Colombo Telegraph

ජවිපෙ බලාපොරොත්තු සුන්වීම, චින්තන විප්ලවය සහ මැතිවරණය

නිහාල් පීරිස්

නිහාල් පීරිස්

මහා මැතිවරණයේ ප‍්‍රතිඵල නිකුත් වීමෙන් පසු කතාබහට ලක් වුණු කාරණා රාශියක් තිබුණා. එ් අතර ප‍්‍රධාන කාරණාවක් තමයි ජනතා විමුක්ති පෙරමුණ ලබාගත්තු ප‍්‍රතිඵලය. ජවිපෙ මෙවර මැතිවරණයේදී මීට වඩා ආසන සංඛ්‍යාවක් ගනියි කියන එකයි දේශපාලන වශයෙන් සංවේදී බවක් දැක් වූ බොහෝ දෙනෙකුගේ අදහස වුණේ. පක්‍ෂයේ නායක අනුර කුමාර දිසානායක පවා ඔවුන්ගේ පශ්චාත් මැතිවරණ මාධ්‍ය හමුවේදී ප‍්‍රකාශ කළේ ප‍්‍රතිඵලය ගැන සෑහීමකට පත් නොවන බවයි.

ජවිපෙට මෙවැනි ප‍්‍රතිඵලයක් අත් වුණේ ඇයි කියන එක ගැන විවිධ විග‍්‍රහයන් තියෙන්න පුලූවන්. ඊට බලපෑ හේතු අතරින් එක් හේතුවක් වන්නේ මෑත කාලයේදී ජවිපෙ විසින් කරන ලද කාර්යභාරය හා එක්සත් ජාතික පක්‍ෂය විසින් කරන ලද කාර්යභාරය අතර ලොකු වෙනසක් සමාජයේ සාමාන්‍ය ඡන්දදායකයින් වැඩි පිරිසකට නොදැනුණු එක කියලයි මම හිතන්නෙ.

ජවිපෙ නිතරම කියන්නෙ දූෂිත නොවූ දේශපාලනඥයින් ඉන්න පක්‍ෂය තමන්ගෙ පක්‍ෂය කියලයි. එ් වගේම පාර්ලිමේන්තුවේ සැබෑ විපක්‍ෂයේ කාර්යභාරය ඉටු කරන පක්‍ෂය තම පක්‍ෂය කියලයි. තමුන්ගේ අනන්‍යතාව සලකුණු කරන විශේෂ සාධක හැටියට ඔවුන් සමාජගත කරන්න හැදුවෙ මේ වගේ කාරණායි.

නමුත්, සාමාන්‍ය, බහුතර ඡන්දදායකයාගේ දෘශ්ටිකෝණයෙන් බැලූවොත් පසුගිය කාලයේ මේ භූමිකාව ඉටු කළේ ජවිපෙ විතරක් නෙවෙයි. එජාපයේ මන්තී‍්‍රවරුන් බොහෝ පිරිසකුත් මේ භූමිකාව ඉටු කළා කියන්න පුලූවන්. පැවති ආණ්ඩුවේ ඇතැම් ජනතා ද්‍රෝහී කටයුතුවලට එරෙහිව කි‍්‍රයා කළ, සාපේක්‍ෂ වශයෙන් අදූෂිත මන්තී‍්‍රවරුන් රැුසක් එජාපයේත් සිටියා. සුජීව සේනසිංහ, හරීන් ප‍්‍රනාන්දු, විජයදාස රාජපක්‍ෂ, අජිත් පී පෙරේරා,ඉරාන් වික‍්‍රමරත්න, හර්ෂ ද සිල්වා වගේ (ජවිපෙ නායකයින්ට වඩා ජනපි‍්‍රය අර්ථයෙන් උගත්, පොහොසත්, ඉහළ සමාජ තත්ත්වයක් ඇති සහ, එ් නිසාම ආකර්ශණීය නායකයින්ගේ) දිග ලැයිස්තුවක් කියන්න පුලූවන්. අතුරලියේ රතන හිමි, චම්පික රණවක, අර්ජුන රණතුංග වැනි චරිතත් එක්සත් ජාතික පෙරමුණ සමග සම්බන්ධ වීම නිසා එ් ආකර්ශණීය බව තවත් වැඩි වුණා කියන්න පුලූවන්. එ් නිසා සාමාන්‍ය ඡන්දදායකයාගේ සිත තුළ ජවිපෙ සම්බන්ධයෙන්, ජවිපෙ නායකයින් සිතන තරම් විශේෂත්වයක් ඇති වෙන්නෙ නැහැ. එජාපය හා ජවිපෙ අතර එ් පැත්තෙන් ලොකු වෙනසක් සාමාන්‍ය ඡුන්දදායකයාට නැහැ. (මේ දෙපිරිසේ ආර්ථික දර්ශණය වගේ කාරණාවලදී වෙනසක් තියෙන්න පුලූවන් වුණත් ජවිපෙ තමන්ගේ ආර්ථික දර්ශණය ඡන්දදායකයාට වදින ආකාරයෙන් සමාජගත කළා කියල කියන්න අමාරුයි)

මේ පසුබිම තුළ එජාපයයි, ජවිපෙයි ගත්තම සාමාන්‍ය ඡන්දදායකයාට ලොකු වෙනසක් පේන්නෙ නැහැ. එ් තත්ත්වය තුළ ඡන්දදායකයා වැඩියෙන් තෝරගන්නෙ එජාප ය. ජවිපෙ නෙවෙයි. මොකද රටක් පාලනය කරන්න පුලූවන් ශක්තිය, එ් වගේම ආකර්ශණීය චරිත එජාපයේ වැඩියි කියල ඔවුන් සිතන නිසා. එජාපය හා ජවිපෙ සන්සන්දනය කරන කොට, ජනපි‍්‍රය අර්ථයෙන් ගත්තම, එජාපයේ ප‍්‍රභාශ්වර බව, ගාම්භීරත්වය වැඩි බවක් දැනෙන නිසා. ජවිපෙ වගේ පක්‍ෂයකට වඩා උගත්, පොහොසත්, ඉහළ සමාජ තත්ත්වයක් සහිත නායකයින් රැුසක් එජාපයේ සිටින නිසා. ආණ්ඩු බලය හොබවමින් රටට සේවය කිරීම පිලිබඳ ‘ප‍්‍රායෝගික’ ඉතිහාසයක් එජාපය සතුව පවතින නිසා. සම්ප‍්‍රදායික ඡුන්දදායකයා තවමත් මේ සාධකවලට සලකන ගතිය වැඩියි. එ් නිසා, ජවිපෙ රැුඩිකල්බව ‘අලූත් එපාපයේ’ රැුඩිකල් බව ඇතුළෙ ගිලිල සැඟවිලා ගියාද කියන සැකය මතු කරන්න පුලූවන් කියලයි මට හිතෙන්නෙ. ජවිපෙ මුහුණ දුන් මේ අභියෝගාත්මක තත්ත්වය සමහර විට ඉදිරියේදී තව උග‍්‍රවෙන්නත් පුලූවන්. එක්සත් ජාතික පෙරමුණ ජාතික ආණ්ඩුවක් හරහා යහපාලනය පිලිබඳ ඔවුන් කියන සැලසුම් කි‍්‍රයාත්මක කළොත් , ආර්ථිකය පැත්තෙන් ජනතාව මත ලොකු බරක් නොපැටවුවොත් ජවිපෙට තනි පක්‍ෂයක් ලෙස මීට වඩා වර්ධනය වෙන එක ගැටළුවක් වෙන්න පුලූවන්.

එ් වගේම ජවිපෙට ඡන්දය දුන්නත් ඔවුන්ට බලයක් පිහිටුවන්න බැරි බව බොහෝ ඡන්දදායකයො හිතන කාරණයක්. මේ ආකල්පය නිසා එවැනි ඡුන්දදායකයින් තමන්ගේ ඡන්දයේ ඵලදායිතාව වැඩි කරගන්න කල්පනා කරන්නෙ එ් ඡන්දයත් එජාපයට දීමෙන් වෙන්න පුලූවන්. ජවිපෙ ගැන ගෞරවයක් තිබුණත් ඔවුන්ට ඡන්දය දී තමුන්ගෙ ඡන්දය අපතේ යවා ගන්න සාමාන්‍ය ඡන්දදායකයා කැමති නැති වෙන්නත් පුලූවන්. කලින් කිව්ව වගේ ජවිපෙ සහ එජාප අතර කි‍්‍රයාකාරිත්වයේ ලොකු වෙනසක් සාමාන්‍ය ඡුන්දදායකයා නොදකින තත්ත්වයක් තුළ ජවිපෙ අත ඇරල එජාපයට ඡන්දය දීම ඔහුට/ඇයට ලොකු ගැටළුවක් වෙන්නෙ නැහැ.

ඉහත කී මාධ්‍ය හමුවේදී ටිල්වින් සිල්වා සහ අනුර දිසානායක මතු කරපු තව කාරණයක් තමයි මිනිසුන් හිතන විදිය වෙනස් කරනකං ජවිපෙ වගේ පක්‍ෂයකට ඉදිරියට යන්න අමාරුයි කියන එක. එයින් අවධාරණය කරන්නෙ චින්තන විප්ලවයක අවශ්‍යතාව.

ජවිපෙ අදහස් කරන චින්තන විප්ලවයමද කියන්න බැරි වුණත් සමහරුන් හිතන විදියට දැන් ලංකාවෙ චින්තන විප්ලවයක් ආරම්භ වෙලයි තියෙන්නෙ. ප‍්‍රධාන වශයෙන්ම යහපාලනය කියන අරමුණ දිශාවට. එක්සත් ජාතික පෙරමුණේ ජයග‍්‍රහණය පිටුපස තියෙන්නෙ මේ විප්ලවය කියන තර්කයත් ඉදිරිපත් වෙනව. මම නම් හිතන්නෙ ලාංකීය ඡන්දදායකයා තුළ ඔය කියන තරම් චින්තන විප්ලවයක් සිද්ධ වෙලා නැහැ කියන එකයි.

එක්සත් ජාතික පෙරමුණේ ජයග‍්‍රහණයට ඡන්දය දීපු පිරිස අතරෙ අර කලින් කිව්ව වගේ ‘චින්තන විප්ලවය’ නිසා ඡුන්දය දීපු පිරිසකුත් ඉන්නව තමයි. නමුත් එජාපෙ ජයග‍්‍රහණය පිටුපස ඉන්න වැඩි පිරිසක් සම්ප‍්‍රදායිකව කවදත් එජාපයට ඡන්දය දෙන පිරිස කියලයි මට හිතෙන්නෙ. (එජාපය ජයගත්තු ප‍්‍රදේශ වැඩි හරියක් සම්ප‍්‍රදායික එජාප ප‍්‍රදේශ වීමෙන් මේ බව තවත් පැහැදිලි වෙනව.) මේ ඡන්දදායක පිරිස පසුගිය වසර ගණනාවක් තිස්සෙ හිටියෙ නිද්‍රාශීලීවයි. ඔවුන් මැතිවරණවලදී ඡන්දය දෙන්න ඡන්දපොලට ගියේ සුළු වශයෙන්. නමුත් මෙවර මෙම සම්ප‍්‍රදායික එජාප ඡන්ද පොදිය ඡන්ද පොලට ගෙනියන්න පුලූවන් වුණා. මේකට හේතුව චින්තන විප්ලවයමද, නැතිනම් එජාපයට දිනන්න පුලූවන් කියන මානසිකත්වයක් ඔවුන් තුළ ඇති වීම පමණක්ද කියල විමසල බලන්න ඕන. චින්තන විප්ලවය නිසා ඡන්දය දීමයි, හුදෙක් ‘අපේ පක්‍ෂයට දිනන්න පුලූවන්’ කියන මානසිකත්වය නිසා ඡන්දය දීමයි කියන්නෙ දෙකක්. පසුගිය වකවානුවල විවිධ චෝදනාවන්ට ලක්වෙච්චි, එච්චරම පිරිසිදුයි කියන්න බැරි සමහරුන්ටත් මනාප දීල පාර්ලිමේන්තුවට යවල තියෙන්නෙ එ් නිසයි. ඉදිරියේදී පවා එජාපයේ සමහරුන් දූෂිතයින් බවට පත්වුණත් මේ ‘කැපුවත් කොළ’ ඡන්දදායකයින් ඔවුන්ට දිගටම ඡන්දය දෙන්නත් පුලූවන්!

අනික සම්ප‍්‍රදායික එජාප ප‍්‍රදේශ ඇරුණාම අනෙක් කලාපවල කැපී පෙනෙන ජයක් අත් කරගන්න එජාපයට නොහැකි වීමත් මෙතැනදි මීට අදාළව සැලකිල්ලට හසුවිය යුතු කාරණයක්.

ලංකාවෙ ඡුන්දදායකයා තුළ ඔය කියන තරම් චින්තන විප්ලවයක් සිදුවෙලා නැහැ කියන එක පෙන්නුම් කරන තව සාධකයක් තමයි එක්සත් ජනතා නිදහස් සන්ධානය ලබපු ඡන්ද ප‍්‍රමාණය හා වැඩිපුර මනාප ලබපු ඇතැමුන්ගේ ස්වභාවය.

පසුගිය කාලයේ මහින්ද රාජපක්‍ෂ ප‍්‍රමූඛ සන්ධාන ආණ්ඩුවට එල්ල වූ දූෂණ වංචා පිලිබඳ චෝදනා, සදාචාරමය පරිහානිය පිලිබඳ චෝදනා, ජාතික ආර්ථිකය ගසා කෑම පිලිබඳ චෝදනා, ජාතිවාදය වැපිරීම පිලිබඳ චෝදනා වැනි ප‍්‍රධාන පෙලේ චෝදනා විශාල ඡන්දදායකයින් පිරිසකට එතරම් අදාළ වී නැති බවයි පේන්නෙ. ඇතැමුන් සිතූ තරම් පරාජයක් සන්ධාන පාර්ශ්වයට අත්ව නොතිබීම තුළ පෙන්නුම් කරන්නේ එයයි. දූෂණ වංචා සිදු කළත්, ජාතියේ, රටේ ආරක්‍ෂාව සහතික කරනව නම්, ආර්ථික සංවර්ධනය හරහා තමන්ගේ ගමට, ප‍්‍රදේශයට දියුණුවක් ගේනව නම්, රැුකී රක්‍ෂා සුරක්‍ෂිත කරනව නම්, යුද්ධය අවසන් කළා නම්, ඔවුන්ට මොන චෝදනා එල්ල වුණත් අපිට ප‍්‍රශ්ණයක් නෑ කියල විශාල පිරිසක් තවමත් හිතන පාටයි. එ් වගේම දූෂණ, වංචා චෝදනා ලබපු, එතරම් පිරිසිදුයි කියල කියන්න බැරි, පසුගිය ආණ්ඩුවේ බොහෝ දෙනෙකු මේ පාරත් පාර්ලිමේන්තුවට යවන්න ජනතාව පසුබට වෙලා නැත්තෙ එ් නිසා නෙවෙයි නම් මොකකක් නිසාද?

හැබැයි අනෙක් අතට මහින්ද රාජපක්‍ෂ ප‍්‍රමූඛ සන්ධාන පාර්ශ්වයට එල්ල කරපු චෝදනා නැමැති මෙහෙයුම ඡන්දදායකයාගේ සිතට තියුණු ලෙස එ්ත්තු යන ආකාරයෙන් ඉදිරියට ගෙනියන්න ඉහත කී ‘විප්ලවවාදී බලවේගය’ සමත් වුණා කියල කියන්නත් බැහැ. ඔවුන් කරපු ‘චෝදනා බොරු මඩගැසීම් පමණයි’ යනුවෙන් සන්ධාන පාර්ශ්වය අල්ලපු පළිහ පසාරු කරගෙන යන තරම් ශක්තිමත් හී පහරක් විදින්න විප්ලවවාදී පාර්ශ්වයට බැරි වුණා කියන කාරණයත් පිලිගන්න වෙනව. එ් වගේම සමහරු දූෂිතයො, අපරාධකාරයො කියල කිව්වත් ඔවුන් ගමේ ජනතාවට කිට්ටු, ගමට වැඩක් කරපු අය වීම නිසාත් ඔවුන්ව පාර්ලිමේන්තුවට යවන්න හිතුව වෙන්න පුලූවන්.

මේ සියල්ල තුළින් කියවෙන්නෙ තවමත් ඡන්දය දීම කියන කටයුත්ත සමාජයේ සැලකිය යුතු පිරිසකට තමුන්ගේ පෞද්ගලික අභිලාෂ සහ ගෝත‍්‍රවාදී ඇබ්බැහිවීම් (පරම්පරාවෙන් ශී‍්‍ර ලංකා/ පරම්පරාවෙන් යූ එන් පී) කියන මට්ටමෙන් උඩට ගන්න බැරි වෙලා කියන එකයි. ඡන්දය දීම කියන අතිශය වැදගත් කටයුත්ත මේ විදියට ‘පෞද්ගලිකකරණය’ වීමෙන් හා ‘ගෝත‍්‍රකරණය’ වීමෙන් මුදාගෙන ‘ජාතිකකරණය’ හා ‘සමාජකරණය’ කරන්න තවම ලොකු වැඩ කොටසක් ඉතිරිව තිබෙන බවයි පේන්නෙ. ජවිපෙ වැනි පක්‍ෂයකට අත්වන පරාජයන් පවා අපිට, කිසියම් ප‍්‍රමාණයකට, පැහැදිලි කරන්න වෙන්නෙ මේ ‘පෞද්ගලිකකරණය/ ගෝත‍්‍රකරණය’ හා ‘ජාතිකකරණය’ අතර තියෙන දැවැන්ත පරතරය ඇතුළෙයි.

ඡන්දය දීම ඇතුළු දේශපාලන කටයුතු ගැන හිතන්න ඕනෙ පෞද්ගලික අභිලාෂ හෝ ගෝති‍්‍රක ඇබ්බැහිවීම් පාදක කරගෙන නෙවෙයි, රටේ, ජාතියේ සහ පොදු සමාජයේ උන්නතිය පාදක කරගෙන කියන චින්තනය බහුතර ජනතාවක් අතරට ගෙනියන්නෙ කොහොමද කියන අභියෝගය අද අප ඉදිරියේ ඇති ප‍්‍රධාන පෙලේ අභියෝගයක් බව කියන්න පුලූවන්.

කෙසේ වෙතත්, සමාජයේ උගත්, බුද්ධිමත්, සීමිත පිරිසකට පමණක් ගෝචර වන පුවත්පත් ලිපි, රූපවාහිනි නාලිකාවල දේශපාලන සාකච්ඡුා, සම්මන්ත‍්‍රණ වගේ සම්ප‍්‍රදායික සන්නිවේදන උපාය මාර්ග හරහා විතරක් මේ චින්තන විප්ලවය කරන්න පුලූවන්ද කියන එකත් සාකච්ඡුාවට ලක්විය යුතු කාරණයක් බවයි පේන්නෙ. අනික් අතට ගත්තම අන්තර්ජාලය, ජංගම දුරකතනය වගේ නූතන මාධ්‍ය වුණත් වඩා සමීප වෙන්නෙ නව පරපුරේ කට්ටියට විතරයි. නමුත් තවමත් අපේ සමාජයේ වැඩි පිරිසක් නව තාක්‍ෂණයට ආසාත්මිකතාවක් හෙවත් ‘ඇලජික් බවක්’ පෙන්වන පරණ පරම්පරාවෙ කට්ටිය බවත් අමතක කරන්න බැහැ. එ් නිසා පොදු ජනතාව තුළ චින්තන විප්ලවයක් වඩාත් පුළුල් මට්ටමෙන් කරන්න නම් සන්නිවේදන උපාය මාර්ග ගැනත් නිර්මාණශීලීව හිතන්න සිද්ධ වෙනව කියලයි පේන්නෙ. උදාහරණයක් විදියට කලාව, සංස්කෘතිය වැනි, බහුතර සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා ජීවන රටාවන් සමග දැඩි ලෙස බද්ධ වී ඇති ඉසව්වල අලූත් විදියේ මැදිහත්වීම් ගැන අත්හදාබැලීම් කරන්න පුලූවන් කියල හිතෙනවා. නමුත් මේ ‘විප්ලවවාදීන්’ වැඩි දෙනෙක් දේශපාලන කේන්‍ද්‍රීයවම හිතන්න වැඩි කැමැත්තක් දක්වන නිසාද කොහෙද ඉහත කී වෙනත් ඉසව්වල කළ හැකි මැදිහත් වීම් ගැන හොඳ සාකච්ඡුාවක් ගොඩ නැගෙන්නෙ නැති බවකුත් දකින්න පුලූවන්.

Back to Home page