27 April, 2024

Blog

බැසිල්ගේ “කණ කොක් සුදට” විමල් වීරවංශගේ කැමැත්ත “දේශපාලනික” ද?

කේ.ජී.පිලිප් ශාන්ත

කේ.ජී.පිලිප් ශාන්ත

කේ.ජී.පිලිප් ශාන්ත

හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ එක්සත් ජනතා නිදහස් සංධානයේ විමතික කණ්ඩායමේ දේශපාලන බලය අල්ලා ගැනීමත් සමග එහි අභ්‍යන්තර අර්බූදය එළියට පැමිණ තිබේ. පසුගිය දා මාධ්‍ය හමුවක් පැවැත්වූ විමල් වීරවංශ විසින් බැසිල් රාජපක්ෂගේ දේශපාලනය සම්බන්ධයෙන් තම අදහස ප්‍රකාශ කළ අතර විවිධ මාධ්‍ය ඔස්සේ ද ඒ සම්බන්ධයෙන් වූ තවත් අදහස් පළ කෙරුණි. එසේම සිංහලබෞද්ධ ස්වෝත්තමවාදී පිරිස් බැසිල්ගේ ආගමනය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයන්හි එළිපිටම විවිධ අදහස් දක්වා තිබුණි.

විමතික කණ්ඩායමේ සිංහලබෞද්ධ ස්වෝත්තමවාදීන් දක්වන අදහස් අනුව ඔවුන් බැසිල් රාජපක්ෂගේ ආගමනයට එරෙහි වන්නේ ඔහු සිංහලබෞද්ධ මතවාදයට එරෙහි වන්නකු යන පදනමින් නොවේ. බැසිල් රාජපක්ෂ සිංහලබෞද්ධ මතවාදයට හානිකර නොවූවත් හොරකු, ද්‍රෝහියකු ලෙස ඔහු සම්බන්ධයෙන් ජනවිඥාණය තුළ පවතින මතය විමතිකයන්ගේ දේශපාලන ජනප්‍රියතාව අඩු කිරීමට හේතුවේ යැයි පවතින බිය බැසිල් රාජපක්ෂ ප්‍රතික්ශේප කිරීමට හේතු වී තිබේ.

එහෙත් බැසිල් රාජපක්ෂ කරලියට පැමිණ කරන්නා වූ දේශපාලනය විමතික කණ්ඩායමේ සිංහලබෞද්ධ ස්වෝත්තමවාදීන් ප්‍රතික්ශේප කළත් ඔහු “තිරයෙන් පිටුපස සිට කරන දේශපාලන මෙහේය” කිසිවකු විසින් ප්‍රතික්ශේප නොකිරීම වැදගත් කරුණකි. ඒ අනුව බැසිල් රාජපක්ෂ, රාජපක්ෂ රෙජීමයේ දේශපාලන යාන්ත්‍රණයේ සිටිමින් එහි දේශපාලන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ ලා කළ මෙහේය සිංහලබෞද්ධ ස්වෝත්තමවාදීහු තවමත් අගය කරති.

basil_thumb_medium500_බැසිල්ගේ ආගමනයට විමතික කණ්ඩායමේ සිංහලබෞද්ධ ස්වෝත්තමවාදීන් හැරෙන්නට එළිපිට එරෙහි වී ඇත්තේ වාසුදේව නානායක්කාර පමණි. ඔහුගේ විරෝධය ප්‍රතිපත්තිමය විරෝධයකි. වාසුදේව නානායක්කාර අවස්ථා කිහිපයක දීම ප්‍රකාශ කර ඇති පරිදි බැසිල් රාජපක්ෂගේ හා ගෝටාභය රාජපක්ෂගේ දේශපාලනය මහින්ද රාජපක්ෂගේ දේශපාලනයට කරන්නේ හානියකි. වාර්තාවන අන්දමට ඩලස් අලහප්පෙරුම ද බැසිල් රාජපක්ෂගේ දේශපාලන ආගමනයට එරෙහි අයෙකි. එහෙත් ඔහු තම මතය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර නොමැති නිසා එය ප්‍රතිපත්තිමය ගැටුමක් ද පෞද්ගලික ගැටුමක් ද යන්න තවමත් පැහැදිලි නොමැත. ඒ හැරෙන්නට බැසිල් රාජපක්ෂගේ ආගමනය සම්බන්ධයෙන් විමතික කණ්ඩායමේ සෙසු කොටස් වල ඒ හැටි විරෝධයක් දක්නට නොමැත. නමුත් බැසිල් රාජපක්ෂ “තිරය පිටුපස සිට කරන දේශපාලනය” සමබන්ධයෙන් සමස්තයක් ලෙස විමතික කණ්ඩායම තුළ පවතින්නේ වඩා ජන ප්‍රසාදයට පත්වූ ගෞරවයකි. ඒ අනුව සිංහලබෞද්ධ ස්වෝත්තමවාදීන් මෙන්ම විමතික කණ්ඩායමේ වාසුදේව නානායක්කාර හැරෙන්නට සෙසු සියළු දෙනා ද බැසිල් රාජපක්ෂගේ “තිරය පිටුපස දේශපාලනය” ගෞරයෙන් යුතුව ඉවසන අතර එය තම දේශපාලන ව්‍යාපාරය ශක්තිමත් කිරීමට හේතුවක් ලෙස ද දකී.

හොරකු හා ද්‍රෝහියකු ලෙස බැසිල් සම්බන්ධයෙන් ජනවිඥාණය තුළ පවතින මතය සිංහලබෞද්ධ ස්වෝත්තමවාදීන්ට තීරණාත්මක සාධකයන් නම් අලුත්ගමගේලා, ජොන්ස්ටන් ප්‍රනාන්දුලා හා රෝහිත අබේගුණවර්ධනලා මෙන්ම ඩිව් ගුණසේකරලා හා වාසුදේව නානායක්කාරලා සම්බන්ධයෙන් ද ජනවිඥාණය තුළ පවතින මතය අනුව තීරණාත්මක විරෝධයක් තිබිය යුතුය. ඔවුන් සම්බන්ධයෙන් එවැනි විරෝධයක් දක්නට නොමැති අතර බැසිල් රාජපක්ෂ සම්බන්ධයෙන් ස්වෝත්තමවාදීන් එවැනි තීරණයක ඉන්නේ විමතික දේශපාලනයේ බලය ආක්‍රමණය කිරීමට තරම් බැසිල් රාජපක්ෂ ශක්තිමත් නිසා යැයි නොඅනුමානව කිව හැකිය. ඔහුගේ නායකත්වයට යටත් වන විමතික දේශපාලනයක් තුළ සිංහලබෞද්ධ ස්වෝත්තමවාදීන්ට ඒ හැටි ශක්තියක් නොලැබේ. ඒ නිසා විමල් වීරවංශගේ පාර්ශ්වය මුළු වැර යොදා බැසිල් රාජපක්ෂට පහරදීමට කරලියට පැමිණ තිබේ.

රාජපක්ෂ රෙජීමය මුළුමනිම රැදී තිබුනේ රාජපක්ෂ පවුලේ සහෝදරයන් සිව්දෙනකු මතය. හිටපු කතානායක චමල් රාජපක්ෂ සෙසු සහෝදරයන් හා මනාව පෑහුණ චරිතයක් නොවූ නිසා රෙජීමයේ ක්‍රියාකාරීන් ලෙස ඉස්මත්තට ආවේ රාජපක්ෂ සහෝදරවරු තිදෙනෙක් පමණි. ඒ අතුරින් බැසිල් රාජපක්ෂ දේශපාලනික වශයෙන් සංකේතීය වැදගත්කමක් තිබූ චරිතයකි.

බැසිල් යූඑන්පීකාරයෙක්?

1977 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා ලෙස මුල්කිරිගල ආසනයට තරග කළ ඔහු පරාජයට පත්වූ අතර පසුව එවකට ජනාධිපති ජේ. ආර්. ජයවර්ධනගේ දේශපාලන ව්‍යාපෘතිය ශක්තිමත් කිරීමට ඉදිරිපත් වුණි. ඒ අනුව 1982 දී පැවැත්වූ අපකීර්තිමත් ජනමත විචාරණයේ දී එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් දේශපාලන ප්‍රචාරණ ව්‍යාපාරයට බැසිල් රාජපක්ෂ පූර්ණ සහාය දුන්නේ එජාප සාමාජිකයකු ලෙස ය. 1983 දී පැවැති මුල්කිරිගල අතුරු මැතිවරණයේ දී තම ජේෂ්ඨ සහෝදරයා වන චමල් රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා ලෙස තරග කරද්දී බැසිල් රාජපක්ෂ එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ නියෝජිතයකු ලෙස සේවය කරමින් එජාප අපේක්ෂක ආනන්ද කුලරත්නට සහාය දැක්වීය. හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාසට එරෙහිව ආ දෝෂාභියෝග යෝජනාව බල රහිත වන තුරු, එක්සත් ජාතික පක්ෂයේ පතාක යෝධයකු වූ ගාමිණී දිසානායක යටතේ කටයුතු කළ බැසිල් රාජපක්ෂ අනතුරුව ඇමෙරිකා එක්සත් ජනපදය බලා නික්ම ගියේය.

2005 දී නැවත ශ්‍රී ලංකාවට පැමිණ තම සහෝදර එවකට ජනාධිපති මහින්දගේ රාජපක්ෂගේ ජේෂ්ඨ උපදේශකයකු ලෙස පත්වනතුරු බැසිල් රාජපක්ෂ වාසය කළේ ඇමෙරිකා එක්සත් ජනපදයේ ය. බැසිල් රාජපක්ෂ සම්බන්ධයෙන් වන විකිපීඩියා ගිණුමේ සදහන් වන්නේ ඔහු ඇමෙරිකා එක්සත් ජනපදයේ මෙන්ම ශ්‍රී ලංකාවේ ද ද්විත්ව පුරවැසියකු බවයි. 2015 ජනාධිපතිවරණයේ දී තම සහෝදරයා පරාජය වූ පසු සිය බිරිද සමග එක්සත් ජනපදයට පහසුවෙන් පළා යන්නට හැකිවන්නට ඇත්තේ ද මේ ද්විත්ව පුරවැසිභාවය නිසා විය හැකිය. තමන්ද නියමුවකු වූ දේශපාලන ව්‍යාපාරයක් මහජන චන්දයෙන් පරාජය වූ මොහොතක සෙස්සන් පාවා දී ආරක්ෂාව පතා පළා ගිය එම සිද්ධිය බැසිල් රාජපක්ෂගේ අපකීර්තිමත්භාවයට හොදම සාක්ෂියකි.

රාජපක්ෂ රෙජීමය ස්ථාවර වූ පසුව ජනාධිපතිවරයාගේ ජේෂ්ඨ උපදේශකවරයා ලෙසත් අනතුරුව ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙසත් බැසිල් රාජපක්ෂ රග පෑ භූමිකාව අතිශයෙන් විවාද සම්පන්නය. ඔහු අමාත්‍ය ධූරය දැරූ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය යටතට අතිවිශාල රාජ්‍ය ආයතන ප්‍රමාණයක් අයත්ව තිබූ අතර ඒ නිසාම විශාල රාජ්‍ය අරමුදල් ප්‍රමාණයක් හැසිරවීමේ බලය ද ලැබුණි. 2005 – 2015 කාල පරිච්ඡේදය තුළ ආණ්ඩුවේ සංවර්ධන ව්‍යාපෘති මුළුමනින්ම මෙහේය වූයේ බැසිල් රාජපක්ෂ යටතේ වූ මෙහෙයුම් බලයකිනි. ඒ නිසා රාජපක්ෂ රෙජීමයේ අතිවිශාල දේශපාලන ආධිපත්‍යයක් ඔහුට හිමි වුණි.

බැසිල්ගේ “තිරය පිටුපස ජවනිකා”

රාජපක්ෂ රෙජීමයේ දේශපාලන බලය ස්ථාවර කිරීමේ ලා ඔහු දැක්වූ දායකත්වය සුවිශාලය. විපාක්ෂික දේශපාලක බලවේගයන් අක්‍රිය කරමින් විපක්ෂ මන්ත්‍රීවරුන් ආණ්ඩු පක්ෂයට නම්මා ගැනීමේ “දේශපාලන මෙහෙයුම්” දියත් කළේ බැසිල් රාජපක්ෂ විසිනි. ඒ අනුව එම කාල පරිච්ඡේදය තුළ අර්බූදයට ලක්වූ දේශපාලන පක්ෂයක් නොවූ තරම් ය. ඒ සියළු අර්බූදයන් ජනනය කිරීම පිටුපස බැසිල් රාජපක්ෂගේ ක්‍රියාකාරීත්වය තීරණාත්මක වුණි. ප්‍රජාතන්ත්‍රවාදී පරිසරයක කටයුතු නොකර බලය හා මුදල් වල ක්‍රියාකාරීත්වය මගින් විපාක්ෂිකයන් භේද බින්න කර ආණ්ඩු පක්ෂය ස්ථාවර කර ගැනීමේ අපකීර්තිමත් යුගයක් මීට පෙර ඉතිහාසයේ නොවූ තරම් ය. ඒ සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ “තිරය පිටුපස සිට කළ දේශපාලනය” සුවිශාල ය.

අන්තර් ජාතික බලවේගයන් හා කටයුතු කිරීමේ දී ද බැසිල් රාජපක්ෂගේ මැදිහත්වීම සුවිශාල විය. විශේෂයෙන් ඉන්දියාව හා ඇමෙරිකා එක්සත් ජනපදය සමග දේශපාලන ගනුදෙනු බේරා ගැනීමේ දී බැසිල්ගේ මැදිහත්වීම කැපී පෙනෙන සුළු වූ බව දක්නට ලැබුණි. ඒ යුගයේ මාධ්‍ය විසින් වාර්තා කර තිබුනේ බැසිල් රාජපක්ෂට ඉන්දියාවේ සිටි ව්‍යාපාරික මිතුරන් මාර්ගයෙන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වූ ඉන්දීය මධ්‍යම ආණ්ඩුවේ ස්ථාවරය හැසිරවීම පහසු වූ බවය. ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ, ඉන්දීය ප්‍රභූන්ගේ නිවාස හා හෝටලයන්හි පැවැති සාද බැසිල් රාජපක්ෂගේ “තිරය පිටුපස දේශපාලනය” ක්‍රියාත්මක වූ ස්ථානයන් වුණි. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වූ ඇමෙරිකා එක්සත් ජනපදයේ ස්ථාවරය හැසිරවීමේ දී ද බැසිල් රාජපක්ෂ තීරණාත්මක චරිතයක් වූයේ ව්‍යාපාරික මිතුරන් දැක්වූ සහාය නිසා බව කොළඹ දේශපාලන කවයන් තුළ සාකච්ඡාවට ලක්වුණි.
වාසුදේව නානායක්කාර හැරෙන්නට විමතික කණ්ඩායමේ සෙසු අය මොන වැරදි තිබුනත් බැසිල් රාජපක්ෂගේ “තිරය පිටුපස දේශපාලනයට” ආශක්ත වී ඇත්තේ ඔහු කෙක්කෙන් හෝ කොක්කෙන් හෝ රාජපක්ෂ රෙජීමය ශක්තිමත් කිරීමට දැක්වූ දායකත්වය නිසා විය හැකිය. විමතික කණ්ඩායමේ සිංහලබෞද්ධ ස්වෝත්තමවාදීන් පවා බැසිල්ගේ “තිරය පිටුපස දේශපාලනයට” මහත් ඇල්මක් දක්වමින් කටයුතු කරන්නේ එනිසා විය හැකිය. එහෙත් ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් අනුව සලකා බැලූ විට බැසිල් රාජපක්ෂගේ “තිරය පිටුපස දේශපාලනය” මුළුමනින්ම පදනම් වී ඇත්තේ අපකීර්තිමත් කටයුතු වලින් බව විමතිකයන් තේරුම් නොගැනීම විමතික දේශපාලනයේ තාර්කික ප්‍රථිපලයක් නිසා විය යුතුය.

ප්‍රජාතන්ත්‍රවාදයෙන් ඔබ්බේ වූ විමතික දේශපාලනය

මහින්ද චින්තන දේශපාලන සංස්කෘතිය පදනම් වී තිබුනේ ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් මත නොවේ. ඒ දේශපාලනයේ දෘෂ්ඨිය සිංහලබෞද්ධ ස්වෝත්තමවාදය මතින් ගොඩනැංවී තිබුණ අතර එය පවත්වාගෙන යෑමේ ක්‍රමය ෆැසිස්ට්වාදය වුණි. ඒ නිසා කොක්කෙන් හෝ කෙක්කෙන් හෝ බලය පවත්වාගෙන යෑම සදහා “දේශපාලන ඩීල් දැමීම” වැදගත් වේ. බැසිල් රාජපක්ෂගේ “තිරය පිටුපස දේශපාලනය” සිංහලබෞද්ධ ස්වෝත්තමවාදීන්ට ප්‍රියජනක වී ඇත්තේ ද ඒ පදනමින් විය යුතුය. බැසිල්ගේ “තිරය පිටුපස දේශපාලනය” තුළ ඇමෙරිකා එක්සත් ජනපදය හා ඉන්දියාව සමග ඔහු දැමූ “දේශපාලන ඩීල්” ස්වෝත්තමවාදීහු ඉතා ප්‍රිය කරති. එහෙත් ඉන්දියාවේ “රෝ” ඔත්තු සේවයත් එක්සත් ජනපදයේ “සී.අයි.ඒ.” ඔත්තු සේවයත් එකට එක්වී රාජපක්ෂ රෙජීමය කුමන්ත්‍රණකාරීව බලයෙන් පහ කළ බව නිතර කනස්සලෙන් පවසන ස්වෝත්තමවාදීහු ඒ ඔත්තු සේවා නඩත්තු කරන ඉන්දියාව හා එක්සත් ජනපදය සමග බැසිල් රාජපක්ෂ දැමූ “දේශපාලන ඩීල්” භක්තිමත්ව ඉවසීමත්, අගය කිරීමත් දේශපාලන පරස්පරයකි. ඒ තබා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පරාජය වූ වහා බැසිල් රාජපක්ෂ සෙස්සන් පාවා දී ඇමෙරිකා එක්සත් ජනපදයට පළා යෑම ප්‍රශ්න කිරීමට හෝ විමතිකයන් ඉදිරිපත් නොවීම දේශපාලන පරස්පරයකි.

සාමාන්‍යයෙන් දේශපාලන ව්‍යාපාරයක් පරාජය වූ පසුව යළි බලය ඉල්ලා කටයුතු කරන්නේ නම් තමන් එතෙක් කළ දේශපාලනය සම්බන්ධයෙන් පසු විපරමක් කිරීම ජයග්‍රහණයේ අනිවාර්ය සාධකයකි. රාජපක්ෂගේ දේශපාලන ව්‍යාපෘතියට එවැන්නක් අවශ්‍ය බවක් පෙනෙන්නට නොමැත. තමන් දස වසරක් තිස්සේ කළ කී දේශපාලන අපචාරයන් එසේම තිබිය දී සම්මුතික ආණ්ඩුව විවේචනය කිරීම පමණක් ඔවුන්ගේ බලය සදහා යන ගමනේ එකම තුරුම්ප්පුව බවට පත්ව තිබේ. ඒ අනුව පැහැදිලි වන්නේ රටට අලුත් ආරක දේශපාලන ව්‍යුහයක් අවශ්‍ය බව ඔවුන් තේරුම් ගෙන නොමැති බවකි. සම්මුතික ආණ්ඩුව කරන දේශපාලන අපචාරයන් විවේචනයට ලක් කළ යුත්තේ අලුත් දේශපාලන පරිසරයක් නිර්මාණය කර ගැනීමට වුවත් විමතිකයන් එලෙස කරන්නේ හුදු බල අරගලය සදහා පමණක් බව මනාව පැහැදිලි වේ. බැසිල් රාජපක්ෂගේ “තිරය පිටුපස දේශපාලනයට” විමතිකයන් තවමත් දක්වන ඇල්මෙන් ඔප්පු වන්නේ එයයි.

සම්මුතික ආණ්ඩුවේ දේශපාලන අපචාරයන්ට විකල්පයක් වන්නේ යහපත් දේශපාලන සංස්කෘතියක් ගොඩනගා ගැනීම මිසක් නැවත රාජපක්ෂ දේශපාලනය ජයග්‍රහණය කරවීම නොවන බව විමතිකයන්ම සාක්ෂි දැරීම ප්‍රශස්ත ක්‍රියාවකි. දේශපාලන බලය ලබා ගත් පසුව රාජ්‍ය ප්‍රජාතන්ත්‍රීයකරණය කරමින් මිනිස් නිදහසට ගැලපෙන ලෙස ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණයන් කළ යුතු බවට වූ අලුත් දේශපාලන වැඩපිළිවෙලක් ගැන තවමත් ඔවුන් අවධානය යොමු කර නොමැත. ඒ නිසා මේ මොහොතේ දී ත් උත්සාහ කරන්නේ කොක්කෙන් හෝ කෙක්කෙන් හෝ බලය ඩැහැගෙන පෞද්ගලික මූල්‍යමය ව්‍යාපෘති ජයග්‍රහණය කර ගැනීමට මිස දේශපාලන ව්‍යුහයේ වෙනසක් කිරීමට නොවේ. බැසිල් රාජපක්ෂගේ “තිරය පිටුපස දේශපාලනයට” සිංහලබෞද්ධ ස්වෝත්තමවාදීන් තවමත් දක්වන රුචිය මගින් සමාජයට ලබාදෙන පණිවුඩය එයයි.

*Shan.info1978@gmail.com

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.