20 March, 2019

Blog

අපේ උත්තරීතර නීතිය උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක​ වීමට පාර්ලිමේන්තුවට ඇති ව්‍යවස්ථාමය වගකීම

නිහාල් ජයවික්‍ර​ම

ආචාර්ය නිහාල් ජයවික්‍ර​ම

‘‘ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ ද, මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් තත්කාලයේ බලපවත්නා නීතිය ඇතුළු යම් ලිඛිත නීතියක් යටතේ ද, ස්වකීය බලතල, කාර්ය සහ කර්තව්‍ය යථා පරිදි ක‍්‍රියාත්මක කිරීම සහ යථා පරිදි ඉටු කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිව යුත්තේය’’ යනුවෙන් අපේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 33 (අ) වගන්තියේ සඳහන් වෙයි. එබැවින්, ජනාධිපතිවරයාගේ ක‍්‍රියාවන් සම්බන්ධයෙන්, විශේෂයෙන් තමන්ගේ බලතලවලට පිටතින් ඔහු කටයුතු කර ඇති බවක් පෙනෙන අවස්ථාවක එම ක‍්‍රියාවන් සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගෙන් කරුණු දැක්වීමක් ඉල්ලා සිටීමට පාර්ලිමේන්තුවට ව්‍යවස්ථාමය වගකීමක් ඇත්තේය. එසේ කිරීමෙන් අනතුරුව, පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයක් හරහා ඔහුට දෝෂාරෝපණය කිරීමට හෝ ඔහුගේ ඉල්ලා අස්වීමක් ඉල්ලා සිටීමට පාර්ලිමේන්තුවට පිළිවන් වන්නේය.

ආත්ම ගෞරවයක් ඇති ජනාධිපතිවරයෙකු, පාර්ලිමේන්තුව සම්මත කර ගත් එවැනි යෝජනාවකට ප‍්‍රතිචාර දැක්විය යුත්තේ කෙසේද යන්න දන්නවා ඇත. තව ද, චේතනාන්විතව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීම හෝ රාජද්‍රෝහීත්වය, අල්ලස, දුෂ්චර්යාව, දූෂණය හෝ සදාචාර විරෝධය පිළිබඳ වරදකට ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ජනාධිපතිවරයෙකු වරදකරුවකු කිරීමෙන් පසු පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් ඉල්ලා සිටින්නේ නම්, ජනාධිපතිවරයෙකු එම ධුරයෙන් පහ කිරීමට පාර්ලිමේන්තුවට බලය ඇත්තේය.

ගිය මාසයේ, ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් හත් දෙනෙකුගෙන් සමන්විත විනිසුරු මඬුල්ලක්, ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නියෝගයක් ප‍්‍රකාශයට පත්කිරීමෙන් ව්‍යවස්ථාව උල්ලංඝණය කොට ඇති බවට ඒකමතිකව තීන්දු කෙළේය. එය, දෝෂාභියෝගයක් සඳහා ප‍්‍රමාණවත් වරදකි. ඒ සම්බන්ධයෙන් වන ව්‍යවස්ථාමය පැනවීම ඉතා සරළ භාෂාවෙන් සටහන් කොට ඇති නිසාම, ‘තමා නීතිඥයෙකු නොවන’ බවටත්, තමා කටයුතු කෙළේ ‘කීර්තිමත් ජනාධිපති නීතිඥවරුන්ගේ උපදෙස් පරිදි’ බවටත් ජනාධිපතිවරයා කියා සිටි නිදහසට කාරණය පිළිගත නොහැක්කේය. එය ව්‍යවස්ථාවේ 70 (1) දෙවැනි ෙඡ්දයේ සඳහන් වන්නේ මෙසේ ය: ‘‘පාර්ලිමේන්තුවේ ප‍්‍රථම රැුස්වීම සඳහා නියම කර ගනු ලැබූ දිනයෙන් අවුරුදු හතරක් සහ මාස හයක කාලයක් අවසන් වන තෙක් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නොකළ යුත්තේය.’’ එබැවින්, ඒ සරළ වාක්‍යයේ තේරුම ජනාධිපතිවරයාට වටහාගත නොහැකි වුයේ කෙසේද යන්න විමසා සිටීමට පාර්ලිමේන්තුවට අයිතිය ඇත්තේය.

ජනාධිපතිවරයා විසින් රටේ ව්‍යවස්ථාව චේතනාන්විතවම උල්ලංඝණය කිරීමේ ක‍්‍රියාවලිය පටන් ගත්තේ ඔක්තෝබරයේ එක් සිකුරාදාක අගමැති රනිල් වික‍්‍රමසිංහව එම ධුරයෙන් පහ කිරීමට කටයුතු කිරීමෙනි. ඊට මාස කිහිපයකට කලින් මේ අගමැතිවරයා පාර්ලිමේන්තුවේ බහුතරයකගේ විශ්වාසය දිනා සිටි අයෙකි. අගමැතිවරයා ඉවත් කිරීමේ බලයක් අපේ ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට පවරා දී නැත. කලින් ජනාධිපතිවරයාට තිබුණු එම බලය 2015 අප්‍රේල් මාසයේ සම්මත කර ගත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් අහෝසි කොට තිබුණි. ඒ ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවේ ද ජනාධිපතිවරයාගේම ආණ්ඩුව විසිනි. එබැවින්, එකී ව්‍යවස්ථා විරෝධී ක‍්‍රියාව සිදු කරන ලද්දේ මතකයේ අතපසු වීමක් නිසා ද, නැත්නම් හිතාමතාම තවත් ව්‍යවස්ථා විරෝධී අවශ්‍යතාවක් සපුරා ගැනීම සඳහා ද යන්න ජනාධිපතිවරයාගෙන් විමසා සිටීමට පාර්ලිමේන්තුවට බලය ඇත්තේය.

ජනාධිපතිවරයාගේ මේ ව්‍යවස්ථා විරෝධී ගමන, මහින්ද රාජපක්ෂව අගමැති තනතුරේ පිහිටුවීමෙන් තවදුරටත් ඉදිරියට ඇදුණි. අංක 225 දක්වා ගණන් කළ හැකි ඕනෑම පුද්ගලයෙකුට, මහින්ද රාජපක්ෂට පක්ෂව එම ප‍්‍රමාණයෙන් භාගයකට වැඩි සංඛ්‍යාවක් පාර්ලිමේන්තුවේ නොතිබුණු බව දැන ගැනීමට පුළුවන් කම තිබුණි. එබැවින්, ව්‍යවස්ථාවේ ප‍්‍රතිපාදනවලට අනුව, රාජපක්ෂ යනු ‘පාර්ලිමේන්තුවේ වැඩිම විශ්වාසය දිනා ගත හැකි පුද්ගලයා’ බව ජනාධිපතිවරයා තීරණය කෙළේ කෙසේද යන්න ඔහුගෙන් අසා සිටීමේ බලය පාර්ලිමේන්තුවට තිබේ.

ජනාධිපතිවරයාගේ ඊළඟ ව්‍යවස්ථා විරෝධී ක‍්‍රියාව වුණේ පාර්ලිමේන්තුව වාරාවසාන කිරීමයි. එසේ කිරීමට ඇත්තෙන්ම ඔහුට බලය තිබේ. එහෙත් එසේ කළ යුත්තේ අගමැතිවරයාගේ හෝ කතානායකවරයාගේ උපදෙස් පරිදි බවට සම්ප‍්‍රදායක් තිබේ. සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුවක් එසේ වාරාවසාන කරන්නේ, මන්ත‍්‍රීවරුන්ට විරාමයක් ලබා දීමට හෝ ආණ්ඩුවේ කටයුතු පවත්වාගෙන යාම පහසු කරලීමට ය. එබැවින් තමාගේ තනි කැමැත්තට ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව මේ කියන අවස්ථාවේ වාරාවසාන කෙළේ, මහින්ද රාජපක්ෂට තමාගේ බහුතරය ‘සපයා ගැනීම’ සඳහා කාලය ලබා දීමේ සැඟවුණු අරමුණින් ද යන්න ජනාධිපතිවරයාගෙන් විමසා සිටීමේ බලය පාර්ලිමේන්තුවට තිබේ.

මහින්ද රාජපක්ෂට අවශ්‍ය බහුතරය සපයා ගැනීමට ඔහුට නොහැකි වුණේ රුපියල් මිලියන 500 ක් වැනි අති විශාල මුදලක් ඒ සඳහා මන්ත‍්‍රීවරුන් විසින් ඉල්ලා සිටීම නිසා යැයි ඊට පසුව රූපවාහිනියේ කළ කතාවකදී ජනාධිපතිවරයා කියා සිටියේය. එබැවින්, එවැනි අපරාධ ක‍්‍රියාවක් දියත් වෙමින් සිටි බවට දැනුවත්ව සිටීමට අමතරව, එම ක‍්‍රියාවට සෘජුව හෝ වක‍්‍රව තමනුත් සහභාගී වී ද යන්න ජනාධිපතිවරයාගෙන් විමසා සිටීමේ අයිතියක් පාර්ලිමේන්තුවට තිබේ. එසේ කර ඇත්නම් එය, ‘අල්ලසක්, දුෂ්ක‍්‍රියාවක් හෝ දූෂණයක්’ වන්නේය. එයින් ඕනෑම එකක්, ජනාධිපතිවරයාට එරෙහි දෝෂාභියෝගයක් ගෙන ඒමට ප‍්‍රමාණවත් ය.

මහින්ද රාජපක්ෂගේ ‘ආණ්ඩුව’ කෙරෙහි වන විශ්වාසභංග යෝජනා තුනක්ම පාර්ලිමේන්තුව විසින් සම්මත කරගෙන සිටියදී පවා ජනාධිපතිවරයා ඒවා නොතකා සිටීම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 48 (2) වගන්තිය උල්ලංඝණය කිරීමකි. ඒ වගන්තිය මෙසේ ය: ‘‘ආණ්ඩුව කෙරෙහි විශ්වාස භංග යෝජනාවක් පාර්ලිමේන්තුව සම්මත කළහොත් අමාත්‍ය මණ්ඩලය විසිරෙන්නේය.’’ ඉහත කී පරිදි විශ්වාසභංග තුනක් සම්මත කර ගැනීමෙන් පසුවත් එම අමාත්‍ය මණ්ඩලය ඉවත් නොකර සිටීමෙන් නොනැවතුණු ඔහු, පාර්ලිමේන්තුව මගින් සම්මත කර ගන්නා ලද එකී විශ්වාභංග යෝජනා තුළ අඩංගු වූ තමා පිළිබඳ ප‍්‍රශංසාත්මක නොවන යම් වාක්‍යයක් ඉවත් කර ගන්නැයි ද ඉල්ලා සිටියේය. පාර්ලිමේන්තුව සතු ව්‍යවස්ථාමය බලයක් ජනාධිපතිවරයා විසින් එසේ අභියෝගයට ලක්කිරීම පාර්ලිමේන්තුව ඉවසා සිටින්නේ ද?

ඉන් පසුව වාර්තා වු ආකාරයට, අගමැතිවරයා විසින් යෝජනා කරන ලද ඇතැම් පුද්ගලයන් අමාත්‍ය පදවිවලට පත්කිරීම ජනාධිපතිවරයා විසින් ප‍්‍රතික්ෂේප කරනු ලැබීම තවත් ව්‍යවස්ථා උල්ලංඝණයකි. ඒ කාරණයේදී අගමැතිවරයාගේ උපදෙස් පිට කටයුතු කිරීමට 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ ජනාධිපතිවරයා බැඳී සිටී. ඇත්ත වශයෙන්ම, අමාත්‍ය මණ්ඩලය පිළිබඳ කාරණයේදී ජනාධිපතිවරයාට ඇති එකම කර්තව්‍යය වන්නේ, අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව තීරණය කිරීමත්, අමාත්‍යාංශ සතු විෂයයන් සහ කර්තව්‍යයන් වෙන් කිරීමත් පමණි. එසේ නිශ්චය කරන ලද අමාත්‍යාංශ සඳහා පත්කළ යුත්තේ කවුරුන් ද යන්න තීරණය කිරීම මුළුමණින්ම අගමැතිවරයාගේ කාර්යයකි. එබැවින්, අගමැතිවරයා යෝජනා කළ පුද්ගලයන් ඇමතිවරුන් වශයෙන් පත්කිරීම ජනාධිපතිවරයා ප‍්‍රතික්ෂේප කෙළේ කුමන ව්‍යවස්ථාමය බලයක් මත පදනම්වදැ යි විමසා සිටීමේ අයිතියක් පාර්ලිමේන්තුවට තිබේ.

අපේ ව්‍යවස්ථාව යටතේ, අමාත්‍යවරයෙකු විය හැක්කේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකුට පමණි. ආණ්ඩුවේ සෑම විෂයයක්මත්, කර්තව්‍යයක්මත් එකී අමාත්‍යවරුන්ට පැවරිය යුතුව තිබේ. කෙසේ වෙතත්, මීට පෙර නොවූ විරූ විකාර සහගත සංක‍්‍රාන්ති වගන්තියක් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් කොට තිබේ. ඒ අනුව, ‘‘ආරක්ෂාව, මහවැලි සංවර්ධනය සහ පරිසරයට’’ අදාළ විෂයයන් සහ කර්තව්‍යයන් තමන්ටම පවරා ගැනීමට මෛත‍්‍රීපාල සිරිසේනට අවසර පවරා තිබේ. ඔහු දැන් පාවිච්චි කරන්නේ ඒ අවසරයයි. එහෙත් ඉනුත් එහාට යමින් ඔහු මේ වන විට ‘පොලීසිය’ සහ ‘රජයේ මුද්‍රණාලයත්’ තමන් භාරයට ගෙන, ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරාගෙන තිබේ. පොලීසියේ කාර්යය වන්නේ අභ්‍යන්තර ආරක්ෂාව සහ අපරාධ පරීක්ෂණයි. ආරක්ෂක යන්නෙන් අදහස් වන්නේ, බාහිර බලවේගවලින් රාජ්‍යයේ ආරක්ෂාව සලසාලීමයි.

ඊටත් වඩා, රාජ්‍ය ආරක්ෂාව සමග රජයේ මුද්‍රණාලය සම්බන්ධ වන්නේ කෙසේදැ යි දන්නවා ඇත්තේ ජනාධිපතිවරයාම පමණි. එබැවින්, පාර්ලිමේන්තුවේ සාමාජිකයෙකු වන ඇමතිවරයෙකුට පැවරිය යුතු යැයි ව්‍යවස්ථාවේ පැහැදිළිවම සඳහන් වන විෂයයන් සහ කර්තව්‍යයන් තමන්ගේ භාරයේ තබා ගැනීම ගැනීම ගැන ඔහුට එරෙහිව පියවර ගැනීමට පාර්ලිමේන්තුවට බලය ඇත්තේය.

ව්‍යවස්ථාවට අනුව ආණ්ඩුවේ නායකයා වන්නේ ජනාධිපතිවරයා ය. ඔහුගේම අභිමතය අනුව දැන් මෛත‍්‍රීපාල සිරිසේන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේත් නායකයා ය. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ/එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජිකයෙකු යැයි කියන මහින්ද රාජපක්ෂ දැන් විපක්ෂයේ ද නායකයා යැයි කියැවේ. එබැවින්, ආණ්ඩුවේ නායකත්වය සහ විපක්ෂයේ නායකත්වය ඔහුට එක විට දැරිය හැක්කේ කෙසේද යන්නත්, ඒ භූමිකා දෙකේ එක විට කටයුතු කිරීම ව්‍යවස්ථාවේ මූලික ප‍්‍රජාතන්ත‍්‍රීය පදනම උල්ලංඝණය කිරීමක් නොවන්නේද යන්නත්, ජනාධිපතිවරයාගෙන් අසා සිටීමට පාර්ලිමේන්තුවට හැකියාව ඇත්තේය.

ශ‍්‍රී ලංකා ජනරජය ජනාධිපතිවරයා විසින් පෙර නොවූ විරූ අරාජකත්වයකට ඇද හෙලූ මාස දෙකක පමණ කාලය තුළ අතිශය ධෛර්ය සම්පන්නව, ගර්වාන්විතව සහ මුහුකුරා ගිය පුද්ගලයෙකු ලෙසින් රටේ යෝනිසෝමනසිකාරය ඇති කැරැුවීම සඳහා උර දුන්නේ කතානායක කරූ ජයසූරියයි. එබැවින්, අපේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව නැවත නැවතත් චේතනාන්විතව උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව ඉදිරියට පැමිණ කරුණු දක්වන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීම, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 33 (අ) වගන්තිය යටතේ කතානායකවරයා වෙත පැවරෙන ව්‍යවස්ථාමය වගකීමකි.

*2019 ජනවාරි 6 වැනි දා ‘කලම්බු ටෙලිග්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ Violating Our Supreme Law – Parliament’s Constitutional Duty To Act නැමැති ලිපියේ සිංහල පරිවර්තනය යහපාලනය ලංකා

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 300 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically shut off on articles after 10 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.