6 December, 2024

Blog

විවේචකයන්ට අලුත් සංවර්ධන මාදිලියක් තිබේද?

කේ.ජී.පිලිප් ශාන්ත

කේ.ජී.පිලිප් ශාන්ත

අවම වශයෙන් ඉදිරි වසර තිහක කාලය තුළ රටේ ක්‍රියාත්මක වන සංවර්ධන ක්‍රියාවලියේ මග පෙන්වන්නා වනුයේ ජාතික භෞතික සංවර්ධන සැලැස්ම හා මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ව්‍යාපෘතියයි. එය මුළුමනින්ම පදනම් වන්නේ නව ලිබරල් ආර්ථික  අවශ්‍යතාව මත බැවින් එමගින් පවසන සංවර්ධනයේ අභිප්‍රාය වන්නේ ද ධනේෂ්වර සංවර්ධනයකි. එමගින් සමාජයේ එක් තීරුවක් අධි සංවර්ධනයට ලක් කරන අතර තවත් තීරුවක් සූරාකෑමට ලක් කරයි.  එහෙත් ඓතිහාසික අර්ථයෙන් සමාජ සංවර්ධනය ඉදිරියට ගලා යන්නේ මේ ප්‍රති විරෝධය සමගම ය. ඒ නිසා ඊට යමෙක් එරෙහි වුවත් එය ආපසු හැරවීමට නොහැකිය. කළ හැක්කේ සංශෝධනයට ලක් කිරීම පමණි. ඒ අතර ප්‍රති ධනේශ්වර සංවර්ධන මොඩලයක් ශක්තිමත් කර ගැනීමට මහන්සි විය යුතුය.

ධනේශ්වරකරණය තුළ සමාජවාදී විසදුම් ඇති කළ නොහැක. එහෙත් ධනේශ්වරකරණය තුළ පීඩාවට පත්වන පීඩිතයාට උපරිම සාධාරණය ඉටු කරන්නැයි බල කළ හැකිය. එය කළ යුත්තේ ධනේශ්වරකරණයට එරෙහිවීමෙන් නොවේ. සමාජ සංවර්ධනයේ දී ධනේශ්වරකරණයට ඓතිහාසික භූමිකාවක් ඇත. එහෙත් එහි නෛසර්ගිකය වන්නේ ඒ භූමිකාව සීමාසහිතවීම ය. නමුත් සමාජ සංවර්ධනයේ දී එක් එක් ඓතිහාසික යුග පිමි වලින් පැන ඒවා අමතක කරමින් ඉදිරියට යා නොහැක. යා යුත්තේ ඒ ඓතිහාසික යුග තරණය කරමිනි.

ජාතික භෞතික සංවර්ධන සැලස්ම හා මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ව්‍යාපෘතිය සම්බන්ධයෙන් විවේචනශීලීව කදිම සංවාදයක් ඇති කරගෙන ඇත්තේ මෙරට ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධාන විසින් ය. මූලික වශයෙන් පරිසරය සම්බන්ධයෙන් උනන්දු වන රාජ්‍ය නොවන සංවිධාන මේ සම්බන්ධයෙන් කරන්නා වූ මැදිහත්වීම ප්‍රශස්ත ය. ඔවුන් ඒ ව්‍යාපෘතීන් දෙකම කදිමට විග්‍රහ කරමින් ඒවා ක්‍රියාත්මක වුවහොත් සිදුවන්නා වූ අගතිය සම්බන්ධයෙන් සමාජය දැනුවත් කරමින් සිටී. රාජ්‍ය නොවන සංවිධානයන්ගේ ඒ මැදිහත්වීම නොසලකා හරින්නට ආණ්ඩුවට පවා නොහැකිවී ඇත්තේ ඒ විවේචනයේ ශක්තිමත්භාවය නිසා විය යුතුය.

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්ස් ව්‍යාපෘතිය ක්‍රියාත්මක වුවතොත් ගෝලීය අවශ්‍යතා මත විශාල ධනේශ්වර සංවර්ධනයක් රට තුළ සිදුවිය හැකිය යන්න සත්‍යයකි. එහෙත් ඊට සමාන්තරව මූලික වශයෙන් පාරිසරික විනාශයක් ද සිදුවිය හැකි ය. එනිසා එවැනි විනාශයන් වළක්වා ගත හැක්කේ මේ ව්‍යාපෘතිවල තාක්ෂණික දුර්වලතා අහෝසි කිරීමෙනි.  එය ප්‍රශස්ත ලෙස කළ හැක්කේ රාජ්‍ය නොවන සංවිධානයන්ට ය. ඒ සදහා දැනටමත් ඔවුන් විසින් පියවර ගෙන තිබීම සතුටට කරුණකි.

නව ලිබරල්කරණය සදහා ධනේශ්වරය විසින් පෝෂණය කරන්නේ ජාතික රාජ්‍යය පමණක් නොවේ. ජාතික රාජ්‍යයන්ට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරමින් යැපෙන්නට ආධාර කරන ගමන්ම රාජ්‍ය නොවන සංවිධාන ද තමන්ගේම වියදමෙන් නඩත්තු කරගෙන යයි. තමන් විසින් ලබාදුන් ආධාර හා ණය සම්බන්ධයෙන්  ජාතික රාජ්‍යයන්ගෙන් නිදහසට කරුණු විමසන විට ඒ ඒ ජාතික රාජ්‍යයේ රාජ්‍ය නොවන සංවිධානයන්ගෙන් ද කරුණු විමසා බලයි. එසේම ඒ ඒ රාජ්‍ය විසින් ලෝක සම්මතයට එරෙහිව යන විට දීත් මේ අන්දමින් නිදහසට කරුණු විමසයි.

ජාත්‍යන්තර සංවිධානයන්ගේ සමුළු සැසිවාර පවත්වන සෑමවිටෙම ජාතික රාජ්‍යයේ නියෝජිතයන්ට සහභාගීවීමේ අවස්ථාව ලැබේ. ඊට සමාන්තරව ඒ ඒ ජාතික රාජ්‍යයේ රාජ්‍ය නොවන සංවිධානයන්ට ද සහභාගීවීමේ අවස්ථාව ලබා දේ. ජාතික රාජ්‍යයන් තමන්ගේ රට සම්බන්ධයෙන් වාර්තා ඉදිරිපත් කරන අතර රාජ්‍ය නොවන සංවිධාන ද ඒ ඒ රාජ්‍යයට අදාළව වාර්ථා ඉදිරිපත් කරයි. රාජ්‍ය නොවන සංවිධානයන්ගේ මූලික පරමාර්ථය වන්නේ ධනේෂ්වරයේ අභ්‍යන්තර තුල්‍යතාව ආරක්ෂා කිරීමයි. එසේම ධනේෂ්වරයට එරෙහිව පැන නැගිය හැකි සමාජ ව්‍යාපාරයන් බොදකර දැමීමයි. 

රාජ්‍ය නොවන සංවිධාන තම ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කරලීමේ ලා වාමාංශික දේශපාලන අදහස් පදනම් කර ගත්ත ද ඔවුන් ක්‍රියා කරන්නේ වාමාංශය ශක්තිමත් කිරීමට නොවේ. ඔවුන් පවතින්නේ ධනේශ්වරකරණය හරියට කරන්නට ය. ධනේශ්වරකරණය හරියට කරනවා යනු වාමාංශික අර්ථයෙන් ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීමක් නොවේ. උපක්‍රමශීලීව ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන ධනේශ්වරකරණ ව්‍යාපෘතීන්ට එරෙහි වන විට වම්මු කල්පනා කරන්නේ ඒවා වාමංශික පදනම් සහිත වැඩ සටහන් බව ය. එහෙත් ඒවායේ ඇත්තටම ඇත්තේ ධනේශ්වර වැඩසටහන් ය.

ශ්‍රී ලංකාවේ ඉඩම් සම්බන්ධව පනත් දෙකක් ඉදිරිපත් කරමින් පසුගිය ආණ්ඩුව උත්සාහ ගත්තේ පවතින ඉඩම්වල සංකීර්ණතාව හා ව්‍යාකූලතාව අහෝසි කරමින් නිදහස් ඉඩම් වෙළෙද පළක් නිර්මාණය කර ගන්නට ය. එය ධනේශ්වර අර්ථයෙන් ක්‍රියාත්මක කරන ව්‍යාපෘතියකි. ඊට ප්‍රතිසංස්කරණ අර්ථයෙන් මිස මුළු එකක් ලෙස විරුද්ධ වන්නට ගෝලීය ප්‍රාග්ධනයෙන් යැපෙන රාජ්‍ය නොවන සංවිධාන වලට ඉඩක් නොලැබේ. එසේ විරුද්ධ වනවා නම් එක්කෝ යටි අරමුණකින් යුක්තව ය. යටි අරමුණ වන්නේ ධනේශ්වරයට එරෙහි සැබැ ජනතා ව්‍යාපාරයක න්‍යාය පත්‍රය අවුල් කිරීම ය.

ආණ්ඩුව ඉඩම් පනත් කෙටුම් පත් දෙකට සූදානම් වූ දා සිටම එක්තරා රාජ්‍ය නොවන සංවිධාන දෙකක් තමන්ගේ මුළු න්‍යාය පත්‍රය බවට පත් කරගෙන ඇත්තේ එම ඉඩම් පනත් දෙක අහෝසි කර ගැනීමට උත්සාහ කිරීමයි. ඔවුන්ගේ ප්‍රතිපත්තියේ හරය වන්නේ ඉඩම් අගලක අයිතියක් නොමැති ගැමියන්ට ඉඩමක නීත්‍යානුකූල අයිතිය හිමිවීම භයානක බව ය. ඊට හේතුව වන්නේ ඉඩමක අයිතිය හිමි ගැමියා, නිර්මාණය වන සමාජ දේශපාලන ආර්ථික වටපිටාව තුළ ඒ ඉඩම් අළෙවි කරන බවත් එවිට ඒ අළෙවි කරන ඉඩම් මිල දී ගෙන මහ පරිමාණ ඉඩම් හිමියන් නිර්මාණය වන බවත් ය. ඇත්තටම සිදුවිය හැක්කේ එය වුවත් ඉඩමක අයිතියක් නැති ගැමි ගොවියන්ට නීත්‍යානුකූල ඉඩමක අයිතිය හිමිවීමට කිසිවෙකුට එරෙහි විය නොහැක.

නැවතත් ප්‍රශ්න කළ යුත්තේ සුළු ඉඩම්හිමියන් අහෝසි වී මහ පරිමාණ ඉඩම් හිමියන් නිර්මාණයවීමට ගෝලීය ප්‍රාග්ධනයෙන් යැපෙන රාජ්‍ය නොවන සංවිධාන එරෙහි වන්නේ කෙසේද යන්නයි. ඔවුන්ගේ ප්‍රාග්ධනයේ තර්කනය අනුව මහ පරිමාණ ධනපති ඉඩම් හිමියන් නිර්මාණයවීමට එරෙහිව වන්නට ඔවුන්ට නොහැකිය. එසේම සුළු පරිමාණ ඉඩම් හිමියන් සම්බන්ධයෙන් ඔවුන්ට ආදරයක් ඇති වන්නටත් නොහැකි ය. ඊට හේතුව ආණ්ඩුව මේ පනත් ගෙන ආවේ ගෝලීය ආර්ථික සංදර්භයක වන අතර රාජ්‍ය නොවන සංවිධාන ද කටයුතු කරන්නේ ඒ සංදර්භයේම නිසා ය.

කුඩා ඉඩම් හිමියන් නිර්මාණයවීම මහ පරිමාණ ඉඩම් හිමියන් නිර්මාණය කිරීමේ ආරම්භය බව ඇත්තකි. ඒ ක්‍රියාවලිය ගෝලීය ආර්ථික සංදර්භයක විය යුත්තකි. සුළු සුළු ඉඩම් හිමියන් රටක නිෂ්පාදන ක්‍රියාවලිය තුළ ශක්තිමත් කාර්යභාරයක් ඉටු නොකිරීම ඊට හේතුවයි. එවිට මහ පරිමාණ ඉඩම් හිමියන් ද, ඔවුන් යටතේ කම්කරුවන් ස්වරූපයෙන් වැඩ කරන ගැමියන් ද නිර්මාණය වේ. ඒ ක්‍රියාවලිය තුළ ආර්ථික වශයෙන් පීඩනයට පත් වන්නේ ගැමියන් ය. ඒ ඔවුන්ට ඉඩමක් කඩමක් නැතිව මහ පරිමාණ ව්‍යාපාරිකයා මත යැපෙන්නටවීම නිසා ය. ඇත්ත වාමාංශික දේශපාලනය පටන් ගත යුත්තේ එතැනෙනි.

ඇත්තටම ලංකාවේ නිදහස් ඉඩම් වෙළෙද පළක් නොමැත. නිරවුල් ඉඩම් ඇත්තේ සීමිත ප්‍රමාණයක් වන අතර බහුතරය ආරාවුල් මට්ටමේ පවතින නිසා ඒවා නිසි පරිදි රටේ සංවර්ධනයට යොදා ගැනීම දුෂ්කර වී ඇත. මේ ව්‍යාකූලතාව නිරවුල් කිරීම ධනේශ්වර අර්ථයෙන් පමණක් නොව ප්‍රති ධනේශ්වර අර්ථයෙන් ද අතිශය වැදගත් ය. ධනේශ්වර වෙළෙද පළ සංවර්ධනය සදහා ඉඩම් හිමිකමේ ලිබරල්කරණයක් අවශ්‍ය වේ. පවතින ව්‍යාකූලතා හා පටලැවිලි ලිහා නිදහස් ඉඩම් වෙළෙද පළක් බිහිවන්නේ එවිට ය. රටක ජාතික ආර්ථිකය ශක්තිමත් වන්නේත් එවිට ය. එහෙත් එවිට කුඩා ඉඩම් හිමියන්ට මුහුණ දෙන්නට වන්නේ අමිහිරි අත්දැකීමකට ය. එය ධනේශ්වරකරණයේ නෛසර්ගික ලක්ෂණයකි. ඊට විසදුම් සෙවිය යුත්තේ ධනේශ්වරයට විකල්ප ආර්ථික මොඩලයකිනි.

එහෙත් එවැනි විකල්පයක් නොමැතිව පැරණි වැඩවසම් ව්‍යුහය තුළ හිදිමින් ධනේශ්වරකරණයට විරුද්ධවීම පසුගාමී වේ. ඊට හොදම උදාහරණය වන්නේ රාජ්‍ය නොවන සංවිධාන හා ලාංකික වම්මු ඉඩම් ප්‍රතිසංස්කරණයට ගෙන ආ අලුත් පනත් කෙටුම් පත්වලට දක්වන විරෝධයයි. ඒ තුළ ශක්තිමත් විකල්පයක් නොමැති අතර ඔවුන් පෙනී ඉන්නේ දැනට පවතින ව්‍යාකූලතාව ඉදිරියට රැගෙන යන්නට පමණි. ඒ තුළ ඉඩම් විශාල ප්‍රමාණයක අයිතියක් නොමැත. කුඩා ඉඩම් හිමියන් අයිතිය සන්තක නොවූ ඉඩමක ජීවත් වේ. පවතින ඉඩම් කිසිම ප්‍රයෝජනයකට ගත නොහැක්කේ නීතිමය වශයෙන් අයිතියක් නොමැති බැවිනි.  එවැනි ව්‍යාකූල තත්ත්වයක හිදිමින් ගැමියාට ඉඩමක අයිතිය ලබාදීමට එරෙහිවීම බොළදකමකි.

සමාජ සංවර්ධනයේ දී ධනේශ්වරකරණය ඓතිහාසික පියවරක් නම් ඊට ඉඩ දෙමින්ම පීඩිතයා වෙනුවෙන් දේශපාලනය කිරීම ප්‍රති ධනේශ්වර ආර්ථික මොඩලයක් වෙනුවෙන් පෙනී සිටින ව්‍යාපාරයක උපාය උපක්‍රමය විය යුතු ය. නමුත් ඒ හිඩැස පිරවීමට සමත් දේශපාලන ව්‍යාපාරයක් ශ්‍රී ලංකාවේ දියුණු ලෙස වර්ධනය වී ක්‍රියාකාරී මට්ටමක නොමැත. එනිසා ඒ හිඩැස පුරවන්නට උත්සාහ ගන්නේ රාජ්‍ය නොවන සංවිධානයන් විසිනි. නමුත් රාජ්‍ය නොවන සංවිධානයන්ට යමක් කළ හැක්කේ ප්‍රතිසංස්කරණවාදී අර්ථයෙන් පමණි. පවතින දේ මුළු එකක් ලෙස වෙනස් කරන සමාජ පරිවර්ථනයක් කළ හැක්කේ දේශපාලන ව්‍යාපාරයකට පමණි. නමුත් ලංකාවේ දේශපාලන ව්‍යාපාර අතිශයෙන්ම ඕලාරික හා සම්ප්‍රදායික වන අතර ඔවුන් ද ප්‍රතිසංස්කරණවාදය තුළ හිරවී සිටී.  

ශ්‍රී ලංකාවේ වාමාංශික ව්‍යාපාරය තමත් මතවාදීව සිටින්නේ රාජ්‍ය කේන්ද්‍රගත සුභ සාධනවාදය තුළ ය. ඔවුන් කල්පනා කරන්නේ සම්පත් රජය සතුව තබා ගනිමින් සියළු අංශ වල ආර්ථික ක්‍රියාවලියට රජය මැදිහත්වෙමින් සුභසාධන ක්‍රියාවලිය ශක්තිමත් කළ යුතු බව ය. මෙය උපක්‍රමික අරුතින් කේන්සියානු ධනවාදී ක්‍රමය වූ අතර අද ධනවාදයට ද එය ක්‍රියාත්මක කර ගන්නට නොහැකි ලෙස අහෝසි වී ගිය උපක්‍රමයකි. එනිසා වම්මු කේන්සියානු ධනවාදය වෙනුවෙන් පෙනී සිටීම භයානක විහිළුවකි. ඔවුන් පෙනී සිටිය යුත්තේ ප්‍රති ධනවාදී ආර්ථික මොඩලයක් වෙනුවෙනි.

මේ අර්ථයෙන් ප්‍රති ධනේශ්වර සමාජ දේශපාලන ව්‍යාපාරයක් තම මූලික න්‍යාය පත්‍රය සකස් කර ගත යුත්තේ ඉදිරි වසර තිහ තුළ ශක්තිමත් වන නව ලිබරල් ගෝලීයකරණ ව්‍යාපෘතියට එරෙහිව ය. ඒ සදහා මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් හා ජාතික භෞතික සැලස්ම යන ව්‍යාපෘතීන් දෙක අධ්‍යයනය කර  දිගු කාලීන දේශපාලන සූදානම්වීමකට යා යුතු ය. එහිදී එම ව්‍යාපෘතීන් දෙක සංශෝධනවාදීව විවේචනය කිරීමක් දේශපාලන ව්‍යාපාරයක න්‍යාය පත්‍රය නොවිය යුතු අතර එය දැනටමත් රාජ්‍ය නොවන සංවිධාන විසින් කරන නිසා මුළු වැර යොදා ඔවුන්ට සහාය දිය යුතු ය. දේශපාලන ව්‍යාපාරයක් විසින් කළ යුත්තේ එම ව්‍යාපෘතීන්ට ආමන්ත්‍රණය කළ නොහැකි ඊට ඔබ්බෙන් වූ එසේත් නැත්නම් ඊලග අදියරේ වූ සංවර්ධන මාදිලිය වෙනුවෙනි. 

ශ්‍රී ලංකාවේ ධනේශ්වරකරණ ක්‍රියාවලිය තුළ කුමන් ආණ්ඩුව බලයට පත් වුවත් ක්‍රියාත්මක කරන්නේ එකම සංවර්ධන මාදිලියකි. 1994 දී චන්ද්‍රිකා ආණ්ඩුව විසින් මානුෂික මුහුණුවරකින් යුතු විවෘත ආර්ථිකයක් ගැන කතා කළ ද නව ලිබරල්කරණයේ මූලික ඉලක්කයන්ට බාධාවක් නොවීය. 2005 මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් ජාතික සම්පත් පෞද්ගලීකරණය නොකරන බව කීව ද සිදුවූයේ එයම ය. වර්තමානයේ දී ගෝටාභය රාජපක්ෂ ආණ්ඩුව කුමක් කීව ද සිදුවන්නේ නව ලිබරල්කරණ ක්‍රියාවලියට කිසිදු හානියක් නොකිරීම ය. ඒ අරමුණු ජය ගන්නට විවිධ ආණ්ඩු අවශ්‍ය ප්‍රතිසංස්කරණ කරමින් සිටී.

ශ්‍රී ලංකාවේ දැනට පවතින බොහෝ දේශපාලන ව්‍යාපාරයන්ට විකල්ප වැඩසටහනක් නොමැති අතර ආණ්ඩුවේ අංක එකේ විවේචක කාර්යභාරය පමණක් ඉටු කරයි. එහෙත් මේ විවේචක කාර්යභාරය තවදුරටත් වලංගු නොවන අතර එය රාජ්‍ය නොවන සංවිධානයන්ට පැවරිය යුත්තකි. දේශපාලන ව්‍යාපාරයන් කළ යුත්තේ විකල්ප සංවර්ධන මාදිලි නිර්මාණය කර ගැනීම ය. පවතින සංවර්ධන මාදිලියට එරෙහිව ඉදිරියේ දී  අරගල කළ යුත්තේ එවැනි අලුත් සංවර්ධන මාදිලියක් අත තබාගෙන ය.

නව ලිබරල්වාදයට එරෙහිව අරගල කරන කිසිම දේශපාලන ව්‍යාපාරයකට එවැනි විකල්ප සංවර්ධන මාදිලියක් නම් නොමැති බව සක්සුදක් සේ පැහැදිලි කරුණකි. 

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.