18 June, 2026

Blog

ඩ්‍රෝන යුධ තාක්ෂණයට මැදි වූ රුසියන්-යුක්ක්‍රේන අර්බුදය

පී. ආර්. දුෂාන්ති සිල්වා

දුෂාන්ති සිල්වා

ලෝක දේශපාලනය මෙන්ම ලෝක සාමය ද දැඩි කැළඹිලි සහගත තත්ත්වයක පවතින වකවානුවක මින් නොබෝ දිනකට පෙර රුසියන් ජනපති වැල්දිමීර් පුටීන් (Vladimir Putin) හා උතුරු කොරියානු නායක කිම් ජොං උන් (Kim Jong Uin) උතුරු කොරියාවේ පියෑංයොංග් (Pyangyong) චතුරස්‍රයේ රතු පළස් මතින් ගමන් ගෙන ඉතා උණුසුම් ආකාරයෙන් හමුවීම සමස්ත ලෝක ප්‍රජාවම මඳක් විස්මයට පත් කළා යැයි පැවසුවහොත්  එය නිවැරදිය. ඒ මන්දයත් සියවසේ ඉතා දරුණුම රුසියන්යුක්ක්‍රේන යුද්ධය තවමත් නොවිසඳුනු එකක් වූ බැවිනි. ලෝක දේශපාලන විචාරකයින්, විදේශ ප්‍රතිපත්ති සම්පාදකයින්, රාජත්‍රාන්තික පිරිස් විශේෂයෙන්ම බටහිර බලවතුන් විමසිලිමත් වූයේ රුසියන් ජනපති පුටීන්ට උතුරු කොරියාවේදී කිනම් ආකාරයේ පිළිගැනීමක් හිමිවේද යන්නයි.  ජනපති පුටීන් වූ කලී මිත්‍රශීලී භාවය බාහිරින් පළ කලද බොහෝ විට ඒකාධිකාරී පාලන ස්වරූපයක් ගත් නායකයෙකු ලෙස විචාරකයින් අතර ප්‍රසිද්ධව ඇති අයෙකි.  ඔහු කිසි විටෙක නිශේධනාත්මක ප්‍රතිඵලවල් වගකීම ගැනීමට නම්‍යශීලී නොවන අතරම ඉතා උපායමාර්ගිකව ස්වකීය රාජ්‍ය තාන්ත්‍රීය තීරණ මෙහෙයවන්නෙකු ලෙස ප්‍රකටව ඇත.  ජනපති පුටීන්ගේ උ. කොරියානු සංචාරය හමුවේ ද ඉතා හොඳින් මේ තත්ත්වය සනාථ වේ. ජනපති පුටීන් රුසියාව අභ්‍යන්තරයේ පවා ඉතා දැඩි මාධ්‍ය වාරණයක් ගෙන යනු ලබන්නෙකි. ජනපති පුටීන් හා උ.කොරියානු නායක කිම් ජොං මේ වන විටත් දෙරට අතර අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමකට අත්සන් තබා ඇත (Mutual Defense Agreement).  රුසියාව, දකුණු කොරියාව සමග මිත්‍රපාක්ෂික නොවන අතර දකුණු කොරියාව යුක්ක්‍රේනයට යුධ ආධාර සැපයීම සිදු වුවහොත් ඒ පිළිබඳව ඳ අනතුරු ඇඟවීමක් රුසියාව විසින් දැනටමත් ද. කොරියාවට කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දෙවන ලෝක යුද්ධයෙන් පශ්චාත් අවධිය විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය ස්ථාපිත කිරීමෙන් පසු ලෝක සාමය හා ආරක්ෂාව, ජාතීන් අතර ආර්ථික, සමාජ සහජීවනය සහ පැවැත්ම පවත්වා ගනිමින් ඉදිරියට ඇදුනු අතර මේ වකවානුව “Long peace” ලෙස හඳුන්වනු ලැබීය. නමුත් අප අද මුහුණ පා ඇත්තේ දෙවන ලෝක යුද්ධයේ දී මුහුණ දුන්නා වූ ඛේදජනක තත්ත්වයට ඉතාම ආසන්න තත්ත්වයකටයි. යුධ විශේෂඥයින්, විශ්ලේෂකයන් රුසියාව, යුක්ක්‍රේනය ආක්‍රමණය කිරීම මේ සියවසේ ඉතා මිලේච්ඡම ආක්‍රමණය ලෙසත් ජීවිත හානි අධිකම සිදු වූ යුධ තත්ත්වය ලෙසත් මේ වන විට වාර්තා කර ඇත.  ලෝකයේ මේ වන විට දක්නට ලැබෙන නව ප්‍රවණතාවක් වන්නේ අභ්‍යන්තරික ගැටුම් ජාත්‍යන්තරීකරණය වීමයි. නවීන යුධ ක්‍රමයන් තාක්ෂණික විපර්යාසයන් හා භූ දේශපාලනික ගැටුම හේතුවෙන් රාජ්‍ය නොවන ක්‍රියාකාරීන්, සංස්ථිතීන් ඉතා විශාල රාජ්‍යයන් අරඹයා සැළකිය යුතු මට්ටමේ ධාරිතාවකින් යුතුව බලපෑමෙන් මැදිහත්වීමක් දක්නට ලැබේ. ‘යුද්ධයඅද ඊයේ ඇරඹුමක් නොවේ.  යුධ ශිල්පද කාලාන්තරයක් ඔස්සේ විකාශනය වෙමින් ආ තත්ත්වයකි.  නමුත් සෑම විටම යුද්ධයක දී ආචාර ධර්ම (Ethics) පවතී. නමුත් අද වන විට ලෝකයේ සියලු යුධ මෙහෙයුම් අරඹයා ගොඩනැගුණු යුධ නීති ආචාර ධර්ම මුළුනුපුටා දමා මිලේච්ඡත්වය, හිංසනයට පමණක් පදනම් කොට ගත් වපසරියක් තුළු යුද්ධ කිරීම මානව වර්ගයාගේ පැවැත්ම ශූන්‍ය වීමේ මං සළකුනු මොනවාට විද්‍යාමාන වේ. මේ අර්ථයෙන් ගත් කළ රුසියානුයුක්ක්‍රේන යුද්ධය ඔස්සේ ද පල වන්නේ යුධ ක්‍රමවල මේ නවීන භාවිත ස්වරූපයයි.  යුක්ක්‍රේනරුසියන් යුද්ධය වූ කලී ඩ්‍රෝන යුධ ක්‍රමය ඉතා පුළුල් ආකාරයෙන් දෙපාර්ශ්වයම භාවිත කරන්නා වූ යුද්ධයක් ලෙස ප්‍රකටව ඇත. දෙපාර්ශ්වය විසින්ම ඔවුනොවුන් අභිබවා ඩ්‍රෝන යුධ ක්‍රමය පාවිච්චි කොට ඇත. ඇත්ත වශයෙන් ම ඩ්‍රෝන යුධ තාක්ෂණය නව ප්‍රවණතාවක් ලෙස සාකච්ඡා වුව ද එහි මුල් භාවිතය 7 වන ලෝක යුද්ධ සමය කරා දිව යන්නකි.

ඩ්‍රෝන යුධ තාක්ෂණයේ ඓතිහාසික පසුබිම

ඩ්‍රෝන යුධ තාක්ෂණය ඇරඹුමේ මූලික පියවරයන් මිනිස් ක්‍රියාකාරීත්වයෙන් තොර ගුවන් වාහන නමැති උපාංගය (Unmanned aerial vehicles (UAVS)) දක්වා දිව යයි.  ගුවන් නියමුවන් නොමැති පළමු වාහනය නිපදවාලූයේ බ්‍රිතාන්‍ය හා ඇ. . . පළමු ලෝක යුද්ධ වකවානුවේදීය.  ගුවන් විදුලි පරිපථයක් ඔස්සේ ඉලක්ක වෙත ලගාවීමේ පුහුණුවක් දියත් කිරීම ඔස්සේ ඩ්‍රෝන තාක්ෂණ වර්ධනයේ අඩිතාලම ක්‍රම ක්‍රමයෙන් නිර්මාණය විය.  බ්‍රිතාන්‍යය, DH. 82 B Queen Bee ගුවන් විදුලි පරිපථ පාලනයෙන් නිෂ්පාදනය වූ (UAVS) උපාංගය නිෂ්පාදනය වීම ඔස්සේ පළමු ලෝක යුද්ධ වකවානුව අතරතුර යුධ ක්‍රමය පිළිබඳ නව දැක්මක් ප්‍රදර්ශනය විය. බ්‍රිතාන්‍යයට සමගාමීව ඇ. . . (UAVS) අත්හදා බැලීම් සිදුකරනු ලැබීය. මෙම නව ඇරඹුම එක්තරා ආකාරයක නව උද්යෝගයක් ද යුද්ධය තුළ ඉස්මතු කළ අතර වියට්නාම යුද්ධය තුළ ද බ්‍රිතාන්‍යය හා ඇ. . . ට පරිබාහිරව සෙසු රටවල් ද ගුවන්නියමුවන් තොර Unmanned aerial technology ගවේෂණය කරා යොමු විය

ඩ්‍රෝන යුධ තාක්ෂණය, ගෝලීය දේශපාලනය අස්ථාවර කරයි ?

ඇත්ත වශයෙන්ම ලොව බොහෝ විදේශ ප්‍රතිපත්ති සම්පාදකයින්, ජාත්‍යන්තර සබඳතා විශ්ලේෂකයින්, ආරක්ෂක ප්‍රධානීන්ගේ අදහස වී ඇත්තේ ඩ්‍රෝන යුධ ක්‍රමය මූලික වූ මේ අවධිය ලෝක දේශපාලනයට, මෙන්ම ලෝක සාමයට ද මේ වන විටත් ඉතා දැඩි නිශේධනීය බලපෑමක් එල්ල කොට ඇති බවයි. ඩ්‍රෝන තාක්ෂණය ඔස්සේ රාජ්‍ය නොවන පාත්‍රවර්ගයන් (Non-state actors) විශේෂයෙන්ම විප්ලවවාදී කණ්ඩායම් ත්‍රස්තවාදී කණ්ඩායම් එහි අනිසි භාවිතයින් හේතුවෙන් අනාගත ප්‍රහාර සැලසුම්කිරීම, අස්ථාවර දේශපාලන තත්ත්වයන් නිර්මාණය කිරීම, බුද්ධි අංශ වෙත බලපෑම් කිරීම ආදී ඉතා කැළඹිලි සහගත වපසරියන් නිර්මාණයට දැනටමත් ඩ්‍රෝන තාක්ෂණය යොදා ගැනීම විශාල ගැටලුවකි. ISIS, තාලෙයිබාන්, මැදපෙරදිග, විවිධ සංවිධාන මෙහි ඵල දැනටමත් භුක්ති විඳිමින් සිටී

ඩ්‍රෝන තාක්ෂණය තුළ යුධ ක්‍රමයේ වර්ධනය    

ඩ්‍රෝන යුධ ක්‍රමය අසාමාන්‍ය ලෙස යුද්ධයේ ස්වභාවය, ක්‍රියාකාරීත්වය හා දැක්ම වෙනස් කොට ඇත.  ආයුධ රැගත් ඩ්‍රෝන යානා හඳුන්වාදීමත් සමඟ හමුදාමය සංවිධාන හා රාජ්‍යයන් අතර මෙම තාක්ෂණය වැඩි වැඩියෙන් භාවිත වීම හේතුවෙන් ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ මහතා තර්ජනයක් නව ස්වරූපයකින් නිර්මාණය වන්නට විය.  මේ වන විට ලෝකයේ රටවල් 10ක ට අධික ප්‍රමාණයක් ඩ්‍රෝන යුධ ක්‍රමය භාවිත කරනු ලැබේ. ඩ්‍රෝන යුධ තාක්ෂණය ගුවනින් මෙන්ම නාවුක මාර්ග ඔස්සේ ද ගොඩ බිමින් ද භාවිත කළ හැකි බැවින් මෙහිදී යුද්ධයකට මැදිවන සියලු පාර්ශ්වයන්ට එල්ල වන බලපෑම මෙන්ම එම ප්‍රදේශවලට මැදි වූ අහිංසක සිවිල් ජනයාට වන හානිය ද ඉතා ප්‍රබලය. “බොයිලිනම් විචාරකයා පවසන්නේ ඩ්‍රෝන තාක්ෂණය සම්බන්ධයෙන් පැහැදිලි නීතිමය හා සදාචාරාත්මක පිළිගැනීමක් තිබිය යුතු බවයි.  එමෙන්ම තවදුරටත් ඩ්‍රෝන යුධ ක්‍රමය භාවිතයේ නිශේධනාත්මක ප්‍රතිඵලයක් වන්නේ මේ හේතුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය ඛාදනය වීමකට ලක්වන බවයි.  පාලනයෙන් තොර යුධ ක්‍රමයන් වල විනාශයේ ස්වභාවය ගණනය කළ නොහැකිය.  මේ වන විටත් රුසියානු ඩ්‍රෝන යෙදවුම් හේතුවෙන් යුක්ක්‍රේන ගම්බිම්වලට දිනපතා විශාල හානි සිදුවේ.  ආයුධ සන්නද්ධ ඩ්‍රෝන (armed drones) අනතුරුදායක නොවන (risk-free) ක්‍රමයක් ලෙස භාවිතයට පැමිණිය ද එහි යථාර්තය වන්නේ, එය අනාරක්ෂවට බොහෝ ලං වන අතර විධිමත් ආරක්ෂාවක් ඉන් නොලැබෙන බවයි.

රුසියාව, යුක්ක්‍රේනය ආක්‍රමණය කළේ මන්ද?

1922 වන විට රුසියාව හා යුක්ක්‍රේනය පැවතියේ සෝවියට් සමාජවාදී සමූහාණ්ඩු සංගමයේ පුරෝගාමී සාමාජිකයින් ලෙසිනි.  නමුත් 1991 දී යුක්ක්‍රේනය සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුවෙන් නිදහස ප්‍රකාශ කිරීමෙන් පසු ස්වාධීන රාජ්‍යයක් ලෙස නැගී සිටියේය. 1991 අගෝස්තු 23 දින යුක්ක්‍රේනය 90%ක ප්‍රතිශතයකින් සම්මත වූ ජනමත විචාරණයක ප්‍රතිඵලයට සමගාමීව ස්වකීය නිදහස් ප්‍රකාශනය නිකුත් කළේය. යුක්ක්‍රේන ජනරජයේ ප්‍රථම ජනපති ලෙස ලියොනිඩ් ක්‍රවුෂන්ක් (Leonid Kravchuk) පත් වූ අතර, ඔවුන් රුසියාව සමග දේශපාලන එකමුතුකමක් නොතිබුණ ද දිගින් දිගටම බලශක්ති, වෙළඳ හා සංස්කෘතික සබඳතා පවත්වාගෙන යනු ලැබීය. නමුත් මෙහි දී පැන නැගුනු ගැටලුව වූයේ රුසියාව අතීතයේ දී මෙන්ම නිරතුරුවම යුක්ක්‍රේනය දෙවැනි තැනට ද කටයුතු කල අතර යුක්ක්‍රේනය නව නිදහස් රාජ්‍යයන් ලෙස යුරෝපයේ නැගී සිටීම රුසියන් ජනපති පුටීන් එතරම් කැමති නොවූවක් විය.  මුල පටන්ම යුක්ක්‍රේනය පාලනය කරන ලැබුවේ රුසියානු කොමියුනිස්ට් පක්ෂය විසිනි. “මොස්කව්පාලනයට එරෙහි වූවෙකුගේ අනාගතය එතරම් සුභදායි නොවන බව, රුසියාව, යුක්ක්‍රේනය හමුවේ කළ ආක්‍රමණයෙන් හොඳින්ම පැහැදිලි වේ. යුක්ක්‍රේනය, බෝල්ෂෙවික් විප්ලවයට සමගාමීව හටගත් සිවිල් යුද්ධයෙන් ද, 1930 සාගතයෙන් ද මිලේච්ඡ නාසි ආක්‍රමණයෙන් ද, II වන ලෝක යුද්ධයෙන් ද පීඩාවට හසු වූ රාජ්‍යයකි. මොස්කව් තුළ පැවතියේ ඒකාධිකාරී දේශපාලන ව්‍යුහයකි.  යුක්ක්‍රේන කොමියුනිස්ට් පක්ෂය මොස්කව්වල නිරතුරුවම දෙවන ස්ථානයේ ලා ගැනුනු අතර, යුක්ක්‍රේන සංස්කෘතිය හා භාෂාව නිරතුරුවම රුසියාවට දෙවෙනි වුණි. මේ ආකාර ඉතා කැළඹිලි සහගත මෙන්ම ඛේදජනක ඉතිහාසයකට උරුමකම් කියූ යුක්ක්‍රේනය ඉතා කම්පාවට පත් වූ ජාතියක් විය. 1990 ගණන්වල සිට යුක්ක්‍රේනයේ පැවති සෝවියට් මාදිලියේ ආර්ථිකය කඩා වැටුනු අතර ඔවුන් නොයෙක් ආකාරයේ පීඩාවන්ට පත්විය. නමුත් නැවතත් 2004-2007 කාලපරිච්ඡේදය තුළ යුක්ක්‍රේන ආර්ථික සෞභාග්‍යය ළගා වූ අතර ඔවුන් ශක්තිමත් ජාතියක් ලෙස නැගී සිටීමට පටන් ගනු ලැබීය. රුසියන් ජනපති පුටීන්ගේ දිගුකාලීන අභිලාෂය වූයේ, යුක්ක්‍රේනය ඉතා තදින්ම රුසියාවට පාක්ෂික අයුරින් තබාගැනීමත් යුක්ක්‍රේනය නව ශක්තිමත් රාජ්‍යයක් ලෙස යුරෝපයේ ක්‍රියා කිරීම නවතා දැමීමත්ය. යුක්ක්‍රේනය, අස්ථාවර කිරීම, දුර්වල කිරීම මෙන්ම යුක්ක්‍රේනය, කිසිදු කලාපීය සාමූහික ආරක්ෂක ගිවිසුමක සාමාජිකත්වය ලබාගැනීම වැළැක්වීමත්ය. විශේෂයෙන්ම පුටීන් අවධාරණය කළ දෙයක් වූයේ, යුක්ක්‍රේනය Nato (North-Athlantic treaty organization) හි සාමාජිකත්වය ලබාගැනීම වැලැකීමයි.

රුසියානුයුක්‍ක්‍රේන යුද්ධය තුළ යුක්ක්‍රේනයේ ඩ්‍රෝන තාක්ෂණික වර්ධනය

2023 පෙබරවාරි පටන් යුක්ක්‍රේන රජය ද ගුවන් නියමුවන් තොර ඩ්‍රෝන යුධ ක්‍රමය (Drones warfare) ප්‍රවර්ධනයට කටයුතු කරනු ලැබුවේ සතුරාට එරෙහිව තාක්ෂණයේ වාසිය නෙලා ගැනීමේ අරමුණිනි. යුක්ක්‍රේනයට, ඩ්‍රෝන නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය හා මෙවලම් චීනයෙන් ගෙන්වා ගැනීමට විශාල පිරිවැයක් දැරීමට සිදු වන බැවින්, ඔවුන් රට අභ්‍යන්තරිකවම ඩ්‍රෝන නිෂ්පාදනයට කෙසේ හෝ පෙළඹුනු අතර එය ක්‍රම ක්‍රමයෙන් වැඩි වර්ධනය කළේය. යුක්ක්‍රේන ජනපති වොල්ඩිමියර් සෙලෙන්ස්කි (Volodymyr Zelensky) පවසා ඇත්තේ, 2024 වසර ඇතුලත ඔවුන් ඩ්‍රෝන මිලියනයක් පමණ නිෂ්පාදන ඉලක්කයක් ඔස්සේ හඹා යන බවයි.  යුක්ක්‍රේනය මේ වන විට රුසියාව හා යුද්ධයේ දී First Person Viewer (FPV) ඩ්‍රෝන යුධ ක්‍රමයේ වපසරිය පුළුල්කොට ගනිමින් යුධ භූමියේ ඉලක්ක වෙත වීඩියෝ පට ඔස්සේ සොල්දාදුවන් යොමු කිරීමේ නවතම තාක්ෂණය ග්‍රහණය කොට ගෙන ඇත.  ස්වකීය, අනන්‍ය වූ නාවික හමුදාවක් නොමැති යුක්ක්‍රේනය නාවික ඩ්‍රෝන යුධ ක්‍රමය යොදා ගනිමින් කළු මුහුද අවට රුසියානු නැව්වලට සාර්ථකව මුහුණ දී ඇත. යුධ විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ නවීන යුධ භූමිය තුල නාවික ඩෝන තාක්ෂණය ඔස්සේ නාවුක යුධ උපායමාර්ගික ක්‍රමය ගැඹුරු දිශාවකට ගෙන ගොස් ඇති බවයි. මෙමගින් බුද්ධි රහස් සන්නිවේදනය, අවි රැගෙන යාම, ආරක්ෂාකාරීව සැඟව සිටීම ආදී ක්‍රමවේද රැසක් භාවිත වේ.  නමුත් අප මෙහිදී අවධාරණය කළ යුතු වැදගත්ම කරුණ වන්නේ යුධ ක්‍රමය විවිධ අංශ ඔස්සේ විස්තාරණය වන්නට සිදුවන විනාශය ද බරපතල වන බවයි.

ඩ්‍රෝන යුධ ක්‍රමය සාධනීයද

ලොව බොහෝ යුධ විශ්ලේෂකයින්ට අනුව ඩ්‍රෝන යුධ තාක්ෂණයේ බොහෝ නිශේධනාත්මක ප්‍රතිඵල ද ඇත. යම් භූමියක් වෙත ළගා වීමේ දී එය අත්පත් කර ගැනීමකට වඩා ඒ මාර්ගය ඔස්සේ ළගා වීමේ දී සිවිල් වැසියන් ඩ්‍රෝන ප්‍රහාරවලට ලක්වීමෙන් මරණයට පත්වීමට මෙන්ම, පොදු දේපල විනාශ වීම, මහා පරිමාණව ක්ෂණයෙන් සිදුවීමක් වන බවයි. “Easier to kill than capture” යන න්‍යයාත්මක පදනමයි. මේ බව සනාථ කරමින් රුසියන් ඩ්‍රෝන ප්‍රහාර හමුවේ යුක්ක්‍රේන ජීවිත හානි කඳු ගණන් උසට නැගුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරනු ලැබීය.  මේ අත්දැකීම ඉතියෝපියාව, සෝමාලියාව ආශ්‍රිතව ද හොඳින්ම සනාථ විය

ඩ්‍රෝන යුධ මෙහෙයුම් උදෙසා ඩ්‍රෝන තාක්ෂණික නඩත්තු වෙනුවෙන් ඒ ඒ රාජ්‍යයන්ට දැරීමට යන අධික පිරිවැය හේතුවෙන් රාජ්‍ය සුභසාධන අංශවලට දැඩි පහරක් එල්ල වේ. අවි සන්නද්ධ ඩ්‍රෝන (Armed drones) බොහෝ විට ඇ..., ඊශ්‍රායලය, එක්සත් රාජධානිය ඉලක්කගත පුද්ගලයන් හා ස්ථාන වෙත යොදා ගන්නා රටවල් වන අතර ඇතැම් පිරිස් මෙය නීත්‍යානුකූල නොවන තත්ත්වයක් ලෙස ද පෙන්වා දේ. සරලවම කිවහොත් ආයුධ සන්නද්ධ ඩ්‍රෝන ලෝකය භයානක ස්ථානයක් බවට පත් කර හමාරය.

යුක්‍ක්‍රේනරුසියන් අර්බුදයේ වත්මන් ස්වභාවය    

ජනපති පුටීන් ස්වකීය උ. කොරියානු සංචාරයත් සමගම එහි තවත් රාජතාන්ත්‍රීය මෙන්ම උපායමාර්ගික සබඳතා තර කර ගැනීමේ අරමුණින් වියට්නාමයේ හැනෝයි නගරයේ දී (Hanoi) එහි රාජ්‍ය නායක මුණ ගැසුනි. ජනපති පුටීන් මේ සියලු සංචාර අභිමුඛ ප්‍රදර්ශනය කරනු ලැබුවේ බටහිර වෙතින් රුසියාව හුදකලා කිරීම (Isolation of Russia) කිසිසේත් ඵලක් නොවන බවයි.  ... ආරක්ෂක ඒජන්සියේ නිලධාරියෙකු පළ කර ඇති අදහසක් වන්නේ උ. කොරියාව හා රුසියාව මේ වන විට අත්සන් කොට ඇති ගිවිසුම් ප්‍රකාරව දෙරට අතර අවි හුවමාරුව මෙන්ම ඉදිරි ආරක්ෂක සබඳතාවල ස්වභාවය තුළින් ගම්‍යවන්නේ නොබෝ දිනකින්ම කොරියානු අර්ධද්වීපයේ දේශපාලන අස්ථාවරත්වයක් ඇතිවිය හැකි බවයි.  එමෙන්ම තවදුරටත් මේ සම්බන්ධව අදහස් දක්වමින් එක්සත් ජනපද රාජ්‍ය ලේකම්තුමා ඇත්තේ ඇන්ටෝනි බ්ලින්කන් (Antony Blinken) හා දකුණු කොරියානු විදේශ අමාත්‍යවරයා පවසා ඇත්තේ, රුසියාව හා උතුරු කොරියාව අතර මේ වන විට අත්සන් කොට ඇති ද්විපාර්ශ්වීය ගිවිසුම මගින් කොරියන් අර්ධද්වීපයේ සාමය හා ස්ථාවරත්වයට දැඩි හානියක් විය හැකි බවයි. නමුත් ජනපති පුටීන් මේ කිසිදු ප්‍රකාශයක් හමුවේ රුසියන්යුක්ක්‍රේන යුද්ධය නතර කිරීමට හෝ ස්වකීය පියවරයන් වල වෙනසක් කරයි යන්න පිළිබඳ කිසිදු විශ්වාසයක් නැත.  ජාත්‍යන්තර සබඳතා මෙන්ම රාජතාන්ත්‍රීය සබඳතා ලෝක බලවත් රාජ්‍යයන් තමන්ට අභිමත ආකාරයෙන් පවත්වා ගැනීමක් මෙන්ම සාම්ප්‍රදායික රාජ්‍යතාන්ත්‍රීය සබඳතා බොහෝ දුරටම වියැකී, විපරියාත්මක වී ඇත. නවීන යුධ ක්‍රමයන්, යුද්ධ භූමිය ආක්‍රමණය කොට ඇත්තාක් මෙන්ම රාජ්‍ය නායකයින්ගේ හැසිරීම ද සාමය පවත්වා ගැනීම අභිබවා ලෝක බලවතුන් ලෙස ජාත්‍යන්තරයේ නමක් දිනාගැනීම අරමුණු කොට ගෙන ඇත.  මෙය මහා ඛේදවාචකයකි

ජාත්‍යන්තර යුධ ගැටුම් හමුවේ ඩ්‍රෝන යුධ ක්‍රමය භාවිතය තුළ දේශපාලනඥයින්, රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් ජාතික රාජ්‍යයන් අභ්‍යන්තරයේ මේ ආකාර ප්‍රතිරූපයක් ද මවා පානු ලැබේ. එනම් තරුණ සොල්දාදුවන් විදේශීය භූමිවල යුද්ධය උදෙසා යැවීමට වඩා නවීන යුධ ක්‍රමයක් ලෙස නියමුවන් තොර ඩ්‍රෝන භාවිතය තුළින් මිනිස් ජීවිත ආරක්ෂාවන බව සනාථ කිරීමේ පසුබිමක් නිර්මාණය කිරීමයි. නමුත් වත්මන් ගෝලීය යුධ වපසරිය තුළ නිර්මිත යථාර්තය වන්නේ, ඩ්‍රෝන යුධ ක්‍රමය මිනිස් ජීවිත ආරක්ෂා කිරීමේ ප්‍රතිශතයට වඩා ඉතා ශීඝ්‍ර ප්‍රතිශතයකින් යුද්ධයට මැදි වූ සිවිල් ජනතාවගේ ජීවිත ගිලගෙන ඇති බවයි. ඩ්‍රෝන යුධ ක්‍රමය තව දුරටත් යුධ භූමිය තුළ පිළිගත යුතු ද යන්න ඉතා ගැඹුරින් සිතා බැලිය යුත්තකි.

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.