26 September, 2023

Blog

ත්‍රස්තවාදය, ජාත්‍යන්තර ප්‍රජාව හා මහජන සබඳතා ආයතන

මංගල සමරවීර

මංගල සමරවීර - විදේශ කටයුතු අමාත්‍ය

මංගල සමරවීර – විදේශ කටයුතු අමාත්‍ය

මෙම මසදී නිකුත් කල ත්‍රස්තවාදය හා ගෝලීය ත්‍රස්තවාදයේ රටාවන් පිළිබඳ වාර්තා නම් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු වාර්තාව අළුත් දෙයක් නොවන බව විපක්ෂ නායකතුමා විසින් නගන ලද ප්‍රශ්න වලට පිළිතුරු වශයෙන් මවිසින් ඊයේ දින මෙම සභාවට පැහැදිලි කිරීමක් කරන ලදි. එය 2004 වසරේ සිට එක්සත් ජනපද දෙපාර්තමේන්තුව විසින් වාර්ෂිකව එළිදැක්වීමට බැදී සිටින වාර්තාවකි.

මෙම මස නිකුත් වූ වාර්තාව වනාහි 2014 වර්ෂයේ ක්‍රියාකාරකම් පිළිබඳ වූ වාර්තාවක් බවත් ඒ අනුව එහි අඩංගු වන කරුණු පෙර පැවති පරිපාලනය යටතට අයත් බවත් මිවිසින් එහිදී වැඩිදුරටත් පැහැදිලි කරන ලදි.

මෙම ප්‍රකාශය අතීතයේ එල්ටීටීඊ ය විසින් බාහිර අරමුදල් රැස්කල ආකාරය පිළිබඳ වූ විස්තරයකින් උපුටාගත් කොටසක් වන අතර එය වර්තමාන තත්වය පිළිඹිඹු කරන්නක් නොවේ. නමුත් එල්ටීටීඊ සංවිධානයේ අරමුදල් රැස්කිරීමේ කටයුතු සම්පූර්ණයෙන්ම නැවතී ඇතැයි යනුවෙන් අප රජය විශ්වාස කරනවා යැයි ඉන් ගම්‍ය නොවේ.

වර්තමාන තත්වය පිළිබඳ වාර්තාවේ සඳහන් වන්නේ තවමත් එල්ටීටීඊ සංවිධානයට සහයෝගය දක්වන පිරිස් සිටින බවත්, ඔවුන්ගේ ශක්ති ප්‍රමාණය හරිහැටි නොදන්නා බවත්, ඔවුන් අතුරින් 13 දෙනෙකු පසුගිය වසරේ දී අත්අඩංගුවට ගත් බවත්ය. තවද ඔවුන්ගේ මූල්‍ය ජාලය 2014 වසර පුරාවටම ක්‍රියාත්මක වූ බවත් එහි සදහන් වේ.

මෙම තොරතුරු බොහෝ ශ්‍රී ලාංකිකයන් විසින් හොදින් දන්නා කරුණු වේ. මේවා අද දින මෙම විවාදය ඉල්ලා සිටි මාගේ හිතවත් මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා ද හොඳින් දන්නා කාරණා වේ. තවද මෙම වාර්තාවේ සඳහන් කරුණු අදාල වන්නේ තමන් ඇමතිකම් දැරූ පාලන සමයට බවත් ඔහු ඉතා හොඳින් දනී.

පසුගිය රජයේ විදේශ අමාත්‍යවරයා වශයෙන් එම සමය තුල ජාත්‍යන්තර ප්‍රජාව විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සැලකිලිමත් වූ කාරණා කවරේදැයි ඔහු හොඳින් දනී. උදාහරණ වශයෙන් අප රට නොසිතූ විරූ ලෙස ආඥාදායකත්වයක් කරා ගමන් කිරීම, උතුරේ දෙමළ ජනතාවගේ දුක් ගැනවිලි, නීතිය හා සාමය බිඳවැටීම, කනස්සල්ල හා විසම්මුතිය දැක්වීම යටපත් කිරීම, සිවිල් සමාජය සීමා කිරීම් වලට යටත්කිරීම, පුද්ගල සුභසාධනය පිළිබඳ කථාකල පුද්ගලයන් පවා ත්‍රස්තවාදීන් ලෙස හන්වඩු ගැසීම ආදිය ඒ අතර වේ.

රාජ්‍ය කටයුතු හේතුවෙන් ශ්‍රී ලාංකිකයන් මුහුණදුන් අසහනකාරී තත්වය පිළිබඳවද ජී.එල් පීරිස් මහතා හොඳින් දනී. බොදු බල සේනා සංවිධානය වැනි රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ අනුග්‍රහය ලැබූ අන්තවාදී කණ්ඩායම් විසින් ඇතිකල අනිසි බලපෑමද ඊට අයත් වේ. මේ සියල්ල හේතුවෙන් ජාත්‍යන්තර ප්‍රජාව අතර පමණක් නොව අප රටේ ජනතාව අතර පවා එල්ටීටීඊ ය නැවත සංවිධානය වෙනු ඇතැයි යන සැකය ඇති විය. එල්ටීටීඊ ය පමණක් නොව මෙරටේ සංවේදී, බුද්ධිමත් හා වගකිවයුතු පුරවැසියන් පවා තම මත වාදයන් තහවුරු කිරීම සඳහා ප්‍රචණ්ඩත්වය භාවිතා කිරීම සඳහා පොළඹවන තත්වයක් උදා වී තිබුණි.

ගරු කථානායකතුමනි,

අප ජනතාවගේ සිත් තුල බිය හා පීඩනය නිර්මාණය කරමින්, ශක්තිමත් මිනිසෙක් ත්‍රස්තවාදය පරාජය කිරීමට මැදිහත් වනු ඇතැයි පෙන්වන අතරම පසුගිය රජය ප්‍රභාකරණ්ගේ මරණයෙන් පසු එල්ටීටීඊ සංවිධානයේ පාලනය අතට ගත් පුදගලයා වූ කුමරන් පද්මනාදන් නොහොත් කේ.පී. හට සමාව දෙන ලදි. එපමණක් නොව ඔහුට කිලිනොච්චියේ ජීවත් වීමට අවස්ථාව ද සලසා දුන් අතර ඩයස්පෝරාව සම්බන්ධීකරණයට හා සරණාගතයන් හා විපතට පත්වූවන් සම්බන්ධයෙන් කටයුතු කරන රාජ්‍ය නොවන ආයතනයක් භාරව කටයුතු කිරීමේ අවස්ථාවද ලබා දී තිබුණි.

මෙම පුද්ගලයා එල්ටීටීඊ සංවිධානයේ ජාත්‍යන්තර වත්කම් පිළිබඳ සියළු තොරතුරු දැන සිටි බවට විශ්වාස කෙරේ. එසේනම් එවකට රජය ඔහුව ආරක්ෂා කලේ ඇයි? තවද මීට පෙර නිකුත් වූ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු වාර්තා මඟින් එල්ටීටීඊ සංවිධානයේ මූල්‍ය ජාලය දිගටම ක්‍රියාත්මක වන බවට කරුණු හෙලි වී තිබියදීත් රජය ඔහු ආරක්ෂා කලේ කුමන හේතුවක් මතද?

නමුත් අපගේ රජය එසේ නොව ඉකුත් පෙබරවාරි මසදී කේ.පී. හට රටින් පිටවීම තහනම් කල අතර ඔහුගේ ක්‍රියාකාරකම් පිළිබඳ පරීක්ෂණය කිරීම ආරම්භ කරමින් එල්ටීටීඊ සංවිධානයේ මූල්‍ය ජාලය අකර්මණ්‍ය කිරීම සඳහා ද මැදිහත් වූවෙමු.

ගරු කථානායකතුමනි,
අප රජය දැන් විදේශීය බුද්ධි අංශ සමඟ ඇති සබඳතා වර්ධනය කරගැනීමට කටයුතු කරමින් සිටින අතර ඒ අනුව මේ වනවිට එල්ටීටීඊ ක්‍රියාකාරකම් පිළිබඳ සත්‍ය තොරතුරු රැසක් මෙම අංශ හරහා අනාවරණය කරගැනීමට හැකිවී තිබේ.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විපක්ෂයේ ඇතැම් දේශපාලනඥයන් විසින් අප රටේ රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශ රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා විසින් තරයේ ප්‍රතික්ෂේප කර ඇත. පෙර පැවති ආරක්ෂක විධිවිධාන එලෙසින්ම පවත්වා ගෙන යන අතර වර්තමාන නායකත්වය යටතේ ත්‍රිවිධ හමුදාව හා බුද්ධි අංශ සේවාවන් ද පෙර කවරදාටත් වඩා කාර්යක්ෂමව ක්‍රියාත්මක වේ.

අද වනවිට රජය ජාත්‍යනත්රය සමග පවතින සබඳතා ද නැවත අළුත් කරගනිමින් සිටී. ඒ අනුව, මේ වනවිට අප අපගේ ද්වීපාර්ශ්වීය සහකරුවන් සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් සිටිමු. අප ඔවුන් සමඟ අපගේ සත්‍ය අවශ්‍යතාවයන් පිළිබඳ වඩාත් තාර්කික මට්ටමේ සංවාද පවත්වන අතර එමඟින් අප කෙරේ ඔවුන්ගේ විශ්වාසය වඩාත් වර්ධනය වීම මගින් ත්‍රස්තවාදය පිටුදැකීම සඳහා අවශ්‍ය තොරතුරු හා දැනුම ඔවුන් හා බෙදාගනිමින් එක්ව වැඩ කිරීමට හැකියාව ලැබී තිබේ.

ගරු කථානායකතුමනි,

දැන් විපක්ෂය එලටීටීඊය පිළිබඳ එක්සත් ජනපද රජයේ රහස්‍ය වාර්තා හුවා දක්වමින් මෙලෙස කරුණු ගෙන හැර පෑවත් එවකට ඔවුන් විසින් දිගින් දිගටම එක්සත් ජනපදය සම්බන්ධයෙන් “ජාත්‍යන්තර කුමන්ත්‍රණ” පිළිබඳව පමණක් කථා කිරීම ගැන මම කණගාටු වෙමි.

අප රජය සැමවිටම ජාත්‍යන්තර පරීක්ෂණ සඳහා කිසිදු අවස්ථාවක ඉඩ නොදෙන බව අවධාරණය කර ඇත. එසේ වුවද අප විසින් ජාත්‍යන්තර තාක්ෂණ සහය ලබාගනිමින් විශ්වාසනීය දේශීය යාන්ත්‍රණයක් ගොඩනගන බව සැමවිටම තහවුරු කරන ලදි. අපගේ දින 100 යේ වැඩපිළිවෙළ විමසා බැලුවොත් එහි 93 වන කාර්යය යටතේ මානව හිමිකම් කඩවීම් පිළිබඳ හා යුධ අපරාධ පිළිබඳ පරීක්ෂණය කිරීම සඳහා දේශීය යාන්ත්‍රණයක් සකස් කරන බවට එහි පැහැදිලිව සඳහන් වේ.

යුද්ධයේ අවසන් සමයේ සිදුවූ බව කියන බරපතල මානව හිමිකම් උල්ලංඝනය වීම් පිළිබඳ චෝදනා සම්බන්ධයෙන් කටයුතු කිරීම වනාහි පසුගිය රජය විසින් කිරීමට අපොහොසත් වූ කාර්යයකි. මෙම නොහැකියාව හේතුවෙන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේ සුපරීක්ෂණයට භාජනය වූ අතර සියළු ශ්‍රී ලාංකිකයන් හට පිළිගත හැකි විසඳුමකට ළගාවීමෙන් තම ප්‍රචණ්ඩකාරී අතීතය අමතක කොට ඉදිරියට යාමට තිබූ අවස්ථාව ද අහිමි විය.

මෙමගින් සිදුවූයේ ජාත්‍යන්තර ප්‍රජාව හට ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතු වලට මැදිහත් වීම සඳහා අවස්ථාව ලැබීමයි. කොටින්ම කියතොත් ජාත්‍යන්තරයේ විශ්වාසය දිනාගනිමින් නිසි පරීක්ෂණ පැවැත්වීමට පසුගිය රජය අපොහොසත් වීම නිසා 2014 වසරේ දී ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාව පිළිබඳ යොජනාවක් සම්මත විය. ඒ අනුව මේ සියල්ලට සත්‍ය වශයෙන් වගකිව යුත්තේ පසුගිය රජයයි. 2015 වසරේ නව රජය බලයට පත්වෙමින් විශ්වාසනීය දේශීය යාන්ත්‍රණයක් සකස්කිරීම සඳහා තම කැපවීම නිසි කලට පෙන්වා දීම හේතුවෙන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීම වළකාගත හැකිවිය.

රටේ ස්වෛරීත්වය හා භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කිරීම අප රටේ විදේශ ප්‍රතිපත්තියේ අත්‍යවශ්‍ය අංගයකි.

මෙම සභාව දන්නා පරිදි, ස්වෛරීත්වය වනාහි රටේ පුරවැසියන් වෙත ඉටුකල යුතු යුතුකම් ද ඇතුලත් විශාල වගකීමක් වන්නේය. නමුත් රජයක් විසින් එම වගකීම ඉටුකිරීමට අපොහොසත් වන විට බාහිර මැදිහත්වීම් ඇතිවීම නොවැලැක්විය හැකි වේ.

ඒ අනුව, පසුගිය රජය රට තුල සාමය ස්ථාපිත කිරීම සඳහා වූ මාවතකට අවතීර්ණය වීමට අපොහොසත් වූ අතර රටේ ජනතාව අතර විරසක වීම් වර්ධනයටත් ලංකාවේ විදේශ පාර්ශ්වකරුවන් ඈත් කරගැනීමටත් ක්‍රියාකරන ලදි. මෙම තත්වය අප රටට එරෙහිව ජිනීවා යෝජනාව සම්මත වීමට හේතු පාදක විය.

තම ජනතාව වෙත පැවරී ඇති වගකීම ඉටුකීරීමට අපොහොසත් වු පසුගිය රජය ඒ හේතුවෙන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් අපකීර්තියට ලක් කල අතර එය රටේ ස්වෛරීත්වය හා භෞමික අඛණ්ඩතාවය අනතුරේ හෙලමින් බාහිර රටවල ආක්‍රමණකාරී මැදිහත් වීමට ශ්‍රී ලංකාව භාජනය කරන ලදී.

එමෙන්ම අප විසින් සකස් කරන ලද දේශීය යාන්ත්‍රණය සඳහා ජාත්‍යන්තර විශේෂඥ දැනුම භාවිතා කිරීම ජාත්‍යන්තර පරීක්ෂණයක් ලෙස හදුන්වමින් ජී.එල්.පීරිස් මහතා නගන චෝදනාවට මීලඟට පිළිතුරු දීමට කැමැත්තෙමි. ඒ අනුව මවිසින් මෙම සභාවට මතක් කිරීමට කැමතියි ජාත්‍යන්තර විශේෂඥ දැනුම ලබා ගැනීම වනාහි රාජපක්ෂ රජය විසින් ද ඇල්මෙන් යුතුව අනුගමනය කළ පියවරක් බව.

රාජපක්ෂ රෙජීමය සමයේ මහ බැංකුව සහ අනෙකුත් රාජ්‍ය ආයතන තම කීර්ති නාමය වර්ධනය කර ගැනීම වෙනුවෙන් ජාත්‍යන්තර මහජන සබඳතා ආයතන සදහා රුපියල් බිලියන 2 ක මුදලක් වැය කරන ලදී. මෙවැනි ආයතන අතරට “තොම්සන් ඇඩ්වයිසරි ගෘප්, බෙල්ට් වේ ගවර්න්මන්ට් සුට්‍රැටජීස්, හා ලිබර්ටීස් ඉන්ටනැෂනල් ගෘප්” යන ආයතන ඇතුලත් වේ.

තවද 2014 ජුලි මස 17 වන දින එවකට ජනපති මහින්ද රාජපක්ෂ මහතා, අතුරුදහන් වීම පිළිබඳ කොමිසම සඳහා උපදෙස් ලබා දෙන ජාත්‍යන්තර නීති විශාදෙයන් ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේ අවසන් අදිරයේදී සිදු වු වැරදි පිළිබදව ද පරීක්ෂා කරනු ඇති බවට දැනුම් දෙන ලදී. ඒ අනුව ජාත්‍යන්තර විශේෂඥයන් විසින් ජාත්‍යන්තර මානුෂීය නීතිය සහ ජාත්‍යන්තර මානව නීතිය උල්ලංඝනය කිරීම සම්බන්දයෙන් අවශ්‍ය උපදෙස් ලබා දෙන බවට ප්‍රසිද්ධියේම ප්‍රකාශ කරන ලදී.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ජාත්‍යන්තර විශේෂඥතාවය ලබා ගැනීම සදහා ජාත්‍යන්තර නීති විශාරදයන් හා ජාත්‍යන්තර විනිසුරුවරයකුද පත් කරන ලද අතර අදාල ලේඛන පෙන්වා දෙන ආකාරයට මාස 07 ක කාලයක් සඳහා ඔවුන් ඇතුළු මෙම කාර්යයයේ නිරත වු අනෙක් පුද්ගලයන් වෙනුවෙන් රුපියල් මිලියන 135 කට අධික මුදලක් වියදම් කර ඇති බවට හෙලිවේ. එමෙන්ම එක් අයෙක් හෝ දෙදෙනෙක් සඳහා අදාල සේවා සැපයීම වෙනුවෙන් පවුම් 55000 ක පමණ මුදලක් ගෙවා ඇති බවටද අනාවරණය වේ.

ඒ අනුව රාජපක්ෂ රජය රටේ මහජනතාවගේ බදු මුදල් වියදම් කරමින් ජාත්‍යන්තර විශේෂඥ සේවා ලබා ගත්තා මිස අප රටේ මිතුරු රාජ්‍යන් විසින් හොඳ හිත මත ලබා දීමට කැමති වු සේවා ලබා ගත්තේ නැත. 2009 මැයි මාසයෙන් පසු එල්ටීටීඊ ය පරාජය කිරීම සඳහා අප රටට උදව් කළ හිතවත් රාජ්‍යයන් කෙමෙන් අපගෙන් ඈත් විය. මෙවැන්නක් සිදු වීමට ඉඩ හැරියේ මන්ද යන්න අප විසින් පෙර රජයෙන් ඇසිය යුතුය.

එල්ටීටීඊ ය පරාජය කිරීම උදෙසා අපට සහය දුන් ඇතැම් රාජ්‍යයන්ද පසුව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී අප රටට එරෙහිව කටයුතු කළේ කුමක් නිසාද? පසුගිය රජය මෙවන් තත්වයක් සඳහා ඉඩදෙමින් අප රට ජාත්‍යන්තරය තුළ ඉතා පහළ මට්ටමකට ඇද වැටීමට ඉඩ හැරියේ ඇයි? මෙම ප්‍රශ්නයට දැන් පිළිතුරු දීමට මාගේ උගත් මිත්‍රයාට හැකියාවක් නැති නමුත් එවන් දේවල් සිදු වීමට ඉඩ හැරියේ ඇයිද යන්න ඔහුගේ හෘද සාක්ෂියෙන් ඔහු විමසිය යුතුයි.

මා කලින් වතාවේ විදේශ ඇමති ධුරයේ කටයුතු කරන විට මාගේ දැඩි උත්සාහයෙන් 2006 වසරේ දී යුරෝපා සංගමය විසින් එල්ටීටීඊ සංවිධානය ත්‍රස්තවාදී සංවිධාන ලැයිස්තුවට ඇතුලත් කිරීම සඳහා කටයුතු කළෙමි. එය මවිසින් තනිව සිදු කළ කාර්යයක් නොවේ. එවැනි තීරණයකට පැමිණීමට අවශ්‍ය ඒකමතිකභාවය ලබා ගත හැකි වූයේ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ අපගේ මිතුරන්ගේ සහයෝගයෙනි. ත්‍රස්තවාදය පැරදීම සඳහා වගකිව යුතු මිත්‍ර රාජ්‍යයන් අප සමඟ සිටියහ. ඔවුන් එල්ටීටීඊ ය පිළිබඳ විමර්ෂන සිදු කර එම තොරතුරු යුරෝපා හවුල සමඟ හුවමාරු කර ගත්හ.

පසුගිය ඔක්තෝබර් 16 වන දින මෙතරම් උත්සහ දරා ජාත්‍යන්තර සහයෝග‍යෙන් ලබා ගත් එල්ටීටීඊ තහනම යුරෝපා සංගමයේ මහාධිකරණ තීන්දුවකින් අවලංගු වීමට ඉඩ දුන්නේ ඇයි දැයි, රාජ්‍ය ආරක්ෂාවේ නාමයෙන් අප විසින් ජී.එල්.පීරිස් මහතා සිටි ආණ්ඩුවෙන් විමසිය යුතුය. රාජ්‍ය ආරක්ෂාවට විශාල බලපෑමක් ඇති කරන මෙවන් සිදුවීමකට ඉඩ හැරියේ මන්ද යන්න පරීක්ෂා කළ යුතු කාරණයකි. මෙම අවලංගු කිරීමට එරෙහිව සැලකියයුතු කාලෝචිත පියවරක් නොගැනීමට හේතුව කුමක් දැයි සත්‍ය වශයෙන්ම විමසිය යුතුය.

ජිනීවාහි දී මේ වනවිට පැවැත්වෙන මානව හිමිකම් පිළිබඳ 29 වන සැසිවාරයේ දී මානව හිමිකම් පළිබඳ මහකොමසාරිස්වරයා විසින් කල ප්‍රකාශය පිළිබඳවද මෙහිදී සඳහන් විය. මෙම ජුනි මස 15 වන දින මහකොමසාරිස් වරයා විසින් සිදුකලේ ශ්‍රී ලංකාව පිළිබඳ මෙතෙක් කිසිදු දිනක සිදු නොකල ආකාරයේ ප්‍රකාශයකි. එහිදී මහකොමසාරිස්තුමා පවසා සිටියේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා උදාවූ නව අවස්ථා සමඟ ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදය හා නීතියේ ආධිපත්‍යය සම්බන්ධයෙන් නව බලාපොරොත්තුවක් තබා ඇති බවයි. මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් මෙම සභාව ආඩම්බර විය යුතු අතර එම සංශෝධනයේ ප්‍රතිපාදන ක්‍රියාත්මක කිරීම සඳහා අප සියළු දෙනා එක්ව කටයුතු කල යුතුය.

ප්‍රජාතන්ත්‍රවාදය හා නීතියේ ආධිපත්‍යය සම්බන්ධයෙන් ඇතිවී ඇති නව බලාපොරොත්තුව සම්බන්ධයෙන් කවුන්සිලය දැනුවත් කිරීමෙන් අනතුරුව මහ කොමසාරිස්තුමා වැඩිදුරටත් පවසා සිටියේ සැප්තැම්බර් සැසිවාරයට මාගේ වාර්තාව ඉදිරිපත් කල පසු “වගවීම හා ප්‍රතිසංවිධානය උදෙසා විශ්වාසදායී යාන්ත්‍රණයක් ඇතිකිරීම වෙනුවෙන් විනිවිදභාවයෙන් යුත් ක්‍රියාවලියක්” සැකසීමේ ලා ශ්‍රී ලංකා බලධාරීන් සමඟ දිගටම සාකච්ඡා පවත්වාගෙන යාමට අදහස් කරන බවයි.

මෙහිලා මහ කොමසාරිස්වරයා දේශීය යාන්ත්‍රණයක් පිහිටුවීමට පෙර සැප්තැම්බර් සැසිවාරය දක්වා කාලය තුල සියළු දේශපාලන පාර්ශවයන්, සිවිල් සමාජය, සහ විශේෂයෙන්ම විපතට පත්වූවන් සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන්ගේ අදහස් ලබාගැනීමේ ක්‍රියාවලියක් සැකසීම සඳහා අප විසින් ගෙන ඇති සම්මුතික ප්‍රවේශය පිළිඹිඹු කරයි. ඒ අනුව, අප රජය උපදේශකත්වයේ සහ විනිවිදභාවයේ වැදගත්කම හොඳින් හඳුනා ගෙන ඇත.

පසුගිය රජය විසින් සිවිල් සමාජයේ, දේශපාලන පක්ෂ වල හා විපතට පත්වූවන්ගේ අදහස් විමසීමට ක්‍රියා නොකිරීම නිසා ඔවුන් විසින් ක්‍රියාත්මක කල වැඩසටහන් හා ක්‍රියාවලීන්ගේ දෝෂ ඇතිවීමට හා දේශීය වශයෙන් හා ජාත්‍යන්තර වශයෙන් ඔවුන් කෙරේ විශ්වාසය පළුදු වීමටද හේතු විය. පසුගිය රජය විසින් තම මතය පිලිගත් පුද්ගලයන්ගේ හැර වෙනත් කිසිදු පුද්ගලයකුගේ මත පිලිනොගන්නා ලදි. එපමණක් නොව රාජපක්ෂ මහතා විසින්ම පත්කල උගත් පාඩම් හා ප්‍රතිසංවිධාන කොමිසමේ උපදෙස් ද සැලකිලිලට ගැනීම අතපසු කරන ලදි.

මේ සියල්ල හේතුවෙන් 30 වසරක කුරිරු යුද්ධයකින් පසුව විදේශ හා නීති සේවා ඇතුළු පරිපාලනමය හා අනෙකුත් සේවා යළි ගොඩනැගීම, ප්‍රජාතන්ත්‍රවාදය යළි ස්ථාපිත කිරීම, මානව සම්පත් ධාරිතාවය හා නිපුණතාවය වැඩි දියුණු කිරීම ආදී ක්‍රියාවලීන් සඳහා තිබු හොඳම අවස්ථා ශ්‍රී ලංකාවට අහිමි විය.

මහාචාර්ය ජී.එල් පීරිස් මහතා විසින් සෙනෙට් සභික ලීහි විසින් දේශිය යාන්ත්‍රණයක් පිළිබඳව කල ප්‍රකාශයේ තෝරාගත් කොටස් කිහිපයක් පමණක් මෙහිලා හුවා දක්වා ඇත. මම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාගෙන් ඉල්ලීමට කැමතියි ඔහු විසින් විදේශ අමාත්‍ය ධුරය දරන සමයේ විදෙස් විශාරදයන් විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශ සිහියට නගාගන්නා ලෙස. ඒ එකක්වත් ප්‍රශංසානාත්මක ද? ‍සෙනෙට් සභික ලිහි ශ්‍රී ලංකාව විසින් මෑත කාලීනව ලබාගත් ජයග්‍රහණ අගය කරයි. 19 වන ව්‍යවස්ථා සංශෝධනය,තොරතුරු ලබාගැනීමේ අයිතිය මූලික අයිතිවාසිකමක් ලෙස ව්‍යවස්ථාවට ඇතුලත් කිරීම, එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ සබඳතා යලි වර්ධනය කර ගැනීම, මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් වගවීම යළි ඇති කිරීම, ප්‍රතිසංවිධානය හා සංවර්ධනය යන ද්විත්ව න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමට තීරණය කිරීම,මුල් අයිතිකරුවන් සඳහා ඔවුන්ගේ ඉඩම් නැවත ලබාදීම, මාධ්‍ය නිදහස තහවුරු කිරීම, අධිකරණයේ ස්වාධීනත්වය ස්ථාපිත කිරීම සහ දූෂණයට එරෙහිව ක්‍රියාකිරීම ආදිය එම ජයග්‍රහණ අතුරින් කිහිපයකි.

ඉතිහාසයේ ඉහලම ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය වාර්තා කරමින් විශාල ජයග්‍රහණයක් වාර්තා කල 2015 ජනාධිපතිවරණයේ දී ජනාධිපතිවරයා විසින් ස්වාධීන ජාතික අධිකරණ යාන්ත්‍රණයක් පිහිටුවීමේ අවශ්‍යතාවය අවධාරණය කරන ලදි. මෙය ඔහුගේ දින 100 වැඩපිළිවෙලේ 93 වන කාර්යය යටතේ පැහැදිලිව මෙලෙසින් සඳහන් වේ.

“ ශ්‍රී ලංකාව විසින් යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර අධිකරණ බලය පිළිබඳ රෝම ප්‍රඥප්තියට අත්සන් තබා නැති බැවින් එවන් කාරණා සම්බන්ධයෙන් යුක්තිය ඉටුකිරීම   ස්වාධීන ජාතික අධිකරණ යාන්ත්‍රණයක කාර්යභාරය වේ”

මැතිවරණ ජයග්‍රහණයත් සමඟ එය රජය විසින් පමණක් නොව මෙරට ජනතාව විසින් ද තහවුරු කර ඇත.

ගරු කථානායකතුමනි,
ශ්‍රී ලංකාවට සැමවිටම පරිපාලනය හා මූල්‍ය කටයුතු ඇතුළු ජන ජීවිතයට සම්බන්ධ සියළු කටයුතු වලදී සහ නීතියේ ආධිපත්‍යය හා වගවීම සම්බන්ධයෙන් ද ගරු කිරීමේ දීර්ඝ සම්ප්‍රදායක් තිබේ. යුද්ධය පැවති සමයේ මෙම ගුණාංග බරපතල ලෙස පිරිහී යනු අප විසින් අත්දකින ලදි. රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ මනඃකල්පිත තර්ජන වලට මුවා නොවී අප රටේ මෙන්ම අනාගත පරම්පරාවන්ගේ ද සුභසිද්ධිය සඳහා මෙම වගවීම සම්බන්ධ ප්‍රතිපත්ති යලි ගොඩනැගීම අත්‍යවශ්‍ය වේ.

අප විසින් තාවකාලික මැතිවරණ වාසි සඳහා පසුගිය රජය විසින් අනුගමනය කල පරිදි රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ තර්ජන මවාපෑම හා සිවිල් නිදහස සීමා කිරීම ආදීය සිදු කරමින් සත්‍ය තර්ජන වළකාගැනීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව සමග සම්බන්ධ වීමෙන් වැලකීමේ ප්‍රතිපත්තිය අනුගමනය කලහොත් සත්‍යවශයෙන්ම අප විසින් ද අප රටේ ජාතික ආරක්ෂාව හා අනාගතය අනතුරේ හෙලනු ඇත.

*පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා විසින් ගෙන ආ කල් තැබීමේ යෝජනාව සඳහා විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ලබාදුන් පිළිතුර

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.