26 April, 2024

Blog

“දෙවඟනන් ගී ගයාවී, ඒ හඬ අසා දැනගෙන, සැතපෙන්න කුමරුනි – කුමරුනි, ඔබට සුබ රාත්‍රියක්!“

කේ.ජී.පිලිප් ශාන්ත

කේ.ජී.පිලිප් ශාන්ත

“මචං, වයිෆ්ට කිව්වට පස්සෙ මේ උඹ​ට කියන්නෙ. මට සිළුමිණ ලැබුණ”

සිළුමිණ ප්‍රධාන කතෘ ධූරය මා මිත්‍ර චාමර ලක්ෂාන්ට ලැබෙන බව ඒ වනවිටත් මට ආරංචි වී තිබුණි. එසේම එම තනතුර කවදා හෝ චාමරට ලැබෙන බව 2015 දීම මම දැන සිටියෙමි. එනිසා චාමර මට කිව් කතාව අලුත් දෙයක් නොවීය. එනිසා චාමර කේන්ති ගැන්වීම සදහා ඔහුගේ පණිවුඩය බරපතල ලෙස තේරුම් නොගෙන විහිළුවක් කළෙමි. පුදුමය කියන්නේ චාමර කේන්ති නොගත්තේ ය. හැම බරපතල අවස්ථාවකම මා කියන “වගකීම් විරහිත” කතාවකටම ඔහු කේන්ති නොගෙන මට පිළිතුරු දුන්නේ ය. චාමරට අවශ්‍ය වූයේ අලුත් තනතුරේ වගකීම් ඉෂ්ඨ කරන්නට මගේ සහායයි. අනතුරුව ඔහුට සුබ පැතූ මම අවශ්‍ය සහාය අපමණව ලබාදෙන බව කීමි. ඔහු සතුටට පත්වී “උඹ​ මගේ බොක්කනේ,” යැයි කීය.

චාමර නිතරම ස්තූති කරමින් මගෙන් ඉල්ලා සිටියේ “රැස” හා “සිළුමිණ” නව අකාරයකින් කරගෙන යන්නට මගේ උදව්ව ය. එලෙස “උදව්” කළ හැමවිටම මා ඔහුගේ “බොක්ක” විය. චාමර හා මා අතර අති විශාල දේශපාලන පරතරයක් විය. එහෙත් ඔහු සමග වැඩ කරගෙන යන විට ඔහු නියෝජනය කළේ මගේ දේශපාලන අදහස්ම ය. සමහර අවස්ථාවල මා ලියූවකට මගෙන් විමසන්නේ “යකෝ මාව නැති කරන්න ද  හදන්නේ” යන්නයි. මගේ කෙටි පිළිතුර වූයේ ” උඹ​ වාඩිවෙලා ඉන්නෙ මාර්ටින් වික්‍රමසිංහ උන්නැහෙ වාඩි වෙලා හිටි පුටුවෙ, ” යන්නයි. එවිට ඔහු මෙල්ල වෙයි.

චාමර ලක්ෂාන්

චාමර නොසිටින්නට මගේ අදහස් බොහොමයක් “රැස” හා “සිළුමිණ” පුවත්පත්වල පළ නොවන බව මම හොදාකාරවම දන්නෙමි. මම එවැනි ලිපි යවා යම් කාලයක් දී “මචං අවුලක් නෑනෙ,” යැයි විමසමි. “අන්න උඹේ ලිපිය හෙට අහවල් පිටුවේ පළ කරනවා” යැයි ඔහු මට කියයි. “නොවක් තුති යැයි විහිළුවක් කළ විට උඹ​ට මම හින්ද හොද” යැයි ප්‍රති උත්තර දෙයි. ඒ අනුව මම හිතන්නේ ලේක් හවුස් එකේ ලිවීමේ වපසරිය පුළුල් කර ගැනීමට චාමර පුදුමාකාර ලෙස වෙහෙස වූ බවයි. දිනමිණ පත්තරයේ විශේෂ අතිරේකයක් වරක් චාමර සංස්කරණය කළේ ය. ඊට යමක් ලියන්නැයි ඔහු මට කීය. සම්ප්‍රදායික සැමරුම් අතිරේකයකට ලියන ස්වරය මම දැන නොසිටියෙමි. මම ලිව්වේ මට අවශ්‍ය දේ ය. චාමර එය අකුරක් නෑර පළ කළේ ය. ලිපියේ අඩංගුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා  මුසපත් වී තිබුණි. එය පහළ මට්ටමට ද දන්වා තිබුණි. මට එය ආරංචි වී  චාමර අමතා එවැන්නක් සිදුවූයේදැයි විමසීමි. “ගණන් ගන්න එපා බං, මේව එහෙම තමයි, උඹ​ ලියහන්” යැයි චාමර  කීය.

චාමර ලක්ෂාන් ආණ්ඩුවේ මාධ්‍යයක් වූ ලේක් හවුස් ආයතනයට අභියෝගයක් වූ බව මගේ අදහසයි. මේ රටේ පතාක පුවත්පත්කලාවේදියකු වූ දයාසේන ගුණසිංහ පැවසූ පරිදි උපරිම දුරෙන් වූ තණ කොල ගස උලාකන්නට වෙහෙසෙන දිගේලි කළ හරකෙකු සේ උපරිම ලිවීමේ නිදහස දිනා ගන්නට පුවත්පත්කලාවේදියා උපක්‍රමශීලී විය යුතුය. චාමර කටයුතු කළේ ඒ අන්දමිනි. ඔහු ලේක් හවුස් ආයතනය තුළ පර්යේෂණාත්මකව කටයුතු කළ පුවත්පත්කලාවේදියෙකි.

රාජ්‍ය මාධ්‍යවල සමහර පුවත්පත් කතෘවරු හිටපු ආරක්ෂක ලේකම්ගේ ඡායාරූපයක් පළ කිරීමට පවා බිය විය. ඒ තබා ඔහු විවේචනය කරන ලිපියක නම පවා සදහන් කරන්නට බිය විය. නම ඉවත් කර ඡායාරූප පළ නොකර කරන්නට දෙයක් නොමැති නිසා පුවත්පතේ මුල්ලක එය පළ කරන්නේ ය. එහෙව් යුගයක චාමර බය නැතිව කරන්නට ඕන දේ කළේ ය. කියන්නට ඕන දේ කිව්වේ ය. ලියන්නට ඕන දේ ලිව්වේ ය. 

චාමර සමග මම බොහෝ විට දබර කර ගතිමි. සමහර අවස්ථාවන්හි දී දුරකථනය විසන්ධි කළෙමි. තවත් බොහෝ අවස්ථාවල ඔහුගේ ඇමතුමට ප්‍රතිචාර නොදැක්වීමි. ඒ හැමදේම කළේ ප්‍රතිපත්තිමය පරස්පරයක් නිසා ය. එහෙත් ඔහු මා අත නොහැර මිත්‍රත්වය ආරක්ෂා කර ගැනීමට තරම් සංවේදී, නිහතමානී හා මානව දයාවෙන් පිරි මනුස්සයකු විය. කුහක හා අසත්පුරුෂ මිනිසුන්ගෙන් පිරි ලංකාවේ මාධ්‍ය අවකාශය තුළ චාමර ලක්ෂාන් වැන්නකු සමීප මිත්‍රයකු ලෙස ආශ්‍රය කරන්නට හැකිවීම මා ලත් භාග්‍යයක් විය.

මම නිදහස් ලේඛකයෙකි. චාමර රජයේ මාධ්‍ය ආය්තනයක කතෘවරයෙකි. ඔහුට ආයතනික බැදීමක් ඇත. ඔහු නිතරම උත්සාහ ගත්තේ පාර්ශ්වයන් සමබර කිරීමට ය. එහෙත් වෙනත් කතෘවරුන් මෙන් නොවී උපරිම නිදහසක් නිර්මාණය කර ගනිමින් ඒ නිදහස භුක්ති විදීමට චාමර මහන්සි ගත්තේ ය. ඒ මහන්සිය අසීරු වෑයමක් වන්නට ඇත. එහෙත් යකා සිතූ තරම් කළු නොවීය. එනිසා ආණ්ඩුවේ පත්තරයකින්ම ආණ්ඩුවේ වැරදි ප්‍රතිපත්ති විවේචනය කරන්නට තරම් චාමර උපක්‍රමශීලී විය. එසේම ඒ අවකාශය පුළුල් කර ගැනීමට ද ඔහු දක්ෂ විය. මා දන්නා ඉතිහාසය තුළ පවතින ආණ්ඩුවේ වැරදි ප්‍රතිපත්තියකට වැරෙන් පහර ගහන්නට කිසිම බියක් නොදැක් වූ රාජ්‍ය මාධ්‍යයක එකම සිංහල කතුවරයා චාමර ලක්ෂාන් විය යුතුය. 

බොහෝ අය ලේක් හවුස් ආයතනයේ රැකියාවට එන්නේ වැළ යන අතට මැස්ස ගසා ලැබෙන වරදාන උපරිමයෙන් භුක්ති විදීමට ය. ඔවුන්ට නිර්මාණශීලී ලේඛනය අවශ්‍ය නැත. නිදහස උපරිමයෙන් භුක්ති විදීමට ද අවශ්‍ය නොවේ. පුවත්පත්කලාවේදියකු හෝ කතෘවරයකු ලෙස හෝ අනන්‍යතාවක් ගොඩ නගා ගැනීමට ද අවශ්‍ය නොවේ. එහෙත් චාමර ඒ සම්ප්‍රදායෙන් බැහැර වීය. ඔහුට ඒ වරදාන අලුයම ලූ කෙළ පිඩක් මෙන් විය. චාමර ලක්ෂාන් පුවත්පත්කලාවේදියකු ලෙස ද රැස හා සිළුමිණ කතුවරයා ලෙස ද උත්සාහ කළේ මහන්සිවූයේ තම අනන්‍යතාව ගොඩ නගා ගැනීමට ය. පුවත්පත්කලාවේදියකු ලෙස පෞර්ෂය ශක්තිමත් කර ගැනීමට ය.

අන් සියලුදෙනාට මෙන් චාමරට ද සතුරෝ සිටියහ. අභ්‍යන්තරව මෙන්ම බාහිරව ද සතුරෝ සිටියහ. ඒ සතුරන් උත්සාහ කළේ චාමරව ක්ෂේත්‍රයෙන් එළවා දැමීමට ය. ඒ නිසා ඔහුගේ හැම කටයුත්තක් ගැනම ඇහැ කණ යොමුකරගෙන සිටි ඔවුහු ගතු කීහ. තවමත් තරුණ පරපුරේ වූ චාමරට ලේක් හවුස් ප්‍රකාශනයක ඉහළ තනතුරක් ලැබීම ඉවසිය නොහැකි වූ පිරිසක් ද ආණ්ඩුවේ වූහ. ඔවුන් කීවේ පත්තරයක කතෘකම දරන්නට තරම් චාමර මෝරා නොමැති බව ය. ඔවුන් එසේ කීවේ විශ්‍රාම සුවයෙන් නිවසට වී සිටිය යුතු මිනිසුන් එම තනතුරු වලට පත් කර තමන්ට නැති ගෞරවයක් ලබා ගැනීමට ය. 

චාමර කොළඹ විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර සබදතාව පිළිබද විශේෂ උපාධිධරයෙක් ද දේශපාලන විද්‍යාව පිළිබද පශ්චාත් උපාධිධරයෙක් ද වේ. එසේම අත්දැකීම් ලත් පුවත්පත්කලාවේදියෙකි.  එහෙව් චාමර සිළුමිණ පුවත් පතේ කතෘ ධූරයට නුසුදුසු විය. ඔහු සුදුසු නූනාම නම් ඒ සදහා තරුණයකු සොයා ගන්නට හැකි විය යුතුය. එහෙත් තුන් වසරක් පුරා සිළුමිණ කතෘ ධූරය දැරුවේ විශ්‍රාම වයසේ පසුවූවන් ය. ඒ නිසා චාමර ලක්ෂාන්ට නොලැබුණ දෙයක් නැතත් සිළුමිණ විශාල අගාධයකට වැටුනේ ය. විශාල කීර්තියක් තියෙන ආණ්ඩුවේ ප්‍රධානම සති අන්ත පුවත්පත කිසිවකු විසින් මිල දී නොගන්නා තත්ත්වයට වැටුනේ ය. නමුත් අවසානයේ අපේ පරම්පරාව ජයග්‍රහණය කළේ ය. වයස අවුරුදු 39ක් වූ චාමරට සිළුමිණ කතෘ ධූරය ලැබුනේ ය.

සාමාන්‍යයෙන් රැස පුවත් පතේ කතෘ වාක්‍යය ලියන්නට කලින් මා සමග අදහස් හුවමාරුවක යෙදෙන්නට චාමර පුරුදු වී සිටියේ ය. පසුගිය පළාත් පාලන මැතිවරණයට පසුව ලාංකාවේ දේශපාලන අරාජිකත්වය තුළ අප දෙදෙනාම සිටියේ කලකිරීමක ය. මා චාමරට යෝජනා කළේ උපරිම අන්දමින් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය විවේචනය කර කතෘ වාක්‍යය ලියන ලෙස ය. ඔහුගේ ඉල්ලීම මත වැඩිදුරටත් මා කීවේ. මැතිවරණයෙන් සෑම දේශපාලන බලවේගයකම පරාජය පෙන්වා දී තනි ආණ්ඩුවක් හදන්නට එජාපයේ තියෙන උද්දච්ඡ මානසිකත්වය තරයේ විවේචනය කරන ලෙස ය. ඔහු ඊට එකග විය.

එහෙත් එවැන්නක් දැඩි ස්වරයෙන් ලියාවි යැයි මා කිසිවිට නොසිතුවෙමි. එහෙත් මැතිවරණයෙන් පසුව අගහරුවාදා රැස පත්‍රයේ කතෘ වාක්‍යය ආණ්ඩුවට එල්ල කළ බරපතල විවේචනයක් විය.  එය මා තිගැස්මට ලක් කිරීමට සමත් විය. කිව යුතු දේ ඝෘජුව හා එක එල්ලේ කියා තිබූ එම කතු වැකිය අගය කළ යුත්තකි. එහෙත් ආණ්ඩුවේ මාධ්‍යය ආණ්ඩුවේ කුණු හෝදනවා යැයි චෝදනා එල්ල කරන මිනිස්සු අභියෝගයන්ට නොබියව මුහුණ දුන් එවැනි අවස්ථා කිසිවිට අගය නොකළහ.

දිනපතා මා සමග කතා බහ කළ චාමර පසුගිය දෙසතිය තුළ කතා කළේ නැති තරම් ය. වරෙක ඔහුගේ ෆේස්බුක් වෝලයේ සදහන් වූයේ විවේක ගන්නා බවයි. තවත් වරෙක සදහන්ව තිබුණේ  දකුණේ සංචාරයක යෙදෙන බවයි. ඒ හැරෙන්නට ඔහුගේ දින චර්යාව ගැන වචනයක් දෙකක් කතා කරන්නට නොහැකි. විය ඔහුව හදිසියේ හා අහම්බෙන් සම්බන්ධ කර ගැනීමට මට හැකිවූයේ පසුගිය ජුනි 22 දා දහවලේ ය. හදිසියෙන් කතා කළ ඔහු “මචං බලපන් අපේ උන්ට මේ ඉෂූ එක උඩට ගන්න තේරෙන්නෙ නෑනෙ”. අපි නම් ඉස්සුව යැයි කීවේ කනස්සල්ල මුසු සතුටකිනි. ඔහු සදහන් කළේ කාලීනව සිදුවීමක ප්‍රවෘත්තියකි. චාමරට යහපාලනය රැක ගන්නට පුදුම ඇම්මක් තිබුණි. ඒ වෙනුවෙන් රාජ්‍ය මාධ්‍ය ආයතන වෙහෙසවී වැඩ නොකිරීම ගැන කලකිරීමක් ද තිබුණි.

කෙසේවෙතත් ස්වභාව ධර්මයාගේ නියමය අනුව මා මිත්‍ර චාමරට ද සිය ගමන් ගමේ අවසානයට එන්නට සිදුව තිබේ. ප්‍රශ්නය වන්නේ චාමර සිය ගමන් මගේ අවසානයට ඒම නොවේ. ඔහු කල් ඇතිවම ඒ ගමන ඒම මගේ නෝක්කඩුවයි. අප සමග තව බොහෝ ගමනක් යන්නට සිටි ඔහු කල් ඇතිවම තම ගමන නිමා කළේ ඇයිදැයි මට නොතේරේ. කෙසේ වුවත් ස්වභාව ධර්මයා හා තර්ක කරන්නට මා කැමැති නැත. ඊට අනුගත වන්නට ද කැමැති නැත. එහෙත් ජීවිතය යනු ප්‍රශ්න කළ හැක්කක් යැයි මම නොසිතමි. මගේ සදාදරනීය මිතුරා අප හැර ගොසිනි.

මහජන චීනයේ මහා නායකයා වූ සභාපති මාවෝ සේතුං සහෝදරයා මිය ගිය අවස්ථාවක එරට පුවත්පත්කලාවේදියකු ලිවූවක් මට සිහිපත් වේ. “මාඕ සේතුං සහෝදරයා සදාකාලික නිද්‍රාවට පත්ව ඇත. මගේ රටේ ජනතාව ශෝකයෙන්, කනගාටුවෙන් ඇළලී ගොසිනි. මේ ශෝකජනක අවස්ථාවේ මා යෝජනා කරන්නේ ඒ සියළු ආවේගයන් ශක්තියක් කරගෙන මාඕ සේතුං සහෝදරයා ප්‍රාර්ථනා කළ ලෝකය තනන්නට අපි මහන්සි වෙමු”ය යන්නයි.

චාමර මගේ සදාදරණීය මිත්‍රයාණෙනි, ඔබට සදාකල් සුවය ලැබෙන ගමනකට සුබ පතන අතර ඔබ සමග අප යන්නට සූදානම් වූ ගමන සාර්ථකව නිමා කරන බවට ද සපථ කරමි.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.