අවුරුදු 27ක් තිස්සේ “රාවය” පුවත් පත මම මිල දී ගෙන කියවමි. 1991 මුල් කාලයේ මිල දී ගන්නට පටන් ගත් එය මට මුල් වරට එපා වූයේ 1994න් පසුව ය. එතෙක් එම පුවත්පත මගේ පරමාදර්ශය විය. එකල මගේ වයසේ බොහෝ දෙනෙකු “හිරු” පුවත් පත කරා යද්දී මම “රාවය“ට පෙම් බැන්දෙමි. ඊට හේතුව වූයේ එහි ලිබරල්වාදී ආකෘතිය නිසා නොවේ. නමුත් ඊට ආවේනික වෙනස්ම වෙනස් වූ මාධ්‍ය සංස්කෘතියක් තිබුණි.
එය ප්‍රවෘත්ති පළ කළේ සම්ප්‍රදායික ක්‍රමයට සිද්ධි වාර්තා කරමින් නොවේ. සිද්ධීන් කරා ගොස් ඒවා අධ්‍යයනය කර ගවේෂණාත්මකව ප්‍රවෘත්ති වාර්තා කළේ ය. එසේම ප්‍රවෘත්තිය තුළ යම් කිසි විචාරයක් ද අඩංගු විය. අද ද රාවයේ ප්‍රධාන පුවත බොහෝ විට ප්‍රවෘත්තිය සම්බන්ධ විචාරයක් සමග ඉදිරිපත් කරයි. එය රාවයේ ප්‍රතිපත්තිය මත තීන්දු වේ.
එසේම විශේෂාංග පළ කරන්නේ ද ගවේෂණාත්මකව ය. බොහෝ ජාතික පුවත් පත් කොළඹ පත්තර කන්තෝරුවේ සිට දුරකථනයෙන් විමසා විශේෂාංග ලියද්දී රාවය සිද්ධියේ අගමුල සොයා ගම්දනව් කරා ගියේ ය. ඒවා ලිව්වේ ද සමාජ ප්‍රශ්නය තමන්ගේ ප්‍රශ්නයක් කර ගනිමිනි. “ආරංචි මාර්ග සදහන් කරයි” යන්න රාවයේ ප්‍රතිපත්තිය නොවීය. ඔවුහු සොයා ගත් කරුණු මත පිහිටමින් ඒ වෙනුවෙන් පෙනී සිටියහ.
තමන් පළ කළ ප්‍රවෘත්ති හා විශේෂාංග වලට සමාජයෙන් විරෝධයන් එල්ල වන විට ජාතික පුවත් පත් ඒවා සමග අරගල කරන්නට යන්නේ නැත. එහෙත් රාවය එල්ල වන විරෝධතාවන්ට ඉඩක් දෙමින්ම කරුණු වල සත්‍යතාවය වෙනුවෙන් පෙනී සිටියේ ය.
එසේම රාවය ආවේගයන්ට ආමන්ත්‍රණය නොකලේ ය. එතුළ මෝරා ගිය මහා පරිචයක් තිබුණි. ඒ පරිචය නිසා දැවැන්ත පෞර්ෂයක් බිහි විය. රාජ්‍යයේ අංගෝපාංගයන් සමග පොර බදින්නට රාවයට හැකිවූයේ එබැවිනි. මේ ජනමාධ්‍ය සංස්කෘතියට ආදරය කරමින් එය භාවිතා කරමින් මම ද ඒ අනුව ලියන්නට ඉගෙන ගතිමි. මෙසේ ලියන්න යැයි මට රාවයේ කිසිවෙක් ඉගැන්නුවේ නැත. එහි එහි භාවිතාව මගේ ගුරුවරයා විය. මම රාවය කියවූවා නොව අධ්‍යයනය කළෙමි. එනිසා එහි භාවිතය මගේ ද භාවිතය විය.
මම ඉරිදා ලක්බිම පත්‍රයේ සේවය කරද්දී ආණ්ඩුවේ බලවත් පළාත් සභා ඇමතිවරයකු ජනාධිපති කාර්යාලය සම්බන්ධ ප්‍රවෘත්තියක මූලාශ්‍රයක් හෙළි කළේ ය. එහෙත් ඇමතිවරයා කිව් කතාවේ අනෙක් පැත්තට විමසන්නේ නැතිව මම එය නොලිව්වෙමි. ඒ දිනවල අයවැය විවාදය පැවතුන බැවින් ජනාධිපති කාර්යාලයේ අදාළ ඉහළ නිලධාරිනිය දුරකතනයෙන් අල්ලා ගැනීමට මට අපහසු විය. දින පහක් පමණ දැඩි වෙහෙසක් දරා අන්තිමට ඈව අල්ලා ගැනීමට මම සමත්වීමි.
එවකට ඈ රාජ්‍ය පරිපාලන සේවයේ ජේෂ්ඨ නිලධාරිනියකි. දුරකථනයට පිළිතුරු දුන් විට මම මගේ අවශ්‍යතාව ඈට කීමි. මා දින කිහිපයක් ඇමතුම් දුන් බව ඈට ආරංචි වී තිබුණි. ගත් කටටම ඈ ඇසුවේ ඔයා මෙච්චර කල් කතා කළේ ඕක අහන්නට ද යන්නයි. මම “ඔව්” යැයි කීමි. එවිට ඈ ඇසුවේ න්නිවුස් එකක් ලැබුන නම් පළ නොකර ඒ ගැන අපෙනුත් අහන්නට පෙළඹුනේ ඇයි ද යන්නයි. සෑම කතාවකටම පැති කිහිපයක් ඇති බැවින් ඔබේ පැත්තේ කතාවත් අසා නිවුස් එක ලියන්නට මට අවශ්‍ය වුන බව එවකට කණිෂ්ටයකු වූ මම පණ්ඩිතමානයෙන් කීමි. ” මට ඔයා ගැන පුදුමෙනුත් පුදුමයිනෙ” යැයි ඈ කීය.
“නිවුස් එකට අදාළ සම්පූර්ණ විස්තරය කියන්න පුළුවන්, හැබැයි ඔයා මට ඇස් දෙකෙන් දකින්න ඕන. මෙහෙට එන්න පුළුවන්දැයි” ඈ විමසීය. ඉබ්බ දියේ දාන්නැයි ඇසූ කළ ඇන්නාවෙයි කියන්නාක් මෙන් මම එවෙලෙම පාරට බැස බසයක නැගී ජනාධිපති ලේකම් කාර්යාලයට ගියෙමි. මට ඕනෑ වුනේ නිවුස් එකේ ඉතුරු විස්තරය ලබා ගැනීමට ය.
එහි ගිය විට මට මහත් ඉහළින් සලකා අවශ්‍ය තොරතුරු දුන්නා ය. නැවතත් ඈ ඇසුවේ ” මෙහෙම මේ ගැන මගෙන් අහන්න පෙළඹුනේ ඇයි” පුතා යන්නයි. මම මගේ පදනම කීය. මම මාධ්‍ය කලාව ඉගෙන ගත්තේ “රාවයෙන්” යැයි ද ඒ නිසා සෑම පාර්ශ්වයකටම කණ් දීමට මා පුරුදුව ඇතැයි ද කීමි. එම ජේෂ්ඨ නිලධාරිනිය මහත් සතුටට පත්ව මාව අගය කළා ය. නිවුස් එකට පදනම් වූ සියළු කරුණු කී ඈ මට ප්‍රශංසා කළා ය. තවදුරටත් කීවේ මා කළ ක්‍රියාවේ වැදගත්කම නිසාම අවශ්‍ය තොරතුරු ලබාදුන් බවය. ඒ වැදගත් මාධ්‍ය සංස්කෘතිය මා ඉගෙන ගත්තේ “රාවයෙනි“
1995 වර්ෂය වනවිට “රාවය” සෑහෙන්න පල්ලම් බැස තිබුණි. ඒ අළෙවියෙන් පමණක් නොවේ. රාවයේ අන්තර්ගතයෙනි. හසක රත්නමලල, ඩී එස් එස් මායාදුන්නේ, නිවුටන් සෙනෙවිරත්න, නන්දන වීරරත්න, වික්ටර් අයිවන් වැන්නන් දේශපාලනිකව ලියූ ලිපි වලට මම වඩාත්ම ආශා කළෙමි. ඒ අතර හසක හා නන්දන ලියූ ගවේෂණාත්මක ලිපි ඉස්තරම් විය. පසුව වික්ටර් අයිවන්, නිවුටන් සෙනෙවිරත්න, ඩී එස් එස් මායාදුන්නේ , කොළඹගේ හා නන්දන වීරරත්න වැන්නන් සමග කතා බහ කිරීමේ භාග්‍ය මට ලැබුණි.
රාවය ඉන් පසුව ගම ගත්තේ අවරටය. එය වඩ වඩාත් ලිබරල්වාදී වෙමින් මගෙන් ඈත් විය. පසුව රාජපක්ෂ යුගයේ දී යුදවාදයට එරෙහිව රාවයේ ලේඛකයන් ලියූ ලියවිලි හැරෙන්නට ආශ්වාදජනක ලෙස කියවා බුද්ධිමය ලාභයක් ලබන්නට එහි ලියවිලි මට ප්‍රයෝජනවත් නොවීය. රාවයේ ජේෂ්ඨයන් ලිබරල්වාදය කරා එය ඇදගෙන යද්දී කණිෂ්ටයෝ මතු පිටින් දකින දේ සරළව ලිවූහ. වෙනදා මෙන් ගම්දනව් කර ගිය ද ඔවුහු ලිව්වේ සරළ දෑ ය. ජේෂ්ටයන් මෙන් බොහෝ කියවා ඇසූ පිරූ තැන් නැති නිසාදෝ මේ කණිෂ්ටයන් ගම්දනව් කරා ගොස් දකින දේ අවිචාරාත්මකව ලියති. ඔවුහු අත්දකින දේට එකතු කරන්නට ශාස්ත්‍රීය දැනුමක් නැති නිසාදෝ හිස් වැල් වටාරම් ලියති.
මේ වසරේ මුල වෙන විට රාවය වෙන්ව තිබුනේ පෙන්ෂන්කාරයන්ගේ අදෝනා ලිවීමට ය. වික්ටර් අයිවන් එක අදෝනාවක් ලියන විට මහාචාර්ය සරත් විජේසූරිය තවත් අදෝනාවක් ලිව්වේය. සෙස්ස ලිව්වේ කොළඹ කේන්ද්‍රීය රාජ්‍ය නොවන හම්පඩයන් විසිනි. මෙය වයසේ ප්‍රශ්නයක් නොව බුද්ධියේ ප්‍රශ්නයක් බව ඔප්පු කළේ මහාචාර්ය ජයදේව උයන්ගොඩ විසින් ය. ඇත්තටම කියවන්නට පුළුවන් නිර්මාණශීලී දැක්මක් සහිත එකම ලිපිය ලිව්වේ මහාචාර්ය ජයදේව උයන්ගොඩ ය.
අයිවන් – ජනරංජන ගැටුම පටන් ගත්තේ ඓතිහාසික අර්ථයෙනි. යමක් සමාජය සංවර්ධනය තුළ උපරිමයට ඇවිත් අවශ්‍ය ප්‍රතිසංස්කරණයන්ට සූදානම් නොවන්නේ නම් එය ඉතිහාසයේ කුණු මුල්ලට තල්ලු වන්නේ ය. සිංගර් ශීතකරණය හා අලියා බීම ඉතිහාසයේ කුණු මුල්ලට තල්ලු නොවූයේ සමාජ සංවර්ධනය තුළ අවශ්‍ය ප්‍රතිසංස්කරණයන්ට මුහුණ දීමට ඒ නිෂ්පාදනයන් සුදානම්ව සිටි බැවිනි.
එහෙත් රාවය එවැනි ප්‍රතිසංස්කරණයකට සූදානම් නොවීය. මහත් වචන හරඹයක් කර පෙන්ෂන් ගිය වික්ටර් අයිවන් බ්‍රෝඩ් ෂීට් හොදම පිටුවකට පල්හෑලි ලිව්වේ ය. සමහර කරුණු විසිතිස් වතාවකට වඩා ලියවුණු ඒවා බව ඔහු නොදන්නා මුත් කියවන පාඨකයෝ ඒවා දනිති. තමන් නිෂ්පාදනය කළ දේ අනුප්‍රාප්තිකයාට පවරා දී පාඩුවේ සිටින්නට “මේ මහා සියල්ල අත්හරින්නාට” නොහැකි විය. එවැනි තත්ත්වයක් තුළ රාවය කුණු මුල්ලට තල්ලුවීමත් ගෙදර අඹු සැමියන් දඹර කර ගැනීමත් පුදුමයක් නොවේ.
රාවයට තිබුනේ දැනුම පිළිබද ප්‍රශ්නයකි. 2011 දී පමණ ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන සමග අයිවන් පටලවා ගත් අවස්ථාවේ දී ආචාර්ය විජේසිරිවර්ධන එය මනා ලෙස පහදා දී තිබුණි. එහෙත් ඔහු පැවසූ පරිදි නූතන දැනුමකින් සන්නද්ධව සිටියේ අයිවන් පමණක් නොවේ. රාවයේ ලේඛකයෝ සියල්ලම නූතනවාදී දැනුමකින් පරිපූර්ණව සිටියෝ වූහ. නූතනවාදය ඉක්මව ගිය සමයක සමාජය විග්‍රහ කර ගැනීමට අවශ්‍ය දැනුමේ මෙවලම් ඔවුන් සතු නොවීය. එනිසා වික්ටර් අයිවන්ට ශාස්ත්‍රීය උගතුන් ත්‍රස්තවාදීන් ලෙස පෙනුනි. අනෙකුත් ගෝලයෝ ශාස්ත්‍රීය දැනුම තුට්ටුවකට මායිම් නොකළහ. ඒ නිසා රාවය මොනර නැටුම් පෑවෙ වසර තිහ හතලිහකට පෙර වූ දැනුම සමග ය.
රාවයේ අර්බූදය පැන නැගුනේ රාවයේ ගමන් මගට නෛසර්ගිකව බැදී තිබූ බුද්ධිමය හීනතාවය නිසා යැයි කිවහොත් එය නිවැරැදි විය යුතුය. සමාජයේ බුද්ධිමතුන් අතුරින් ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනයන් වැන්නකු එය හඩ නගා පෙන්වා දුන්නත් රාවයට හිතැති සෙසු සමාජ ක්‍රියාකාරීන් එය ප්‍රසිද්ධියේ පෙන්වා දෙනවා මා දැක නැත. රාවයේ ද්‍රවශීලීතාව පිළිබද අර්බූදයේ දී ඊට මැදහත්ව එය රැක ගැනීමට මහන්සි වූවෝ මේ බුද්ධිමය හීනතාව සම්බන්ධයෙන් සංවේදී නොවූහ. උවිදු කුරුකුලසූරිය, වික්ටන් අයිවන් සමග රාවයේ අරමුදල් සම්බන්ධව “දෙන්නම් බැටේ” දබරයකට ගියත් රාවයේ බුද්ධිමය හීනතාව කිසිවිට ප්‍රශ්න නොකළේය.
රාවය පුවත් පත මේ මොහොත වන විට එහි ඓතිහාසික අවසානයකට පැමිණ තිබේ. තවදුරටත් එම පුවත් පත සමාජ මතයන් නිෂ්පාදනයේ ලා ප්‍රබල දායකත්වයක් නොදරයි. එහි විඛණ්ඩනීය ක්‍රියාව වන්නේ රාවයෙන් නොබෝදා ඉවත් වූ පිරිස අලුත් පුවත්පතක් ආරම්භ කිරීමයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විකල්පව ශ්‍රී ලංකා පොදුජන පක්ෂය බිහිවූයේ ශ්‍රීලනිපයේ ආකෘතිමය හා ව්‍යුහාත්මක වෙනසක් පැතුවන්ගෙන් නොවේ. එහි තිබුනේ නායකත්ව ප්‍රශ්නයකට පිළිතුරකි. ජනරංජනලා ආරම්භ කරන්නට යන අලුත් පුවත්පත ආරම්භ කරන්නේ කතෘ පදවිය පිළිබද ප්‍රශ්නයක් නිසා යැයි කියන්නට තවමත් කල් වැඩිය. එහෙත් රාවයට එය බුද්ධිමය පිළිතුරක් නොවන තාක් එය ද රාවය සමගම ඉතිහාසයේ කුණු මුල්ලට තල්ලුවීම නොවැළැක්විය හැකිය.