Colombo Telegraph

සිංහල සමාජයේ තෝරා ගැනීමට රතුපස්වලින් රතු සංඥාවක්

කේ.ජී.පිලිප් ශාන්ත

කේ.ජී.පිලිප් ශාන්ත

ඒ 1989 බියකරු දිනක උදෑසනකි. මගේ සීයාට දිය නෑම සදහා සහාය වෙමින් සිටිනා විට එතැනට ආ සීයාගේ මිත්‍රයකු ශෝකජනකව කී ආරංචියක් වූයේ අසල ගමක  ටයර් සෑයක මිනිස් ශරීරයක් පිළිස්සෙන බවකි. අගපසග වලින් වයස තිහක පමණ කොල්ලෙකුගේ යැයි සිතිය හැකි යැයි කියමින් මරණය ගැන හේ කම්පා වුණි. ඔහු නික්ම ගිය පසුව සීයා මට පැවසුවේ “මිනිහ ඉතින් ශ්‍රී ලංකකාරයානෙ, අතිනුත් දාල ඔය කියන්නෙ, ඕකුන් පුච්චල මදි” යැයි ලෙසිනි.

මගේ සීයා ඒ වනවිට යූඑන්පීකාරයකු වූ අතර ඉතිහාසය පුරා ඔහු හුරේ තබා තිබුණේ බලපුලුවන්කාර දේශපාලනඥයන්ටය. හේ හැටේ දශකයේ දී ගම්සභාවේ උප සභාපතිවරකු වූ අතර ඒ කාලයේ ඔහුගේ වීරයන් වී තිබුණේ බලපුලුවන්කාර, මර්දනීය හා සල්ලිකාර දේශපාලකයන් මිස ප්‍රජාතන්ත්‍රවාදී පරිසරයක කටයුතු කළ දේශපාලකයන් නොවේ. ඒ නිසා ඔහුට තිබුනේ කෙසේ හෝ ආණ්ඩුව රැක ගැනීමේ අවශ්‍යතාවකි. ඒ නිසා ඔහුගේ මිතුරාට ශ්‍රී ලංකකාරයකු යැයි ලේබලය අලවා යූඑන්පී ආණ්ඩුවේ තරුණ ඝාතන සාධාරණීකරණය කිරීමේ මානසිකත්වයක් සීයා තුළ ගොඩනැංවී තිබුණි.

දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය ලෙසින් ජනතා විමුක්ති පෙරමුණ 1987 – 89 කාලයේ දී දියත් කළ ආණ්ඩු විරෝධී අරගලය තුළ යූඑන්පී ආණ්ඩුවේ හමුදාවන් මර්දනය දියත් කරන විට සිංහල ජනතාවගේ විඥ්ඥාණය වූයේ “ඕකුන් මරල පුච්චල මදි” යන අදහසකි. ඒ කැරළිකාරත්වය තුළ ඊට එකග විය නොහැකි අපමණ සාධක තිබුණත් ආණ්ඩුවේ ඝාතන සංස්කෘතිය සාධාරණීකරණය කිරීම ශිෂ්ඨ සම්පන්න කිසිවෙකුට කළ නොහැක්කකි. එහෙත් අවාසනාවකට ජන මනස ගොඩනැංවී තිබුණේ ඝාතනයන් අනුමත කරන ස්වරූපයකිනි. එම යුගය පසු කර යූඑන්පී ආණ්ඩුව පරාජය කරන තීරණාත්මක මොහොත වූ 1993 දකුණු පළාත් සභා මැතිවරණයේ දී පවා සමහර මිනිසුන් කටයුතු කළේ ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය අනුමත කරමිනි.

මිනිස් ඝාතක යූඑන්පී ආණ්ඩුව පරාජය කළ ඒ මැතිවරණයේ දී මගේ මිත්‍රයකු පොදු ජන එක්සත් පෙරමුණට ඡන්දය ඉල්ලා කරන්දෙනියේ එක් නිවසකට ගිය විට ලද අත්දැකීම ජනවිඥාණයේ ඒ අපූරු හැසිරීමට තවත් සාක්ෂියකි. තරුණ පුතුන් දෙදෙනෙකු පැහැරගෙන ගොස් මරාදමා තිබූ ඒ නිවසට මගේ මිතුරා ගොස් තිබුණේ ආණ්ඩු විරෝධී ඡන්ද දෙකක් ගැන විශාල බලාපොරොත්තුවකිනි. එහෙත් ආණ්ඩුවට විරුද්ධව ඡන්දය දීම ගෙහිමියා විසින් ප්‍රතික්ශේප කර තිබුණේ ” දරුවන් දෙන්න නැති වුනා තමයි, ඒත් උන් දෙන්න වෙනුවෙන් මෙහෙම හරි වන්දියක් ලැබුණෙ යූඑන්පී ආණ්ඩුව නිසයි” කියමිනි.

මිනිස් අයිතීන් හා සමාජ අගයන් ගැන නොතකමින් පුද්ගලික ලාභ අරමුණු තකා නරුමවාදීව සමාජ ප්‍රශ්න දෙස බැලීම සම්බන්ධයෙන් 1987 -1989 යුගය තරම් කදිම පැතිකඩක් පෙන්වන යුගයක් නොමැති තරම් ය. සටන් කළේ සිංහල තරුණයන් වනවිට ඒ සටන් මර්දනය කිරීමට කටයුතු කළේ සිංහල ආණ්ඩුවකි. මර්දනය සදහා යොදා ගත්තේ සිංහල හමුදාවකි. එහෙත් එකම ජාතියේ වූ පොදු සාධකය නොසලකා මර්දනයේ දී ත් ඒ මර්දනය සාධාරණීකරණයේ දී ත් සමාජය පදනම් වූයේ අශිෂ්ඨ චින්තන ක්‍රමයක් මතය. ඒ සම්බන්ධයෙන් මහා පොදු සාධකය ලෙස ඉස්මත්තට ආවේ ජන සමාජයේ අශිෂ්ඨත්වයයි. එය ඉක්මවා යෑමට සියල්ලන් සිංහල වීම හෝ සියල්ලන් බුද්ධාගමෙන් පෝෂණය වී තිබීම හෝ හේතු නොවුණි.

ආණ්ඩුවට එරෙහිව දෙමළ සටන්කාමීන් අවි අතට ගත් විට ඒ කැරැල්ල මර්දනය සදහා යෙදූ බලය හමුවේ දකුණේ සිංහල ප්‍රජාව සතුටුවීම අහඹුවක් නොවන්නේ එබැවිනි. එහිදී ඇතිවූ මහා විනාශයන් සියල්ලේ දී දකුණේ ජනයා ප්‍රීතීයෙන් කුල්මත් වූ අතර අතලොස්සක් පමණක් එහි ඇති ආදීනව ප්‍රකාශ කළත් දේශද්‍රෝහී ලේබලය අලවමින් හෝ මර්දනය කැදවමින් හෝ ඔවුන් පවා නිහඩ කරන ලදි. සමාජ ප්‍රශ්නයක් ඉදිරියේ දී වඩාත් සංවේදී විය යුත්තේ එම සමාජයේ බුද්ධිමත් තීරුව වුවත් සිංහල ප්‍රජාව තුළ බුද්ධිමතුන් වඩාත්ම නිහඩ වීම ලැජ්ජා සහගත විය. නො එසේනම් රාජ්‍යයේ මතවාදයම ශක්තිමත් කිරීමට බුද්ධිමතුන් ද කටයුතු කළේ නිහීන ලෙසිනි.

ශිෂ්ඨ සම්පන්න විසදුම් ප්‍රතික්ශේප කිරීම සදහා අනෙකාගේ අශිෂ්ඨත්වයට ඇගිල්ල දිගු කිරීම පෞර්ෂත්වයක් නොමැතිකමේ ලක්ෂණයක් වුවත් සමාජයක් ලෙස තෝරා ගත්තේ ඒ අශිෂ්ඨත්වයේ මාර්ගයයි. ඒ නිසා දකුණේ සමාජය එතිහාසිකව ගොඩනංවා ගත් සමාජ පුරුෂාර්ථයන් ද සමාජ අගයන් ද බිල්ලට දුනි. යම් තරමකින් හෝ සමාජය තුළ තිබූ ප්‍රජාතන්ත්‍රවාදී හරයන් හා මිනිස් අයිතීන් මේ වනවිට අහෝසී වී ඇති අතර ඒ වෙනුවට ප්‍රාථමික සමාජ ගති ලක්ෂණ තහවුරු වී තිබේ.

දැන් දකුණේ සමාජය ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලුවාට වැඩක් නැත. නීතිය හා සමාජ සාධාරණය ඉල්ලුවාට වැඩක් නැත. සාමය හා මිනිස් අයිතිවාසිකම් ඉල්ලුවාට ද වැඩක් නැත. ඒ සමාජ අගයන් හා මිනිස් අයිතීන් අතාර්කික බවට පත් කළේ දකුණේ සිංහල සමාජයේ සාමූහික කැමැත්තෙනි. උතුරට ලබාදීම ප්‍රතික්ශේප කළ සමාජ සාධාරණත්වය කෙසේවත් දකුණට ලැබෙන්නේ නැත. උතුරත් දකුණත් එකලෙසින්ම ධ්‍රැවීකරණය වී ඇත්තේ ඒකාධිපතිත්වයේ මතවාදයකිනි.

ප්‍රෝඩාකාරී විශ්‍රාම වැටුප එපා කියමින් උද්ඝෝෂණය කරන විටත් වැඩි වූ ඉන්ධන මිල අඩු කරන ලෙස උද්ඝෝෂණය කරන විටත් පානිය ජලය ඉල්ලා උද්ඝෝෂණය කරන විටත් ශිෂ්ඨ සම්පන්න විසදුම් ලබා නොදී ඒ සියළු උද්ඝෝෂණ රුධිරයෙන් හා යකඩයෙන් මර්දනය කරන්නේ ශිෂ්ඨ සම්පන්න සංස්කෘතියක සමාජයක් ලෙස අප ස්ථාන ගතව නොමැති බැවිනි.ඒ නිසා දැන් සමාජය ධ්‍රැවීකරණය වී ඇති අශිෂ්ඨ සංස්කෘතික ලක්ෂණ සැනෙන් අහෝසි කළ හැකි තරම් සරල යැයි කිසිවෙකුටවත් කිව නොහැක. මුළු එකක් ලෙස සමාජය ගත් විට එය අශිෂ්ඨ හා ප්‍රාථමික මට්ටමට ගමන් කර තිබේ. සමාජ සංස්ථාවේ සිතුම් පැතුම් මෙන්ම රාජ්‍යයේ පාලන දැති රෝද සකස් වී ඇත්තේ ඒ ඒකාධිපති අවශ්‍යතාවට ගැලපෙන පරිදි ය. ඒ නිසා පානිය ජලය ඉල්ලා මහ මගට බසින වැලිවේරියේ ජනතාවට වෙඩි උන්ඩ මිස මල් වරුසා ලැබේ යැයි සිංහල සමාජය බලාපොරුත්තු වීම දහවල සිහින දැකීමකි.

රටේ ජන මනස හා ආකල්පයන් ද රාජ්‍ය ව්‍යුහය ද සකස් වී ඇති ඒකාධිපති මොඩලයට ගැලපෙන ලෙස  බැවින් ඒවා වෙනස් නොකර සිංහල සමාජයට ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා සිටීම කුහකකමකි. එමෙන්ම තක්කඩිකමකි. ඒ නිසා පළමුව ජනමනස මෙන්ම ආකල්පයන් ද වෙනස් කර ගත යුතුය. දෙවනුව රාජ්‍යය ප්‍රතිසංවිධානය කර ගත යුතුය. ජාතික ප්‍රශ්නයට කල්පවත්නා විසදුමක් සොයා නොගන්නා තෙක් දකුණේ සමාජයට ද උතුරට වඩා වැඩි දෙයක් කිසිසේත්ම නොලැබෙන බව නම් ස්ථිර ය.

shan.info1978@gmail.com

Back to Home page