25 September, 2020

Blog

නීතියේ තාක්ෂණික ගැටළු හා සුමන්තිරන්ගේ මතය

කේ.ජී පිලිප් ශාන්ත

කේ.ජී.පිලිප් ශාන්ත

ජනාධිපතිවරයා විසින් විසුරුවා හරින ලද පාර්ලිමේන්තුව සදහා නව මැතිවරණයක් පැවැත්වීමේ දිනය අප්‍රියෙල් 25 වැනි දිනට යෙදී තිබුණත් රටේ පවතින ව්‍යසනකාරී වාතාවරණය මත මැතිවරණ දිනය මාර්තු 19 වැනිදා කල් දැමුවේ ය. පසුගිය අප්‍රියෙල් 20 වැනි දා රැස්වූ මැතිවරණ කොමිසන් සභාව නව මැතිවරණ දිනය ලෙස ජුනි 20 වැනි දින ප්‍රකාශයට පත් කළේ ය. ඒ අනුව පාර්ලිමේන්තුව විසුරුවා හරිමින්  ජනාධිපතිවරයා විසින් නිකුත් කළ ප්‍රකාශය බල රහිත වන බවත් එනිසා පාර්ලිමේන්තුවට නැවත රැස්විය හැකි බවත් ව්‍යවස්ථා නීතිය පිළිබද විශාරදයකු වන නීතීඥ එම්.ඒ සුමන්තිරන් විසින් ප්‍රකාශ කිරීම දේශපාලන ලෝකය තිගැස්මට ලක් කර තිබේ. 

ඔහුගේ නීති තර්කයේ පදනම වන්නේ ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරින විට අලුත් පාර්ලිමේන්තුව රැස්වන දිනය ද ප්‍රකාශයට පත් කළ යුතු අතර එම දිනය විසුරුවා හැරි දිනයේ සිට මාස තුනක කාලයකට අඩු කාලයක දිනයක් විය යුතු බව එහි සදහන් වන කරුණයි. එහෙත් මැතිවරණ කොමිසන් සභාව විසින් මහා මැතිවරණ දිනය වශයෙන් ජුනි 20 වෙනි දින යොදා ගැනීමත් සමග අලුත් පාර්ලිමේන්තුව රැස්වීම පෙර සදහන් කළ මාස තුනක කාලය ඇතුලත සිදු නොවන නිසා ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ප්‍රකාශය තවදුරටත් වලංගු නොවන බව නීතීඥ සුමන්තිරන්ගේ මතයයි. එම මතය ඔහුට අනුව ගම්‍ය වන අදහසක් මිස ව්‍යවස්ථාවේ එක එල්ලේ සදහන් කර ඇති ප්‍රකාශයක් නිසා උත්පාදනය නොවන්නක් බව මෙහිදී විශේෂයෙන් සදහන් කළ යුතුය. 

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 70(5)(අ) ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට ලැබී ඇති බලය යටතේ පාර්ලිමේන්තුව විසුරුවා හැරි දින සිට මාස තුනක් ඇතුලත වූ දිනයක අලුත් පාර්ලිමේන්තුව රැස්විය යුතුය යන කොන්දේසිය විසුරුවා හරින ප්‍රකාශයේ අඩංගු විය යුතු බව සදහන් වන්නේ  70 වන ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීමේ දී ජනාධිපතිවරයා විසින් පිළිපැදිය යුතු සීමාවක් ලෙසිනි. එසේ නොමැතිවම ක්‍රියාත්මක වන පාර්ලිමේන්තුවක් රහිතව ජනාධිපතිවරයාගේ තනි පාලනයක් තුළ රජය ක්‍රියාත්මක විය යුතු කාලය උපරිම වශයෙන් මාස තුනක්ය යන්න එමගින් අවධාරණය නොවන්නේ ය. එසේම එසේ අවධාරණය වන කිසිම ව්‍යවස්ථාවක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ අඩංගු නොවන්නේ ය. 

එසේ වුවත් ක්‍රියාත්මක වන පාර්ලිමේන්තුවක් රහිතව ජනාධිපතිවරයාගේ තනි පාලනය යටතේ රාජ්‍ය පැවැතිය හැකි උපරිම කාලය මාස තුනක් ලෙස පැහැදිලිව සදහන් වූවා නම් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමේ ලා හා යහපාලනය සුරකීමේ ලා වඩා වැදගත් වන්නේ ය. එහෙත් දැනට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ නොමැති එහෙත් තිබීම නිවැරැදි යැයි උපකල්පනය කරන වගන්තියක් නිසා 1981 අංක 1 දරණ මහා මැතිවරණය පැවැත්වීම සදහා වූ පනතේ අංක 24(3) වගන්තිය කෙසේවත් සීමා සහිත විය යුතු නැත.

යම් හදිසි තත්ත්වයක් හෝ බලපොරුත්තු රහිත දෙයක් සිදුවීම හේතුකොටගෙන 1981 අංක 1 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 24(3) වගන්තිය සක්‍රිය වන අතර ඒ අනුව ප්‍රකාශයක් මගින් නව මැතිවරණ දිනයක් නිවේදනය කිරීමට මැතිවරණ කොමිසමට බලය ඇත. ඒ අනුව එම දිනය ප්‍රකාශය කරන්නා වූ දිනයට වඩා දින 14ක ඔබ්බෙන් වූ දිනයක් විය යුතු යැයි සදහන් වනවා මිස වෙනත් සීමා කිරීමක් එහි නොමැත. එසේම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 70(5)(අ) ව්‍යවස්ථාවට අනුකූලව එම නව දිනය ප්‍රකාශ කරන ලෙසට සදහනක් හෝ එහි නොමැත. 

එවැනි සීමා කිරීමක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ හෝ 1981 අංක 1 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ හෝ වෙනත් නීතියක හෝ සදහන් වූවා නම් යම් හදිසි තත්ත්වයක් හෝ බලාපොරුත්තු රහිත දෙයක් සිදුවීම හේතුකොටගෙන හෝ  පාර්ලිමේන්තු මැතිවරණය කල් දැමිය යුතු අවස්ථාවක මැතිවරණ කොමිසම බරපතල අර්බූදයකට තල්ලු වේ. එවිට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නිවේදනය ජනාධිපතිවරයා විසින් නිකුත් කළ දින සිට මාස තුනක වූ උපරිම කාලයකට මැතිවරණය කල් දැමීමේ බලය සීමාවන වන අතර පනතේ 24(3) වගන්තියෙන් අපේක්ෂිත අවශ්‍යතාව ඉෂ්ඨ කර ගැනීමට මැතිවරණ කොමිසමට නොහැකි වේ. ඒ අනුව පවත්නා ව්‍යසනකාරී තත්ත්වයක දී හෝ එවැන්නක දී හෝ මැතිවරණය අවශ්‍ය පරිදි කල් දැමිය නොහැකි අතර ජාතියේ හිතසුව පිණිස ක්‍රියා කිරීමට මැතිවරණ කොමිසමට නොහැකි වන්නේ ය. 

එසේම හදිසි තත්ත්වයක දී මැතිවරණය කල් දැමීම සදහා කොමිසම විසින් පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 24(3) වගන්තිය සුදුසු පරිදි ක්‍රියාත්මක කරන විට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 70(5) අ ව්‍යවස්ථාවේ සදහන් වන මාස තුනක කාලය ඉක්මවා යා හැකිය. එහෙත් එවිට නීතීඥ එම්.ඒ. සුමන්තිරන්ගේ මතය අනුව පාර්ලිමේන්තුව විසුරුවා හරින ලද ජනාධිපතිවරයාගේ ප්‍රකාශය අවංගුවේ යැයි යන මතය පිළිගත නොහැක්කකි. ඊට හේතුව විධායකයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට එකග නියෝගයක් බල රහිත කිරීමට මැතිවරණ කොමිසමට නොහැකි බැවිනි. නීත්‍යානුකූලව ලැබී ඇති බලය යටතේ යම් සංශෝධනයක් කළ හැකි වුවද විධායකයේ යම් නියෝගයක් මුළුමනින්ම අවලංගු කිරීමේ බලයක් මැතිවරණ කොමිසමට නොපවතී. 

මහා මැතිවරණය කල් දැමීම නිසා අලුත් පාර්ලිමේන්තුව රැස්වන දිනය පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ දිනයේ සිට මාස තුනක කාලයක් තුළ වූ දිනයක් නොවන නිසා  පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ මාර්තු 2 වන දිනැති ජනාධිපතිවරයාගේ ප්‍රකාශය යම්හෙයකින් බල රහිත වේ නම් එවැනි නීතිමය ව්‍යුත්පන්නයක් මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් රාජ්‍යයත් අර්බූදයකට තල්ලු කෙරේ. සාමාන්‍යයෙන් නීතිමය අර්ථ දැක්වීමක්, ව්‍යුත්පන්නයක් මගින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව හෝ නීතිය හෝ රාජ්‍යය හෝ අර්බූදයකට තල්ලු කරන්නක් නොවිය යුතුය. එමගින් විය යුත්තේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව හෝ නීතිය හෝ රාජ්‍යය හෝ අර්බූදයෙන් ගලවා ගැනීමකි. එහෙත් නීතීඥ සුමන්තරන්ගේ අදහස අනුව සිදුවිය හැකි නීතිමය ව්‍යුත්පන්නය මගින් ජනවරම ලත් ජනාධිපතිවරයා ද එමගින් රාජ්‍යය ද සමාජය ද අර්බූදයකට තල්ලු කරයි. 

මේ මොහොතේ සිදුවිය යුත්තේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ මාර්තු 2 වන දින නිකුත් කළ ජනාධිපතිවරයාගේ ප්‍රකාශය බල සහිත වෙමින්ම මැතිවරණ කොමිසම විසින් මහා මැතිවරණ දිනය කල් දැමීම ද සක්‍රියවීමයි. එහෙත් පරම හා අනුලංඝනීය නොවන කාරණාවක් වන මාස තුනකට වඩා සක්‍රිය පාර්ලිමේන්තුවක් රහිතව ජනාධිපතිවරයාට රට පාලනය කිරීමේ ඉඩප්‍රස්ථාව  අවශ්‍ය නම් අවලංගු කිරීමේ බලය ජනාධිපතිවරයාට පවතී. එනම් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 70(7) ව්‍යවස්ථාව අනුව විසුරුවා හැර ඇති පාර්ලිමේන්තුව හදිසි අවස්ථාවක දී ජනාධිපතිවරයාට යළි කැදවිය හැකිය.  එය කැදවීම හෝ නොකැදවීම හෝ ජනවරම ලද ජනාධිපතිවරයාගේ කැමැත්ත විය යුතුය. ඒ කැමැත්ත ක්‍රියාත්මක වන ආකාරය අනුව රාජ්‍යය කරවීමේ ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදී නැඹුරුව ගැන තක්සේරුවක් ලබා ගත හැකිය. එහෙත් 1981 පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 24(3) වගන්තිය ක්‍රියාත්මක වන මොහොතක ජනාධිපතිවරයා විසින් අනිවාර්යෙන්ම විසුරුවා හැර ඇති පාර්ලිමේන්තුව කැදවා හදිසි තත්ත්වය සම්බන්ධයෙන් මහජන නියෝජිතයන්ගේ අදහස හා උපදෙස් ගත යුතු බව එම නීතියේම සදහන් වූවා නම් වඩා නිවැරැදි ය. 

එහෙත් එවැන්නක් තත්කාලීන නීතියේ සදහන් නොවන මොහොතක පාර්ලිමේන්තුව ස්ව කැමැත්තෙන්ම රැස්වීමට ඊට බලය නොලැබිය යුතුය.  යම් හෙයකින් පාර්ලිමේන්තුවේ කතානායකවරයාගේ අභිමතය අනුව හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරයකගේ ඉල්ලීම මත හෝ පාර්ලිමේන්තුව යළි රැස්වුවහොත් එය රාජ්‍යය අර්බූදයකට තල්ලු කරන්නේ ය. වඩා අලුත් ජනවරමක් ලබා ඇති ජනාධිපතිවරයා හා විපක්ෂයට බලය ඇති පාර්ලිමේන්තුව එකිනෙකට පරස්පර ගමනක යෙදීම මෙවැනි හදිසි හා අර්බූදකාරී අවස්ථාවක බරපතල ප්‍රශ්න ඇති කරන්නකි. එහෙත් ප්‍රජාතන්ත්‍රවාදයේ වැඩි ශක්තිමත්භාවය සහතික කරනු පිණිස සමාජයට කළ හැකි එකම දේ පාර්ලිමේන්තුව රැස් කරවන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම පමණි. ආණ්ඩු පක්ෂය හා විපක්ෂය හදිසි තත්ත්වයට මුහුණදීම පිණිස සම්මුතික සූදානමක සිටී නම් ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව කැදවා අවශ්‍ය සහාය ලබා ගත හැකිය.

ඒකාබද්ධ අරමුදලෙන් මුදල් වියදම් කිරීම සදහා මූල්‍ය බලය ඇත්තේ පාර්ලිමේන්තුවට ය. 2020 වසර සදහා මුදල් වියදම් කිරීමට අතුරු සම්මත ගිණුමකින් බලය ලැබුනේ අප්‍රියෙල් 30 වනදා තෙක් පමණ ය. එහෙත් පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති මොහොතක හා හදිසි අවස්ථාවක දී රජයේ වියදම් සදහා මුදල් වෙන් කර ගැනීමට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 150(3) ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට සීමිත බලයක් ලැබී ඇත. මැතිවරණ කොමිසම විසින් පාර්ලිමේන්තු මැතිවරණ දිනය ලෙස ජුනි 20 වැනි දින ප්‍රකාශයට පත් කළත්  අලුත් පාර්ලිමේන්තුව රැස්වන දිනය එහි සදහන් කර නොමැති නිසා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 150(3) ව්‍යවස්ථාවට අනුව අප්‍රියෙල් 30න් පසුව රජයේ වියදම් සදහා මුදල් වෙන් කර ගැනීමේ ක්‍රියාව අපැහැදිලි ය. එහෙත් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමකින් එය ජනාධිපතිවරයාට පැහැදිලි කර ගත හැකිය.

මේ ලියන මොහොත වන විට කතානායක කරු ජයසූරිය ටුවිටර් පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ රජය අර්බූදයකට යන අන්දමින් පාර්ලිමේන්තුව යළි රැස් කරවා ගැනීමට තමා මැදිහත් නොවන බවයි. කරු ජයසූරියගේ එම ප්‍රකාශය අගය කළ යුතු රාජ්‍යතාන්ත්‍රික ප්‍රකාශයකි. නීතීඥ එම්.ඒ. සුමන්තිරන් ව්‍යස්ථා නීතියට අදාළ ප්‍රවීනයකු වුවද ඔහුගේ අදහස නීතිමය මතයක් පමණි. ඒ මත රැදෙමින් පාර්ලිමේන්තුව යළි රැස් කරවීමට කතානායකවරයකු මූලික නොවිය යුතු ය. 

නීතීඥ එම්.ඒ. සුමන්තිරන් පසුගිය දා පවසා තිබුණේ තමාගේ නීති තර්කය අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනු කර පාර්ලිමේන්තුව යළි කැද්වීමට නියෝගයක් ගන්නා බව ය. එහෙත් ශ්‍රේෂ්ඨාධිකරණය නීතිමය අර්ථ දැක්වීම් හා ව්‍යවස්ථාමය අර්ථ නිරූපනයන් කරන්නේ නීතිය අර්බූදයකට තල්ලු කරන්න නොවේ. ඔහුගේ මතය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පිළිගතහොත් ව්‍යවස්ථාවත්, රාජ්‍යයත්, සමාජයත් අර්බූදයකට තල්ලු වේ. එනිසා මේ මොහොතේ කළ යුත්තේ එවැනි ව්‍යසනකාරී ක්‍රියාවන්හි නිරතවීම නොව ආණ්ඩු පක්ෂයත් විපක්ෂයත් සත්භාවයෙන් යුතුව ක්‍රියාකර සම්මුතිකව කටයුතු කිරීමට එකගතාවකට ඒමයි.  ඒ අනුව ජනාධිපතිවරයා විසින් කැදවන පාර්ලිමේන්තුවේ සහාය ගෙන පවත්නා අර්බූදයෙන් ගැලවෙන්නට මං සෙවීමයි.  එවැනි ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාවකට ජනාධිපතිවරයා සූදානම් නොවන්නේ නම් එය ආණ්ඩුවේ ඒකාධිපති ස්වභාවය බව සමාජය විසින් තීන්දු තීරණ ගෙන ඒ අනුව දේශපාලනය කළ යුතුය. 

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.