23 October, 2019

Blog

නීතිපතිගේ ස්වයං නිරුවත්වීම

කේ.ජී.පිලිප් ශාන්ත

කේ.ජී.පිලිප් ශාන්ත

පසුගිය අගහරුවාදා යුක්තිය පසිදලීමේ ක්‍රියාවලියට අති විශේෂ දිනයක් බව සදහන් කළ යුතුම ය. ඊට හේතුව අත්අඩංගුවට ගෙන සිටි ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දුත් අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත ජයසුන්දරත් ඇප මත නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න විසින් නියෝග කිරීම නිසා ය. 

පාස්කු ඉරිදා ඉස්ලාම් ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තම රාජකාරී වගකීම ඉෂ්ඨ නොකළැයි කියමින් දණ්ඩ නීති සංග්‍රහයේ 296, 298, 327, 328, 329 සහ 410 යන වගන්ති යටතේ චෝදනා ඉදිරිපත් කරමින් නීතිපතිගේ උපදෙස් යටතේ පොලීසිය විසින් ඔවුන් දෙදෙනා  අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

“පොලිසිය ඉල්ලා සිටින නිසා ම හෝ වෙනත් පාර්ශවයක මනදොළ සපුරාලීමට යමෙකු බන්ධනාගාරගත කළ නොහැකි,” බව හිටපු අග්‍රවිනිශ්චයකාර ශිරාණි බණ්ඩාරනායකගේ අධිකරණ වාර්තාවක් උපුටා දක්වමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න අධිකරණය හමුවේ ප්‍රකාශ කළාය. මනුෂ්‍ය ඝාතනයන්ට අදාළ චෝදනා මත අත්අඩංගුවට ගැනුණු ඔවුන් දෙදෙනා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප මත මුදා හරිනු ලැබුවේ, ඇප ඉල්ලීම සම්බන්ධයෙන් වූ තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි. එම තීන්දුව ප්‍රකාශ කිරීමට පෙර ඔවුන්ට එරෙහි චෝදනා පිළිබඳ නීතිමය තත්ත්වය සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය දීර්ඝ පැහැදිලි කිරීමක් කළාය. ඇය එහිදී ප්‍රකාශ කළේ, නීතිපතිවරයා විසින් හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දරට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ 296 වන වගන්ති ප්‍රකාරව ගොනු කර ඇති මිනීමැරීම් චෝදනා පදනම් විරහිත බවය.

මෙහිදී ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය පෙන්වා දුන්නේ, අදාළ රජයේ නිලධාරීන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔවුන්ගෙන් ප්‍රකාශයක් හෝ සටහන් කර ගැනීමෙන් තොරව බවය. ජනාධිපතිවරයා විසින් පත් කරන ලද පරීක්ෂණ මණ්ඩලයක වාර්තාවක් පදනම් කරගෙන ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවත් එම පරීක්ෂණ මණ්ඩල වාර්තාව නීතිමය වාර්තාවක් නොවන බවත් ඇය පෙන්වා දුන්නාය. බුද්ධි අංශ විසින් සපයන ලද තොරතුරු කිසිවක් නිශ්චිත තොරතුරු නොවන අතර එම තොරතුරු අනුව ක්‍රියාමාර්ග නොගැනීම නිසා හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර බෝම්බ ප්‍රහාරයට වගකිව යුතු බවට ගොනු කර ඇති චෝදනා පදනම් විරහිත බව ද මහේස්ත්‍රාත්වරිය උදාහරණ සමගින් පැහැදිලි කළාය.

පාස්කු ඉරිදා ඉස්ලාම් ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසුව අත්අඩංගුවට ගත් බොහෝදෙනෙක් සම්බන්ධයෙන් නීතිපතිවරයා කටයුතු කළේ මෙවැනි අගති සහගත අන්දමින් බව නොරහසකි. නීතියේ නිසි ක්‍රියාදාමය අබ ඇටයක තරමට සලකා නොබැලූ නීතිපතිවරයා දේශපාලන පාර්ශ්වයේ මනදොල සපුරාලීමට දෝ නීතිමය පදනමක් රහිතව පුරවැසියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේ ය. සමාජයේ සිවිල් බලයක් සහිත පුරවැසියන් එපමණකින් රක්ෂිත බන්ධනාගාර ගත නොකළත් බොහෝ අවවරප්‍රසාදිතයන්ට නිශ්චිතවම හිමිවූයේ බන්ධනාගාරයයි.

යමෙකු වරදක් කර නැත්නම් අධිකරණයෙන් යුක්තිය ඉටුවන බව සත්‍යයක් වුවද එලෙස සාධාරණය ඉටුවන ක්‍රියාවලියේ තාක්ෂණික දුර්වලතා මගින් පුරවැසියන්ව පීඩනයට හා මර්දනයට ලක් කරන්නට රජයට අපූරු අවස්ථාවක් පවතී. ඒ අවස්ථාව සලකා බලා සාධාරණය ඉටු කළ යුත්තේ අධිකරණය විසිනි. හේමසිරි ප්‍රනාන්දුට හා පූජිත ජයසුන්දරට දින හයක් පමණක් බන්ධනාගාර ගතව සිටින්නටත් ඉන් අනතුරුව ඇප ලබා ගෙදර යන්නටත් හැකිවූයේ පුරවැසි නිදහස සම්බන්ධයෙන් අධිකරණය සංවේදී වූ බැවිනි. ඇත්ත වශයෙන්ම බැලුවහොත් දින හයක් හෝ නිකරුනේ බන්ධනාගාර ගත වන්නට පුරවැසියකුට සිදුවීම මානව අයිතීන් කඩවීමකි. එහෙත් හැකි අවම කාලයක් තුළ හෝ ඔහුට ඇප ලබා නිවෙසට යන්නට හැකිවීම ජයග්‍රහණයකි.

ඒ සාධාරණය රටේ සෙසු ප්‍රදේශ වලින් නිකරුණේ පොලිස් අත්අඩංගුවට පත් පුරවැසියන්ට හිමි නොවුනේ ඔවුන්ව අධිකරණයට ඉදිරිපත් කළ නීති පනත්වල නෛතික ප්‍රබලත්වය නිසා ය. ඒ අන්දමින් බොහෝදෙනෙකු අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද සම්මුති පනතේ වගන්ති අනුව ය. එවිට ඇපදීම පිළිබද බලයක් මහේස්ත්‍රාත් අධිකරණයට නොපවතී. ඒ සදහා මහාධිකරණයට ඇප අයදුම්පතක් ඉදිරිපත් කළ යුතු අතර එය ඉතා දිගු ක්‍රියාවලියකින් පසුව තීන්දුවක් ලැබෙන මාර්ගයකි. 

පුද්ගලයකු යම් චෝදනාවක් සම්බන්ධයෙන් සැක කර ඔහුට එරෙහිව චෝදනා ගොනු කිරීම හා එසේ චෝදනා ගොනු කිරීමට යොදා ගන්නා නෛතික ප්‍රතිපාදන අනුව ඔහුට දඩුවම් නොකළත් අවශ්‍ය පරිදි පළිගන්නට රජයට හැකිය. ඒ අවස්ථා ඕනෑ තරම් නීතිමය රෙගුලාසි තුළ පවතින අතර එමගින් පුරවැසියන්ගේ මූලික අයිතීන් උල්ලංඝනයවීම කෙරෙහි කිසිවෙක් සංවේදී නොවීම කනගාටුවට කරුණකි.

පූජිත ජයසුන්දර හා හේමසිරි ප්‍රනාන්දුට එරෙහිව නීතිපතිවරයා චෝදනා ගොනු කර ඇත්තේ පදනමක් නොමැතිව බව කොළඹ මහේස්ත්‍රාත්ම පවසයි. සිද්ධිය අධිකරණය විසින් විශ්ලේෂණය කරන තුරුම එය සැක පිට අත් අඩංගුවට ගැනීමක් පමණක් විය. එහෙත් අධිකරණයේ නිගමනයෙන් පෙනී යන්නේ නීතිපතිවරයාගේ ළාමක රාජකාරී වගකීම නිසා ඉහළ රාජ්‍ය නිලධාරීන් දෙදෙනෙකුගේ මූලික අයිතීන් උල්ලංඝනය වී ඇති බවයි. රජයේ ඉහළම නිලධාරීන් සම්බන්ධයෙන් නීතිපතිවරයා කටයුතු කරන්නේ මෙතරම් වගකීම් විරහිතව නම් අවප්‍රසාදිත ගැමි පුරවැසියන් සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ සංවේදීතාව ඉතා සරළ ලෙස තේරුම් ගත හැකිය.

එනිසා රටේ පුරවැසියන් පීඩනයට හා මර්දනයට ලක්වීම තවත් එක් සුළු සිද්ධියක් ලෙස සමාජය ද රජය ද සලකයි. රාජ්‍ය නිලධාරීන් විසින් සිදු කරන රාජකාරීමය අතපසුවීම් හා මානව වැරදි ඇතත් තවත් පුරවැසියකුගේ මානව අයිතීන් උදුරා ගැනීමට තරම් ඒ අතපසුවීම් හා මානව වැරදි ප්‍රබල විය යුතු නැත. එහෙත් නීතිපතිවරයාගේ ක්‍රියා කලාපය නිසා සිදුවන්නේම රටේ පුරවැසියන්ගේ මානව අයිතීන් උල්ලංඝනයවීමක් නම් එය නිහඩව විද දරා ගන්නට සමාජය සූදානම් විය යුතු නැත.

පුරවැසියන්ට එරෙහිව චෝදනා එල්ල කරමින් නෛතික ක්‍රියාවලියක් ආරම්භ කරන විට නීතිපතිගේ මූලික හා අත්හල නොහැකි වගකීම විය යුත්තේ එමගින් පුරවැසියාගේ මූලික අයිතිය කඩ නොකරන බවයි. එහෙත් කවර හෝ බලවේගයක පටු අවශ්‍යතා සදහා නීතිමය ප්‍රතිපාදන අවභාවිතා කිරීමට නීතිපති සූදානම් නම් ඔහු කරන්නේ බලවත් වරදකි. 

පුද්ගලයන් පළමුව අත්අඩංගුවට ගෙන දෙවනුව නීතිපති උපදෙස් පැතීම, නෛතික ක්‍රියාවලියේ තාක්ෂණික ක්ෂේත්‍රය ඉතා දිගුවීම, ඇප ලබාදීමේ ක්‍රියාවලියට බලපෑමක් කරන්නට නීතිපතිට හැකිවීම හා සමහර නීති ප්‍රතිපාදනයගේ සංදර්භීය අරමුණට පටහැනිව ඒවා යොදා ගැනීම වැනි සාධක මත පුරවැසි අයිතිවාසිකම් උදුරා ගැනීම පසුගිය කාලයේ දිගින් දිගටම සිදුවිය.

මේ නිසා අදටත් සමහර පුරවැසියෝ පීඩනයට ලක්ව රක්ෂිත බන්ධනාගාරයහි කාලය ගත කරති. ඒසම්බන්ධයෙන් ඔවුන්ට පසුව සාධාරණය හා යුක්තිය ඉටුවිය හැකි වුවද ඒ වනවිටත් ඔවුන් ලක්වූ මර්දනය හා පීඩනය සමනය කිරීමට කිසිම ක්‍රියාවකින් කළ නොහැක. සමහරවිට මූලික අයිතීන් කඩවූවා යැයි පවසා වන්දියක් ලබා ගැනීමට හැකිවුවත් එවැනි වන්දියකින් පුරවැසියාට මුහුණ දෙන්නට වූ හානිය ප්‍රතිපූරණය කළ නොහැක.

රටක හා සමාජයක ප්‍රජාතන්ත්‍රවාදී සංස්කෘතියක් ප්‍රබල ලෙස අධිපති බලය දැරිය යුත්තේ මෙවැනි අපරාධයන්ට පුරවැසියාව ලක්වීම වැළැක්වීමට ය. යම් සමාජයක් යහමින් ප්‍රජාතන්ත්‍රවාදී නම් මෙවැනි අගතීන්ට මුහුණ පෑමට පුරවැසියන්ට සිදු නොවේ. රාජ්‍යයේ නීතිපතිවරයා වගකීමෙන් ක්‍රියා කළ යුත්තේ පුරවැසියන් ආරක්ෂා කර ගැනීමට මිස දේශපාලන බලවේගයන් සතුටු කිරීමට නොවේ. එහෙත් වත්මන් නීතිපතිවරයා නින්දාසහගත ලෙස පුරවැසි අයිතීන් උදුරා ගනිමින් දේශපාලන බලවේගයන් සතුටු කිරීමට තැත් කිරීම කනගාටුදායක ය. 

නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතනයන් වන්නේ නීතිපතිවරයා හා ශ්‍රී ලංකා පොලීසියයි. එහෙත් මේ ආයතන දේශපාලනීකරණය වී පුරවැසියන් මර්දනය කරන්නට නීතිය යොදා ගනී නම් රාජ්‍යයක සුජාතභාවය ප්‍රශ්න කිරීමට ගොදුරු වීම වැළැක්විය නොහැක. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ප්‍රජාතන්ත්‍රවාදී හරයන් ආරක්ෂා කර ගන්නට දේශපාලන ව්‍යාපාරයන් මහන්සි වේ නම් මෙවැනි කටයුතු වලට මැදිහත්වීම ඔවුන්ගේ වගකීම ය. එහෙත් නීතිපතිවරයා විසින් මෙවැනි අගතිගාමී ක්‍රියා සිදු කරද්දී කිසිම දේශපාලන බලවේගයක් ඊට එරෙහිව කතා නොකිරීම දුක්මුසු ක්‍රියාවකි.

එනිසා අතිවිශාල පිරිසක් නීතිමය ලෙස වරදක් නොකළ ද බන්ධනාගාර ගත සිටින්නට සිදුව ඇත්තේ නීතිපතිගේ දේශපාලන භූමිකාව නිසා ය. මේ සම්බන්ධයෙන් පොලිස් කොමිසන් සභාව හෝ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව හෝ උනන්දු නොවීම පුදුම සහගත ය. එසේම මහජන නියෝජිතයන් සිටින පාර්ලිමේන්තුව පවා සංවේදී නොවීම නින්දා සහගත ය. පුරවැසි අයිතීන් ආරක්ෂා කිරීමට මේ බලවේගයන් ඉදිරිපත් නොවන්නේ නම් එය පෙරලා රාජ්‍යයේ ස්ථාවරත්වයට බලපාන බව පාලකයන් තේරුම් ගත යුතු ය.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 300 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically shut off on articles after 10 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.