20 April, 2024

Blog

ගෝඨා මන්ත්‍රී වරයකු ලෙසට පාර්ලිමේන්තුවට පැමිනෙන තුරු අප ඉතා ආසාවෙන් බලා සිටිනවා

මංගල සමරවීර

මංගල සමරවීර

මංගල සමරවීර

පසුගිය වසර කිහිපය පුරාවටම ශ්‍රී ලංවේ ප්‍රජාතාන්ත්‍රික ආයතන රාජපක්ෂ රෙජීමයේ දරුණු ප්‍රහාර වලට ලක්වීම සම්බන්ධ පුවත රහසක් නොවේ.

ලසන්ත වික්‍රමතුංග වැනි මාධ්‍යවේදීන් ඝාතනය කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ බොහෝ මාධ්‍යවේදීන්ට සිය ජීවිතාරක්ෂාව පතා රට හැර යාමට හෝ එසේත් නැතිනම් ස්වයං වාරණයකට ලක්වීමට සිදුවී තිබෙනවා. ශ්‍රී ලංකාවේ ප්‍රධාන ප්‍රවාහයට අයත් ජනමාධ්‍ය නිහඩ කිරීම සඳහා වසර ගණනාවක් තිස්සේ ගන්නා ලද මර්දනකාරී පියවරයන්ගෙන් අනතුරුව රාජපක්ෂ රෙජීමය මේ වනවිට ශ්‍රී ලංකාවේ විරුද්ධවාදී මත දරන හා සත්‍ය සොයා ගැනීමට උත්සහ කරන සියල්ලන්ටම ඉතිරිවී ඇති එකම ඉඩකඩ වන අන්තර්ජාල වෙබ් අඩවි මාධ්‍ය වෙතත් සිය ආයෝමය හස්තය දිගු කරමින් සිටිනවා.

සභාපතිතුමනි, ඇත්තෙන්ම මෙම පිලිගත හැකි පුවත් වෙබ් අඩවි වාරණයට ලක් කිරීමෙන් ඔප්පු වන්නේ රාජ්‍ය යාන්ත්‍රණය හා රාජපක්ස රෙජීමය විස්න් සිදුකරනු ලැබූ හා ලබන දූෂණ වංචා ක්‍රියාමාර්ග රටට එලිදරව් කිරීම සඳහා කටයුතු කරනු ලැබූ හා රෙජීමයේ ව්‍යාජ ප්‍රචාරක ව්‍යාපාරයට බැඳීමට අකමැතිවූ සියලු පුවත් මූලාශ්‍ර මර්දනය කිරීම රාජපක්ෂ රෙජීමයේ අරමුණ බව යි.

මේවනවිට ශ්‍රී ලංකාවේ වඩාත් ජනප්‍රියතාවට පත් වූ පුවත් වෙබ් අඩවි 8ක්, මීට වසර කිහිපයකට පෙර අවහිර කිරීමට ලක්වූ ටැමිල් නෙට් වෙබ් අඩවියත් ඇතුලුව, මේවනවිට අවහිර කිරීම් වලට ලක්වී තිබෙනවා. මෙම වෙබ් අඩවි නම්, ලංකා ඊ නිවුස්, ලංකා නිව්ස්වෙබ්,කලම්බෝ ටෙලිග්‍රාප්, ලංකා ගාඩියන්, ශ්‍රී ලංකා මිරර්, ද ඉන්ඩිපෙන්ඩන්ට් හා ජැෆ්නා මුස්ලිම්ස් යන වෙබ් අඩවි 7යි. මෙහිදී මම “අවහිර කිරීම” යන වචනය භාවිතා කරන්නේ වර්තමාන රජය මෙම පුවත් වෙබ් අඩවි මර්දනය කිරීම සඳහා නිල වශයෙන් මැදිහත් වීමකින් තොරව, කූඨ ලෙසින් චීන තාක්ෂණය භාවිතා කොට මෙම මර්දනකාරී ක්‍රියාව සිදුකිරීමට පෙලඹී තිබෙනවා.

මීට වසර එකහමාරකට පමණ පෙරත් මම මෙම සභාවේදී ආරක්ෂක අමාත්‍යංශය විසින් වෙබ් අඩවියක් තහනම් කිරීමේ නිල කාර්ය පටිපාටියෙන් තොරව වෙබ් අඩවි අවහිර කිරීම සඳහා සමත් චීන විශේෂඥයින් පිරිසක් ගෙන්වාගෙන ඇති බවට ප්‍රකාශ කළා. මෙ අතරින් වඩාත් ප්‍රබල ලෙස සිය හඩ නැගූ ශ්‍රී ලංකාවේ ජේෂ්ඨතම මාධ්‍යවේදීන් දෙදෙනකු විසින් මෙහෙයවන ලංකා ඊ නිවුස් හා කලම්බෝ ටෙලෙග්‍රාප් යන වෙබ් අඩවි දෙක දැඩි ලෙස මර්දනයට ලක් වුනා.

ඊ නිවුස් කාර්යාලයට බෝම්බ ප්‍රහාර හා ගිනි තැබීම් සිද්ධි රැසකට මුහුණ දීමට සිදුවුනා. මේ සියල්ල සිදු කරනු ලැබූයේ අප කවුරුත් හොඳින් දන්නා පරිදි “නන්නාඳුනන පුද්ගල කණ්ඩායම්” විසින්. අවසානයේ දී මෙම මාධ්‍යවේදීන්ට සිය ජීවිතාරක්ෂාව පතා සිය රට හැර යාමට සිදු වුනා.

නමුත් තවමත් ඔවුන් විදේශයක සිට හෝ කිසිවකුගේ ආධාරයකින් තොරව තවදුරටත් මෙම වෙබ් අඩවි පවත්වාගෙන යන්නේ මෙම රටට ඇති ආදරය නිස යි. ඒවාගේම ශ්‍රී ලංකා මිරර් වෙබ් අඩවිය හා ද ඉන්ඩිපෙන්ඩන්ට් වෙබ් අඩවිය වැනි වෙබ් අඩවි අසභ්‍ය හෝ ත්‍රස්තවාදී වෙබ් අඩවි නොවේ. මෙම වෙබ් අඩවි වසර ගණනාවක් තිස්සේ බොහෝ අඩට්තේට්ටම් වලට ලක්වී තිබෙනවා.

ඇත්තෙන්ම 2012 වසරේ ජූනි 29 දින මෙම වෙබ් අඩවි කාර්යාලය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වටලනු ලැබුවා. එහිදී ඔවුන් ඉදිරිපත් කළ හේතුව වූයේ මෙම වෙබ් අඩවිවල පලකරන ලද පුවත් මගින් ජනාධිපතිවරයාගේ රාජකීය මහිමයට හානි සිදුවී තිබෙන නිසා බව යි. සභාපතිතුමනි, මම මතක් කිරීමට කැමතියි අපි දැන් ජීවත් වන්නේ රාජාණ්ඩුවක් තුළ නොව ප්‍රජාතාන්ත්‍රික ජනරජයක් තුළ බව.

එහිදී ඔවුන් කාර්යාලයේ සිටි 60 හැවිරිදි සේවිකාවත් අත් අඩංගුවට ගත්තා. අප මැදිහත් වී ඊට පසු දින ඇයව නිදහස් කර ගත්තත් එම නඩුව තවමත් විභාග වෙමින් පවතිනවා. නමුත් ඔවුන් සිය කටයුතු පවත්වාගෙන යාම සඳහා දැන් අවසර ලබාගෙන තිබෙනවා. තත්වය මෙසේ තිබියදීත් කිසියම් අදෘශ්‍යමාන හස්තයක් විදුලි සංදේශ නියාමන කොමිසම පාලනය කරනු ලබනවා.

ඇත්තෙන්ම රජය වෙනුවෙන් පිළිතුරු දීමට මෙහි සිටින ජනමාධ්‍ය අමාත්‍යවරයාටත් මේ සම්බන්ධව වරද පැටවිය නොහැකියි. මෙය ඔහු කළ දෙයක් නොවේ. එමෙන්ම විදුලි සංදේශ නියාමන කොමිසමටත් ශ්‍රී ලංකාවේ කිසිදු වෙබ් අඩවියක් අවහිර කිරීමට හෝ තහනම් කිරීමට හිතුමනාපයේ ක්‍රියා කළ නොහැකියි.

මෙය මම හොඳින් ම දන්නේ විදුලි සංදේශ නියාමන පනත පාර්ලිමේන්තුවට 1998 වසරේ දී එවකට සිටි විදුලි සංදේශ ඇමැතිවරයා වශයෙන් ඉදිරිපත් කළේ මම නිසා. එම පනතට අනුව මෙහි අධ්‍යක්ෂ ජෙනරාල් වරයාට එවැනි කිසිදු ආකාරයක අවහිර කිරීමේ හෝ තහනම් කිරීමේ තීරණයක් ගැනීමට නොහැකි යි. එමෙන්ම එම පනතට අනුව විදුලි සංදේශ නියාමන කොමිසමේ සභාපති විය යුත්තේ විදුලි සංදේශ අමාත්‍යංශයේ ලේකම් වරයා යි.

නමුත් පසුගිය කාලයේ දී රාජ්‍ය ආයතන රැසක් ජනාධිපති ලේකම් වරයා විසින් පැහැර ගැනීම නිසා මෙම කොමිසන් සභාවත් ජනාධිපතිවරයා යටතේ ගැසට් කොට එහි නව සභාපතිවරයා වශයෙන් පත් වී සිටින්නේ ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා යි. පාර්ලිමේන්තුවට පැමිණ අපට පිලිතුරු දිය යුත්තේ ඔහු යි.

ගරු කතානායක තුමනි, මේ දිනවල වෙබ් අඩවි තහනම් කෙරෙන්නේ ආරක්ෂක අමාත්‍යංශයෙන් එන එස් එම් එස් පණිවිඩ වලින්. ඒත් සමගම මම මෙම කොමිසන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් අනූෂ පැල්පිට මහතා ට කියන්නට කැමතියි ඔහු රෙජීමය පවසන ඕනෑම වැරදි ක්‍රියාවක් කිරීමට සූදානම් එය ඔහුගේ අනාගතයට බලපෑ හැකි බව. අප මේ සියල්ල සම්බන්ධයෙන් අවධානයකිනු යි සිටින්නේ.

මේ සියල්ලටම පිලිතුරු දිය හැකි එකම පුද්ගලයා යි සිටින්නේ. මම දුටුවා පසුගිය දිනක පුවත් පත් වල පලවුනා ඔහු දේශපාලනයට පැමිනීමට අදහස් කරන බව. එම නිසා ආරක්ෂක ලේකම්වරයා මන්ත්‍රී වරයකු ලෙසට පාර්ලිමේන්තුවට පැමිනෙන තුරු අප ඉතා ආසාවෙන් බලා සිටිනවා. මක්නිසාද ඔහුගෙන් ඇසීමට අපට ප්‍රශ්න රැසක් තිබෙන නිසා.

*ඊයේ(06) පාර්ලිමේන්තුව කල් තබන අවස්ථාවේ පැවැති වෙබ් අඩවි වාරණය කිරීම සම්බන්ධ විවාදයේදී මංගල සමරවීර මහතා පැවැත්වූ කතාව.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.