24 April, 2024

Blog

“රාජපක්ෂලා” තවමත් අවදියෙන්

කේ.ජී. පිලිප් ශාන්ත –

කේ.ජී.පිලිප් ශාන්ත

චීනයට විකුණූ හම්බන්තොට වරාය නැවත පවරා නොගෙන පසු නොබලමියි උදාන පාඨ කියන වත්මන් ආණ්ඩුවේ අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ ගැලරියට කතා කරන්නට පටන් ගත්තේ අදක ඊයේක නොවේ. ඔහු මුලින්ම ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් පෙනී සිටියේ එම කොල්ලකාරී සංවිධානයේ මතය වෙනුවෙන් වන අතර පසුව, තමා අධිකරණ අමාත්‍ය ධූරයේ සිටිනා තාක් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට නොගන්නා බව කීවේ විළිලැජ්ජා නොමැතිවය. එසේම අමාත්‍ය සරත් ෆොන්සේකා සමග ආරාවුලක් ඇති කර ගත් ඔහු අශ්ලීලභාවය ගැන මොනවට පැහැදිලි කරමින් තම ආත්මය වෙනුවෙන් ඔහු පෙනී සිටියේ අශූචි කප්පරක් ඇග තවරා ගනිමිනි. එසේම සිංහලබෞද්ධ ජනමතය වෙනුවෙන් ද ඔහු බරපතල ලෙස පෙනී සිටියේ මැර හාමුදුරුවන් කිහිප පොළක් වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනී සිටිමිනි. ඒ සියල්ලෙන් තහවුරු වූයේ අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂට දේශපාලන විළි ලැජ්ජාවක් නොමැති බවය.

චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිපති ධූරය දරද්දී ජාතික ලැයිස්තුවෙන් දේශපාලනයට පිවිසි විජේදාස රාජපක්ෂට ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ලොකු ඉඩකඩක් වෙන් නොකරන ලදි. එනිසා විශාල ආලෝලනයක් ඇති කරමින් විපක්ෂයට එක්වූ ඔහු පසුව එක්සත්ජාතික පක්ෂයට එක්විය. 2010 ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයෙන් මහා මැතිවරණයට තරග කළ විජේදාස රාජපක්ෂ ජයග්‍රහණය කළ ද ඔහු වඩා ආශා කළේ තිරය පිටුපස දේශපාලනයටය. ඒ අනුව රාජපක්ෂ විරෝධී සමාජ ව්‍යාපාරය හා උඩින් පල්ලෙන් ගනුදෙනු කළ ඔහු ඒ සමාජ ව්‍යාපාරයේ නායකයන් සමග තදින් ගනුදෙනු කළේ ය. 2010 ජනාධිපතිවරණයේ දී පොදු අපේක්ෂකයා වූ සරත් ෆොන්සේකාට බරපතල ලෙස ආධාර කළ ඔහු 2015 ජනාධිපතිවරණයේ දී පොදු අපේක්ෂකයා වූ මෛත්‍රීපාල සිරිසේනට ද බරපතල ලෙස ආධාර කළේ ය. එහෙත් ඔහු සමාජ දේශපාලන ව්‍යාපාරයන් හා සමීප ඇසුරකට  නොගියේ ය.

ගමේ හිත හොද කරා

විජේදාස රාජපක්ෂගෙ මැදමුලන සබදතාවන් බොහෝ විට මල්ලෙන් එළියට පැන්නේ ඔහු නීතිඥ සංගමයේ සභාපතිව සිටි කාලයේ ය. එම කාලයේදීම අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකව තනතුරින් ඉවත් කිරීමේ දෝෂාභියෝගය රාජපක්ෂ රෙජීමය විසින් ඉදිරිපත් කළ අතර විජේදාස  රාජපක්ෂ අක්‍රීයව සහයෝගය දැක්වූයේ සාධාරණ ස්වභාවික යුක්තියට ය. එහෙත් ඔහුගේ ස්ක්‍රිය දායකත්වය ලබාදුන්නේ ශිරාණි බණ්ඩාරනායකව තනතුරින් ඉවත් කිරීමේ රාජපක්ෂගේ කුප්‍රකට වෑයමට ය. ඔහු රාජපක්ෂ විරෝධය තුළ පිහිනමින් රාජපක්ෂ දේශපාලනය වෙනුවෙන් පෙනී සිටි දේශපාලනඥයෙකි.

2015 ජනවාරී 08 දා රාජපක්ෂගේ පරාජයත් සමග විජේදාස රාජපක්ෂ තම දේශපාලන චරිතය අලුත් වටයකින් කියවා ගත්තේ ය. ඔහු එතෙක් විපක්ෂයේ සිටිමින් ආණ්ඩුවට සහයෝගය දැක්වූ අතර ජනාධිපතිවරණයත් සමග ආණ්ඩුවේ සිටිමින් විපක්ෂයට සහාය දැක්වීම ආරම්භ කළේ ය. අලුත් සම්මුතික ආණ්ඩුවේ මූලික කොන්දේසියක් වන්නේ හොර මැර වංචා හා මිනීමැරුම් වලට වැට බැදීම වුවත් විජේදාස රාජපක්ෂ නිරත්තරයෙන් සමීප වූයේ එවැනි සමාජ විරෝධී ක්‍රියාවන් වල යෙදුන පුද්ගලයන් ආරක්ෂා කර ගැනීමට ය. ඔහු ඒ සදහා සුපුරුදු ලෙස සිංහලබෞද්ධ ස්වෝත්තමවාදී කඩතුරාව ආරක්ෂාවක් ලෙස යොදා ගත්තේ ය.

අමාත්‍ය විජේදාස රාජපක්ෂ මේ මොහොත තුළ කටයුතු කරන්නේ ද තමන් අමාත්‍ය ධූරයක් දරන ආණ්ඩුවේ අවශ්‍යතාව හා තමන්ට ජනවරම ලැබුන 2015 ජනවාරී ජනාධිපතිවරණයේ හා 2015 අගෝස්තු මහා මැතිවරණයේ සමාජ අභිලාශයන් අනුව නොවේ. එසේ කටයුතු කරනවා නම් හම්බන්තොට වරාය චීන සමාගමකට බදුදීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ සාමූහික වගකීමෙන් ගැලවීමට ඔහුට නොහැක. එහෙත් ඔහු ඒ සම්බන්ධයෙන් දරන්නේ වෙනස් මතයකි. වෙනස් මතයක් ඔහුට දරන්නට හැකි වුවත් ඔහු අමාත්‍ය මණ්ඩල සාමූහික වගකීමෙන් බැදී සිටී. සාමූහික වගකීමට යටත් වනට නොහැකි නම් ඔහු කළ යුත්තේ ඉල්ලා අස්වීමයි. නමුත් විශිෂ්ඨ ප්‍රාජාතන්ත්‍රවාදී සමාජ හරයන්ට අශ්ලීල ලෙස විරුද්ධ වෙමින් අමාත්‍ය විජේදාස රාජපක්ෂ කරන්නේ අමාත්‍ය මණ්ඩලයේ රැදී සිටිමින්ම අමාත්‍ය මණ්ඩල සාමූහික වගකීම කඩකිරීමයි.

අමාත්‍ය මණ්ඩල සාමුහිකත්වය කඩ කිරීම

හම්බන්තොට වරාය චීන සමාගමකට බදු දීමේ තීන්දුව අමාත්‍ය මණ්ඩලය විසින් ගත් අතර දැන් අමාත්‍ය මණ්ඩලයෙන් එළියට ඇවිත් විජේදාස රාජපක්ෂ කරන්නේ එය විවේචනය කිරීමයි. එසේම එම බදුදීම අහෝසි කර වරායේ පාලනය නැවත ශ්‍රී ලංකා රජයට පවරාගෙන මිස පසු නොබලමියි කියමින් වහසි බස් දොඩවයි. කොළඹ කොටුවේ පැරණි යුද හමුදා මූලස්ථානය සින්නකර ඔප්පුවකින් විදේශ සමාගමකට පැවරූ රාජපක්ෂවරු අද හම්බන්තොට වරාය බදුදීමට එරෙහි වෙති. මේ මොහොත තුළ මේ දෙබිඩි දේශපාලනයට වඩා සමීපභාවයක් ඇත්තේ රාජපක්ෂගේ දේශපාලනයට ය. ඒ රාජපක්ෂගේ නිවුන් සොයුරු දේශපාලනය කරන්නේ මේ රාජපක්ෂ බවට තවත් සාක්ෂි අනවශ්‍යය. එහෙත් අමාත්‍ය මණ්ඩල සාමූහිකත්වය කඩ කිරීමේ අශ්ලීල සම්ප්‍රදාය අමාත්‍ය විජේදාස රාජපක්ෂ සැලකිල්ලට නොගනී.

එක්සත් ජාතීන්ගේ නියෝජිතයකු පසුගිය දා මෙරටට පැමිණි අවස්ථාවේද අමත්‍ය විජේදාස රාජපක්ෂ “රාජපක්ෂ රෙජීමයේ විදේශ ප්‍රතිපත්තියෙන්” ඔහුට උත්තර බදින්නට ගියේ ය. එහිදී සිංහලබෞද්ධ ස්වෝත්තමවාදීන් ප්‍රීතියට පැමිණිය ද ශ්‍රී ලංකාවේ වත්මන විදේශ ප්‍රතිපත්තියට එල්ල වූයේ බරපතල කැළලකි. අමාත්‍ය විජේදාස එහිදීද කටයුතු කළේ බලයට පත්වූ ජනවරමේ සමාජ අභිලාශයන්ට එකගව නොවේ.

අමාත්‍ය විජේදාස රාජපක්ෂගෙ නොහික්මුණු දේශපාලනික හැසිරීම් ජනාධිපතිවරයාවත් අග්‍රාමාත්‍යවරයාවත් තවමත් බරපතල සලකා බැලීමකට යොමු කර නොමැති බවක් තේරුම් යයි. සමාන්‍යයෙන් සම්මුතික ආණ්ඩුවක මත ගැටුම් ඇතිවීම සරළ ලෙස සලකා අමාත්‍ය විජේදාසගේ හැසිරීම බැහැර කරන්නේ ද නො එසේනම් අමාත්‍ය විජේදාස  නියෝජනය කරන්නේ ආණ්ඩුවේ මතයමදැයි පැහැදිලි නැත. නමුත් අග්‍රාමාත්‍යවරයා නම් එක් අවස්ථාවක දී අමාත්‍ය විජේදාස රාජපක්ෂගේ නිගරුවට ලක්වූ සිවිල් සමාජ ක්‍රියාකාරීන්ව සනසමින් ප්‍රකාශ කළේ  ජනාධිපතිවරණ ජයහ්‍රහණයට දායක වූවන්ගේ සහාය දිගටම ආණ්ඩුවට අවශ්‍ය බවය. එහෙත් ජනාධිපතිවරයාගෙන් නම් එවැනි හෝ ප්‍රතිචාරයක් තවමත් ලැබී නොමැත.

මෙය සම්මුතික ආණ්ඩුවක් නිසාම පක්ෂ දෙකක දේශපාලනයේ මත ගැටුම් තිබීම තාර්කික ය. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් යම් යම් කාරණා වල දී ස්ථාවරයන් දෙකක සිටී. එසේම පක්ෂ අභ්‍යන්තරය තුළ තවත් මත පවතී. ඒවා සමාන්‍ය දේශපාලන ගැටුම් ය. එහෙත් අමාත්‍ය විජේදාස රාජපක්ෂ ඇති කරන්නේ එවැනි මත ගැටුමක් නොවේ. ඔහු පැහැදිලි ලෙසම අමාත්‍ය මණ්ඩල සාමූහිකත්වය කඩ කරයි. එසේම ජනවාරී 08 මහජන අභිලාශයන්ට පරස්පරව යයි. මේ දේශපාලන විගමනයක් රටේ දේශපාලන අවකාශය තුළ නිර්මාණය කරන්නේ බරපතල විසම්මුතීන්ය. එනිසාම මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් අමාත්‍ය විජේදාස රාජපක්ෂට එරෙහිව විශ්වාසභංගයක් අත්සන් කරමින් පවතී.

විජේදාස රාජපක්ෂ හා එජාපය

අමාත්‍ය විජේදාස රාජපක්ෂ එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වුවද එම පක්ෂයේ බල රාමුවෙන් ඔබ්බට ගොස් කටයුතු කරන බවක් දකින්නට ලැබේ. එහෙත් ඒ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය කිසිම පියවරක් ගෙන නොමැත. සමහරවිට අමාත්‍ය විජේදාසගේ දේශපාලන හැසිරීමට ජනාධිපතිවරයාගේ ආශීර්වාදය ලැබෙනවා විය හැකිය. අමාත්‍ය විජේදාස රාජපක්ෂට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමග ළග සබදතා පවතී. ඒ සබදතා ඉක්මවා යන සබදතාවන් හිටපු ජනාධිපතිවරයා සමග පවතී. වත්මන් ජනාධිපතිවරයා සමග අමාත්‍ය විජේදාස රාජපක්ෂට පවතින සමීප සබදතා නිසා ඔහු විනය විරෝධීව හැසිරෙන්නේ නම් ජනාධිපතිවරයා විසින් එය බරපතල ලෙස තේරුම් ගත යුතුය. අමාත්‍ය විජේදාසගේ දේශපාලනික හැසිරීම අනුව ඔහු වඩා ආදරය කරන දේශපාලනය තීන්දු කිරීමට යන්නේ මොහොතක කාලයකි.

2005 දී රාජ්‍යයේ ඒකාධිපති හරය වර්ගවාදී ස්වරූපයකින් ශක්තිමත් කළේ රාජපක්ෂ රෙජීමය විසින් ආයතන ගත කළ මහින්ද ච්න්තන වැඩ පිළිවෙල මගිනි. මහින්ද ච්න්තනයේ මූලික අවශ්‍යතාව වූයේ රාජ්‍යය බහුත්වවාදයෙන් ඉවතට ගෙන වර්ගවාදී ආස්ථානයකට ඇද දැමීමයි. ජාතිකවාදයේ මුවාවෙන් පටු වර්ගවාදයට යට වී උද්දච්ච මනෝභාවයකින් රාජ්‍යයේ හැඩ තල නිර්මාණය කර ගත්තේ ඒ සදහායි. ඒ තුළ පුද්ගල නිදහස, ප්‍රකාශනයේ නිදහස හා ප්‍රජාතාන්ත්‍රිකව සංවිධානය වීමේ ඉඩ කඩ අහිමි වේ. ඒ සදහා රාජ්‍යය මිලිටරිමය මුහුණු වරක් ගත යුතු වූ අතර ඒ මගින් සමාජය මිලිටරිකරණය කිරීමට ද අවශ්‍ය වුණි. රාජපක්ෂ රෙජීමය තුළ රාජ්‍යයේ ස්වාභාවය එහි නායකයන්ගේ ශරීර භාෂාවෙන් තේරුම් ගත හැකිය. ඒ අනුව රෙජීමයට පක්ෂපාත වන්නා දේශප්‍රේමියෙක් වන විට රෙජීමයට විරුද්ධ වන්නා දේශද්‍රෝහියකි. මෙම මතවාදය අනුව ඊයේ දේශප්‍රේමියා හෙට දේශද්‍රෝහියකුවීමටත් විශාල ඉඩකඩක් පවතී. එහි කූට ප්‍රාප්තිය වූයේ ජනරාල් සරත් ෆොන්සේකා එක රුයෙන් දේශද්‍රෝහියකු වීමයි.

යළි රාජපක්ෂ යුගයකට ද?

මෙවැනි හැඩ තලයන් ලෝක දේශපාලනයේ දී පෙන්වා ඇත්තේත් පෙන්වමින් සිටින්නේත් ඒකාධිපති රටවල්ය. එසේත් නැත්නම් මිලිටරි ජුන්ටාවන් මගින් පාලනය වන රටවල්ය. ශ්‍රී ලංකා රාජ්‍යය රාජපක්ෂ යුගයේ දී මිතුරන් ලෙස ආශ්‍රය කරන්නේ ද එවැනි රටවල් ය. ඉරානය, ලිබියාව, පකිස්තානය, මියන්මාරය හා ඊශ්‍රායලය වැනි රටවල් ශ්‍රී ලංකාවේ මිතුරන් බවට පත්වීමෙන්ම ශ්‍රී ලංකා රාජ්‍යයේ ආකල්පයන් තේරුම් ගත හැකිය. බටහිර රාජ්‍යයන්ට ශිෂ්ට භාෂාව ඉක්මවමින් ග්‍රාම්‍ය මැරයකු සේ බැන අඩ ගැසීම ද ඒ නායකයෝම බටහිර රාජ්‍ය නායකයන් කරා ගොස් ආධාර ද රාජ්‍ය නායක සමුළු පැවැත්වීමේ අවස්ථාවන් ද ඉල්ලූහ. මේ නිවට නියාළු විදේශ ප්‍රතිපත්තිය රාජපක්ෂ ආණ්ඩුවේ රාජ්‍යයේ ස්වභාවයට ආවේනික ලක්ෂණයකි.

රාජපක්ෂ යුගයේ දී ශ්‍රී ලංකා රාජ්‍යය ඒකාධිපති, වර්ගවාදී, ප්‍රජාතන්ත්‍රවාදී නොවන ආස්ථානයක් කරා රූපාන්තරණය වුවද ගෝලීයව සිදුවෙමින් පවතින්නේ එහි පරස්පරයයි. නව ලිබරල්වාදය විසින් ප්‍රජාතන්ත්‍රවාදය හකුළුවමින් අන්ත ඒකාධිපති රාජ්‍යය පාලන ක්‍රමවේදයක් අනුගමනය කළ ද නව ලිබරල්වාදය අසාර්ථකවීමත් සමග ගෝලීය ධනේශ්වරය නව ක්‍රමවේදයන් සොයමින් ඒකාධිපති ස්වරූපයෙන් මේ මොහොතේ දී බැහැර වෙමින් සිටී. යුද්ධය අවුළුවමින්, ඒකාධිපතිත්වය වර්ධනය කරමින් උද්දච්ච අධිපතිවාදයක් කරා ගමන් කරමින් තිබූ ලෝකය දැන් එහි ගමන් මග මාරු කර තිබේ. ලෝකයේ බොහෝ රාජ්‍යයන් දැන් අතීත අභාවවාචක අත්දැකීම් මත පාඩම් ඉගන ගනිමින් නව ගමනක් අරඹා තිබේ. ඒ සංස්කෘතිය තුළ තවදුරටත් ඒකාධිපතිවාදයට, පටු වර්ගවාදයට හා පුද්ගල නිදහස අහිමි කිරීමට ඉඩක් නැත.

එහෙත් සම්මුතික ආණ්ඩුවේ අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ අලුත් වටයකින් සූදානම් වන්නේ රට අශ්ලීල වූ රාජපක්ෂ යුගයට නැවතත් ඇදගෙන යෑමටයි.

shan.info1978@gmail.com

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.