26 April, 2024

Blog

මුක්තිය හා විමුක්තිය උදෙසා නිතිය සංශෝධනය කිරීම

සෝමපාල ගුණධිර

සෝමපාල ගුණධීර

බන්ධනාගාර සංවර්ධන ක්‍රියාකාරීන් කණ්ඩායමක වාර්ෂික හමුවක දී, තමන් මත පණවන ලද දඩ ගෙවා ගැනීමට නො හැකි වීම නිසා, බන්ධනාගාරවල රැඳී සිටින, හිරකරුවන් නිසා, ඒවායේ පවතින තදබදය ගැන ජනාධිපතිවරයා මහජනයාගේ අවධානය යොමු කොට ඇත. ඒ ප්‍රශ්නය විසඳීම සඳහා උපදේසක කමිටුවක් පත් කිරීමට යෝජනා කර ඇත. එබඳු කමිටුවල පලදායිකත්වය ගැන මා තුළ වැඩි විශ්වාසයක් නැතත්, පහත සඳහන් නීති සංශෝධන ඒ කමිටුවට ඉදිරිපත් කරන්නට කැමැත්තෙමි:-

  1. එබඳු සිරකරුවන් සඳහා සුදුසු තැන්වල, උපරිම ආරක්‍ෂාව හා වෘතියමය උපදේශකත්වය යටතේ ගොවිපලවල් හෝ කර්මාන්ත පුර පිහිටු විය යුතු ය,
  2. දඩ ගෙවා ගැනීමට නො හැකිව, සිරගෙවල කොටු වී සිටින සියලු ම සිරකරුවන්ව සුදුසු පරිදි ඒවාට යැවිය යුතු ය.
  3. ඒ සිරකරුවන්ට සාමාන්‍ය දෛනික වැටුපක් ගෙවා එයින් නවාතැන් හා භෝජන ගාස්තු කපා ගත යුතු ය.
  4. තමන්ගේ දඩමුදල ගෙවීමට සැහෙන මුදලක් උපයා ගත් වහාම දඩය අය කර ගෙන, ඔවුන් මුදා හැරිය යුතු ය.

මෙසේ කිරීමෙන් ඔවුන්ට මහජන වියදම් හා අනුකම්පාව මගහැර, නම්බු පිටින් නිදහස් වී යාමට ඉඩ ලැබේ. ඒ අනුව ඔවුන්ට හිරේ සිටියදී මහජන මුදලින් යැපෙන්නට හෝ නිදහස් වී යාම සඳහා බලවතුන්ට පිංසෙන්ඩු වන්නට අවශ්‍ය නො වේ. ඔවුන් තමන්ගේ  නිදහස ආත්ම ගෞරවය නො කෙලෙසා ලබා ගෙන, අනුමාන අනුකම්පාවක් නො පතා හිරෙන් මිදී, යනු ඇත.

රථවාහන දඩ

මට දැනගන්නට ලැබී ඇති අන්දමට, තමන්ට පණවන ලද දඩ ගෙවා ගන්නට බැරුව, දඟගෙහි හිරවී සිටින්නන් වැඩි දෙනෙකු වරද කරුවන් වී ඇත්තේ රථවාහන වැරදිවලට ය. ඔවුන් බේරා ගැනීම සඳහා මට සිතාගත හැකි තවත් මගක් එය ක්‍රියාත්මක කිරීමේ අපහසුව නො තකා, ගැලපෙන පරිදි ක්‍රියාත්මක කරන්නට මෙසේ ගෙන හැර දක්වමි:-

  1. රියදුරු බලපත්‍රයක් ලබා ගැනීම හෝ තබා ගැනීම සඳහා මින් මතු සුළු මුදලක් ගෙවා දඩ ආවරක ඉන්සුවරන්ස් ආවරණයක් ලබා ගත යුතු ය.
  2. යම් අවස්ථාවක, දඩයක් ගෙවන්නට සිදු වුව හොත්, එය රක්ෂණ සමාගමෙන් ගෙවා, ඉන්සුවරන්ස් ආවරණය අවලංගු කරනු ලැබේ. අවලංගු කරන්නේ රිය පැදවීම සුදුවක් කරගැනීම වලක්වන්නට ය.
  3. අත්හිට වූ, ආවරණය ලබා ගැනීම සඳහා, කළ වරදටත් අතීත වාර්තාවටත් අනුරූපව වැඩි මුදලක් ගෙවිය යුතු ය.
  4. ක්‍රමයෙන් වැඩිවන පදනමක් යටතේ රක්ෂණය අලුත් කරන්නේ සිව්වරක් පමණි,
  5. ඉන් පසු රක්ෂණය අලුත් කරනු නො ලැබේ. ඒ වන විට තමාගේ හැසිරීමෙන් රිය පදවන්නට නුසුදුසු බව ඔප්පු කර ඇති බැවිනි.

කුඩුකාරයෝ හා මිනීමරුවෝ

සිරගෙවල තපින අයගෙන් සියයට හතළිස් හතකකට වැඩි ගණනක් මත්ද්‍රව්‍ය හා සම්බන්ධ වරදකරුවන් බව ජනාධිපතිතුමා පෙන්වා දී තිබේ. මා දන්නා පරිදි, මත්ද්‍රව්‍යවලට වරදකරුවන් වූ අය සාමාන්‍යයෙන් ජීවිතාන්තය දක්වා සිරගෙට යවනු ලැබේ. මරණ දඬුවම අභව්‍ය විහිළුවක් වී ඇති බැවින් මත්ද්‍රව්‍යවලට වරදකරුවන්වුවන් ද ලගින්නේ ඒ දඬුවම ලැබුවන් සමග ය. මේ දෙගොල්ල දිගු කලක් එකට ජිවත් වීමෙන් අන්‍යයන් ද මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි විය හැකි බැවින් දෙගොල්ලන් වෙන්කර තැබීම අවශ්‍ය ය. ඒ සඳහා දෙගොල්ලන් වෙන වෙන කඳුවුරුවල රඳවා තමතමන්ගේ ලැගුම් ගාස්තු හා ජිවන වියදම උපයා ගැනීමට සැලැස්වීම කදිම පිලියමක් වනු ඇත. අපගේ පාලකයන් අනුකම්පාව ලබා, කෙදිනක හෝ මේ දෙගොල්ලන් අප අතරට එන්නට ඉඩ තිබේ. ඒ හේතුව නිසා ඒ දෙපාර්ෂව ම පුනරුත්ථාපනය කිරීම මුළු සමාජයට ම වැදගත් වනු ඇත.

සම්මුතිකරණය

රජයට මුහුණ දෙන්නට සිදු වී ඇති තව උභතෝකෝටික ප්‍රශ්නයක් වන්නේ බහු වාර්ගිකයන් හා සුළු ජාතින් අතර සමගිය ඇති කර, අලුත් ව්‍යවස්ථාවක් බිහි කිරීම යි. බහුවාර්ගිගික ඇතැමුන් සම්මුතිකරණ ක්‍රියාවලිය නිසා තම වර්ගයා නැතිභංග වේ යයි සිතා එබඳු ‘සිරිසඟබෝ පිළිවෙතක්’ වැළැක්වීමට තමන්ගේත් අන්‍යයන්ගේත් දිවි පිදීමට සැරසෙති. සුළු ජාතීන්ට අයිතිවාසිකම් දෙන්ට දෙන්ට තව තවත් කේවෙල් කොට අවසානයේ දී ඔවුන් බහු ජාතිය බවට පත්වනු ඇතැයි ඔවුහු සැක කරති.

ඒ අතර බොරු පොරොන්දු දී චාටු කොට තමන් රවටන්නට බහු ජාතිය සැරසෙතැයි සුළු ජාතිකයෝ සැක කරති. දෙන පොරොන්දු කෙරෙහි විශ්වාසයක් තැබීම සඳහා ඔවුන්ට ප්‍රත්‍යක්ෂ සාක්ෂි අවශ්‍ය ය. අතීතයේදීත් ඔවුන් රැවටී ඇත. මේ අන්නෝන්‍ය අවිශ්වාසය දෙපාර්ශවය තුළ අඩ සියවසක් පැවතී ඇත. මෙහි දී දෙපසින් ම  අවශ්‍ය ව ඇත්තේ සාධාරණ කැප කිරීම් ය. දෙපසම හැකි පමණ ගෙන, හැකි පමණ දිය යුතු ය. ඒ ප්‍රතිපත්තිය අලුත් ව්‍යවශ්ථාවක් පැණවීමේ දී අනුගමනය කරමු.

බහු වාර්ගික පක්ෂයේ ක්‍රියාකාරීහු ව්‍යවස්ථාව සංශෝධනය කර යමක් ලබා ගන්නට බලාපොරොත්තු නො වෙති. පවතින අන්දමින් ම එය පවත්වා ගැන යා හැකි නම් ඔවුහු කැමති වෙති. බලපවත්නා ව්‍යවස්ථාවෙන් තමන්ට ලැබී ඇති, වරප්‍රසාද වෙනස් නොවන්නේ නම්, අලුත් ව්‍යවස්ථාවෙන් අන්‍යයන්ට ලැබෙන සමාන අවස්ථා ගැන ඔවුහු නො සැලෙති. ඔවුන්ට අවශ්‍ය වන්නේ සමයන් අතර මුදුණන් වන්නට ය. තමන්ට ලැබෙන සමතා පොරොන්දු ස්ථිර නම්, අද ලැබී, හෙට වෙනස් නො වන්නේ නම්, ඒ පදනමට සුළු ජාතිකයන් විරුද්ධ නොවනු ඇත. සම භාෂා අයිතිය වැනි අයිතිවාසිකම් ව්‍යවස්ථාව තුළ තහවුරු වන්නේ නම්, ඒවා උල්ලංඝනය කිරීමට එරෙහි ව තද තහංචි පැන වෙන්නේ නම් ඔවුන් ඊට එකඟ වනු ඇත.

ඒ පදනම නව ව්‍යවස්ථාව මගින් තහවුරු කළ හැකි නම්, ඉන් මතු සුළු ජාතින් මස් රාත්තල ම ඉල්ලා ඇඬීම අදුරදර්ශි මුඩ ක්‍රියාවක් වනු ඇත. දැනට රට තුළ පැතිරී ගන යන ජනගහනය හා අධ්‍යාපනය නිසා සිදුවි ගෙනයන බුද්ධිමය හා සදාචාර පරිනාමය නිසා සුළු ජාතීන්ට ලැබිය යුතු මස් රාත්තලම ලේ නො සලා, ලැබෙන දවස වැඩි දුර නො වේ.

සියලු සත්වයෝ නිදුක් වේවා!

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.