24 April, 2024

Blog

නව පරපුරේ කළා කරුවන්ගේ නියම දේශපාලන වගකීම

නවීන්ද්‍ර ද සොයිසා

ආචාර්ය නවීන්ද්‍ර ද සොයිසා

ආචාර්ය නවීන්ද්‍ර ද සොයිසා

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ලංකාවේ කළා කරුවන් දේශපාලන නායකයින් වෙනුවෙන් පෙනී සිටිමින් ඔවුන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් දැඩි පරිශ්‍රමයක් දරනු අපට දක්නට ලැබුණි. මැතිවරණ ප්‍රචාරණ කටයුතු වලට සෘජුව සහබාගී වෙමින් තම රසිකයින්ගෙන් ඔවුන් ඉල්ලා සිටියේ තම තමන් සහාය දක්වන අපේක්ෂකයාට චන්දය දෙන ලෙසයි. ඉතාමත් නිර්මාණශීලි හැකියාවන්ගෙන් පරිපුර්ණ, ප්‍රවීණ කළා කරුවාගේ සිට මෑතකදී නිර්මාණ කිහිපයකට පමණක් දායක වී කළා ලෝකයට අළුතින් ප්‍රවිෂ්ඨ වූ නව කළා කරුවෝද මෙම බල හුවමාරුවට මැදිහත් වී කරනු ලැබූ ක්‍රියාදාමය පිළිබඳව කතා කල යුතු යයි මට හැගුන බැවින් මෙම සටහන තබමි.

කිසියම් දේශපාලන මතවාදයක්, පක්ෂයක් හෝ දේශපාලන නායකයෙකු වෙනුවෙන් පෙනී සිටීමට මිනිසෙකු වශයෙන් කළා කරුවාටද තිබෙන අයිතිය අපට කිසිදු විටෙකත් බැහැර කල නොහැක. විද්වතුන්, වෘත්තිකයින් මෙන්ම ආගමික නායකයින්ද තමාගේ බුද්ධිය, හැකියාව සහ සමාජය තුල තමාට තිබෙන පිළිගැනීම හෝ ගෞරවය හුදු වාසි තකා දේශපාලන වේදිකාවේ වෙන්දේසි කරන යුගයක කළා කරුවාද තම හැකියාව සහ නිර්මාණ අලවි කිරීම වරදක් නොවේ යයි යමෙකුට තර්ක කල හැක. කළා කරුවෝ සියළුදෙනාම එක හා සමාන නොවන අතර විවද අරමුණු පෙරදැරි කරගෙන විවිද මට්ටමින් තම නිර්මාණ එලි දක්වන්නෝ සිටිති. කෙසේ වෙතත් නියම කළා කරුවන් වෙළඳ කළා කරුවන්ගෙන් වෙනස් කොට හඳුනා ගත යුතුය. එවිට නියම කළා කරුවාගේ කාර්ය භාරය හඳුනාගැනීම පහසු වනු ඇත.

සැබෑ කළා කරුවා යනු ?

ඉතා සරළව සිතා බලන විට ලංකාවේ කළා කරුවන් දළ වශයෙන් කාණ්ඩ කීපයකට ගොනු කල හැක. කිසිදු හරයක් නැති නිර්මාණ කරන්නන් එක් කණ්ඩායමකි. සෑම රසිකයෙකුගේම රසන්ඳතාවය එක හා සමාන නොමැත. ඉතාමත් තිවුර රසන්ඳතාවයක් තිබෙන රසිකයන් මෙන්ම මොට වූ රසන්ඳතාවයක් ඇති අයද අප සමාජයේ බහුලය. එම නිසාම සබෑ කළා කරුවාට රසිකයාගේ රසන්ඳතාවය දියුණු කිරීමේ වගකීමක්ද තිබෙනවා. එම වගකීම පිලිබඳ කිසිඳු තැකීමක් නොකර පවතින මට්ටමට හෝ ඊටත් වඩා පහල මට්ටමක රසාස්වාදයක් ලබා දෙන නිර්මාණ කරන්නා සැබෑ කළා කරුවකු ලෙස හඳුනාගත යුතු නොවේ. එසේම රසවින්දනයක් ලබා දීමෙන් පමණක් ඔහු කළා කරුවෙකු යයි නම් කිරීමද සුදුසු නොවේ. මෙවැන්නවුන් කළා කරුවකු වීමට වෙර දරන්නේ හුදු ජනප්‍රිය පුද්ගලයෙකු වීමේ ආශාවෙන් සහ ඒ තුලින් උපයා ගන්නා මුදල් වලින් බෞතික සම්පත් ගොන්නක් ඒකරාශී කරගෙන අන් යට වඩා ඉහලින් ජීවත් වීමේ අටියෙන් මිස උසස් කළා නිර්මාණයක් ඉදිරිපත් කර කළා කරුවකු ලෙස ලබා ගත හැකි අත්මතෘප්තියක් ලබා ගැනීමේ අටියෙන් නොවේය. මෙවැනි කළා කරුවන් කරනු ලබන්නේ පවුලේ සාමාජිකයිනට එකට සිට රසවිඳීමට අපහසු බොල් හෝ තාවකාලික රසවින්දනයක් පමණක් ලබා දෙන නිර්මාණ එලි දැක්වීමයි. නව යුගයේ තාක්ෂණික දියුණුවත් සමග ශ්‍රව්‍ය දෘශ්‍ය මාද්‍ය හරහා ඉතාමත් පහසුවෙන් මෙවැනි පහත් මට්ටමේ නිර්මාණ කරන්නන්ට සමාජය අතරට ගමන් කිරීමට හැකියාවක්ද ලැබී ඇත.

ඉතාමත් හොඳ නිර්මාණ කිරීමේ හැකියාවක්, දැනීමක් සහ පළපුරුද්දක් තිබුනත් පටු ආර්ථික සහ දේශපාලන වාසි තකා නායකයින්ගේ ගුණ පමණක් වර්ණනා කරනු ලබන නිර්මාණ වලට සීමා වී ඇති පිරිස තවත් කණ්ඩායමකි. අතීතයේදී මෙවන් පිරිස් හැඳින්වීමට වන්ධිබට්ටයා වැනි වචන භාවිතා කලත් අද මේ සියලු දෙනා හඳුන්වනු ලබන්නේ කළා කරුවා නමින් නිසා රසිකයාට නියම කළා කරුවා මොවුන්ගෙන් වෙන් කර හඳුනා ගැනීමට අපහසු වී ඇත. මෙවැනි දක්ෂ කළා කරුවන් විසින් රසිකයින්ගේ නොදැනුවත්කම සුරාකණු ලබන අතර ඒ තුලින් තමාට අවශ්‍ය එහෙත් සමාජයට අනවශ්‍ය හා අහිතකර මතවාදයන් රසිකයා තුල ඇති කරනු ලැබේ.

තමාගේ නිර්මාණ වල ගුණාත්මක භාවය සහ ඒ තුලින් සමාජයට සිදු වන මෙහෙවර ගැන කල්පනා කරන්නන් නියම කළා කරුවෝ ලෙස නම් කල හැකි කණ්ඩායමයි. මෙවන් කළා කරුවන්ගේ නිර්මාණ පරම්පරා ගණනාවක් නොනැසී පවතින අතර එම නිර්මාණ සඳහා ස්ථාවර සහ හොඳ ඉල්ලුමක්ද පවතී. අද අපට අත්‍යවශ්‍ය වුවත් දුර්ලබ වන්නේද මෙවන් නියම කළා කරුවෝය.

නියම කළා කරුවාගේ දේශපාලන ක්‍රියාදාමය

කළා කරුවාගේ සත්‍ය දේශපාලන භූමිකාව, එසේත් නැතහොත් ජාතික වගකීම යනු දේශපාලන වේදිකාවේ දේශපාලන නායකයින් වෙනුවෙන් පෙනී සිටීම නොහොත් දේශපාලන බලය එක් අයෙකුගේ සිට තවත් අයෙකුට මාරුකිරීමට උදවු කිරීමෙන් ඔබ්බට ගිය සියුම්, භාරදුර සහ දුෂ්කර කාර්ය භාරයකි. මෙම මතය තුලින් කළා කරුවා සෘජුව දේශපාලන අරගල වලට මැදිහත්වීම, උද්ගෝෂණ වල ගීත ගයනා කිරීම යනාදී ක්‍රියාවන් නුසුදුසු යයි සම්පුර්ණයෙන්ම බැහැර නොකරන අතර ඊටත් වඩා සිදු විය යුත්තේ ජනතාව දැනුවත් කිරීම බව මගේ අදහසයි.

කළා කරුවා තම රසිකයා දකිනවාට වඩා වෙනස් ආකාරයකට ලෝකය දැකිය යුතුය. තමා දකින ලෝකය රසිකයාට විද්‍යාමාන කලයුත්තේ ඉන්පසුවයි. කළා කරුවා විසින් සිදු කල යුත්තේ හැකිතාක් දුරට රසිකයාගේ රසන්ඳතාවය පෝෂණය කිරීමට උදවු වන ආකාරයේ නිර්මාණ වලට දායක වීමයි. සැම විටම තමා දායක වන නිර්මාණ වල ගුණාත්මකභාවය පිළිබඳව සැලකිලිමත් විය යුතුය. ඉතා තියුණු රසන්ඳතාවයකින් හෙබි රසිකයා සතුව හොදින් විශ්ලේෂණය කිරීමේ හැකියාවක්ද ඇත. තමා ගනු ලබන තීරණ වල බරපතලතාවය තේරුම් ගැනීමට හැකියාවක් රසිකයා තුල ගොඩනැගෙනු ඇත. එවන් කුෂලතාවකින් හෙබි රසිකයා නියම තීරණ ගත යුතු අවස්ථාවේදී නිරායාෂයෙන්ම ප්‍රගතිගාමී මතවාදයන් වටා පෙළ ගැසෙනු ඇත.

අපේ රටේ මෙම කර්තව්‍යය මානව ඉටු කල කළා කරුවෝ බහුලය. අපට ඉතා හොදින් මතක දසක කීපයක් ආපස්සට බැලු විට එකවරම මතකයට එන කළා කරුවෝ ගණනාවකි. ප්‍රේමකිර්ති සහ රිචඩ් ද සොයිස වැන්නවුන් තම හැකියාව රසිකයාගේ තීරණ ගැනීමේ හැකියාව වර්ධනය කිරීමට යෙදවීම නිසා ජීවිතය අහිමි කරගත්තෝය. ගුණදාස කපුගේ සහ නන්දා මාලනි වැනි කළා කරුවන් පීඩනයට පත් වූ තම රසිකයින් වෙනුවෙන් පෙනී සිටියේ ඉතාමත් උසස් තම නිර්මාණ හරහාය. ඒ නිසාම ඔවුනගේ නිර්මාණ තහනමට ලක් වූ වාර ගණන අනන්තය. නමුත් කළා කරුවකු ලෙස තම යුතුකම රසිකයා වෙනුවෙන් නොභියව සහ නියම ආකාරයෙන් ඉටුකළ නිසා අදටත් ඔවුනගේ නිර්මාණ වලංගුය.

එසේම කොටි ත්‍රස්තවාදීන්ට එරෙහිව සටන් පැවති සමයේ රණවිරුවන්ගේ මානසික වර්ධනය සහ මහජනතාවගේ මතය ඒ සඳහා උපකාරාත්මක ලෙස ගොඩනැගීම සඳහා අපගේ කළා කරුවන් අතින් නිර්මාණ රැසක් බිහි විය. එම කළා කරුවන් තම යුද්ධය කලේ අවියෙන් නොව නිර්මාණ තුලිනි. සාමය වෙනුවෙන් පෙනී සිටි කලාකරුවන්ද උතුර දකුණ යා කරන යහපත් සහ ගුණාත්මක නිර්මාණත් සමග රට වටා ගිය ආකාරය අපට මතකය.

විශ්ව කළා කරුවන් දෙස බැලුවහොත් මෙවන් කළා කරුවන් බොහොමයක් සිටි. රුසියානු විප්ලවයේ නියමුවා ලෙනින්, ලියෝ තෝල්ස්තෝයිව හඳුන්වනු ලැබුවේ රුසියානු විප්ලවයේ කැඩපත ලෙසයි. තෝල්ස්තෝයිගේ නිර්මාණ විප්ලවවාදීන්ට ඉතා හොඳ පන්නරයක් ලබා දුන්නද කිසිදුවිටකත් තෝල්ස්තෝයි වීදි බැස සටන් කලේ නැත. ඔහුගේ සටන මෙහෙයවුයේ ඔහුගේ නිර්මාණ තුලිනි. සමාජයට අවශ්‍ය වුයේද එවන් දායකත්වයකි. සමාජ අසාධාරණය හොඳින් අවබෝද කර ගැනීමට සහ එම තත්වය වෙනස් කිරීමට අවශ්‍ය බලවේග බිහිකිරීමට තෝල්ස්තෝයිගේ නිර්මාණ බෙහෙවින් පාදක විය.

මෙම සටහන තුළින් මා සෘජුව ආමන්ත්‍රණය කරන්නේ අළුත් පරපුරේ කළාකරුවන්ටය. ඔබ තුළ පවතින සමාජ මෙහෙවරක් කිරීමේ පිරිසිදු චේතනාව ඉතා පැහැදිලිය. කෙසේ වෙතත් අරමුණ සක්ෂාත් කර ගැනීම සඳහා අනුගමනය කල ක්‍රියාදාමය ප්‍රමාණවත් සහ සුදුසු නොවන බව මාගේ මතයයි. එසේම තම ප්‍රයත්නය සාර්ථක වූ බවත් නව යුගයකට ආරම්බයක් ලබා ගැනීමට දායක වූවායයිත් සෑහීමකට පත්වීමට ඔබට හැකියාවක් නැත. සිදු වූයේ ඔබ සහ ඔබගේ රසිකයින්ගෙන් බහුතරය අපේක්ෂා කල සමාජ දේශපාලන සහ ආර්ථික ප්‍රතිසංස්කරණ වල අවසානය නොව එම ප්‍රතිසංස්කරණ සඳහා අවශ්‍ය කල ඉතා සුළු හැරවුම් ලක්‍ෂයක් පසු කිරීම පමණකි. මැතිවරණයෙන් පසු දේශපාලකයින්ගේ සහ ඔවුන් වටා පෙළ ගැසී සිටින ඔබගේ රසිකයින්ගේ හැසිරීම් රටාව දෙස මදක් සිතා බලන්න. ඇත්තෙන්ම අප ජීවත් වන්නේ විසි එක් වන ශතවර්ෂයේමද යන්න පිලිබඳ ඔබට සැකයක් පහල වනු නිසැකය. තුන්වන ශත වර්ෂයේ පමණ සිට බුදු දහමේ අභාෂය අපට තිබුනත් නොහික්මුණු, හිංසාකාරී අවිනීත කොටස්ද අප සමාජයේ බහුල බවත්, වසර 70 කට ආසන්න කාලයක් සියළුම ජනයාට නොමිළේ අධ්‍යාපනය ලබා දුන්නත් ඉහල මට්ටමේ සාක්ෂරතා සංක්‍යා දත්ත පමණක් ඉතිරිව, ස්වාධීනව කල්පනා කන්නට පුරුදුවූ නිවැරදි තීරණ ගන්නට පුරුදුවූ මිනිසුන් අපේ සමාජයේ ඉතාමත් අඩු බවත් ඔබට නිතැතින් පසක් වනු ඇත.

අඩුම තරමින් අපට වැඩවසම් යුගයේ පැවති ක්‍රමයට ඉතා සමාන දේශපාලන බල ක්‍රමය වන දේශපාලන නායකත්වය පරම්පරාවෙන් පරම්පරාවට ගමන් කිරීමවත් වෙනස් කර ගැනීමට හැකියාවක් ලැබී නැත. පවුල් පසුබිමෙන් පිට දේශපාලන බලය අත්පත්කරගන්නන්ගෙන් අතිබහුතරය නුගත්, ප්‍රචණ්ඩ ක්‍රියා වල සහ නීතිවිරෝධී ක්‍රියා වල නිරත වන්නන් බව ඉතාමත් පැහැදිලිය. දැන උගත් පිරිසක් අද දේශපාලනයට නැඹුරුවීමක් දක්නට නොමැත. ඊට අමතරව අප මතක තබා ගතයුතු දෙය නම් පාලකයා සැම විටම පාලකයා බවයි. හැමතැනකම හැමදාමත් සිදුවන දේශපාලන කුමන්ත්‍රණ වලින් සිදු වන හානිය අවම කර ගැනීමට අප දැනුවත් වී සිටිය යුතුය.

ඒ අනුව අළුත් පරපුරේ සිටින සියලුම කළා කරුවනට අපගේ අනාගත පරපුර තියුණු රසන්ඳතාවයකින් සමන්විත කිරීමටත්, ඒ තුලින් බුද්ධිමත්, නිහතමානී, සංවර සහ ස්වාධීනව සිතන්නට හැකි රසිකයින් බවට පත් කිරීම සඳහාත් විශාල වගකීමක් පැවරී ඇත. දැන් ඔබ සුදානම් වී ජනතාව පෙළගැස්සවිය යුත්තේ තවත් මාස කීපයකින් එන මැතිවරණයට නොව තවත් වසර කීපයකින් එන මැතිවරණයක් සඳහාය.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.