2 June, 2020

Blog

බටහිර අනුකාරක ජාතික චින්තනය

සුමිත් චාමින්ද

සුමිත් චාමින්ද

පසුගිය නිදහස් දින උළෙලේදී ජාතික ගීය ගායනා කරන ලද්දේ සිංහල භාෂාවෙන් පමණි. එය අලුත් දෙයක් නොවේ. නමුත්, හේතු කිහිපයක් නිසාම එය මෙවර කතා බහට ලක් වන කාරණයක් බවට පත් විය. දෙමළ භාෂාවෙන්ද ජාතික ගීය ගායනා කළ යුතුය යන අදහස ඇතැම් ලිබරල්වාදී කණ්ඩායම් වෙතින් යළිත් මතු විය. තරුණ වාම-ලිබරල් කණ්ඩායමක් මෙවර රාජ්‍ය නිදහස් උළෙල පැවති දිනයේම කොළඹ නගරයේදී ජාතික ගීය දෙමළ බසින්ද ගායනා කළහ. ඊට දින කිහිපයකට පෙර පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පවසා තිබුණේ ජාතික ගීය දෙමළ බසින් ගායනා කිරීම ව්‍යවස්ථා විරෝධී බවයි. මන්ද යත්, ඔහුට අනුව එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ සඳහන්ව ඇත්තේ සිංහල බසින් පමණි. නමුත්, අවාසනාවකට ඔහු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දෙමළ පිටපත තුළ ජාතික ගීයේ දෙමළ පරිවර්තනයක් පවතින බව දැන සිට නොමැත! කෙසේ වුවත්, ඇතැම් සිංහල ජාතිකවාදීන්ට අනුව සිංහළෙන් පමණක් ජාතික ගීය ගායනා කිරීම ආඩම්බරයට කරුණකි. එය මෙරට ජාතිකත්වය අගයන ජනතා ආණ්ඩුවක් බලයට පත්ව තිබීම සංකේතවත් කරයි.

ඉංග්‍රීසි ජාතිකත්වයේ ගැටළුව

මේ ගැටළුවට අදාළව පළමුවෙන් කිව යුත්තක් නම්, ජාතිකත්වය පිළිබඳ අර්බුදයක් පැවතීම යන කාරණයේදී අප තනිවී නොමැති බවයි. අපගේ ජාතිකත්වය පිළිබඳ ඓතිහාසික ගැටළුවේ බරපතල වග කිව යුත්තෙකු වන එක්සත් රාජධානිය පවා දැන් එවැනිම අර්බුදයකට මැදි වී සිටී. ඇතැම් විට, අපගේ පැරණි යටත් විජිත ස්වාමියා මුහුණ දෙමින් සිටින අකරතැබ්බය විමසා බැලීම අපට අපගේම ඓතිහාසික ගැටළුව වටහා ගැනීම සඳහා ප්‍රයෝජනවත් විය හැකිය.

එක්සත් රාජධානියේ ගැටළුව ඉස්මතු වූයේ ආසන්න වශයෙන් බ්‍රෙක්සිට් සංසිද්ධිය මුල් කොට ගනිමිනි. එක්සත් රාජධානිය යුරෝපා සංගමයෙන් ඉවත් වීම නිල වශයෙන් නිවේදනය කිරීමට සමගාමීව එංගලන්තය උත්සවශ්‍රීයෙන් ඇළලී ගියද, යුරෝපා සංගමය තුළ පැතිර ගියේ සංවේගයක් සහ ආතතියකි. යුරෝපා සංගමයේ සභාපතිවරයා ටී.එස්. එලියට්ව උපුටා දක්වමින් “ආදරයේ ගැඹුර දැනෙන්නේ වියොවෙහි සන්තාපය තුළ” යැයි පැවසීය. නමුත්, වඩා තියුණු සංකේතාත්මක සිදුවීම වූයේ එය නොවේ. එක්සත් රාජධානියේ වෙන්ව යාම අනුමත කිරීමෙන් පසුව යුරෝපා සංගමයේ සාමාජිකයන් බහුතරයක් නැගිට අත්වැල් අල්ලාගෙන රොබර්ට් බර්න්ස් නමැති කවියා විසින් පබඳින ලද “බොහෝ කලකට පෙර” යන ගීතය ගැයූහ. එය ඇරඹෙන්නේ අතීතයේ ඇසුර අමතක කළ යුතුද යන ප්‍රශ්නයෙනි. කෙසේ වුවත්, ලන්ඩන් නගරයේ ඉංග්‍රීසි ජාතික ගීය රැව් පිළිරැව් දීමට සමගාමීව යුරෝපා පාර්ලිමේන්තුවේ මේ ගීතය ගායනා කිරීමෙහි ඇත්තේ වෙන්ව යාමේ සංවේගය පමණක් නොවේ; ඒ තුළ ගැඹුරු දේශපාලන අරුතක්ද පැවතිණ; ඒ අරුත ස්කොටිෂ් භාෂාවෙන් ගැයුණු ඒ ගීතය අසා සිටි ස්කොට්ලන්ත ජනයාට හොඳින්ම වැටහෙන්නට ඇත.

මන්ද යත්, එක්සත් රාජධානිය යුරෝපා සංගමයෙන් වෙන්ව යාම පිළිබඳව ස්කොට්ලන්තය තුළ පවතින විරෝධය අති මහත්ය. එම විරෝධයේ දේශපාලන ආර්ථික පසුබිම සකසන්නේ නව-ලිබරල්වාදයේ අර්බුදයයි. ඉතාම කෙටියෙන් පැවසුව හොත්, 1980 දශකයේදී මාගරට් තැචර් ක්‍රියාවට නැගූ පෞද්ගලීකරණ ප්‍රතිපත්තීන් හමුවේ එතෙක් කලක් රජය සතුව තිබූ ස්කොට්ලන්ත ගල් අඟුරු පතල් සහ වානේ කම්හල් රැසක් විකුණා දමනු ලැබිණ; කාර්මික අංශයේ බොහෝ පිරිසකට රැකියා අහිමි විය. ඊට සමගාමීව යුරෝපා සංගමය තම සාමාජික රටවල දිළිඳු ප්‍රදේශවලට අනුග්‍රහය දැක්වීමේ ප්‍රතිපත්තිය යටතේ ස්කොට්ලන්තයේ නාගරික මෙන්ම ග්‍රාමීය පෙදෙස්වලද අධෝ ව්‍යුහමය සංවර්ධනය, කම්කරු ජනාවාස ඉදිකිරීම සහ පොදු සුබ සාධනය වැඩි දියුණු කිරීම සඳහා සහාය දැක්වීය. මේ පසුබිම යටතේ 2016 වසරේ පැවති ජනමත විචාරණයේදී ස්කොට්ලන්තයේ සෑම ප්‍රදේශයකම බහුතර ජනයා යුරෝපා සංගමයෙන් වෙන්ව නොයාමට කැමැත්ත පළ කළහ. අලුත ගොඩ නැගුණු ස්කොට්ලන්ත ජාතික පක්ෂය (SNP) වේගවත් ජනප්‍රියත්වයක් හිමි කර ගත්තේය. එම පක්ෂය පෙන්වා දෙන්නේ බොරිස් ජොන්සන් සම්මුතියකින් තොරව බ්‍රෙක්සිට් ක්‍රියාවට නැගීම තුළ ස්කොට්ලන්තය දුගීභාවයට, විරැකියාවට සහ පීඩනයට ලක් කෙරෙනු ඇති බවයි. එක්සත් රාජධානිය යුරෝපා සංගමයෙන් ඉවත් වීම සමග ස්කොට්ලන්තය එක්සත් රාජධානියෙන් ඉවත් විය යුතුය යන මතය දැන් ස්කොටිෂ් ජාතිකවාදීන් අතර ප්‍රචලිත වන්නට පටන්ගෙන තිබේ. මේ අතර යුරෝපා සංගමයේ සාමාජික රටක් වන අයර්ලන්තය සමග පොදු දේශ සීමාවක් බෙදා ගන්නා උතුරු අයර්ලන්තයේද මහා බ්‍රිතාන්‍යයෙන් වෙන්ව යාමේ ජන විඥානය වර්ධනය වෙමින් තිබේ. වේල්සයේ තත්ත්වයද එතරම් සුබදායක නැත. මෙයින් පෙනී යන්නේ ඉංග්‍රීසි ජාතිකවාදයේ උත්සන්නියත් සමග එක්සත් රාජධානිය නමැති ජාතික රාජ්‍යයේ අභ්‍යන්තර ඉරි තැලීම් සිදුවන්නට පටන් ගෙන තිබෙන බවයි. හින්දූත්වවාදයේ නැගීම සමග ඉන්දියාව තුළ සිදුවෙමින් පවතින්නේද එවැන්නකි. මේ කාරණයේදී අප තනිවී නොමැති බව මා පවසන්නේ ඒ අරුතිනි.

ජාතික රාජ්‍යයේ පරස්පරතා

වත්මනෙහි ලොව විවිධ තැන්වල විවිධ ස්වරූපයෙන් ප්‍රකාශයට පත්වෙමින් තිබෙන ජාතික රාජ්‍යයේ අර්බුදය අප වටහාගත යුත්තේ කෙසේද? එහි විවිධ පැතිමාන පවතින බවට සැකයක් නොමැත. ඒ අතුරින් නව-ලිබරල්වාදයේ අර්බුදය ප්‍රමුඛය; ලිබරල් ජාත්‍යන්තර පර්යායේ බිඳ වැටීම එහි තවත් වැදගත් මානයකි. ඇතැම්විට මේ සියල්ලටමත් වඩා නූතන ජාතික රාජ්‍ය ක්‍රමයේ අර්බුදයේ මූලයන් එහි මූලාරම්භය තුළම පැවතුණේ යැයිද පෙන්වා දිය හැකිය. මන්ද යත්, අඩු තරමින් බටහිර යුරෝපය සහ උතුරු ඇමෙරිකාව තුළ නූතන ජාතික රාජ්‍ය ක්‍රමය සැකසී ඇත්තේ එකිනෙකට පරස්පර අංගෝපාංග දෙකක මිශ්‍රණයක් ලෙසයි.

එම පළමු අංගය කෙටියෙන් කිවහොත් මෙසේය; මෙම ජාතික රාජ්‍යයන් ගොඩ නැගුණේ භාෂාත්මක සහ ආගමික අනන්‍යතා මුල් කොට ගනිමිනි. එක් භාෂාවක් කතා කරන සහ එක් ආගමක් අදහන ජනයා එක් ජාතියක් නොහොත් රාජ්‍යයක් ලෙස සංවිධානය විය යුතුය යන්න එහි මූලික අදහසයි. ඇතැම් විට, භාෂාවන් කිහිපයක් පැවති තැන්වල අධිපතිවාදී ලෙස තනි භාෂාවක බලය ස්ථාපිත කරනු ලැබිණ. නිදසුනක් ලෙස, එක්සත් රාජධානිය තුළ ස්කොටිෂ් භාෂාව යටපත් කොට දමමින් ඉංග්‍රීසි භාෂාවේ ආධිපත්‍ය පිහිටුවනු ලැබිණ. එක්සත් ජනපදයේ ස්පාඤ්ඤ භාෂාව කතා කළ ප්‍රාන්තවලට ඉංග්‍රීසි භාෂාව භාවිතා කරන්නට බල කෙරිණ. බෙනඩික්ට් ඇන්ඩර්සන් නමැති විශිෂ්ට මාක්ස්වාදී න්‍යායවේදියා පෙන්වා දෙන පරිදි මෙසේ භාෂා-කේන්ද්‍රීය ජාතික අනන්‍යතා ගොඩ නැගීම විය හැකියාවක් බවට පත් වූයේ මුද්‍රණ යන්ත්‍රය නිර්මාණය කිරීමෙන් පසුවය. මුද්‍රිත දේවල් අළෙවි කළ හැකි නව වෙළඳපලක් යුරෝපය තුළ ගොඩ නැගෙමින් තිබිණ. ඔහු එය නම් කරන්නේ “මුද්‍රණ තාක්ෂණ ධනවාදය” යන යෙදුමින්ය. දේවල් මුද්‍රිතව එළි දැක්වීමේදී පොදුවේ පිළිගත හැකි ප්‍රමිතිගත භාෂාවක් අවශ්‍ය වේ. ඒ අනුව, භාෂාවන් ප්‍රමිතිගත කිරීමේ ව්‍යාපෘතියක්ද ඇති විය. ඒ යටතේ ප්‍රාදේශීය ජන භාෂාවන් යටපත් වී ගොස් මහා සම්මත ලිඛිත භාෂා සම්ප්‍රදායන් ඉස්මතු විය. එම භාෂාවන් ව්‍යවහාර කරන ජන කණ්ඩායම් තුළ භාෂා-කේන්ද්‍රීය අනන්‍යතා නොහොත් ඔහුගේ වචනයෙන් කිව හොත් පරිකල්පිත ප්‍රජාවන් (imagined communities) නිර්මාණය විය. නූතන ජාතිකත්වයන් ලෙස සංවිධානය වූයේ එම ප්‍රජාවන්ය.

එසේම වත්මනෙහි නූතන යුරෝපීය ජාතික රාජ්‍යයන් නිරාගමික ඒවා ලෙස හඳුන්වනු ලැබූවද, සැබවින්ම ආරම්භයේදී ජාතිය නිර්වචනය වීමේදී ආගමික අනන්‍යතාව ඉතාම වැදගත් විය. නූතන ජාතික රාජ්‍යයන් සැකසීමේ වැදගත් සංධිස්ථානයක් වූ 1648 වෙස්ට්ෆේලියන් ගිවිසුම මගින් පිළිගත් කාරණයක් නම් යම් යුරෝපීය රටක රජුගේ ආගම ජාතියේ ආගම වන්නේය යන්නයි. සැබවින්ම නෝර්වේ ඇතුළු ස්කැන්ඩිනේවියානු රටවල සිදු වූයේ එයයි. 19 වන සියවසේ අයර්ලන්ත ජාතිකවාදය නිර්වචනය වූයේ “ප්‍රොතෙස්තන්ත්‍ර බ්‍රිතාන්‍යයට එරෙහිව කතෝලික අයර්ලන්තය” යන පසමිතුරුතාව අනුවය. පෝලිෂ් ජාතිකවාදය තුළ කතෝලික භක්තිය ප්‍රමුඛත්වයක් ගත්තේය. මෙවන් නිදසුන් ඕනෑ තරම් ඉදිරිපත් කළ හැකිය.

බටහිර යුරෝපය සහ උතුරු ඇමෙරිකාව තුළ නූතන ජාතික රාජ්‍ය ක්‍රමය සැකසීමේ අනෙක් අංගය වූයේ ලිබරල් ප්‍රජාතාන්ත්‍රික මූලධර්ම අනුව දේශපාලනය සහ සමාජය සංවිධානය කිරීමයි. ලිබරල්වාදය විසින් ධනවාදී පුද්ගලික දේපළ අයිතිය තහවුරු කරනු ලැබිණ. එහිදී පුද්ගලික නිදහස ප්‍රධානත්වයෙහි ලා ගැනිණ. පුද්ගලික නිදහස පිළිගැනීම මගින් පැන නගින තවත් ලිබරල්වාදී මූලධර්මයක් නම් සමාජයීය බහු-විධත්වය පිළිගැනීමයි. පුද්ගලයන් විවිධ විසම බැවිනි. ඒ අතරම වාණිජවාදී යුගයේ සිට නැගෙමින් ආ නාගරික මධ්‍යම පංතිකයන්ගේ මූලික සටන් පාඨයක් වූයේ තම ආර්ථික කටයුතුවලට රාජ්‍යය මැදිහත් නොවිය යුතු බවයි. මන්ද යත්, ඔවුන් අත ආර්ථික බලය ගොණුව පැවතියද දේශපාලන බලය පැවතුණේ වෙනත් පංතියක් අත වීම නිසාය. මේ අනුව, පළමු වරට දේශපාලනික තලය සහ ආර්ථිකමය තලය එකිනෙකින් වෙන් කෙරිණ. රාජ්‍යයේ නොහොත් දේශපාලනයේ ඇඟිලි ගැසීම්වලින් නිදහස් වූ සමාජයීය අවකාශයක් පිළිබඳ මතය පැන නැගුණේ එසේය. එම සමාජයීය අවකාශය සිවිල් සමාජය ලෙස නම් කෙරිණ. රාජ්‍යයෙන් ආර්ථිකය වෙන් කිරීම තරමටම වැදගත් තවත් පරිවර්තනයක් වූයේ රාජ්‍යයෙන් ආගම වෙන් කිරීමයි. එය කළ යුතු වූයේ එතෙක් වැඩවසම් පාලන තන්ත්‍රය නියෝජනය කළ පල්ලියේ දේශපාලන බලය බිඳ හෙලීම සඳහාය. ඉන්පසුව ආගම පුද්ගලික දෙයක් වේය යන මතය දෘෂ්ටිවාදීව තහවුරු කෙරිණ. මේ අතර ප්‍රජාතන්ත්‍රවාදය විසින් සිදු කෙරුණේ නීති පැනවීමේ බලය ජනතාව සතු වේය යන මූලධර්මය ක්‍රියාවට නැගීමයි. එය ජනතා ස්වාධිපත්‍ය නම් වේ. එය ක්‍රියාවට නගනු ලබන්නේ ජනතා නියෝජනය මාධ්‍ය කොටගෙනය. මෙම ලිබරල් ප්‍රජාතාන්ත්‍රික අංගය මගින් ජාතිකවාදයේ අධිපතිවාදී ගතිකයන් (නිදසුනක් ලෙස සුළු ජනවර්ග සහ ආගමික කණ්ඩායම් පීඩනයට පත් කිරීම) යම් ආකාරයකට පාලනය කරගත හැකි විය.

මා මෙතෙක් කී දෙය සාරාංශ කළ හොත් මෙසේය; බටහිර යුරෝපයේ සහ උතුරු ඇමෙරිකාවේ නූතන ජාතික රාජ්‍යයන්වල එක් වැදගත් අංගයක් වන්නේ භාෂාමය සහ ආගමික අනන්‍යතා පදනම් කර ගැනීමය; අනෙක් වැදගත් අංගය වන්නේ ධනවාදය සහ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය අනුව දේශපාලන සහ ආර්ථික ජීවිතය සංවිධානය කර ගැනීමය. මේ දෙක එකිනෙකට පරස්පර වුවත් එකිනෙක සුසම්බන්ධ කිරීමට එම රටවල දේශපාලන නායකත්වයන් සමත්ව ඇත. නමුත්, මෙම අංගයන් දෙක පවතින්නේ නිතරම ආතතියක් සහ අස්ථාවරත්වයක් සහිතවය. එම අංගයන් අතර යම් තුලනයක් පවත්වා ගන්නේ කෙසේද? ඒ සඳහා ඇති ප්‍රධාන මාධ්‍යයක් වන්නේ පරිබාහිර සතුරන් සොයා ගැනීමයි. නූතන ජාතික රාජ්‍යයන්ට සතුරන් නොමැතිව පැවතිය නොහැකිය. නිදසුනක් ලෙස 18 වන සහ 19 වන සියවස්වලදී ප්‍රංශ ජාතිකයෙකු හොඳ ප්‍රංශුවානුවෙකු වීම සඳහා ඉංග්‍රීසින්ව පිළිකෙව් කළ යුතුව තිබිණ. (මෙහි විලෝමයද වලංගුය).

මෙම රටවල ලිබරල් ප්‍රජාතාන්ත්‍රික දේශපාලන පර්යාය අර්බුදයට පත් වන විට ආගමික සහ භාෂාමය අනන්‍යතා මුල් කොටගත් අධිපතිවාදී ප්‍රවණතා හිස එසවීම විය හැකියාවක් වන්නේ ආගමික සහ භාෂාමය නොහොත් ජනවාර්ගික පදනම් එම සමාජයන්හි සැකැස්ම තුළම පවතින බැවිනි. එහෙයින් බොහෝ විට ධනවාදයේ අර්බුදයක් හමුවේ ලිබරල් ප්‍රජාතාන්ත්‍රික සැකැස්ම අස්ථාවරත්වයට පත් වන අතර, එවිට එතෙක් දේශපාලනිකව පාලනය කොට තිබූ ආගම්වාදී, ජනවාර්ගිකවාදී සහ වර්ගවාදී බලවේග පෙරට එයි. 1929 ආර්ථික අවපාතයෙන් පසුව නට්සිවාදී ජර්මනියේ සහ ෆැසිස්ට් ඉතාලියේ සිදු වූයේ එයයි. අන්ත-දක්ෂිණාංශික ජාතිකවාදය හිස ඔසවන වත්මන් යුරෝපයේ සහ එක්සත් ජනපදයේ සිදු වෙමින් පවතින්නේද එයයි.

බටහිර අනුකාරකවාදී ජාතියක් ගොඩ නැගීම

හොඳයි. අපි දැන් ශ්‍රී ලංකාව වෙතට හැරෙමු. මෙරට ධනවාදය සේම නූතන ලිබරල් ප්‍රජාතාන්ත්‍රික දේශපාලන සැකැස්මද යටත් විජිතවාදයේ උරුමයකි. නමුත්, ලාංකීය ස්වදේශිකයන් මෙම යටත් විජිත උරුමයන් වැළඳ ගනු ලැබුවේ වින්දිතයන් හෝ එයට ගොදුරු වූවන් ලෙස නොවේ. ඔවුන්ද ඉතිහාසයේ කතෘකයන් ලෙස සක්‍රීයව මැදිහත් වී එම උරුමයන් පරිවර්තනයට ලක් කළහ. ඒවා ස්වදේශිකකරණය කර ගත්හ. නමුත්, ඇතැම් විට ඔවුන් යටත් විජිත උරුමයන් අනුකරණයද කළහ.

මගේ අදහස නම් විශේෂයෙන්ම සිංහල බෞද්ධ ජාතිකවාදය සහ දෙමළ ජාතිකවාදය ජාතිය සහ ජාතික රාජ්‍යය පිළිබඳ බටහිර මොඩලය අනුකරණය කළ ධාරාවන් දෙකක් බවයි. ඒ අතුරිනුත් වඩාත් අනුකාරකවාදී ධාරාව වන්නේ සිංහල බෞද්ධ ජාතිකවාදයයි. මන්ද යත්, එම ධාරාව පදනම් වන්නේ එක් භාෂාවක් කතා කරන සහ එක් ආගමක් අදහන ජනයා මුල් කොටගත් ජාතියක් නොහොත් රාජ්‍යයක් ගොඩ නැගිය යුතුය යන ප්‍රවාදය මත බැවිනි. (ජාතික ගීය සිංහලෙන් පමණක් ගායනා කළ යුතුය යන ස්ථාවරයෙන් කියැවෙන්නේ එයයි). මේ වනාහී ජාතික රාජ්‍යය ගොඩ නැගීම සම්බන්ධයෙන් 18 වන සහ 19 වන සියවස්වලදී යුරෝපය තුළ පැවති ප්‍රවාදයයි. වෙනසකට ඇත්තේ මෙසේ ගොඩ නගන ජාතියට පරිබාහිර සතුරෙකු වෙනුවට රට තුළම වෙසෙන එනම් අභ්‍යන්තර සතුරෙකු සොයා ගනු ලැබීමයි. තවද, මෙම ධාරාව බටහිර යුරෝපයට වෙනස්ව ලිබරල් ප්‍රජාතාන්ත්‍රික දේශපාලන සැකැස්ම පිළිබඳව එතරම් විශ්වාසයක් නොතබයි. ඒ අරුතින් එය වඩාත් සමීප වන්නේ සමකාලීන අන්ත-දක්ෂිණාංශික ජාතිකවාදී ප්‍රවණතා වලටය. දෙමළ භාෂාව කතා කරන ජනයාට වෙනම රාජ්‍යයක් අවශ්‍යයි යන ස්ථාවරය දරන දැඩි මතධාරී දෙමළ ජාතිකවාදයද අනුයන්නේ මේ මගයි.

දැන් පැන නගින ගැටළුව නම් ජාතිය ගොඩ නැගීම සම්බන්ධයෙන් බටහිර අනුකාරකවාදී නොවන ආදර්ශයක් පවතීද යන්නයි. ඉන්දීය ඉතිහාසඥ රාමචන්ද්‍ර ගුහා පවසන්නේ ගාන්ධි සහ නේරු නායකත්වය දුන් ඉන්දියාවේ නිරාගමික සහ බහුත්වවාදී ජාතිය ගොඩ නැගීමේ ව්‍යාපාරය එවැන්නක් බවයි. ශ්‍රී ලංකාවේ වාමාංශය අඩු තරමින් 1960 දශකය දක්වා අනුගමනය කොට පසුව අත හැර දමනු ලැබුවේ මෙම බටහිර අනුකාරකවාදී නොවන ආසියාතික ආදර්ශයයි. ඒ ගැන ලබන සතියේ සාකච්ජා කරමු.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.