16 May, 2022

Blog

පවුල ගොඩ දමා රටේ අවුල් හදන රාජපක්ෂවරු!

මහින්ද රුබසිංහ –

මහින්ද රුබසිංහ

ආණ්ඩුව නව කැබිනට් මණ්ඩලයක් පත්කිරීමට යන බවට ආරංචි පැතිරෙමින් තිබේ. මේ සටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, පවුල් බලය ශක්තිමත් කරමින් රාජපක්ෂවරුන් වෙනුවෙන් මුල් අමාත්‍ය මණ්ඩලය පත් කරගත් ආකාරය පිළිබඳවයි.

අගමැති මහින්ද රාජපක්ෂ වත්මන් අර්බුදවල පළමු වැරදිකරු බව මන්ත්‍රී කුමාර වෙල්ගම නොබෝදා පාර්ලිමේන්තුවේදී පැවසීය. සිය පවුලට බලය අත්පත්කර ගැනීම සඳහා සහෝදර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කරවීමේ සිට අනෙක් සියලු දෙනාට විශාල පංගුවක් ගොඩ ගසා දීම කළේ මහින්ද රාජපක්ෂ බව අපද දන්නා කරුණකි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ප්‍රමුඛ පොරොන්දුවක් වූයේ විද්‍යාත්මක අමාත්‍ය මණ්ඩලයක් පත් කරන බවයි. “වියත්මග”, “එළිය” වැනි සංවිධාන ගොඩනගමින් රට හමුවේ පෙන්නුම් කළ බුද්ධි ප්‍රභාව හමුවේ රාජ්‍ය පාලනයේ පුළුල් ප්‍රතිසංස්කරණයක් සිදුවනු ඇතැයිද පොදු මහජනතාව විශ්වාස කළහ.

එහෙත් එය ඉදිරි දැක්මක් සහිත විද්‍යාත්මක අමාත්‍ය මණ්ඩලයක් වූයේ රටට නොව රාජපක්ෂ පවුලට අදාළවය. රාජපක්ෂ බල ව්‍යාපෘතියේ අනාගත පැවැත්ම වෙනුවෙන් ආණ්ඩුවේ තනතුරු බෙදාගත් ආකාරය මොනවට පැහැදිලි වන කරුණකි.

ආණ්ඩුවක අමාත්‍යවරයෙකුට කවර විෂය පථයක් ලැබුණද එහි තරම තීරණය වන්නේ ඊට හිමි බලය, ආයතන සහ වාර්ෂික අයවැය මගින් සම්මත වී මහා භාණ්ඩාගාරයෙන් ලැබෙන මුදල් ප්‍රමාණය මතය.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති මෙන්ම කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියාය. කැබිනට් ආරක්ෂක ඇමතිය.

ඔහු ජනාධිපතිවරයා ලෙස සිටියදී මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරයට පත්කර ගැනීමම රටේ පාලන බලය තනි පවුලක් සතු කර ගැනීමකි. ඊටත් අමතරව අගමැති මහින්ද රාජපක්ෂට මුදල්, නිවාස, සංස්කෘතික කටයුතු ආදි ප්‍රබල අමාත්‍යාංශ පවරා දී තිබිණ.

2015 ට පෙර පැවති එක්සත් ජනතා නිදහස් සංධාන ආණ්ඩුවේත් දින 52 ක ආණ්ඩුවේත් විමල් වීරවංශ දැරූ නිවාස අමාත්‍යාංශය ඔහුගෙන් ගලවා තිබිණ. ඒ අති මහත් මුදලක් වෙන් කෙරෙන සහ ජනතාව අතරට වැඩි වශයෙන් ළඟාවිය හැකි අමාත්‍යාංශයක් ඔහුගෙන් ඉවත් කිරීමේ රාජපක්ෂ පවුලේ උපාය මත විය යුතුය. එමෙන්ම “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයෙන්ද නිවාස අර්බුදය වෙනුවෙන් නව නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ප්‍රතිඥා දී තිබේ. එය ක්‍රියාවට නැංවීම සිදුවුවහොත් විමල් වීරවංශට අසීමිත ජනප්‍රසාදයක් හිමිවන බව රාජපක්ෂවරු දනිති.

රාජපක්ෂ පවුලේ චමල් රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂටද කැබිනට් අමාත්‍ය ධූර හිමිවිය. පොදු ජන පෙරමුණේ පරිණත, අත්දැකීම් බහුල මන්ත්‍රීවරුන්ට කැබිනට් අමාත්‍ය ධූර තබා රාජ්‍ය අමාත්‍ය සහ නියෝජ්‍ය අමාත්‍ය ධූරද නොලැබෙද්දී නාමල් රාජපක්ෂට තරුණ හා ක්‍රීඩා කටයුතු අමාත්‍ය ධූරය හිමිවන්නේ ඉදිරි දේශපාලන අනාගතය කඩිනමින් ගොඩ නැගීමේ මහින්ද ඇතුළු රාජපක්ෂ පවුලේ උවමනාව මතය.

කැබිනට් මණ්ඩලයේ නාමල් රාජපක්ෂ හැර අනෙක් සියල්ලෝ අවුරුදු 50 ට වැඩි අයවෙති. එසේ තිබියදී එදා අවුරුදු 34 ක් වූ මේ තරුණයාට පමණක් කැබිනට් අමාත්‍ය ධූරයක් ලබාදීම සිදුවන්නේ පරම්පරාවෙන් පරම්පරාවට රටේ නායකත්වය උරුම කර දීමේ සම්ප්‍රදාය මත පිහිටාය. එය රටේ නොව පවුලේ ඉදිරි දැක්මකි. මහින්ද රාජපක්ෂ ජීවතුන් අතර සිටියදී නාමල් රාජපක්ෂ හැකිතරම් දේශපාලනයෙන් ඉදිරියට ගැනීමත් දිනෙක රටේ නායකත්වය අරමුණු කරගෙන ඔහු මෙවර අභිෂේක කළ යුතු බවත් ඔවුහු හොඳින් දනිති. රාජපක්ෂ පවුලේ දේශපාලන හා රටේ නායකත්ව බුක්තිය නාමල්ට හිමිවිය යුතු බව ඔවුන්ගේ පිළිගැනීමයි.

මහින්ද රාජපක්ෂ සිය පියාගේ අඩිපාරෙන් එකී ගමන ආවේය. එකල පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරයෙකුට නීති විද්‍යාලයට ඇතුලත් වීමට හිමි වූ වරප්‍රසාදයක් මත මහින්ද නීතිඥ සුදුසුකම සපුරා ගත්තේය. නාමල් නීති විද්‍යාලයේ ශීත කාමරයක සිට විභාගය ලියා එය සපුරා ගත්තේය.

වත්මන් ආණ්ඩුව යටතේ මේ දක්වා අමාත්‍ය මණ්ඩලයේ සංශෝධන කිහිපයක් මෙන්ම අළුතින් අමාත්‍ය ධූර පත්කිරීම්ද සිදුවිය. එකී අවස්ථා කිහිපයකදීම කැබිනට් අමාත්‍ය නාමල් රාජපක්ෂගේ පංගුව විශාල කර දීම සිදුවිය. ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධූරය ඔහුට හිමිවන්නේ එපරිද්දෙනි. අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුවන්නේ නම් එහි අරමුණ “නාමල් රාජපක්ෂට තවත් විෂයන් කිහිපයක් ලබාදීම” බවට පත්ව තිබිණ.

වර්තමානය වන විට රටේ බහුතරයක් රාජපක්ෂවරුන් ප්‍රතික්ෂේප කරන තැනකට පැමිණ ඇත. එය එසේ නොවූයේ නම් වත්මන් ආණ්ඩු කාලය තුළ නාමල් රාජපක්ෂ විදේශ මෙන්ම මුදල් අමාත්‍ය ධූරයන්ටද පත් කිරීම ගැන කිසිවෙකුත් පුදුම විය යුතු නැත. එකල රාජ්‍ය අනුග්‍රහය යටතේම “තාරුණ්‍යයට හෙටක්”, “නිල් බලකාය” වැනි සංවිධාන ගොඩ නගා ගැනුනේද නාමල් රාජපක්ෂගේ දේශපාලන ආයෝජනයන් ලෙස මිසක රටේ තරුණයන්ගේ අභිවෘද්ධිය පිණිස නොවේ. පියා ජනාධිපති වීම නිසා පමණක් අනෙක් කිසිදු තරුණයෙකුට හිමි නොවන රාජ්‍ය සම්පත්, අනුග්‍රහයන් යටතේ ඔහු සිය දේශපාලන ගමන සුව පහසු ලෙස නිර්මාණය කර ගත්තේය.

චමල් රාජපක්ෂ වාරිමාර්ග අමාත්‍ය සහ රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කෙරිණ. බලසම්පන්න රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ධූරය පවා පවුලෙන් පිටතට ලබා නොදීමට රාජපක්ෂවරුන් වගබලාගත්තේය. තරුණ, ජවසම්පන්න හා උගත් පිරිස් සිටියදී වයෝවෘද්ධ බව හෝ නොතකමින් ඔහුට අමාත්‍යාංශ විෂය පතයන් රැසක් ලබාදීම සිදුවිය.

චමල් රාජපක්ෂගේ පුත් ශෂීන්ද්‍ර රාජපක්ෂ පළමු වරට පාර්ලිමේන්තුවට පැමිණියද රාජ්‍ය අමාත්‍ය ධූරයකට පත්කෙරිණ. ඒ කාබනික පොහොර නිෂ්පාදන ප්‍රවර්ධන හා සැපයුම් නියාමන සහ වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පළතුරු, මිරිස්, ළූණු හා අර්තාපල් වගා ප්‍රවර්ධනය, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ලෙසය. හම්බන්තොට දිස්ත්‍රික්කය සිය පියා සහ අනෙකුත් ඥාතීන් වෙනුවෙන් තබා ඔහු එකල ඌව පළාත් සභාවටත් මෙවර පාර්ලිමේන්තුවටත් පිවිසෙන්නේ මොණරාගල දිස්ත්‍රික්කයෙනි. එදා මොණරාගලින් පැමිණ අමාත්‍ය ධූර දැරූ ජගත් පුෂ්ප කුමාර වැන්නන් නිකමුන් කර කෝඩුකාර සශීන්ද්‍රට ප්‍රබල රාජ්‍ය අමාත්‍ය ධූරයක් පිරිනැමිණ. ඔහු එක් වරක් ඌව හිටපු මහ ඇමතිය. එහෙත් තෙවරක් මහ ඇමති ධූරය දැරූ පරිණත ශාන් විජයලාල් ද සිල්වා පවා වත්මන් පාර්ලිමේන්තුවේ නිකමෙකි. ඌව පළාත් මහ ඇමති ධූරය දැරූ චාමර සම්පත් දසනායක මෙවර පාර්ලිමේන්තුවේ සිටියද කිසිදු තනතුරකට පත්කෙරුණේ නැත.

සියලු බලගතු අමාත්‍යාංශ පවුලෙන් පිටතට ලබා නොදී තබා ගැනීම රාජපක්ෂරුන්ගේ සිරිතයි. 2015 පත්වූ ආණ්ඩුව මුදල් ඇමතිකම රවි කරුණානායකට මෙන්ම මංගල සමරවීරටද ලබා දුන්නේය. මෛත්‍රීපාල සිරිසේන මහතා ආරක්ෂක අමාත්‍යවරයා වන විට රාජ්‍ය ආරක්ෂක ඇමති වූයේ රුවන් විජේවර්ධනය. තම පවුලෙන් බලය ගිලිහෙනවාට ඇති බිය පදනම් කරගෙන රාජපක්ෂවරු ආරක්ෂක අමාත්‍යාංශය සිය පවුල සතුව තබා ගත්තා පමණක් නොව අමාත්‍යාංශ ලේකම් ධූරයට පවා සුවච කීකරු ගෝලයෙකු පත් කර ගත්හ.

රාජපක්ෂ බලය පැතිරවීම පිළිබද හොඳම සහ නවතම උදාහරණය සැපයෙන්නේ මාතරිනි. ඒ රාජපක්ෂ පවුලේ සහෝදරියකගේ පුතණුවන් වන නිපුණ රණවක අභිෂේක ගැන්වීමයි. ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය පුරා සිය පක්ෂයේම වෙනත් කිසිවෙකුටත් හිස එසවීමට රාජපක්ෂවරුන් ඉඩ තැබුවේ නැත.

මාතරින් වැඩිම මානාප ලබා ගන්නා නිපුණ රණවකට මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිත්වය පිරිනැමේ. වෙනත් දිස්ත්‍රික්කවලද එකී තනතුර නවකයන්ට ලබා දී ඇති අතර එය බොහෝ විට එසේ කරන්නට ඇත්තේ කෝඩුකාර නිපුණ රණවකට මාතර සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිත්වය ලබා දීම සාධාණීකරණය කිරීම සඳහාය. එමෙන්ම එය මාතර අනෙක් කිසිවෙකුටත් ඔහු අභිබවා නොයාම සඳහා කළ දෙයකි. එවැනි අරමුණක් නොවූයේ නම් දකුණු පළාත් සභාවේ අමාත්‍ය ධූරයක්ද දරා අත්දැකීම් සහිත වීරසුමන වීරසිංහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ධූරයට පත් කළ හැකිව තිබිණ. පොදුජන පෙරමුණේ මෙන්ම පාර්ලිමේන්තුවේ කොමියුනිස්ට් පක්ෂයේ එකම නියෝජනය වෙනුවෙන් හෝ ඔහුට කිසිදු තනතුරක් හිමි නොවන්නේ මාතර නිපුණ සාධකය නිසාය.

ද්විත්ව පුරවැසියෙකුට පාර්ලිමේන්තුව නියෝජනය කිරීම සඳහා 20 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඉඩ ප්‍රස්ථාව සලසා ගැනීමෙන් පසු පාර්ලිමේන්තුවට එන බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍ය ධූරයට පත් කෙරිණ. ඔහු මුදල් අමාත්‍ය ධූරයට පත් කෙරෙන්නේ ඒ පිළිබඳ ඇති කිසිදු සුදුසුකමක් නිසා නොව එම අමාත්‍යාංශය රාජපක්ෂ පවුල භාරයේ තබා ගැනීම සඳහාය.

එමෙන්ම සුදුස්සාට සුදුසු තැන දෙනවා යැයි කියූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අනෙකුත් අමාත්‍ය ධූර ලබාදුන්නේද සාම්ප්‍රදායික ලෙසටමය. වියතුන් පසෙක තබා මහින්දානන්ද අළුත්ගමගේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන වැනි අයට ප්‍රබල කැබිනට් අමාත්‍ය ධුර ලබාදෙන්නේ සිය පවුලට ඇති සමීප සබඳතාව මතය. ඔවුන් සමග සියලු ගණුදෙනු පහසුවෙන් කරගත හැකි බව ඔවූහු දනිති.

එකම පවුලේ සාමාජිකයන් වන රාජපක්ෂවරු ශ්‍රී ලංකාවේ ජනාධිපති, අගමැති, මුදල් ඇමති ඇතුළු කැබිනට් අමාත්‍ය ධූර සහ රාජ්‍ය අමාත්‍ය ධූර මෙන්ම වෙනත් තනතුරු රැසක් එකම අවස්ථාවේ දරති. රටේ වාර්ෂික අය වැයෙන් වෙන් කෙරෙන රාජ්‍ය මුදලින් 65% කට වැඩි ප්‍රාමාණයක් යන්නේ එකම පවුලේ මෙකී සාමාජිකයන් හොබවන අමාත්‍යාංශ වෙතය. 2015 ට පෙර සංධාන ආණ්ඩුව තිබියදීද රාජපක්ෂවරු මේ ආකාරයටම තම පංගුව බෙදාගත්හ. ඉතා ජ්‍යෙෂ්ට ඇමතිවරුන්ට පවා හිමි වූයේ ඉතා සීමිත විෂය පථයක් සහ ඉතා අඩු මූල්‍ය ප්‍රතිපාදනයකි.

2005-2015 කාලය තුළ රාජපක්ෂවරුන් සිය පවුලේ මෙන්ම බිරින්දෑවරුන්ගේ පවුල්වල අයද ඇතුළුව ඥාති සනුහරයටම රජයේ විවිධ තනතුරු හා වරප්‍රසාද ලබා දී තිබිණ. මහින්ද රාජපක්ෂ මහතා 2015 ජනාධිපතිවරණයෙන් පැරදී මැදමුලන බලා යාමට මෙකී ඥාති සංග්‍රහයන් හේතු විය. යුද්ධය දිනා ගොඩනගා ගෙන තිබූ රැස් වළල්ල සහ ණය කන්දක් ගෙන අරඹා තිබූ මනස්කාන්ත සංවර්ධනයද නොතකා හරිමින් ජනතාව රාජප්ක්ෂවරුන් ප්‍රතික්ෂේප කළේ වංචා හා දූෂණවලින් පිරීගිය පවුල් කේන්ද්‍රීය ‍රාජ්‍ය පාලනය දැඩි ලෙස පිළිකෙව් කරමිනි.

2015 ට පෙර කළ වැරදි නිසා අත්වූ ඉරණමත් සමග 2019 දී බලයට පත්වීමෙන් පසු රාජපක්ෂවරුන් යළි එවැනි දේ නොකරනු ඇතැයි ජනතාව විශ්වාස කළහ. එමෙන්ම ඔවූහු උගතුන් හා වියතුන් ප්‍රමුඛ කරගත් අළුත් දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කරන බව විවිධ සංවාද, සම්මන්ත්‍රණ පවත්වමින් ජනතාව හමුවේ ප්‍රදර්ශනය කර පෙන්වූහ.

අමෙරිකාවේ කලක් ජීවත්ව අත්දැකීම් ලැබූවෙකු මෙන්ම විනයගරුක හිටපු හමුදා නිලධාරියෙකු වන ජනාධිපතිවරයෙකු යටතේ සුපිළිපන්න පාලනයක් සහිත අළුත් රටක් නිර්මාණය කරන බවටද සපථ කළහ. එහෙත් ජනාධිපතිවරණයත් මහ මැතිවරණයත් ජයගැනීමෙන් පසු ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව සිදු කළ කැපී පෙනෙන කිසිදු වෙනසක් නොමැත. ක්‍රම වෙනසක් (System Change) කරන බවට ජනතාව තුළ බලාපොරොත්තුවක් ඇති කළ ජනාධිපතිවරයා පැවති තත්ත්වයත්ද මේ වන විට සුණු විසුනු කොට දමා තිබේ. නූතනත්වයට රට ගෙන යනවා වෙනුවට ඔහු 2015 ට පෙර පැවති මහින්ද රාජපක්ෂ යුගයටත් වඩා භයංකර තැනකට රට ගෙන ගොස් ඇත.

පුදුමය වන්නේ මෙවැනි අත්තනෝමතිකභාවයන් හමුවේ රටේ ජනතාව මෙතෙල් කල් නැගී නොසිටීමයි. නූතන ලෝකයේ අභියෝග හමුවේ මෙකී අත්තනෝමතික හා ඒකාධිපති, බලලෝභී පවුල් පාලනයකින් රටකට යහපතක් බලාපොරොත්තු වීම උගහටය.

පශ්චාත් යටත් විජිත යුගය ආරම්භයේ සිට මේ දක්වා ශ්‍රී ලංකාව පවුල් පාලනයන්ගේ බලපෑම අත්විඳ තිබේ. සේනානායක, බණ්ඩාරනායක මෙන්ම අද වන තෙක් රාජපක්ෂ පවුල් පාලනයෙන්ද අප නිදහස් වී නොමැත. නූතන පුරවැසියන්ට අවශය වන්නේ එක් පුද්ගලයෙකු හෝ පවුලක් මත කේන්ද්‍ර නොවූ සංවිධිත හා තුලනයන් සහිත පාරදෘෂ්‍ය පාලනයකි. එහෙත් වර්තමානයේද “රටට පෙර පවුල” නමැති රාජපක්ෂ සිද්ධාන්තය ශ්‍රී ලංකාවේ සියලු අර්බුදවල මූලය බවට පත්ව තිබේ. ලොව කිසිදු රටක මෙවැනි පවුල් පාලනයක් නැත. මෙය රාජ්‍යයක හෝ ජාතියක නොදියුණුකමේ කදිම පිළිඹිබුවක්ද වෙයි.

Print Friendly, PDF & Email

Latest comments

  • 1
    0

    ඩොලර් මිලියන ප්‍රශ්නය මේකයි රූබසිංහ මහත්තයෝ. ඔබයි මමයි මේක මතු කරනවා, නමුත් පුන්නකු බොන ජාතියේ කී දෙනෙක් අපේ මතයට එකඟ වෙයිද කියන එක මට අදටත් ලොකු ප්‍රහේලිකාවක්. 2015 වන විට අපේම පුරවැසියන් ඇතුළු මුළු ලෝකයම අපරාධ රාජපක්ෂ ප්‍රතික්ෂේප කළේ ඔවුන්ගේ කුරිරු දේශපාලනය දරාගත නොහැකිවය. අනුප්‍රාප්තික ආණ්ඩුවේ වසර 2ක් ගෙවී යද්දී හිටපු ජනපති සිරිසේනව පැහැර ගැනීමට රාජපක්ෂට හැකි විය. රාජපක්ෂ පමණක් නොව ඔහුගේම ප්‍රේක්ෂකයින්, රට පුරා සිටින එකම සමාජයේම ආධාරකරුවන් ඔවුන්ව 2019 නොවැම්බර් වන විට ආපසු ගෙන එන ලදී. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ජාතිවාදීන්, සිංහල ජාතිවාදීන්, අපරාධකරුවන් නොවන අපරාධකරුවන්, සාමාන්‍ය අපේක්ෂකයින්ට වඩා ස්ත්‍රී දූෂකයින්, කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ රාජපක්ෂ හිතවාදී දේශපාලන ව්‍යාපාරයේ දේශපාලන පෙළපාලිවල මූලිකත්වය ගත්තේ බෞද්ධ පූජකවරුය. බෞද්ධ සිංහල භික්ෂූන් වහන්සේ නමකට සමාජයේ හිමි වූ ස්ථානය රාජපක්ෂගේ ඡන්ද පදනම බලමුළු ගැන්වීමට ඉවහල් විය. ඉතින් මේ අවුලට වග කියන්න ඕන රාජපක්ෂලා විතරක් නෙවෙයි රටේ ඡන්ද දායකයින් 60%කට වැඩි පිරිසක්. බල්ලන් බල්ලන්ට සපාකයි. ජනතාව සහ ඔවුන්ගේ නියෝජිතයන් යන දෙදෙනාම අවුල සඳහා එක හා සමානව හවුල් වන අතර ඉහළ වගකීමක් දරයි.

    මිනිස්සු හැසිරෙන්නේ ලංකාවේ දේශපාලනය ගැන අවම දැනුමක් නැති අය වගේ. දකුණු ආසියානු කලාපයේ අසල්වැසි රටවලට සාපේක්ෂව නිදහස් අධ්‍යාපනය ඔවුන් සාක්ෂරතාවයට පත් කළේය. රාජපක්ෂ සහ උන්ගේ හෙංචයියන් කරන ම්ලේච්ඡ දේශපාලනය වෙන්කර හඳුනා ගැනීමට ඔවුන්ට හැකි විය යුතුය – මෙය වෙනස් නොවන්නේ නම්, ඔවුන්ව දැනුවත් කිරීමට වෘත්තිකයන් සහ ප්‍රවීණයන් සිටිය යුතුය – අවාසනාවකට, අපි රවුමක් මත ඇවිදිනවා මෙන්, කිසිවක් වෙනස් නොවන බව පෙනේ. –

    පුදුමය නම් මෙවන් අත්තනෝමතික ක්‍රියා හමුවේ රටේ ජනතාව නිශ්චල නොවීම ය. නූතන ලෝකයේ අභියෝග හමුවේ මේ අත්තනෝමතික ඒකාධිපති බලලෝභී පවුල් පාලනයෙන් රටකට යහපතක් බලාපොරොත්තු වීම උගහටය.

    https://www.youtube.com/watch?v=sS72TjegZ3g

  • 1
    0

    මැතිවරණයට පෙර ගෝඨාභයගේ අක්තපත්‍ර බොහෝ දෙනා දැන සිටියේ නැත. ත්‍රස්තවාදය තුරන් කිරීමට දුන් ඊනියා නායකත්වය පුනරුච්චාරණය කරමින් ඔහු ඉහළින් තබා ඇත. මිනිසුන් සදාකාලික මෝඩයන් බවට පත් කරන ලදී. මාධ්‍ය වංචනිකයින් කොල්ලකාරී දේශපාලනඥයන්ගේ සමීප ව්‍යාපාරික හවුල්කරුවන් බවට පත් විය. මාධ්‍යවේදීන්ට නොමිලේ ලැප්ටොප් ලබා දුන්නේ ඔවුන්ට පක්ෂග්‍රාහී වන ලෙසයි.
    This is the only press briefing Gota gave prior to his PE. Anyone with some sanity understood it well, that Gota would not be a good leader. Please check it again.
    .
    https://www.youtube.com/watch?v=z5TlqMqN314

    සියලුම අසල්වැසි රටවල් ඔවුන්ගේ ආර්ථිකයන් සහ අනෙකුත් සියලුම වර්ධනයන් සමඟ අපව අභිබවා යමින් සිටිති. එබැවින් අපගේ පාලකයින් ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිත වැරදි ලෙස කළමනාකරණය කිරීමට හේතුව COVID 19 වසංගතය පිළිබඳ විශාල බොරුව නොවිය යුතුය. බැංකු ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන් නිරන්තරයෙන් අනතුරු ඇඟවූයේ බලධාරීන් නිසි තීරණ ගත යුතු බවත් එසේ නොවුවහොත් ජාතියට පෙර නොවූ විරූ දෙයකට මුහුණ දීමට සිදුවනු ඇති බවත් අද වන විට විශේෂඥයන් නිවැරදි බවත් ප්‍රවීණයන්ගේ ප්‍රවීණත්වය නොඇසූ පාලකයන් සම්පූර්ණයෙන්ම මෝඩ බවත්ය. . මාධ්‍ය වංචනිකයින් විසින්, ජාතිය නොමග යවා රාජපක්ෂලා ඉහලින් තබා ගත් නිසා ය.
    ශ්‍රී ලංකාවේ දේශපාලනය ගැන සාමාන්‍ය දැනුමක් ශ්‍රී ලංකාවේ මිනිසුන්ට නැත. කොල්ලකාරී දේශපාලකයන්ගේ එකම උපක්‍රමවලට ඔවුන් නැවත නැවතත් වැටෙනු ඇත. රාජපක්ෂලා වැනි කොල්ලකාරී දේශපාලකයෝ බෞද්ධ භික්ෂූන් වහන්සේලා තම දේශපාලන පෙළපාලිවල ඉදිරි ස්ථානවල තබා ගනිති. එබැවින් බහුතර ජනතාවගේ කොන්දේසි සහිත මානසිකත්වය – ඔවුන්ගේ වැරදි නැවත නැවතත් කරනු ඇත.
    මිනිසුන්ගේ අවදානමට ලක්විය හැකි මානසිකත්වයන් විකෘති කිරීමට එය විශාල උපක්‍රමයකි. ඔවුන් කොල්ලකාරී දේශපාලකයින්ගේ පහසු ගොදුරක් බවට පත් වන අතර, එය නැවත නැවතත් මහජනතාවගේ විශ්වාසනීයත්වය අපයෝජනය කිරීමට ක්‍රීඩා කරයි. බොහෝ ශ්‍රී ලාංකිකයන් ජීවත් වන්නේ රටේ ගම්බද ප්‍රදේශවලය. මිලියන 22න් මිලියනයක්වත් නාගරික ප්‍රදේශවල ජීවත් වෙන්නේ නැහැ.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.