26 April, 2024

Blog

රාජපක්ෂට බුලත් දෙන විජයකලා

කේ.ජී.පිලිප් ශාන්ත

කේ.ජී.පිලිප් ශාන්ත

රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් පසුගිය සතියේ දී අතහැරි දේශපාලන බෝම්බය දකුණේ ධ්‍රැවීකරණය වෙමින් තිබූ දේශපාලන පරිසරය වෙනත් අතකට යොමු කළේ ය. විවිධ පුදගලයන් හා ආයතන විවිධ අන්දමින් තම තමන් අභිරුචි අන්දමින් විජයකලාගේ ප්‍රකාශය  වාර්තා කර තිබුණි.  අඩන්නට බැරිව සිටි දකුණේ බොහෝ දේශපාලන කොටස් වලට එය ඇගිල්ලෙන් ඇනීමක් බදු විය. වඩාත් උත්ප්‍රාසය මුසු කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට එරෙහිව නිව්යෝක් ටයිම්ස් පුවත්පත එල්ල කළ චෝදනාව ප්‍රවෘත්තියක් ලෙස විකාශය නොකළ දෙරණ රූපවාහිනී නාළිකාව උඩ පැන පැන විජයකලාගේ ප්‍රකාශය ප්‍රචාරය කිරීමයි.

විජයකලා ගෙදර යෑම

ජේෂ්ඨ මාධ්‍යවේදියකු වන කළම්බු ටෙලිග්‍රාෆ් වෙබ් අඩවියේ සංස්කාරක උවිදු කුරුකුලසුරිය​ තම ෆේස්බුක් වෝලයේ තබා තිබූ සටහනකට අනුව දෙරණ නාළිකාව හා බීබීසී සේවය විජයකලාගේ ප්‍රකාශය පරිවර්තනය කර තිබූ අන්දමේ වෙනස මෙලෙස සසදා තිබුණි.

දෙරණ​: “අපි මැයි 18 වෙනිදාට කලින් එල්ටීටීඊ පාලන කාලෙ කොහොමද ජීවත් වුණේ කියල අපි හැමෝටම දැන් මතක් වෙනවා. අද තත්ත්වය මත එල්ටීටීඊ එක ගැන ඒම අපේ ප්‍රධාන අරමුණ​. අපි ජීවත් වෙන්න ඕනෙ නම්, අපේ ළමයි පාසැල් ගිහින් නැවත් එන්න ඕනෙ නම් එල්ටීටීඊ එක නැවත අත (හිස?​) ඔසවන්න ඕනෙ.”

බීබීසී: “2009 මැයි 18 දිනට කලින් අපේ ජනතාව ජිවත්වුණේ කොහොමද කියලා ඔබලා දන්නවා. මේ අවස්ථාවේ තත්ත්වය බලන විට නැවත එල්ටීටීඊ ය ගෙන ආ යුතු තත්ත්වයක් තමයි තිබෙන්නේ. අපේ ළමයි, අපේ ගැහැණු අය පාසල් ගොස් නැවත නිවෙස් කරා එන තත්ත්වයක් ඇති කිරීමට නම් නැවත එල්ටීටීඊ පාලනයක් පැමිණිය යුතුයි.”

කෑමට අවශ්‍ය වූ විට කබර මස් වුවද තලගොයි මස් කර ගැනීමටත් කෑමට අනවශ්‍ය නම් තලගොයි මස් වුවද කබර මස් කර ගැනීමට ශ්‍රී ලංකාවේ ජඩ මාධ්‍ය සමත් ය. විජයකලා මහේෂ්වරන්ගේ සිද්ධියේ දී ද ලංකාවේ බොහෝ මාධ්‍ය හැසුරුණේ ඒ අන්දමිනි. ඔවුන් තම ජාතික වගකීම පසෙකලා පෞද්ගලික පටු පක්ෂ දේශපාලන න්‍යාය පත්‍රයට අනුව කටයුතු කරන්නට ලැජ්ජා නොවීය.

කෙසේ හෝ වේවා රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් විසින් කරන ලද ප්‍රකාශය විනය විරෝධී බව නම් සත්‍යයකි. එය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා විරෝධී නම් ඈට එරෙහිව පියවරක් ගන්නට පාර්ලිමේන්තුවේ කතානායකවරයා සූදානම් බව ප්‍රකාශ විය. එහෙත් මේ වනවිටත්  අග්‍රාමාත්‍යවරයාගේ හා ජනාධිපතිවරයාගේ මැදිහත්වීම මත ඈ තම රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂවරන්ගේ ආන්දෝලනාත්මක ප්‍රකාශය රාජපක්ෂ දේශපාලනය කුල්මත් කිරීමට සමත්ව තිබුණි. මහින්ද රාජපක්ෂට එල්ලව තිබූ නිව්යෝක් ටයිම්ස් චෝදනා නිසා හිරි වැටී සිටි ඔවුන් අළු ගසා දමා නැගී සිටියේ මෙම ප්‍රකාශයත් සමග ය. එක අතකින් තමන්ට එල්ලවූ දූෂණ චෝදනා වලට යොමු වන මහජන අවධානය වෙනතකට යොමු කරන්නට විජයකලාගේ ප්‍රකාශය ඔවුන්ට මසුරන් වටී. අනෙක් අතින් වර්ගවාදය අවුස්සමින් යහපාලන ආණ්ඩුවේ ප්‍රතිපත්ති හෑල්ලුවට ලක් කරන්නට ඔවුන්ට මෙය කදිම අවස්ථාවකි.

රාජපක්ෂ දේශපාලනයට ඉසිඹුවක්.

දෙමළ විමුක්ති කොටි සංවිධානය දෙමළ ජනතාවගේ දේශපාලන අරමුණු වෙනුවෙන් පෙනී සිටිය බව සත්‍යයක් වුවද එම සංවිධානය උපක්‍රමශීලී වශයෙන් ද දේශපාලන දෘෂ්ටිමය වශයෙන් ද ඉතා පසුගාමී ෆැසිස්ට්වාදී සංවිධානයක් විය. එහෙත් එවැන්නක් නිර් වචනය කිරීම පවා සිංහල අදහසක් විය හැකිය. දෙමළ කොටි සංවිධානය කුමක් කළ ද ඒ සම්බන්ධයෙන් දේශපාලන තීන්දුවක් ගත යුත්තේ දෙමළ ජනතාව විසින් ය. නිරීක්ෂණය කර ඇති පරිදි දෙමළ කොටි සංවිධානයට මහජන කැමැත්ත තිබුණේ අවි බලයෙන් පමණි. එම සංවිධානය නිරායුද වූ සෑම අවස්ථාවකම දෙමළ ජනතාව දෙමළ විමුක්ති කොටි සංවිධානය ප්‍රතික්ශේප කළහ.

පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී දෙමළ ජනතාවගේ සාතිශය බහුතරය තම කැමැත්ත ප්‍රකාශ කළේ දෙමළ ජාතික සංවිධානයට හා දෙමළ ජාතික විමුක්ති සංවිධානයටයි.  ඒ අනුව දෙමළ ජනතාවගේ දේශපාලන අභිලාශයන් තෘප්ත කර ගැනීම සදහා ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයක තම නියෝජිතයන් තෝරා ගැනීමට දෙමළ ජනතාව මහන්සි වන නමුත් දෙමළ විමුක්ති කොටි සංවිධානය යළි පණ ගැන්වීමට ඔවුන් තුළ ඇති සූදානමක් දකින්නට නැත.

නමුත් භෞතික දේශපාලන අවකාශය තුළ සිදුවන ඒ ක්‍රියාකාරකම් දකුණේ සිංහලබෞද්ධ ස්වෝත්තමවාදය කර පින්නා ගත් රාජපක්ෂ දේශපාලනයට ප්‍රමාණවත් නොවේ. එනිසා ඔවුහු නිතරම බෙදුම්වාදී බිල්ලකු පවා පාති. විජයකලා මහේෂවරන් සිද්ධිය ද ඔවුන් යොදා ගත්තේ බෙදුම්වාදී බිල්ලා මවා පා දකුණ බිය ගැන්වීමට ය.

කොටි සංවිධානය ගොඩ නගන්නට විජයකලාට බෑ

එහෙත් උතුරු නැගෙනහිර දේශපාලනය තුළ ඇත්ත කතාව වන්නේ දෙමළ විමුක්ති කොටි සංවිධානයකට යළි එම බිමෙහි දේශපාලන ඉඩක් නොපවතින බවයි. එහෙත් දෙමළ ජනතාවගේ විමුක්ති අරගලය සදහා එහි පවතින දේශපාලන රික්තය නම් තවමත් පහව ගොස් නොමැත. එක් අතකින් ඊට හේතුව විජයකලා මහේෂ්වරන් වැන්නන්ගේ ප්‍රභූවාදී දේශපාලනයයි. 

උතුරු නැගෙනහිර සමස්ත දෙමළ ප්‍රජාව අති විශාල මහජන වරමකින් 2015 ජනාධිපතිවරණයේ දී ඉල්ලා සිටියේ ප්‍රජතන්ත්‍රවාදය හා දෙමළ මිනිස්සුන්ගේ ජීවත්වීමේ අයිතියයි. එවැනි අභිලාශයකින් යුතු දෙමළ ජනතාවට කන්නට පාන් කෑල්ලක් දී එම මහජන අභිලාශය මොට කළ නොහැක. දෙමළ ජනතාව සාතිශය බහුතරයකින් තම වරම ලබා දී පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී ප්‍රකාශ කලේ එම සත්‍යයයි.

එම මහජන අභිලාශය තේරුම් ගන්නට විජයකලාගේ ප්‍රභූ දේශපාලනයට නොහැකිය. එනිසා මේ මොහොත තුළ දෙමළ දේශපාලනයේ රික්තය පික් පොකට් ගැසීමට විජයකලාට අවශ්‍ය විය. විජයකලා නියෝජනය කළේ දෙමළ දේශපාලනය තුළ ප්‍රභූ  අවශ්‍යතාවයි. එදා මෙදා තුර ප්‍රභූ දෙමළ නායකයන් සිදු කළ පරිදි මහජන අවධානය ඈ වෙත යොමු කර ගන්නට දැරූ විජයකලාට අවශ්‍ය විය. එහෙත් එය පෙරලා දකුණේ සිංහල දේශපාලනය  වියවුලකට තල්ලු කරන බව තේරුම් ගන්නට ඈ අසමත් විය.

දෙමළ ජනතාවගේ අභිලාශයන්ට ශ්‍රී ලංකා රාජ්‍යය තුළ දේශපාලන අවකාශයක් නිර්මාණය කර ගැනීම සදහා කළ හැකි උපරිමය වන්නේ සන්නද්ධ ව්‍යාපාරයකින් සටන් කිරීමයි. යුග ගණනාවකින් රට ආපස්සට තල්ලු කරමින් දෙමළ විමුක්ති කොටි සංවිධානය ඒ සන්නන්ද්ධ අරගලට ගෙන ගියේ ය. එහෙත් ගෝලීය ධනේශ්වරය ඒ අරගලයට කිසිම සමාවක් ලබා නොදුන්නේ ය. එය රාජපක්ෂ ලවා තලා පොඩි පට්ටම් කළේ එබැවිනි.

දකුණේ දේශපාලනය හා උතුර

උතුරු නැගෙනහිර මහජන අභිලාශයන්ට සාධාරණයක් ඉෂ්ඨ වන්නට නම් දකුණේ දේශපාලනය වර්ගවාදය අත්හල යුතුය. දකුණ තුළ වර්ගවාදී අභිලාශයන් පවතිනතාක් උතුරු  නැගෙනහිරට සාධාරණයක් ඉෂ්ඨ නොවේ. දකුණ අනුව උතුරු නැගෙනහිර දෙමළ අරගලය සකස්විය යුතුය යන්න එමගින් ගම්‍ය නොවේ. එහෙත් දකුණ සමග උපක්‍රමශීලීව ගනුදෙනු කිරීමට දෙමළ දේශපාලනය ශක්තිමත් විය යුතුය. නමුත් විජයකලා මහේෂවරන් වැනි ප්‍රභූ දේශපාකයන් කරන්නේ උතුරු දකුණු පාළම් කඩා බිද දැමීම මිස අනෙකක් නොවේ. දෙමළ විමුක්ති කොටි සංවිධානය යළි ගෙනා යුතු බව කීමෙන් දෙමළ දේශපාල අභිලාශයන්ට ලැබෙන වටිනාකමක් නොමැත. එසේම දකුණේ ප්‍රගතිශීලී ව්‍යාපාරයට ලැබෙන වටිනාකමක් ද නොමැත. එමගින් වටිනාකමක් ලැබෙන්නේ දකුණේ සිංහලබෞද්ධ ස්වෝත්තමවාදී දේශපාලනයට පමණි. ඒ අනුව විජයකලා ශක්තිමත් කරමින් සිටින්නේ දකුණේ සිංහලබෞද්ධ ස්වෝත්තමවාදී ව්‍යාපාරය වන්න රාජපක්ෂ දේශපාලනය ශක්තිමත් කිරීමයි.

මේ මොහොත තුළ උතුරේ දෙමළ ජානයකයන්ගේ අභිලාශය විය යුත්තේ දකුණේ සිංහල නායකයන් සමග අණ් පටලවා ගැනීම නොවේ. ඔවුන් උපක්‍රමිකව මහන්සි විය යුත්තේ සිංහල දකුණ දෙමළ අභිලාශයන් තුළ කොටු කර ගැනීමටයි. ජාතික දේශපාලනය මෙන්ම ජාත්‍යන්තර දේශපාලනය ද සකවී ඇත්තේ දෙමළ ජනතාවගේ දේශපාලන අභිලාශයන්ට සාර්ථක ජයග්‍රහණයක් ලබා ගැනීමට පහසු වන පරිදි ය. එය එක්සත් රටක් තුළ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමෙන් ලැබෙන විසදුමකි. එය බෙදුම්වාදය ශක්තිමත් කරන්නක් නොවේ. එය තේරුම් ගැනීමට දෙමළ දේශපාලකයන් කාලය වියදම් කිරීම අනවශ්‍ය කරුණක් නොවේ.

ශ්‍රී ලංකා රාජ්‍යය දෘෂ්ටිමය වශයෙන් සිංහලබෞද්ධ ජාතිකවාදයේ ග්‍රහණයට ලක්වීම මිනිස් රුධිරය හා මාංශ පහසු මිලට ලබාදීමෙන් අහවර විය. උතුරේ මෙන්ම දකුණේ ද මහජන කැමැත්ත වූයේ යහපත් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකි. ඒ තුළ දෙමළ අභිලාශයන් තෘප්ත කරන විශාල වැඩපිළිවෙලක් අවශ්‍යව තිබේ. ඒ සියල්ල ක්‍රියාත්මක වන්නේ එක්සත් රටක් තුළ බෙදුම්වාදය පරාජය කිරීමෙනි. ඒ සදහා දකුණ බලමුළු ගැන්වීම ප්‍රවේශමෙන් කළ යුත්තකි. ඒ කාර්යභාරය සදහා දෙමළ ප්‍රජාවේ සහාය අවශ්‍ය වේ.

එහෙත් විජයකලා මහේෂ්වරන් වැන්නන් එය තේරුම් නොගෙන දේශපාලන මල් වෙඩි පත්තු කරන්නට යෑම අභාග්‍යයකි. එය දෙමළ මහජන අභිලාශය නොවන බව සමස්ත දෙමළ ජනතාව විසින්ම ඈට නුදුරේදීම තේරුම් කරදෙනු ඇත.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.