26 April, 2024

Blog

ජාතියේ මවට සිංහල අමතකවීම

කේ.ජී.පිලිප් ශාන්ත

කේ.ජී.පිලිප් ශාන්ත

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිද වන ශිරන්ති රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රශ්න කිරීම සදහා කැදවන ලද්දේ වසීම් තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙනි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අවස්ථා කිහිපයක්ම ඒ සදහා ඈට ලබා දුන්න ද එම අවස්ථා මග හරිමින් සිටි ඈ අවසානයේ ඒ සදහා පැමිණියේ පසුගිය අගහරුවාදා ය. ඒ දිවයිනේ නන් දෙසින් ගෙන්වා ගත් විශාල පිරිසක් ද සමගය.

ශ්‍රී ලංකාවේ නීතිය අනුව අපරාධ ඝනයේ ලා වරදකට සැකකරුවකු ලෙස හෝ වෙනත් අයුරකින් ලෙස හෝ ප්‍රශ්න කිරීම සදහා ගෙන්වීම  එම පුද්ගලයාට සමාජ අපකීර්තියට හේතූන් වන සිද්ධියකි. බොහෝවිට එවැනි අවස්ථාවන් වල දී පොලීසියේ හා සමාජයේ නිග්‍රහයට එම පුද්ගලයන් ලක්වීම වැළැක්විය නොහැකි කරුණකි.  එහෙත් ශ්‍රී ලංකාවේ දේශපාලන සංස්කෘතිය අනුව දේශපාලකයකු අපරාධ වරදකට ප්‍රශ්න කිරීම හෝ අත් අඩංගුවට ගැනීම හෝ වෙනත් අවස්ථාවකට ලක්වීම හෝ ආඩම්බරයට කරුණකි. ඔවුන් පොලීසියට හෝ අධිකරණයට හෝ පැමිණෙන්නේ අත් දෙක ඔසොවමින් වගාඩම්බරයෙනි. මාච්චු ලෑ අත්දෙක ඉහළට ඔසොවා විජයග්‍රාහී ලිලාවෙනි.

මේ දේශපාලන සංස්කෘතිය පොදු සමාජයේ හාස්‍යයට හා උත්ප්‍රාසයට හේතූන් වූවද වරදකාරී ක්‍රියාවකට වගකිව යුත්තන් දිගින් දිගටම හැසිරෙන්නේ එලෙස වීරත්වය උත්පාදනය කරමින්වීම සැලකිල්ලට ලක් කළ යුතු කරුණකි. මේතාක් දේශපාලනඥයන් විසින් රග දැක්වූ මේ උත්ප්‍රාසය අද වනවිට දේශපාලඥයන්ට සමීප ඥාතීන් වෙතින් ද රග දැක්වීම සැලකිය යුතු කරුණකි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිද ශිරන්ති රාජපක්ෂ ද පසුගිය අගහරුවාදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යෑමට මහ පිරිසක් රැගෙන යෑම ඒ සැලකිල්ල වඩා තියුණු කරයි.

ගිය අගහරුවාදා ශිරන්ති රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන මොහොතේ ඇගේ තනි නොතනියට ඈ සමග එකතු වූයේ මහින්ද රාජපක්ෂ පමණක් නොවේ. ඇගේ දරු තිදෙනා පමණක් නොවේ. පවුලේ සමීපතමයින් පමණක් නොවේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රාජපක්ෂ හිතවාදීන් පමණක් නොවේ. දිවයිනේ සතර දිග් භාගයෙන්ම කොළඹට එක් රොක් වූ මහ ජන ගගක් ඈ හා එක්වූහ.

මේ ජන ගග ලෙයෙහි අත් ගසා ගත්හ. දෑත් ඉහළට ඔසොවමින් සාප කළහ. ඇඩූහ. විලාප දුන්හ. අක්‍රොස පරිභව කළහ. මේ සියල්ලට මූලික වූයේ ඇගෙන් කට උත්තරයක් ලබා ගැනීමයි. රාජපක්ෂ බිරිදගෙන් පොලීසිය කට උත්තරයක් ලබා ගැනීම මේසා විසාල ඝෝෂාවකට හේතුවක් ද?

මීට ඉහත දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රාජපක්ෂ බිරිද ශිරන්ති රාජපක්ෂගෙන් කට උත්තරයල් ලබා ගැනීමට අවශ්‍ය වූ ඈ ඊට කැදවීය. එහෙත් රාජපක්ෂවරු කළබලයට පත්ව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට දුරකථනයෙන් ඇමතූ බව මාධ්‍ය වාර්තා පළ විය. අවසානයේ ඈ කැමැති ස්ථානයකට ගොස් අවශ්‍ය කට උත්තරය ලබා ගන්නැයි පොලීසියට උපදෙස් ලැබුණි.  නීතිය ඉදිරියේ සියල්ලන් සර්ව සමාන නම් ශිරන්ති රාජපක්ෂට විශේෂ සැලකිලි බුහුමන් අවශ්‍ය වන්නේ මන්ද?

ශිරන්ති රාජපක්ෂ අපරාධ පරීක්ෂණ් අදෙපාර්තමේන්තුවට ගිය දා කොළඹ දී රග දැක්වූ රංගනය දුටු බොහෝ මුහුණු පොත් මිතුරෝ සිහි කැදවා තිබුණේ මළ ගෙවල කුළියට අඩන මීගමු කාන්තාවන් ය. අවමංගල්‍ය උත්සවයක දී ශෝකයෙන් දුක්ව හඩන්නන් ලෙස කුළියට කටයුතු කරන්නන් මීගමුව ආශ්‍රිතව සිටි බැවින් එවැනි කුළී කණ්ඩායමක් ශිරන්ති වෙනුවෙන් ශෝකවීම සදහා ගෙන්වා ඇතැයි මුහුණු පොතේ බොහෝදෙනෙක් ප්‍රකාශ කර සිටියේ උත්ප්‍රාසයෙනි. සාමාන්‍යයෙන් දේශපාලන කටයුතු සදහා දිවයිනේ නන්දෙසින් ගෙන්වන ජනතාවට ආහාර හා දෛනික යැපීමක් ලබාදෙන බැවින් මේ උත්ප්‍රාසාත්මක කතාවෙ හරයක් ද තිබේ. ඒ අනුව දිවයිනෙ නන්දෙසින් ගෙන්වූ කුළියට හඩන්නන් ශිරන්ති රාජපක්ෂට ගැම්මක් ලබාදීමට රොක්වීම ඇත්ත කතාවයි.

කට උත්තරයක් ලබා දෙන්නට ගිය ශිරන්ති රාජපක්ෂට ගැම්මක් ලබාදීම හුදු මානුෂික කාරණාවක් විය හැකිය. එහෙත් හය හතර නොතේරෙන ළදරුවකුට සේ ඈට ගැම්මක් අවශ්‍ය නොවන්නේ ශිරන්ති රාජපක්ෂ වැඩිමහළු එමෙන්ම හිටපු ජනාධිපතිගේ බිරිද නිසා ය. ඈට සමාජයේ ඒ ඒ තැන් වල පෙනී සිටීමට අමුතු ශක්තියක් අවශ්‍ය නොවේ. එය ඈට හුරු පුරුදු විය යුක්තකි. නමුත් රාජපක්ෂවරුන් උත්සාහ කළේ ඊට ඔබ්බෙන් වූ දේශපාලනික වටිනාකමක් එම සිද්ධියට ලබා ගන්නට ය. දස වරකට ආසන්න කාලයක් රාජ්‍ය පාලනය කළ රාජපක්ෂවරුන් පොලීසිය විසින් ප්‍රශ්න කරන විට එය සමාජය ඉදිරියේ තොරොම්බල් කිරීමට ඔවුන්ට අවශ්‍ය විය.

දස වසරකට ආසන්න රාජපක්ෂ පාලනය තුළ ඔවුන් විසින් සිදු කළ නීති විරෝධී කටයුතු වලට අනුව මේ වනවිට කිහිප දෙනෙක්ම සිටිය යුත්තේ සිරගතව ය. එහෙත් මැතිවරණයට කළින් එල්ල කළ් චෝදනා බලය ලැබූ පසුව අමතක කළ වත්මන් ආණ්ඩුව රාජපක්ෂවරුන්ට සැනසිලිදායක වාතාවරණයක් ඇති කළේය. සම්මුතික ආණ්ඩුව බිහිවී වසර දෙකක් ගෙවී ගොස් ඇතත් රාජපක්ෂවරුන්ට දැනෙන ලෙස අපරාධ පරීක්ෂණයකට යෑමට රජය අසමත් විය. විධිමත් අපරාධ පරීක්ෂණ ක්‍රමවේදයක් ද වරදකරුවන්ට දඩුවම් ලබාදීමේ විධිමත් අවශ්‍යතාවක් ද  සම්මුතික ආණ්ඩුවට නොවූ බැවින් රාජපක්ෂවරු යහපතින් කල් ගෙවූහ.

ජනාධිපතිවරණයෙන් පැරදී මැදමුලනට පසුබැස ගොස් නැවත දේශපාලනයට එබිකම් කර බැලීම ආරම්භ කළ දා පටන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ හැසිරීමේ වෙනසක් දක්නට ලැබුණි. එහෙත් ඔහුගේ පාක්ෂිකයන් මහින්ද රාජපක්ෂගේ හැසිරීමෙන් ප්‍රීති ප්‍රමෝදයට පත්වූ අතර ප්‍රතිවාදීන් ද වෙනත් අන්දමකින් ප්‍රීති ප්‍රමෝදයට පත්වීමක් දක්නට ලැබුණි. ඉන් ඔබ්බට හිටපු ජනාධිපතිවරයාගේ හැසිරීම තේරුම් ගැනීමට යත්න දරන බවක් සමාජය තුළින් පෙනෙන්නට නොවුණි. ඇත්තටම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ශරීර භාෂාව විසින් සමාජ ගත කළ දේශපාලන පණිවුඩය නිවැරදිව තේරුම් ගත් බවක් සමාජය විසින් පෙන්නුම් නොකළේය.

ජනාධිපතිවරණ පරාජයෙන් පසුව ඔහුගේ මුහුණේ ඉරියව්, වාග් විලාශය, වචන පෙළ ගැස්ම හා සමස්ත කතාවක හරය සලකා බලන විට දැඩිව පෙනෙන්නට තිබුණේ ඔහු මුහුණ දුන් තදබල අපේක්ෂාභංගත්වයයි. කල් යල් බලා නැවත තේරී පත්වීමට සුදුසු මොහොත සොයා නියමිත කාලයට වසර දෙකකට පෙර ජනාධිපතිවරණය පවත්වා ඉන් පරාජය වීම ඔහුගේ දේශපාලන ජීවිතයේ රුදුරුම මොහොත වූවාට සැකයක් නැත. එසේම ඒ පරාජය තම පක්ෂයේම සගයකු අතින් තමන්ට ලබාදීම කෙසේවත් දරා ගන්නට හැකි කාරණාවක් නොවන්නට ඇත. අෂ්ඨ ලෝක ධර්මයන්ගෙන් කම්පා නොවීම බෞද්ධ දෘෂ්ඨියේ මූලික අංගයක් වුවත් පෘතග්ජනයන් ලෙස ස්ථිර ලෙසම ඊට අනුගත වන්නට නුපුළුවන් බවට සාක්ෂි අවශ්‍ය නොවේ. ඒ අර්ථයෙන් බලය අහිමිවීම කම්පාවට හේතුවක් වියහැකි වුවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් දක්නට ලැබුනේ ඒ සාමාන්‍ය කම්පනය නොවේ.

ඔහු ජනතාව අමතන හැමවිටම මොනවාදෝ කියාගෙන ගියේ ය. සමහරවිට වාක්‍ය අතර එකිනෙක සම්බන්ධයක් නොතිබුණි. වාක්‍යයක් ආරම්භ කරන්නේ යමක් කියන්නට වුවද එය අවසන් කරන්නේ තවක් යමක් කියන්නට දෝ වැනි අර්ථයක් ඔහුගේ කතාවන්ට ශ්‍රවණය කරන විට අවබෝධ වුණි. ප්‍රේක්ෂක ඔල්වරසන් හඩ මධ්‍යයේ හිටපු ජනාධිපතිවරයාගේ හැසිරීම තවත් ප්‍රමෝදයට තල්ලු වුණි. ඒ නිසා කතාවන්ගේ කෝෂාර්ථයක් නොවූවද ඔල්වරසන් හඩ මගින් කතාවට පිළිගැනීමක් ලැබුණි.

ප්‍රසිද්ධ මහජන ඇමතීම් වල දී තම හැගීම් යටපත් කර තබා ගැනීමට තැත් කළ ද මහින්ද රාජපක්ෂගේ පුද්ගල ස්වරූපය සාමාන්‍යයෙන් ප්‍රචණ්ඩ හා නොසන්සුන් සුළු ය. උද්වේගකර ය. වහා කිපෙන සුළු ය. ඔහුගේ දෙශපාලන ගමන් මග විමසා බැලූවිට මේ පුද්ගල ස්වභාවයන් ඉස්මතු වූ අවස්ථා ඕනෑවටත් වඩා දකින්නට තිබේ. මුල්කිරිගල අතුරු මැතිවරණයේ දී එවකට පැවැති එජාප ආණ්ඩුවේ සහාය ලත් මැර කණ්ඩායම් පාලනය කිරීමට හැකිවූයේ මහින්ද රාජපක්ෂගේ මේ පුද්ගල ස්වරූපය නිසා ය. එසේම ලබා ගත් ජයග්‍රහණයට අනුව ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් නායක අමරසිරි දොඩන්ගොඩව 1993 දී දකුණු පළාතේ ප්‍රධාන අමාත්‍ය තනතුරේ දිවුරුම් දීම කර ගත හැකි වූයේ ද මහින්ද රාජපක්ෂගේ මේ පුද්ගල ස්වරූපය නිසාය. එහෙත් ඒ පුද්ගල ස්වරූපය දේශපාලන පෞර්ෂයක් ලෙස එදා හැදින්විය හැකිවුවත් පසුව එය දේශපාලන මැරයකුගේ සංස්කෘතික ලක්ෂණයක් දක්වා දුරදිග යෑම කනගාටුවට කරුණකි.

පසුගිය ජනාධිපතිවරණයේ හලාවත දී පැවැති රැස්වීමක දී වේදිකාවේ දී තම ඇදිවත මදක් ඔසොවමින් “මැදමුලනේ රාජපක්ෂවරුන්ගේ” තරම ප්‍රදර්ශනය කිරීමට ඔහු නොපැකිලුණි. එසේම දකුණු පළාත් සභා මැතිවරණ රැස්වීමක් තිස්සමහාරාමයේ දී පැවැත්වෙද්දී ද තම ඇදිවතට අත යවමින් “මැදමුලනේ රාජපක්ෂවරුන්ගේ” තරම් පෙන්වීමට ඔහු ඉදිරිපත් වුණි. ඔහු රාජ්‍ය නායකයා වූ නිසා එම අවස්ථාවන් විවේචනය කිරීමට සමාජය නොපෙළබුනත් ඔහුගේ ක්‍රියාවේ අශිෂ්ඨභාවය වඩා ඉහළින් කැපී පෙනුනේ ඔහු රටේ ජනාධිපතිවරයා වූ නිසා ය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සංස්කෘතික පසුබිම ශක්තිමත් කළේ ඔහුගේ පුද්ගල ලක්ෂණයන් විසිනි. ප්‍රචණ්ඩ, උද්වේගකර, නොසන්සුන් හා වහා කිපෙන සුළු ස්වරූපය දේශපාලන නායකයකුගේ සංස්කෘතික පදනම තීරණය කරන්නා වූ පුද්ගල සාධක වූ විට එමගින් ඒ සමාජයේ සංස්කෘතික පදනම ද නිර්ණයවීම වැළැක්විය නොහැක. ඒ නිසා සමාජය තුළ ද ශක්තිමත්ව ස්ථාපනය වන්නේ නොහික්මුණු ගති ස්වභාවයයි. එය සමාජයක සංස්කෘතික ගති ලක්ෂණයක් වූ විට එය ඒ සමාජයේ පැවැත්මට හානිදායක ය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මේ හැසිරීම මහජන ඔල්වරසන් වලින් සීමාවූවා නම් එය හාස්‍යයෙන් ඉවසන්නට ඉඩ තිබුණි. එහෙත් අසත්‍යයන් මත මහජන හැගීම් ඇවිස්සීම ඔහු කරන්නා වූ බරපතල වරදකි. මහින්ද චින්තන දේඅශපාලනය පදනම් වන්නේ හැගීම්බර හා සංවේදී දෙශපාලන කාරණා මත නිසා මෙහි ඇති බැරෑරුම්භාවය බොහෝ අයට තේරුම් යන්නේ නැත. එහෙත් ජනමනස සංවේදී වන කරුණු අවස්ථාවාදීව ප්‍රකාශ කරමින් ඡන්ද ගොඩ විශාල කර ගැනීමට තැත් කිරීම සාමාන්‍ය දේශපාලන ප්‍රබන්ධයන් පුනරුච්ඡාරණය කරනවාට වඩා විනාශකාරීය.

ජනාධිපතිවරණයෙන් පසුව අපේක්ෂාභංගත්වයට පත්වූ මහින්ද පාර්ශ්වය බොහෝ විට මහජනතාව උසි ගැන්වූයේ අලුත් ආණ්ඩුව විසින් රාජ්‍ය ආරක්ෂාව භයානක ලෙස නොසලකා හැර ඇති බව කියමිනි. ඒ අනුව එල්ටීටීඊ ත්‍රස්තවාදය නැවත හිස එසවීමේ අවධානමක් ගැන නිතර අනතුරු හැගවුණි. ඕනෑම අනතුරක් සම්බන්ධයෙන් පූර්ව අවධානමකින් සිටීම කළ යුත්තකි. එහෙත් සාක්ෂි නැති ළග එන අනතුරක් සම්බන්ධයෙන් ඇගිල්ල දිගු කිරීමට එමගින් ආවරණයක් ලැබෙන්නේ නැත. නමුත් දයාන් ජයතිලක වැනි මහින්ද පාර්ශ්වයේ බුද්ධිමය කොටස් වල සිට විමල් වීරවංශ වැනි බොළද හරසුන් කොටස් දක්වාම සමාජ ගත කළේ ළග එන එල්ටීටීඊ උවදුරක් සම්බන්ධයෙන් වූ දේශපාලන අදහසකි.

මතුපිටින් පෙනෙන්නට තිබෙන චිත්‍රය අනුව මහින්ද රාජපක්ෂ චින්තනය ඊනියා බෙදුම්වාදී ත්‍රස්තවාදයට සපුරා ප්‍රතිවිරුද්ධ දැනුම් පද්ධතියකි. ඒ චින්තනය කර මත තබා ගනිමින් ඊට දර දිය ඇදි පාර්ශ්වයන් ඊනියා බෙදුම්වාදී ත්‍රස්තවාදයට සපුරා ප්‍රතිවිරුද්ධ ජන කණ්ඩායමකි. ඒ නිසාම දේශප්‍රේමී චින්තනයක් ලෙස ද දේශප්‍රේමී සමාජ කණ්ඩායමක් ලෙස ද තමන් විසින්ම ඉහළට ඔසොවා තබා ගත්තකි. නමුත් රාජ්‍ය බලය ලබා ගැනීම හා පවත්වා ගැනීම සම්බන්ධයෙන් එල්ටීටීඊ දේශපාලනය හා සම්මුති ඇති කර ගත් තවත් දකුණේ දේශපාලන කණ්ඩායමක් ලෙස මහින්ද චින්තන පාර්ශ්වය හැදින්වීම වඩා නිවැරදිවනවා නො අනුමානය.

එල්ටීටීඊය හා දේශපාලන ගනුදෙනුවක් පවත්වා ගැනීම ධනාත්මක වුවද එය පවා දේශද්‍රෝහීකමක් යැයි හංවඩු ගසා සමාජයට පීඩනය මුදා හළ පාර්ශ්වයක් පසුව බලය පවත්වා ගැනීම සදහා ඒ එල්ටීටීඊ දෙශපාලනය සමග සබදතා පැවැත්වීම තක්කඩිකමකි. එක්සත් ජාතික පක්ෂය විසින් එල්ටීටීඊය ශක්තිමත් කළා නම් හා එම පක්ෂයේ ප්‍රතිපත්ති නිසා බෙදුම්වාදය ශක්තිමත් වූවා නම් 2005 ජනාධිපතිවරණයේ දී එල්ටීටීඊය තම සහයෝගය ලබාදිය යුතුව තිබුනේත් උතුරු නැගෙනහිර දෙමළ ජනතාව යොමු කළ යුතුව තිබුනේත් එජාප ජනාධිපතිවරණ අපේක්ෂක රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය සදහා ය. නමුත් උතුරු නැගෙනහිර දෙමළ ජනතාව මැතිවරණ වර්ජනයකට යොමු කරමින් ඔවුන් තම සහාය පළ කළේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂක මහින්ද රාජපක්ෂටයි. එහිදී මූල්‍යමය ගනුදෙනුවක් වූ බවට සාක්ෂි පවා ඉදිරිපත් වුණි. අලුත් ආණ්ඩුව පවා ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් මෙතෙක් ආරම්භ කර නොමැත. එහෙත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසන පරිදි විධිමත් පරීක්ෂණයකින් පසුව මහින්ද රාජපක්ෂගේ ප්‍රජා අයිතිය අහෝසි කළ හැකිබව ජනාධිපති මෙත්‍රීපාල සිරිසේන පවසා තිබේ.

බලය පවත්වාගෙන යෑමේ අරමුණෙන් පටු අර්ථයෙන් එල්ටීටීඊය හා සම්මුති ඇති කර ගත් පාර්ශ්වයක් දැන් එල්ටීටීඊ ත්‍රස්ත අනතුරක් සම්බන්ධයෙන් සමාජයට අනතුරු හැගවීම උපහාසාත්මක ක්‍රියාවකි. බලය ලබා ගැනීමට මෙන්ම බලය පවත්වා ගැනීමටත් ජාතික ආරක්ෂාව සමග සූදු ක්‍රීඩා කළ පාර්ශ්වයක් දැන් නැවත බලය ලබා ගැනීම සදහා තමන් කළින් දැරූ ප්‍රතිපත්තියට සපුරා වෙනස් ප්‍රතිපත්තියක් දරමින් හාස්‍ය මතු කිරීම හැර වෙනත් වැදගත්කමක් රාජපක්ෂ පාර්ශ්වය විසින් රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් මතු කරන අනතුර තුළ දක්නට නොමැත.

එක්සත් ජනතා නිදහස් සන්ධානය මහා මැතිවරණයට ඉදිරිපත් වී ඇත්තේ ගෙවී ගිය තම දස වසරකට ආසන්න පාලන කාලය තුළ සිදුවූ වැරදි, අතපසුවීම් හා අසාර්ථකවීම් සම්බන්ධයෙන් නිවැරදි තක්සේරුවකින් බව පෙනෙන්නට නොමැත. හුදු කතා බහට සීමාවූ පරිදි වැරදි වූ බව පිළිගත්තත් ඒ වැරදි මොනවාද, ඒ වැරදි සිදුවූයේ කුමන ප්‍රතිපත්තීන් නිසාද, ඒ වැරදි යළි නොවන්නටත් සිදුවූ වැරදි නිවැරදි කර ගන්නටත් සුදුසු අලුත් ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ගයන් මොනවාදැයි පැහැදිලි කිරීමටත් ඔවුන් ඉදිරිපත් නොවීම කනගාටුවට කරුණකි.

පරාජය වූ දේශපාලන බලවේගයකට යළි සමාජය ඉදිරියට පැමිණීමට අයිතියක් ඇතත් යළි පැමිණ කරන්නට යන දේ පැහැදිලි කිරීම ඔවුන්ගේ වගකීමකි. එහෙත් මහින්ද රාජපක්ෂ හෝ ඔහුගේ පර්ශ්වය හෝ මේ සම්බන්ධයෙන් දරන්නේ “කන් බිහිරි කරවන තරමේ නිෂ්ශබ්දතාවකි”. සාමාන්‍යයෙන් නව ලිබරල්වාදය තුළ රටක දෙශපාලන පක්ෂ ජනතාවාදී වෙන්නේ මැතිවරණ කාලයේ දී පමණි. ඉන් අනතුරුව ඔවුන් සම්මුති සහගත වන්නේ ගෝලීය ආර්ථික අවශ්‍යතා සමගිනි. ඒ අත්දැකීම තුළ මහින්ද රාජපක්ෂ ස්වේච්ඡාවෙන්ම වැරදි නිවැරදි කර ගන්නේ යැයි විශ්වාසයක් ඇති වන්නේ නැත.

එහෙත් ඔහුගේත් ඔහුගේ පර්ශ්වයන්ගේත් දේශපාලන ඉතිහාසය ගොඩනැගී ඇත්තේ අශිෂ්ඨ දේශපාලන සංස්කෘතියක් මත ය. දේශපාලන වේදිකා වල දී මහින්ද රාජපක්ෂ සම්බන්ධයෙන් කතා බහක් ගොඩනැගෙන්නේ ද ඒ සංස්කෘතික ගති ස්වභාවයන් සම්බන්ධයෙනි. දස වසරකට ආසන්න තම පාලන කාලය පුරාම සමාජය තුළ ශක්තිම වූයේ මහින්ද රාජපක්ෂ විසින් ගොඩ නැගූ මජර දේශපාලන සංස්කෘතිය යි. ඔහු තවමත් ආණ්ඩු බලය ඉල්ලන්නේ ඔහුගේ අශිෂ්ඨ ක්‍රියා මගින් තහවුරු වූ සමාජ සංස්කෘතිය ශක්තිමත් කිරීමටයි.

තම බිරිද වූ ශිරන්ති රාජපක්ෂ ඉදිරියට ගනිමින් පවා මහින්ද රාජපක්ෂ උත්සාහ ගන්නේ අහිමි වූ රාජ්‍ය බලය යළි ලබා ගැනීමටයි

shan.info1978@gmail.com

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    0

    Creative article

  • 0
    1

    If you are not dumb enough, you should know by now that there is no “murder” in this Thajudeen case. What you are mudslinging on innocent person who has been harassed by your favorite yahapalana friends.

  • 0
    0

    This comment was removed by a moderator because it didn’t abide by our Comment policy.For more detail see our Comment policy https://www.colombotelegraph.com/index.php/comments-policy-2/

  • 1
    0

    ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ අපරාධ පරීක්ෂණදෙපාර්තමේන්තු සම්ප්‍රාප්තිය පිළිබඳ මෙම කාලීන සටහන වැදගත් වන්නේ ශ්‍රී ලාංකේය ජන මාධ්‍ය සමූහය තුළින් එවැන්නක් කියැවීම අහඹුවක් බැවිනි.බ්‍රිතාන්‍ය යටත් විජිතභාවයෙන් මිදුනු අප රට රෝම ලංදේසි නීතිය හා බ්‍රිතාන්‍ය පාලනය විසින් සංස්ථාපිත පොලිස් සේවාවක් ක්‍රියාත්මක වුවද පුර වැසි විඥානය පසුගාමිත්වයෙහි රඳවා තැබීම ස්වදේශීය පාලනයේ දිගු කාලීන උපාය මාර්ගය විය.එහෙයින් මෙම සංදර්භයෙහි පුර වැසි ක්‍රියාකාරිත්වය සැසඳිය යුත්තේ දේශපාලනය සමගය.මන්ද යත් දේශපාලන පක්ෂ හා පොදු මිනිස් සන්තානය සමාන්තරව පසුගාමී හා ප්‍රතිගාමී බැවිනි.ස්වදේශීය පාලනය මගින් දූෂිත පොලීසිය හා අධිකරණ පද්ද්ධතිය පවා තත් කාලීන දේශපාලන සංස්ථා හා පොදු මිනිස් ක්‍රියාකාරිත්වය ඉදිරියේ අසරණය!රාජපක්ෂ සාධකයෙහි ලා සී අයි ඩීයට සහ අධිකරණයට අභියෝග කරන මිනිසුන්ගේ ඉල්ලීම ඉපැරණි රජාණ්ඩුවකි.රජ සමය පිළිබඳ යථා ඉගැන්වීමක් කවර කලෙකවත් සිදුව නැත.මන්ද යත් ප්‍රාථමික සාමූහික සමාජ ක්‍රමයෙන් පසු අද දක්වා පොදු මිනිසා නියෝජනය කැරෙන දේශපාලනයක් මෙරට නොතිබූ බැවිනි.දැනුදු නැති බැවිනි.රජුගේ වාර්ගිකත්වය කුමක් වුවද හෙළ රජ සමයේ යුක්තිය පසැඳිලීම රජුගේ මුවින් පිටවූ වචනයෙන් සිදු විය.ශ්‍රී වික්‍රම රාජසිංහ ඇහැලේපොල කුමාරිහාමි සහ ඒ ශ්‍රේෂ්ත්ඨ මාතාවගේ දරුවන්ට දුන් දඬූවම් කුප්‍රකටය. ඒ අති ශ්‍රේෂ්ඨ කුල කාන්තාව රාජසිංහ ජඩයා හා යහන් ගත වීමට එකඟ වීනම් මුළු පවුලටම රජ සැපත් මරණින් මතු ඉතිහාසයේ කුණු බක්කියත් උරුම කර ගත හැකිව තිබුනි.රාජසිංහට නිසි දඬුවම ලැබුනේ සුද්දන්ගෙනි.වසීම් තාජුඩීන් ඔහුගේ ක්‍රීඩාවට අත පොත් තැබූ පිටිය විකිණීමට මනාපය පල කළේ නම් රුදුරු මරණය ඔහු වෙත නො එලැඹෙන බැව් ප්‍රකටය.මිනිස් වග ඉදිරීයට ගියේ සාවද්‍ය භාවිථය ඉදිරියේ දනින් වැටී නොව ශ්‍රේෂ්ඨ ජීවිත පරිත්‍යාග මගිනි.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.