කර ගැනීමයි. දැනට දෙරට අතර වෙළඳාම පිළිබඳව පවතින ප්‍රශ්න විසදන්නේ නැතුව මේ සම්බන්ධතාවය තවත් පුළුල් කිරීමට උත්සාහ දැරීම ගැන ජනතාව අතරින් විරෝධයක් පැණනැගිම වැලැක්විය නොහැක.

ඉන්දියාව සමඟ මේ ගිවිසුම ගැන අවසන් තීරණයක් ගැනීමට පෙර එකී ලියවිල්ල පාර්ලිමේන්තුවේ සභාගත කොට ඒ පිළිබඳ වානිජ සන්ගම්, වෘත්තීය වේදීන්ගේ සන්ගම් හා මහජනතාවගෙන් අදහස් විමසා සිටිය යුතු බවද මම ආණ්ඩුවට යෝජනා කර සිටිමි. ආණ්ඩුව මේ සම්බන්ධයෙන් දක්වා ඇති අධිපතිවාදී ආකල්පය නිසා අපේ අසල්වාසී රට සමඟ තිබෙන වෙළඳ සම්බන්ධතාවය හොඳ අතට හරවා ගැනීමට අපට තිබෙන අවස්ථාවක් නැති වී යාමට ඉඩ ඇත.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.