28 October, 2020

Blog

‘ලිංගාශ්‍රිත මානසික රෝග’ සහ යහපාලනය

අශාන් වීරසිංහ

අශාන් වීරසිංහ

අශාන් වීරසිංහ

සාමාන්‍යයෙන් අප සුලභ ව අසා ඇත්තේ ලිංගාශ්‍රිත රෝග ගැන වුව ද ලංකා සමාජයේ බොහෝ දෙනෙකුට දැනටමත් එයින් ව්‍යුත්පන්න වන තවත් වර්ගයක රෝගයක් වැළඳී තිබේ. එනම්, ‘ලිංගාශ්‍රිත මානසික රෝග’ ය. ඒඩ්ස් වැනි දරුණු ම ගණයේ ලිංගික රෝග කිහිපයක් හැරුණු කොට අන් සියල්ල ම පාහේ වෛද්‍ය ප්‍රතිකාර මගින් සමනය කරගත හැකි ඒවා වුව ද ලිංගාශ්‍රිත මානසික රෝග මාරාන්තික නොවන අතර ම මරණින් මිස පිළියම් කිරීමට ද නොහැක. එහි ඇති පැරඩොක්සය වන්නේ ද මෙයම ය. ලෙඩේ හොඳ වන්නේත් නැත, මැරෙන්නේත් නැත. එය ලෙඩාට මෙන්ම අන් අයට ද කරදරයක් වන්නේ ලෙඩාගේ පැත්තෙන් නොනවතින විඳවීමත් අන් අයගේ පැත්තෙන් නිම නොවන කරදර ගොන්නකුත් ඉතිරි වන බැවිනි (දරුණු ලෙඩකින් පීඩා විඳින අයෙකු ඉක්මනින් මරණයට පත් වන ලෙස ප්‍රාර්ථනා කළ යුතු ය යන පටු අර්ථයට මෙය ලඝු නොකරන මෙන් ඉල්ලමි. මෙහි ගම්‍යාර්ථය වෙන ම එකකි). තමන්ගේ ම ලිංගේන්ද්‍රිය දෙස පවා ඇස් හැර නොබලන තරමේ සුජාතභාවයක් පිටට පෙන්වන සමාජයක කිරි දරුවන් පවා දූෂණය වන්නේ ඇයි? යන ප්‍රශ්නය ද එම පැරඩොක්සයේ ම කොටසක් බව ද කිව යුතු ය. කොටින් ම කියනවා නම්, ලංකාවේ ළමයින් හම්බෙන්නේ දෙවියන්ගෙනි. එහෙත්, ඇතැම් අවස්ථාවල එවැනි දෙවිවරු ඇඳවල් යටින් පවා හසු වෙති!

සුළඟිනුත් ඒඩ්ස් බෝ වන කුලියාපිටිය

පසුගිය දිනවල ඒඩ්ස් වැළඳී නොමැති කුඩා දරුවෙකු ඒඩ්ස් රෝගියෙකු ලෙස හංවඩු ගසා ඔහුගේ මූලික හිමිකමක් වන අධ්‍යාපනය ලැබීමට ඇති අයිතියට ද ‘නිල වශයෙන්’ පහර ගැසීමේ පුවත මේ වන විට සමාජ මාධ්‍යවල විශාල ලෙස ප්‍රචාරය වෙමින් පවතී. මෙහි මා නිරීක්ෂණය කරන පරස්පරය නම්, මේ දරුවා මෙම ඛේදනීය ඉරණමට ඇද දමන ලද්දේ සුජාත සිංහල-බෞද්ධ පරමෝත්තමවාදය තුළ ම වීම ය. මේ අතර ම, පසුගිය ඉරිදා (පෙබරවාරි 28) රාත්‍රී පුවත් විකාශ මගින් ප්‍රචාරණය කෙරුණු වීඩියෝවකදී කුලියාපිටිය කලාප අධ්‍යාපන කාර්යාලයේ එක්තරා අධ්‍යක්ෂවරයෙකු ඉතා ම පැහැදිලි ව ප්‍රකාශ කළේ “අනවශ්‍ය ප්‍රශ්න ඇති නොකර ඔය ළමයා ව වෙනත් පාසලකට ඇතුළු කළ යුතු” බව යි. මේ නිසා ම මෙම සිද්ධිය දේශපාලනික වශයෙන් ද අපට වැදගත් ය. මෙම සිදුවීම අප කියවා බැලිය යුත්තේ හුදෙක් ම ඒඩ්ස් රෝගය පිළිබඳ නිසි අවබෝධයක් නොමැති කම මත ගම්වැසියන් විසින් දක්වන ලද ප්‍රතිචාරයක් ලෙස නොවන බව ද අවධාරණය විය යුතු ය. එය එසේ සැලකිය හැකි නම් ඔවුන්ගේ නොදැනුවත්කම පිළිබඳව අනුකම්පා කොට දැනුම්වත් කිරීමේ ප්‍රයත්නයක් දැරීම ම ප්‍රමාණවත් වන්නට ඉඩ තිබුණි. එහෙත්, මෙය හුදෙක් ම තම පහත් ආත්මාර්ථකාමී මානසිකත්වය එළිපිට මුදා හැරීමකි. වෙනත් වචනවලින් කියනවා නම්, හතර පෝයට සිල් ගන්නා සිංහල-බෞද්ධ දෘෂ්ටිවාදයේ නෛසර්ගීය අංගයක් වන ‘මගෙ එකා ගොඩ නම් අනෙකාට හෙණ ගැහුවත් කමක් නැත’ යන මතවාදයේ ප්‍රකාශනයකි. මෛත්‍රී භාවනාව වඩමින් තම ඇතුළාන්තයේ ඇති ස්වයං-සාපරාධී හැඟීම් සාධාරණීකරණය කර ගැනීමට වළිකන කුහක සිංහල-බෞද්ධයින් තුළ ඇති වෛරී හැඟීම් මුදා හැරීමකි. මෙය, අහිංසක නොදැනුවත්කමේත්, සාක්ෂරතා මට්ටම්වලත් සීමා ඉක්මවන දෙයකැ’යි මා කියන්නේ එහෙයිනි. ඉතාම කෙටියෙන් කියනවා නම්, ‘කුප්ප කමේ ප්‍රතිඵලයකි’.

මේ අතර ම, මේ දරුවා භාර ගැනීමට ඉදිරිපත් වූ පාසල් දෙකෙන් එකක් මුස්ලිම් පාසලක් වන අතර අනෙක ක්‍රිස්තියානි පාසලකි. පසුගිය කාලය පුරාවට සිංහල-බෞද්ධ නොවන සැමට විරුද්ධ ව සාපරාධී අදහස් පතුරුවමින් ඇතැම් මූලධර්මවාදී කල්ලි හැසිරෙන විට බුද්ධාලම්භන ප්‍රීතියෙන් යුතු ව ඒවා ඉවසා සිටි මෙන් ම පොප් බුද්ධාගම රැක ගැනීමේ අමුතු ප්‍රයත්නයෙහි හිතසුව පිණිස ඒවාට උඩගෙඩි දුන් සිංහල-බෞද්ධයන්ගේද කටඋත්තර නැති කරන මෙම සිදු වීම වෙන ම හිතන්නට කරුණු රැසක් අප සමාජය ඉදිරියේ තබන බව ද කිව යුතු ය.

‘කොළඹ කුලියාපිටිය’

මේ වන විට ෆෙස්බුක් සමාජ ජාලයේ හුවමාරු වෙමින් පවතින වීඩියෝවක දැක්වෙන්නේ නිදහස් චතුරශ්‍රයේ බිම අසුන් ගෙන කතාබහ කරමින් සිටි තරුණ පෙම් යුවළක් වෙත ගමන් කළ ආරක්ෂක නිලධාරීන් කිහිප දෙනෙකු ‘සංස්කෘතික කරුණු මත’ ඔවුනට එතැනින් ඉවත් වන ලෙස ප්‍රකාශ කරන ආකාරය යි. මෙහිදී අදාළ තරුණිය ‘තමන් විසින් සිදු කරන ලද වරද හෝ නොමනා හැසිරීමක් වී නම් එය පැහැදිලි ව ප්‍රකාශ කරන ලෙස’ ඔවුන්ට කියන නමුදු ඒ සම්බන්ධයෙන් පිළිගත හැකි සාධාරණීකරණයක් කරන්නට ඔවුන් කිසිවෙකු සමත් නොවේ. ඒ වෙනුවට ඔවුන් කියන්නේ මෙබන්දකි: “ඒව අපි දන්නෑ, ඔයාල ඒක ගිහිං සංස්කෘතික දෙපාර්තමේන්තුවට කියන්න, අපි කරන්නෙ අපිට කියල තියන දේ, මෙතන කපල්වලට ඉන්න දෙන්නෙ නෑ”. ඉතාම නූගත් හැසිරීමක් බැලූ බැල්මට ම ප්‍රකට කරන එක් නිලධාරියෙකු තවදුරටත් පෙන්වා දෙන්නේ තරුණියකට හා තරුණයෙකුට පමණක් එහි රැඳී සිටීමට අවසර නැති බවත්, කුඩා ළමයෙකු සමග නම් සිටීමේ වරදක් නැති බවත් ය. පූර්ව-විවාහ ලිංගික සම්බන්ධකම්වලටද දැඩි ලෙස විරුද්ධ වන (එහෙත් හොරෙන් ඕනෑ තරම් කරන) මේ සිංහල-බෞද්ධ සුචරිතවාදයේ තර්කනයට අනුව, පෙම් යුවළකට නිදහස් චතුරස්‍රය වැනි ප්‍රසිද්ධ තැනක නිදහසේ කාලය ගෙවීමට අවශ්‍ය නම්, ඔවුන් පළමුව කළ යුත්තේ දරුවෙකු හදා ගැනීම ය. මෙහිදී අදාළ තරුණයා “එතකොට ඔයාල gay couples ගැන කියන්නේ මොනවාද? පිරිමි දෙන්නෙකුටත් මෙතන ඉන්න බැරිද?” යි අසන නමුදු සිංහල-බෞද්ධ සුචරිතවාදය තුළ ඒ ප්‍රශ්නයම අවලංගු එකකි. පළමු ව මුන්ට “gay” යනු කුමක්දැයි උගන්වා පසුව එම ප්‍රශ්නය ඇසුවා නම් හරි ප්‍රතිචාරයක් (සමලිංගික යුවළකට එහි රැඳීමට අවසර දෙනවාද නැද්ද යන වග) දැනගත හැකි ව තිබුණි. සමාජයක් ලෙස අප දුක් විඳින ලිංගික ඉච්ඡාභංගත්වයේ ප්‍රතිඵලයක් හැටියට ද මෙය සැලකිය හැක. බොහෝ සුචරිතවාදීන් ගෙවන්නේ ලිංගික වශයෙන් බෙලහීන ජීවිත බවට සාධක තිබේ. සමහරවිට ඔවුන් පෙන්වන සුචරිතවාදයට හේත වන්නේ ද එයම ය. බොහෝ විට එවැනි අයට එක් ව හිඳින අන් අය දෙස බලා සිටීමේ අපහසුවක් තිබේ. මෙය ද වෙන ම පැත්තකි.

කෙසේ වෙතත්, මේ සමස්ථ සිද්ධියෙන් පෙනී යන්නේ ලංකාව තවමත් මොනතරම් ගෝත්‍රික හා පසුගාමී සමාජයක් ද යන්න යි. ආදරය සහ මානව සබඳතා හෙළා දකින අන්තවාදී සමාජ අතළොස්ස අතරට එක් වීමට ශ්‍රී ලංකාව ද දිනෙන් දින පොරකමින් සිටින බව යි. බුර්කාව අඳින මුස්ලිම් කාන්තාවන් ගැන උපන් සානුකම්පාවෙන් සමස්ථ, මුස්ලිම් ප්‍රජාව ම පිළිකුල් කරන සිංහල-බෞද්ධයින් මෙවැනි සිදුවීම්වලදී අනුගමනය කරන්නේ ද ගොඩනැගිලි මතින් බිමට තල්ලු කර ප්‍රේමවන්තයින් මරා දමන ISIS සංස්කෘතිය ම බවට ද තර්ක කළ හැකි ය. දැන් මේ එක් සිද්ධියක් සම්බන්ධයෙන් බහුතර ශ්‍රී ලාංකික සමාජය ගැන සාමාන්‍යකරණ සිදු කරන්නට ඉක්මන් වන්නේ ඇයි දැයි කෙනෙකු මගෙන් ප්‍රශන කළහොත් මට දීමට ඇති කෙටි ම පිළිතුර ‘ආසන්නත ම අතීතය නිරීක්ෂණය කරන්න’ යන්න යි.

මෙම වීඩියෝව හුවමාරු කරගනිමින් මා මිතුරු රවීශ තිලකවර්ධන ‘කොළඹ කුලියාපිටිය’ යනුවෙන් තබා තිබූ ඉතා කෙටි සඳහන, මේ ලිපියේ මූලික තේමාව සහ සුළඟිනුත් ඒඩ්ස් බෝ වන කුලියාපිටිය ගැන ඉහත සටහන සමග මනාව ගැලපෙයි.

යහපාලනයට එල්ල වන අභියෝගය

‘යහපාලන’ බෝඩ් ලෑලි එල්ලාගෙන පුරවැසියන්ගේ ම කර මතින් බලයට පැමිණි වත්මන් ආණ්ඩුවේ යහපාලන විරෝධී හැසිරීම ප්‍රකට කරන හොඳ ම මෑතකාලීන සිදුවීම නම් ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයාගේ ලියුම් හුටපටය යි. ඉහත කී සිදුවීම් දෙක ම යහපාලනයේ සුජාතභාවය මනින ප්‍රබල මිනුම් දඬු දෙකක් ලෙස භාවිත කළ හැකි බව මගේ හැඟීම යි. කුලියාපිටිය සිදුවීමේදී ගම්වැසියන් දැක් වූ ප්‍රතිචාරයේ වගකීම් ඍජු ව භාර ගැනීමට ආණ්ඩුව කරදර විය යුතු නැත (කෙසේවෙතත්, රටක වැසියන් නූගතුන් ලෙස හැසිරෙන්නේ ද ආණ්ඩුවේ කෙරුවාව නිසා ම බව ද අපි දනිමු). එහෙත්, ඉහත සඳහන් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා වීඩියෝ පටයේදී පවසන ඉහත සඳහන් වචන බරපතල ඒවා ලෙස සලකා එයට මැදහත් වීමේ වගකීමෙන් ආණ්ඩුවට ගැලවීමට නොහැක. මන්ද, යම් රටක රාජ්‍ය ආයතනවල හැසිරීමෙන් ප්‍රකට කරන්නේ එරට පාලනය කරන ආණ්ඩුවේ දෘෂ්ටිවාදය බව අප දන්නා හෙයිනි. ශ්‍රී ලංකාව වැනි අතිශය දේශපාලනීකරණය වූ නිල තන්ත්‍රයක් පවතින රටවලට මෙය විශේෂයෙන් ම අදාළ වේ. වත්මන් ආණ්ඩුව බලයට පත් වූ සැණින් සිදු කළ යුතු වැදගත් ම ප්‍රතිසංස්කරණයක් විය යුතු ව තිබුණේ රාජ්‍ය ආයතන ආශ්‍රිත ප්‍රතිසංස්කරණ සිදු කිරීම බව ලංකාවේ පොලීසියේ මුග්ධ හැසිරීම්වලට අදාළ ව අවස්ථා කිහිපයක ම පෙන්වා දී ඇත්තෙමි. එය පොලීසියට පමණක් නොව සකලවිධ රාජ්‍ය යාන්ත්‍රණයට ම අදාළ ය. මෙම ආණ්ඩුව බලයට පත් වන්නේ මහින්ද දෘෂ්ටිවාදයේ ප්‍රතිපක්ෂය ලෙස පෙනී සිටිමින් බව අපට අමතක නැත.

පෙම් යුවළකට අදාළ දෙවන ප්‍රශ්නය ‘ජාතික මට්ටමින් වැදගත් ගැටළුවක්’ වන්නේ කෙසේද යන ප්‍රශ්නය කෙනෙකුට ඇති විය හැක. පිළිතුර වන්නේ, ‘මේ මෙරට සමාජය තුළ සිදු වන පුද්ගල සබඳතා සහ පෞද්ගලික පුරවැසි හැසිරීම් සඳහා වෙන් කොට ඇති අවකාශයේ තරම’ පෙන්වා දෙන සිදු වීමක් බව යි. මහින්දගේ රජය ෆැසිස්ට්වාදී හා පවුල්වාදී එකක් බවත්, එය යටතේ මිනිසුන්ට මූලික අයිතිවාසිකම් ටික පවා අහිමි කර තිබූ බවත් පොදු අපේකෂක සටනේදී පොදු විපක්ෂය පුන පුනා ප්‍රකාශ කළ අවස්ථා අනන්ත ය. එම පොදු විපක්ෂය ම ‘ආණ්ඩුව’ බවට පත් වූ පසුව ද පුරවැසියන්ට එකී මූලික අයිතිවාසිකම් සහ පුද්ගල නිදහස අහිමි වන්නේ නම්, එවිට පෙනී යන්නේ මේ ආණ්ඩුවද ප්‍රජාතන්ත්‍රවාදය හා නිදහස ප්‍රතිපත්තිමය වශයෙන් පිළිගන්නා සහ අගයන එකක් නොවන බව යි. ඒ කාලයේ මිනිසුන් දෙදෙනෙකුට මහින්දගේ මැරයන්ට ඇසේවිද යන බිය නැතිව කැන්ටිමක තේ බොමින්වත් නිදහසේ කතා කිරීමේ වාතාවරණයක් නැති බව ජනාධිපතිවරණ රැස්වීම්වල පෙන්වා දුන්නේ ද වත්මන් ආණ්ඩුවේ ම සාමාජිකයන් ය. එහෙත්, දැන් කියා මහ ලොකු වෙනසක් තිබේද? අඩු ම තරමින් ගැහැණියකට හා පිරිමියෙකුට තම පෞද්ගලික ජීවිතවලට අදාළ කරුණු තමන් කැමති ස්ථානයක සිට, අන් අයට බාධාවක් නොවන හැටියට කතා කර ගැනීමට අවශ්‍ය පුංචි නිදහසවත් වත්මන් ආණ්ඩුව විසින් සහතික කරනු ලැබ තිබේද? ඉහත කී ආරක්ෂක නිලධාරියා කී දෙය අනුගමනය කරමින් මෙම යුවළ සංස්කෘතික දෙපාර්තමේන්තුව වෙත ගොස් මේ පිළිබඳ ව ප්‍රශ්න කළා නම් මේ ‘නිල’ දෘෂ්ටිවාදය ප්‍රශ්න කරන්නට උදාහරණ ඕනෑ තරම් බිහි වනු ඇත.

ටයි කෝට් ඇන්දාට තමන්ද ‘කොළඹ කුලියාපිටියේ’ වැසියෙකු නොවන බව රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා හැකි ඉක්මනින් ක්‍රියාවෙන් ම ඔප්පු කර පෙන්වන්නේ නම් යෙහෙකි!

ashanweerasinghe@gmail.com

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.