25 April, 2024

Blog

ඩමි අපේක්‍ෂකයන්ගේ පටු අරමුණු සහ ඡන්දදායකයාගේ වගකීම

මහාචාර්ය මිල්ටන් රාජරත්න සහ​ ආචාර්ය අතුල විතානවසම් –

මේ ලිපියෙහි අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ දී අනුගමනය කරන ක්‍රමවේදය පිළිබඳව ජනතාව තුළ මේ වන විට පවතින ව්‍යාකූල හා සාවද්‍ය අදහස් තුළින් ජනාධිපතිවරයෙකු තෝරා පත් කිරීමේ ක්‍රියාවලිය කෙරෙහි ඇතිවිය හැකි අහිතකර බලපෑම සාකච්ඡා කිරීම සහ ඡන්දදායකයා දැනුවත් කිරීම ය.

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ දී ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සම්බන්ධයෙන් ජනතාව අතර ඇතිව තිබෙන මූලික අදහස වන්නේ ප්‍රකාශිත වලංගු ඡන්ද වලින් නියත බහුතරය එනම් 50% කට වැඩි බහුතරය කවර හෝ අපේක්ෂකයෙකු විසින් ලබා ගත යුතු බවය. කිසියම් ලෙසකින් පළමු වටයේ දී අපේක්ෂකයෙකුට නියත බහුතරය ලබා ගැනීමට නොහැකි නම් ඡන්ද දායකයන් විසින් තම ප්‍ර​ථම කැමැත්තට අමතරව ලබා දෙන දෙවන සහ තෙවන මනාප මගින් ජයග්‍රාහි අපේක්ෂකයාට අවශ්‍ය නියත බහුතරය සකසා ගත හැකි බවයි. මෙම අදහස සාමාන්‍ය ඡන්දදායකයන් අතර පමණක් නොව සිවිල් සාමජ සංවිධානවල ප්‍ර​ධානීන් සහ ඒවායෙහි ක්‍රියාකාරි සාමාජිකයන්, දේශපාලන පක්ෂවල ප්‍ර​ධානීන් සහ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ඇතැම් අපේක්ෂකයන් අතර පවා තිබෙන්නේ යැයි කිව හැකි ය. මෙවැනි අදහසක් දැරීම තුළින් සිදුවිය හැකි හානිකර තත්වයන් දෙකක් තිබේ. එයින් එකක් නම් ජයග්‍ර​හණය කිරීමට අවශ්‍ය යැයි කියන නියත බහුතරය කවර හෝ ක්‍රමයකින් ලබාගත යුතුය යන තැනට ඇතැම් දේශපාලන පක්ෂ සහ එහි අපේක්ෂකයන් තල්ලු වීම ය. අනෙක් කරුණ නම් ප්‍ර​කාශිත ඡන්ද වලින් 50% කට වැඩි ඡන්ද ලබාගත හැකි යැයි විශ්වාස කරන අපේක්ෂකයන්ට ලැබෙන ඡන්ද වැළැක්වීමට ඇතැම් බලවේග ක්‍රියා කිරීම ය. මෙය අප විසින් ඇතිකර ගත් හුදු උපකල්පනයක් නොව මේ වන විටත් ඇතැම් දේශපාලන ක්‍රියාකාරින් ඇතුඵ විවිධ බලවේග ආරම්භ කර තිබෙන වැඩපිළිවෙලකි.

ජනාධිපතිවරණයේ දී ඡන්ද වලින් 50% කට වැඩි බහුතරයක් කෙසේ හෝ ලබා ගත යුතු යැයි කල්පනා කරන පිරිස් තම ජයග්‍ර​හණය තකා අන්තවාදි විවිධ බලවේග සමග රහස් ගිවිසුම් ඇති කරගැනීමට පෙළඹීම, ඡන්දදායකයන්ට කිසිදු දිනක ඉටු කළ නොහැකි බොරු පොරොන්දු දීම වැනි ක්‍රියාවල නිරත වෙති. මෙවැනි අය අනුගමනය කරන තවත් ඡන්ද උපායක් වන්නේ ඔවුන්ගේ ජයග්‍ර​හණ වෙනුවෙන් ‘ඩමි අපේක්ෂකයන්’ ඉදිරිපත් කිරීමය. ඩමි අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමෙන් බලාපොරෝත්තු වන අරමුණු දෙකක් තිබේ. එකක් නම් ඔවුන්ට ඡන්ද ප්‍ර​කාශ කරන ඡන්දදායකයන් ලවා දෙවන හෝ තෙවන මනාපය ඉලක්ක කරගත් අපේක්ෂකයෙකු වෙත ලබා ගැනීම ය. එමගින් මනාප ඔස්සේ නියත බහුතරය සකසා ගත හැකිය යන විශ්වාසයේ ඔවුහු පසුවෙති. දෙවැන්න නම් ජන්දයට ඉදිරිපත්ව ඇති ප්‍ර​බල ප්‍ර​තිවාදියාගේ ඡන්ද පදනමට ප්‍ර​සිද්ධියේ හෝ උපක්‍රමිකව රහසින් හෝ හානි කිරීම ය. මෙවැනි ඩමි අපේක්ෂකයන්ගේ අරමුණ තමන් දිනීම නොව අනුන් දිනවීම ය. අතීතයේ පැවති ජනාධිපතිවරණවල දී කෝල්වින් ආර්. ද සිල්වා, කුමාර් පොන්නම්බලම් වැනි අපේක්ෂකයන් ඔවුන්ට දුර්වල ඡන්ද පදනමක් තිබෙන බව දැන දැනම ජනාධිපතිවරණ සටනට ඉදිරිපත් වූයේ ජයග්‍ර​හණය කිරීමට වඩා තම පක්ෂයේ ප්‍ර​තිපත්තිමය වැඩපිළිවෙල ඉදිරියට ගනිමින් තම පාක්ෂිකයන් සහ අනුගාමිකයන් දේශපාලනික වශයෙන් බල ගැන්වීමට ය. මේ තත්වය මෑත කාලවල පැවති ජනාධිපතිවරණවල සිට වෙනස් වන්නට විය. ප්‍රධාන අපේක්ෂකයෙකුගේ ඩමියක් ලෙසින් තවත් අපේක්ෂකයෙකු ප්‍ර​ථම වරට ඉදිරිපත් වූයේ 1988 පැවැති ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපතිවරණට ඉදිරිපත් වූ රණසිංහ ප්‍රේමදාස මහතා වෙනුවෙනි. ඒ වෙන කවුරුන්වත් නොව මහජන පක්ෂයේ ප්‍ර​ධාන පෙළේ නායකයෙකුව සිටි ඔසී ගුණසේකර මහතා ය. සැබැවින් ම ඔහු ඉදිරිපත් වූයේ ප්‍රේමදාස මහතාගේ ප්‍ර​තිවාදිනිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ඡන්ද කැඞීමට ය. එය සාර්ථක වුනි. ඔහු ඉදිරිපත් නොවන්නට එම ජනාධිපතිවරණයෙන් ප්‍රේමදාස මහතා පරාජය වන්නට ඉඩ තිබුණි. එයට කෘතගුණ දැක්වීමක් වශයෙන් දෝ 1989 පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඔහු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයකින් පිදුම් ලද්දේ ය. එපමණක් ද නොව ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ විශ්වාසවන්ත සගයා බවට ද පත් විය.

ඉදිරියේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට මෙවැනි ඩමි අපේක්ෂකයන් බොහෝ දෙනෙකු ඉදිරිපත්ව ඇත. මේ වන විට අපේක්ෂකයන් තිස්පහක් ඉදිරිපත් වී ඇති බව මැතිවරණ කොමිසම සඳහන් කට තිබේ. මෙයින් 8 දෙනෙකු පිළිගත් පක්ෂවලින් ඉදිරිපත් නොවූ ස්වාධීන අපේක්ෂකයන් ය. ප්‍ර​ධාන පක්ෂවලින් ඉදිරිපත් ඉදිරිපත් වන අපේක්ෂකයන් හැර අන් සියඵ දෙනා ඩමි අපේක්ෂකයන් යැයි අප කියන්නේ නැත. එසේ වුව ද මේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් අතුරින් සැළකිය යුතු පිරිසක් ඩමි අපේක්ෂකයන් ය. නියත බහුතරය ලැබිය හැකි යැයි සිතිය හැකි අපේක්ෂකයෙකුට ලැබෙන ඡන්ද වලින් යම් කොටසක් කැඞීමෙන් ඔවුන්ව පරාජය කළ හැකි යැයි සිතා ඉදිරිපත්ව ඇති මෙවැනි පුද්ගලයන් ප්‍ර​ධාන අපේක්ෂකකුට විකල්ප වශයෙන් නොව ආදේශක වශයෙන් ඉදිරිපත්ව ඇති බවක් පෙනේ. විශ්‍රාමික හමුදා ප්‍ර​ධානීන්, ව්‍යාපාරිකයන්, පරිසරවේදීන්, එන්.ජී. ඕ. කාරයන්, ඒ කිසිවෙකුත් නොවන නිකමුන් ඉදිරිපත් වන්නේ මේ අනුව ය. මෙබඳු අය තමන් ජනාධිපති ධූරයට පත් වුවහොත් රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරන බවට සපථ වෙති. නැතිනම් විදේශ ණය උගුලෙන් රට ගලවා ආර්ථිකය දියුණු කරන බව ප්‍ර​කාශ කරති. තව කෙනෙක් බලයට පත් වුවහොත් පරිසර හිතකාමි වැඩසටහන් ඉදිරිපත් කරමින් රටේ පරිසරය සුරකින බව ප්‍ර​කාශ කරති. මෙවැනි පුරාජේරු කියන අපේක්ෂකයන් කරන්නේ ජාතික වැඩපිළිවෙලක් අරබයා කැප වී සිටින සහ ඒ අරබයා පැහැදිලි ඡන්ද ශක්තියක් ඇති ප්‍ර​ධාන අපේක්ෂකයෙකුගේ සටන් පාඨ තමන්ගේ සටන් පාඨ බවට පත් කර ගනිමින් ඔහු පරාජය කර දැමීමට කූඨ ලෙස ක්‍රියා කිරීමයි.

එබැවින් මෙවැනි ඩමි අපේක්ෂකයන්ට නොරැවටී එළඹී සිහියෙන් යුතුව ක්‍රියා කිරීමට නම් ජයග්‍රාහි අපේක්ෂකයා සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති නියත බහුතරය (Absolute majority) හෙවත් 50%කට වැඩි බහුතරයක අවශ්‍යතාවය පිළිබඳ අවුල ලිහා ගැනීම වැදගත් ය. 1978 ව්‍යවස්ථාවේ 94 වන වගන්තියේ දෙවන උප වගන්තියේ දැක්වෙන්නේ දෙන ලද වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් දෙකෙන් එකකට වඩා වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබා ගත් අපේක්ෂකයා ජනාධිපතිවරයා වශයෙන් තෝරා පත් කරගත යුතු බවයි. එහිම 3 වන උප වගන්තියේ සඳහන් වන්නේ එලෙස ජනාධිපතිවරයා පත් කර ගැනීමට නොහැකි වූ විට එනම් නියත බහුතරය කිසිදු අපේක්ෂකයෙකු ලබා නොගත් විට ප්‍ර​ධාන අපේක්ෂකයන් දෙදෙනා හැර සෙසු අපේක්ෂකයන්ට ඡන්ද ප්‍ර​කාශ කර ඇති ඡන්ද පත්‍රිකාවල ප්‍ර​ධාන අපේක්ෂකයන් දෙදෙනාට දෙවැනි හෝ තුන්වැනි මනාප ප්‍ර​කාශ කර තිබෙන්නේ නම් ඒ මනාප ප්‍රධාන අපේක්ෂකයන්ට ඡන්ද ගොඩට එකතු කළ යුතු බවයි. ඒ ක්‍රියාවලිය අවසන් කිරීමෙන් පසුව ජයග්‍රාහි අපේක්ෂකයා තෝරා පත් කිරීමේ දී ඔහුට හෝ ඇයට නියත බහුතරයක් තිබිය යුතු බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අදාළ විධිවිධානවල හෝ 1981 අංක 15 දරණ ජනාධිපතිවරයා තෝරා පත් ගැනීමේ ඡන්ද විමසීමේ පනතේ හෝ සඳහන් වන්නේ නැත. ඒ වෙනුවට සඳහන් වන්නේ දෙවන සහ තෙවන මනාප ගණන් කිරීමෙන් පසුව ප්‍ර​ධාන අපේක්ෂකයන් එනම් වැඩිම ඡන්ද ලබාගත් අපේක්ෂකයන් දෙදෙනාගෙන් බහුතරය ලබාගත් අපේක්ෂකයා ජනාධිපතිවරයා වශයෙන් පත් කරගත යුතු බවයි. මෙයින් පැහැදිලි වන දෙය නම් ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම අරබයා නියත බහුතරය අවශ්‍ය නොවන බවයි. යම් ලෙසකින් ඡන්දදායකයන් මනාප කිසිවක් සළකුණු නොකර ඇති අවස්ථාවක වුව ද ජනාධිපතිවරයා තෝරාපත් කරනු ලබන්නේ අපේක්ෂකයන් අතුරින් නියත බහුතරයක් නොලබුව ද වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබාගත් අපේක්ෂකයා ය.

ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම අරබයා අවසානයේ මෙලෙස සරළ බහුතර ඡන්ද ක්‍රමය යොදා ගත හැකි තත්වයක් තුළ වුව ද සියයට පනහේ නියත බහුතරය ඈඳා ගැනීම තුළින් එය ජයග්‍රාහකයා පත් කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය කොන්දේසියක් වේ ය යන මතය සමාජය තුළ මුල් බැසගෙන තිබේ. මෙම තත්වය අප ඉහත සඳහන් කළ පරිදි යම් අපේක්ෂකයෙකුට නියත බහුතරයක් ලබා ගැනීම හෝ එවැනි බහුතරයක් තවත් අපේක්ෂකයෙකුට ලැබීම වැළැක්වීම සඳහා ඩමි අපේක්ෂකයන් ඉදිරිපත් කිරීම, අහස උසට බොරු පොරොන්දු දීම වැනි ක්‍රයාකාරකම් දක්වා දුර දිග ගොස් තිබේ. අනෙකුත් නීති, විධිවිධාන මෙන් ම මැතිවරණ නීති සහ ඒ හා සම්බන්ධ විධිවිධාන ද සාමාන්‍ය ඡන්දදායකයන්ට වුව ද තේරුම් ගත හැකි ආකාරයට සරළ විය යුතු ය. එසේ නොවන විටක ඡන්දදායකයන් අවුල් ජාලාවක පැටලෙනු ඇත. තවද දේශපාලන බලවේගවල උගුල්වලට ද හසුවනු ඇත. ඔවුන්ගේ නොමග යැවීම්වලට ලක්වනු ඇත. ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීමේ දී අනුගමනය කළ යුතු මේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ ජන්ද විමසීමේ පනතේ තිබෙන මේ වැල්වටාරම් ක්‍රමය ලිහා දැක්වීමේ යුතුකමක් සහ වගකීමක් මේ ව්‍යවස්ථාව සංශෝධනය කළ අයට තිබුණි. මේ වන විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 19 වතාවක් සංශෝධනය කර තිබුණද මේ කිසිදු සංශෝධනයකින් මේ කාර්ය ඉටු කළේ නැත. 19 වන සංශෝධනය සිදු කළ අය පවා මේ වගකීම ඉටු කළේ නැත. ඔවුන් ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීමේ ක්‍රියාවලිය සංශෝධනය කළේ ඔවුන්ට තර්ජනයක් වේ යැයි සිතන එක් ප්‍ර​ධාන දේශපාලන ප්‍ර​තිවාදියෙකු සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට ජනාධිපතිවරණයට තරග කිරීමට නොහැකි වන ආකාරයට ය. එමගින් රටේ එක්තරා දේශපාලන පවුලක් රටේ ආණ්ඩුකරණ ක්‍රියාවලිය මෙහෙයවීමෙන් මුඵමනින්ම පිටමං කිරීමේ උත්සාහයක නිරත විය. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රමය සහ දේශපාලනය පිළිබඳ ප්‍ර​මාණික විද්වතෙකු වූ මහාචාර්ය ඒ. ජේ. විල්සන් සඳහන් කළේ 1970 දශකයට පිය නගන විට ශ්‍රී ලංකාව ලෝකයේ ප්‍ර​ශස්ථ මැතිවරණ නීති ක්‍රමයක් ඇති රටක් බවට පත් ව තිබුණු බවයි. 19 වන සංශෝධනය ගෙන ආ අය විසින් එවැනි සාඩම්බර මැතිවරණ නීතියකට උරුමකම් කියන ලද ශ්‍රී ලංකාවේ මැතිවරණ නීතිය පුද්ගලකරණය කිරීම (Personalization) මගින් කෙළෙසනු ලැබීය.

අවසාන වශයෙන් කිසිදු අපේක්ෂකයෙකුට නියත බහුතරය ලබා ගැනීමට නොහැකි වුවහොත් මේ ජනාධිපතිවරණය අර්බුදයට යන බවටත් අවසාන රට අරාජික තත්වයට ඇද වැටෙන බවටත් ඇතැමුන් ඉදිරිපත් කරන අදහස් සාකල්‍යයෙන් ම සාවද්‍ය ය. මෙහිද අවශ්‍ය වන්නේ මේ ලිපියෙන් අරමුණු කළ පරිදි ඡන්දදායකයා ඡන්ද ක්‍රමය මෙන් ම දේශපාලන ක්‍රමය කෙරෙහි ද දැනුවත් වීම ය. ඒ අනුව ජයග්‍රාහි අපේක්ෂකයා එනම් ජනධිපතිවරයා වශයෙන් තෝරා පත් වීමට පළමු වටයේ දී හෝ මනාපවල සහායෙන් නියත බහුතරය අවශ්‍ය වන්නේ නැත. අවශ්‍ය වන්නේ ජයග්‍රාහකයා වීමට දෙන ලද වලංගු ඡන්ද වලින් වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබා ගැනීම ය. මේ පිළිබඳ ඡන්දදායකයා දැනුවත් වීම අත්‍යවශ්‍ය ය. දෙවනුව ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීමේ දී ජනාධිපති අපේක්ෂකයාගේ පුද්ගල ගුණාංග පිළිබඳව අවබෝධයක් තිබීම අවශ්‍ය ය. එබැවින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයාගේ දේශපාලන පෞරෂය, ඔහුගේ නායකත්ව විලාශය, රට මුහුණ දී ඇති සමාජ-ආර්ථික හා දේශපාලන යනාදි ගැටඵ පිළිබඳ ඔහුට ඇති ප්‍රායෝගික වැඩ පිළිවෙල, එම වැඩ පිළිවෙල ක්‍රියාවට​ නැංවීම සඳහා ඔහු වටා සිටින අත්දැකීම් සහිත උගත්, බුද්ධිමත්, වෘත්තීමය පලපුරුද්දෙන් හෙබි කොටස් යනාදි ය පිළිබඳව ඡන්දදායකයා තුළ වැටහීමක් තිබීම අවශ්‍ය ය. එපමණක් ද නොව රටේ ආණ්ඩුක්‍රමයේ ස්වභාවය පිළිබඳව අවබෝධයක් තිබීම ද අවශ්‍ය ය. පෙර අවස්ථාවල දී මෙන් නොව 19 වන සංශෝධනයෙන් පසුව කොපමණ කාර්යශූර ජනාධිපතිවරයෙකුට වුව ද ඔහු ජනතාව ඉදිරියේ තබන ලද වැඩ පිළිවෙල තනිව ක්‍රියාත්මක කළ නොහැකි ය. ඒ සඳහා 19 වන සංශෝධනයෙන් ශක්තිමත් කර ඇති අගමැතිවරයාගේ සහාය ද අවශ්‍ය ය. රටේ දේශපාලන ස්ථාවරත්වය හා ආණ්ඩුකරණය මැනවින් පවත්වා ගැනීමට නම් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා විශ්වාසනීයත්වය සහ සහජීවනය මත ක්‍රයාකළ යුතුය. විශේෂයෙන්, ජනාධිපතිවරණය අවසන් වීමත් සමග පැවැත්වීමට නියමිතව ඇති පාර්ලිමේන්තු මැතිවරණයෙන් අගමැති වශයෙන් පත්වීමට යන පුද්ගලයා සමග සහයෝගයෙන් වැඩ කිරීමේ හැකියාව තිබිය යුතු ය. එසේ නොවේ නම් සිදුවනු ඇත්තේ පසුගිය පස් වසරක කාලය තුළ සිදුවූවාක් මෙන් රටේ පාලනය දෙපැත්තට ඇදෙමින් ආණ්ඩුකරණය කඹ ඇදීමේ ක්‍රීඩාවක් බවට පත්වීම ය. මෙම ජනාධිපතිවරණයෙන් පසු එවැනි තත්වයක් ප්‍රතිනිර්මාණය වීමට ඉඩ සැලසුණහොත් ආර්ථිකය තව දුරටත් බිඳවැටීම, අභ්‍යන්තර හා ජාත්‍යන්තර බලවේගවලට ඔවුන්ගේ අරමුණු ඉටුකර ගැනීම පහසු වීම, අප රට ජාවාරම්කරුවන්ගේ හා ජාත්‍යන්තර කුමන්ත‍්‍රණකරුවන්ගේ ගොදුරක් බවට පත්වනු ඇත.

Print Friendly, PDF & Email

Latest comment

  • 0
    0

    .
    It is good that this article has appeared here.
    .
    However, it should be clear to you that not enough Sinhala-readers are seeing it here. I hope that the author is having it published elsewhere as well. It is very important that users of Sinhalese and Tamil who don’t know English, but who are the people who matter, are educated by us.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.