26 April, 2024

Blog

කුල සාධකය හා රත්ගම දේශපාලනය

කේ.ජී. පිලිප් ශාන්ත

කේ.ජී.පිලිප් ශාන්ත

ගාල්ල දිස්ත්‍රික්කයේ රත්ගම මැතිවරණ බල ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායකවරයා ලෙස දකුණු පළාත් සභා මන්ත්‍රී සංජීව් කරුණාතිලක එම පක්ෂයේ නායකයා විසින් පත් කිරීම මහත් ආන්දෝලනයකට හේතු වී ඇත. ඊට හේතුව වන්නේ රත්ගම මැතිවරණ බල ප්‍රදේශයේ ජීවත් වන බහුතර කුලයේ ප්‍රජාවෙන් පිට වෙනත් කුලයකින් පක්ෂ සංවිධායකවරයකු පත් කළ ප්‍රථම අවස්ථාව මෙය වන නිසාය.

ගාල්ල දිස්ත්‍රික්කයේ රත්ගම හා බලපිටිය මැතිවරණ බල ප්‍රදේශයන් දෙකෙහිම ජීවත්වන මිනිසුන්ගේ බහුතරයේ කුලය වන්නේ සලාගම ය. ඉතා සුළු ප්‍රමාණයක් දුරාව කුලයේ ප්‍රජාව ද ජීවත් වෙති. මෙම මැතිවරණ බල ප්‍රදේශයන් පාර්ලිමේන්තු ආසන ලෙස ස්ථාපිත කළ අවධියේ අරමුණ වූයේ ද ඒ ඒ කුලයන්ට පාර්ලිමේන්තු නියෝජනයක් ලබා දීම ය. නමුත් සලාගම කුලයෙන් පිටස්තරව ගොවිගම කුලයේ අයකු රත්ගම මැතිවරණ බල ප්‍රදේශයේ ආසන සංවිධායකවරයා වශයෙන් පත් කිරීම එම කුල නියෝජනය පාර්ලිමේන්තුවේ සිදුවීම වැළැක්වීමේ වෑයමකි.

රත්ගම හා බලපිටිය යන මැතිවරණ බල ප්‍රදේශයන් දෙකෙහිම ජීවත්වන ඡන්දදායක සංඛ්‍යාව ඉතා සුළු ය. ඒ නිසා එම ජන කොටසට පාර්ලිමේන්තු නියෝජනයක් ලබා ගැනීම ඉතා දුෂ්කර ය. 1989 මහා මැතිවරණයෙන් පසුව මේ තාක් පැවැති මහා මැතිවරණ සියල්ලේදි ම බලපිටිය හා රත්ගම ආසන වලින් ස්ථාවර පාර්ලිමේන්තු නියෝජනයක් නොතිබූ අතර නියෝජනයක් ලබා ගත් අවස්ථාවන්හි දී ද එය සිදුවූයේ විශේෂිත හේතුවක් නිසා හෝ අහඹු ලෙස ය. සලාගම කුලයෙන් පිටස්තරව රත්ගම මැතිවරණ බල ප්‍රදේශයට ආසන සංවිධායකවරයකු පත් කිරීමත් සමග ඔවුන්ට සිදුවන අසාධාරණය අලුත් වටයකින් ආරම්භවීම නොවැළැක්විය හැකිය.

ගොවිගම ප්‍රභූ පවුලක නිහතමානී පුද්ගලයකු වන සංජීව් කරුණාතිලක බෙන්තර – ඇල්පිටියේ කෘතහස්ත එක්සත් ජාතික පක්ෂ දේශපාලකයකු වූ රූපා කරුණාතිලකගේ පුත්‍රයා ය. ඔහු ගැටුම්කාරී නොවන අතර නිෂ්ශබ්ද පුද්ගලයෙකි. බෙන්තර ඇල්පිටියේ හා හිනිදුම යන මැතිවරණ බල ප්‍රදේශයන්හි ඔහුට පවතින පවුල් පසුබිම හා ව්‍යාපාරික පසුබිම අනුව රත්ගම ආසන සංවිධායකවරයාවීම ඔහු ලැබූ භාග්‍යයකි. තම ප්‍රභූ පවුල් පසුබිමත් ව්‍යාපාරික පසුබිමත් නිසා බෙන්තර ඇල්පිටියෙන් ද හිනිදුමෙන් ද සැලකිය යුතු ඡන්ද ප්‍රමාණයක් ඔහුට ලැබෙන අතර රත්ගම ආසන සංවිධායකවරයා ලෙස ස්ථාවර ඡන්ද ප්‍රමාණයක්ද ඔහුට ලැබීමට නියමිතය. මේ නිසා සංජීව්ගේ පාර්ලිමේන්තු ආගමනය නියත ජයක් වීමට ඇත්තේ ලොකු ඉඩකඩකි. එහෙත් අසාධාරණයට මුහුණ දෙන්නේ රත්ගම සලාගම කුලයේ මිනිස්සුන් ය.

ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රධාන වශයෙන් ගොවිගම, කරාව, සලාගම හා දේව කුලයන්හි මිනිස්සු ජීවත් වෙති. මුහුදු බඩ ප්‍රදේශයන්හි කරාව හා සලාගම කුලවල මිනිස්සු ද රට අභ්‍යන්තරයේ ගොවිගම මිනිස්සු ද ජීවත් වෙති. දේව කුලයේ මිනිස්සු බහුතරයක් ඇත්තේ කරන්දෙණිය මැතිවරණ බල ප්‍රදේශයේ ය. කරාව කුලයේ බහුතරය ජීවත් වන්නේ අම්බලන්ගොඩ ය. සලාව කුලයේ බහුතරය ජීවත්වන්නේ රත්ගම හා බලපිටියේ ය. බලපිටිය, අම්බලන්ගොඩ, රත්ගම හා කරන්දෙණිය මැතිවරණ ආසන නිර්මාණය කර ඇත්තේම මේ කුල නියෝජනය පාර්ලිමේන්තුව තුළ සහතික කිරීමට ය.

එහෙත් මේ කුල නියෝජනයට කණ කොකා හැඩුවේ සමානුපාතික නියෝජන ක්‍රමය හදුන්වාදීමත් සමගය. සාමාන්‍යයෙන් ගොවිගම කුලයේ ජනතාව ජීවත්වන මැතිවරණ ප්‍රදේශ විශාලත්යෙන් වැඩි නිසා එම කුලයේ මන්ත්‍රීවරුන් තේරී පත්වීම ස්ථාවරව සිදුවිය. එහෙත් කරාව, සලාගම හා දේව කුලයේ මිනිසුන් ජීවත්වන මැතිවරණ බල ප්‍රදේශයන් ප්‍රමාණයෙන් කුඩා නිසා එම කුලයන්හි පාර්ලිමේන්තු නියෝජනය ස්ථාවර නොවීය. එවැනි තත්ත්වයක් තුළ ගොවිගම කුලයේ අයකු රත්ගම මැතිවරණ බල ප්‍රදේශයේ සංවිධායකවරයා ලෙස පත් කිරීම එම අසාධාරණය තවත් තීව්‍ර කරන්නකි. 

ඉතා කුඩා මැතිවරණ බල ප්‍රදේශයක් වන කරන්දෙණියෙන් දේව කුලයේ පුද්ගලයකු 1989 දී සමානුපාතික ක්‍රමය හදුන්වාදීමෙන් පසුව පාර්ලිමේන්තු ගොස් ඇත්තේ එක්වරක් පමණි. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ගුණරත්න වීරකෝන් ය. ඔහු ඇල්පිටිය ආනන්ද මධ්‍ය මහ විද්‍යාලයේ ගුරුවරයකුව සේවය කර තිබූ නිසාත් බෙන්තර ඇල්පිටියේ ශ්‍රීලනිප අපේක්ෂකයාගේ තිබූ ගැටළුත් නිසා බෙන්තර ඇල්පිටියේ ගොවිගම කුල ඡන්ද ගුණරත්න වීරකෝන්ට ලැබුණි. පසුව ඔහු රත්ගම හා බලපිටියේ සලාගම ඡන්ද ප්‍රමාණයක් ද ලබා ගත්තේය. ඔහුගේ විශේෂිත හැකියාව හැර වෙන කිසිම අයකුට ස්ථාවරව කරන්දෙනියෙන් පාර්ලිමේන්තු යෑමට නොහැකිවී ඇත.

කුලය අහෝසි කළ යුතු බෙදීමකි. වැඩවසම් ක්‍රමය තුළ කුලය ඉසමත්තට ආවද ධනපති ක්‍රමය තුළ කුලය අහෝසි වෙමින් තිබේ. එහෙත් මැතිවරණයක් වැනි අවස්ථාවක දී අහෝසි වෙමින් යන කුල සාධකය ශක්තිමත් වේ. කුල විභේදනයන් පවතින ප්‍රදේශයන්හි මිනිස්සු ඡන්දය පාවිච්චි කිරීමේ දී අවිඥාණිකව කුලය සලකා බලති. එනිසා තවදුරටත් කුල සාධකයට දේශපාලන නියෝජනයක් අවශ්‍ය ය. යම් හෙයකින් කුලය නොසලකා දේශපාලන නියෝජනය සහතික කළහොත් සුළුතර කුල වල ජනතාවට සිදුවන්නේ අයහපතකි.

ලාංකික සමාජයෙන් කුල භේදය ඉවත් කිරීමට විශාල සේවයක් කළේ වමේ ව්‍යාපාරයයි. වාමාංශික නායකයන් කෑගල්ල දිස්ත්‍රික්කයේ ඒ වෙනුවෙන් කැප වී කළ සේවය අපමණය. මෑත යුගය තුළ කුල භේදය  ඉවත් කිරීම සදහා විශාල දායකත්වයක් දැරුවේ වෙළෙද පළ ආර්ථික ක්‍රමයයි. වෙළෙද පළ තුළ සියල්ලට මිලක් නියම වූ නිසා කුලවතා හා කුලහීනයා යන්න නොසලකා ඔහු නිෂ්පාදනය කරන භාණ්ඩයට මිලක් නියම වුණි. මේ නිසා ඒ ඒ කුලයන්හි පුද්ගලයන්ට සම්ප්‍රදායිකව තිබූ “මූර්ත වටිනාකම” වෙනස් වුණි. ඒ නිසා වෙළෙද පළ තත්ත්වයන් තුළ කුලහීනයාගේ මූර්ත වටිනාකම මෙන්ම කුලීනයාගේ මූත වටිනාකම ද වෙනස් වුණි. එනිසා කුලය මත සමාජ කොටස් අසාධාරණයට ලක් කිරීම අහෝසි විය.

කරන්දෙණිය මැතිවරණ බල ප්‍රදේශය  1994 වෙන කොටත් තිබුනේ ගාල්ල දිස්ත්‍රික්කයේ පිළිකන්නක් ලෙසිනි. මානව භෞතික තත්ත්ව දර්ශකයන්ගෙන් අසතුටුදායකම වාර්තාවන් ලැබුනේ කරන්දෙණියෙනි. එහෙත් 1978 දී ගම්මාන කරා ඇදී ආ ප්‍රාග්ධනය ඒ සමාජ තත්ත්වයන් වෙනස් කළේ ය. ගමට ගලා ආ ප්‍රාග්ධනය නිසා ආදායම් උපදවන්නන් නිර්මාණය විය. ඒ සමගම ව්‍යවසායකත්වයන් ද ඇති විය. සමාජය ධනවත්වීමත් සමග වෙළෙද පළ තුළ හැසිරීම් වෙනස් වුණි. එවිට සමාජය තුළ තිබූ වැඩසවම් කුල බෙදීම් වලට තිබූ නැඹුරුව වෙනස් වී අලුත් වටයකින් සමාජය ධ්‍රැවීකරණය විය.

දේව කුලයේ කුල පීඩනය 1978 න් පසුව ඉවත්වෙමින් පවතිද්දී සලාගම හා කරාව කුලයන්හි කුල පීඩනය ඉවත්වීම ආරම්භ වූයේ අධිරාජ්‍යවාදී ආර්ථික ක්‍රියාකාරකම් නිසා ය. ශ්‍රී ලංකාව මුළුමනින්ම සුදු අධිරාජ්‍යවාදයට යටත්වීමෙන් පසුව ධනේශ්වරකරණය ආරම්භ වුණි. එහි ප්‍රතිඵලයක් ලෙස සලාගම හා කරාව කුල ශක්තිමත් වුණි. ඔවුන් අද වනවිට ගොවිගම කුලයට වඩා ආර්ථික අතින් ශක්තිමත් ය.

ප්‍රාග්ධනයේ හැසිරීම කුල වෙනස්කම් වල සමාජ වලංගුතාව අහෝසි කරන්නට සමත් වන්නේ ය. එහෙත් ඊට අවශ්‍ය දේශපාලන නායකත්වය ලබාදෙන්නේ ඒ ඒ කුලයන්හි දේශපාලන නායකයන් ය. එනිසා ඔවුන්ට පාර්ලිමේන්තු නියෝජනයක් ලබාදීම අත්‍යවශ්‍ය ය. කුලභේදය අහොසි කළ යුතු යැයි කියා කුල නියෝජනය ද අහෝසි කළහොත් සමාජ ප්‍රතිසංකරණයකින් කුල භෙදය අහෝසි කිරීමේ වෑයම නිශ්ක්‍රීය වේ. එනිසා ඒ ඒ කුලයන්ට දේශපාලන නියෝජනයක් ලබාදීම අවශ්‍යම පියවරකි.

එහෙත් සලාගම ජන ප්‍රජාව බහුතරයක් වාසය කරන රත්ගම මැතිවරණ බල ප්‍රදේශයට ගොවිගම කුලයේ සංජීව් කරුණාරත්න පත් කිරීම කුල භේදයන් අහෝසි කිරීමට නොව කුල අසාධාරණයන් සැගවීමට හේතුවේ. ඒ ඒ කුලයන් අතර පවතින කුල අසාධාරණකම් හා කුල අභිලාශයන් සාකච්ඡාවට ලක් කිරීමට කුල නියෝජනයක් අත්‍යවශ්‍ය ය. සංජීව් කරුණාතිලක රත්ගම එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායකවරයා ලෙස පත් කිරීම කුල අසහනකාරීත්වය තීව්‍ර කිරීමට ප්‍රබල සාධකයක් බව අවශ්‍යයෙන්ම කිව යුතුය.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.