25 November, 2020

Blog

ජාතිභේදවාදය යළි වැපිරීමෙන් තර්ජනයට ලක්වන ආර්ථිකය

නිමල් සඳරත්න –

ජාතිභේදවාදී ප‍්‍රචණ්ඩත්වය තරම් වෙන කිසි තනි සාධකයක් රටේ ආර්ථික සංවර්ධනයට බාධා පමුණුවා නැත. දැනට රටේ ඇතැම් පළාත්වල මතු වන වර්ගවාදී හැලහැප්පීම් නිසා ආපසු ගොඩගත නොහැකි පරිද්දෙන් ආර්ථිකය අස්ථායී විය හැකිය. එයම රටේ අස්ථාවරත්වය සහ අවදානම වැඩි කොට, ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා වර්තමානයේ ගන්නා ප‍්‍රයත්නයන් වෙත එල්ල කළ හැක්කේ මරු පහරකි.

ආණ්ඩුව අස්ථාවර කිරීමේ සහ ආණ්ඩු වෙනසක් ඇති කිරීමේ අරමුණෙන් දියත් කර ඇති බවට සැකයක් නැති මේ වර්ගවාදී උසිගැන්වීම්, වර්තමාන ආර්ථික අර්බුදය තවත් උත්සන්න කැරැුවිය හැකි බවට සහ ජනතාවගේ ජීවිකාවන්ට මහත් හානියක් ඇති කැරැුවිය හැකි බවට සැකයක් නැත. ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට සහ ආර්ථික වර්ධනයක් ඇති කර ගැනීම සඳහා මේ වාර්ගික ගැටුම් මර්දනය කිරීම අනිවාර්ය කෙරේ.

ආර්ථික ප‍්‍රතිවිපාක

රට තුළ ඇති වන වාර්ගික ගැටුම් කෙරෙහි ඇති වන ජාත්‍යන්තර ප‍්‍රතික‍්‍රියා, රටේ වෙළඳ අසමතුලිතාව තීව‍්‍ර කොට, බරපතල ගෙවුම් ශේෂ අර්බුදයක් නිර්මාණය කිරීමට ඉඩ තිබේ. දැනට වැඩෙමින් පවතින, ආර්ථික වර්ධනයට ඉමහත් දායකත්වයක් සැපයිය හැකි සංචාරක ව්‍යාපාරය, 1983 දී ඇති වූ ආකාරයේ වාර්ගික ප‍්‍රචණ්ඩත්වයන් හේතුවෙන් ආපස්සට යා හැකිය. දැනටමත් පහළ මට්ටමක පවතින විදේශ ආයෝජන හිඳී යා හැකිය. දුර්වල බාහිර මූල්‍ය තත්වය තවත් තීව‍්‍ර විය හැකිය. මේ හේතුවෙන්, බුද්ධිමතුන්, වෘත්තීයවේදීන් සහ විද්‍යාඥයන් රට හැර ගියොත් එයද රටේ සංවර්ධනය සඳහා පවතින විභවයට මරු පහරක් විය හැකිය.ColomboburningBlackJuly1983

ජාතිභේදවාදී ප‍්‍රචණ්ඩත්වයේ ප‍්‍රතිවිපාක අති රුදුරු ය. ඕනෑම මිළක් ගෙවා එය වැළැක්විය යුතුය. පහත සඳහන් අපගේම අතීත අත්දැකීම්වලින් එය මනාව ස්ඵුට වෙයි.

අතීත අත්දැකීම්

වාර්ගික ප‍්‍රචණඩත්වයන් නිසා රටේ ආර්ථිකයේ ඇති වු පසුබෑම් අතීතයේදී අප ඕනෑවටත් වඩා දැක තිබේ. එවැනි වාර්ගික නොසන්තාවන් නිසා ගොඩගැසුණු ආර්ථික අලාභ, ගණනය කළ නොහැකි තරමට අති විශාල ය. 1958 දී පටන් ගත් එවැනි හිංසනයන්, නැවතත් 1977 දීත්, ඊළඟට 1983 දීත් අපට දැක ගන්ට ලැබුණි. මේ වාර්ගික ගැටුම්වලින් ආර්ථිකයට ඇති කළ හානිය සුළුපටු නොවේ. රටේ ආර්ථිකය වඩාත් අඩාල කෙළේ, 1983 ජුලි විනාශය සහ අනතුරුව දිග් ගැස්සුණු සිවිල් යුද්ධය සහ ත‍්‍රස්තවාදය විසිනි.

1958 කෝලාහල

1958 ජාතිවාදී කෝලාහල පැවතියේ කෙටි කාලයක් මුත්, රටේ ආර්ථිකය ආපස්සට ඇද දැමූ මුල්ම ප‍්‍රහාරය එය විය. ඒ තුළින් ඇති කෙරුණු භෞතික විනාශය, මානුෂීය විඳවීම සහ මාරක විපතට අමතරව, බුද්ධිමතුන් රට හැර යාමකට එය තුඩුදුනි. අපේ ප‍්‍රථම බුද්ධි ගලනය එය විය. පසුව එය නැවත නැවතත් සිදු විය. ශාස්ත‍්‍රාලීය උගතුන්, වෘත්තිකයන්, විද්‍යාඥයන්, තාක්ෂණ ශිල්පීන් සහ ඉංග‍්‍රීසි උගත් විද්වතුන් රට හැර යාම නිසා ලංකාව තිබුණාට වඩා දුප්පත් විය. බුද්ධි ගලනය සිදු වුණේ දෙමළ උගතුන් සම්බන්ධයෙන් පමණක් නොව, බර්ගර්, සිංහල සහ වෙනත් සුළු ජාතික බුද්ධිමතුන් ද රට හැර යාම නිසා රටේ දැනුම සහ නිපුණතා වර්ධනයට අත්වුණේ බරපතල හානියකි.

1983 කළු ජුලිය

ආර්ථිකයට සිදු කළ බිහිසුණුම මරු පහර එල්ල කෙරුණේ 1983 කළු ජුලියෙනි. ආර්ථිකය නිදහස් කිරීමෙන් ලද ප‍්‍රතිලාභ හරහා ඒ වන විට ආර්ථිකය ගොඩනැගෙමින් තිබුණි. 1970-1977 කාලයේ පැවති සියයට 3.2 ආර්ථික වර්ධනය 1978 නව විවෘත ආර්ථිකය යටතේ සියයට 8.2 ක් දක්වා ඉහළ ගිය අතර, 1980-1983 අතර කාලයේදී එය සියයට 6.2 ක අගයක පැවතුණි. 1983 ජුලි කලබල ඇති වුණේ, වේගවත් ආර්ථික වර්ධනයක් ළඟා කර ගැනීමේ සෑම අවකාශයක්ම තිබුණු එවන් අවස්ථාවකයි. එබැවින් 1983-1985 කාලයේ ආර්ථික වර්ධන වේගය සියයට 5 දක්වා පහළ වැටුණු අතර, 1985-1989 කාලයේදී එය වර්ධනය වූයේ සියයට 3.2 ක් වැනි ඉතා මන්දගාමී වේගයකිනි.

ආර්ථිකය කඩාකප්පල් වීම

1983 කලබල නිසා ආර්ථිකය විවිධාකාරයෙන් කඩාකප්පල් විය. 1983 දක්වා වේගයෙන් වර්ධනය වෙමින් තිබූ අපේ සංචාරක කර්මාන්තය කඩා වැටුණු අතර, විදේශ විනිමය අහේනියකට මුහුණදුනි. 1978 පටන් ඇති කරගෙන ආ නිදහස් ආර්ථික වාතාවරණය තුළ ගොඩනැගුණු ව්‍යාපාරික විශ්වාසය සහ අපේක්ෂාව ඒ නිසා පල්ලම් බැස්සේය. එපමණක් නොව, ඒ හේතුවෙන් විශාල වශයෙන් මිනිසුන් රට හැර ගිය අතර, එල්.ටී.ටී.ඊ. සංවිධානය ශක්තිමත් වී 27 අවුරුදු යුද්ධයකට මගපෑදුණේය. මේ සියල්ල රටේ ආර්ථිකයට එල්ල කෙළේ මරු පහරකි.

ආර්ථිකය ආපස්සට යාම

මේ හානිය, ආර්ථිකයේ ගතිකත්වයට සහ ශක්‍යතාවට ඇති කෙළේ නිත්‍ය පීඩාවකි. ආචාර්ය සමන් කැලේගම මෙහි ප‍්‍රතිවිපාක මෙසේ පැහැදිළි කර දෙයි: ‘‘27 අවුරුදු වියදම්කාරී යුද්ධය නිසා දේශීය සහ විදේශීය ආයෝජන අධෛර්යමත් කෙරුණු අතර, සංචාරක පැමිණීම් අවම කොට, රටේ යටිතලයට විශාල හානියක් සිදු කෙළේය. ඒ සියල්ලටමත් වඩා, බොහෝ ජීවිත විනාශ විය. නිපුණ ශ‍්‍රමයේ බුද්ධි ගලනයක් සිදු විය.’’ තවදුරටත් එය විස්තර කරන ඔහු මෙසේද කියයි: ‘‘මේ වියදම්කාරී යුද්ධය, වෙනත් දේවල්වලට අමතරව, 1990 දශකයේ විශාල අයවැය හිඟයකටද මග පෑදුවේය. එය අපේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 8 ඉක්මවීය. මේ අයවැය හිඟය පියවා ගැනීමට ගත් දේශීය සහ විදේශීය ණය ගොඩගැසී 2000 වන විට, රාජ්‍ය ණය කන්දරාව රටේ දළ ජාතික නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් වශයෙන් සියයට 100 ත් ඉක්මැවීය.’’

විදේශ ආයෝජනය

ආර්ථිකයේ කඩිනම් ගොඩඒමකට අතිශය වැදගත් වන විදේශ ආයෝජනයේ ගෙල මිරිකා දැමුණි. ඒ ගැන සමන් කැලේගම කියන්නේ මෙසේ ය: ‘‘වර්ධන ක‍්‍රියාවලියේ ප‍්‍රමුඛ උත්පේ‍්‍රරකයක් වූ විදේශ ආයොජනයට ප‍්‍රධාන බාධකය වුණේ, යුද්ධය විසින් ඇති කරන ලද අස්ථායී භාවයයි. ඒ ආශ‍්‍රයෙන් අපට අහිමි වු අවස්ථාවන් සඳහා උදාහරණ ගණනාවක් සැපයිය හැකිය. මෝටරොල්ලා සහ හැරිස් කෝපරේෂන් නැමැති ඉලෙක්ට්‍රෝනික බහුජාතික සමාගම් දෙක, 1983 දේශපාලනික වාතාවරණයේ වෙනසට ඔන්න මෙන්න කියා තිබියදී, තමන්ගේ කර්මාන්ත ශාලා අපගේ ‘අපනයන පිරිසැකසුම් කලාපයේ’ පිහිටුවීමට කටයුතු සම්පාදනය කොට තිබුණි. හැරිස් කෝපරේෂන් සමාගම, 1850 ක සේවක ධාරිතාවකින් යුක්තව, තමන්ගේ කර්මාන්ත ශාලාවක් ලංකාවේ ඉදි කිරීමද පටන්ගෙන තිබුණි.’’

මේ සමාගම් දෙකම, 1983 ජුලි කලබල සමගම අපේ රටෙන් පිටව ගියේය. මෝටරොල්ලා සමාගම මැලේසියාවට ගියේය. හැරිස් සමාගම තමන්ගේ බාගෙට ගොඩනැගූ කර්මාන්ත ශාලාවත් හැර දමා යන්ට ගියේය. මේ බහුජාතික සමාගම් දෙකට අමතරව, මුරබේනි, සෝනි, සැන්යෝ, බෑන්ක් ඔෆ් ටෝකියෝ සහ චේස් මැන්හැටන් බැංකු වැනි සමාගම් ලංකාවට පැමිණීමට නියමිතව සිටියේය. එහෙත් ඒ සියල්ලෝම, 1983 කලබලවලින් පසු එම සැලසුම් අත්හැර දැම්මෝය.

ආචාර්ය සමන් කැලේගම පෙන්වා දෙන පරිදි, මේ විදේශ ආයෝජන ලංකාවට පැමිණියේ නම්, එයම තවත් බහු ජාතික සමාගම්වලට තමන්ගේ කර්මාන්ත ලංකාවේ ආරම්භ කිරීමට තල්ලූවක් සපයන්ට ඉඩ තිබුණි. ඉදිරියට පැනීමට හැකිව තිබූ ‘මහා පිම්මක්’ ඒ ආකාරයෙන් අපෙන් මගහැරී ගියේය.

විස්තීරණ බලපෑම

විදේශ ආයෝජනය, ආර්ථික සහ සමාජ යටිතල සංවර්ධනය, ධීවර කර්මාන්තය, උතුරු නැගෙනහිර පළාත්වල ආහාර භෝග වැවිලි කර්මාන්තය වැනි විශේෂිත ක්ෂේත‍්‍රවලින් ඔබ්බට යන තරම් එම බලපෑම අහිතකර විය. යුද්ධයේ සමුච්චිත බලපෑම තුළින්, අපගේ සාර්ව ආර්ථික තත්වයන් දුර්වල කෙරුණු අතර, රට හැර යාමට මිනිසුන්ව පෙළැඹවූ අතර, ආර්ථික ක‍්‍රියාකාරකම් අඩාල කොට, සංචාරක ව්‍යාපාරය අකර්මණ්‍ය කොට, විශාල පරාසයක හානියක් සිදු කර ගත්තේය. එපමණක් නොව, දේශීය සහ විදේශීය ආයෝජකයන් තුළ අවදානම් පිළිබඳ සැකසාංකා වර්ධනය කිරීමටත් එම තත්වය තුඩුදුන්නේය.

අවසානය

දැනට ඇසෙන්ට ලැබෙන ජාතිවාදී සද්දබද්ද, ආර්ථිකයට බරපතල තර්ජනයකි. ලෝක ආර්ථිකයේ මන්දගාමීත්වය සහ වෙනත් ජාත්‍යන්තර පසුබෑම් අස්සේ, නැවත වරක් රට අභ්‍යන්තරයේත් වාර්ගික සහ ආගමික ප‍්‍රචණ්ඩත්වයක් ඇති වුවහොත් එය භයානක ප‍්‍රතිවිපාක ගෙන දීමට සමත් වනු ඇත්තේය. ජාතික එක්සත් භාවය, දැඩි පියවර ගනිමින් ආරක්ෂා කර ගැනීමේ අදිටනක් ආණ්ඩුවට තිබිය යුතු අතර, ඕනෑම ජන වර්ගයකට එරෙහිව උසිගන්වන ඕනෑම වෛරයක් හෝ ප‍්‍රචණ්ඩත්වයක් ලත් තැනම ලොප් කළ යුතුව ඇත්තේය. සිංගප්පූරුවේ සහ මැලේසියාවේ ජාතිවාදය මර්දනය කෙළේ ආණ්ඩුවේ දැඩි ක‍්‍රියා පිළිවෙත් මාර්ගයෙනි. අපේ ආණ්ඩුව මේ තර්ජනය ඉදිරියේ අකර්මණ්‍යව සිටීම තවත් ජාතිවාදී ප‍්‍රචණ්ඩත්වයකට ඉඩහසර පෑදීමකි.

*2016 දෙසැම්බර් 4 වැනි දා ‘ද සන්ඬේ ටයිම්ස්’ පුවත්පතේ පළවූ “Economy Under Threat by Rekindled Communalism” නැමැති ලිපියේ සිංහල පරිවර්තනය යහපාලනය ලංකා

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.