26 September, 2020

Blog

වැලිවේරියේ මර්දනය,සිංහල ජාතිකවාදයේ අර්බූදය හා දෘෂ්ඨිමය ඌනතා

කේ.ජී. පිලිප් ශාන්ත

කේ.ජී.පිලිප් ශාන්ත

සිංහල බෞද්ධයන්ගේ අයිතිවාසිකම් ගැන කොතෙක් කෑ ගැසූව ද කොතෙක් පෙනී සිටිනවා යැයි කීව ද වැලිවේරියේ ජනතා මර්දනයේ දී ඊට එරෙහි වූ හෝ බරපතල  ලෙස ඒ මර්දනයට එරෙහිව පෙනී සිටි හෝ සිංහල බෞද්ධ ස්වෝත්තමවාදී සංවිධානයක් නොමැති තරම් ය. සිංහල බෞද්ධ බහුතරයක් ජනතාව මුහුණ දුන් මේ මර්දනය හමුවේ නිහඩව සිටීමට  කිසිම ජාතිකවාදී සංවිධානයකට නොහැකි වුවත් රාජ්‍යයේ මතය වෙනුවෙන් පෙනී ඉන්නා මේ සංවිධානයන් ගොළුවීම තේරුම් ගත හැක්කකි.

රාජපක්ෂ රෙජීමය එල්.ටී.ටී.ඊ.යට එරෙහි යුද්දයෙන් ජය ගත්තේ සිංහල බෞද්ධ ස්වෝත්තමවාදය මතිනි. ඒ නිසා සිංහල සමාජයට අහිමි වූ පුරුෂාර්ථයන් ද සමාජ අගයන් ද බොහෝ ය. උතුරේ දෙමළ සමාජයට මූලික මිනිස් අයිතිවාසිකම් බොහොමයක් අහිමි කළේ දකුණේ ජන සම්මුතියෙනි. එහෙත් ඒ අශිෂ්ඨ ප්‍රවේශය දකුණ විසින්ම ප්‍රශ්න කිරීම ආරම්භ කළ හැරවුම් ලක්ෂය වූයේ වැලිවේරියේ මර්දනයයි.

සෙංචෝලේ ළමා සමූල ඝාතනය ඉවසූ දකුණේ සිංහල ප්‍රජාව අන්තර් ජාතික යුද නීතිය ගැන කතා කිරීමට පෙළඹුවේ වැලිවේරියේ මර්දනයයි. අවම බලය ගැන ද, පොලිසිය නොතකා හමුදාව ගෙන්වීම ගැන ද නිරායුද සිවිල් ජනතාවට වෙඩි තැබීම ගැනද කතා කරන්නට පෙඹුවේ වැලිවේරියේ මර්දනයයි. ඒ අර්ථයෙන් ලාංකික සමාජය එල්ටීටීඊය මර්දනයේ ලා තෝරා ගත් ප්‍රවේශය තමන් විසින්ම ප්‍රශ්න කරන්නට යොමු කළේ වැලිවේරියේ මර්දනයයි. රාජපක්ෂ රෙජීමය විසින් රාජ්‍යයේ මතවාදය බවට පත් කළ සිංහල බෞද්ධ ස්වෝත්තමවාදය දකුණේ සමාජය විසින් පළමුවරට ප්‍රශ්න කිරීමට ලක් කළ වැලිවේරියේ මර්දනය, ස්වෝත්ත්මවාදීන් විසින් නොදුටු නෙතින් නොඇසූ සවනෙන් යුතුව සිටීම ඒ අනුව අහබුවක් නොවේ.

රාජපක්ෂ රෙජීමය පරදා තමන්ගේ රෙජීමයක් බිහි කිරීමට බලාපොරොත්තු තබන විපක්ෂයේ බොහෝ පිරිස්  කතා කිරීමට මැලිවූයේත් බිය වූයේත් මෙන්න මේ සිංහල බෞද්ධ ස්වෝත්තමවාදයයි.  ඒ නිසා රෙජීමයේ මතවාදයට පහරදීම අමතක කරමින් හා ඒ හා එකග වෙමින් උපාය උපක්‍රමයන් පමණක් විවේචනය කරමින් විකල්ප දේශපාලනයක යෙදීමට ඔවුන් ගත් උත්සාහය අඩපණ වුණි. සමහරු රාජපක්ෂ රෙජීමයේ “දේශපාලන මොහොත” තේරුම් ගැනීමට නොහැකිව “ජාතිකත්වය ඉක්මවූ සිංහල බෞද්ධයකුගේ නායකත්වයෙන්” අලුත් ආණ්ඩු ගොඩනැංවීමට උත්සාහ ගත්තේ හාස්‍ය ඇති කරවමිනි. එහෙත් කාලය විසින් හා පෙල ගැස්වෙන ගතිකය විසින් රෙජීමයේ න්‍යායික පදනම අර්බූදයට යවමින් තිබීම අද දවසේ දේශපාලන නිමිත්ත බව ඉතා පැහැදිලි ය.

අන්තිම දෙමළාගේ හමෙන් මැසූ සපත්තුවක් පය ලන තුරු තමන්ට නින්ද යන්නේ නැතැයි කියූ එම් පී රාජරත්න සිංහළ බෞද්ධ ස්වෝත්තමවාදී වර්ගවාදය නියෝජනය කරමින් පාර්ලිමේන්තුව නියෝජනය කළේ හැටේ දශකයේ දී ය. දශකයන්ගෙන් නොව සහශ්‍රයන්ගෙන් ලෝකය වෙනස් වෙද්දී 2000 වර්ෂයේ පවත්වන ලද මහා මැතිවරණයෙන් එවැනිම සිංහළ බෞද්ධ ස්වෝත්තමවාදී වර්ගවාදයට පාර්ලිමේන්තු නියෝජනයක් ලැබුණි. එහි නායකයා ප්‍රධාන ධනපති පක්ෂ දෙකේම නියෝජිතයකු වූ තිලක් කරුණාරත්න වුවද සැබෑ න්‍යායධරයා වූයේ මහාචාර්ය නලින් ද සිල්වා හැදින්වූ පරිදි “සිංහල ප්‍රභාකරන්” කෙනෙකු වූ පාඨලී චම්පික රණවකයි.

2000 වර්ෂයේ මහා මැතිවරණයෙන් සිහල උරුමය ලැබූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය නීතීඥ එස් එල් ගුණසේකරට හිමි විය යුතු යැයි පක්ෂය තුළින් ආ යෝජනාව පාඨලී චම්පික රණවක විසින් ප්‍රතික්ශේප කිරීම එහි පළමු පිපිරීම විය. එස් එල් ගුණසේකර කදුළු පිරි දෙනෙතින් ඉකි ගසමින් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ තමන් සිංහල වුවත් කතෝලිකයකු වූ නිසා මන්ත්‍රී ධූරය තමන්ට අහිමි වූ බවය. සිංහලයකු වුවත් බෞද්ධයකු නොවේ නම් සිහල ජාතිකවාදයේ නියෝජනයට අවකාශයක් නොමැති බව එහි මතවාදී දෘෂ්ඨිවාදය තීරණය කිරීම මීට හේතුවයි. ඒ අනුව එය පක්ෂයක වූ හුදු පිපිරීමකට වඩා නව සහශ්‍රයේ හිස එසවූ සිංහළ බෞද්ධ ස්වෝත්තමවාදී ජාතිකවාදයේ මතවාදී පිපිරීමක් ලෙස හදුනාගත හොත් වඩා නිවැරදි වේ. ජාතිකවාදී ව්‍යාපාරයක් ආගම,කුලය හෝ වෙනත් බෙදීම් අනුව පරමාණුකරණය විය නොහැකි වුවත් සිංහල ජාතිකවාදී ව්‍යාපාරයට ආවේනික දෘෂ්ඨිවාදීමය ගැටළුවක් නිසා එය හැමවිටම බෙදී වෙන්වී යෑමට දැක්වූයේ වැඩි කැමැත්තකි.

1978 දී ගෝලීය ප්‍රාග්ධනය ශ්‍රී ලංකාව කරා එනවිට ජාතිකවාදී මතවාදයන් දැරූ සමාජ කොටස් ගොනුවී තිබුණේ ප්‍රධාන ධනපති පක්ෂ දෙක වටාය. ගෝලීය ප්‍රාග්ධනය එතෙක් ලාංකික සමාජයේ තිබූ සම්ප්‍රදායික සමාජ පුරුෂාර්ථයන්හි පදනම් වෙනස් කරමින් සිටී අතර ඒ කම්පනයන් දරා ගැනීමට අපහසු වූ සමාජය විමුක්තියේ නව මං සොයමින් සිටීයහ. විශේෂයෙන් සමාජයේ ආන්තික කොටස් තවදුරටත් ආන්තිකකරණයට ලක්වීම ද සම්ප්‍රදායි සමාජ ස්ථරයන්ට එල්ල වූ බලපෑම් ද නිසා සමාජය තුළ ගෝලීය ප්‍රාග්ධනයට එරෙහිව කදවුරු බැද ගැනීමක් සිදු වුණි. එහෙත් මේ වනවිටත් සමාජ සම්බන්ධතා ප්‍රති ව්‍යහගත වෙමින් තිබුණේ ප්‍රාග්ධනයට අවශ්‍ය ලෙසිනි. ඒ නිසා ගෝලීය ප්‍රාග්ධනය මුළුමනින්ම නොතකා කටයුතු කිරීමට සමාජයට නොහැකි වුණි. විශේෂයෙන්ම ධ්‍රැවීකරණය වෙමින් ආ අතරමැදි පන්තියට ගෝලීය ප්‍රාග්ධනයට එරෙහිව කටයුතු කිරීමට නොහැකි වූයේ එම සමාජ කොටස්වල පදනම සකස් වී තිබුණේ ගෝලීය ප්‍රාග්ධන ක්‍රියාකාරීත්වය මත බැවිනි. අනෙක අතර මැදි පන්තිය විශාල සීඝ්‍රතාවකින් වර්ධනය වී පුළුල් වූයේ ද ගෝලීය ප්‍රාග්ධන ක්‍රියාකාරීත්වය තුළය. ඒ නිසා අතරමැදි පන්තිය සමාජ විමුක්තිය සදහා ජාතිකවාදය මත පදනම් වෙමින් දේශපාලන ක්‍රියාකාරීත්වයක ගොනු වුණි.

ජාතිකවාදය එහි කෝෂාර්ථයෙන් අර්ථ දැක්වෙන්නේ ධනපති පන්තිය තුළය. ලෝකයේ සාර්ථක ජාතිකවාදී ව්‍යාපාරයක් ඇත්නම් එය පදනම් වී ඇත්තේ ධනපති පන්තිය මතය.නමුත් ගෝලීය ප්‍රාග්ධන ව්‍යාප්තිය හමුවේ තවදුරටත් පවුරු පදනම් තුළ සීමාවීමට ධනපති සමාජයට නොහැකි වුණි. පටු බෙදීම් ඉවත ලා ගෝලීය අරමුණක් වෙනුවෙන් පෙනී සිටීමට යෑමේ ප්‍රථිපලය වූයේ ජාතිකවාදී මතයන් දැරූ සමාජ කොටස් ලාංකික ධනපති පන්තිය හැර යෑමයි. ධනපති පන්තයෙන් ගිලිහී ගිය ජාතිකවාදී මතය දෝතීන් බදා ගත්තේ අතරමැදි පන්තිය වීම ලාංකික සමාජ අර්බුදයේ උභතෝකෝටීකයයි. යම් ජාතියක ස්වයං සංවර්ධනය වෙනුවෙන් පෙනී සිටීමේ ප්‍රයත්නය මතවාදීව සූත්‍ර ගත කිරීම එම ජාතියේ ජාතිකවාදයයි. ඒ අනුව පටු බේදයන් ඉක්මවා සමස්ත ජාතිය වෙනුවෙන් කටයුතු කළ හැක්කේ ධනපති පන්තියට පමණි. එම මතවාදය අතරමැදි සමාජ ස්ථර කරා ආ විට පන්ති ස්ථරයේ සමාජ වගකීම් එකිනෙකින් වෙනස් නිසා අතර මැදි පන්තිය කටයුතු කරන්නේ පුළුල් ජාතිකවාදය ඉක්මවා ගිය පරමාර්ථයෙනි. ඒ නිසා ජාතිකවාදය වර්ගවාදී අගු පිල් කරා ඇදී යෑමත් පටුවීමත් තාර්කිකය. ඒ අර්ථයෙන් ජාතිකවාදය යම් සමාජ කාර්යභාරයක් ඉෂ්ඨ කරන්නේ ධනපති පන්තියයේ ග්‍රහණයට එය ලක් වූ විට පමණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහි කිරීමට මූලික වූ මහනුවර මන්ත්‍රී එච් ශ්‍රී නිස්සංක සිංහල ජාතියේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටී අයෙකි. එසේම හොරණ මන්ත්‍රීවරයා වූ විල්මට් ඒ පෙරේරා ද දණ්ඩගමුව මන්ත්‍රීවරයා වූ අයි එම් ආර් ඊරියගොල්ල ද සිංහලයන් වෙනුවෙන් පෙනී සිටී දේශපාලකයන් ය. මේ මන්ත්‍රීවරුන් සැමදාම කතා කළේ සිංහල ජාතියේ අභිවර්ධනය වෙනුවෙනි. නමුත් ඔවුහු වෙනත් ජාතියක අයිතීන් කප්පාදුවක් වෙනුවෙන් කිසි දා පෙනී සිටීයේ නැත. ඒ නිසා පුරවැසිකම් පිළිබද විශේෂ විධි විධාන පනත ගෙන ආ විට ඊට මේ මන්ත්‍රීවරුන් එදා විරුද්ධ වූයේ අදාළ පනත මගින් නීතියේ මූලික පදනමට අභියෝග එල්ල වෙන බව ප්‍රකාශ කරමිනි. එම පනතට පක්ෂවෙමින් ද ඇති තරම් වර්ගවාදී පිළිකනුවල ලගිමින් ද කටයුතු කිරීමට මේ මන්ත්‍රීවරුන්ට හැකි වුවද ඔවුන් එසේ නොකළේ ඒ නිසා සිංහල ජාතියට විශේෂ වාසියක් අත් නොවන බව දන්නා බැවිනි.ඒ අර්ථයෙන් සිංහල ජාතිකවාදය අතීතයේ දී පදනම් වී තිබුණේ ධනපති සමාජ ස්ථරය අතර බව ප්‍රකාශ කළ හැකිය. ඒ නිසා ජාතිකවාදයේ හැසිරීමට, වඩා විදග්ධ පදනමක් තිබුණි. අද සිංහල ජාතිකවාදය පදනම් වී ඇත්තේ අතරමැදි පන්තිය මතය. ඒ නිසා එය සිංහල බෞද්ධ වර්ගවාදයක් ලෙස පෙනී යෑම පුදුමයක් නොවේ. එය මෙම යුගය තුළ ජාතිකවාදයේ දෘෂ්ඨිවාදී ගැටලුවකි.

සිංහල ජාතිකවාදී ව්‍යාපාරය පෙනී සිටීය යුත්තේ සිංහලයන්ගේ සැබෑ අයිතීන් හා උරුමය වෙනුවෙන් මිසක් අනෙකාගේ අයිතීන් හා උරුමයන් කොල්ල කා ගැනීමට නොවේ. ඒ අනුව ජාතියක් ලෙස නැගී සිටීමට අනෙකුත් සියළු බෙදීම් ඉවත ලා කටයුතු කළ යුතුය. එවැනි ජාතිකවාදී ව්‍යාපාරයක මතවාදී අවශ්‍යතාවක් සමාජය තුළ පවතින බව නොරහසකි. එහෙත් සිංහල ජාතිකවාදී ව්‍යාපාරය ශක්තිමත්ව නැගී සිටීමට නම් එය සිංහල ධනපති පන්තිය මත පෝෂණය වීම අනිවාර්යෙන්ම සිදුවිය යුතුය.

වැලිවේරියේ මහා විනාශය විසින් දකුණේ සමාජය තල්ලු කරමින් සිටින්නේ මේ දෙශපාලන ප්‍රතිසංස්කරණයන්ට බව ඉතා පැහැදිලි ය.

*shan.info1978@gmail.com

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.