27 April, 2024

Blog

තල වපුරා මුං බලාපොරුත්තුවීමේ ආනිසංස කෙසේ ද?

කේ.ජී.පිලිප් ශාන්ත

කේ.ජී.පිලිප් ශාන්ත

සාමාන්‍යයෙන් අපේ රටේ ශිෂ්‍ය ව්‍යාපාරයට පැවරී ඇති ලොකුම රාජකාරිය වන්නේ නිදහස් අධ්‍යාපනය රැක ගැනීම සදහා කටයුතු කිරීමයි. මා විශ්ව විද්‍යාලයේ දැනුම හදාරන කළ ද එවැනි රැක ගැනීමක් විශ්ව විද්‍යාල ප්‍රජාව මත පැටවී තිබුණි. එදා උදෙන්ම ඇණවුම් කර තිබූ බස් වලින් අප කොළඹ එනවිටත් දහස් ගණන් ශිෂ්‍ය ශිෂ්‍යාවන් කොටුවට පැමිණ තිබුණි. ඒ සිද්ධිය සුවිශේෂ වූ නිසා දෝ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයට පිටස්තර ශිෂ්‍ය සංවිධානයන්හි බහුතරයක් ද කොටුවට පැමිණ සිටියහ.

පළමුව කොටුව ස්ටේෂන් එකේ පදික වේදිකාවේ පෙළ ගැසී උද්ඝෝෂණය ආරම්භ කළ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ එය උන්මාදනීය වත්ම මහා මාර්ගයේ එක් මන්තීරුවකට බැස්සහ. එහෙත් අප දෙස බලා සිටි පොලිස් නිලධාරීහු එය ගානකට නොගත්හ. ටික වේලාවකින් ඔවුන් අපට අවවාද කළේ මහා මාර්ගයෙන් ඉවත්වන ලෙස ය. එහෙත් පොලීසියේ ප්‍රතිරෝධය සැලකිලියුතු එකක් නොවූයෙන් ශිෂ්‍ය ශිෂ්‍යාවෝ දෙවැනි මන්තීරුවට ද අත්පත් කර ගත්හ. ඒ වනවිට මොකක්දෝ අලුත් දෙයක් වෙමින් තිබුණි. පොලිස් නිලධාරීහු ක්‍රමයෙන් ඔබ මොබ ගියහ. තවත් ටික වේලාවක් ගත විය. පොලීසිය නිහඩය. ශිෂ්‍ය ශිෂ්‍යාවෝ සම්පූර්ණයෙන් මහා මාර්ගය අත්පත් කර ගත්හ. වාහන එක පෙළට හිරවුණි. ඒ වනවිට කොළඹ කැරළි මර්දනය සදහා වෙනම ඒකකයක් පිහිටුවා තිබුණි. එහි කාන්තා පොලිස් නිලධාරීහු ද වූහ. ඉතිහාසයේ පළමු වතාවට කාන්තා පොලිස් නිලධාරීන් ඇතුළු පිරිමි පොලිස් නිලධාහු ද අයත් කැරළි මර්දන විශේෂ ඒකකය යොදවා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට වට කර පහර දුනි.

ශිෂ්‍ය ශිෂ්‍යාවන් උන්මාදයට පත්ව සිටි බැවින් පොලීසියේ සැලසුම නොවැටහුණි. ඔවුන් අපව වට කර පළා යන්නට ඉඩක් නොතබා පොළු වලින් පහර දුනි. කොටුව ස්ටේෂමේ යකඩ දොරවල් වසා තිබුණු අතර හිරවී එක පොදියට ගුළි වී පහර කමින් සිටි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ මුළු වැර යොදා යකඩ දොරවල් විවෘත කරගෙන ස්ටේෂම තුළට ගොස් සැහැල්ලුවක් ලබා ගතිමු. මුළු ප්‍රදේශය පුරා කදුළු ගෑස් ද අධි බලැති ජල ප්‍රහාරයන් ද නොනැවතී ක්‍රියාත්මක වුණි. පොලිස් කැරළි මර්දකයෝ මදියි නොකියන්නට පහර දුනි.

උපක්‍රමිකව වටකර ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පහර දුන් පොලීසිය එදා ද පැවසුවේ රාජ්‍ය දේපළ වලට බරපතල හානි සිදුව ඇති බවකි. ඒ අතර පොලිස් නිලධාරීන්ට තුවාල සිදුව ඇති බවක් ද කියවුණි. ඇත්තටම පොලීසියේ කැප් තොප්පි, බැටන් පොළු, කදුළු ගැස් කැප්සියුල් හා ජලය විශාල ලෙස කොටුව ස්ටේෂම ප්‍රදේශයේ විසිරී තිබුණි. ඒ අන්දමින් විශාල ලෙස රාජ්‍ය දෙපල හානියක් සිදුවී තිබුණි.

රාජ්‍ය දේපල වලට හානි කිරීම.

රජයේ ජේෂ්ඨතම ඉහළ නිලධාරියකු මට පෞද්ගලිකව ප්‍රකාශ කළ පරිදි ගිය බදාදා ශිෂ්‍ය උද්ඝෝෂණයට පොලිස් ප්‍රහාරය එල්ල කර ඇත්තේ ද එලෙසම ය. වසර කීයක් ගියත් පාඩම් ඉගෙන නොගන්නා ශිෂ්‍ය ව්‍යාපාරය පොලීසියේ ලනු කා පහර පිට පහර බැටන් පොළු ප්‍රහාර ද කා ඇත්තේ අමාත්‍යංශය ඇතුළට යන්නට මුලින් දී තිබූ අවස්ථාවෙන් ඊට ඔවුන් රිංගා ගැනීමෙන් පසුව ය. වීදුරු බිදී ගොසිනි. වෙනත් දේපළ විනාශව ගොස් ය. ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට එරෙහි ජනමතය සකස් කිරීම සදහා අමුද්‍රව්‍ය ඕනෑ තරම් ප්‍රහාරයත් සමගම සකස් වී තිබේ. මේවා තේරුම් ගන්නට ලංකාවේ ශිෂ්‍ය ව්‍යාපාරය තවත් කොපමණ කාලයක් ගනිවිද යන්න ස්ථාවරව කිව නොහැක.

දේශපාලන දෘෂ්ටියක් නිවැරදිව ගොඩනගාගෙන නොමැති ලංකාවේ ශිෂ්‍ය ව්‍යාපාරය ධනපති ආණ්ඩුවේ ශක්තිය අවප්‍රමාණ කරමින් අරගල ආරම්භ කරන්නේ උන්මාදයෙනි. දේශපාලන දෘෂ්ටිය නිවැරැදි නොවන නිසා පරාජය අරගල ජනනයේම සුරතේ තබා ගෙන තිබේ. උපක්‍රමික අරගල විධික්‍රම කාලයාට අනුව සකස් කර නොගන්නා නිසා පහරකෑම එකම ඉලක්කය වී ඇත. ඒ අනුව පාරට බැසීමත් ආරක්ෂක කැරළි මර්දන බලකාය දිව ඒමත් කදුළු ගෑස් හා බැටන් ප්‍රහාර වැදීමත් කොල්ලන් හා කෙල්ලන් අමාරුවෙන් සටන් වැද පසුබා යෑමත් හින්දි චිත්‍රපටයක මෙන් දෘෂ්‍යමාන වේ.

ශක්තිමත් සටන්කරුවන් ද ශක්තිමත් තාර්කිකයන් ද ඇතුළු මානව සම්පතක් වන නායකත්ව ලක්ෂණයන් පිහිටා ඇති ශිෂ්‍ය කොටස් මේ අරගල තුල ප්‍රායෝගික අත්දැකීම් ලබති. ඒ අර්ථයෙන් වෛද්‍ය ශිෂ්‍යයාට රෝහල්වල ප්‍රායෝගික පුහුණුව මෙන්  මිනිස් පෞර්ෂය ගොඩනංවා ගැනීම සදහා මේ සිසු දරුවන්ට ප්‍රායෝගික පුහුණුව ලැබෙන්නේ අරගල වලිනි. සමාජ ක්‍රියාකාරීත්වයට දායක නොවන නිෂ්ක්‍රියා හා අදේශපාලනික සිසු කොටස් කටපාඩමින් විභාග සමත්ව සමාජයේ ඉහළ රැකියා වලට යද්දී මේ නිපුණතා පූර්ණ, ක්‍රියාකාරී, හැකියාවන්ගෙන් යුතු සිසු කොටස ආන්තීකරණයට ලක්වෙති. අරගලයන්ට දායක වන සිසුන්ට රජයේ රැකියා ලබාදීමේ දී එය නුසුදුකමක් ලෙස ගත යුතුයැයි කණින් කොණින් කියවෙන්නේ එවැනි කප්පාදුවකට සූදානමක් පවතින බැවිනි.

කොපමණ දූෂණයට ලක්ව ඇතත් විශ්ව විද්‍යාල ප්‍රවේශය තවමත් සිදු කරන්නේ ස්වාධීන කොමිෂම් සභාවකිනි. රජයේ කාර්යාල කාර්ය සහකාර,රියදුරු හා කම්කරු වැනි රැකියා වලට හැරෙන්නට පිරිස් බදවා ගන්නේ විවෘත තරග විභාගයකිනි. එම බදවා ගැනීම් සාපේක්ෂව බලපෑමකින් තොරව සිදු කෙරේ. දැන් මේ උත්සාහ කරන්නේ එම ස්වාධීන කටයුතුත් දේශපාලකයන්ගේ ග්‍රහණයට ගන්නට මෙනි. සිසු අරගලයන්ට සම්බන්ධවූවන් මානව සම්පත් කළමනාකරණයේ දී වැදගත් පෞර්ෂයක් හිමි සම්පතකි. එහෙත් රජය අමනෝඥ ලෙස උත්සාහ ගන්නේ එය නුසුදුසුකමකට පෙරලා පෞර්ෂයෙන් හීන එහෙයියන් කොටසක් රජයේ සේවයට බදවා ගන්නට ය. එහෙත් මේ පෞර්ෂවත් තරුණ කොටස් ලේබල් අලවා බැහැර කිරීම නොකළ යුත්තකි.

සර් අයිවන් ජෙනින්ස්ගේ ප්‍රවේශය

පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර ගවේෂනයට ගිය මුල් දිනවල මගේ සිතෙහි ව්‍යාකූලත්වයක් ඇති කළ පළමුවැන්න නවක වද ක්‍රියාවලිය වන අතර දෙවැන්න වූයේ එහි සංස්කෘතියයි. මගේ මවගේ වයසේ තරම් මහළු කාන්තාවන් ශූර ලෙස හා වේගවත්ව තම මෝටර් රථ පැදවීමත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතර පවතින ලිංගික නිදහසත් මා සිත කම්පනය කළ විශ්ව විද්‍යාල සංස්කෘතියේ විශේෂ ලක්ෂණ ලෙස දැනටත් සිතෙහි සටහන් වී තිබේ. සිංහල බෞද්ධ වික්ටෝරියානු ග්‍රාමීය මානසිකත්වයෙන් ඇති තරම් පෝෂණය වී සිටී මා එම වෙනස් සංස්කෘතියට හුරුවීමට යම් සැලකිය යුතු කාලයක් ගත් බව කීවොත් වඩාත් නිවැරදිය.

මහළු කාන්තාවන් රිය පැදවීම කෙසේ වෙතත් සිංහල බෞද්ධ කන්‍යා පටලය බිදී යන්නා වූ වඩාත්ම සැලකිය යුතු කාරණය වූයේ තරුණ මානව මානවිකාවන් අතර වූ අපූරු වූ ලිංගික නිදහසයි. කෙනෙක් මේ නිදහස යොවුන් ප්‍රේමයේ ආහ්ලාදජනක හැසිරීමක් ලෙස හැදින්වීමට වඩා කැමැතිවිය හැකිය. එහෙත් එය සත්‍යයෙන් වඩාත්ම ඈත් වූ ෆැන්ටසියක් බව පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ගස් ගල් හා අදුරු ගොඩනැගිලි වල බිත්ති සාක්ෂි දෙනවා නො අනුමානය. මේ යෞවන යෞවනියන් අතර කිසිම මානුෂික ප්‍රේමයක් නැතැයි ද ඇත්තේ රාගයම පමණක් යැයි ද කීමට මම ඉක්මන් නොවෙමි. ඇත්තේ රාගයම පමණක් යැයි කීවද එය ඔහුන්ට කරන්නාවූ අපහාසයක් වන්නේ ද නැත. එහෙත් පිටත සමාජයේ මධ්‍යම පාංතික සදාචාර රීතීන් විශ්ව විද්‍යාල සංස්කෘතියේ එතරම් දක්නට නැති බව කීවොත් වඩා නිවැරදි ය.

යෞවන යෞවනියන්ට නිදහසේ හැසිරීමට ඇති අයිතිය මුළුමනින්ම යොවුන් ප්‍රේමය මුදා හැරීමට උදාවූ අවස්ථාවක් යැයි කීවොත් එය අසාධාරණය. එකිනෙකාගේ එකගතාව මත ලිංගික සුවය විදීමට ද ඒ නිදහස තුළ ඉඩක් පවතිය යුතුය. සියළු සමාජ හැසිරීම් විනයකට යටත් විය යුතු බව සත්‍ය වුවද නීතී රීතීන් මගින් මිනිස් අවශ්‍යතා පාලනය කිරීමට යෑම ශිෂ්ඨ සම්පන්න නොවේ. ඒ සම්බන්ධයෙන් සිංහල බෞද්ධ සමාජය තුළ ඉතාම ප්‍රජාතාන්ත්‍රික නිදහසක් තිබූ බව පැරණි සමාජ සංස්ථාවන් අධ්‍යයනය මගින් අවබෝධ කරගත හැකිය. එය කෙසේවත් අවබෝධ කර ගැනීමට නොහැකි වී ඇත්තේ බටහිර ප්‍රජාවේ සංස්කෘතිය ප්‍රතික්ශේප කරමින්ම ඔහුන්ගේ ආදි කල්පිත වික්ටෝරියානු ඇවතුම් පැවතුම් වන්දනා මාන කරන මහාචාර්ය නලින් ද සිල්වාට පමණි.

ප්‍රේමය, ආදරය හා ලිංගිකත්වය සම්ප්‍රදායි මාක්ස්වාදී අර්ථයෙන් මධ්‍යම පාංතික අවශ්‍යතා යැයි අර්ථ දක්වා ඉවත ලා හැකි වුවද පසු මාක්ස්වාදී අර්ථයෙන් ද ප්‍රජාතන්ත්‍රවාදී අර්ථයෙන් ද සමාජ සංවර්ධනයේ ලා වැදගත් ප්‍රපංචයන් ය. ලාංකික මාක්ස්වාදී කතිකාව තුළ ඊට වැඩි ඉඩකඩක් විවර වී නැතත් ධනේශවර කතිකාව තුළ ඊට මැදිහත් වූ ප්‍රමුඛයා වන්නේ සර් අයිවර් ජෙනින්ස් බව ඔහුට කරන්නා වූ ගෞරවයක් ලෙස සටහන් කර තැබිය යුතුය. තුන් කල් දකින්නා වූ ප්‍රමාණික නීතිවේදියකු හා අධ්‍යාපනවේදියකු වූ සර් ජෙනින්ස් ලංකා විශ්ව විද්‍යාලයේ ප්‍රථම උප කුලපතිවරයා ලෙස ලෙස ක්ෂේත්‍රයේ සිදුකළ සංස්කෘතික පෙරලිය විශිෂ්ඨය.

එවකට ලංකා විශ්ව විද්‍යාලය ලෙස පේරාදෙනියේ පිහිටවූ උසස් අධ්‍යාපන ආයතනය සදහා සුදුසු ස්ථානයක් තෝරා ගැනීමේ සිට අභ්‍යන්තරය සැලසුම් කිරීම දක්වා ඔහුගේ බුද්ධියේ වෙහෙසක් බව කියවේ. මුළුමනින්ම ස්වභාව ධර්මයා සම්බන්ධ කර ගනිමින් ද දියුණු අධ්‍යාපන මනෝ විද්‍යා ආකල්ප මත පදනම් වෙමින් ද ඔහු නිර්මාණය කළ පේරාදෙනිය විශ්ව විද්‍යාලයට අදටත් අභියෝග කිරීමට වෙනත් කිසිම ලාංකික විශ්ව විද්‍යාලයක සංස්කෘතියකට හැකිවී නොමැත.

විසල් මිනිසෙක් පුළුල් දැක්මක්

පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ආදරවන්තයන්ගේ මාවත ජෙනින්ස්ගෙ ආකල්ප මතින් නිර්මාණය වූවකි. නිකම්ම නිකන් උපාධි කඩදාසියක් ලබාගෙන කේන්ද්‍රයේ රටවල ප්‍රාග්ධනයට කබුරා කීයක් හෝ හොයා ගෙන ජීවිතය යන්ත්‍රයක් සේ ගෙවා දැමීමට කැපවූවන්ට ජෙනින්ගේ ආකල්ප විහිළුවක් විය හැකිය. ග්‍රාම්‍ය හීනමාන සදාචාරය නිසා වසර හත අටක් තිස්සේ ගබඩා කරමින් ආ ශුක්‍ර තරලය තෝරා ගත් පුෂ්ඨිමත් මාංශ ඇති ගැහැණු ශරීරයකට නිදහසේ මුදා හරින කුපාඩිකාරයන්ගේ ගුබ්බෑයමක් ලෙස ආදරවන්තයන්ගේ මාවත අර්ථ දැක්විය හැකිය. එහෙත් දියුණු හා ශිෂ්ඨ මානයකින් බලන්නේ නම් සර් ජෙනින්ස් නිර්මාණය කළේ යෞවන යෞවනියන්ගේ තාරුණ්‍යයේ සැලකිය යුතු කාලයක් ගත කරන්නා වූ විශ්ව විද්‍යාල ජීවිතය සෞන්දර්යාත්මක කරන්නා වූ පරිසරයකි.

සර් ජෙනින්ස්ට හිමිවී තිබූ අසීමිත පෞර්ෂය නිසා තම කාර්ය මණ්ඩලයේ සගයන්ට හෝ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට හෝ ඔහු අනවශ්‍ය ලෙස බිය නොවීය. ශිෂ්‍ය උද්ඝෝෂණයකට හෝ වෙනයම් නොසන්සුන්තාවකට හෝ ඝෘජුව මැදිහත්වීමටත් ඊට විසදුම් ලබාදී ප්‍රශ්නය විසදීමටත් ඔහුට මනා හැකියාවක් තිබුණි. ඒ පෞර්ෂය ගොඩනැගුණේ සංස්කෘතිය තුළිනි. නියත විවිරණ ලබා ගන්නා අයුරින් රාජ්‍ය නායකයාට වන්දනා මාන කර උප කුලපති ධූර ලබා ගන්නා වූ සම්ප්‍රදායක් එකළ නොතිබුණි. ඒ නිසා ආත්ම ගෞරවය රුක ගන්නා පරිදි රාජකාරීන් කිරීමට ඔවුහු නොපැකිළුණි. ඒ නිසාම අධ්‍යයන කාර්ය මණ්ඩලයේ හා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ස්වයං ගෞරවය ස්වාභාවිකවම ඔහුන්ට ලැබුණි. පරිපාලනයේ දී මානවක මානවිකාවන්ගෙන් පලි නොගනිමින් තම අසහාය චරිත ලක්ෂණයන්ගෙන් ඔහුන් ඇද බැද තබා ගැනීමට හැකි වූයේ එබැවිනි. ජෙනින්ස්ගේ ආකල්ප මුළුමනින්ම පදනම් වී තිබුණේ දියුණු ධනේශ්වර සංස්කෘතියක ආභාෂය මතිනි. ඔහු ලෝකය දැක්කේ මහා සම්ප්‍රදායක් තුළිනි. සර් අයිවර් ජෙනින්ස් අධිරාජ්‍යවාදයේ නියෝජිතයකු බව අවිවාදිත ය. එහෙත් ඒ වූ නිසාම ජෙනිස්ගේ දියුණු ආකල්ප පැසසීමට එය බාධාවක් විය යුතු නැත. එහෙත් ජෙනින්ස් අධිරාජ්‍යවාදියෙක් වූ නිසාම ඔහුගේ ප්‍රමාණික දක්ෂතා ඇගයීමට පවා ලාංකික සමාජය ඉදිරිපත් නොවීම අශිෂ්ඨය.

මේ ගරු කළ යුතු සංස්කෘතිය හැත්තෑවේ දශකයේ දී ද විශ්ව විද්‍යාලයන්හි ආරක්ෂා වී තිබුණි. මේ වනවිට දේශපාලකයන් විශ්ව විද්‍යාල වලට යනවිට  වර්තමානයේ දී කොල්ලන් හූ කීවත් සමගි පෙරමුණ ආණ්ඩුවේ මුදල් ඇමති ආචාර්ය එන් ඇම් පෙරේරා සිය අය වැය කතාව රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කර ඒ සම්බන්ධයෙන් වූ පළමු සංවාදයට සම්ප්‍රදායක් ලෙස ගොස් ඇත්තේ පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ කලාගාරයටයි. ආචාර්ය සරත් අමුණුගම වරක් ලක්බිම පුවත් පතේ කොළමින් පවසා තිබුණේ ආචාර්ය ඇන් එම් පෙරේරා එසේ අය වැය සංවාදය සදහා කලාගාරයට පැමිණෙන්නේ නවාතැන් පළේ සිට පයින් ඇවිදගෙන බවය. එහෙත් කොල්ලන් හූ කී බවක් වත් ගල් ගැසූ බවක් වත් මා නම් අසා නොමැත. යම් අවස්ථාවක එසේ විරෝධතා එල්ල වූ විටත් ඒවා සංයමයෙන් විසදා ගනිමින් තම අරමුණු කරා යෑමට එකළ නායකයන්ට හැකි වුණි. එදා අද මෙන් විශ්ව විද්‍යාල භූමියට පොලිසිය කැදවා කොල්ලන්ට දඩුවම් කළේත් නැත. පොලිසිය ලවා විශ්ව විද්‍යාල කොල්ලන්ට තැලීම තමන්ගේ පෞර්ෂයට කර ගන්නා හානියක් ලෙස එකළ සම්ප්‍රදාය තුළ පරිපාලකයෝ සිතූහ. එවැනි සම්ප්‍රදායක් වර්තමාන විශ්ව විද්‍යාල සංස්කෘතිය තුළ ඉතිරි වී තිබුණා නම් ශිෂ්‍ය නායක නායිකාවන්ට පොලීසියෙන් ගුටී කන්නට වන්නේ නැත. එසේම හැමදේටම ගිරිය පුප්පන් කෑ ගසා විශ්ව විද්‍යාල ගිනියම් කරන ශිෂ්‍ය දේශපාලනයක් විශ්ව විද්‍යාල තුළ ඇති වන්නේ ද නැත.

ශිෂ්‍ය ශිෂ්‍යවන් දෙස බැලිය යුත්තේ වහලුන් ලෙස නොවේ.

විශ්ව විද්‍යාල කොල්ලන් කෙල්ලන් ප්‍රේමය සදහා හෝ රාගය සදහා හෝ තැන තැන බස් දෙඩීම ඉවසීමට විශ්ව විද්‍යාල පාලකයන්ට නොහැකි වී ඇත්තේ ද සර් අයිවන්ස් ජෙනින්ස්ගෙ පරපුරේ ප්‍රමාණිකයන් දැන් විශ්ව විද්‍යාල ප්‍රජාව තුළ නොමැති බැවිනි. ජනාධිපතිවරයාට වන්දනා මාන කර ලබාගත් උපකුලපති ධූරය කෙසේ හෝ රුක ගනිමින් තම නොපිරුණු ජීවිත බරින් වැඩි කර ගැනීම අද විශ්ව විද්‍යාල ප්‍රජාවේ අවශ්‍යතාවයි. යමෙක් මෙය පුද්ගල වැරද්දක් ලෙස දකිමින් සිද්ධි මූලික විවේචනයක් තුළ රුදෙයි නම් හේ යහපත් ක්‍රමයක් සදහා කිසිවක් කරන්නෙක් නොවේ. යම් අසීමිත පෞර්ෂයක් හෙබි අයෙක් අසීමිත ගුණාංගයන්ගෙන් යුක්තව මේ ක්‍රමය තුළ විශේෂී විය හැකි වුවද ක්‍රමය විසින් බිහි කරන්නේ වත්මන් විශ්ව විද්‍යාල පාලකයන් වැනි දුර්වල පෞර්ෂය ඇත්තන් මිස ශක්තිමත් චරිතයන් නොවේ.

ශිෂ්‍ය අරගල සම්බන්ධයෙන් ආණ්ඩුව බැලිය යුත්තේ මෘදු ආකල්පයකින් යුතුව ය. ඔවුන් ආණ්ඩු පෙරලන බලවේගයක් ලෙස නොව ඉදිරි ආනාගතයේ දී ආණ්ඩු කරවන්නට ප්‍රායෝගික පුහුණුව ලබන කණිෂ්ඨයන් ලෙස දකින්නට හැකිවිය යුතුය. අරගලයක දී පොලිස් ප්‍රහාරයකින් උපක්‍රමිකව බේරෙන්නට නොදන්නා දුබල ශිෂ්‍ය ව්‍යාපාරයකට ආණ්ඩු කළ නොහැකි බව ආණ්ඩුව තේරුම් ගත යුතුය. ඒ අර්ථයෙන් මේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් දෙස ආණ්ඩුව බැලිය යුත්තේ ලංකා විශ්ව විද්‍යාලයේ ප්‍රථම උපකුලපති සර් අයිවර් ජෙනින්ස්ගේ දැක්මෙනි. ඔහු විශ්ව විද්‍යාල අධ්‍යාපනය සම්බන්ධයෙන් දැක්වූ ආකල්පය තම ස්වයං චරිතාදාපනය වන The Road to Peradeniya ග්‍රන්ථයේ වේ. එවැනි යුග පුරුෂයන් අධ්‍යයනය කිරීම ආණ්ඩුවට පමණක් නොව ශිෂ්‍ය දේශපාලනයට ද අතිශය වැදගත් කරුණකි.

ගෝලීය ප්‍රාග්ධනය විසින් වෙනස් කර ඇත්තේ වෙළෙද පළ පමණක් යැයි බොහෝ දෙනෙක් සිතති. එහෙත් මුළු සමාජයම වෙළෙද පළක් බවට පරිවර්තනය කළ පසු ඒ මුළු සමාජයම ප්‍රාග්ධනයට අවශ්‍ය ලෙස වෙනස්වීම අහඹුවක් නොවේ.

Shan.info1978@gmail.com

Print Friendly, PDF & Email

Latest comment

  • 0
    0

    ඔබ කියපු කරැනු බොහොමයකට එකග වෙන්න පුලුවන් එහෙත් 1971 ජවිපෙ⁣ ඒ දේවල් සේරොම විනාස කරා. මම දන්නෙ නැහැ ඔබ ⁣’71 පේරාදෙනියෙ හිටියද කියල ඒත් මම දකිනව ඒ වෙනස.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.