26 April, 2024

Blog

අපරාධ කිරීමට බලපත්‍ර ඉල්ලීම

තුෂාර වන්නිආරච්චි

තුෂාර වන්නිආරච්චි

තුෂාර වන්නිආරච්චි

ප්‍රජාතන්ත්‍රවාදය හා මානව නිදහස පිළිබදව ප්‍රමුඛ ඇමරිකානු මතයක් වන්නේ, “ඔබේ සැරයැටියේ දුර අනෙකාගේ නාසය ආසන්නයෙන් අවසන්වේ” යන්නයි. එමගින් ඇමරිකානුවන් ප්‍රකාශ කිරීමට අදහස් කරන්නේ නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සම්බන්ධයෙන්ද සීමාවක් පවතින බවයි. එය තවදුරටත් පැහැදිලි කරතොත්, නිදහසට උපරිම නිදහසක් නැති බවයි.

වෘත්තීය සමිති අරගල මුවාවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අති විශාල මාෆියාවක් වෛද්‍ය වෘත්තිකයන් අතර පවත්වාගෙන යයි. ඒ සදහා ඔවුන් භාවිතා කරනු ලබන ප්‍රමුඛ උපකරණ වන්නේ මාරුවීම්, දරුවන් පාසලට ඇතුළත් කරගැනීම් හා උසස්වීම් වැනි සංවේදී වෘත්තීය කාරණාවන්ය. මෙරට ජනතාව නොදන්නා මාධ්‍ය, දේශපාලඥයින් හා වෛද්‍යවරු එළිපිට කතා නොකරන හා හංගන දෙයක් වන්නේ, වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නීත්‍යානුකූල නොවන ආකාරයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ක්‍රියාත්මක කළ යුතු වෛද්‍ය මාරුවීම් සම්බන්ධයෙන් දූෂිත ක්‍රමවේදයක් පවත්වාගෙන යාමයි. ඒ තුළ ලිංගික අතවර, මුදල් හුවමාරු වීම් හා බලය අයුතු ලෙස යොදා ගැනීම් රැසක් සිදුවන බවට කතා පැතිරෙමින් තිබේ. එබැවින් වෘත්තීය සමිති නිදහස තුළින් සැබවින්ම වෛද්‍යවරන්ගේ වෘත්තීය නිදහස අහිමිකොට ඇත.

රජයක් පෞද්ගලික බස් කර්මාන්තය සම්බන්ධයෙන් මැදිහත් වීමක් තිබිය යුතුය. මන්දයත් ලෝකයේ සියලුම ප්‍රවාහන සේවා සම්බන්ධයෙන් එම රටවල රාජ්‍ය නියාමනයන් පවතින බැවිනි. ලංකාවේ එවැන්නක් තිබුනද, සෑම ප්‍රධාන නගරයකම සහ බස් නැවතුම්පොළකම සිටිනා කප්පම්කරුවන් විසින් බස් කොන්දොස්තරවරයාගෙන් කිසිදු රිසිට් පතක් හෝ කිසිදු ලියවිල්ලක් නොමැතිව මුදල් ලබා ගන්නා අයුරු මෙරට සිටින බස් මගීන් බොහෝ දෙනෙක් දැක ඇති බවට සැකයක් නැත.

එමෙන්ම බස් කර්මාන්තය අද වන විට ලාභ නොලබන, කර්මාන්තයේ සිටිනවුන් හා බස් මගීන්ද පීඩාවට ලක්වන අවිධිමත් කර්මාන්තයක් බවට පත් වී ඇත. ඒ සදහා අඩු වැඩි වශයෙන් එම කර්මාන්තයේ නියැළෙන සේවකයින්ගේ අවිධිමත් බව බලපා තිබේ. එබැවින් රජය මැදිහත් වී ඔවුන්ට විධිමත් පුහුණුවක් ලබා දිය යුතු අතර, නීති රීති තදින් ක්‍රියාත්මක කරමින් ඔවුන් සීලාචාර මාවතක රැගෙන යාම මේ රටේ බස් මගීන්ටත්, කර්මාන්තයේ හිමිකරුවන්ටත්, සේවකයින්ටත් වාසි දායක තීන්දුවක් වනු ඇත.

රජය සමාජ, ආර්ථික හා දේශපාලනික ප්‍රතිසංස්කරණ යෝජනා කළ විට ඊට එරෙහි බලවේගයක් නැගී සිටීම සාමාන්‍ය කාරණාවකි. මන්දයත් පවතින විපරීත ක්‍රමය පවත්වාගෙන යන්නන් හා එමගින් අධික ලාභ ලබන්නන්, එම ක්‍රමය පවත්නවාගෙන යනවාට පක්ෂවත්, ප්‍රතිසංස්කරණයන්ට එරෙහිවත්, මාරාන්තික සටනක නිරත වීම කළ යුත්තකි.

ජනවාරි 8 වනදා වර්තමාන රජය එළි පෙහෙළි කරදුන් නිදහස් මාවතේ ගමන් කරන්නෝ හා ප්‍රතිලාභ ලබන්නෝ වන්නේ, එම මාර්ගය එළි පෙහෙළි කරගැනීමට දිවි නොතකා සටන් කළ යහපාලනවාදීන්ම පමණක් නොවේ. එම මාර්ගයේ හොරුන්, මංකොල්ලකරුවන්, පීඩකයින්, මෝඩයින් හා සතුරන්ද ගමන් කරයි. එවැනි තත්ත්වයක් තුළ මේ මොහොතේත් සමාජයේ එක්තරා ආකාරයක බලවත් එම කළු වළාවන් මෙම රටට යහපාලන රජය විසින් යෝජනා කරනු ලබන ප්‍රතිසංස්කරණ වලට එරෙහිව ප්‍රබල විනාශකාරී බලපෑමක් කරමින් තිබේ. යහපාලන ආණ්ඩුව පොරොන්දු වූ පරිදි ජනතා අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට උත්සහ කරමින් තිබුණද, වෘත්තීය අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට යන බැනර් දෙකට මුවාවී රටේ දුෂ්ඨ බලවේග හිස ඔසවා යහපාලන මාර්ගය විනාශ කිරීමට කැස කවමින් සිටී.

රුපියල් 25000 දඩය සම්බන්ධයෙන් යම් එක් ආකාරයක එකගතාවයක් ඇති වුවත් මාර්ග නීති කඩකරන්නන් සම්බන්ධයෙන් නීතිය තදින් ක්‍රියාත්මක කළ යුතු බව මාගේ අදහසයි. මෙම රජය බලයට පත් වූයේ මැති ඇමතිවරුන්ගේ නිල රථ පෙළපාලි නවත්වන බවට පොරොන්දු වෙමිනි. නමුත් දැන් ටිකෙන් ටික ඒවා නැවත හිස ඔසවමින් තිබේ. එසේම මහා මාර්ග නීති තදින් ක්‍රියාත්මක කිරීම තුළින් එක අතකින් රටේ විදේශ විනිමය බලශක්ති ආනයනය සදහා රටින් එළියට ගලා යාම එක්තරා ප්‍රමාණයකට නවතින අතර ජීවිත ආරක්ෂාව, දේපළ ආරක්ෂාව හා සමාජ සුරක්ෂිතතාවය ඉහළ යනු ඇත.

එක අතකින් ඉහළ දඩ මුදල් වලට එරෙහිව වීදි බැසීම, අපරාධ සිදු කිරීමට බලපත්‍රයක් ඉල්ලනවා වැනිය. ඊට රටම එරෙහි විය යුතුය. එසේම මැති ඇමතිවරුන්ගේ රථ පෙළපාලි සංදර්ශන වලටද ජනතාව එරෙහි විය යුතුය.

රටේ ත්‍රීවිලර් කර්මාන්තයේ භෞතික දියුණුව නිසා මිලියන 3 කට වඩා වැඩි නුපුහුණු ශ්‍රමිකයින් සංඛ්‍යාවක් රටට බිහිවූ අතර ප්‍රවාහන කර්මාන්තයේ හා බස් රථ කර්මාන්තයේ දියුණුව සම්පූර්ණයෙන්ම ඇණ හිටියේය. නමුත් සමාගමක් විශාල ධනයක් උපයා ගත්තේය. එම නිසා මෙම ප්‍රවාහන ක්ෂේත්රණයේ තිබෙන බරපතල සමාජ ප්‍රශ්න විසදීමට ආණ්ඩුව දරණ උත්සහය ඉවසීමට තරම් අප සමාජයට සීලාචාර බවක් තිබිය යුතුය.

පෞද්ගලික බස් රථ වර්ජනය සිදු කළ දින කොළඹ මහා මාර්ග ඇදහිය නොහැකි තරම් සාමකාමී විධිමත් බවක් ඉසිලීය. වැඩි වාහන සංඛ්‍යාවක් මහා මාර්ගයන්හි තිබුණද කොළඹ නගරයේ තදබදයක් නොතිබුණි. එනම් ප්‍රවාහන කර්මාන්තයේ යෙදෙන ආයතන, පුද්ගලයින් නියාමනය කොට විධිමත් කිරීම රජයේ වගකීමකි. එමගින් එම කර්මාන්තයේ යෙදෙන සේවකයින්ගේත්, හිමිකරුවන්ගේත් ආරක්ෂාව හා අභිවෘද්ධිය සැලසෙනු ඇත. ඔවුන්ට මේ මොහොතේ අවබෝධ කරගත නොහැකි වූවත් මෙමගින් මෙම කර්මාන්තය ලාභ උපයන සීලාචාර කර්මාන්තයක් බවට පත් වෙනු ඇත.

ජනවාරි 8 වනදා මෙරට බිහි වූ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් සාමකාමී වටපිටාව තුළ රටේ දුෂ්ඨ බලවේග මේ රටේ ජනතාව සූරා කෑමටත්, රාජ්‍ය දේපළ හොරකම් කිරීමටත් ජනතාව විසින් පළවා හැරි පැරණි වැඩවසම් දුෂ්ඨ ක්‍රමවේදය ස්ථාපිත කිරීමටත් කැස කවමින් සිටී. ඒ සදහා පොදු ජනතාවගේ සංවේදී ගැටලු වලට විසදුම් සෙවීම වළක්වමින් බාධා පමුණුවමින් ජනතාව අදුරෙන් අදුරට තල්ලු කිරීමට උත්සහ කරයි.

ඒ දුෂ්ඨ බලවේග වල මූලෝපායික අරමුණ වන්නේ ආර්ථික, සමාජ හා දේශපාලනික ප්‍රතිසංස්කරණ වලට එරෙහිව රටේ අහිංසක ජනයා කුලප්පු කරවමින් ඔවුන්ගේ ඉරණම වඩාත් දුක්ඛදායී තත්ත්වයට පත් කිරීමයි.
නමුත් දිනා ගත් නිදහස ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්, සාමාජ ප්‍රතිසංස්කරණ, ආර්ථික ප්‍රතිසංස්කරණ, දේශපාලනික ප්‍රතිසංස්කරණ ආරක්ෂා කර ගැනීම මහජනතාවගේත් මෙරට සිවිල් සමාජයේත් වගකීමයි. එමෙන්ම මෙම තත්ත්වයට උල්පන්දම් දෙන ආණ්ඩුවේ දේශපාලඥයින්ට එරෙහිව නැගී සිටීමටද පසුබට නොවිය යුතුයි.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.