26 April, 2024

Blog

අලුත් අවකාශයක් තුළ අලුත් ක්‍රමයක්

කේ.ජී.පිලිප් ශාන්ත –

කේ.ජී.පිලිප් ශාන්ත

කුප්‍රකට සිල් රෙදි නඩුව හෙවත් විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවේ අරමුදල් අවභාවිතා කර උපාසක උපාසිකාවන්ට සිල් රෙදි ලබාදීමේ නඩුව රාජ්‍ය සේවය තුළ පරමාදර්ශී නඩු තීන්දුවක් බව නොඅනුමාන ය. රජයේ සේවයේ ඉහළ නිලධාරියකු තම යටත් නිලධාරියාට ලබාදෙන නීත්‍යානුකූල නියෝගයන් පමණක් ඔහු විසින් පිළිපැදිය යුතුවීම සම්බන්ධයෙන් අධිකරණ තීන්දු කිහිපයක් ඇතත් මහජන නියෝජිතයන් ලබාදෙන උපදෙස් හෝ නියෝගයන් හෝ සම්බන්ධයෙන් රජයේ ඉහළ නිලධාරීන් කටයුතු කළ යුතු අන්දම ගැන අධිකරණ තීන්දු ලබා දී නොමැත. එහෙත් සිල් රෙදි නඩු තීන්දුව අනුව එවැනි අවස්ථාවක දී ගුරුකොට ගත හැකි පරමාදර්ශයක් නිර්මාණය වී තිබීම සතුටට කරුණකි.

ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය අනුව නඩුකරයක විභාගය කෙරෙන්නේ විමර්ශනාත්මකව නොවේ. අධිකරණය ඉදිරියට ඉදිරිපත් වන සාක්ෂි මත පදනම් වෙමින් අපක්ෂපාතීව නඩුව සම්බන්ධයෙන් තීන්දුවක් ලබා දේ. එවිට තීන්දුවට පාදක වන්නේ ඉදිරිපත් වන සාක්ෂි පමණි. සාක්ෂි වලින් ඔබ්බෙන් වන කරුණු කාරණා සම්බන්ධයෙන් අධිකරණය සලකා බලන්නේ නොමැත. එවැනි සලකා බැලීමක් රෝම ලන්දේසි නීතියේ සම්ප්‍රදායට එකග නැත. ඒ අර්ථයෙන් මහාධිකරණය විසින් සිල් රෙදි නඩුකරය සම්බන්ධයෙන් ලබා දී ඇති නඩු තීන්දුව අගය කළ යුතුය. මේ නඩු තීන්දුව අධිකරණයට ගෞරව බහුමානයෙන් යුතුව පිළිගත යුතුය. අධිකරණය තම වපසරිය තුළ උපරිම සාධාරණය යුක්තිය සදහා ඉටුකර ඇත.

එක් අවස්ථාවක අධිකරණය විසින් විත්තිකරුවන්ගෙන් ප්‍රශ්න කරන විට විත්තිකරුවෝ නිහඩව සිටිති. ඒ අවස්ථා වේ දී අධිකරණය විමසන්නේ රාජ්‍ය සේවයේ ආයතනික නීති සංග්‍රහයන් උල්ලංඝනය කරමින් විත්තිකරුවන්ගේ හෝ වෙනයම් අයකුගේ හෝ පෞද්ගලික අවශ්‍යතාව මත අයථා ලෙස එම මුදල් යෙදවූවාද යන්න ය. එම විමසුම අගය කළ යුතු අතර මෙවැනි නඩුකරයක දී අතිශය වැදගත් වන තවත් පැත්තක් හෙළිදරව් වන විමසුමකි. එහෙත් ලංකාවේ නීති සම්ප්‍රදාය තුළ ඒ මගෙහි තවදුරටත් ඉදිරියට ගොස් විමර්ශනාත්මක ලෙස නඩුව සලකා බැලිය නොහැක.

යම් හෙයකින් ඉන්දියාව වැනි රටවල පවතින නීති සම්ප්‍රදායට අනුව ශ්‍රී ලංකාවේ අධිකරණ ක්‍රියාවලිය ද ක්‍රියාත්මක වූවා නම් විදුලි සංදේශ නියාමන කොමිෂමේ මුදල් අවභාවිතා කිරීමට රජයේ නිලධාරීන්ට උපදෙස් ලැබුනේ කාගෙන් ද යන්න විමර්ශනය කර එම නීත්‍යානුකූල නොවන ක්‍රියාව පිටුපස සිටි දේශපාලකයන්ට ද අධිකරණ ක්‍රියාදාමයකින් පසුව දඩුවම් කළ හැකිව තිබුණි. ජනාධිපති ලේකම්වරයාත් විදුලි සංදේශ නියාමන කොමිෂමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාත් ඒ ඒ ආයතනයන්හි ප්‍රධාන ගණන්දීමේ නිලධාරීන් වුවද ඔවුන් ජනාධිපතිවරයාගේ නියෝගයට යටත්විය යුතු නිසා නීත්‍යානුකූල නොවන නියෝගයක් ජනාධිපතිවරයා විසින් අදාළ නිලධාරීන්ට ලබා දී තිබේදැයි විමසා බැලීම අවශ්‍යයෙන්ම කළ යුක්තකි.

මහ බැංකුවේ සිදුවූයේ යැයි පැවසෙන බැදුම් කර වංචාව සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කර ඇති ජනාධිපති විමර්ශන කොමිෂම එවැනි විමර්ශනාත්මක පරීක්ෂණයක් පවත්වමින් සිටී. එනිසා පවතින සාක්ෂි වලින් ඔබ්බට ගොස් සිදුවූ දෑ විමර්ශනය කරන්නට එම කොමිෂමට බලය පවතී. එනිසා ලැබෙන සාක්ෂි වලින් හෙළිවන කරුණු මත කොමිෂම පරීක්ෂණ පවත්වයි. ඒ නිසා බැදුම්කර වංචාවේ සියළු කරුණු හෙළිදරව් වෙමින් පවතී.

එවැනි විමර්ශනාත්මක පරීක්ෂණයක් කළ හැකි ජනාධිපති කොමිෂමක් මේ සම්බන්ධයෙන් ද පත් කළා නම් ජනාධිපති ලේකම්ව සිටි ලලිත් වීරතුංග හා විදුලි සංදේශ හා නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිටට රාජ්‍ය මුදල් අවභාවිතා කිරීමට යමෙකුගෙන් අත්හල නොහැකි උපදෙස් හෝ නියෝගයන් හෝ ලැබුනාදැයි සොයා බලා විමර්ශනය කිරීමට හැකියාව තිබුණි. එලෙස විමර්ශනාත්මක පරීක්ෂණයක් නොකිරීම නිසා මෙවැනි අපරාධ ගණයේ ලා වූ වරදකට වරදකරුවන් වී දඩුවමකට යටත් වන්නේ නියෝගය හෝ අවශ්‍යතාව හෝ ක්‍රියාවට නැගූ නිලධාරියා හෝ නිලධාරීන් හෝ පමණි. එය වරදක එක් පාර්ශ්වයකට පමණක් දඩුවම් ලබාදීමකි. නමුත් පුළුල් අර්ථයෙන් ගත්විට සමාජ සංවේදී මෙවැනි නඩුකරයක වරදට සම්බන්ධ මහජන නියෝජිතයාව ද සොයා බලා දඩුවමට යටත් කරන්නේ නම් එය වඩා යුක්ති සහගත ය.

විශේෂයෙන් රාජ්‍ය පාලනයේ දී සිදුව ඇති දූෂණ, වංචා හා සොරකම් සම්බන්ධ නඩුකර වල දී හා දේශපාලන කටයුතු වල දී සිදුවන මනුෂ්‍ය ඝාතනයන්හිදීත් විමර්ශනාත්මක පරීක්ෂණ අතිශයෙන් වැදගත් ය. එවිට රාජ්‍ය නිලධාරීන් වරදට පොළඹවන දේශපාලකයන්ව සොයා බලා දඩුවමකට යටත් කළ හැකිය. නමුත් බොහෝවිට සිදුවන්නේ දේශපාලකයන්ගේ නියෝගය හෝ අවශ්‍යතාව ක්‍රියාවට නැංවූ රජයේ නිලධාරියා හෝ නිලධාරීන් පමණක් නීතියට යටත්වීමයි. ඊට උපදෙස් හෝ නියෝග හෝ ලබාදුන් දේශපාලකයාට එරෙහිව කිසිවක් සිදු නොවේ.

උසස් රාජ්‍ය නිලධාරීන්ට ආචාර ධර්ම පද්ධතියක් තිබේ ද?

තම නිලධාරීන් දෙදෙනකු කුප්‍රකට සිල් රෙදි නඩු තීන්දුව සම්බන්ධයෙන් දඩුවමකට ලක් වුනත් ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය මෙතෙක් කිසිවක් ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ කර නොමැත. එම දෙදෙනා සාමාන්‍ය රජයේ නිලධාරීන් දෙදෙනකු නොවන අතර එක් අයකු ජනාධිපති ලේකම්වරයා ය. අනෙකා ජෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකි. එසේම රජයේ දීප ව්‍යාප්ත සේවාවන්හි වෙනත් කිසිම සේවා සංගමයක් ද මෙතෙක් ඒ සම්බන්ධයෙන් තම අදහස පළකර නොමැත. මේ සියළු සේවාවන්හි නිද්‍රාසහගතභාවයෙන් පැහැදිලි වන්නේ රාජ්‍ය සේවාව සම්බන්ධයෙන් ඉහළ රජයේ නිලධාරීන්ට ඇති අසංවේදීතාවයි. පොදු  සමාජයේ ඉහළින් කැපී පෙනන වෘත්තීයවේදී සංවිධාන පවා ඝෘජුව තමන්ට සම්බන්ධ කාරණාවකදීත් මෙලෙස අසංවේදීවීම කණගාටුවට​ කරුණකි. එවැනි තත්ත්වයක් තුළ පොදු සමාජය මෙවැනි කරුණු වලට සංවේදී වේ යැයි කිසිසේත් සිතිය නොහැක.

සාමාන්‍යයෙන් තම වැඩ කටයුතු වල දී ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය කටයුතු කරන්නේ යම්කිසි උසකින් සිටිමිනි. එසේ කටයුතු කිරීමට ඔවුන් පෙළඹී ඇත්තේ අන් සේවාවන්ට වඩා තම සේවාව උසස් යැයි සංගමයක් ලෙස ඔවුන් කල්පනා කිරීම නිසා ය. ඒ නිසා  ලලිත් වීරතුංග ජනාධිපති ලේකම් ලෙස රාජකාරී කළ කාලය පුරා ඔවුන් මහන්සි වූයේ තම සාමාජිකයන්ට විශේෂ වූ වරප්‍රසාදයන් ලබා ගැනීමට පමණක් යැයි කිව හැකිය. එහෙත් ඒ කිසිම අවස්ථාවකවත් තම සේවාව ගුණාත්මකව ඉහළින් රදවා තබා ගැනීමට ඔවුන් කිසිම පියවරක් නොගැනීම හාස්‍යයට කරුණකි.

මහින්ද රාජපක්ෂ සමයේ අපනයන සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙද අමාත්‍යංශයේ ලේකම්ව සිටියේ රාජ්‍ය පරිපාලන සේවයේ ජේෂ්ඨයකු වූ එස්. රනුග්ගේ ය. ජී එස් ටී ප්ලස් සම්බන්ධයෙන් ඔහු අවබෝධකර ගත් කරුණක් ජනාධිපතිවරයාට දැනුම් දුන්නත් ජනාධිපති මහින්ද රාජපක්ෂ ඒ සම්බන්ධයෙන් නොසතුටු විය. එහි ප්‍රතිඵලය වූයේ අමාත්‍යංශ ලේකම් එස්. රනුග්ගේ තනතුරෙන් ඉවත් කරන ලෙස තම ලේකම් ලලිත් වීරතුංගට උපදෙස් දීමයි. ඔහු වහා රනුග්ගේට පවසා ඇත්තේ “එක්කෝ ජනාධිපති සමග වැඩ කිරීමට හැඩගැසෙන ලෙසත් නැත්නම් ඉල්ලා අස්වන ලෙසත්” ය. අමාත්‍යංශ ලේකම් රනුග්ගේ ඉල්ලා අස්වී ගෙදර ගියේය.

දක්ෂ, කාර්යශූර පරිපාලන නිලධාරියකු වූ එස්. රනුග්ගේව රදවා තබා ගැනීමට එවකට ජනාධිපති ලේකම් වූ ලලිත් වීරතුංගට කිසිම අවශ්‍යතාවක් නොවීය. ඔහු උත්සාහ ගත්තේ ජනාධිපතිවරයාට අවශ්‍ය විදිහට රනුග්ගේව හැඩගස්වා ගැනීමට ය. ඒ තබා ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයවත් මේ සම්බන්ධයෙන් කිසිම පියවරක් නොගත්තේ ය. තමන්ගේ විශිෂ්ඨයන් රාජ්‍ය සේවාවෙන් අකාලයේ ඉවත්ව යෑමට හේතුවන කාරණා ඉවත් කොට ඔවුන්ට රාජ්‍ය සේවය තුළ සේවයක් කිරීමට අවකාශයක් නිර්මාණය කරදිය යුතු බව සංගමය සිතුවේ නැත.

එස්. රනුග්ගේ වරක් ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ සභාපති විය. තවත් වරක් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා විය. එවැනි ප්‍රබල තනතුරු දැරූ නිලධාරියකුට ද අවසානයේ සිදුවූයේ දේශපාලකයකුගේ බහට අවනත නොවූ නිසා ඉල්ලා අස්වී ගෙදර යන්නට ය. දේශපාලකයන්ට අවශ්‍ය විදිහට රාජ්‍ය පරිපාලන සේවා නිලධාරීන් රූකඩ මෙන් නැටිය යුතු නම් ඒ සේවාවේ වෘත්තීයවේදීභාවයක් ඉතුරු නොවේ.

වරක් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ධූරයේ කටයුතු කළ එමෙන්ම දෙරට අතර බලවත් සංවේදී අවස්ථාවක රාජකාරී කළ ජේ.එන්.ඩික්සිත්ගේ Assignment Colombo ග්‍රන්ථය අතිශයින් වැදගත් වන්නේ මේ අවස්ථාවේ දී ය. එම පොත සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන සේවා නිලධාරියකු අද තම මුහුණු පොතෙහි තබා තිබූ අතිශය වැදගත් සටහනක් පහත දැක්වේ.

ඩික්සිත්ගේ භූමිකාව

දින තුන හතරකට පෙර, හරියටම කියනවා නම් පහුගිය 8 වෙනි බ්‍රහස්පතින්දා දවල් 12 ට පමණ මට ඒ පොත හදිසියේම සිහිපත් විය.

“ඒ සාහිත්‍ය මාසය එළඹ ඇති බව හා කියවීමට සුදුසු පොත් මොනවාද යන්න පිළිබඳව මුහුණු පොතේ එක එක ආකාරයේ සංවාද මතු වූ බැවිනි!”

ජේ. එන්. ඩික්ෂිට් (Jyotindra Nath Dixit) යනු 1936 ජනවාරි මස 8 දින චෙන්නායි හි දී, මලයාලම් පවුලක උපන් මධ්‍යම පාන්තික මිනිසෙකි. 2005 ජනවාරි මස 3 වෙනි දා සිය සිය 79 වන උපන් දිනයට දවස් 15 ක් තිබියදී මිය යන විට ඔහු ඉන්දීය අගමැතිවරයා වූ මන්මෝහන් සිං මහතාගේ ආරක්ෂක උපදේශකයෙකු විය.

ඔහු ශ්‍රී ලංකා ඉතිහාසයේ සිටි විවාදාත්මකම ඉන්දීය මහකොමසාරිස්වරයා බව පැවසීම අතිශයෝක්තියක් නොවේ. 1985 වර්ෂයේ සිට 1989 වර්ෂය දක්වා මෙරට සේවය කළ කාලය තුළ ඉන්දීය රජය මෙරට විෂයෙහි කළ බරපතලම බලහත්කාරකම වන “උඩින් පරිප්පු දමා” “ඉන්දීය ගිවිසුම අත්සන්” කිරීම සිදු විය.

මේ කාලය තුළ සිය රාජකාරිය කොතරම් සංකීර්ණ වී ද යන්න පැහැදිලි කරමින් ඔහු විශ්‍රාම ගැනීමෙන් අනතුරුව 1997 වර්ෂයේ Assignment Colombo (Konark Publishers, 1997) පොත ලිවීය. මෙය එම වර්ෂයේම “කොළඹ භූමිකාව” නමින් විජිත යාපා ප්‍රකාශකයෝ සිංහලෙන් පල කළෝය.

ඒ පොත මා පළමුවරට කියෙව්වේ 1997 වර්සයේ දී මය. ඒ දවස්වල සිංහල ප්‍රකාශකයා ඒ පොතට, මහපොළෙන් පොත් ගන්න අපිට ‘හෙන ගහන මිලක්’ යැයි සිතෙන මිලක් අය කළේය. වට්ටම් නොදුන්නේය. එනිසා පොත කියෙව්වේ ඉල්ලාගෙනය. පසුව, පොත මිලදී ගත්තේ රස්සාවට පැමිණීමෙන් අනතුරුව (පළමු රස්සාව. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිංහල දේපාර්තමේන්තුවේ කථිකාචාර්ය (කොන්ත්‍රාත් පදනම මත)) වන අතර යළි කියවන ලද්දේ මේ රස්සාවට පැමිණීමෙන් අනතුරුවය.

එහිදී මට රාජ්‍ය නිලධාරියෙකු වශයෙන් අවධානයට ගත යුතු පහත කරුණු ඒ පොත තුළ අන්තර්ගත බව පෙනී ගියේය.

1. පළමුව, ඩික්ෂිට්ගේ පොත, තීරණාත්මක දේශපාලන සමයක රාජ්‍යතාන්ත්‍රිකයාගේ/රාජ්‍ය නිලධාරියාගේ භූමිකාව කොතරම් අසීරුද හා ඔහු කොතරම් බුද්ධිමත්ව කටයුතු කළ යුතුද යන්න පහදා දෙන්නකි.

2. දෙවනුව, රාජ්‍ය තාන්ත්‍රිකයා/ රාජ්‍ය නිලධාරියා යනු දේශපාලඥයාගේ ‘නියෝග’ ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන්නෙක් නොව, තමා නියෝජනය කරන ‘රාජ්‍යයේ’, රාජ්‍ය ප්‍රතිපත්තිය, භූ දේශපාලන තත්වයන්ට අනුව ගලපා ක්‍රියාත්මක කරමින්, නිර්මාණශීලීව සිය අරමුණ කරා ගමන් කරන විශිෂ්ට බුද්ධිමතෙකු බව පෙන්වා දෙන්නකි.

3. තෙවනුව, තමාට නියෝග නිකුත් කරන රාජ්‍ය නායකයාගේ නියෝග සම්බන්ධයෙන් තර්කාණුකූලව සිතා බලන හා අවශ්‍ය අවස්ථාවල ඒ සම්බන්ධයෙන් දේශපාලඥයාට විශේෂඥ උපදෙස් දෙන සුවිශේෂ පුද්ගලයෙකු බව පෙනවා දෙන්නකි.

4. සිව්වැනුව, ‘සිදුවූ දේ’ හා ‘කළ දේ’ සම්බන්ධ වගකීම, රාජ්‍යතාන්ත්‍රිකයා/රාජ්‍ය නිලධාරියා වශයෙන් තමා බාර ගන්නා බව මැනවින් පෙන්වා දෙන්නකි.

5. පස්වැනුව, රාජකාරි ජීවිතය තුළ තමාට බලපාන සීමාකම්වලින් මිදී විශ්‍රාම ජීවිතයට එළඹීමෙන් අනතුරුව, සිය දේශපාලන නායකයා පවා විවේචනය කළ හැකි භූමිකාවක් තමා රාජ්‍ය සේවයේ සිටියදී නිරූපණය කළ බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට සමත් අසාමාන්‍ය පෞරුෂයක් පිළිබඳව අභිමානයක් සම්බන්ධ අදහස් අපට දීමය.

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ, මා මිතුරෙකු ලෙස සිතන අය සිටී නම් ඔවුන්ට මම යෝජනා දෙකක් ඉදිරිපත් කරමි.

1. ඩික්ෂිට් ගේ පොත කියවන්න

2. ඩික්ෂිට් වගේ වෙන්න.

ඉන්දියාවේ විශිෂ්ඨ රාජතාන්ත්‍රික නිලධාරියකු වූ ජේ එන් ඩික්සිත්ගේ ග්‍රන්ථය කොළඹ භූමිකාව ලෙස සිංහලෙන් ප්‍රකාශයට පත්ව තිබේ. ඒ සම්බන්ධයෙන් ෆේස්බුක් ගිණුම මගින් සටහනක් තැබූ පරිපාලන නිලධාරියා ඩික්සිත්ගේ පරිපාලන විශිෂ්ඨත්වයත් ඉන්දියානු රජය නියෝජනය කිරීමේ ඩික්සිත් සතු මහා පෞර්ෂයත් ඇගිල්ලෙන් ඇන පෙන්නුම් කළ ද ඔහුගේ සගයන් බොහෝදෙනෙක් එම ග්‍රන්ථය කියවාවත් නොමැති බවට සැකයක් නොමැත. ශ්‍රී ලංකාවේ රාජ්‍ය පරිපාලන නිලධාරීන් ඉන්නේ එවැනි පතුලක් නොපෙනෙන අගාධයක වීම කණගාටුවට කරුණකි.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය පරිපාලන නිලධාරීන් කරන්නේ තවත් රැකියාවකි. ඔවුන් වරප්‍රසාද ලබා ගත්තාට, බොහෝ රාජ්‍ය බලය දැරුවාට, ඉහළ තනතුරු වල රාජකාරී කළාට තමන්ගේ සේවය වෘත්තීයවේදී තත්ත්වයට උසස් කර ගැනීමට කිසිම වෙහෙසක් දරන්නේ නැත.  දීපව්‍යාප්ත සේවාවන්ට අයත් අනෙකුත් රාජ්‍ය නිලධාරීන්ගේ සේවා සංගම් ද ඊට නොදෙවැනිය. එනිසා දේශපාලකයන් සමග ගනුදෙනු කිරීමේ දී ලංකාවේ රාජ්‍ය නිලධාරීන්ට ගුරු කොට ගත හැකි ආචාර ධර්ම පද්ධතියක් නොමැත. ඔවුන් කරන්නේ තමන්ගේ ඇමතිවරයා හෝ ජනාධිපතිවරයා හෝ කියන ඕනෑම දෙයක් පමණක් නොව කියනවාටත් ඉහළින් කරදීමයි. එවිට ඒවා නීති විරෝධීවීම හෝ රාජ්‍ය මුදල් අවභාවිතා කිරීම හෝ වෙනත් අශ්ලීල ක්‍රියාවක් ඔවුන්ට අදාළ නොවේ. ඔවුන්ගේ එකම වගකීම දේශපාලකයන් සතුටු කිරීමයි.

සිවිල් සමාජය හා දේශපාලන වෙනස්කම්

සිවිල් සමාජ බලවේගයක් ගැන කතා කිරීමේ දී රාජ්‍ය සේවාවේ ඉහළ සේවා සංගම් අක්‍රියව සිටින්නේ නම් ඒවායේ වෘත්තීයවේදීභාවය ගිලිහී යන්නේ ය. එවිට ඒවා සිවිල් සමාජය ශක්තිමත් කිරීමේ සමාජ අවශ්‍යතාව තෘප්තිමත් නොකරයි. ඒ අර්ථයෙන් ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවා සංගම් වලින් සිවිල් සමාජ අවකාශයක් නිර්මාණය කර ගැනීමට කිසිම දායකත්වයක් නොදරයි.

ශ්‍රී ලංකාවේ සිවිල් සංවිධාන අවකාශයට අයත්වන සමාජ ව්‍යාපාරයන් බිහිවී නොමැත. රාජ්‍ය සේවා සංගම් ඇරුන විට ඇත්තේ රාජ්‍ය නොවන සංවිධානයන්ය. එහෙත් ඒවාට ආවේනික වූ සීමා සහිතකම් අපමණය. දේශපාලන බලයේ හා ප්‍රාග්ධනයේ විජිතකරණයට හසුවීමට ධනේශ්වර සමාජයක ඇති විභවය නිසා ප්‍රජාතන්ත්‍රවාදී ඉඩකඩ පුළුල් කර ගැනීම වෙනුවෙන් සිවිල් සමාජ සංවිධාන හා සිවිල් සමාජයට කළ හැකි කාර්ය භාරයට සීමාවක් පැනවී ඇතැයි යර්ගන් හබමාස් පැවසීය. හබර්මාස්ගේ එම ප්‍රකාශය ශ්‍රී ලංකාවේ පවතින තත්ත්වයට මුළුමනින්ම එකගය.

සිල් රෙදි බෙදාදීමේ නඩු තීන්දුව නිසා කාරණා තුනක් සමාජ කතිකාව තුළ උණුසුම්ව පවතී. ඉතා වැදගත්ම කරුණ වන්නේ සිල් රෙදි බෙදාදීමේ මහජන මුදල් අවභාවිතාව විමර්ශනාත්මකව පරීක්ෂා කොට ඊට නියෝග දුන් දේශපාලන අධිකාරියට එරෙහිව ද නීතිමය ක්‍රියාමාර්ගයන් ගැනීමයි. දෙවැන්න රාජ්‍ය සේවයේ දී දේශපාලකයන්ගේ තීරණ, තීන්දු, නියෝග හා උපදෙස් රජයේ නිලධාරීන් විසින් ක්‍රියාත්මක කරන අන්දම සම්බන්ධයෙනි. තුන්වැන්න එසේ ක්‍රියාත්මක කිරීම සදහා රාජ්‍ය නිලධාරීන්ට ආචාර ධර්ම පද්ධතියක් සකස් කර ගැනීම සම්බන්ධයෙනි. අද පවතින තත්ත්වය තුළ පැහැදිලි කාරණාව වන්නේ මේ සම්බන්ධයෙන් සිවිල් සංවිධානයන්ගෙන් කිසිම බලපෑමක් එල්ල නොවන බව ය. බලපෑමක් එල්ල වනවා නම් එල්ල වන්නේ දේශපාලන ගතිකය මගිනි.

මේ වනවිට සමහර දේවල් සිදුවෙමින් පවතින්නේ කල්තියා සකස් කළ සැලසුමකට නොවේ.  දැන් දැන් අප මීට කළින් හීනෙකින්වත් නොසිතූ සමහර දෑ සිදුවෙමින් පවතී. එසේ වන්නේ අප සිතනවාට වඩා දේශපාලන ගතිකය උණුසුම් බැවිනි. පිපිරීයෑම් සිදුවිය හැකිය. එහෙත් ක්‍රමය පවත්වාගෙන යෑමට ප්‍රතිශෝධනයන්, ප්‍රතිසංස්කරණයන් හා ආකෘතිකරණයන් සිදුවිය හැකිය. ඒවා පවතින ක්‍රමය තුළ සිදුවන වෙනස්කම් ද නො එසේනම් පවතින ක්‍රමය පුපුරවා අලුත් ක්‍රමයක් තුළ සිදුවන වෙනස්කම් ද යන්න තීරණය කරන්නේ ද දේශපාලන ගතික විසිනි.

Shan.info1978@gmail.com

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.