6 May, 2021

Blog

‘එක රටයි, එක නීතියයි’: අධිකරණ ක්‍රියාවලියට බාරදෙන්න

ජයම්පති වික්‍රමරත්න –

ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රම​රත්න

‘එක රටයි, එක නීතියයි’ යන්න ගෝටාභය රාජපක්ෂගේ මැතිවරණ වේදිකාවේ කැපී පෙනෙන සටන් පාඨයක් විය. ‘වියත්මග’ සංවිධානය විසින් මුලින් සකසා අලෙවි කරන ලද එයිරට හදන ‘සෞභාග්‍යයේ දැක්ම’ නම් වූ රාජපක්ෂගේ මැතිවරණ ප්‍ර​කාශනයටද ඇතුලත් කරන ලදී.

මැතිවරණ ප්‍ර​කාශනයේ විශේෂයෙන් සඳහන් නොවුනද, සියලු පුද්ගල නීති අහෝසි කොට සියලූ‍ ජන කොටස් වලට එක පොදු නීතියක් අදාළ කරන බව සමහර වියත්මග සාමාජිකයින් මැතිවරණ ව්‍යාපාරයේදී කියා සිටියහ. මෙය මුස්ලිම් සහ දෙමල ජනකොටස් ඉලක්ක කර ගත් සටන් පාඨයක් බවත්, සිංහල ඡන්ද​​දායකයින්ට ආකර්ශනීය වූ බවත් සැක නැත. තවත් පුද්ගල නීතියක් වූ උඩරට නීතිය ගැන සඳහනක් නොවීය. උතුරේ දෙමල ජනයාට අදාළ සම්ප්‍ර​දායික නීතියක් වන තේසවලාමේ නීතියට පුද්ගල මෙන්ම ප්‍රාදේශීය ලක්ෂණද ඇත. මුස්ලිම් නීතිය ඉස්ලාම් භක්තිකයන්ට අදාලය.

‘එක රටයි, එක නීතියයි’ සටන් පාඨය තුල, සැම දෙනාටම එකසේ නීතිය ක්‍රියාත්මක කරනු ඇතැයි යන අංගය බොහෝ දෙනාට ආකර්ශනීය විය. නීතිය සැම දෙනාටම එකසේ ක්‍රියාත්මක කිරීම සෑම ආණ්ඩුවක් යටතේම සිදුනොවීම ගැන ජනතාව කලකිරී සිටීම ස්වභාවිකය. ජනාධිපති ගෝටාභය රාජපක්ෂ යටතේද, එය එසේම වන බව සැම දෙනාටම පෙනෙන්නට තිබේ.

මූලික අයිතිවාසිකම් වලට පටහැනි නීති තිබීම

1978 ව්‍යවස්ථාවේ 168(1) වගන්තිය ප්‍ර​කාර, 1978 ට කලින් පැවති නීති නව ව්‍යවස්ථාවට යටත්ව කියවිය යුතුය. එහෙත් එම නීති මූලික අයිතිවාසිකම් පරිච්ඡේදය​ සමග ඇති අනනුකූලතාවයන් නොතකා ක්‍රියාත්මක වන බව 16(1) වගන්තියෙන් කියවේ. 1972 ව්‍යවස්ථාවේද, එවැනි වගන්තියක් විය.

පුද්ගල නීති පමණක් නොව 1978ට පෙර සිට පැවත ගෙන එන වෙනත් නීති වලද, මූලික අයිතිවාසිකම් වලට පටහැනි විධිවිධාන ඇත. දළදා මාලිගාවේ දියවඩන නිලමේ තනතුර සඳහා වූ ඡන්ද​ විමසීමේදී ප්‍රාදේශීය ලේකම්ධූර දරන ස්ත්‍රීන්ට​ ඡන්ද​​ බලය අහිමිවීම එක උදාහරණයකි.

පවතින නීති සහ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිලිබඳ ජාත්‍යන්තර ප්‍රඥාප්තිය

1978 ට පෙර සිට පවතින නීති වල මූලික අයිතිවාසිකම් වලට පටහැනි ප්‍රතිපාදන හඳුනාගැනීමට අනගි අවස්ථාවක් ශ්‍රේෂ්ඨාධිකරණය​ 2008 දී උදා විය. ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිලිබඳ ජාත්‍යන්තර ප්‍ර​ඥාප්තියට අනුකූලදැයි යන්න පිලිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය කුමක්දැයි 2008 මාර්තු 04 දින ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ව්‍යවස්ථාවේ 129(1) වගන්තිය යටතේ විමසීය.

2009 ශ්‍රී ලංකා නීති වාර්තා, දෙවන වෙළුමේ 389 වන පිටේ වාර්තාකර ඇති විකල්ප ප්‍ර​තිපත්ති කේන්ද්‍රය (ICCPR පිලිබඳ) නම් වූ එම කාරණය එස්.එන්. සිල්වා අගවිනිසුරු තුමා සහ අමරතුංග, මාර්සූෆ්, සෝමවංශ සහ බාලපටබැඳි යන විනිසුරුතුමන්ලාගෙන් සමන්විත පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ දී 2008 මාර්තු 17 වන දින සලකා බැලීමට ගෙන එදිනම අවසන් කරන ලදී. එදිනට පසු දින ලිඛිත දේශන ගොනු කරන ලෙස පාර්ශකරුවන්ට දන්වන ලදුව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය 2008 මාර්තු 28 දින ජනාධිපතිවරයාට යවන ලදී.

මැදිහත් වූ පෙත්සම් කරුවන් කීප දෙනෙක්ම සැල කර සිටියේ පෙර සිට පවතින නීති වල ඇති, ජාත්‍යන්තර ප්‍ර​ඥාප්තිය සමග ගැලපෙන මූලික අයිතිවාසිකම් වලට පටහැනි, ප්‍රතිපාදන නිසා මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ විට 16(1) වගන්තිය හේතුවෙන් ප්‍ර​තිකර්මයක් නොමැති බවය. විශේෂයෙන් ස්ත්‍රීන්ව​ වෙනස් කම් වලට භාජනය කරන පුද්ගල නීති මෙන්ම වෙනත් නීති වල ප්‍ර​තිපාදන 16(1) වගන්තිය හේතුවෙන් වලංගුව පවතින බව පෙන්වා දෙන ලදී. එවැනි නීති වල උදාහරණ සහිත සටහනක් ලාල් විජේනායක වෙනුවෙන් පෙනී සිටි මෙම ලියුම්කරුගේ ලිඛිත දේශනය සමග ඉදිරිපත්කරන ලදී. ඉඩම් සංවර්ධන ආඥා පනත, ඉඩම් දීමනා (විශේෂ විධිවිධාන) පනත, උඩරට නීතිය පිලිබඳ ආඥාපනත සහ මුස්ලිම් අනුප්‍රාප්තිය ආඥාපනත එම නීති විය.

සම්ප්‍ර​දායක සහ විශේෂ නීති අප සමාජයේ ගැඹුරු ලෙස තැන්පත්වී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය​ කියා සිටියේය. වාර්ගික, ආගමික සහ භාෂාමය කුඩා ජන කොටස් සිටින රට වල එම ජන කොටස් වලට, තම ජන කොටසේ අනිකුත් සාමාජිකයින් සමග තම සංස්කෘතිය බුක්ති විඳීමට, තම ආගම ඇදහීමට සහ පිලි පැදීමට හෝ තම භාෂාව පාවිච්චි කිරීමට ඇති අයිතිය නැති නොකළ යුතු යැයි සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිලිබඳ ජාත්‍යන්තර ප්‍ර​ඥාප්තියේ 27 වන වගන්තියේ සඳහන් වේ. පුද්ගල නීති වල සමහර අංග ස්ත්‍රීන් වෙනස් කම් වලට භාජනය වීමට ඉඩ ඇති වීමෙන් පමණක් 16(1) වගන්තිය ප්‍ර​ඥප්තියට අනනුකූල යැයි සැලකිය නොහැක. එවැනි නීති සංශෝධනය කිරීමට ප්‍ර​ඥප්තිය මෙවලමක් ලෙස භාවිතා නොකර ගත යුතු යයිද, එම නීති සංශෝධනය කිරීමට කරන ඉල්ලීම් ඒ ඒ පුද්ගල නීතිය අදාළ වන ජන කොටසෙන් මතුවිය යුතු යැයිද ශ්‍රේෂ්ඨාධිකරණය​ ප්‍ර​කාශ කළේය.

පෙත්සම්කරුවන් කරුණු ඉදිරිපත්කලේ හුදෙක් පුද්ගල නීති පිලිබඳව පමණක් නොවේ. ඉදිරිපත් කරන ලද පුළුල් ප්‍රශ්නය වූයේ ජනතාවගේ පරමාධිපත්‍යය ක්‍රියාත්මක කරන එක් ආකාරයක් වූ මූලික අයිතිවාසිකම් වලට පටහැනි නීති පැවතීමට 16(1) වගන්තිය ඉඩ දීමේ හේතුවෙන් ප්‍ර​ඥාප්තිය සමග අනනුකූල වන බවය. එම ප්‍ර​ශ්නයට උත්තරයක් නොලැබිණ.

මගහැරුණු මහඟූ අවස්ථාව

පුද්ගල නීති සංවේදී කාරණයක් බවට සැකයක් නොමැත. ස්ත්‍රීන්ට වෙනස් ලෙස සලකන පුද්ගල නීති පිලිබඳ කාරණය අදාළ ජන කොටස් වල ක්‍රියාකාරීන් ඇතුළු බොහෝ දෙනා විසින් දීර්ඝ කාලයක් තිස්සේ මතු කර ඇත. එහෙත් දේශපාලනඥයන් මෙන්ම එම ජන කොටස් වල දැඩි මතධාරීන් විසින් ඒවා යටපත් කරන ලදී. මතු කරන ලද කාරණයේ වැදගත් කම සලකා එය ආමන්ත්‍රණය​ කිරීමට සුදුසු යාන්ත්‍රණය​ක් අධිකරණය විසින් නිර්දේශ කල යුතුව තිබුණි.

ශ්‍රේෂ්ඨාධිකරණය​ ප්‍ර​කාශ කලේ ජාත්‍යන්තර ප්‍ර​ඥප්තියෙන් ප්‍ර​කාශිත අයිතිවාසිකම් ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අනෙකුත් නීති මෙන්ම ඉහල අධිකරණ වල තීන්දු මගින් ප්‍ර​මාණවත් ලෙස පිළිගැනෙන බවත් ඒවා රටේ නීතිමය සහ ව්‍යවස්ථානුකූල ක්‍රියා මාර්ග තුලින් ක්‍රියාත්මක කරවා ගත හැකි බවත්ය.

ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිලිබඳ ජාත්‍යන්තර ප්‍ර​ඥප්තිය මෙන්ම අපගේ මූලික අයිතිවාසිකම් සමග අනුකූලදැයි විමර්ශනයක්‌ කිරීමට ජනාධිපති වරයා විසින් කරන ලද මත විමසීමෙන් මතු වූ මහඟූ අවස්ථාව මග හැරුණු බව ලියුම්කරුගේ මතයයි.

තම මතය දැනුම් දීමට ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය​ට දුන් කාලය ප්‍ර​සිද්ධ කර නැත. යොමු කිරීමෙන් සති හතරක් ඇතුලත මතය දැනුම්දීම සහ විමසීම එක දිනයකට සීමා කිරීමෙන් පෙනෙනුයේ එම කාලය මසක් පමණ විය හැකි බවය. සති කීපයක් තුල එතරම් විශාල නීති පද්ධතියක් විමර්ශනය කිරීමට කිසිම අධිකරණයකට නොහැක. වැඩි කාලයක් ඉල්ලා සිට තමන්ට සහාය වීමට කීර්තිමත් නීතිඥවරු කීප දෙනෙක් පත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය​ට හැකිව තිබුණි.

දේශපාලන ක්‍රියාවලියකට වඩා අධිකරණ ක්‍රියාවලියක් සුදුසුයි

නව ව්‍යවස්ථාවක් යටතේ, පෙර සිට පවතින නීති මූලික අයිතිවාසිකම් වලට යටත්ව කියවිය යුතුද යන්න පිළිබඳව පසුගිය පාර්ලිමේන්තුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මූලික අයිතිවාසිකම් පිලිබඳ අනු කමිටුව තුල විවිධ මත පලවිය.

අනු කමිටුවේ සභාපති වූ මහින්ද සමරසිංහ, වෛද්‍ය තුසිතා විජේමාන්න සහ ලියුම්කරු යෝජනා කලේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ක්‍රියාත්මක වන අවස්ථාවක ඇති සියලූ‍ ලිඛිත සහ අලිඛිත නීති, මූලික අයිතිවාසිකම්ද ඇතුළු මුළු ව්‍යවස්ථාවට යටත්ව කියවිය යුතු බවත්, යම් නීතියක ප්‍ර​තිපාදනයක් ව්‍යවස්ථාව සමග අනනුකූල බව අධිකරණය විසින් ප්‍ර​කාශකළ විට එම අනනුකූලත්වයේ ප්‍ර​මාණයට එම ප්‍ර​තිපාදන අවලංගු විය යුතු බවත්ය. එම්. එච්. එම්. සල්මාන් ගේ මතය වූයේ එසේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යටත්ව කියවීමෙන් පුද්ගල නීති නිදහස් කල යුතු බවය. 16(1) වගන්තිය එසේම තබා ගත යුතු බවත්, පුද්ගල නීති විමර්ශනයට ලක් කොට ඒවා මූලික අයිතිවාසිකම් සමග ගැලපිය හැක්කේ කෙසේදැයි යෝජනා කිරීමට ජනාධිපති කොමිසමක් පත්කළ යුතුයැයි වාසුදේව නානායක්කාර යෝජනා කළේය. අනෙකුත් සාමාජිකයන් හය දෙනා, එනම් පවිත්‍රා වන්නිආරච්චි, විජිත හේරත්, අතුරලියේ රතන හිමි, අරවින්ද කුමාර්, එස්. ශ්‍රීධරන් සහ අනුරාධ ජයරත්න ස්ථාවරයක් නොගත්හ.

පුද්ගල නීති සම්පූර්ණයෙන් අහෝසි කිරීම උත්සාහ කිරීමෙන් විවිධ ජන කොටස් අතර දැනටමත් පලූ‍දු වී ඇති සබඳතා තවත් බිඳ වැටෙනු ඇති බව නියතය. උඩරට නීතිය, තේසවලාමේ නීතිය සහ මුස්ලිම් නීතියේ සියලූ‍ අංග මූලික අයිතිවාසිකම් වලට පටහැනි නැත. ‘එක රටක්, එක නීතියක්’ යන සටන් පාඨය ඉදිරිපත් කරන අය කියා සිටින්නේ සියලූ‍ පුද්ගල නීති සාමාන්‍ය නීතියට යටත් කල යුතු බවය. එම ඊනියා ‘සාමාන්‍ය’ නීති බොහොමයක් අප මත පැටවූයේ යටත් විජිත පාලකයන් විසිනි. ඉන් සමහරක් යල් පැනූ බටහිර වටිනාකම් මත පදනම් වූ ඒවා වන අතර එම වටිනාකම් බොහොමයක් බටහිර රටවලම දැන් බැහැර කර ඇත.

අද කල යුතු හොඳම දේ වන්නේ 16(1) වගන්තිය අහෝසිකර නීති පිලිබඳ පසු විපරම් කිරීමට අධිකරණයට බලය පැවරීමය. එවිට අප නීති පද්ධතියේ කුමන ප්‍ර​තිපාදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිද යන්න හඳුනා ගෙන ඒවා බලරහිත කිරීමේ බලය ශ්‍රේෂ්ඨාධිකරණය​ට පැවරේ. දේශපාලන ක්‍රියාවලියට වඩා අධිකරණ ක්‍රියාවලියක් අදාළ පුද්ගල නීති බලපාන ජනතාව ඇතුළු සමස්ත ජනතාවගේ පිළිගැනීමට ලක්වනු ඇත. අවශ්‍ය වන්නේ සියලූ‍ සංස්කෘතියන් යටතේ මානව ගෞරවය ආරක්ෂා වන එක් අවම නෛ ප්‍ර​මිතියක් මිස, නිසැකයෙන්ම බහුතරයේ සංස්කෘතික ප්‍ර​මිතිය වන තනි සංස්කෘතික ප්‍ර​මිතියකට සියලු සංස්කෘතීන් යටත් කිරීම නොවේ.

Print Friendly, PDF & Email

Latest comment

  • 4
    0

    ශ්‍රී ලංකාව මෑත වසර දෙස බලන විට දූෂිතම රටකි. ඉහළ සිට පහළට සියලු දෙනා දූෂිතයි. ප්‍රධාන වශයෙන් බෞද්ධ නමුත් වෙනත් ආකාරයකින් හැසිරේ. මිනිසුන් රැවටිලිකාරයන් බවට පත් කර ඇති අතර, ඔවුන් දිගටම රැවටී සිටිති. සමාජ විද්‍යා ologists යින්, සමාජ විශේෂ experts යන් සමාජය නැවත ගොඩනැංවීම සඳහා සමීපව කටයුතු කළ යුතුය. මා විශ්වාස කරන පරිදි, දශක 3 ක යුද්ධයක් නිර්මාණය වූයේ මිනිස් පාඩු වුවද සමාජයට සිදුවන හානිය ගණනය කළ නොහැකිය. මිනිසුන් උදාසීන වීමට සලස්වා ඇත, ඔවුන්ගේ ආදරණීයයන් ඉලක්ක කරගනු ලැබුවද ඔවුන් ප්‍රතික්‍රියා නොකරනු ඇත.
    අපරාධ හා දූෂණය අතීතයට වඩා අදටත් අඛණ්ඩව පවතී.
    අප සිතුවේ අපෝටිකල් නායකයාට බොහෝ දේ අත්කර ගත හැකි බවත්, ඔහුත් තේරී පත්වීමට පෙර ජනතාව ඉදිරියේ ප්‍රති led ා දුන් බවත්ය. අපි හිතුවා, ගෝටා වඩා දැඩි නීති ක්‍රියාත්මක කරයි කියලා. නමුත් ඔහු ශිෂේණය less ජු නායකයෙකු හා සමාන ය. ජනතාව සහ ව්‍යවස්ථාව මගින් ඔහුට සියලු බලය ලබා දී ඇතත්, ඔහු පැහැදිලිවම ඉහළ අපරාධකරුවන් සොයා ගන්නේ නම් ඔහුගේ ආධාරකරුවන් ආරක්ෂා කරයි.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.