14 December, 2017

Blog

ශිෂ්‍ය අරගල ගැන වෙනස් කියවීමක්

කේ.ජී.පිලිප් ශාන්ත

කේ.ජී.පිලිප් ශාන්ත

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය නායකත්වය දුන් ශිෂ්‍ය විරෝධතාවක දී පවතින නීතිය උල්ලංඝනය කිරීම මත ශිෂ්‍ය නායකයන් තිදෙනකු අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබේ. එම ශිෂ්‍ය උද්ඝෝෂණයට ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇතුළු වාමාංශික දේශපාලන කණ්ඩායම් කිහිපයක් ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද සහාය දැක්වූහ. සහායදෙන කණ්ඩායම් වල අරමුණ කවරාකාරයේ වුවද මේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් දේශපාලන අරගල කරන්නේ අවංකවම බව නම් ස්ථිර ය. එහෙත් ඒ අවංකකම ඉක්මවා ඔවුන්ගේ දේශපාලනයේ ගර්භිතකම ඉස්මතුවීම නිසා මේ අරගලකරුවන්ට සාධාරණය ඉෂ්ඨ වන්නේ නැත.

මේ ශිෂ්‍යයන් අරගල කරන්නේ නිදහස් අධ්‍යාපන ක්‍රමයත් නිදහස් සෞඛ්‍යය ක්‍රමයත් ආරක්ෂා කර ගන්නට ය. ඒ අරගලයේ පදනම සමාජවාදී දේශපාලනය වුවත් ඔවුන්ගේ අරගලයට පාදක වන සංකල්පයන් දෙකම සමාජවාදීන් විසින් නොව ධනපතියන් විසින් මෙරටේ ස්ථාපිත කළ සමාජ සුභසාධනවාදී සංකල්පයන් දෙකකි. ඉතිහාසයේ එක් නිශ්චිත මොහොතක ධනේශ්වර සමාජ ක්‍රමයේ පැවැත්මට අභියෝගයක් එල්ල වූ මොහොතක මේ දේශපාලන සංකල්පයන් දෙකම ප්‍රායෝගිකව ක්‍රියාත්මකවීම ආරම්භ වුණි. එය ධනේශ්වරයේ කේන්සියානු ක්‍රමයේ අග්‍ර ඵලයකි.

ශිෂ්‍යයන්  වැරදි දෘෂ්ටියක

මේ කේන්සියානුවාදී දේශපාලන සංකල්පයන් දෙකම මේ වනවිට පැවැත්ම පිළිබද අර්බූදයකට මුහුණ දී ඇතැයි කීවොත් එය වඩා නිවැරැදි ය. මේ යුගය තුළ ධනේශ්වර ක්‍රමය කේන්සියානුවාදයෙන් දුරස්ව පවතී. එසේම සමාජ සුභසාධනවාදය තවදුරටත් වලංගු වුවත් එහි උපාය උපක්‍රම වෙනස් වී ඇත. ධනේශ්වරයේ ආර්ථික වෘද්ධියත් සමග විශාල මැද පන්තියක් බිහිවූ අතර මේ මැද පන්තිය විසින් සමාජ ක්‍රමයේ ගතිකය විශාල ලෙස වෙනස් කරන ලදි. එසේම සමාජ සංස්කෘතික හැසිරීම් ද වෙනස් වූයේ ව්‍යුහාත්මකව ය. මේ නිසා සමස්තයක් ලෙස භාණ්ඩ හා සේවා මිල දී ගැනීමේ ආකාරය වෙනස් විය.

ඒ නිසා තවදුරටත් නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍යය සේවය මගින් ප්‍රතිලාභ ලබන්නේ සමාජයේ ආන්තික තීරුව පමණක් නොවන අතර එනිසා විශාල ලෙස රාජ්‍ය ධනය විනාශවීමක් සිදුවෙන්නට පටන් ගත්තේ ය. මිල දී ගැනීමේ හැකියාව ඇති පිරිස් වලට පවා මහජන මුදලින් එම සේවා හා භාණ්ඩ නොමිලයේ ලැබුණ අතර ඇත්තටම එම සේවාවන් නොමිලයේ ලැබිය යුතු ආන්තික සමාජ තීරුවට ප්‍රමාණවත් ලෙස ඒවා නොලැබීමෙන් අසාධාරණයක් වුණි. එනිසා ධනේශ්වර පාලන ක්‍රමය තුළ සමාජ සුභසාධන ව්‍යාපෘතියේ ව්‍යුහාත්මක වෙනස්වීමක් තාර්කිකව අවශ්‍ය වුණි. නමුත් ඒ වෙනස්වීම නිවැරැදිව කියවා ගැනීමට සමාජයට නොහැකි වුණි.

එක්තරා යුගයක ධනේශ්වර සමාජ ක්‍රමයේ ස්ථාවරභාවය වෙනුවෙන් හදුන්වාදුන් සමාජ සුභසාධනවාදී උපාය උපක්‍රමයන්ගේ වටිනාකම එම ක්‍රමයේම නොනවතින ගතිකය නිසා අවලංගු වී තිබේ. එමගින් අදහස් කරන්නේ ඒ සමාජ සුභසාධනවාදී සංකල්පය මුළුමනින්ම අවලංගු වී ඇතැයි යන්න හෝ එනිසා අහෝසි කළ යුතු යැයි යන්න නොවේ. තවදුරටත් සමාජ සුභසාධනවාදී සංකල්පයන් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ යුතුය. එනම් සමාජ සුභසාධනයන් ඉල්ලා සිටින අවකාශයක් සමාජයේ පවතී. නමුත් ඒවා ක්‍රියාත්මක කරන ව්‍යුහය අනිවාර්යෙන් ප්‍රතිසංස්කරණයකට ලක් කළ යුතු ය. ඒ ප්‍රතිසංස්කරණයන් මොනවාදැයි කියවා ගැනීම සමාජයට ගැටළුවක් වී තිබේ.

සමාජ අරගලය වෙනඑකක්

1978න් පසුව ශ්‍රී ලංකාවට ප්‍රාග්ධනය ගලා ආ අතර ඒ නිසා සමාජ ව්‍යුහයන් වෙනස් වෙමින් සමාජය අලුතින් ප්‍රති නිර්මාණය වුණි. මේ අලුත් සමාජයට අවශ්‍ය වන්නේ අලුත් සමාජ සුභසාධන අඩංගු ආර්ථික ප්‍රතිසංස්කරණයන් ය. නමුත් ශිෂ්‍ය දේශපාලනය විසින් අවලංගු වෙමින් පවතින නිදහස් අධ්‍යාපන ක්‍රමයත් නිදහස් සෞඛ්‍යය ක්‍රමයත් වෙනුවෙන් පෙනී සිටී. ඉතිහාසයේ පැරණි දේ ඉවත් වෙමින් අලුත් දේ ස්ථාපිතවීම සමාජ ප්‍රගමනයේ දී අනිවාර්යෙන් සිදු වේ. පෙරටුගාමී දේශපාලන ව්‍යාපාරයක් කළ යුත්තේ ඉවත්වන පැරණි දේට ඉවත්වන්නට ඉඩ දී ස්ථාපිත වෙන අලුත් දේට ස්ථාපිත වන්නට සහාය දීමයි. එහෙත් වත්මන් ශිෂ්‍ය ව්‍යාපාරය විසින් මහන්සි වී කටයුතු කරන්නේ ඉතිහාසයේ අවලංගු වී ඉවත්වෙමින් පවතින දෑ බලය යොදවා නතර කිරීමටයි. ඒ අර්ථයෙන් ශිෂ්‍ය දේශපාලනය අරගල කරන්නේත් සටන් වදින්නේත් අලුත් දේ වෙනුවෙන් නොව පැරණි දේ වෙනුවෙනි. එනිසා එය ශිෂ්‍ය දේශපාලනයේ දෘෂ්ඨිමය වරදක් ලෙස හැදින්විය හැකිය.

ධනේශ්වර සංවර්ධනය පිමි ගණනින් වර්ධනය වන්නේ කේන්ද්‍රයේ රටවල ය. පරිධියේ රටවල ඒ හැටි තරම් සංවර්ධනයක් සිදු නොවුනත් ප්‍රාග්ධන ගලා ඒමේ ක්‍රියාන්විතයේ ප්‍රතිඵලයක් ලෙස සාපේක්ෂ වර්ධනයක් ඇති නොවෙනවාම නොවේ. එනිසා මිල දී ගැනීමේ හැකියාවට සාපේක්ෂව සමාජ සුභසාධන ක්‍රමයන් නැවත ස්ථාපිත කිරීම අනිවාර්ය අවශ්‍යතාවකි. ධනේශ්වර සංවර්ධනයේ අතුරු ඵලයක් ලෙස ආන්තීකරණයට ලක්වන සමාජ තීරුවේ ශක්තිමත් පැවැත්ම සදහා තවදුරටත් සමාජ සුභසාධන  ක්‍රමයන් අවශ්‍ය ය. එහෙත් ඒ මගින් මැද පන්තිය සතුටු කිරීම අවශ්‍ය දෙයක් නොවේ. මැද පන්තියට පවතින මිල දී ගැනීමේ හැකියාව මත යහපත් භාණ්ඩ හා සේවා මිල දී ගැනීමේ මධ්‍යස්ථානත් ආන්තික සමාජ තීරුවට රජයේ අනිවාර්ය මැදිහත්වීම මත සමාජය විසින් පිරිවැය දරන්නා වූ අධ්‍යාපන හා සෞඛ්‍යය සේවාවකුත් ඇති කළ යුතුය. එය පවතින රාමුවෙන් ඔබ්බට ගොස් නිර්මාණය කළ යුතු අලුත් ව්‍යුහයකි.

නමුත් මෙකී විකල්ප දේශපාලන අවකාශය පිරවීමට නම් සමාජයට අලුත් කියවීමක් අවශ්‍ය වේ. ඒ අලුත් කියවීම තුළ නිර්මාණය වන නව දැනුම් පද්ධතිය මගින් මෙම දේශපාලන අවකාශය පුරවා ගැනීම සදහා දේශපාලනික සබුද්ධිකයන්ගේ ශක්තිමත් මැදිහත්වීම අනිවාර්යෙන් අවශ්‍ය වේ. ශිෂ්‍ය දේශපාලන ක්‍රියාකාරීන් මේ මොහොතේ කළ යුත්තේ ඒ කියවීම නිර්මාණය කර ගැනීමයි. එහෙත් ඔවුහු තම ජවය, ශක්තිය හා බලය ඒ සදහා වැය නොකරති.

දේශපාලන හිඩැසක්

ශ්‍රී ලංකාවේ ධනපති දේශපාලන ක්‍රමය තුළ පවතින ලොකුම අඩුපාඩුව වන්නේ නිර් ධනේශ්වරකරණය සදහා ශක්තිමත් දැක්මක් සහිත දේශපාලන ව්‍යාපාරයක් නොවීමයි. වමේ කියා ගන්නා වූ බොහොමයක් දේශපාලන ව්‍යාපාරයන් කරන්නේ ධනපති දේශපාලනයකි. ඒවා දෘෂ්ඨිමය වශයෙන් එක්කෝ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී වේ. එහෙමත් නැත්නම් විකල්ප ධනපති පක්ෂ වේ. ලංකාවේ වමේ පක්ෂ සියල්ලේ ෆැන්ටසිමය අභිලාශය වන්නේ 1970 -77 සමගි පෙරමුණු ආණ්ඩුවේ  ආර්ථික සමාජ ක්‍රමය ස්ථාවර කර ගැනීමයි. සමගි පෙරමුණු ආණ්ඩුව කළේ වාම හැඩරුවකින් යුතු රාජ්‍ය කේන්ද්‍රගත සුභසාධනවාදය ශක්තිමත් කිරීමයි. ලංකාවේ වම ව්‍යුහාත්මකව දකුණෙන් වෙනස් නොවී උපක්‍රමිකව පමණක් දකුණෙන් වෙනස් වෙමින් එතැනම රැදී සිටී.

නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍යය සේවය ආරක්ෂා කර ගැනීමේ  ශිෂ්‍ය අරගලයන් වල දී ඔවුන්ගේ මූලික පදනම වන්නේ ආණ්ඩුවට දේශපාලනික බලපෑමක් කර ඉල්ලීම් දිනා ගැනීමයි. ආණ්ඩුවට දේශපාලනික බලපෑමක් කිරීම මූලික කරුණක් වුවද ඒ බලපෑම කරන ආකාරය මේ වනවිට වෙනස් වී ඇති නිසා එය ද විවාදාත්මක ය. ප්‍රාග්ධනය ලංකාවට ගලා එන්නට කලින් ජාතික රාජ්‍යයේ ආණ්ඩුවට එසේ යම් බලපෑමක් කර ඉල්ලීම් දිනා ගැනීම වලංගුව තිබුණි. 1978 වනතෙක් විපක්ෂය දේශපාලන ජයග්‍රහයන් ලබා ගත්තේ එලෙසිනි. නමුත් 1978න් පසුව ගෝලීය ප්‍රාග්ධනය ලංකාවට ගලා එන්නට පටන් ගැබුණි. එවිට රාජ්‍යයේ ආකෘතිය ද වෙනස් කරගෙන තිබුණි. ඒ අනුව ආණ්ඩුවට බලපෑමක් කර දේශපාලන අරමුණු ජයග්‍රහණය කර ගැනීම උගහට ය. එසේ වන්නේ ආණ්ඩුව ශක්තිමත් කර ගැනීමට විධායක ජනාධිපති ක්‍රමයක් ස්ථාපිත කර ඇති නිසා ය.

අලුත් උපක්‍රම වලට යා යුතු වීම හා ප්‍රති හෙජමොනික ක්‍රම

දැන් පරණ අර්ථයෙන් ආණ්ඩු මට්ටු කිරීම අවලංගු වූ සංකල්පයකි. ආණ්ඩුව ආරක්ෂා කර ගැනීම සදහා ඉහළින්ම පවතින විධායක ජනාධිපති ක්‍රමය සබදතා පවත්වන්නේ මහ ජනතාව සමග නොවේ. ආණ්ඩුව හා මහ ජනතාව අතර එතෙක් තිබූ සබදතා බිද දමා ඒ අවකාශය තුළට ප්‍රාග්ධනය පැමිණ තිබේ. ප්‍රාග්ධනයේ නියෝජිතයන් ලෙස විධායක ජනාධිපති ධූරය හා ගනුදෙනු කරන්නේ බහුජාතික සමාගම් හා ප්‍රාග්ධන අයිතිකරුවන් ය. එනිසා මහජනතාවගේ බලපෑමට ආණ්ඩුව නොනැමේ.

පොදු ජනතාවගේ බලපැමට නොනැමෙන ආණ්ඩුවක් මට්ටු කරන්නට සම්ප්‍රදායි අරගල ක්‍රමයන් කෙරෙහි රදා පැවතීම පෙරලා හානි කරන්නේ මහ ජනතාවටම ය. විවිධ හේතූන් මත වැඩවර්ජනය කරන සෞඛ්‍යය ක්ෂේත්‍රය තුළ අරගල වලින් වඩාත්ම පීඩාවට පත් වන්නේ සමාජය ය. ඒ වැඩ වර්ජනයන් ආණ්ඩුවට පීඩා ඇති නොකරන අතර ශාරීරික පීඩාවක් නිසා සමාජයට බරපතල ලෙස හානිකරයි. සෞඛ්‍යය ක්ෂේත්‍රයේ වැඩවර්ජනයක දී සමාජයට සිදුවන පීඩාව ගැන තමන්ට වගකිව නොහැකි යැයි ද ඒ වගකීම ආණ්ඩුව විසින් භාර ගත යුතු යැයි  වගකිව යුතු දේශපාලන ව්‍යාපාරයකට කිව නොහැක. මේ යුගය තුළ බලයට පත්වූ ආණ්ඩු සංවේදී වන්නේ මහජන බලයට නොව ප්‍රාග්ධනයට ය. එය දැන දැනත් මහ ජනයාගේ බෙල්ලට පිහිය තබා ඉල්ලීම් දිනා ගැනීමට අරගල කිරීම දේශපලාන ව්‍යාපාරයන්ගේ නොමේරුම්කමකි.

1978 න් පසුව ආණ්ඩු විරෝධී දේශපාලනයට ඇති ලොකුම ගැටළුව වන්නේ ආණ්ඩුවට සංවේදී වන දේශපාලන විරෝධයක් ගොනු කර ගන්නා අන්දම කියවා ගත නොහැකිවීමයි. තාමත් කරන්නේ පැරණි අර්ථයෙන් ආණ්ඩු මට්ටු කරන්නට යෑමත් එනිසා සමාජය අඩත්තේට්ටම් වලට ලක් කිරීමත් ය. ආණ්ඩු මට්ටු කිරීමේ අලුත් උපාය උපක්‍රමයන් සොයා ගැනීම පහසුවෙන් කළ නොහැක. ඒ සදහා නොනවතින අධ්‍යයනය අවශ්‍ය වේ. 1978 න් පසුව කිසිම ආණ්ඩුවක් පරාජය කළේ මහජන විරෝධයකින් පමණක් නොවේ. ඒ සදහා එක්කෝ ආණ්ඩුවේ අභ්‍යන්තර පිපිරීමක සහාය අවශ්‍ය විය. නැතිනම් ආණ්ඩුව වෙනස් කිරීමේ ජාත්‍යන්තර අවශ්‍යතාවක් ඇතිවී එමගින් ආණ්ඩුව පිරිහී තිබිය යුතුය. ඒ හැරෙන්නට සාමාන්‍ය මහජන විරෝධයකින් ආණ්ඩු මාරුවී නොමැත. ආණ්ඩු එසේ මාරු වන්නේ ද නොවේ. පවතින හෙජමොනික දේශපාලනය පරාජය කිරීමට ප්‍රති හෙජමොනික දේශපාලනයක් අවශ්‍ය අතර ඒ සදහා දීර්ඝ කාලීන වැඩපිළිවෙලක් නිර්මාණය කරගත යුතුය.

ජෙනින්ස් අනුව යමින් ශිෂයන්ට නිදහස

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ප්‍රථම උප කුලපති සර් අයිවර් ජෙනින්ස් එකල ශිෂ්‍ය කැරලිකරුවන් දෙස ත්‍රස්තවාදීන් දෙස බලන කෝණයෙන් නොවේ. තම දරුවන් වරදක් කර ඇතිවිට ඊට තමනුත් දෙමව්පියන් වශයෙන් වැරැදිකරුවන් බව ජෙනින්ස් කල්පනා කළේය. ඒ අනුව ජෙනින්ස් තීන්දු තීරණ ගත් අතර වරදකරුවන්ට දඩුවම් දුන්නේ දෙමව්පියන් තම දරුවන් වැරැදි කළ විට දඩුවම් දෙන සෙනෙහෙබර ආකල්පයෙනි. මේ මොහොත තුළ විශ්ව විද්‍යාලයේ තරුණ තරුණියන් දේශපාලන වශයෙන් වැරදි දෘෂ්ඨිමය රාමුවක හිදිමින් වැරදි දේශපාලනයක් කර තිබේ. එහෙත් ඔවුන් අපේ දරුවන් හා සහෝදර සහෝදරියන් ලෙස සලකමින් ඔහුන්ව දෘෂ්ඨිමය දේශපාලන වරදින් මුදවා ගනිමින් නිවැරැදි දේශපාලන ගමනක් ආරම්භ කිරීම සමාජයේ වගකීමයි.

ඒ සදහා අලුත් සබුද්ධික දේශපාලන ව්‍යාපාරයක් ගොඩනගා ගත හැකිනම් මේ යුගය තුළ ලොකුම ජයග්‍රහණය එය වනු නො අනුමානය.

Shan.info1978@gmail.com

Print Friendly, PDF & Email

Latest comment

  • 0
    0

    Great discription. But free education and free health should secured in this country .

Leave A Comment

Comments should not exceed 300 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically shut off on articles after 10 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.