20 April, 2024

Blog

වැලන්ටයින් උන්මාදයට නතු නොවූ ශ්‍රී ලාංකීය ෆේස්බුක් තරුණ පෙළ

තිලක් සේනාසිංහ

තිලක් සේනාසිංහ

තිලක් සේනාසිංහ

තවත් වැලන්ටයින් දිනයක් ඉකුත් පෙබරවාරි 14දා ගෙවී ගියේය. පෙම්වතුන්, පෙම්වතියන් තම ආදරය මුල්කොට සමරු තිළිණ හුවමාරු කරගැනීම එහි පවත්නා මූලික ජනප්‍රිය සංස්කෘතිකාංගයකි. එහෙත් ෆේස්බුක් ඇතුළු සයිබර් අවකාශයේ සැරිසරන මිලියන එකහමාරකටත් වැඩි ශ්‍රී ලාංකීය තරුණ පෙළ මෙම වැලන්ටයින් සැමරුම සම්බන්ධයෙන් එතරම් සංවේදී නොවීම සුවිශේෂ සංසිද්ධියකි.

මෙවන් පසුබිමක් තුළ මෙම ආදර සැමරුම සඳහා කෘත්‍රිම උත්තේජනයක් ලබා දෙමින් මේවා සංවිධානය කරන ලද්දේ කවුරුන් විසින්ද? ඒකාන්තයෙන්ම ව්‍යාපාරික ප්‍රජාව විසිනි. පසුගිය කාලවලදී අප රටේ සුපිරි හෝටල් සහ අවන්හල්වල සංවිධානය කෙරුණු මෙම වැලන්ටයින් දින සාදයන්හි තත්ත්වය කෙතෙක් බැරෑරුම්වීද යත් එම පෙම්වතුන් කණ්ඩායම් වශයෙන් එක්වී එකම ආහාරයක රස බැලීම සේ පසුව පෙම්වතුන්, පෙම්වතියන් මාරු කරගෙන පෙම්රසය භුක්ති විඳීම දක්වාම කටයුතු දුරදිග ගොස් තිබූ බව ප්‍රසිද්ධ රහසකි. එහෙත්, වැඩිහිටි ප්‍රජාවේ නිරත්තර විවේචනවලට ලක්වන ෆේස්බුක් ග්‍රාහක තරුණ පෙළ සැලකිය යුතු ලෙසින් මේ උගුලට හසුනොවීම පිළිබඳව ද අගැයුමක් කළ කිසිවෙක් පිළිබඳව අසන්නට නැත.

ප්‍රේමය යනු හුදෙක් මනෝභාවයන් මත පදනම්වූ චෛතසික මූලයකි. ඒ නිසා ප්‍රේමය හුදු පෞද්ගලික කාරියක් මිස ‍පොදු සමාජමය කටයුත්තක් නොවේ. එනිසාම සමූහ ප්‍රේමය (Group Love) කියා දෙයක් ලොව නැත. එහෙත් තිරිසනුන් අතරේ මෙන්ම මිනිස් සමාජයේ ඇතැම් කොටස් අතරේද සමූහ කාමය (Group Sex) කියා දෙයක් තිබේ.

වනචාරීව විසූ මිනිසා ශිෂ්ටාචාර ගතවූ පසු මෙබඳු ම්ලෙච්ඡ ක්‍රියා අතහැර දැමූ බව නොරහසකි. එහෙත් පසුව එසේ ශිෂ්ටාචාරගත වූ මිනිසා ශිෂ්ටාචාරය තුළ වල්මත් වීමෙන් පසුව යළි ඉපැරණි ම්ලෙච්ඡතාවන් වෙත නැඹුරුවීමේ ප්‍රවණතාවක් දක්නට ලැබේ. ලෝකයේ ඇතැම් ජන සමාජයන්හි උප සංස්කෘතීන් වශයෙන් සමූහ ලිංගික චර්යාවන් වර්ධනයවී ඇත්තේ එහි ප්‍රතිඵලයක් වශයෙනි.

Jacqueline F Valentines day 2015මේ අතර වැලන්ටයින් දිනය මුල්කොට ශ්‍රී ලංකාව තුළ ද පෙම්වතුන් ඒකරාශිකොට වැඩමුළු, සම්මන්ත්‍රණ, විනෝද චාරිකා ආදිය සංවිධානය කිරීමෙන් ප්‍රේමය විෂයෙහි ඔවුන් තුළ සාමුහික කුළුගැන්වීමක් ඇති කිරීමට විවිධ පිරිස් විසින් ගනු ලැබූ උත්සාහයන් රාශියක් මේ වනවිට සමාජ කරළිය හමුවේ නිරාවරණය වෙමින් තිබේ. එය වූ කලී අප රටේ තරුණ පෙළ අතරේ මෙම ‘වැලන්ටයින් මේනියාව’ ප්‍රචලිත කරවීමෙන් එහි සම්පූර්ණ වාසිය ව්‍යාපාරික ප්‍රජාවට හිමිකර දීමේ උප්පරවැට්ටියකි.

ඕනෑම සැමරුමක හෝ උත්සවයක චරිත්‍රවාරිත්‍ර සම්ප්‍රදායයන් ගොඩනැගී ඇත්තේ සමාජ සාරධර්ම පද්ධතිය ද ස්ථාපිත වන ලෙසිනි. ඒ අනුව බලන විට මෙම වැලන්ටයින් දින සැමරුම සම්බන්ධයෙන් ස්ථාපිත වන සමාජ සාරධර්ම පද්ධතිය පිළිබඳව ඇගැයුමක් කළ හැකිද? වැලන්ටයින් දිනය තුළ පෙම්වතා හෝ පෙම්වතියගේ සිත ප්‍රේමය සම්බන්ධයෙන් වඩාත් ශක්තිමත් කළ යුතුය. වැලන්ටයින් දින සැමරුමේ මූලික අරමුණ එය මිස අන් කිසිවක් නොවේ.

මෙම වැලන්ටයින් දින සංකල්පය රෝමානු කතෝලික ආගමට අයත් වූවක් බවට ප්‍රසිද්ධ වී තිබේ. එහෙත් ඒ සම්බන්ධයෙන් විශ්‍ලේෂණය කිරීමේදී පෙනී යන්නේ එහි කිසිදු ශාස්ත්‍රීය පදනමක් නොමැති බවය.

කෙසේ හෝ අදාළ පුරාවෘත්තයට මුල්වනුයේ ක්‍රිස්තුවර්ෂ තුන්වන සියවසේ රෝමයේ ඇති වූ සිද්ධියක් යැයි කියනු ලැබේ.

රෝමානු අධිරාජ්‍යයේ මුල් ශතවර්ෂ හතර තුළ කතෝලිකයන්ට එතරම් නිදහසක් තිබී නැත. එහිදී දිවි පිදූ ප්‍රාණ පරිත්‍යාගීවරුන්ගේ නාමාවලියක (Roman Martyrology) 3 වන ශතවර්ෂයේදී දිවිපිදූ යැයි සැලකෙන ‘වැලන්ටයින්’ නම් නම ඇති ප්‍රාණ පරිත්‍යාගීවරුන් එක් අයකු පිළිබඳව නොව දෙදෙනකු ගැනම කියැවේ. ඉන් පළමුවැන්නා රෝමානු කතෝලික පූජකතුමකු බවත් ඔහු ‘ක්ලව්ඩියස්’ (Claudius) නම් රෝමානු අධිරාජයාගේ පාලන සමයෙහි ප්‍රාණ පරිත්‍යාග කළ බවත් කියැවේ.

ඉන් දෙවන ‘වැලන්ටයින්’ ඉතාලියේ තේර්නි (Terni) නම් පළාතේදී ප්‍රාණ පරිත්‍යාග කළ රෝමානු කතෝලික රදගුරුතුමෙකි. එහෙත්, මේ එක් අයෙකු ද නැතිනම් දෙදෙනකු ද යන වග ඓතිහාසික වශයෙන් මුළුමනින්ම සනාථ කළ නොහැකි බවද සඳහන් වෙයි. ඒ කෙසේ වුවද මේ එක්කෙනා හෝ දෙන්නා පිළිබඳ විශේෂත්වය වන්නේ මොහු හෝ මොවුන් ආදරවන්තයන්ට හෝ විවාහ වන යුවතිපතීන්ට කිසියම් සම්බන්ධයක් ඇති බවට කිසිම තැනක සඳහනක් නොවීමය.

එසේම මුල් ශතවර්ෂවලදී රෝමානු ආගමික උත්සව පැවැත්වූ බවට ඉතිහාසයේ සඳහන්වී ඇත. පෙබරවාරි මාසයේ පවත්වන්නට යෙදුණු මේ උත්සව ලූපර්කාලියා (Lupercalia) නම් විය. එහිදී තරුණ තරුණියන් චාරිත්‍රානුකූලව ඔවුන්ගේ සහකරුවන් සහකාරියන් තෝරාගෙන ඇත. නමුත් එම උත්සව එවකට රෝමානු සමාජයේ සමාජ චාරිත්‍ර මිසක කතෝලික ආගම හා කිසිදු සම්බන්ධයක් තිබී නොමැති බව අතිශයින් පැහැදිලිය. ලූපර්කාලියා පෙබරවාරි මාසයේ පැවැති බවට ඉතිහාසයේ සඳහන් වේ. කුරුළු ලෝකයේ කුරුල්ලන් අතර ප්‍රේමාලිංග ඇතිවන කාලය (Mating Period) ද මෙම මාසයේ යෙදීම ලුපර්කාලියා මේ මාසයේ පැවැත්වීමට හේතුකාරක වන්නට ඇත.

ඒ කෙසේ වෙතත් වර්තමානයේ මෙම ‘වැලන්ටයින්’ දිනය ගැන විවිධ නානාප්‍රකාර වූ රස කතන්දර අන්තර්ජාලයේ වෙබ් අඩවි දහස් ගණනක සඳහන් වේ. ඒ සියල්ල ව්‍යාපාරික උවමනාවන් මත බොරුවට ගෙතූ ඒවා බව ඉතා පැහැදිලිය. එහෙත් ඒ වෙබ් අඩවියක කිසිදු පිළිගත හැකි මූලාශ්‍රයක් දක්වා නොතිබීම ද අපගේ විශේෂ අවධානයට යොමු විය යුතුය.

අයර්ලන්තයේ ඩබ්ලින් (Dublin) නුවර සහ ඉතාලියේ තේර්නි (Terni) ප්‍රදේශයේ ‘වැලන්ටයින්’ මුනිතුමා නමින් දේවස්ථාන ඇති බවටත් ඩබ්ලින් නුවර පිහිටි දේවස්ථානයේ 1835 දී ඔහුගේ භෂ්මාවශේෂ (Relic) තැන්පත් කළ බවටත් එක්තරා සඳහනක් ඇත. එහෙත් එහි ඇත්ත කතාව මෙලෙසිනි.

1962-1965 දී පවත්වන්නට යෙදුණු 2 වැනි වතිකානු සමුළුවෙන් පසුව කතෝලික සභාව තුළ විශාල පෙරැලියක් සිදුවිය. එහිදී සාන්තුවරයන්ගේ නාමාවලිය (Santoral Calendar of the Catholic Church) සංශෝධනය කෙරිණ. ඒ සමගම එවකට සිටි සාන්තුවරයන්ගේ ඓතිහාසික දත්ත පිළිබඳව සම්පූර්ණ විමර්ශනයක්ද කරන ලදී. එහිදී හෙළිවූයේද ‘වැලන්ටයින්’ නමින් සාන්තුවරයකු මෙම නාමාලියේ නොමැති බවය. ඒ අනුව දැන් මෙම වැලන්ටයින් නම් සාන්තුවරයා හිඳිනුයේ කූට ව්‍යාපාරික නාමාවලියේ මිස කතෝලික සාන්තුවරයන්ගේ නාමාවලියේ නොවන බව පැහැදිලිය.

එසේම සෑම දිනයක් සඳහාම දිව්‍ය පූජාවේ ජන වන්දනාවට (Liturgy) අවශ්‍ය උපදෙස් අඩංගු ‍පොතක් කතෝලික සභාව විසින් නිකුත් කරයි. එම ‍පොත (Ordo) මුළු විශ්ව සමාජයටමය. එහි පෙබරවාරි 14 වන දිනට නියමිතව ඇත්තේ ශාන්ත සිරිල් සහ ශාන්ත මෙතෝදියස් යන නම් ඇති තාපස රදගුරුවරුන්ගේ මංගල්‍යයයි. එබැවින් විශේෂයෙන්ම කිව යුත්තේ වර්තමාන ජන වන්දනා ලිත තුළද ‘වැලන්ටයින්’ නම් මුනිවරයකු නැති බව පමණි.

එසේ නම් මේ සමාජයේ මුල්බැසගෙන ඇති විවිධ වූ ‘වැලන්ටයින්’ සම්බන්ධ කතාන්දර හුදු පුරාණොක්ති (Myths) පමණක් බව අතිශයින් පැහැදිලිය. ඒ අනුව මෙම වැලන්ටයින්ගේ දිනය පිළිබඳව සිහිනුවණින් බලන කවර කෙනෙකුට හෝ පෙනී යන්නේ මෙය අප ජන සමාජය සංස්කෘතිකමය, සදාචාරාත්මක සේම පාරිභෝජනමය වශයෙන්ද වල්මත් කිරීමට දරන කූට ජාවාරම්කරුවන්ගේ උප්පරවැට්ටියක් මත සිදුකෙරෙන ව්‍යාජ කුළුගැන්වීමක් බවය. ඒ කෙසේ හෝ එම ව්‍යාපාරික උගු‍ලේ නොවැටුණු අප රටේ ෆේස්බුක් ප්‍රජාව මුල්කොටගත් විමර්ශනශීලී තරුණ පරපුර වෙත වැඩිහිටි පරපුරේ ප්‍රණාමය හිමිවිය යුතුය.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.