24 April, 2024

Blog

සමාජ මාධ්‍ය අවහිර කිරීම හා කොන්ද කැඩුන ආණ්ඩුව

කේ.ජී.පිලිප් ශාන්ත – 

කේ.ජී.පිලිප් ශාන්ත

ගිය බදාදා උදෑසන ෆේස්බුක් අවකාශය නොසෑහෙන ලෙස මන්දගාමී විය. දහවල වනවිට කිසිසේත්ම ඊට ප්‍රවේශ වන්නට නොහැකි විය. ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වාර්තා කළේ ආරක්ෂක අමාත්‍යංශයේ ඉල්ලීමක් පරිදි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ දැනුම්දීමක් මත සේවා සපයන්නන් විසින් සියළුම සමාජ මාධ්‍ය අවහිර කර ඇති බවයි.

සමාජ මාධ්‍ය යනු තවදුරටත් කොල්ලන් හා කෙල්ලන් ප්‍රේම කිරීම සදහාත් හුදු විනෝදය සදහාත් යොදා ගන්නා මාධ්‍යයක් නොවේ. ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මෙන්ම ඊට ද ජන සමාජය තුළ ප්‍රබල ඉල්ලුමක් පවතී. ජනාධිපතිවරයාට මෙන්ම අග්‍රාමාත්‍යවරයාට ද සමාජ මාධ්‍ය ගිණුම් පවතී. ලෝකයේ බොහෝ රටවල එවැනි තත්ත්වයක් පවතී. මෙතරම් භාවිතාවක පවතින සමාජ මාධ්‍ය අවහිර කිරීමේ දී රජය විසින් කිසිම පූර්ව දැනුම්දීමක් සමාජ මාධ්‍ය භාවිතාකරන්නන්ට නොකිරීම අශ්ලීල ය. ඔවුන් කිසිම ආචාර ධාර්මික භාවිතාවක නොයෙදෙමින් හිටි හැටියේ එම ක්‍රියාව කළ අතර පසුව එවැන්නන් කිරීමට හේතු වූ කරුණු ඉදිරිපත් කරන්නට විය.

සමාජ මාධ්‍ය ගැටුම් ඇති කිරීමේ දී ප්‍රබල ලෙස යොදා ගත් බව ඇත්තකි. ව්‍යාජ සමාජ මාධ්‍ය ගිණුම් වලින් මෙන්ම සත්‍ය ගිණුම් වලින් ද සමහරු එම සමාජ විරෝධී ක්‍රියාවේ යෙදුනේ ලැජ්ජාවකින් මෙන්ම ආචාරශීලීභාවයකින් ද තොරව ය. මෙවර ඇතිවූ ගැටුම් වල දී ට වඩා සමාජ මාධ්‍ය යොදා ගනිමින් වාර්ගික ප්‍රචණ්ඩ හැගීම් ඇති කළේ අලුත්ගම සිද්ධියේ දී යැයි කිව හැකිය. එහෙත් යම්තරමකට ගාල්ලේ ඇති වූ සිද්ධියේදීත් අම්පාරේ ඇතිවූ සිද්ධියේ දී යහමිනුත් සමාජ මාධ්‍ය යොදා ගනිමින් වාර්ගික බේදයන් මෙන්ම වාර්ගික ප්‍රචණ්ඩ හැගීම් ද ඇති කළහ. තෙල්දෙණිය සිද්ධියේ දී එය මනා සංවිධානාත්මකව කරමින් වාර්ගික හැගීම්, ප්‍රචණ්ඩත්ව යොමු කිරීම් හා වාර්ගික අසමගියට හේතු වන අසත්‍ය පැතිරවීම සදහා සමාජ මාධ්‍ය භාවිතා කළහ.

එහෙත් ඒ සමාජ මාධ්‍යයම මේ වාර්ගික ගැටුම් ප්‍රතික්ශේප කිරීමටත් ඒ පසුපස ඇති හාස්‍යජනක දේශපාලනයත් මනා ලෙස ඉස්මතු කළහ. විශේෂයෙන් අම්පාර සිද්ධියේ දී සමාජ මාධ්‍ය විසින් සාපේක්ෂව බැලුවහොත් වඩා විශාල මෙහෙයක් කළේ ගැටුමේ පසුපස ඇති බොරුව හෙළිදරව් කිරීමටයි. ඒ විශිෂ්ට ක්‍රියාව කළේ සමාජ මාධ්‍ය භාවිතා කරන හුදකලා චරිත විසිනි. වාර්ගික ගැටුම් මැඩ පැවැත්වීමේ ලා අත්හල නොහැකි වගකීමක් ඇති රජයට වඩා ඒ කාර්යය මහගු ලෙස කළේ ඔවුන් බව ගෞරවයක් ලෙස සටහන් කර තැබිය යුතුය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හෝ රජයේ මාධ්‍යය හෝ මේ සම්බන්ධයෙන් කිසිම විමර්ශනශීලී මැදිහත්වීමක් නොකළ අතර ඔවුන් කළේ ආණ්ඩුවේ දේශපාලන අවශ්‍යතා ඉටු කිරීම පමණි.

අම්පාරේ සිදුවීම පිටුපස තිබූ යම් යම් කරුණු සමාජ කතාබහට ලක් කළේ සමාජ මාධ්‍ය භාවිතා කරන පුද්ගලයන් විසින් බව කිව හැකිය. උදාහරණයකට මෙච්චර උනන්දුවෙන් කටයුතු කරන සිංහල බෞද්ධයන් හරක් මස් සමග පරාටා කන්නේ ඇයිදැයි හාස්‍යයෙන් ප්‍රශ්න කළේ සමාජ මාධ්‍ය වල ය. එසේම සිංහලබෞද්ධයන්ට විෂ සහිත ආහාර ඇති බව ඔච්චරටම දන්නේ නම් මුස්ලිම් හෝටල වලට යන්නේ මන්දැයි උත්ප්‍රාසයෙන් ප්‍රශ්න කළේ සමාජ මාධ්‍ය වල ය.

මේ ප්‍රශ්න කිරීම් වාර්ගික භේදයන් අවුලන සමාජ මතය ඛණ්ඩනය කරන්නා වූ ද එමෙන්ම ප්‍රබල ප්‍රති විරෝධයක් ඇති කරන්නා වූ ද තාර්කිකයකින් යුක්තය. අම්පාරේ සිද්ධියේ දී හෝටල හිමිකාර තරුණයාව ප්‍රචණ්ඩකාරීන් විසින් තම ග්‍රහණය ට ගෙන ගෙන ආහාර වලට “වද පෙති දැම්මා” යැයි ඔහු ලවා කියවා ගන්නා අවස්ථාව පිළිකුලෙන් බැහැර කරමින් එම අවස්ථාව මොනවට විග්‍රහ කළේ සමාජ මාධ්‍ය විසිනි.

මේ අන්දමින් වෙනදාට වඩා සක්‍රීය ලෙස සමාජ මාධ්‍යය භාවිතා කරමින් වාර්ගික ප්‍රචණ්ඩත්වය ප්‍රතික්ශේප කිරීමට බොහෝදෙනෙක් කටයුතු කළහ. එම මැදිහත්වීම සිදු කළේ ස්වේච්ඡාවෙනි. කිසිම දේශපාලන ධාරාවක් නියෝජනය නොකරමිනි. එහෙත් එවැනි මාධ්‍ය භාවිතාවක් ප්‍රධාන ධාරාවේ මාධ්‍යයන්ට නොතිබුණි. රජයට ද නොතිබුණි.

තෙල්දෙණියේ දී ඇතිවූ සිද්ධියේ දී ත් සමාජ මධ්‍ය යම් මැදිහත්වීමක යෙදුනි. එහෙත් එම සිද්ධියේ දී සිංහල තරුණයකු ප්‍රහාර වලින් මිය යෑමේ කම්පනය බොහෝදෙනෙකුගෙන් ප්‍රකාශ වුණි. ඒ කම්පනය තුළ මුස්ලිම් ප්‍රජාවේ විවිධ ක්‍රියාකාරකම් බරපතල ලෙස ප්‍රශ්න කරන්නට ඔවුහු පෙළඹුනහ. ප්‍රචණ්ඩත්වය මර්දනය කරන්නටත් අසත්‍ය ප්‍රචාරයවීම වලක්වන්නටත් රජය අපොහොසත්වීම නිසා සිංහල ජන කොටස් කෝපයට පත්ව තිබුණි. ඒ ආවේගයන් සමාජ මාධ්‍ය තුළට ද ගලා ආවේ ය. එහෙත් ඒ කිසිම ක්‍රියාවක් කළමනාකරණය කර ගන්නට නොහැකි තරම් ආන්තික හෝ ප්‍රචණ්ඩ හෝ ක්‍රියාකාරකම් නොවේ.

නමුත් අදූරදර්ශී මගක යන රජය යොදා ගත්තේ සම්ප්‍රදායික ආරක්ෂණ ක්‍රමවේදයකි. එනම් සමාජ මාධ්‍ය තාවකාලිකව අවහිර කිරීම ය. එය අදහස් ප්‍රකාශ කිරීමේ ජන සමාජය තුළ පවතින නෛසර්ගික අයිතිය උදුරා ගැනීමකි. එසේම ජන මාධ්‍යයේ නිදහස උදුරා ගැනීමකි. තියුණු පිහියක් කාර්යයක් දෙකකට යොදා ගත හැකිය. එකක් සමාජ යහපත වෙනුවෙනි. අනෙක සමාජ අයහපත වෙනුවෙනි. එම තියුණු පිහිය සමාජ අයහපත වෙනුවෙන් යොදා ගැනීමට පවතින ඉඩකඩ නිසා එය තහනම් කිරීම කෙතරම් නම් අනුවනකමක් ද?

සමාජ මාධ්‍ය අවහිර නොකර තිබුනා නම් වාර්ගික නොසන්සුන්තාව හා ප්‍රචණ්ඩත්වය වපුරන අපරාධකරුවන් හදුනා ගැනීමට රජයට අපූරු අවස්ථාවක් ලැබුණි. ඒ අනුව හදුනා ගන්නා අපරාධකරුවන්ට නීතිය මගින් දඩුවම්දීමට ද හැකියාවක් තිබුණි. සමාජ මාධ්‍ය අවහිර නොකරමින් රජයට කරන්නට තිබුණේ එවැනි ප්‍රචණ්ඩ භාවිතාවක නිරතවන අපරාධකරුවන් නීතියේ රැහැනට ගොදු කර ගැනීමයි. එසේම වාර්ගික අගතියක් ඇති කරවමින් ප්‍රචණ්ඩත්වයට දිරිදෙන සමාජ මතවාදය ඛණ්ඩනීය කරන අරමුණෙන් ඊට මුහුණදීමයි. ඒ සදහා රජයේ මැදිහත්වීම මෙන්ම ස්වේච්ඡාවෙන් සමාජ මාධ්‍ය භාවිතා කරමින් සමාජ යුක්තිය උදෙසා කටයුතු කරන පිරිස්වල සහාය ලබා ගන්නට හැකියාවක් පැවතුණි.

සම්මුතික ආණ්ඩුවේ කුප්පකම හෙළිවන්නේ මෙතැනදී ය. ආණ්ඩුව කළේ තමන්ට අභියෝගී මත පැතිරෙන සමාජ මාධ්‍ය අවහිර කිරීම මිස වාර්ගික අගතියක්වීමත් ප්‍රචණ්ඩත්වය පැතිර යෑමත් පාලනය කිරීම නොවේ. පළාත් පාලන මැතිවරණයෙන් පසුව ආණ්ඩුව පසු වන්නේ “ගෙදර ගියොත් අඹු නසී, මග හිටියොත් තෝ නසී” තත්ත්වයක ය. වර්ධනය වූ දේශපාලන අභියෝගයන්ට මුහුණ දෙන්නට ආණ්ඩුවට ශක්තියක් නැත. දේශපාලන වශයෙන් විකල්ප වැඩපිළිවෙලක් නැත. ඒ නිසා ආණ්ඩුව පසුවන්නේ වැනෙන සුළු ස්වභාවයක ය. එවිට මතුව ආ වාර්ගික හැගීම් වලටත් ප්‍රචණ්ඩත්වයටත් මුහුණ දීමට වඩා ආණ්ඩුව කල්පනා කලේ ඊට මුවා වී තමන්ගේ අර්බූදය කළමනාකරණය කර ගැනීමට විය හැකිය. ඒ නිසා තමන්ට ප්‍රබල අභියෝගයක් එල්ල කරන සමාජ මාධ්‍ය අවහිර කළේ ය.

සමාජ මාධ්‍යය තුළ වාර්ගික හැගීම් ඇති කරන විට ප්‍රචණ්ඩත්වය වපුරන විට ඊට එරෙහිව ද මතයක් පළ කළ හැකිය. එහි ඇති බොරුව හෙළිදරව් කළ හැකිය. පසුගිය දිනවල වාර්ගික හැගීමෙන් යුතුව සමාජ මාධ්‍ය භාවිතා කරන හැමවිටම ඊට ප්‍රතිබද්ධ මතයක් තුළින් සමාජ විරෝධී අදහස් ව්‍යාප්තවීමට බාධා එල්ල කෙරිණි. නමුත් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වාර්ගික හැගීමකින් අසත්‍ය වපුරනවිට ඊට ක්ෂණිකව පිළිතුරු දෙන්නට හැකියාවක් නොපවතී. ඒ නිසා සමාජ මාධ්‍ය හා ප්‍රධාන ධාරාවේ මාධ්‍ය සැලකිල්ලට ගතහොත් ඒවාට ආවේනික භාවිතාමය තත්ත්වයන් නිසා වඩා වැඩි අගතියක් කළ හැක්කේ ප්‍රධාන ධාරාවේ මාධ්‍යයන්ට ය.

සමාජ මාධ්‍යය තුළ වාර්ගික හැගීම් ඇති කරන විට ප්‍රචණ්ඩත්වය වපුරන විට ඊට එරෙහිව ද මතයක් පළ කළ හැකිය. එහි ඇති බොරුව හෙළිදරව් කළ හැකිය. පසුගිය දිනවල වාර්ගික හැගීමෙන් යුතුව සමාජ මාධ්‍ය භාවිතා කරන හැමවිටම ඊට ප්‍රතිබද්ධ මතයක් තුළින් සමාජ විරෝධී අදහස් ව්‍යාප්තවීමට බාධා එල්ල කෙරිණි. නමුත් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වාර්ගික හැගීමකින් අසත්‍ය වපුරනවිට ඊට ක්ෂණිකව පිළිතුරු දෙන්නට හැකියාවක් නොපවතී. ඒ නිසා සමාජ මාධ්‍ය හා ප්‍රධාන ධාරාවේ මාධ්‍ය සැලකිල්ලට ගතහොත් ඒවාට ආවේනික භාවිතාමය තත්ත්වයන් නිසා වඩා වැඩි අගතියක් කළ හැක්කේ ප්‍රධාන ධාරාවේ මාධ්‍යයන්ට ය.

ඊට හොදම නිදර්ශනය සපයන්නේ මාර්තු 08 වැනි බ්‍රහස්පතින්දා දිවයින පුවත් පතේ කතු වැකියයි. දිවයින දිනපතා පුවත් පතේ කතෘවරයාට අනුව මහනුවර දිස්ත්‍රික්කයේ වාර්ගික ගැටුම් වලට මුළුමනින්ම වගකිව යුත්තේ මුස්ලිම් ජනයා ය. ඔහු පියවි ඇසෙන් දැක්කා සේ කියන්නේ තෙල්දෙණියේ ගැටුමට පෙට්‍රල් දැමීමට මුස්ලිම් තරුණයන් අම්පාර, කල්මුනේ හා අක්කරපත්තු වැනි ඈත ප්‍රදේශයන්ගෙන් ද පැමිණිය බවය. එසේම මුස්ලිම් පල්ලි වල ප්‍රචණ්ඩත්වය සදහා සූදානම් වූ බව ය. ඒ සදහා පල්ලි වටා මුස්ලිම් තරුණයන් රැදී සිටි බව ය.

මූලාශ්‍රයන් නොමැති නමුත් වාර්ගික හැගීමකින් යුක්තව කතෘ වාක්‍යය පවා ලියන පුවත්පතක් සිංහල ජාතිකවාදය වෙනුවෙන් පෙනී සිටින්නේම එහි දෘෂ්ටිවාදයේ බරපතල අවුලක් නිසා ය. නො එසේනම් වගකිවයුතු පුවත්පතක් ලෙස මූලාශ්‍ර නොමැතිව කතෘ වාක්‍යය ලිවිය නොහැකිය. දිවයින කතෘවරයාට අනුව තෙල්දෙණියේ ගැටුම සම්බන්ධයෙන් සිංහලයන් අත සියඹලා තිබිලාම නැත. සියල්ල කර ඇත්තේ මුස්ලිම්වරුන් ය. මේ කතා ප්‍රචණ්ඩත්වය මෙහේය වූ “මහසෝන් බලකාය” පවා හාස්‍යයෙන් සිනහ ගන්වන සුළු ය.

එතැනින් නොනවතින දිවයින කතුවරයා ප්‍රචණ්ඩත්වය පාලනය කිරීමට ආරක්ෂක අංශ පියවර නොගැනීම සම්බන්ධයෙන් ද අමුතුම කතාවක් ගොතයි. ඔහුට අනුව ආරක්ෂක අංශ නිහඩව සිටින්නේ ඔවුන් නිසි පියවර ගතහොත් මූල්‍ය අපරාධ අංශයට යන්නට වන නිසාලු. ඒ අනුව දිවයින කතුවරයාගේ වහල් මනස සූදානම් වන්නේ මූල්‍ය අපරාධ අංශයට ගෙන යන්නේ නිවැරැදි අන්දමින් රාජකාරිය කළවුන් බවට මතයක් ඇති කිරීමට ය. මේවා රාජපක්ෂ දේශපාලනය විසින් කියන විට හාස්‍යයෙන් යුතුව ඉවසිය හැකිය. එහෙත් සිංහල ජාතිකවාදය නියෝජනය කරනවා යැයි කියන දිවයින පුවත් පත තම කතුවැකියෙන් මෙවැනි විහිළු සපයන විට සිංහලබෞද්ධ ස්වෝත්තමවාදයේ පල්ලම් බැසීම තේරුම් ගත හැකිය.

කොළඹ දී ශිෂ්‍ය උද්ඝෝෂණ මතුවන විට ආරක්ෂක අංශ පහර දී ඒවා මර්දනය කරන්නේ අමානුෂිකව ය. තඹුත්තේගම දී ගොවීන් උද්ඝෝෂණය කරන විට පහර පිට පහර දී ඒවා මර්දනය කරන්නේ අමානුෂිකව ය. එහෙත් ඒ ආරක්ෂක අංශම වාර්ගික ප්‍රචණ්ඩත්වය පාලනය කිරීමට උත්සාහ නොදරති. ගාල්ලේ දී අම්පාරේ දී පමණක් නොව තෙල්දෙණියේ දී ද ඒ ආරක්ෂක අංශ සිටියේ නිද්‍රාසහගතව ය. දිවයින කතුවරයාට අනුව ආරක්ෂක අංශ එසේ නිද්‍රාසහගත වන්නේ මූල්‍ය අපරාධ අංශයට යන්නට වේ යැයි බියෙනි. එසේ නම් ඒ ආරක්ෂක අංශම කොළඹ දී හා තඹුත්තේගම දී වැරයොදා උද්ඝෝෂකයන්ට පහර දෙන්නට පෙළඹෙන්නේ ඔවුන් මූල්‍ය අපරාධා අංශයට ගෙන නොයනවා යැයි පිළිගත හැකි පොරොන්දුවක් ලැබී ඇති නිසාදැයි දිවයින කතුවරයා පැහැදිලි කළ යුතුය.

උද්ඝෝෂකයන්ට ආරක්ෂක අංශ වැර යොදා පහර දෙන්නේ උද්ඝෝෂනය ගැන හැගීමක් ඔවුන්ට නොමැති නිසාත් රාජ්‍යයේ මතයම ඔවුන් ද දරන නිසාත් ය. වාර්ගික ප්‍රචණ්ඩකරුවන්ට ඔවුන් පහර නොදෙන්නේ වාර්ගික ප්‍රචණ්ඩත්වයට ඔවුන් ද කැමැති නිසාත් ඒ සම්බන්ධයෙන් රාජ්‍යයේ මතයට ඔවුන් එකග නිසාත් ය. එසේම ආණ්ඩුව මුහුණ දෙන දේශපාලන අර්බූදය තුළ වාර්ගික ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් නිශ්චිත මතයක් ආණ්ඩුවට නොමැත. එවැන්නක් තිබුනත් එය ක්‍රියාත්මක කරන්නට තරම් ශක්තියක් ආණ්ඩුවට නොමැත. මේ සත්‍ය තම පාඨකයන්ට පහදා නොදෙන දිවයින කතුවරයා රටේ දේශපාලනය සම්බන්ධයෙන් මැදමුලනේ මතයම ප්‍රතිරාව නැංවීම කෙතරම් අපුල සහගත ද?

තෙල්දෙණියේ ගැටුමට පිට ප්‍රදේශයන්ගෙන් ආ මහසෝන් බලකාය ගැන කතා නොකර අම්පාරෙන්, කල්මුණෙන් හා අක්කරපත්තුවෙන් ආ බව කියන මුස්ලිම් තරුණයන් ගැන පමණක් කතා කරන විට දිවයින කතුවරයා වාර්ගික හැගීමෙන් ප්‍රචණ්ඩත්වය කුළු ගන්වන බව තේරුම් නොගනී. පන්සල් ආශ්‍රිතව මැරයින් සංවිධානය වෙද්දීත් තරුණ භික්ෂූන් වෛරය වපුරද්දීත් “මන්නය තියෙන්නේ කොස් කොටන්නට නොවේ” යැයි භික්ෂූන් කියද්දීත් දිවයින කතුවරයා ඒවා නොදැක ඒවා නොඅසා පල්ලි ආශ්‍රිතව මුස්ලිම් තරුණයන් රැදී සිටියා යැයි කියයි. එය වාර්ගික හැගීම් කුළු ගැන්වීමක් ලෙස රජය තේරුම් නොගැනීම අහම්බයක් නොවේ.

රජය ප්‍රධාන ධාරවේ මෙවැනි මාධ්‍යය භාවිතාවන් ගැන කිසිම අවධානයක් යොමු නොකරයි. ඊට හේතුව රජය ද මෙවැනි ආකල්පයන් දැරීම ය. නැත්නම් වාර්ගික ප්‍රචණ්ඩත්වය ඉස්මතුවීමට වඩා රජය කලපනා කරන්නේ ආණ්ඩුව මුහුණදෙන දේශපාලන අර්බූදය ගැන වීමය. වාර්ගික හැගීමෙන් ද ප්‍රචණ්ඩත්වය ඉස්මතුව වන ලෙස ද මාධ්‍ය භාවිතාවේ යෙදීම සම්බන්ධයෙන් නිවැරැදි මැදිහත්වීමක් කරන්නේ නම් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය සම්බන්ධයෙන් ද රජය අවධානය යොමු කළ යුතුය. එහෙත් මේ අවස්ථාවේ දී රජය එසේ කරන්නේ නැත. ඒ වෙනුවට සමාජ මාධ්‍ය අවහිර කරයි. එය පැහැදිලිවම වාර්ගික ප්‍රකෝප කිරීම් හා ප්‍රචණ්ඩත්වය ඇවිලවීම් පාලනය කිරීමට කළ පූර්ව සූදානමක් නොව ආණ්ඩුව මුහුණ දී ඇති දේශපාලන අර්බූදයෙන් ගැලවෙන්නට කළ මායාවකි.

ආණ්ඩුව පවතින්නේ අසීරු දේශපාලන ස්ථාවරයක ය. එනිසා ආණ්ඩුව උත්සාහ දරන්නේ ඒ අර්බූදයෙන් ගැලවීමට ය. පැන නගින වාර්ගික අර්බූදයන් පවා ආණ්ඩුව විසින් යොදා ගන්නේ තම අභ්‍යන්තර අර්බූදයන් කළමනාකරණය කර ගැනීමට ය. ඒ අනුව ආණ්ඩුවේ මෙන්ම සමාජයේ ද ජීව කාලය වැඩි ඈතක නොවන බව සටහන් කර තැබිය යුතුය.

shan.info1978@gmail.com

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.