23 October, 2017

ශ‍්‍රී ලංකාවේ මුස්ලිම්-විරෝධී ත්‍ර​ස්තවාදයේ නව ආකෘතියක්: කළ යුත්තේ කුමක්ද? – අවසාන කොටස

ලක්සිරි ප‍්‍රනාන්දු

ආචාර්ය ලක්සිරි ප‍්‍රනාන්දු

මෙම ලිපියේ පළමු කොටස මෙතනින් කියවන්න​

මෑතකදී සිදු වූ පහරදීම්

අපේ‍්‍රල් මැද භාගයේ සිට මුස්ලිම් පල්ලිවලට, කඩසාප්පුවලට සහ ගම්මානවලට කරන ලද පහරදීම් 12 ක් වාර්තා වී තිබේ. මේ සිදුවීම් පිළිබඳ නිරවද්‍ය භාවය තවම සනාථ කරගෙන නැති බව ඇත්ත. කෙසේ වෙතත්, එය පොලීසියට පැවරෙන රාජකාරියකි. මේ සිදුවීම්වල දිග පළල ගැන විස්තර නිවැරදි විය නොහැකි වෙතත්, එවැනි සිදුවීම් ඇති වී තිබෙන බව සහ ඒවා යම් රටාවකට අනුව සිදුව ඇති බව ප‍්‍රතික්ෂේප කළ නොහැක. එකම ස්ථානයට කිහිප වතාවක්ම පහර දුන් අවස්ථාත් තිබේ. එහි තේරුම, එම පළාතේ පොලීසිය අහක බලාගෙන සිට ඇති බවයි. එබැවින්, ආණ්ඩුව පැත්තෙන් ගත් විට, ‘‘වෛරීය අපරාධ සඳහා වන විශේෂ පොලීසියක්’’ පිහිටුවීම ආණ්ඩුව පැත්තෙන් ගත් විට යහපත් පියවරකි. එහෙත් විශේෂ පොලීසියක් හෝ වෙනම පොලිස් අංශයක් ඒ සඳහා ඇති නිසා පළාතේ පොලිස් ස්ථාන තමන්ගේ රාජපකාරී නොකර සිටීමට එය හේතුවක් කර ගත යුතු නැත.

ඉහත සඳහන් ප‍්‍රහාරයන්ට කලින්, බොදුබල සේනාව සහ එහි නායක ගලගොඩඅත්තේ ඥානසාර විසින් ඒවාට උසිගැන්වීම් කළ යම් මාදිලියක් තිබේ. මුලින්ම ඔවුන්ගේ අවධානය යොමුව තිබුණේ අම්පාර දිස්ත‍්‍රික්කයේ ඉර්රාකමම් ප‍්‍රදේශය කෙරෙහි ය. ඒ අවට පෙදෙස්වල ඔවුන්ට පක්ෂපාතී අනුගාමික ශක්තියක් තිබුණි. එහෙත් ඉර්රාකමම් යනු මුස්ලිම් ජනතාව බහුතරයක් වෙසෙන ප‍්‍රදේශයකි. අධිකරණය හෝ වෙනත් නිල මාර්ගයකින් විසඳාගත හැකිව තිබූ ඉඩම් ආරාවුලක් ව්‍යාජ අවසරයක් වශයෙන් ගෙන එම ප‍්‍රදේශයේ වෙසෙන ජනතාවගේ ඉඩම් බලහත්කාරයෙන් අල්ලා ගැනුණි. ඒ, අප්‍රේල් මැද භාගයේ ය. එම ස්ථානය නැරඹීමට ගොස් ඇති ඥානසාර, මුස්ලිම් ජනතාව සහ ඔවුන්ගේ ආගමට එරෙහි ප‍්‍රකාශ ගණනාවක්ම එහිදී සිදු කොට තිබේ.

මේ මුස්ලිම් ප‍්‍රදේශයේම, ඔහුගේ අනුග‍්‍රහය යටතේ මැයි 10 වැනි දා වෙසක් උත්සවත් පවත්වා ඇත. මියන්මාරයේ සිට මුස්ලිම් සරණාගතයන් ලංකාවට පැමිණෙන බවටත්, එම ජනතාවට ඉඩම් අල්ලා ගැනීමට මේ පළාතේ මුස්ලිම් ජනතාව ආධාර කරන බවටත් ඔහු ප‍්‍රචාරයක් ගෙන ගියේ ද මේ කාලයේ ය. පොලොන්නරුවේ ඔනගම ප‍්‍රහාරය සිදුවන අවස්ථාවේ ඥානසාර එතැන රැුඳී සිට තිබේ. ඔහු අල්ලා දෙවියන් වහන්සේ පිළිබඳ පරිහාසයෙන් කතා කිරීම තවත් අපරාධයකි. මේ සියලූ සිදුවීම් පිළිබඳ පැහැදිළි සාක්ෂි තිබේ. බොදුබල සේනාව හැසිරී ඇත්තේ, අයි.එස්. ත‍්‍රස්තවාදයට ලංකාවට එන ලෙස ආරාධනා කිරීමට මෙනි.

සදාචාරමය වශයෙන් අජූවයි

බොදුබල සේනා ක‍්‍රියාකාරකම් ශ‍්‍රී ලංකාව වැනි බෞද්ධ රටක සිදුවීම සදාචාරමය වශයෙන් අජූව ය. පටු ‘වාර්ගික’ හෝ කල්ලිවාදී හේතු පෙරදැරිව වෙනත් ආගමකට පහර දීමටත්, වෙනත් ආගමකට එරෙහිව වෛරය වැපිරවීමටත් ප‍්‍රචාරකවාදීව බුද්ධාගම පාවිච්චි කරන ආකාරය සිතා ගැනීමත් දුෂ්කර ය.

ධර්මාශෝක සිය 12 වැනි රාජාඥාවේ නියම පත්කොට ඇති පරිදි, ‘‘සෑම ආගමකම මූලික ධර්මතා වර්ධනය විය යුතුය. මූලික ධර්මතා වර්ධනය විවිධාකාරයෙන් සිද්ධ විය හැකිය. එහෙත් ඒ හැම දෙයකම මූලය වශයෙන් පවතින්නේ, සම්මා වාචා ය. එනම්, යහපත් හේතුවකින් තොරව, තමන්ගේ ආගම වර්ණනා කිරීමත් වෙනත් ආගමක් ගර්හාවට ලක්කිරීමත් නොකළ යුතු බව ය. යම් විවේචනයකට හේතු ඇත්නම් එය කළ යුත්තේ මෘදු ආකාරයෙනි.’’

ශ‍්‍රී ලංකාවේ සිදුවීම් සම්බන්ධයෙන් වඩාත් වැදගත් වන්නේ සහ අදාළ වන්නේ මෙයයි:

‘‘මේ හේතුව නිසා වෙනත් ආගම්වලට ගරු කිරීම යහපති. එසේ කිරීමෙන් තමාගේ ආගම සේම වෙනත් ආගම් ද බැබළෙයි. එසේ නොකිරීමෙන් අනුන්ගේ ආගම් මෙන්ම තමාගේ ආගමත් පිරිහෙයි. අධික භක්තිය නිසා ‘මගේ ආගම උත්කර්ෂයට නැංවිය යුතු’ යැයි සිතා තමාගේ ආගම ගැන පාරම්බාන සහ අනෙක් ආගම් ගැන ගර්හාවෙන් කටයුතු කරන තැනැත්තා තමාගේ ආගමටත් හානි පමුණුවයි.’’

ඥානසාරගේ අරමුණ ආගමික අරමුණකැ යි ගැනීම උගහට ය. ආගම් පිළිබඳ කිසි අර්ථවත් විවේචනයක යෙදෙනවා වෙනුවට ඔහු කරන්නේ අනිත් ආගම්වලට නිග‍්‍රහ කිරීම සහ පහර දීමයි. ඔහුගේ හැසිරීම ප‍්‍රචණ්ඩ ය. ඔහුට හෝ වෙනත් කෙනෙකුට ආගම් පිළිබඳ යම් විවේචනයක් ඇත්නම් එය කළ යුත්තේ සංයමයෙනි. අශෝක රජතුමා කීවා සේ, ‘යම් විවේචනයකට හේතු ඇත්නම් එය කළ යුත්තේ මෘදු ආකාරයෙනි.’ එහිදී ‘විවේචනයේ නිදහස’ අහිමි කෙරෙන්නේ නැත. එහෙත් එම විවේචනය වෙනත් ආගමක් ගැරහීම සඳහා නොවිය යුතුය. අවාසනාවකට ලංකාවේ බොහොමයක් දෙනා තුළ ඒ ගුණය දකින්ට නැත. මානව හිමිකම් ගැන කතා කළත් එසේමැයි. ‘විවේචනයේ නිදහස’ යනු මොන විදිහකින්වත් මුස්ලිම් කඩ සාප්පු ගිනි තැබීම හෝ මුස්ලිම් පල්ලිවලට පහර දීම හෝ නොවේ.

බොදුබල සේනා නියෝජිතයන් විසින් මානව හිමිකම් කොමිසම හමුවට ගොස් චෝදනා ඉදිරිපත් කොට තිබීම හාස්‍ය දනවන කාරණයකි. ඔවුන් එසේ කෙළේ ඔහුව අත්අඩංගුවට ගැනීමට එරෙහිව ගන්නා යම් පියවරක් වශයෙන් නම් ඔහු කළ යුතුව ඇත්තේ මහේස්ත‍්‍රාත්වරයෙකු ළඟට ගොස් භාර වීමයි. නීතියේ ආධිපත්‍යයට මුහුණදීමයි. ඇත්ත තත්වය වන්නේ, මේ දක්වා පොලීසිය ඇතුලූ නීතිය ක‍්‍රියාවේ යොදවන බලධාරීන් ඥානසාර සම්බන්ධයෙන් ලිහිල් ප‍්‍රතිපත්තියක පිහිටා කටයුතු කිරීමයි. මැයි 21 වැනි දා කුරුණෑගල ප‍්‍රහාරය සිදුවන අවස්ථාවේ ඔහු එම ස්ථානයේ සිට ඇති බවට වාර්තා වෙතත් පොලීසිය ඔහුව අත්අඩංගුවට ගෙන නැත.

ජාතික කාර්යභාරය

බොදුබල සේනාව සෘජුව ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් පොලීසියේ ඉහළ නිලධාරීන් වගකිව යුතු වීමටත් පිළිවන. නොවීමටත් පිළිවන. එහෙත් සාමාන්‍ය මුස්ලිම් පොදු ජනතාව සහ ඔවුන්ගේ ව්‍යාපාර ගැන පැතිරෙන ප‍්‍රචාරක අගතීන් සහ දුර්මත විසින් ඔවුන්ව යම් ව්‍යාකූලත්වයකට පත්කොට තිබෙනවා හෝ ඔවුන් කෙරෙහි ඒ අගතීන් සහ දුර්මත බලපා තිබෙනවා විය යුතුය. බොහෝ කාලයක් තිස්සේ අප දැක ඇත්තේ එවැනි තත්වයකි. 20 වැනි සියවසේ මුල භාගයේ පියදාස සිරිසේනගේ නවකතා හරහා මේ අගතීන් ප‍්‍රචාරය කෙරුණි. 1970/80 කාලයේ පේරාදෙණියේ මගේ අසල්වැසියන් මේ මුස්ලිම්-විරෝධී අගතීන්වලට ගොදුරු වී සිටි සැටි මම අත්දැකීමෙන් දැක ඇත්තෙමි.

ඒ හා සමානවම, මගේ ළමා වියේදී, සිංහල බෞද්ධයන් සහ මුස්ලිම් ජාතිකයන් මොරටුව-හොරේතුඩුව ප‍්‍රදේශයේ සහයෝගයෙන් සහ සහෝදරත්වයෙන් වෙසෙන සැටිත් මා අත්දැක තිබේ. එබැවින් එය මිශ‍්‍ර තත්වයක් හෝ පැවති තත්වයක් උග‍්‍ර වීමක් හෝ විය හැකිය. සමහර මුස්ලිම් ජාතිකයන් තමන්ගේ ව්‍යාපාර කරගෙන යන ආකාරය සම්බන්ධයෙන් ඇතැම් සිංහල ව්‍යාපාරිකයන් තුළ නොරිස්සුම් සහගත ස්වභාවයක් ඇති කරනවා විය හැකිය. එහෙත් එය, ඔවුන්ගේ කඩසාප්පු සහ ව්‍යාපාරික ස්ථානවලට පහර දීමට හෝ ගිනි තැබීමට හේතුවක් නොවිය යුතුය. එසේම මේ තත්වයට හේතු වන්නේ, ලාභය සඳහා වන තරගය හෝ හුදු ඊර්ෂ්‍යාව වීමටත් පිළිවන.

නීතියේ ආධිපත්‍යය වැදගත් වන්නේ එවැනි තත්වයකයි. අනවබෝධය සහ අගතීන් ගැන පවා, දැනට ඉමහත් ප‍්‍රසිද්ධියක් ඇති ජාතික සංහිඳියා ප‍්‍රයත්නයන් සහ ඊට අදාළ වැඩ පිළිවෙලවල් තුළ සාකච්ඡාවට ගැනීම වැදගත් ය. එහිදී මුස්ලිම් ජාතිකයන්ටත් යම් කාර්ය භාරයක් පැවරෙයි.

එසේ නොමැතිව, ශ‍්‍රී ලංකාවට මේ විදිහට ඉදිරියට යාමට පුලූවන් කමක් නැත. 2014 ජුනි මාසයේ දී අළුත්ගමදී කරන ලද ප‍්‍රහාරයන්ගෙන් පසුව, 1915 සිංහල-මුස්ලිම් ගැටුමේ ශත සංවත්සරය 2015 දී පැවැත්වීමට බොදුබල සේනාව ලකලෑස්ති වන බව හැම පැත්තකින් පෙනෙන්ට තිබුණි. එම විනාශය වැළැකුණේ අලූත් ආණ්ඩුවක් යටතේ අලූත් දේශපාලන තත්වයක් ඇති වීම නිසා ය. එනිසා තත්වය කළමනාකරණය කර ගැනීමේ විශේෂ වගකීමක් වර්තමාන ආණ්ඩුවට තිබේ. එහෙත් අතීත ආණ්ඩුවේ කොටසක් වර්තමාන ආණ්ඩුවේ කොටසක් ද වීම, සමහර විට මේ ප‍්‍රශ්නයේ කොටසක් විය හැකිය.

පසුගිය අපේ‍්‍රල් සහ මැයි මාසයේ ඇති වූ සිදුවීම් ජාතික ඒකාග‍්‍රතාවට සහ සංහිඳියාවට අනර්ථකාරී ය. එය පාලනය කළ යුත්තේ, ඇතැමුන් කියන පරිදි, යකඩ හස්තයකින් නොව, නීතියේ ආධිපත්‍යයෙනි. පක්ෂ දේශපාලනයෙන් එහා යන ජාතික සම්මුතියක් ඇති කරගත යුතු අතර සියලූ පක්ෂ සහ කණ්ඩායම් හැකි තාක් ඒකරාශී කළ යුතුව තිබේ. කිසිම දේශපාලන පක්ෂයක් හෝ සංවිධානයක්, වර්තමාන බොදුබල සේනා සංවිධානයේ ක‍්‍රියාකාරකම් හෘද සාක්ෂියකට එකඟව අනුමත කරනු ඇතැයි සිතිය නොහැක. සියලූ දේශපාලන පක්ෂවල ස්ථාවරය වන්නේ, එවැනි තත්වයක් පිටුදැකීම බව පැහැදිළි ය.

එබැවින් එම විභවය උපරිමයෙන් ප‍්‍රයෝජනයට ගත යුතුය. බොදුබල සේනාවේ නරුම ක‍්‍රියාකාරකම් අනුමත නොකරන පක්ෂ (වමේ) එකාබද්ධ විපක්ෂය තුළ පවා සිටී. එම බලවේගත් මේ තත්වයට එරෙහිව යොදාගත යුතුව තිබේ.

මේ දිනවල ජාතික ආරක්ෂාව පිළිබඳ බොහෝ කතාබහ කෙරේ. ජාතික ආරක්ෂාවට තිබෙන භයානකම තර්ජන වන්නේ, ජාතික වශයෙන් සේම ජාත්‍යන්තර වශයෙන් ද, රටේ පවතින ආගමික අසමගියයි. එම තත්වය සමහන් කර ගැනීමේ එල්ලය සහිත, පොදු එකඟත්වයක් ඇති කර ගැනීම අරමුණු කරගත්, විශේෂ පාර්ලිමේන්තු විවාදයක් අවශ්‍ය කෙරේ. ගංවතුර ආපදා කළමණාකරන කටයුතු තරමටම මේ කාරණයත් වැදගත් වන්නේය.

*2017 මැයි 29 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ “A New Form Of Anti-Muslim Terrorism In Sri Lanka: What Is To Be Done?” නැමැති ලිපියේ සිංහල පරිවර්තනය (අවසාන කොටස) යහපාලනය ලංකා’ 

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 300 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically shut off on articles after 10 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.