12 December, 2019

Blog

ඉන්න හිතෙන රට ගැන භංග වූ විශ්වාසය

පුණ්‍යා සමරකෝන්

පුණ්‍යා සමරකෝන්

ආණ්ඩුව යළි වැඩි ඡන්ද 27 කින් විශ්වාසය තහවුරු කරගත්තේය. විශ්වාස භංගය ගෙන ආ ජනතා විමුක්ති පෙරමුණ මෙන්ම විපක්ෂයේ ඇතැම් අයද ආණ්ඩුව ජයග්‍රහනය කිරීම ගැන ප්‍රීති වන බව ඇතැම් අය කියති. මෙතරම් සහයෝගයක් තිබෙන ආණ්ඩුවකට ඉන්න හිතෙන රටක් හැදීම එතරම් අමාරු කරුණක් නොවනු ඇත? 

ඒ කෙසේ වෙතත් දැන් මේ රට යන්න හිතෙන රටක් මිස ඉන්න හිතෙන රටක් නොවේයැයි පොහොට්ටු පාක්ෂිකයෝ කියති. ඔවුන් මේ කතාව උජාරුවෙන් කිවුවත් 2015 ට කලින් ද ඉන්න හිතෙන රටක් තිබුනේ නැත. බලගතු රාජපක්ෂ රෙජිමය මෛත්‍රීපාල සිරිසේන වැනි  චරිතයකට පවා පරාජය කිරීමට හැකිවුනේ රාජපක්ෂවරුන්ට ඉන්න හිතෙන රටක් හදන්නට නොහැකි වූ නිසාය. 

ඇත්ත වශයෙන්ම යහ පාලනයක් ගෙන ඒමේ මූලිකම අභිලාෂය වූයේද ඉන්න හිතෙන රටක් හැදීමය. එහෙත් ඉන්න හිතෙන්නේ මොනවාගේ රටකදැයි කිසිම කථිකාවක් හෝ එවැනි රටක් උදෙසා නිසි වැඩපිළිවෙලක් මේ වන තෙක් කරළියේ නැති වීම කණගාටුවකි. 

රාජපක්ෂ යුගයේ කැපීපෙනෙනෙ භෞතික සම්පත් සංවර්ධනයක් සිදුවුනේය. අධිවේගී මං මාවත් ඉදිවුනේය. වරාය ගුවන් තොටුපල ඉදිවුනේය. නගර අලංකාර වූයේය. ඒත් ඒ රට ඉන්න හිතෙන රටක් නොවීය. තරගයට මෙන් තරුණ තරුණියෝ රට හැර ගියහ. නීතිවිරෝධී ශ්‍රම වෙළඳාම වැඩිවිය. අම්මලා වැඩි වැඩියෙන් මැදපෙරදිග මෙහෙකාර සේවයට ගියහ. විදෙස් රැකියා පෝලිම් දිගු විය. ඉන්න හිතුනානම් ඔවුන් එසේ යන්නේ නැත. 

රාජපක්ෂවරුන් රට පාලනය කළ සමයේ ඉන්න හිතුනේ නැත්තේ ඇයිදැයි සෙවු විට බොහෝ දෙනාගෙන් ලැබෙන පිළිතුර වන්නේ වහලුන් ලෙස ජීවත් වීමට අකමැති බවය. මාධ්‍ය වාරණය උපරිමයෙන් ක්‍රියාත්මක විය. අභියෝගයක් වූ ඇතැම් මාධ්‍යවේදීන්ට ජීවිතය පවා අහිමි විය. කැමති දේශපාලන මතයක් දැරීමේ නිදහසක් නැති විය. ඇමති මණ්ඩලයටම කරන්නට තිබුනේ රාජපක්ෂවරුන් විසින් පැවරූ සුලු වැඩකොටසක් පමණි. ඇත්ත වශයෙන්ම ඒ කාලයේ රාජපක්ෂ නාමය නැති සෙසු ඇමතිවරුන්ටද ඉන්න කෙසේවෙතත් යන්නනම් හිතක් තිබෙන්නට ඇත. අත පෙවීම් ඇගිලි ගැසීම් අපමණය. කිසිම රාජ්‍ය ආයතනයකට හෝ නිලධාරියෙකුට ස්වාධීනව වැඩකිරීමට අවකාෂයක් නොතිබිණ. යටත් නොවී වැඩ කළ රාජ්‍ය සේවකයින් ගස් බැන්දේය. දෙන දේ ගන්නවා මිස අවැසි දේ ඉල්ලා සිටිය නොහැකිය. එසේ වතුර ඉල්ලූ රතුපස්වල වැසියන්ට වෙඩි කන්නට සිදුවිය. අමාත්‍යාංශ ලේකම්වරුන් සීල් එකකට හා අත්සනකට සීමා විය. සියලු නියෝගයන්ට අවනතව එකත්පසව ඉන්නට සිදු විය. නඩුකාරයින් එක් අත්සනින් ගෙදර යවන්නේය. නඩුත් බඩුත් හාමුදුරුවන්ගේය. එහෙවු රටක ඉන්න හිනේනේ කාටද? 

එසේනම් ඉන්න හිතෙන රටකට අවශ්‍ය වන්නේ නිදහසද? 

යහපාලන රජය ආව ගමන් කලේ රාජපක්ෂ යුගයේ නිදහස හා ස්වාධීනත්වය ගැට ගසා තිබූ බැමි ලිහිල් කිරීමය.  දිගු කාලයක් බැඳ තැබූ සුනඛයින් ලිහා දැමුවාක් මෙන් රටම සී සී කඩ දුවන්නට පටන් ගත්තේය. ඉවක් බවක් නැතිව දිවගොස් එකිනෙකාගේ හැපුනේය. හැපී ඇද වැටී අඩු බඩු කඩාගත්තේය. හති වැටෙනකන් ඒ මේ අත දිවුවේය. පසුව බැඳදමා තිබූ සුපුරුදු කණු ලගම කැරකි කැරකී යළි ඒ කණුවේම ගැට ගසන තුරු බලා ඉන්නේය. 

එයින් පෙනී යන්නේ නිදහස හා ස්වාධීනත්වය දැරීමට තරම් විනයක් සමාජයට තිබී නැති බවයි. වහල්භාවය තරම් නිවහල්භාවය ලාංකිකයාට හුරු නැත. එවන් පොදු ජනතාවකට ඉන්න හිතෙන්නේ කිනම් ආකාරයේ රටකද? ආණ්ඩුව එය මනාව වටහාගත යුතුව තිබුණි. එහෙත් ඊට අපොහොසත් විය.  

යහපාලනය එතෙක් සීරුමාරුවට කෙරීගෙන ගිය මහබැංකු හොරකම නොනෙවත්වා පවත්වාගෙන යන්නට ගොස් නාගත්තේය. හොරුයි බඩුයි එකවරම අතට හසුවිය. හොරකමටත් පුරුද්දක් හා මොලයක් තිබිය යුතුය. මත්තල ගුවන් තොටුපල ගබඩාවට වී පිරෙවුවේය. රාජපක්ෂවරුන්ගේ හොරකම් වංචා දූෂණ ඇල්ලීම පසෙක තබා ඔවුන් සමග ඩීල් ගැසුවේය. අනුන්ගේ අගමැති පුටුව පාවා දුන්නේය. නාමල් රාජපක්ෂගේ ලැම්බෝගිණි අල්ලනවා වෙනුවට දහම් සිරිසේන අධික මිලැති ධවල මන්දිර මිලට ගත්තේය. එසේ මිලදී ගත් එක් නිවෙසක  ඔහුගේ ගෙට ගෙවිදීමේ උත්සවය පැවති අතර ඉඩමේ හතර කොනේ වෙන වෙන මාදිලියේ සංගීත සංදර්ශන පවත්වා ඇත. ඒත් ඒ එකක ශබ්දය අනෙක් කොනට ඇසුනේ නැත. ඒ ගෙවත්ත එතරම් විශාලය. ලැම්බෝගිණි වලට වඩා ඒ ගණු දෙණු විශාලය. 

රාජපක්ෂ සමයේ ඉපදී හැදී වැඩී ගිය ඉස්ලාම් අන්තවාදයේ මිනිස් බෝම්බ යහපාලන ආණ්ඩු කාලයේ කල්යල් බලා පුපුරා ගියේය. යන්තම් හරි ඉන්න හිත හදාගෙන හිටිය අයත් යන තැනට වැඩේ සිදු විය. වගකිව යුත්තෙක් අදටත් නැත. ඉහලින් නියෝග එන තුරු බලා සිටි පොලිස්පති හා ආරක්ෂක ලෙකම් හැර වෙනත් වැරදි කරුවෝ නැත. කැකිල්ලේ තීන්දු ලැබෙන්නේය. හය හතර නොතේරෙන එකා පවා හිනාවෙන්නේය.

ඉන්න හිතෙන රටක් හැදීමට මඩු වලිගය ප්‍රමාණවත් නොවන නිසා එල්ලා මැරීම යළි සක්‍රීය කරන්නට ජනාධිපති සිරිසේන අත්සන් තැබුවේය. එකෙක් දෙන්නෙක් එල්ලා මැරූ විට ඉන්න හිතෙන රටක් නිකම්ම හැදෙනු ඇතැයි එතුමා සිතන්නේය. එල්ලුම් ගස ජනාධිපතිවරණයට වාසි වීම හෝ නොවීම ගැනද මේ දිනවල සමීක්ෂණ සිදුකෙරෙමින් පවතී.  සිරිසේන ජනාධිපතිතුමා කියන දේවල් ගැනනම් එතරම් කරදර විය යුතු නැත. මේ කපේට එල්ලෙන්න වෙන්නේ නැතැයි එල්ලෙන්න බලාගෙන සිටි සිරකරුවෙකු කියා ඇත. 

ඉන්න හිතෙන රටක් හැදීම උදෙසා මෙවර ජනාධිපතිවරණයට කපුවන් ව්‍යාපාරිකයින් කලාකරුවන් චීවරධාරීන් වැනි විවිධ අය ඉදිරිපත් වීමට බලාගෙන සිටිති. සුදුස්සන්ට වැඩිය නුසුදුස්සෝ වැඩිය. 

ඒ චරිත අතුරින් සජිත් ප්‍රේමදාස ඇමතිවරයා කරලියට එන්නේ එක්සත් ජාතික පක්ෂයේම රවී කරුණානායක ඇමතිවරයාගේ  දැවැන්ත මඩ ව්‍යාපාරයත් සමගය.  

සිය පියාගේ ගම්මුදාව සංකල්පය වැරදි තැනකින් අල්ලාගත් ඇමති සජිත් ප්‍රේමදාස ඉවක් බවක් නැතිව, කැලෑ එළි කිරමින් කඩිනම් නිවාස ව්‍යාපෘති ගණනාවක් ඉදිකරමින් සිටී. මේ නිවාස වල ප්‍රමිතිය කෙතරම්ද යත් බෝහෝ නිවාස වලට වැසිකිලියක් හෝ නොමැත. කෝටි ගණනින් නිවාස ව්‍යාපෘති වලට වෙන් වුනත් එයින් හතරෙන් තුනකටත් වැඩිය වැය වන්නේ සජිත්ගේ ප්‍රචාරණ ව්‍යාපාරයට බව ඔහුගේම මාධ්‍ය ඒකකයේ සගයෙක් පවසා තිබිණ. කිසිම ජාතික තලයේ මාධ්‍යකින් අණාවරණය නොවන අනෙක් කරුණ වන්නේ මෙම නිවාස වල හිමිකම ලබාගැනීම සඳහා  රුපියල් ලක්ෂ 7 කට අධික ණයක් ගැනීමට ගෙහිමියාට සිදුවන බවත් බොහෝ දෙනෙකු මෙම ණය බර දරාගනු නොහැකිව උන්හිටි තැනුත්  නැතිව අසරණ වී සිටින බවත්ය. ඒ නිසාම සජිත් හදන බොහෝ ගෙවල් හිස්ව තිබී දිරාපත්ව යන බවද මාධ්‍ය මෙතෙක් දැක්කේ නැත. අනෙක් කරුණනම් රිෂාඩ් බදියුදීන් ගස් කපා ගෙවල් ඉදිකරන බව දකින පරිසරවේදීන් සජිත්ගේ වන විනාශය නොදැකීමයි.  

පසුගියදා රවී කරුණානායක කීවේ ජනාධිපති අපේක්ෂකයෙකු වීමට අඩුම තරමේ සාමාන්‍ය පෙළවත් සමත් විය යුතු බවයි. ඔහු එය කීවේ සජිත් ඉලක්ක කරගෙන බව වැටහුනේ සජිත් ප්‍රේමදාස මහතාගේ උපාධි  හුදු කූඨ ලේඛන බවට ශාක්ෂි සහිතව කලම්බු ටෙලිග්‍රාෆ් වෙබ් අඩවිය ඵල කළ ලිපියක් කියවීමෙන් පසුවය. 

සජිත්ගේ නුගුණ සොයමින් අවලාද නගමින් සිටින රවී කරුණානායකට ඉන්න හිතෙන රටක් තැනිය හැකිද? 

ඇත්ත වශයෙන්ම යහ පාලනය ලත් තැනම ලොප් කලේ ඔහුය. මහ බැංකු මංකොල්ලයෙන් ආණ්ඩුව කාපු මඩ සෝදා හරින්නට මහවැලියටවත් නොහැකිය. එහි හොඳම විහිලුව වන්නේ රවීගේ සහායකයා වී ඇත්තේ කුප්‍රකට ගායක ඉරාජ් වීමය. මුලාවූ රවී මංමුලාවූ ඉරාජ්ගෙන් ඉන්න හිතෙන රටකට යන පාර අසා සිටී. ජනාධිපති සිරිසේනගේ සමීපතම සගයා වන සජිත් ප්‍රේමදාසට මඩ ගැසීමේ වරදට ඉරාජ්ගේ ෆෑන් බේස් එක බලාගෙන ඉද්දී නාය යන්නේය. ඊලග ජනාධිපතිවරණය ලග ලග එන නිසා ජනාධිපති මාධ්‍ය අංශය වැඩ අරඹා ඇත. 

ඉන්න හිතෙන රටක් ගැන ජනතාව දකින හීනය සැබෑ වන පාටක් පේන්න නැත. ඒත් ගමන නැවැත්විය නොහැකිය. යා යුතුය. අපායක් පසුකරමින් යන විට වේගය බාල නොකරන්නයැයි වින්ස්ටන්ට් චර්චිල් කියා ඇත. 

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 300 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically shut off on articles after 10 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.