24 April, 2024

Blog

“දෙවියන්” පිළිබද ප්‍රශ්නය හා ජාතික චින්තනය

නිර්මාල් රංජිත් දේවසිරි

අචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි

කවුරුත් දන්නා පරිදි “දෙවියන්” පිළිබද විශ්වාසය අළුත් එකක් නොවේ. අප දන්නා සෑම මනුෂ්‍ය සමාජයකම පාහේ දෙවියන් පිළිබද විශ්වාස පවතී. බෞද්ධයා (සිංහල-බෞද්ධයාද ඇතුළුව) තුළද, එවැනි විශ්වාස පැවැතිණි. එපමණක් නොව දෙවියන් පිළිබද විශ්වාසයන්ට පිටින් බිහි වූ “නවීන (බටහිර) විද්‍යාව” ද දෙවියන් පිළිබද විශ්වාසය මුළුමනින්ම අහෝසි කර දැමුවායැයි කිව නො හැක. දෙවියන් විශ්වාස නො කරන චින්තන ධාරාවන් බටහිර වර්ධනය වූ නූතනත්වය තුළ වර්ධනය වූ බව සැබෑවකි. නමුත් විද්‍යාවේ වර්ධනයට සමාන්තරව දෙවියන් පිළිබද වූ විශ්වාසය පදනම් කරගත් ආගමික විශ්වාස ද සිය පැවැත්ම තහවුරු කරගෙන ඇත. “නවීන විද්‍යාව” වර්ධනය වන විට ආගම අහෝසී වී යනු ඇතැයි පැවැති ඇතැම් විශ්වාස වලට පරස්පරව ආගම් තවදුරටත් පවතී. බෙනඩික්ට් ඇන්ඩර්සන් (සිය පරිකල්පිත ප්‍රජාවන් යන කෘතියේ) ඉතා විචිත්‍රවත් ලෙස පෙන්වා දී ඇති ආකාරයට මනුෂ්‍යා මුහුණ දෙන සංකීර්ණ මානසික ගැටලුවලට ආගම් පිළිතුරු සපයයි. නවීනත්වය මත පදනම් වූ චින්තන සම්ප්‍රදායන්ට මේ හැකියාව නැත. මේ නිසා නිතරම විද්‍යාව විසින් ආවරණය නොකරන කලාපයක් ඉතිරි වේ. මේ නිසා මනුෂ්‍යා තුළ ඇති කරන කාංසාව හා ක්ෂතිය සමනය කරන්නේ ආගම් විසිනි. ඔහුගේ අදහස මෙසේය:

මනුෂ්‍ය ජීවිතය අනිවාර්යතාවයන් හා අහම්බයන්ගෙන් පිරී පවතී. අපගේ ජාන උරුම‍යේ, ස්ත්‍රී-පුරුෂ සමාජභාවයේ, අපගේ ජීවන කාලපරාසයේ, අපගේ ශාරීරික හැකියාවන්ගේ, අප කතා කරන මව් භාෂාවේ යනා දී දේවල පවත්නා අසම්භාව්‍යතාවය හා මගහැරයා නොහැකි බව පිළිබඳව අප හොඳින් දැනුවත්ය. සම්ප්‍රදායික ආගමික ලෝක දෘෂ්ටීන් වල පවත්නා විශාලතම වාසිදායක දෙය වන්නේ විශ්වය-තුළ-මනුෂ්‍යයා, මනුෂ්‍යයා වර්ග සමූහයක් ලෙස සහ ජීවිතයේ අහඹුතාවය ඒවා මගින් සැලකිල්ලට ගෙන තිබීමයි. (ඇත්ත වශයෙන්ම මෙහි දී අප ආගම් කිසියම් නිෂ්චිත ආධිපත්‍ය හා සූරාකෑමේ ක්‍රමවලට සුජාත භාවයක් දීම සම්බන්ධයෙන් ඉටු කරන කාර්ය භාරය මෙකී කාර්යභාරයෙන් වෙන් කොට දැක්විය යුතුය.) බුදු දහම, ක්‍රිස්තියානි දහම හෝ ඉස්ලාම් දහම යනාදී ආගම් විවිධාකාරයේ සමාජ සැකසුම්වල වසර දහස් ගණනක් මුළුල්ලේ විශ්මයජනක ලෙස ජීවමානව පැවැතීම, මෙලෙස රෝගාබාධ, අංගඡේදනය, දුක්ඛ දොමනස්ස, වයස්ගතවීම, සහ මරණය වැනි මානව විඳවීම් හී අති දැවැන්ත පිඩනයට දක්වා ඇති පරිකල්පනීය ප්‍රතිචාරයන්ට සාක්ෂි දරයි. මා අන්ධ ව ඉපදුනේ මන්ද? මගේ හොඳම මිතුරා අංගවිකල මන්ද? මගේ දියණිය ආබාධිත මන්ද? ආගම මේ ප්‍රශ්න වලට පැහැදිළි කිරීම් සපයයි. මාක්ස්වාදය ද ඇතුළුව, පරිනාමවාදී/ ප්‍රගතිවාදී චින්තන මාදිලීන් හී ඇති ප්‍රබලම දුර්වලතාවය වන්නේ මෙ වැනි ප්‍රශ්න වලට පිළිතුරු දීම සම්බන්ධයෙන් පෙන්වන නොඉවසිළිවන්ත නිෂ්ශබ්දතාවයයි. ඒ අතරම ආගමික චින්තාවන්, විවිධ ආකාරයෙන්, අමරණීයත්වය සමඟ ඇති නොපැහැදිළි කිට්ටුවන්තභාවයට ද ප්‍රතිචාර දක්වයි. පොදුවේ ගත් කළ, එසේ කරන්නේ මරණයට පත්වීම (කර්මය, ආරම්භක පාපකර්මය වැනි සංකල්ප හරහා) අඛණ්ඩත්වයක් බවට විපරිවර්තනය කිරීම මගිනි. මේ ආකාරයට ආගම මෘතභාවය සහ තවමත් නූපන් බව අතර සම්බන්ධය, එනම් පුනරුත්පත්තියේ අභිරහස සමඟ සම්බන්යක් ඇති කරගනී. එකිනෙකා හා සහසම්බන්ධතාවක්, අහඹුතාවක්, දෛවොපගතභාවයක් සමග ගැට ගැසුණු අඛණ්ඩත්වයක් පිළිබඳ භාෂාවක් හරහා මිස අන් ආකාරයකට තමන්ට දරුවෙක් පිළිසිඳ ගැනීම හා උත්පත්තිය ලැබීම යන්න යන්තම්වත් ග්‍රහණය කරගත හැක්කේ කාහට ද? (නැවතත්, පරිනාමවාදී/ ප්‍රගතිවාදී චින්තන මාදිලීන් හී ඇති ප්‍රබල ම දුර්වලතාවය වන්නේ ඒවා අඛණ්ඩත්වය පිළිබඳ අදහසට දක්වන සම්පූර්ණයෙන්ම වාගේ හෙරක්ලීටියානු පන්නයේ පසමිතුරුභාවයයි.)

[Human lives are full of such combinations of necessity and chance. We are all aware of the contingency and ineluctability of our particular genetic heritage, our gender, our life-era, our physical capabilities, our mother-tongue, and so forth. The great merit of traditional religious world-views (which naturally must be distinguished from their role in the legitimation of specific systems of domination and exploitation) has been their concern with man-in-the-cosmos, man as species being, and the contingency of life. The extraordinary survival over thousands of years of Buddhism, Christianity or Islam in dozens of different social formations attests to their imaginative response to the overwhelming burden of human suffering — disease, mutilation, grief, age, and death. Why was I born blind? Why is my best friend paralysed? Why is my daughter retarded? The religions attempt to explain. The great weakness of all evolutionary/progressive styles of thought, not excluding Marxism, is that such questions are answered with impatient silence. At the same time, in different ways, religious thought also responds to obscure intimations of immortality, generally by transforming fatality into continuity (karma, original sin, etc.) In this way, it concerns itself with the links between the dead and the yet unborn, the mystery of re-generation. Who experiences their child’s conception and birth without dimly apprehending a combined connectedness, fortuity, and fatality in a language of ‘continuity’? (Again, the disadvantage of evolutionary/progressive thought is an almost Heraclitean hostility to any idea of continuity.)]

මනෝ විශ්ලේෂණය වැනි නූතනත්වය විසින් බිහි කරන ලද දැනුම් පද්ධතීන්ට මේ මානසික ගැටලුව විවරණය කිරීමට හැකි වුවත් ඊට (සීමිත මට්ටමකින් මානසික ප්‍රතිකාර තිබුණ ද) මහා පරිමාණයෙන් විසදුම් දීමට හැකියාව නැත. මේ නිසා ආගම තවමත් අනභියෝගීය. ඒ තත්වය අඩුම තරමින අපට සිතාගත හැකි අනාගතයේ දී වෙනස් වෙතැයි සිතිය නොහැකිය. දෙවියන් පිළිබද විශ්වාසයද එසේමය.

එසේ නම් ජාතික චින්තන ව්‍යාපාරය, විශේෂයෙන්ම නලින් ද සිල්වා, මේ දෙවියන් පිළිබද විශ්වාසයට කලේ කුමක්ද? ඔහු කලේ මේ දෙවියන් පිළිබද විශ්වාසය නවීන දැනුමට (එය නවීන විද්‍යාව ලෙස ලඝු කිරීමට මම මැළි වෙමි.) පරස්පර දැනුම් පද්ධතියක් ලෙස ඊට මුහුණට මුහුණ ලා පිහිටුවීමයි. වෙනත් විදිහකට කියනවානම් දෙවියන් පිළිබද විශ්වාසය විද්‍යාවට විරුද්ධ දේශපාලන ව්‍යාපෘතියක් බවට පත් කිරීමයි. එය සුවිශේෂී තත්වයකි. දැඩි ආගම් වීරෝධි පිළිවෙත් අනුගමනය කළ දේශපාලන තත්වයන්ට පවා සාමාන්‍යයෙන් නවීන ඉතිහාසය තුළ ආගම් මුහුණ දී ඇත්තේ එලෙස නොවේ. එනම් තම ආගමික සීමාව තුළ පමණක් ‍රැ‍දෙමින් ය ආගම් ඒවාට මුහුණ දුන්නේ. කොමියුනිස්ට් රටවල ආගම් කටයුතු කළ ආකාරය මීට උදාහරණ වේ.

නමුත් නලින් ද සිල්වා දෙවියන් පිළිබඳ විශ්වාසය හා විද්‍යාවෙන් ආවරණය කළ මිනිස් අවශ්‍යතා ක්ෂේත්‍රය අතර නව සම්බන්ධයක් යෝජනා කළේය. දැන් “නාථ දෙවියන්ට” උසුළු විසුළු කිරීම වැනි ජනප්‍රිය ප්‍රවණතා ඇති වී ඇත්තේ ඒ බැවිණි. මිනිස්සු සැමදාමත් තම ලෙඩ රෝග සදහා සහ වෙනත් අවශ්‍යතා සදහා දෙවියන්ගෙන් පිහිට ලබා ගත්හ. ඇත්ත වශයෙන්ම පිහිට ලැබුණා ද නැද්ද යන්න වෙනත් කාරණයකි. ඒ අය එසේ පිහිට අයදින අතර ඒ සඳහා වෙනත් ක්‍රියාමාර්ග ද අනුගමනය කළේය. සාමාන්‍යයෙන් එකකින් අනෙක පරීක්ෂා කර බැලීමට උත්සුක නොවූහ.

නමුත් නලින් ද සිල්වා විසින් රජරට වකුගඩු රෝගයට අදාළව නාථ (හා මිස්සක) දෙවියන් සම්බන්ධ කරගෙන ගොඩ නගන ලද කතිකාව නිසා දෙවියන් පිළිබඳ විශ්වාසයේ මූලික වෙනසක් සිදුවිය. මේ නිසා රාජපක්ෂ සමයේ රාජ්‍ය තන්ත්‍රය පවා බරපතල අවුලකට ගමන් කළේය. මක් නිසාද යත් නලින් ද සිල්වා රාජපක්ෂ තන්ත්‍රයේ සහායකයෙක් වීම නිසාය. සාමාන්‍යයෙන් නවීන ආණ්ඩුවකට දෙවියන් සම්බන්ධව නලින් ද සිල්වා විසින් ගොඩ නංවන ලද කතිකාව මුළුමනින්ම වැළද ගැනීමට නොහැක. ඒසේ කළහොත් ඒ ආණ්ඩුව සිය පැවැත්ම පිළිබඳ බරපතල අභියෝගයකට මුහුණ දෙනු නො අනුමානය. මේ අර්බුදයට ඇත්ත වශයෙන්ම මුහුණ දුන්නේ නලින් ද සිල්වා (ඉතාම උත්ප්‍රාසජනක ලෙස) විද්‍යා පීඨ පීඨාධිපතිත්වය දැරූ කැළණිය විශ්වවිද්‍යාල පරිපාලනයයි. මට මතක විදිහට නලින් ද සිල්වාට විරුද්ධව පෙරමුණේ ම සිටියේ, රාජපක්ෂ කඳවුරේ ප්‍රකට සහායකයෙක් වන, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ එවක විද්‍යා පීඨාධිපති මහාචාර්ය සුදන්ත ලියනගේ ගේ භාර්යාව වන කැළණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ජනිතා ලියනගේය. ඇත්ත වශයෙන්ම රාජපක්ෂ පාලනය තව කලක් පැවැතුනානම් කැළණිය විශ්වවිද්‍යාල පරිපාලනය මුහුණ දුන් ප්‍රශ්නයට සමස්ත රාජපක්ෂ පාලනයම මුහුණ දීමට නියමිතව පැවැතිණි.

නලින් ද සිල්වාගේ මැදිහත් වීම නිසා සිදුවුනේ නවීන විද්‍යා දැනුම හා දෙවියන් පිළිබද විශ්වාසය අතර පරිස්සමෙන් පවත්වාගෙන ගිය සමතුළනය භයානක ලෙස බිදවැටීමයි. එක අතකින් දේශපාලන වශයෙන් මා එයට කැමතිය. මක් නිසාද යත් ඒ මගින් නවීන ආගමික කතිකාවට ද විශාල අභියෝගයක් ඇති කිරීමට නියමිතව තිබූ බැවිණි. ඇත්ත වශයෙන්ම රාජපක්ෂ තන්ත්‍රය තව කලක් පැවැතියා නම් මේ අර්බුදය තවත් මෝරා යාමට ඉඩ තිබුණි. (මේ නිසා රාජපක්ෂ පාලනය බිද වැටීම පිළිබදව මා තුළ විශාල කණගාටුවක් ඇත).

“ෆේස් බුක්” හි දෙවියන් පිළිබද ජාතික චින්තන කතිකාව වෙනුවෙන් අදහස් දක්වන්නන් කණගාටුදායක ලෙස නොතකා හරින දෙය වන්නේ “පූර්ව-නලීනියානු” දේව කතිකාව හා “පශ්චාත්-නලීනියානු” දේව කතිකාව එකක් නොව සම්පූර්ණයෙන්ම එකිනෙකට වෙනස් කතිකාවන් දෙකක් ය යන කරුණයි. ඒ තුළ මූලික ඛණ්ඩනයක් සලකුණු කළ හැක. ඇත්ත වශයෙන්ම පූර්ව-නලීනියානු දේව කතිකාවට දේවවිරෝධී නවීනවාදී ප්‍රතිචාරයක් දැක්වීමට ය හේතුවාදී කතිකාව බිහිවී තිබුණේ. නමුත් පශ්චාත්-නලීනියානු දේව කතිකාවට මුහුණ දීමට එය අසමත් බැවින් එම හේතුවාදී කතිකාව මේ වනවිට ප්‍රහසනයක් (farce) බවට පත් වී ඇත. අනිත් අතට “නාථ දෙවියන්” වැනි දෙවියන් පිළිබද පශ්චාත්-නලිනියානු කතිකාවේ සංඝඨක වලට උසුළු විසුළු කරන ඊනියා රැඩිකල් කතිකාවක් ද බිහිවී ඇත. නමුත් එම කතිකාව පශ්චාත්-නලිනියානු දේව කතිකාව මගින් ඉදිරිපත් කර ඇති අභියෝගයට බුද්ධිමය වශයෙන් මුහුණ දීමට අසමත්ය. එයට හැකි වන්නේ මෙම කතිකාවේ ඇතැම් විපරීත ලක්ෂණ (පිළිම වලින් බුදුරැස් විහිදීම වැනි කතා) වලට ඇගිල්ල දික් කිරීමට පමණි.

කෙසේ වෙතත් “දෙවියන් ගෙන් වැඩ ගෙන පෙන්නන්න” යැයි මේ දිනවල ජාතික චින්තනවාදීන්ට එල්ලවන අභියෝගයට ද සංදර්භයක් ඇත. සාමාන්‍යයෙන් පූර්ව-නලීනියානු තත්වය තුළ මේ අභියෝගය මේ ආකාරයට පැමිනෙන්නේ නැත. හේතුවාදී ව්‍යාපාරයෙන් එල්ල වූ අභියෝග පැවැතිය ද ඒවා නිතරම පැවැතියේ කතිකාවේ අද්දරය. සාමාන්‍යයෙන් ජනයා දෙවියන් විශ්වාස කරන අතරම, දෙවියන්ගෙන් පිහිට අපේක්ෂා කරන අතරම විද්‍යාවේ පිහිට ද ගැටලුවකින් තොරව ලැබී ය. ගංගොඩවිල සොම හිමි පවා මේ දේව කතිකාවට අභියෝග කිරීමට, තාවකාලිකව සාර්ථක වූ නමුත් දීර්ඝකාලීනව අසාර්ථක වූ උත්සාහයක් දැරූ බව අපට මතකය. ශල්‍ය කර්මයක් කිරීමට පෙර ආගමික වත් පිළිවෙත් ඉටු කළ වෛද්‍යවරු දුලභ නොවූ හ. ඒ පිළිබදව කිසිවෙකුටත් ඒ තරම් ගැටලුවක් ඇති වූයේ ද නැත. ආගම හා “විද්‍යාව” සමාන්තරව ගමන් කළේ ය. නලින් ද සිල්වා මේ සාමය බිද දැමීය. ඔහු විද්‍යාවට පැවැති මේ සමාන්තර ප්‍රයෝජ්‍යතාවාදී (pragmatic) පැවැත්ම අහෝසි කළේය. ඒ ප්‍රයෝජ්‍යතාවාදී කෘත්‍යය දේව අනුහස වෙත ලබා ගන්නා ලදි. නැවතත් කිව යුත්තේ එය මූලික ඛණ්ඩනයකි. වෙනත් විදිහකට කියනවානම් සුසමාදර්ශී තැන් මාරුවකි (paradigmatic shift). “කාලගුණ ස්ටාර් තරඟ” පිළිබද ඉල්ලීම් පැමිණෙන්නේ මෙ සුසමාදර්ශී තැන් මාරුව නිසාය.

කෙසේ වෙතත් මේ නව තත්වයට මුහුණ දීමට ජාතික චින්තනවාදීන් තවම බුද්ධිමය වශයෙන් හෝ ප්‍රායෝගික වශයෙන් සූදානම් බව නොපෙනේ. ඒ අය කියන්නේ තම “දෙවියන් පිළිබද දැනුම” ප්‍රායෝගික ව්‍යාපෘතියක් බවට පත් කිරීමට තවම කල් මදි බවයි. මෙය පිළිගත හැකි හේතු දැක්වීමක් නොවේ. නලින් ද සිල්වා කියන්නේ දෙවියන්ගෙන් වැඩ ගත හැක්කේ භාවනා කිරීම ආදියෙන් කිසියම් දියුණු මානසික තත්වයකට පත්වීම මගින් බවයි. එවැනි තත්වයක් සඳහා කටයුතු කිරීමට මාක්ස්වාදීන් “විප්ලවය සඳහා වාස්තවික තත්වයන් මොරා සිටින තෙක්” බලා සිටින්නාක් මෙන් බලා සිටිය යුතු නොවේ. ඒ සඳහා අවශ්‍ය කරන්නේ කිසියම් පිරිසක් භාවනාවේ යෙදීම ආදියෙන් සිය මනස වැඩි දියුණු කරගැනීම සඳහා කටයුතු කිරීම පමණි. එසේ වුවත් ජාතික චින්තන ව්‍යාපාරය තුළ එවැනි නැඹුරුවක් පෙනෙන්නට නැත. ඒ වෙනුවට ඔවුන් අතර දක්නට ඇත්තේ බහුතර පොදු ජනයා අතර ජනප්‍රියව පවත්නා දේව විශ්වාස පිළිබඳ “පූර්ව-නලිනියානු කතිකාවේ” හැකියාවෙන්, ආගම් විරෝධී නවීනවාදී කතිකාවන් හී ඇති සීමාවන් ගේ වාසිය ද ලබාගෙන, තම කතිකාවට උසුළු විසිළු කරන අයට ප්‍රතිප්‍රහාර දීම පමණි.

ජාතික චින්තනවාදීන් ප්‍රකාශ කරන්නේ තමන් තවම සිටින්නේ දෙවියන් පිළිබඳ සිය දැනුම සමාජගත කරන අවධියේ බැවින් එම දැනුම ජනයාගේ ප්‍රායෝගික අවශ්‍යතා ඉෂ්ට කිරීමට ඍජුව යොදා ගැනීමක් දැනට බලාපොරොත්තු වීම අසාධාරණය වැනි දෙයකි. ඇත්ත වශයෙන්ම මේ පැහැදිළි කිරීම නලිනියානු දේව කතිකාව එහි ප්‍රතිවාදය වන බටහිර විද්‍යාව සමඟ සංසන්දනය කළ හොත් පිළිගත හැකි පැහැදිළි කිරීමක් නොවන බව පෙනී යනු ඇත.

“බටහිර විද්‍යාව” ලොව පුරා ප්‍රචලිත වූයේ එහි වලංගුතාවය මුළින් දාර්ශනිකව තහවුරු කිරීමෙන් නොව. එය මූලික වශයෙන් අධිපති දැනුමක් ලෙස ව්‍යාප්ත වූයේ එම දැනුම මත ගොඩනැගුණු තාක්ෂණික නිර්මාණ නිසා ඇති වූ කාර්මික විප්ලවය නිසාවෙනි. කාර්මික විප්ලවය අප වෙතට එන්නේ අපගේ ප්‍රායෝගික ජීවිතයට සම්බන්ධ යථාර්ථයක් ලෙසටයි. එසේ නොමැතිව හුදු අදහස් පද්ධතියක් ලෙස නොවේ. ලංකාවේ විද්‍යා අධ්‍යාපනය ව්‍යාප්ත වූ ආකාරය දෙස බැලූ විට මෙය හොඳින් පෙනී යයි. ලංකා විශ්වවිද්‍යාලය බිහිවීමට සෑහෙන කාලයකට පෙර යි නවීන විද්‍යාවේ තාක්ෂණිය පාර්ශවය උපයෝගීතාවාදී ලෙස යොදාගැනීම අරමුණු කරගත් ලංකා වෛද්‍ය විද්‍යාලය (Ceylon Medical College – ආරම්භය: 1870) හා ලංකා කාර්මික විද්‍යාලය (Ceylon Technical College- ආරම්භය: 1893) ඇති වුනේ. ඒ වගේම, 1970 ගණන්වල දී, විද්‍යා අධ්‍යාපනයට මුල් තැනක් දුන් සමගි පෙරමුණ ආණ්ඩුව උත්සාහ කලේ විද්‍යාවේ මේ උපයෝගීතා පාර්ශවය ප්‍රවර්ධනය කිරීමට මිස වියුක්ත දැනුම් පද්ධතියක් ලෙස විද්‍යාව ව්‍යාප්ත කිරීමට නොවේ. ද්වීතියික පංතිවල එතෙක් පැවැති ඉතිහාසය වැනි විෂයන් ඉවත් කොට කෘෂිකර්මය, මොටර් යාන්ත්‍රික විද්‍යාව වැනි විෂයන් හඳුන්වා දෙන්නේ මේ අනුවයි. ඇත්ත වශයෙන්ම මේ නිසා දැනුමේ වියුක්ත පාර්ශවය පිළිබඳ අධ්‍යාපනය දැඩි අභියෝගයකට ලක් වේ. මේ ව්‍යාපෘතියේ නිර්මාපකයා හා ප්‍රමුඛ ප්‍රවර්ධකයා භෞතික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ලංකා සමසමාජ පක්ෂයේ ඉදිරි පෙළ සාමාජික ඔස්මන්ඩ් ජයරත්න බව ප්‍රකට ය.

නමුත් “නලිනියානු දේව කතිකාව” උත්සාහ කරන්නේ මුළින් හුදු වියුක්ත අදහස් පද්ධතියක් ලෙස එය සමාජය මත තහවුරු කිරීම සඳහා ය. රජරට වකුගඩු රෝගය වැනි අවස්ථාවලට එය ප්‍රායෝගික ප්‍රවේශයකින් ගැටලුවට මැදිහත් වීමට උත්සාහ කළ ද ඒ තුළ ද දක්නය ලැබුණේ සිය ව්‍යාපෘතියට සමාජයීය වලංගුභාවයක් ලබා ගැනීමේ ආන්තික උත්සාහයක් පමණක් බව පෙනිණි.

මා මේ තත්වය පැහැදිළි කරන්නේ මෙසේය:

ඇත්ත වශයෙන්ම මෙම “නලීනියානු දේව කතිකාවේ” දේශපාලන කෘත්‍යය සැබැවින්ම නවීන විද්‍යාවට විකල්පයක් සැපයීම නොවේ. ඒ වෙනුවට ඊට ඇත්තේ සිය දේශපාලන ව්‍යාපෘතිය ජනයා අතරට ගෙනයාම සඳහා පාලමක් ලෙස එය භාවිත කිරීමේ ප්‍රායෝගික උවමනාවකි. විශේෂයෙන් ම යුද්ධය අවසන් වීමෙන් පසුව මේ අවශ්‍යතාවය වැඩි වැඩියෙන්ම දැනේ. ඒ යුධ සමයේ ජාතික චින්තන ව්‍යාපෘතියේ මූලික නාභිගත වීම වූ එල්ටීටීඊ විරෝධය දැන් ඒ තරම් තීව්‍ර ව පවත්වාගෙන යාමට නොහැකි වීම නිසාය.

ඇත්ත වශයෙන්ම ආරම්භයේ දී නලින් ද සිල්වා මේ දිව්‍යමය බලයන් (එය ආරම්භ වූයේ මහසෝන් ආකෘතිය පිළිබඳ කතිකාවෙනි) පිලිබඳ කතිකාව ආරම්භ කළේ තමන් නවීන විද්‍යාවට විරුද්ධව ගෙන ආ ප්‍රති-කතිකාව සඳහා තාර්කික සහයක් ලබා ගැනීමට පමණක් බව ඉතාම පැහැදිළිය. පසුව එය වෙනම ස්වායත්ත කතිකාවත් ලෙස වර්ධනය කෙරිණි. කෙසේ වෙතත් මෙම කතිකාව දැන් එහි තාර්කික අවසානයකට පැමිණ ඇත. දැන් එහි විවේචකයින්, බොහෝ විට උපහාසාත්මක ලෙස, ඉල්ලා සිටින්නේ ජාතික චින්තනයට සිය පොරොන්දුව ඉෂ්ට කරන ලෙසට යි. නමුත් දැනටමත් පෙන්වා දී ඇති පරිදි ජාතික චින්තනවාදීන්ගෙන් ලැබෙන්නේ “යෙහෝවා ගේ සාක්ෂිකාරයෝ” වැනි ක්‍රිස්තියානි කණ්ඩායම් වලින් දෙවියන් පිළිබඳව ලැබෙන පැහැදිළි කිරීම් වලට සමාන පැහැදිළි කිරීමය.

ඇත්ත වශයෙන්ම දිව්‍යමය හෝ වෙනත් එ වැනි අදෘෂ්‍යමාන බලවේග හා “නවීන විද්‍යාවේ දැනුම” අතර පරස්පරය දේශපාලන වශයෙන් එකිනෙකට අභිමුඛ වූ අවස්ථා අපට ලංකාවේ නූතන ඉතිහාසය තුළ දැකිය හැකිය. 1930 ගණන්වල මුලදී ලංකාවේ බොහෝ ප්‍රදේශවල මැලේරියා වසංගතය පැතිරී තිබූ සමයේ එවක තරුණ දේශපාලන ක්‍රියාධරයින් ලෙස සිටි පසුව ලංකා සමසමාජ පක්ෂය පිහිටවූ පිරිස් වසංගතය පැතිරුණු ප්‍රදේශවල ජනයාට සහන සැලසීම සඳහා ඒ ප්‍රදේශ වලට ගියහ. ඒ වනවිට ඒ ප්‍රදේශ වල ජනයා මත ආධිපත්‍යය දැරූ ප්‍රභූන් වැඩිපුර උනන්දු වුනේ බලි තොවිල් ආදිය මගින් වසංගතය නතර කිරීම සදහා ජනයා පෙළඹවීමටයි. (මේ පිළිබදව අලංකාර කලාත්මක නියෝජනයක් ප්‍රභාත් වරුසමානගේ “සූරියමල්” නාට්‍යයේ ඇත. එම නාට්‍යයේ මුද්‍රිත පිටපත දැන් පළකොට ඇත.) තරුණ වාමාංශිකයින් ඒ ජනයා අතරට ගියේ පරිප්පු සහ මැලේරියාව සඳහා ක්වීනින් පෙති වැනි දේ රැගෙනයි. වසර කීපයකට පසු, “තොටලග මාටියා” යැයි නම් ලද හා මේ ගැමි ප්‍රදේශයට කිසිඳු පාරම්පරික සම්බන්ධයක් නො තිබූ, ඇන්. ඇම්. පෙරේරා, ඒ ප්‍රදේශයේ ජනයා මත දැඩි පාරම්පරික බල අධිකාරයක් සතිතව සිටි මීදෙණිය අධිකාරම්වරයාගේ දියණිය වූ, ඇඩ්ලින් මොලමුරේ ආර්යාව පරදා රුවන්වැල්ල ආසනය ජය ගත්තේ ප්‍රදේශයේ ජනයාට සම්ප්‍රදායික “මිත්‍යා විශ්වාස” වලට ප්‍රතිවිරුද්ධව “බටහිර විද්‍යාවේ මහිමය” පිළිබද දේශනා කිරීමෙන් නොව ජනයාගේ ප්‍රායෝගික ජීවිතයේ අවශ්‍යතාවලට ප්‍රායෝගිකව ආමන්ත්‍රණය කිරීම මගිනි.

Print Friendly, PDF & Email

Latest comments

  • 1
    0

    The concept of God or Gods is a convenient excuse born of mans ignorance to rationalise fear in the face of absent or unintelligible empirical data.

  • 1
    0

    Thank you Dr ..

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.