3 December, 2023

Blog

සාධාරණ හා තිරසාර වෙළෙද පළක්

කේ.ජී.පිලිප් ශාන්ත –

කේ.ජී.පිලිප් ශාන්ත

කොවිඩ් 19 වෛරසය පැතිර යෑම ආරම්භ වුනා විතරයි ලංකාවෙ වෙළෙද පළ තුළ හැල හැප්පීම් ගණනාවක් නිර්මාණය වුනා. උඩරට එළවළු ප්‍රවාහනය කර ගන්න බැරිව ගොවි බිම් වලම විනාශ වුනා. දඹුල්ලෙ එළවළු වෙළෙද පළ අක්‍රීය වුනා. මාළු වෙළෙද පළ සුනුවිසුණු වුනා.සෙසු ප්‍රදේශයන්හි පාරිභෝගික අවශ්‍යතා සපුරා ගන්න බැරිව භාණ්ඩ හිගයක් ඇතිවී මිල ඉහළ ගියා. ඒ කියන්නෙ සමාජය නියම අන්දමින් සක්‍රිය නොවන අර්බූදකාරී අවස්ථාවක වෙළෙද පළත් අක්‍රීය වෙනව, කඩාගෙන වැටෙනව කියන එකයි. මේක බරපතල තත්ත්වයක්. වෙළෙද පළ කඩාගෙන වැටෙනව කියන්නෙ ජන ජීවිතය විශාල අර්බූදයකට තල්ලු කරන්නක්.

ගම්බද ප්‍රදේශයක් වෙච්ච ඇල්පිටියට විවිධ සේවා සමූපකාර සංගමයක් පටන් අරන් තියෙන්නෙ 1969 දි විතර. සමගි පෙරමුණ ආණ්ඩු කාලයේ ඕකෙ ප්‍රධානියා ඒ කාලෙ හැටියට පාලක ලේකම් විදිහට ඉදල තියෙන්නෙ පට්ට අවංක මනුස්සයෙක්. මනුස්සය තමන්ගෙ පෞද්ගලික ව්‍යාපාරයක් වගේ තමයි වැඩේ කරගෙන ගිහින් තියෙන්නෙ. පස්සෙ 1977 යූඑන්පී ආණ්ඩුව ආවට පස්සෙ යූඑන්පී එකේ කෙනෙක් තමයි ප්‍රධානිය, දැන් විදිහට සභාපති උනේ. මිනිහ අවංක නෑ හැබැයි දක්ෂය. වැඩේ කරගෙන ගියා ලාභ පිට ලාභ ලබමින්. හැබැයි කොමිස් විදිහට කොටසක් ගෙදරත් අරන් ගියා. 1994 දි පොදු පෙරමුණ ආණ්ඩුව ආවට පස්සෙ සමූපකාරෙ සභාපතිකමට ආයෙත් ආවෙ අර කලින් හිටිය පාලක ලේකම් මහත්තය. මනුස්සයට ආව ගමන්ම හාට් ඇටෑක් එකක් ඇවිල්ල නැති උනා. ඊට පස්සෙ එයාගෙ මල්ලි සභාපති උනා. ටික දවසක් යන කොට සමූපකාරෙ බංකොලොත් උනා.

පළමු මනුස්සය ඉන්න කොට ලාභ ලබන්නත් දෙවැනිය ඉන්නකොට ලාභ ලබල හොරකම් කරන්නත් තුන්වැනිය ඉන්න කොට සමූපකාරය බංකොලොත් වෙන්නත් හේතුව පුද්ගල සාධකය පමණක්ය කියලයි කාලයක් මම හිතන් හිටියෙ. නමුත් ඊට අමතරව ඒ ඒ කාලයේ පැවැති ආර්ථික දේශපාලන සාධකත් ඊට බලපාන්න ඇති.

සමගි පෙරමුණ ආණ්ඩුව කාලෙ බර තියල වැඩ කළේ ජාතික ආර්ථික වටපිටාවක. වෙළෙද පළ ආර්ථිකයක් තිබුණෙ නැහැ. ඉතින් සමූපකාර හා සතොස තමයි එකම පාරිභෝගික භාණ්ඩ සැපයීමේ ප්‍රධානීන්. එයාල එක්ක ෆයිට් කරන්න ශක්තිමත් පෞද්ගලික අංශයක් තිබුණෙ නැහැ. ඉතින් වන් හෝස් රේස් න්‍යායට අනුව කොහොම කළත් එයාල දිනනව. ප්‍රාථමික, නොදියුණු හා සරල නිෂ්පාදන හා බෙදාහැරීමේ ක්‍රමයක සමූපකාරය හා සතොස ඉදිරියෙන්ම හිටිය.

සමූපකාරයට හා සතොසට මොකද උනේ?

හැබැයි 1978 දි  නිදහස්  වෙළෙද පළ ආර්ථිකයක් ආවට පස්සෙ සමූපකාරයට තරග කරන්න ශක්තිමත් පෞද්ගලික අංශයකුත් නිර්මාණය උනා. නිෂ්පාදනය හා බෙදාහැරීම කියන ක්‍රියාදාමය තුළ ශක්තිමත් පෞද්ගලික අංශයක් බිහිවුනාම එයාල සමූපකාරයට වඩා කාර්යක්ෂමව තීන්දු තීරණ අරන් වැඩ කරන කොට සමූපකාරය හා සතොස ස්වයංක්‍රීයවම අවලංගු වෙන්න පටන් ගත්ත. 1977 දි බලයට පත් වෙච්ච යූඑන්පියට රාජ්‍ය යාන්ත්‍රණය අහෝසි කරල පෞද්ගලික අංශයට ඒ ඉඩකඩ ලබාදෙන්න අවශ්‍ය උනා.  ලලිත් ඇතුලත්මුදලි වගේ අය සතොස ශක්තිමත්ව තබා ගන්න උත්සාහ නොකළාම නෙවෙයි. ඒත් වෙළෙද පළ ආර්ථිකය තුළ තම කළමනාකරණය හා කාර්යක්ෂමතාව දියුණු මට්ටමක තබා ගන්න සමූපකාරයටත් සතොසටත් අපහසු උනා.

සමගි පෙරමුණු ආණ්ඩු කාලයේ සතොස හා සමූපකාරය ශක්තිමත්ව තිබුණෙ වන් හෝස් රේස් න්‍යායට අනුව. ඊට බලපෑවේ කේන්සියානු ආර්ථික ප්‍රතිපත්තිය. තරගකාරී නොවන පරිසරයක පවතින එකම නිෂ්පාදකයා හෝ බෙදාහරින්නා හෝ සාර්ථකවීම තාර්කිකයි. ඊට පවතින ආර්ථික අවකාශය විසින් තල්ලුවක් දීම නිසා නිෂ්පාදකයා හෝ බෙදාහරින්නා හෝ කැපී පෙනීමත් තාර්කිකයි. නමුත් සමූපකාරය හා සතොස ඒ කාලෙත් පවත්වාගෙන ගියේම අකාර්යක්ෂමතාව, වංචා/දූෂණ/අක්‍රමිකතා හා ඵලදායී නොවන ලෙසයි. සෑහෙන කාලෙක ඉදන් එහෙම වටපිටාවකත් සමූපකාරය හා සතොස සක්‍රීයව තිබුණත් එය ක්‍රමිකව ඓතිහාසික අවලංගුවීම කරා ළගා වෙමින් තිබුණෙ. ඊට හේතුව සරළ හා ප්‍රාථමික නිෂ්පාදන බෙදාහැරීම් ක්‍රමයෙන් සංකීර්ණ හා දියුණු නිෂ්පාදන බෙදාහැරීම් ක්‍රමයකට විස්තාරණය වෙන්න ඒ ආයතනයන්ට තිබූ නොහැකියාව නිසයි. ඒ වගේම සමූපකාරය හා සතොස, පක්ෂ දේශපාලන හා නිලධාරීන්ගේ වංචා, දූෂණ හා අක්‍රමිකතාවන්ගේ ග්‍රහණයට ලක්වෙලයි තිබුණෙ. ඒ කියන්නෙ නිදහස් වෙළෙද පළ ක්‍රමයක නෙවෙයි සමගි පෙරමුණු කාලයේ පැවැති ජාතික ආර්ථික ක්‍රමය තුළ පවා සමූපකාරය හා සතොස තම පැවැත්ම අහෝසි කරගනිමිනුයි තිබුණෙ. ඒව සක්‍රිය බව සමාජයට පෙනුනෙ නිෂ්පාදනය හා බෙදාහැරීමේ යාන්ත්‍රණය තුළ ඔවුන් ඒකාධිකාරිය පවත්වාගෙන ගිය කාලය තුළ පමණයි.

සමූපකාර ක්‍රමය විසදුමක් ද?

1978 දී වෙළෙද පළ ආර්ථික ක්‍රමය ඇති කළාට පස්සෙ සමූපකාරයට හා සතොසට හයිය හත්තිය ඇතිව නැගී සිටින්න නොහැකි වුනේ පෞද්ගලික අංශය සමග කරට කර හැප්පෙන්න අපහසු වූ නිසයි. රාජ්‍ය බලය තිබුණත් කළමනාකරණය හා ආකල්ප වැඩි දියුණු කරගෙන සංකීර්ණ හා දියුණු ආර්ථිකයක සක්‍රීය භූමිකාවක් රග පාන්න ඒවාට නොහැකි උනා. වෙළෙදාමේ විස්තාරණ හැකියාව තබා ආකල්ප වෙනස් කර ගන්නවත් නොහැකිවීම කනගාටුවට කරුණක්. හොදම උදාහරණය පෞද්ගලික අංශයේ සුපිරි වෙළෙද සැල් ආකෘතියට තරගයක් දෙන්න සමූපකාර හා සතොස උත්සාහ ගත්තට මේ යුගය තුළ පවා ඔවුන්ට ඒ අසලකටවත් එන්න නොහැකිවීමයි.

දැනට පවතින දරිද්‍රතාවෙන් පෙලෙන සමූපකාර සමිති යන්තම් හරි හුස්ම පොදක් ගන්නේ රජයේ සුභසාධන සහනාධාර සදහා කරන ව්‍යාපාරික කටයුතු නිසයි. වී ගොවිතැන් කරන ප්‍රදේශවල සමූපකාර සමිති හුස්ම පොදක් ගන්නේ වී මිලදී ගැනීමට මහා භාණ්ඩාගාරයෙන් ලබාදෙන ප්‍රතිපාදන නිසයි. මෙවැනි දුර්වල මට්ටමක පවතින සමූපකාර වලින් ලංකාවේ සහල් නිෂ්පාදනය හා බෙදාහැරීම සාධාරණ හා කාර්යක්ෂමව කරන්න කිසිම දායකත්වයක් ලබා ගන්න බැරි බවයි ප්‍රායෝගික නිරීක්ෂණය.

සමූපකාර ක්‍රමය වේවා, රාජ්‍ය ක්‍රමය වේවා පෞද්ගලික ක්‍රමය වේවා අසාර්ථකව, අවලංගු වී කඩා වැටී ඇති මොහොතක නව ක්‍රමයක් නිර්මාණය කර ගැනීම මුළුමනින්ම රදා පවතින්නේ සංවාදය මත මිස ඒකමානීය දැනුමෙන් නොවන බව අප තේරුම් ගන්න ඕන.

බොහෝවිට ලංකාවේ සමාජ සුභසාධන ක්‍රියාවලියේ මදි පාඩුකම් ගැන කතා කරන කොට සමහර වාමාංශිකයන් උපුටා දක්වන්නේ ස්කැන්ඩිනේවියානු රටවල පවතින සමාජ සුභසාධනවාදී ක්‍රමයයි. එහෙත් ඔවුන් නොසලකා හරින්නේ එම රටවල්වල දීර්ඝ කාලීන ඉතිහාසය හා ආර්ථිකයේ වර්ධනයයි. එලෙසම පවතින අවකාශමය පදනම් නොසලකා විවිධ රටවල් හා ඒ ඒ රටවල තත්ත්වයන් උපුටා දැක්වීම කිසිම තේරුමක් නැහැ. ඊට හේතුව වන්නේ ඒ ඒ රටවල තත්ත්වයන් හා ශ්‍රී ලංකාවේ තත්ත්වයන් වෙනස් නිසයි.

ඕස්ත්‍රේලියාවේ කෘෂි නිෂ්පාදන කටයුතු සදහා සමූපකාර ක්‍රමයක් භාවිතා කරන බව ඇත්ත. ඒවා සාර්ථකව පවතින බවත් ඇත්ත. එහෙත් එවැනි සමූපකාර ක්‍රමයක් එරටේ සාර්ථකවීමට බලපෑ හේතූ ඒ තරම් සරළ වෙන්නේ නැති සාධක බව කිසිවෙක් හොයා බලන්නේ නැහැ. ඕස්ත්‍රේලියාව කියන්නේ ධනේශ්වරයේ කේන්ද්‍රයේ රටක්. එවැනි රටක නිෂ්පාදන බලවේගයන් හැසිරෙන අන්දම හා ශ්‍රී ලංකාව වැනි පරිධියේ රටක නිෂ්පාදන බලවේගයන් හැසිරෙන අන්දම මුළුමනින්ම පරස්පරයි. ඒ වගේම එවැනි රටවල්වල සමාජයේ පවතින ආකල්පයන් ද ශ්‍රී ලංකාවේ සමාජ ආකල්පයන්ට වඩා සෑහෙන වෙනස් බව අමුතුවෙන් කිවයුතු නැහැ. උදාහරණයකට එවැනි රටක ජනාධිපතිවරයා වරදක් කළත් දඩුවම් පමුණුවන සංස්කෘතියක් තිබුනත් ශ්‍රී ලංකාවේ ජනාධිපතිගේ වැසිකිළි සෝදන්නා පවා වරදකින් දඩුවම් නොලැබ බේරෙන ක්‍රමයකුයි පවතින්නේ. මේ සියළු සාධක සලකා බැලූවිට ඕස්ත්‍රේලියාවේ කෘෂිකාර්මික කටයුතු සදහා භාවිතා කරන සමූපකාර ක්‍රමය හුදු උදාහරණයක් පමණයි.

ශක්ති සහල්” මොක ද වුනේ?

පසුගිය රජය සහල් නිෂ්පාදනයේ අඩපනවීම වැළැක්වීමට සුළු හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් එකට එකතු කර දිස්ත්‍රික් සහල් නිපදවන්නන්ගේ සමූපකාර සමිති ද මව් සංගමයක් ද පිහිටෙව්වා. ඒවා සම්පූර්ණයෙන්ම රාජ්‍ය මැදිහත්වීම මතයි සිදු කළේ. එවැනි මැදිහත්වීමක් තිබිය දී පවා දිස්ත්‍රික්ක දෙකක සමූපකාර සමිති වංචා හා දූෂණයන්ට මැදිවූවා. කෙසේ නමුත් “ශක්ති සහල්” නමින් සහල් නිපදවූ එම ව්‍යාපෘතිය වත්මන් ආණ්ඩුව බලයට ආ සැනෙන් අවලංගු වුනා. ශ්‍රී ලංකාවේ පවතින දේශපාලන සංදර්භය තුළ ඊට වඩා වෙනස් තත්ත්වයක් බලාපොරුත්තු වෙන්න බැහැ.

ලංකාවේ සහල් නිෂ්පාදනය පවතින්නේ ස්වයං පෝෂිත මට්ටමකයි. නමුත් අවුරුද්දේ සමහර කාලවලට සහල් මිලෙහි ඉහළ යෑමක් දකින්නට පුළුවන්. ඒ සමගම සහල්වල හිගයක් ද ඇතිවෙනවා. ඊට ප්‍රධාන හේතුව සහල් බෙදාහැරීමේ පවතින ආරාවුලක්.  කාලය සමග සහල් මිලෙහි පවතින විචලතාවන්ට හේතුව බෙදාහැරීමේ ක්‍රමයේ ප්‍රශ්නයක් උනාට සහල් මිලෙහි සාපේක්ෂ වැඩිවීමට නිෂ්පාදන වියදමේ අධිකභාවය බලපානව. ඒ නිසා සහල් මිලෙහි ස්ථාවරත්වය ගැන කතා කරන්න ඕන අදියර දෙකකින්. පළමු අදියර වන නිෂ්පාදන වියදම අවම කර ගැනීම මෙන්ම සහල් වල බෙදාහැරීමේ පවතින ආරාවුලත් වෙළෙද පළට දැඩි බලපෑමක් ඇති කරනවා. ලංකාවෙ නිදහස් වෙළෙද පළ ඇති කළේ 1978 වසරෙදි බව කවුරුත් දන්න කරුණක්. ඒත් වැඩි කල් නොගොස් නිදහස් වෙළෙද පළ අසාධාරණ හා තිරසාර නොවන බව පැහැදිලි උනා. වෙළෙද පොළ තිරසාර වෙන්න නම් පළමුව එය සාධාරණ වෙන්න ඕන. එහෙම සාධාරණ නොවන්නෙ එක්කො ඒකට රජය මැදිහත්වෙනව. එහෙම නැත්නම් වෙළෙද පළේ කොටස්කරුවන් බලපෑම් කරනව. සහල් වෙළෙද පළට මේ සාධක දෙකම බල්පෑව. එක වෙලාවකට වී වලට හා සහල් වලට රජය සහතික මිලක් නියම කරනව. තව වෙලාවකට තොග වෙළෙන්දන් අඩු මිලට වී මිලදී ගන්නව. නැත්නම් සහල් හංගනව. ඇත්ත නිදහස් සහල් වෙළෙද පළක් නිර්මාණය නොවූ නිසා විටෙන් විට සහල් හිග උනා. මිල ඉහළ ගියා. මේක කුපාඩි රස්තියාදුකාර සහල් වෙළෙදාමක්.

රජයේ බැංකු වලින් ණය ගන්න මහා පරිමාණ හාල් මෝල්කාරයො වී ගොවීන්ට හා ආණ්ඩුවට වැටෙන්න පහර දෙන්නෙ එකවිට. නමුත් මෝල්කාරයට පහර දෙන්න කිසිම ආණ්ඩුවක් ඉස්සරහට නො එන්නෙ දේශපාලකයට උදව් කරන්නෙ හාල් මෝල්කාරය නිසයි. මේක චක්‍රයක්. පාදඩ මූල්‍ය චක්‍රයක්. මේ හොර මාෆියා පාදඩ වෙළෙදාම නතර කරල සාධාරණ හා තිරසාර වෙළෙද පළක් නිර්මාණය කර ගන්න නම් මැදිහත්වෙන්න ඕන සමාජයමයි. ඒ වැඩේ කවදාවත් ආණ්ඩුව කරන්නෙ නෑ. දේශපාලකයො කරන්නෙ නෑ. දේශපාලකයො යැපෙන ක්‍රමය එයාලම කඩා බිද දමන්නෙ නැහැ. නිදහස් වෙළෙද පළ අසාර්ථක උන පළියට පරණ පුරුදු සමූපකාර ක්‍රමය අයෙත් සාර්ථක වෙන්නෙ නැහැ. රාජ්‍යයේ මැදිහත්වීම සාර්ථක වෙන්නෙත් නැහැ. මේ සියල්ල යල්පැන ගිය බරවා විසදුම්.

සංවෘත/විවෘත ආර්ථික ක්‍රම දෙකම අසාර්ථකයි

රාජ්‍ය කේන්ද්‍රීය සුභ සාධනවාදී දේශපාලනය ලාංකික වම්මුන්ගේ ද පරමාදර්ශය  බව ඔවුන්ගේ අදහස් දැක්වීම් වලින් තේරුම් ගන්න පුළුවන්.  කෙටියෙන් කිවහොත් ඔවුන් බලාපොරුත්තු වන්නේ 1970-77 යුගයේ පැවැති සමගි පෙරමුණු ආණ්ඩුවේ ආර්ථික මොඩලයයි. ජාතිකවාදී දෘෂ්ටියකින් යුතු ඒ දේශපාලන මොඩලය විසින් කළමනාකරණය කළ ඒ වෙළෙද පළ, රාජ්‍යය ආධිපත්‍යයට නතු වූ ධනේශ්වර මොඩලයක්. ධනේශ්වරයේ කේන්සියානුවාදී උපක්‍රමික ආර්ථික මොඩලය වූ එය  ලංකාවේ දී නම් 1977 දක්වා ක්‍රියාත්මක වූවා. අද වනවිට මුළු ලෝකයෙන්ම අවලංගු වී ගොස් ඇතත් තමන් වම්මු යැයි හදුන්වා ගන්නා ලාංකික පිරිසකගේ දේශපාලන අභිලාශය වන්නේ මේ කේන්සියානුවාදී ආර්ථික මොඩලය අඩංගු ධනේශ්වර පාලන ව්‍යුහයක්.

ජාතිකවාදී දේශපාලන අභිලාශයන් ඉක්මවා අන්තර්ජාතික දේශපාලනික අභිලාශයන් කරා පුළුල්වීමට නම් මේ වාමාංශික සංස්කෘතිය කුඩු පට්ටම් කර දැමිය දැමීම අනිවාර්ය අවශ්‍යතාවක්. දෘෂ්ටිමය වශයෙන් ජාතිකවාදී වූ වාමාංශිකය සේවය කරන්නේ  පටු ග්‍රාම්‍යය සුබසාධනවාදයටයි. සුබසාධනවාදය ශක්තිමත් හා පුළුල් වෙළෙද පළක් නිර්මාණය කරන්නේ නැහැ. ඒ නිසා භාණ්ඩ හා සේවා අළෙවිය හා බෙදා හැරීම යථා පරිදි සිදු සිදුවෙන්නෙත් නැහැ. ජව සම්පන්නව ක්‍රියා නොකරන වෙළෙද පළක නිෂ්පාදනය ද ශක්තිමත් නැහැ. නිෂ්පාදනය ග්‍රාම්‍ය හා ප්‍රාථමික මට්ටමක පවතින රටක ආර්ථික සංවර්ධනයක් සිදුවන්නේ නැහැ. මේ එකිනෙකට සම්බන්ධ සාධක චක්‍රකාරව ක්‍රියාත්මක වන්නක්.

මේ තත්ත්වය වෙනස්වීමට නම් පවතින වෙළෙද පළ සාධාරණ හා තිරසාර  ලෙස පරිවර්තනයකට ලක්විය යුතු බව ඉතා පැහැදිලි කරුණක්. ඒ සදහා ජාතිකවාදී රාමුවෙන් මිදී අන්තර්ජාතික ප්‍රවේශයකට ශ්‍රී ලංකාව සූදානම් යුතුවීම අනිවාර්යක්.  ඒ පරිවර්තනයට බාධා කරන්නේ වම්මුන්ගේ නොදියුණු හා ප්‍රාථමික සිතුම් පැතුම් විසින්. වාමාංශික සංස්කෘතියේ පවත්නා ප්‍රගතිශීලීත්වය යනු පවතින අසාධාරණ හා තිරසාර නොවන වෙළෙද පළ ආරක්ෂා කර ගැනීම සදහා අටවාගෙන ඇති කෙමනක්.  වමේ ඒ ප්‍රගතිශීලීත්වය විසින් සිදු කරන්නේ යක්ෂයාගේ රුදුරු බැල්මට හා කුරිරු හස්තයට ප්‍රිය මනාපභාවයක් ලබාදීම පමණයි. එහෙත් සූරාකෑම පුරුදු පරිදි සිදු කෙරේ. කෙරෙන්නක්. 1970-77 යුගයේ සමගි පෙරමුණු ආණ්ඩු සමයේ ක්‍රියාත්මක වූ ආර්ථිකය තුළ දක්නට ලැබූ කේන්සියානුවාදී ලක්ෂණ මගින් රට තුළ ස්ථාපිත කළේ එවැනි තත්ත්වයක් බව නොරහසක්.

වෙළෙද පළේ තිරසාර බව ආරක්ෂා වෙන්න නම් එය සාධාරණ වෙන්නත් ඕන. වෙළෙද පළ සාධාරණ නොවෙනව නම් පැවැත්ම පිළිබද බරපතල ආරාවුලකට එය තල්ලු වෙනව. ඒ නිසා අස්ථාවර බවේ ඉදල ස්ථාවර බවට නැවත සකස් වෙන්න (Reshuffle) නම් වෙළෙද පළ අභ්‍යන්තරයේ විශාල විප්ලවයක් වෙන්න ඕන. ඒක වෙන්නෙ වෙළෙද පළ බලවේග අතර සංවාදයකින්. වෙළෙද පළ කඩාගෙන වැටීම සියළුදෙනාට ව්‍යසනයක් නම් ඒ ව්‍යසනයකින් මිදෙන්න වෙළෙද පළ බලවේග මහන්සියෙන් පියවර ගන්න ඕන. වෙළෙද පළේ තිරසාර බව හා සාධාරණ බව ආරක්ෂා වෙන්න නම් එවැනි අරගලයක් වෙළෙද පළ අභ්‍යන්තරයෙන් පැන නගින්න ඕන. නිදහස් වෙළෙදාම තිරසාර වෙන්න නම් වෙළෙද පළ බලවේග අභ්‍යන්තර අර්බූදයකට මුහුණ දෙන්න ඕන. ඒ අර්බූදය දැන් පටන් අරන් කියලයි වටපිට පවතින සාධක වලින් තහවුරු වෙන්නෙ.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.